අනුන් ගැන මිස තමන් ගැන විවේචනයක් නැති ජනමාධ්‍ය හා ජනමාධ්‍ය බෝම්බ

August 14, 2011
Publication:
Uvindu answered Ivan's article without answering the basic question it raised about reporting, and Ivan writes again because the subject matters to journalists and to readers interested in understanding Sri Lankan political reality. Six sections follow, ending on the power the press holds and on what he calls media atom bombs.

උවිඳු මාගේ ලිපියට පිළිතුරක් දී තිබුණද මගේ ලිපියෙන් වාර්තාකරණයට අදාළව මා මතුකර තිබුණු මූලික ප්‍රශ්නයට පිළිතුරක් දී තිබුණේ නැත. මා උවිඳුගේ පිළිතුරට ප්‍රතිපිළිතුරක් ලියන්නේද ජනමාධ්‍යවේදීන්ට සේ ම ශ්‍රී ලංකා දේශපාලන යථාර්ථය හා එහි සාරය තේරුම් ගැනීමට උනන්දුවක් ඇති පාඨකයන්ටද වැදගත් විය හැකි එම සංකීර්ණ විෂය ගැන වැඩිදුර කරුණු සාකච්ඡාවට ලක්කිරීමේ ඇති වැදගත්කම සලකාය.

නූතන සමාජය තුළ ජනමාධ්‍යවේදීන් වෙත විශේෂ කාර්යය පැවරී තිබේ. ඔවුහු, සිදුවන වැරදි වාර්තා කරන්නෝ මහජනයාගේ හා බලධාරීන්ගේ දැනගැනීම සඳහා පමණක් නොව, ඔවුන්ට එසේ දැනගන්නට සැලැස්වීම මගින් ඒ වැරදි පාලනය කිරීම සඳහාය. එය වාර්තාකරණයෙන් අපේක්ෂා කරන වැදගත්ම පරමාර්ථයක් ලෙස සැලකිය හැකිය.

වාර්තාකරණයේ උභතෝකෝටිකය

එහෙත් ශ්‍රී ලංකාවේ පවත්නා තත්ත්වය වනුයේ පාලන අධිකාරියට සම්බන්ධ බලවත් පුද්ගලයන් කරන වැරදි ගැන පළවෙන වාර්තාවලදී ඒ වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් රටේ නොපැවතීමය. එවැනි වාර්තාකරණයක් පාලන අධිකාරිය අවදි කිරීමට හෝ වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැන බලවත් මහජන මතයක් ඇති කිරීමට හෝ හේතුවන්නේ නැත. ලංකාව ඉන්දියාව සමග සැසඳීමක් කළේ එම තත්ත්වය වඩා හොඳින් පැහැදිලි කිරීම සඳහාය. ඉන්දියාව ද ලංකාව සේ ම දූෂිත රටකි. එහෙත් දූෂණ ගැන එරට සිදුවන වාර්තාකරණයේදී එම දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ඔවුන්ගේ තරාතිරම නොසලකා නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඉන්දියාවේ පවතී. එහෙත් එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොපවතී. එහිදී මා මතු කරන ලද එක් වැදගත් ප්‍රශ්නයක් වූයේ ජනමාධ්‍ය වාර්තාකරණයෙන් අපේක්ෂා කරන අරමුණ ශ්‍රී ලංකාවේදී ඉටුනොවේ නම් ඒ ඇයිද යන ප්‍රශ්නය ජනමාධ්‍යවේදීන් බැ?රුම් ලෙස සලකා බැලිය යුතු බවය.

ඉන්පසු මා මගේ අත්දැකීම් ආශ්‍රයෙන් ඒ ප්‍රශ්නය වඩා ප්‍රබල ආකාරයකින් මතු කිරීමට උත්සාහ කළෙමි. මා ඒ සඳහා තෝරාගත් අත්දැකීම මට ඒ සඳහා තිබුණු එකම අත්දැකීම නොව අත්දැකීම් අතර තිබුණු ප්‍රබලතම අත්දැකීම ලෙස සැලකිය හැකිය.

