රනිල් වික්‍රමසිංහ එම පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට නායකත්වයේ වෙනසක් ඇතිකර ගැනීම සඳහා දැන් දශකයක් තරම් කාලයක සිට පක්ෂ අභ්‍යන්තරයේ විවිධ උත්සාහයන් ක්‍රියාත්මක විය. ඒ සඳහා ක්‍රියාත්මක වූ හැම උත්සාහයක්ම පරාජය කොට සිය නායකත්වය ආරක්ෂා කරගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් විය. මේ මෑතකදී ඇතිවූ කැරැල්ලේ නායකයා ලෙස ක්‍රියා කළේ සජිත් ප්‍රේමදාස මහතාය. එම සටනින් සජිත් ජයගනු ඇති බව රටේ පැවති ජනප්‍රිය විශ්වාසය වුවත් එම සටනින් ද ජයගැනීමට රනිල් සමත් විය. එහෙත් සජිත් තමන්ගේ සටන අවසන් කර ඇති බවක් පෙනෙන්නට නැත. කරු ජයසූරිය තුරුම්පුව ඔහු රනිල්ට එරෙහිව පාවිච්චි කරමින් තිබෙන අලුත්ම තුරුම්පුව බවට පත්ව තිබේ.
කරු කරලියට ගැනීම
සජිත් ඇතුළු ඔහුගේ ප්‍රධාන ආධාරකරුවන් කණ්ඩායමක් කරු ජයසූරිය මහතා හමුවන්නට ගොස් පක්ෂ නායකත්වය භාරගන්නා ලෙස කරු ජයසූරියගෙන් ඉල්ලා සිටියේය. කරු ජයසූරිය ඊට දක්වන ලද ප්‍රතිචාරය වී තිබෙන්නේ පක්ෂ නායකත්වය භාරගන්නා ලෙස පක්ෂය තමන්ගෙන් ඉල්ලා සිටින්නේ නම් එය භාරගැනීමට තමන් සූදානම් බව ප්‍රකාශ කර සිටීමය. ඉන්පසු සජිත් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා පක්ෂ නායකත්වය භාරගන්නා ලෙසට තමන් කරන ලද ආරාධනය කරු භාරගත් බව ප්‍රකාශ කර සිටියේය. එහෙත් පක්ෂ නායකත්වය භාරගන්නා ලෙස කරුගෙන් ඉල්ලා තිබුණේ පක්ෂය විසින් නොව අභ්‍යන්තර බල පොරයේ සිටින එක කණ්ඩායමක් විසින් පමණය. ඊළඟට මතුවන ප්රශ්නය වන්නේ පක්ෂය තුළ සිටින රනිල්ට හිතවත් පිල රනිල් අතහැර කරුගේ නායකත්වය පිළිගන්නේද යන්නය. ඔවුන් එය පිළිනොගන්නේ නම් ඒ සඳහා කරු ජයසූරියට සටනක් කරන්නට සිදුවන්නේය. ඊළඟට මුහුණ දෙන්නට සිදුවන ලොකුම ප්රශ්නය වනු ඇත්තේ කරු ජයසූරිය ඒ සඳහා සටනක් කරන්නට සූදානම් ද නැද්ද යන ප්රශ්නයයි.
එජාප නායකත්වයේ වෙනසක් එම පක්ෂයට අවශ්‍ය නම් තෝරාගැනීමට සිටින ඊළඟ නායකයන් අතුරින් හොඳම පුද්ගලයා වනුයේ කරු ජයසූරිය බවට විවාදයක් තිබිය නොහැකිය. ඔහු ගරුත්වය ආරක්ෂා කරගත් දේශපාලකයකු වනවා පමණක් නොව මහජනයාට විකිණිය හැකි නායකයකු ලෙසද සැලකිය හැකිය. ඔහු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සමග ආණ්ඩුවට එකතු වී තනිව නැවත පක්ෂයට ඒම පක්ෂ අර්ථයෙන් ගත් විට ඔහුට තිබෙන ලොකුම කළු පැල්ලම ලෙස සැලකිය හැකිය. ඔහු දේශපාලනයෙන් අයථා ලෙස ධනය උපයාගත් පුද්ගලයකු ලෙස සැලකිය නොහැකිය. නගරාධිපති ධුරයේ සිටියදී හා ඉන්පසුවද තීරු බදු රහිත වාහන ලබා නොගත් එකම දේශපාලකයා ලෙස සැලකිය හැක්කේද ඔහුය. එහෙත් ඒ සුදුසුකම්වලින් පමණක් තිබෙන දේශපාලන සංස්කෘතිය තුළ ප්‍රධාන පක්ෂයක නායකයකු විය නොහැකිය.