අත්දැකීමේ විශේෂ ස්වභාවය

එහිදී මම සරල වාර්තාකරණයකට සීමා නොවූයෙමි. එය වරක් හෝ දෙවරක් කරන ලද ලිවීමක් නොවීය. කතුවැකි, වාර්තා, විශ්ලේෂණ, කෙටි සටහන් යනාදී ක්‍රමවලට ඒ ගැන ලියන ලද වාර ගණන සීයකට වැඩිවිය හැකිය.

ජනමාධ්‍යවේදීන් ද සහභාගි වූ කැබිනට් තීන්දු දැනුම්දෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනමාධ්‍ය ඉදිරියේ නීතිපතිවරයා දීර්ඝ ප්‍රශ්න කිරීමකට ලක් කළෙමි. මා නගන චෝදනා පරීක්ෂා කර බැලීම සඳහා එවකට සිටි අගවිනිසුරුවරයා පරීක්ෂණ කමිටු දෙකක් ඇති කොට එක පරීක්ෂණ කමිටුවකට පරීක්ෂණයේ දොරටු මටද විවෘත කළ විට මම එම කමිටුව ඉදිරියට ගොස් සාක්ෂි දුන්නෙමි. පරීක්ෂණ කමිටුවේ සාක්ෂි විභාගය අවසන් වන තෙක් හැම දිනකම ඊට සහභාගි වූයෙමි. පරීක්ෂණ කමිටු දෙකේ කටයුතු අවසන් වූ පසු නීතිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළෙමි. ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂණයට ලක්වී සිටි පුද්ගලයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ විෂය භාර ප්‍රධාන නිලධාරියාගෙන් එල්ල වී තිබුණු ප්‍රසිද්ධ විරෝධය ද නොසලකා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුකැරෙන පරීක්ෂණයක් ඉදිරියේ වගඋත්තරකරුවකු වී සිටි පුද්ගලයා ජනාධිපතිනිය විසින් එම ශ්‍රේෂ්ඨාධිකරණයේම ප්‍රධානියා කළ විට මා කළේ ඔහු ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙන ඡායාරූපය උඩයට හරවා රාවය ඊට විරෝධය පළ කරන කළු කලාපයක් වශයෙන් පළ කිරීමය.

ඉන්පසු ඔහුගේ පත්කිරීමට එරෙහිව ඔහුගේ පාලනය යටතේම පැවති ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවෙමි. ඊට ලැබෙන තීන්දුව සාධාරණ තීන්දුවක් නොවූ විට ඒ තීන්දුව අභියෝගයට ලක්කරමින් ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත විධිමත් අභියාචනයක් ඉදිරිපත් කළෙමි. අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයක් සඳහා විරුද්ධ පක්ෂ එකඟකර ගැනීමට තවත් දීර්ඝ මතවාදී අරගලයක නිරත වන්නට ද සිදුවිය. දෝෂාභියෝගයක් සඳහා එකඟ වූ පසුව මූලික කෙටුම්පතක් සකස් කරදීමේ ක්‍රියාවට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවන්නට ද සිදුවිය. එයද අසාර්ථක වූ විට ඔහු තනතුරේ සිටියදීම ඒ ගැන පොතක් ලියා පළකරන්නට සිදුවිය. ටෝනිට සිරදඬුවම් පැමිණ වූ අවස්ථාවේදී ඒ ගැන ලියන ලද කතුවැකියක් මගින් රටේ නීතියක් පවතී නම් සිරදඬුවම් ලැබිය යුතු පුද්ගලයා ටෝනි නොව, අගවිනිසුරුවරයා බවද කියා සිටියෙමි. මෙම ආරාවුල අධිකරණය ගැන උනන්දුවක් දක්වන ජාත්‍යන්තර සංවිධානවලද නොමඳ අවධානය දිනාගැනීමට සමත්ව තිබුණි. අන්තර්ජාතික නීතිඥ සංගමය බ්‍රෙනන් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රශ්නය ගැන සොයා බලා වාර්තා කිරීම සඳහා ත්‍රිපුද්ගල දූත මණ්ඩලයක් ශ්‍රී ලංකාවට එවීය. එම දූත පිරිස මෙම ආරාවුලට සම්බන්ධ විවිධ පුද්ගලයන්ගෙන් පමණක් නොව චෝදනාලාභී අගවිනිසුරුවරයා සමග සේ ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ආචාර්ය මාර්ක් ප්‍රනාන්දු හා ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ යන විනිශ්චයකාරවරුන් සමගද සාකච්ඡා කළෝය. ඔවුන් ඒ ගැන ලියන ලද වාර්තාව ප්‍රසිද්ධ වාර්තාවක් ලෙස පළ කරන ලදි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාරව ක්‍රියාකළ ඩාටෝ පරම්කුමාරස්වාමි ද සිය නිරීක්ෂණ ඇතුළත් වාර්තා දෙකක් ලියා තිබුණි.

මේ අරගලයේදී මටද මෙම අරගලය හේතුවක් කරගනිමින් ලංකාවෙන් පලාගොස් කිසියම් රටක දේශපාලන රැකවරණය ලබාගනිමින් පිටුවහලේ සිට උස් ස්වරයකින් කතා කිරීමේ හැකියාව තිබුණි. එහෙත් මම එම මග තෝරා නොගත්තෙමි. ඒ වෙනුවට ලංකාවේම ඉඳිමින් හොඳ නරක ප්‍රතිවිපාකවලට මුහුණදෙමින් සටන තර්කානුකූල අවසානයක් කරා ඉදිරියට ගෙනයෑමට උත්සාහ කළෙමි. එතරම් විශාල උත්සාහයකින් පසුත් මට කළ හැකිවූයේ මුල් බුරුල් කිරීම පමණය. අලය ඉගිල්ලීමට හැකි නොවීය. මෙය මා විසින් කරන ලද දුෂ්කර අත්හදා බැලීමක් ලෙසද සැලකිය හැකිය. ප්‍රශ්නයක් වෙනුවෙන් එතරම් දුරදිග ගිය මටද වරද කළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමට නොහැකි වී නම් ලංකාවේ පවතින පසු විපරමක්වත් නැති සරල වාර්තාකරණයකින් වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ හැක්කේ කෙසේද?

අඳුරේ අතපතගෑම

එම අත්දැකීම එය එසේ වූයේ ඇයිද කියන ප්‍රශ්නය බලවත් ලෙස මා තුළ මතු කළේය. එම ප්‍රශ්නයට පිළිතුරක් නැතිව මාළු අසුවන්නේ නැතිවත් මාළු බෑමේ හැකියාව මට නොතිබුණි. උවිඳුට වැදගත් මාළු නොව මාළු බෑමය. මාළු අසුවන්නේ නැතිවත් ගඟට පිත්ත දමාගෙන සිටින්නට ඔහු කැමතිය. එසේ කරන්නේද ගඟේ ඉවුරේ ඉඳගෙන නොව පිටුවහලේ ඉඳගෙනය.

ඔහු තමන්ගේ අරුත් විරහිත ක්‍රියාකාරීත්වය පිළිබඳව විවේචනාත්මකව කරුණු සලකා බලන තැනකට නොගොස් මා තුළ ඇතිවන වෙනස්කම් මහින්ද රාජපක්ෂ කෙනකු බලයට පත්වීම නිසා ඇතිවූවක් ලෙස දකින්නට උත්සාහ කරයි. මා මේ ප්‍රශ්නය පළමුවෙන්ම මතුකර තිබෙන්නේ උවිඳුගේ මේ විවාදයේදී නොවේ. ඊට බොහෝ පෙරය. මා මෙම ප්‍රශ්නය මතුකරනු ලැබූ එක් ජනමාධ්‍ය ෆෝරමයක ලසන්ත වික්‍රමතුංගද සිටියේය. මා මතු කරන ප්‍රශ්නය අර්ථවත් බව ඊට සහභාගි වූ අන් අය ඉදිරියේ ලසන්ත වික්‍රමතුංග ද ප්‍රකාශ කළේය. වෙනත් ජනමාධ්‍ය ෆෝරම ගණනාවක ද මෙම ප්‍රශ්නය මම මතු කර ඇත්තෙමි.