එජාප සදාචාරය
එජාපය පෙනී සිටින්නට උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ දරදඬු පාලනයට එරෙහිව රටේ ප්රජාතන්ත්රවාදී නිදහස වෙනුවෙන් සටන් කරන පක්ෂය ලෙසය. එහෙත් ආණ්ඩුව තුළ පෙනෙන්නට තිබෙන දරදඬු හා ප්රජාතන්ත්ර විරෝධී ගති ලක්ෂණ ඊට සමාන ආකාරයකින් ප්‍රධාන විරුද්ධ පක්ෂය වී සිටින ප්රජාතන්ත්රවාදී අර්ථයෙන් විකල්ප ආණ්ඩුව ලෙසද සැලකිය හැකි එජාප තුළද තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. විධායක ජනාධිපති, ධුර කාල දෙකක් අතරතුරදී වෙනස් කළ නොහැකිය. එජාප නායකයාද වෙනස් කළ නොහැකිය. රාජ්‍යය තුළ විධායක ජනාධිපතිට පරම බලයක් ඇත්තේය. එජාප තුළද පක්ෂ නායකයාට පරම බලයක් ඇත්තේය. රාජ්‍යය පාරදෘශ්‍යභාවයෙන් තොරය. එජාපයද පාරදෘශ්‍යභාවයෙන් තොරය. පක්ෂ අරමුදල් හා ඒවා වියදම් කැරෙන ආකාරය පාක්ෂිකයන්ට විවෘත නැත. රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද දරදඬුය. එජාපයේ ව්‍යවස්ථාව ද දරදඬුය. එය නීතියට ඉහළින් සිටින බලයක් පක්ෂ නායකයාට ලබාදී තිබේ. රාජ්‍ය නායකයා බරපතළ වැරදි කරන අවස්ථාවලදී ඔහු ධුරයෙන් ඉවත් කළ හැකි ක්‍රමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් නැත. පක්ෂ නායකයා අසාර්ථක වන විට හෝ වැරදි කරන විට ඔහු ඉවත් කළ හැකි ක්‍රමයක් පක්ෂ ව්‍යවස්ථාවටද ඇතුළත් නැත. මේවා එජාපයට පමණක් ආවේණික ලක්ෂණ ලෙස සැලකිය නොහැකි අතර රටේ අන් හැම දේශපාලන පක්ෂයක් තුළම දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.
රාජ්‍යය අධිපතිවාදිය. එජාපයද අධිපතිවාදිය. එජාප රාජ්‍යයේ කැඩපතක් ලෙස ද පෙරළා රාජ්‍යය එජාපයේ කැඩපතක් ලෙස ද සැලකිය හැකිය. එජාප සිය පාක්ෂිකයන්ට පක්ෂයේ තොරතුරු ලබාගැනීමේ අයිතිය අහිමිකර තිබියදී කරු ජයසූරිය රාජ්‍යයේ තොරතුරු ලබාගැනීමේ අයිතිය දිනාගැනීම සඳහා සටන් කරයි. පක්ෂය සිය පාක්ෂිකයන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් අහිමි කර තිබියදී එම පක්ෂය රටේ ප්රජාතන්ත්රවාදය සඳහා සටන් කරයි. පක්ෂය දූෂිත නම් එහි පාලන කටයුතු සිදුවන්නේ දරදඬු ප්රජාතන්ත්ර විරෝධී අධිකාරිවාදී ස්වරූපයකින් නම් එවැනි පක්ෂයට රටේ මනා පාලනයක් පවත්වාගෙන යෑමට හැකිවන්නේ කෙසේද?