මාගේ මාළු බාන්නා පිළිබඳ නිදර්ශනය ශක්තිමත් නොවේ නම් ඒ සඳහා වෙනත් නිදර්ශන ද ඉදිරිපත් කළ හැකිය. විශේෂ ලෙඩකට ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු නිදර්ශනයට ගත හැකිය. එම විශේෂ ලෙඩේ ඇති ලෙඩ්ඩු ප්‍රතිකාර සඳහා ඔහු සොයාගෙන එන්නෝය. ඔහු දෙන ප්‍රතිකාර කිසිවකුට ප්‍රතිකාරයක් වී නැති බව ඔහු නිශ්චිතව දන්නේ නම් වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම් නවතා ඒ ඇයිද කියන ප්‍රශ්නයට විසඳුමක් සොයාගත යුතුය. වරද ඇත්තේ තමා නියම කරන ඖෂධවලද, නැතිනම් තමා ප්‍රතිකාර කරන ක්‍රමයේද ඒත් නැතිනම් වෙනත් හේතුවක් නිසාද යන්න ඔහු සොයා බැලිය යුතුය. තමාගේ ප්‍රතිකාරවලින් එම විශේෂ ලෙඩේ සුව නොවන බව දැන දැනම එම වෛද්‍යවරයා තමන්ගේ සුපුරුදු ප්‍රතිකාර ක්‍රමය ඉදිරියට ගෙනයන්නේ නම් ඔහු සැලකිය යුත්තේ වෘත්තීය බොරුකාරයකු ලෙසය.

සමහරකුට මාළු අසුවන්නේ නැතිවත් මාළු බෑම ප්‍රයෝජනවත් විය හැකිය. මට ආර්ථික ප්‍රශ්න නැත. ගෙදර නිකම්ම සිටිනවාට වඩා ගඟ අසළට විත් ගඟේ සුන්දරත්වය නරඹමින් මාළු අසුවන්නේ නැතිව වුවත් ගඟට පිත්ත දමාගෙන ඉඳීම සුන්දර අත්දැකීමක් ලෙස සලකා එසේ කරන අය ද සිටිය හැකිය. මාළු අසුවනවාද නැද්ද යන්න මට වැදගත් නැත. එසේ කිරීම වෙනුවෙන් මට ගෙවීමක් ලැබෙන නිසා එසේ කරනවායැ”යි තවත් කෙනකුට කිවහැකිය. මාළු අහුවන්නේ නැති බව දැන දැනම මාළුබෑමේ යෙදීමට කැමැත්තක් ඇති අය සිටිත් නම් එයට විරුද්ධවීමේ අයිතියක් මට නැත. ඒ නිදහස ඔවුන්ට තිබිය යුතුය. එහෙත් මාළු අසුනොවන මාළු බෑමකට මා එකඟ නැත. එහෙත් මාද මාළු බාන්නට කැමතිය. එහෙත් මා කැමති මාළු අසුවන මාළු බෑමකට මිස මාළු අසු නොවන මාළු බෑමකට නොවේ.

මෙම යථාර්ථය අදාළ වන්නේ ජනමාධ්‍ය විෂයට පමණක් නොවේ. වෙනත් වැදගත් බොහෝ අංශවලටද මේ යථාර්ථය අදාළය. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අරමුණ රාජ්‍ය ආයතනවල අයථා ගනුදෙනු පාලනය කිරීමය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අරමුණ අල්ලස් හෝ දූෂණ වැරදි පාලනය කිරීමය. ඒ අරමුණු එම ආයතනවලින් ඉටු නොවේ නම් එම ආයතන පවත්වාගෙන යෑම සඳහා කරන වියදම තේරුමක් නැති නාස්තිකාර වියදමක් බවට පත්වන්නේය.