එජාපයේ ගරා හැලීම හා පරිහානිය කෙරෙහි බලපා තිබෙන සාධක අතුරින් ලොකුම සාධකය ලෙස සැලකිය හැක්කේ එක දිගට දීර්ඝ කාලයක් රාජ්‍ය බලයේ සිටි පක්ෂයක් වශයෙන් ඒ කාලයේ එම පක්ෂය අතින් සිදුවූ බරපතළ වැරදි ගැන අවංක කනගාටුවක් හෝ ස්වයං විවේචනයක් එම පක්ෂයට නැතිකමය.
රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය එම පක්ෂයේ නිර්මාණයකි. බලයට පත්වන පාලක පක්ෂයට රට පාලනය කරනවාට අතිරේකව අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ අයිතිය හා බලය ලබාදෙන දේශපාලන ක්‍රමයක් ඇති කොට එය ස්ථාපිත කරන ලද්දේ එම පක්ෂය විසිනි. රාජ්‍ය නායකයා නීතියට යටත් නැති පරම බලයක් ඇති පුද්ගලයකු බවට පත්කළෝද ඔවුහුය. පාර්ලිමේන්තුවට තිබුණු බලය හා ගෞරවය හීන කොට පාර්ලිමේන්තුව රාජ්‍ය නායකයාගේ රබර් මුද්‍රාවක තත්ත්වයට පත් කළෝද ඔවුහුය.
එජාප මෙම දූෂිත ක්‍රමය ගොඩනගන ලද්දේ විරුද්ධ පක්ෂයට බලයට පත්වීමට සාධාරණ ඉඩක් ලැබෙන ආකාරයට නොව, එම පක්ෂයට එක දිගට දීර්ඝ කාලයක් බලයේ ඉඳීමට හැකි ආකාරයටය. අපේක්ෂා කළ තරම්ම දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටීමට හැකිවූයේ නැතත් එක දිගට අවුරුදු 17ක් තරම් දීර්ඝ කාලයක් බලයේ ඉඳීමට එය සමත් විය. වසා තිබුණු ආර්ථිකය විවෘත කිරීම නිසා ආර්ථිකයේ දියුණුවක් ඇති වුවද එම දේශපාලන ක්‍රමය රටේ දේශපාලන ශිෂ්ටාචාරයට ඇති කළ විනාශය දැවැන්තය. දේශපාලනය අයථා ලෙස ධනය උපයාගත හැකි පහසු මාර්ගයක් බවට පත් කළේය. දේශපාලනය රැකවරණය මත කැරෙන වංචාව හා දූෂණය රාජ්‍ය පාලනයේ නිත්‍ය අංගයක් බවට පත් කළේය.
දෛවයේ දඬුවම
1994 එජාප ලැබූ පරාජය කෙරෙහි ලලිත් හා ගාමිණිගේ දෝෂාභියෝග ව්‍යාපාරය, ජනාධිපති ප්‍රේමදාස ඝාතනය නිසා ආණ්ඩුවේ ඇතිවූ ගරාහැලීමත්, ක්රමයේ සුක්කානම හැසිරවීමට විජේතුංග ජනාධිපති තුළ තිබුණු නොදන්නාකමත් බලපෑවේය. එජාපයේ පරාජය මත බලයට පත්වූ පොදු පෙරමුණ ඉන්පසු එක දිගට අද දක්වා බලයේ ඉඳ තිබෙන කාලය අවුරුදු 17කි. එජාප ක්‍රමය නිර්මාණය කර තිබුණේ බල හුවමාරුවකට පහසු ඉඩක් නැති ආකාරයටය. ඒ දුෂ්කරතාව දැන් විඳින්නට සිදුවී තිබෙන්නේ ක්‍රමය නිර්මාණය කළ එජාපයටය. එජාපයට දීර්ඝ කලක් විරුද්ධ පක්ෂයේ ඉන්නට සිදුවී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අදක්ෂ දේශපාලන කළමනාකරණයට වඩා මෙම දේශපාලන ක්‍රමය තුළ බලමාරුවකට තිබෙන ඉඩ ඉතා සීමිත නිසාය. එය එක්සත් ජාතික පක්ෂයේ ආත්මාර්ථකාමයට දෛවය විසින් දෙන ලද දඬුවමක් ලෙසද සැලකිය හැකිය.
විරුද්ධ පක්ෂ නායකයා වශයෙන් දැන් රනිල් වික්‍රමසිංහ මහතා වැටී සිටින අසරණ තත්ත්වයට සමාන අසරණ තත්ත්වයකට එජාප පාලන යුගයේදී සිරිමා බණ්ඩාරනායක මැතිනියද වැටී සිටියාය. ඇයට එරෙහිවද පක්ෂ අභ්‍යන්තරයෙන් විටින් විට කැරලි ඇතිවිය. ඇය එජාප ආණ්ඩුව පරාජය කිරීමට දැන නොසිටියද පක්ෂ ව්‍යවස්ථාවෙන් ඇයට ලැබී තිබුණු අතිවිශාල බලය යොදාගෙන ඒ හැම කැරැල්ලක්ම පරාජය කිරීමට ඇය සමත් විය. ශ්‍රීලනිප බලයට පත්වූයේ එම පක්ෂයේ විශේෂ නිපුණතාවක් නිසා නොව ආණ්ඩුවේ ඇතිවී තිබුණු ගරා හැලීමත්, විජේතුංග ජනාධිපතිවරයාගේ මෝඩකමක් නිසාය. එජාප බලයේ සිටි 17 අවුරුදු දුෂ්කර කාලය තුළ ඉතා දක්ෂ ලෙස නොවූවත් පක්ෂයේ පැවැත්ම අල්ලාගෙන සිටියේ එම පක්ෂයේ නායිකා සිරිමා බණ්ඩාරනායකය. එක දිනයක් හෝ ජනාධිපති පුටුවේ වාඩිවීම ඇගේ දේශපාලන අභිලාෂය වී තිබුණි. අවුරුදු 17කට පසුව එජාප ආණ්ඩුව පෙරළුණද පක්ෂයේ නිල නායකත්වය තිබුණේ ඇයට වුවත් ඇයට එක දිනක් හෝ ජනාධිපති පුටුවේ වාඩිවීමේ වාසනාව හිමිවූයේ නැත. සමහරවිට ඒ ආනිශංසය රනිල් වික්රමසිංහටද සිදුවිය හැකිය. පක්ෂය තුළ පක්ෂ ව්‍යවස්ථාවට කළහැකි දෙයක් නැති අවස්ථාද කලාතුරකින් හෝ ඇතිවිය හැකි බව ඉන් පෙනීයයි.
රනිල් හා සජිත්
එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකයකු අවශ්‍ය වී තිබෙන්නේ ඇයිද කියන ප්රශ්නය සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඇසුවහොත් ඔහු ඊට දෙනු ඇති පිළිතුර කුමක්දැ”යි සිතාගැනීම අමාරු නැත. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රටට සිදුවෙමින් තිබෙන විනාශය ඔහු පළමුවෙන්ම විස්තර කරනු ඇත. ඉන්පසු රනිල් වික්‍රමසිංහ නිසා පක්ෂයට සිදුවී තිබෙන විනාශය විස්තර කරනු ඇත. රට ගලවා ගැනීමට නම් අක්රියකාරී තත්ත්වයකට පත්ව තිබෙන පක්ෂ හා පාක්ෂිකයන් ක්‍රියාකාරී තත්ත්වයකට ගෙනායුතු බවත් ඒ සඳහා රනිල් නායකත්වයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු කියනු ඇත.