හිිමිකම පිළිබඳ ප්‍රශ්නය

රුවන්වැලිසෑය නිදර්ශනය කොට ගනිමින් අරගලයේ අයිතිය පිළිබඳව උවිඳු කර තිබුණු කරුණු දැක්වීම ළද බොළඳ බව කිව යුතුය. ජෙෆ්රි බාවාගේ නිර්මාණයක් ලෙස සැලකෙන දෙයක් ඔහුගේම අත්වලින් කරන ලද දෙයක් වන්නේ නැත. සමස්ත ඉදිකිරීම් කටයුතු කරන්නේ විවිධ අය විසිනි. එහෙත් නිර්මාණකරුවා ලෙස සැලකෙන්නේ ජෙෆ්රි බාවාය. ඩාවින්චිගේ සිතුවම් කටයුතු සඳහා ඔහුට උදව් කරන්නට ආධාරකරුවෝ් සිටියෝය. එහෙත් ඒ නිර්මාණ සැලකෙන්නේ ඩාවින්චිගේ නිර්මාණ ලෙසය. පන්ති අරගලය මුල්කරගත් දේශපාලන න්‍යායවාදයක් තැනීමේ ක්‍රියාවලියේදී මාක්ස්ට උදව් කළ විවිධ අය සිටියෝය. එහෙත් ඔහු තැනූ න්‍යාය වාදය සැලකෙන්නේ මාක්ස්වාදය ලෙසය. අගවිනිසුරු පාදක කොටගෙන කැරුණු මේ අරගලයට ද ආධාර කළ විවිධ අය සිටියෝය. මගේ පොතේ පමණක් නොව, වෙනත් සමහර ලේඛනවලද ඒ ගැන සඳහන් කර තිබේ. උවිඳු ද ආධාරකරුවකු ලෙස ක්‍රියා කළේය. තමා දෙන ලද දායකත්වය ගැන උවිඳු ලියා තිබෙන සියල්ල නිවැරදි නැත. සමහරක් මුළුමනින් වැරදි වන අතර තවත් සමහරක් සත්‍යයක් ලෙසද, තවත් සමහරක් අර්ධ සත්‍යයක් ලෙසද සැලකිය හැකිය. එහෙත් ඒ ගැන කතා කිරීම අවශ්‍ය නැත. උවිඳු සිටියේ සමස්ත අරගලය තුළ නොව එහි තැන් කිහිපයකය. ඔහු නොදන්නා බොහෝ දේවල් තිබුණි. අරගලයට විවිධ ආධාරකරුවෝ ද සිටියෝය. සියලුදෙනාම නොවෙතත් සමහර ආධාරකරුවන් රඟපෑ භූමිකාවන් මා පොතේ විස්තර කර තිබේ.

උවිඳු කියන්නේ සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ ලිපිය එම පුවත්පතට ලියන ලද ලිපියක් නොව ලසන්තගේ දෙවැනි බිරිඳ සොනාලි සමග පවත්වාගෙන යන වෙබ් අඩවියේ පළවූ ලිපියක් එම පුවත්පත විසින් පළකර තිබෙන බවය. පිටුවහලේ සිට ලියන ලිපියක් බව සඳහන් කළ යුතුව තිබුණේ එම පුවත්පත බවය. එහිදී උවිඳු භාගෙට හරිය. තවත් භාගෙකට වැරදිය. මර්දනීය පරිසරයක් ඇති රටක ඉඳිමින් ලිවීම හා රැකවරණය ලබාගත් විදේශ රටක සිට ලිවීම කොහොමත් එක සමාන නැත. එවැන්නකු පළමුවෙන්ම අන් සියලු දේ කතා කරන්නට පෙර තමන්ට විදේශ ගතවන්නට සිදුවුණේ ඇයිද යන්න පාඨකයන්ට පැහැදිලි කළ යුතුය. ලියන්නා පළ කරන අදහස් පිළිබඳව සාධාරණ අදහසක් ඇති කරගත හැකිවන්නේ එවිටය.

උවිඳුට සේ ම ලංකාවේ බොහෝ ජනමාධ්‍යවේදීන්ට ආවේණික ලොකු දුර්වලතාවක් වනුයේ තමන්ගෙන් පරිබාහිර ලෝකයේ තිබෙන කිල්ලෝටවල ඇති හුණු ගැන කතා කරනමුත් තමන්ගේ ලෝකයේ කිල්ලෝටවල ඇති හුණු ගැන කතා නොකිරීමය. ඔවුන්ට අනුන් ගැන විවේචනයක් ඇතත් තමන් ගැන විවේචනයක් නැත.

මාගේ ලිපිය පළවීමෙන් පසු උවිඳු මා සමග දෙවරක් දුරකතනයෙන් කතා කළේය. පළමුවර කතා කරන විට ඔහු ලිපිය කියවා නොතිබුණි. ඔහු දැන සිටියේ මා ඔහුගේ ලිපියට පිළිතුරක් ලියා ඇති බව පමණය. ඊළඟට කතා කළේ ලිපිය කියැවීමෙන් පසුවය. එය කෙටියෙන් කරන ලද කතාවක් නොව දීර්ඝ කතාවක් විය. ඔහු සිය ලිපියේ අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි පුවත්පත් කතුවරුන් තිදෙනකුගේ නම් සඳහන් කර තිබුණි. එහෙත් විස්තර සඳහන් කර තිබුණේ මා ගැන පමණය. වර්තමානයේ සිදුවන දේවල් ගැන දොස් පවරා තිබුණේද මට පමණය. අනෙක් කතුවරුන් දෙදෙනා කළ මෙහෙයන් ද කෙටියෙන් වුවත් සඳහන් කළ යුතුව තිබුණානේදැ”යි මම ඔහුගෙන් ඇසුවෙමි. ඔහු ගත් කටටම කීවේ ඔවුන් කළ දෙයක් නැති බවත් ඔවුන් සතුටු කිරීම පිණිස එසේ කළ බවත්ය. ඉන්පසු ඔහු එහි වෙන දේවල් ගැන කතා කළේය. පිටුවහලේ සිටින ජනමාධ්‍යවේදීන් ගැනද කතා කළේය. අව්‍යාජ හේතු ඇතිව රටින් පලාගිය හා අව්‍යාජ හේතු නැතිව රටින් පලායෑමට රටේ පැවති තත්ත්වය අවස්ථාවක් කරගත් අය ගැන සේ ම ඒ සඳහා සමහරුන් යොදාගත් උපාය උපක්‍රම ගැනද කතා කළේය. එක්නැලිගොඩ ගැනද කතා කළෙමු. එක්නැලිගොඩගේ අතුරුදන්වීම ගැන ජනප්‍රිය මතයට වෙනස් මතයක් ඔහුට තිබුණේය. ඔහුගේ මතය වූයේ පිටුවහලේ සිටින ජනමාධ්‍යවේදීන්ගෙන් අඩක් පමණ සමන්විත වන්නේ යුරෝපයට පලාඒමට අවස්ථාවක් කරගත්තවුන්ගෙන් බවය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පරීක්ෂණයට කුමක්වීදැ”යි ඇසූ විට ඔහු කීවේ ගණන් පියවා නැති මුදලේ වටිනාකම පමණක් රුපියල් ලක්ෂ 306ක් බවය. චැනල් ෆෝ නිර්මාණයට ලංකාවෙන් පලාගිය ජනමාධ්‍යවේදීන් ලබාදී තිබෙන දායකත්වය ගැන කතා කිරීමේ අවශ්‍යතාවක් තිබුණද දුරකතනය හදිසියේ විසන්ධිවීම නිසා එය කළ නොහැකි විය.