පක්ෂ නායකත්වයේ වෙනසක් සඳහා දිගින් දිගට අභ්‍යන්තර කැරලි ඇතිවන තත්ත්වයක් තිබියදීත් පක්ෂ නායකත්වය අතනෑර නායකත්වයේ එල්ලී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයිදැ”යි රනිල් වික්‍රමසිංහගෙන් විමසුවහොත් ඔහු ඊට දෙනු ඇති පිළිතුර ද සිතාගැනීමට අමාරු නැත. ඔහුද මහින්ද රාජපක්ෂ පාලනයෙන් රටට සිදුවී තිබෙන විනාශය ගැන පළමුවෙන් කතා කරනු ඇත. නිසි අවස්ථාව එළැඹෙන තෙක් පක්ෂය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම ගැන ඊළඟට කතා කරනු ඇත. කැරලිකාරයන් හොඳ යූඑන්පීකාරයන් නොවන බවත්, ඔවුන්ට සැඟවුණු න්‍යාය පත්‍ර ඇති බවත් මීට පෙර කැරලි ගැසූ බොහෝ දෙනෙකු රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුවන් වී සිටීමෙන් ඒ බව තහවුරු වන බවත් නිසි අවස්ථාව එළැඹෙන තෙක් ඉවසීමෙන් බලා සිටි ජේ.ආර්. ජයවර්ධන අවසානයේ පක්ෂය ජයග්‍රාහී තත්ත්වයකට ගෙනා ආකාරයටම නිසි අවස්ථාව එළැඹුණු විට තමාද පක්ෂය ජයග්‍රාහී තත්ත්වයකට ගෙන එන බවත් එතෙක් ඉවසීමෙන් ක්‍රියාකිරීමේ වැදගත්කම අවධාරණය කරනු ඇති බවත් සිතිය හැකිය.
ඉන්පසු මේ දෙදෙනා වෙන් වෙන්ව හමුවී එජාප ආණ්ඩුවක් ඇති කරගැනීමට අවශ්‍ය වී තිබෙන්නේ ඇයිද කියා විමසුවහොත් වේගයෙන් විනාශවෙමින් තිබෙන රට ඒ තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා රටට එජාප ආණ්ඩුවක් අවශ්‍ය වී තිබේයැ”යි කියනු ඇත. දූෂණය හා භීෂණය අවසන් කොට සාමකාමී හා ප්රජාතන්ත්රවාදී රටක් ඇති කරන බවත් දෙදෙනා විසින්ම ඔවුන්ට උචිත ආකාරවලින් කියනු ඇත. රාජපක්ෂ පාලන කාලය තුළ සිදුවී තිබෙන දූෂණ ගැන සොයා බලා ඒවාට වගකිවයුත්තන් ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය ඉදිරියට පමුණුවන බවත් දෙදෙනාම කියනු ඇත.
කරන්න බලාගෙන සිටින මේ සියලු හොඳ දේවල් බලයේ සිටි 17 අවුරුදු පාලන කාලය තුළ නොකළේ ඇයිදැ”යි ප්‍රශ්න කළහොත් දෙදෙනාම තරමක් අන්දමන්ද විය හැකිය. ප්රශ්නය මගහරින්නට දෙන පිළිතුරකින් සෑහීමට පත් නොවී රාජපක්ෂ පාලන කාලයට පමණක් සීමා නොවී චන්ද්‍රිකාගේ 11 අවුරුදු පාලන කාලය හා එජාපයේ 17 අවුරුදු පාලන කාලය ද ඇතුළත් වන ලෙස ඒ කාලවල සිදුවූ දූෂණ හා වංචා ගැන කරුණු සොයා බලා වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනඑන්න සූදානම්දැ”යි ප්‍රශ්න කළොත් දෙදෙනාටම ඊට දෙන්නට හොඳ පිළිතුරක් තිබෙනු ඇතැ”යි සිතිය නොහැකිය. ප්‍රශ්න කිරීම තවදුරටත් ඉදිරියට ගෙනයමින් ආණ්ඩු බලය ලබන පක්ෂයට රට පාලනය කරනවාට අතිරේකව අයථා ලෙස වස්තුව හම්බ කිරීමේ අයිතිය හා බලය ලබාදෙන හා රාජ්‍ය පාලකයාට නීතියට යටත් නැති පරම බලයක් ලබාදෙන දූෂිත දේශපාලන ක්‍රමයක් ඇති කළේ එජාපය නොවේද කියන ප්රශ්නය මතු කරන අතර ඒ දූෂිත ක්‍රමය වෙනස් කරන්නේද වෙනස් කරන්නේ නම් ඒ වෙනුවට ඇති කරන්නට යන නව ක්‍රමය කුමක්දැ”යි ප්‍රශ්න කළහොත් දෙදෙනාම පිළිතුරු දිය නොහැකි අසරණ තත්ත්වයකට පත්වනු නොඅනුමානය.