ජනමාධ්‍යවලට තිබෙන බලය

ජනමාධ්‍යවලට ලැබී තිබෙන බලය අතිවිශාලය. ඒ නිසා ජනමාධ්‍යවේදීන්ට තිබෙන බලයද අතිවිශාලය. දේශපාලන තන්ත්‍රය නිලධාරි තන්ත්‍රය ඇතුළු රටේ හැම අංශයක්ම දූෂිත වනවා සේ ම ජනමාධ්‍ය තන්ත්‍රය ද දූෂිතය. දේශපාලකයන් හා නිලධාරීන් තමන්ට තිබෙන බලය අයථා ලෙස පාවිච්චි කරනවා සේ ම ජනමාධ්‍යවේදීහු ද ඔවුන්ට තිබෙන බලය අයථා ලෙස පාවිච්චි කරති. සමහරවිට ජනමාධ්‍යවේදීන් කිසිම සත්‍ය පදනමක් නැතිව නිර්මාණය කරන ලද දේවලින් රට පමණක් නොව, මුළු ලෝකය ද කළඹන අවස්ථා පවතී. ලසන්ත සිය ඝාතනයට පෙර මරණයට පසු පළකිරීම සඳහා ලියා තැබුවේයැ”යි කියා පළ කරන ලද කතුවැකිය ද ශ්‍රී ලංකාව පමණක් නොව, මුළු ලෝකයම බිරාන්ත කිරීමට හේතුවූ එවැනි නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. ලසන්තගේ ඝාතනය නින්දනීය හා තුච්ඡ ක්‍රියාවක් බවට සැකයක් තිබිය නොහැකිය. එම අවාසනාවන්ත හා ඛේදජනක සිද්ධිය අවස්ථාවක් කරගනිමින් දැවැන්ත බොරුවක් නිර්මාණය කොට ගෝලීය ගතකිරීම යහපත් ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකිය. එය ලසන්ත විසින්ම මරණයට පෙර ලියන ලද කතුවැකියක් ලෙස මුළු ලෝකයම විශ්වාස කළේය. එය එකවිට ලෝකයේ වැඩිම පුවත්පත් සංඛ්‍යාවක පළවූ කතුවැකිය ලෙස ද සැලකිය හැකිය.

එය මා නම් කළේ ශතවර්ෂයේ ලොකුම බොරුව ලෙසය. එය නිර්මාණය කැරුණේ ශ්‍රී ලංකාවේය. ජනමාධ්‍ය විෂයෙහි කූට ලෙස කල්පනා කරන පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට යාහැකි දුර කොතරම්ද යන්න ඉන් පෙන්නුම් කරයි. දැන් උවිඳු වැඩ කරන්නේ ලසන්තගේ දෙවැනි බිරිඳ සොනාලි සමග වන නිසා එම දැවැන්ත නිර්මාණයේ පසුබිම් කතාව සමහරවිට උවිඳුට ඇගෙන් දැනගත හැකිය.

ඉන් සමාජයට හා රටටද ඉගෙන ගැනීමට වැදගත් පාඩමක් ඇත්තේය. එකම විෂයකට සම්බන්ධ පිරිසක් වශයෙන් ලෝක ජනමාධ්‍ය වෙනත් රටක ජනමාධ්‍ය හෝ ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලදී ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් බලන තත්ත්වයක් පවතී. මේ තත්ත්වය අවශ්‍ය නම් කූට පුද්ගලයකුට හෝ කූට කණ්ඩායමකට වැරදි ලෙස පාවිච්චි කොට දැවැන්ත විනාශයක් ඇති කළ හැකිය. රූපට් මර්ඩොක් ද ඒ බලය වෙනස් ආකාරයකින් පාවිච්චි කළ තක්කඩියකු ලෙස සැලකිය හැකිය. ලෝක ජනමාධ්‍ය තලයෙහි තිබූ අතිවිශාල බලය නිසා ලෝක නායකයන් සිය අල්ලේ නැටවීමේ හැකියාව ඔහුට තිබුණේය. ඔහුගේ සාහසික ක්‍රියාකලාපය ලෝකයට හෙළිවෙමින් තිබෙන්නේ දැන්ය. ඔහුගේ එම සාහසික වැඩපිළිවෙල සමග එකට වැඩ කළ ජනමාධ්‍ය රස්තියාදුකාරයන් ලෙස සැලකිය හැකි පිරිසක් ද ඔහුට සිිටියෝය. එවැනි අය ජාතික මට්ටමෙන් ශ්‍රී ලංකාවේද සිටිය හැකිය.

මාධ්‍ය පරමාණු බෝම්බ

ශ්‍රී ලංකාව පිළිබඳව විටින් විට නිපදවමින් විකාශනය කැරෙමින් තිබෙන චැනල් ෆෝ නිර්මාණයන්ද කිසියම් දුරකට ලසන්තගේ ඝාතනය පාදක කොටගෙන නිර්මාණය කැරුණු කතුවැකියට සමාන කළ හැකිය. මෙම වාර්තා චිත්‍රපටවලට ඇතුළත් සියලු කරුණු මම බොරුයැ”යි නොකියමි. ඒවා සත්‍ය, අසත්‍ය හා අර්ධ සත්‍ය යන වර්ග තුනකට අයත් තොරතුරු පදනම් කරගෙන කර තිබෙන ප්‍රබල නිර්මාණ ලෙස සැලකිය හැකියගලබාදෙන චිත්‍රය ඒකපාක්ෂිකය. අන්තවාදීය. එය නිර්මාණය කර තිබෙන්නේ ජනමාධ්‍ය විෂයෙහි තිබෙන සියලු පිළිගත් ආචාරධර්ම උල්ලංඝනය කැරෙන ආකාරයටය. එය ජපානය යටත් කරගැනීම සඳහා ජපානයට පරමාණු බෝම්බ දෙකක් හෙළීමේ බිහිසුණු ක්‍රියාවට සමාන කළ හැකිය. ඒවා ශ්‍රී ලංකාවට හෙළමින් තිබෙන මාධ්‍ය පරමාණු බෝම්බ ලෙස ද සැලකිය හැකිය. ජනමාධ්‍ය විෂයෙහි මෙවැනි සාහසික සම්ප්‍රදායක් ඇති කිරීමට අනුබලදීම වෙනුවෙන් බටහිර රටවල බලවතුන්ටද ඒ වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවීමට කවදා හෝ සිදුවිය හැකිය.

මෙම යුද්ධයේදී මර්දනය කරන ලද්දෝ සාමකාමී අහිංසක මිනිස්සු පිරිසක් නොවෙති. මිනීමරන සාහසික යන්ත්‍රයක් ලෙස ක්‍රියාකරමින් සිටි සංවිධානයකි. රාජන් හුල්ගේ ඇස්තමේන්තු සාධාරණ කොට සැලකිය හැකි නම් ඔහුගේ “බලයේ මහන්තත්ත්වය” පොත ලියා පළ කරන අවස්ථාව වන විටත් එල්ටීටීඊය අතින් ඝාතනයට ලක්වූ දෙමළ මිනිසුන් සංඛ්‍යාව 40,000ක් පමණ විය. අත්අඩංගුවේ සිටියදී විටින් විට තොග ගණනින් ඝාතනය කරන ලද අයගේ සංඛ්‍යාව 10,000ක් පමණ වේ. ඒ පැත්ත මුළුමනින් වසන් කොට ප්‍රතිපක්ෂයේ සීමාන්තික ක්‍රියාවලට පමණක් සීමාවූ වාර්තා චිත්‍රපටයක් සාධාරණ හෝ සමබර වාර්තාකරණයක් ලෙස සැලකිය නොහැකිය.

යුද්ධයේදී සීමාන්තික ක්‍රියා සිදුවන්නේය. ඒවා ගැන සොයා බැලිය යුතුය. වැරදි කර තිබෙන අයට දඬුවම් ද කළ යුතුය. එහෙත් චැනල් ෆෝ නිර්මාණ මගින් කැරෙන්නේ ඉවක් බවක් නැතිව මුළු රටම විනාශ කිරීමය. එය හරියටම දෙවන ලෝක යුද්ධයේදී ජපන් පාලකයන් මට්ටු කිරීම සඳහා ජපානයට පරමාණු බෝම්බවලින් පහරදීම වැනි සාහසික ක්‍රියාවකි. ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කොට ඔවුන් යුදමය වශයෙන් පරාජය කළේය. එය කළ යුතුව තිබුණු හරි දෙයක් ලෙස සැලකිය හැකිය. ඉන්පසු කටයුතු සිදුකැරුණු ආකාරය මුළුමනින් අනුමත කළ නොහැකිය. දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න ගැන බලන ආකාරයද අනුමත කළ නොහැකිය. ඒවා විවාදයට හා සාකච්ඡාවට ලක් කළ යුතු කාරණාය. එහෙත් ඒ ප්‍රශ්නවලට තිබෙන විසඳුම ලංකාවට පරමාණු බෝම්බ අතහැරීම නොවේ. එයින් වන්නේ ප්‍රශ්නය විසඳීම නොව මුළු රටම විනාශවීමය. රට වර්ග දෙකක අන්තවාදයට මැදිවී විනාශ වන රටක් බවට පත් කළ යුතු නැත.

##