විකල්පයක් වීමට නම්
එජාපයට මේ ආණ්ඩුවට එරෙහිව සාර්ථක හා ප්රජාතන්ත්රවාදී විකල්පයක් වීමට අවශ්‍ය නම් පළමු කොට ඔවුන් තමන්ගේ 77 අවුරුදු පාලනය ගැන අවංක ස්වයං විවේචනයකට යායුතුය. මේ රටේ දේශපාලන සදාචාරය තුළ එතෙක් පැවති සියලු හොඳ වටිනාකම් බුල්ඩෝසර කිරීමට හේතුවන නීතියේ පාලනය ඔළුවෙන් සිටුවන දූෂිත දේශපාලන ක්‍රමයක් ඇති කිරීම ගැන මහජනයාගෙන් සමාව ගත යුතුය. පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමත විචාරණයක් මගින් දීර්ඝ කරගැනීමේ ක්‍රියාව, ජනාධිපති ක්‍රමයකට බර තබන ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම තවදුරටත් ඉතිරි වී තිබූ ප්රජාතන්ත්රවාදී වටිනාකම් ඝාතනය කිරීමේ අරමුණින් කැරුණු සාහසික ආක්‍රමණයක් ලෙස සැලකිය හැකිය. ඔවුන් විසින් කරන දේවල් අතර තිබෙන නරකම දේ ලෙස සැලකිය හැක්කේ රාජ්‍ය පාලකයා නීතියට ඉහළින් සිටින තත්ත්වයක් ලබාදී ආණ්ඩු බලය ලබන පාලක පක්ෂයට රට පාලනය කිරීමේ බලයට අතිරේකව අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ අයිතිය හා බලයද ලබාදීමය. දේශපාලන බලය සඳහා කැරෙන තරගය රටේ යහපත පිණිස කැරෙන දෙයක් නොවී අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ අරමුණ වෙනුවෙන් කැරෙන සාහසික හා කැත තරගයක් බවට හැරී ඇත්තේ ඒ නිසාය. මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ පමණක් නොව, 1977 සිට අද දක්වාම බරපතළ වැරදි කරන පාලක පක්ෂයට සම්බන්ධ කවර පුද්ගලයකුවත් නීතිය ඉදිරියට ගෙන ඒමට නොහැකි වී තිබෙන්නේ ද ඒ නිසාය. එජාපයට අර්ථවත් විකල්පයක් බවට පත්වීමට අවශ්‍ය නම් බාහිර ලෝකයේ ජීවත් වන යක්ෂයන් එලවන තැනකට යන්නට පෙර ඔවුන් තම අභ්‍යන්තරයේ ජීවත් වන යක්ෂයන් පලවා හැරිය යුතුය. පිටස්තර යක්ෂයන් පලවා හැරීමේ සදාචාරමය අයිතිය ඔවුන්ට ලැබෙනු ඇත්තේ එවිටය. සැබෑ ප්රශ්නය වනු ඇත්තේ එජාප වැනි පක්ෂයකට අභ්‍යන්තරයේ එවැනි අවංක වෙනසක් ඇති කරගත හැකිද යන්නය.