සංවර්ධනය යන්නෙන් මා අදහස් කරන්නේ ඕනෑම ක්ෂේත්‍රයක ඇතිවන දියුණුව හෝ ප්‍රගතියටය. එය පොදුවේ රටකට අදාළ කරගත හැකිවා සේ ම ආර්ථිකය, දේශපාලනය, සෞඛ්‍ය, ගමනාගමනය, අධ්‍යාපනය, විද්‍යාව, පරිසරය, අධ්‍යාත්මික යන ඕනෑම අංශයන් සඳහා ද අදාළ කරගත හැකිය. මා කතා කරන්නට අපේක්ෂා කරන්නේ ඒ ක්‍රියාවලියේදී ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය කුමක් විය යුතුද යන්නයි.
ජනමාධ්‍යවේදියාගේ සමාජ කාර්යභාරය පිළිබඳව පිළිගත් සම්මත අර්ථකථනයක් තිබෙනවා. ජනමාධ්‍යවේදියා සමාජයට අවශ්‍ය තොරතුරු සපයන වැදගත් මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරනවා. රටක සිදුවන දේවල් පිළිබඳව හරි චිත්‍රයක් මහජනයාට ලබාදීමට ජනමාධ්‍යවේදීන් වෙත පැවරී තිබෙන එක සමාජ වගකීමකි. ඔවුන් සමාජයට ලබාදෙන චිත්‍රය සාධාරණ හා පරිපූර්ණ එකක් විය යුතුය. ඒ සමග මතවාදී ව්‍යාපාර පෝෂණය කිරීමට හේතුවන ලෙස එම මතවාදී ව්‍යාපාරවලට වේදිකාවක් ලෙස ක්‍රියාකිරීමත් ඔවුන් සතු වගකීමකි.
වොරන් බෆට්
ජනමාධ්‍යවේදියා පිළිබඳව තිබෙන මෙම සාම්ප්‍රදායික පිළිගත් අර්ථකථනයකට තරමක් වෙනස්ව ජනමාධ්‍යවේදියා පිළිබඳව වොරන් බෆට් ඉදිරිපත් කර තිබෙන අර්ථකථනය කෙරෙහිද ජනමාධ්‍යවේදීන්ගේ සැලකිල්ල යොමුවිය යුතුය කියා මා සිතනවා.
වොරන් බෆට් ඇමරිකාවේ ජීවත් වන පළමු පෙළේ ධනපති ව්‍යාපාරිකයෙකි. ඔහු ජනාධිපති ඔබාමාගේ ආර්ථික උපදේශකයකු ලෙසද ක්‍රියාකරනවා. වොරන් බෆට් විශාල ලෙස දනය උපයා ඒ ධනය තමන් වෙත තබාගෙන වියදම් අධික ජේත්තුකාර ජීවිතයක් ගත්කරන ධනවතකු නොවෙයි. උපයන ධනයෙන් වැඩි කොටසක් සමාජ යහපත වෙනුවෙන් යොදවා අල්පේච්ඡ ජීවිතයේ ගතකරන ධනවතෙකි. සමාජ දියුණුවට ධනය උත්පාදනය කිරීම අත්‍යවශ්‍ය බවත්, එහෙත් ඒ ධනය සමාජ දියුණුව පිණිස යොදාගැනීමෙන් මිස පුද්ගලිකව ගොඩගසා ගැනීමෙන් හෝ පුද්ගලිකව පරිහරණය කිරීමෙන් ප්‍රීතියක් ඇති කරගත නොහැකියි කියා විශ්වාස කරන විශේෂ පුද්ගලයෙක් ලෙස ඔහු හැඳින්විය හැකියි.
වොරන් බෆට්ට අනුව ජනමාධ්‍යවේදියා යනු සමාජයට උගන්වන ගුරුවරයෙකි. සාමාන්‍ය ගුරුවරයා පන්ති කාමරයක සිට ශිෂ්‍ය පිරිසකට උගන්වනවිට ජනමාධ්‍යවේදියා සමාජයට උගන්වන ගුරුවරයකු වේ නම් ඔහු නිසි උගත්කමක් ඇති, නිසි පුහුණුවක් ඇති දැනුමෙන් පිරුණු මිනිසකු විය යුතුය. එහෙත් සමාජයට උගන්වන ගුරුවරයා දැනුමෙන් පිරුණු කෙනකු නොවේ නම්, නිසි උගත්කමක් නැති කෙනකු වේ නම්, නිරන්තරයෙන් සිය දැනුම වැඩි දියුණු කරගැනීම සඳහා ක්‍රියාකරන පුද්ගලයකු නොවේ නම් එවැනි ජනමාධ්‍යවේදීන් සහිත සමාජයක් අවුලට ගිය සමාජයක් වනු නොවැළැක්විය හැකිය.
සංවර්ධනය හැමදාමත් විවාදයට හේතුවී තිබෙන විෂය ක්ෂේත්‍රයක් ලෙස සැලකිය හැකිය. දියුණුව හා ප්‍රගතියට එක් අර්ථකථනයක් නොව අර්ථකථන විශාල සංඛ්‍යාවක් තිබිය හැකිය. ඒ ගැන ලෝකයේ හැමදාමත් විශාල වාද විවාද තිබුණේය. වර්තමානයේදීද එවැනි වාද විවාද ඇත්තේය.
රූසෝ හා වෝල්ටයාර්
ඒ ගැන ප්‍රංශ විප්ලව කාලයේ, එකල ලෝකයේ සිටි ප්‍රධාන දාර්ශනිකයන් දෙදෙනා අතර ඇතිවූ අදහස් හුවමාරුවකින් මෙම සාකච්ඡාව ආරම්භ කිරීමට මම කැමැත්තෙමි. ප්‍රංශ විප්ලවයේ දාර්ශනිකයා ලෙස සැලකෙන්නේ රූසෝය. මිනිසුන් යදමින් බැඳ දමා ඇතැ”යි කියන මතය ඉදිරිපත් කළ දාර්ශනිකයා ඔහුය. නූතන ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඔහුගේ අදහස්ද බලපා තිබේ. දේශපාලන විද්‍යාවේ එන සමාජ ගිවිසුම් න්‍යාය ඉදිරිපත් කළ පුද්ගලයා වන්නේද ඔහුය.
රූසෝ දුප්පත් හා නන්නත්තාර සමාජ පසුබිමකින් කරලියට ආ දාර්ශනිකයා ලෙසද සැලකිය හැකිය. ඔහු ඉතා බලවත් අදහස් පළ කළ දාර්ශනිකයකු වුවත් විධිමත් ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලැබූ අයකු නොවීය. ප්‍රංශ විශ්වවිද්‍යාලයත් “මානව වර්ගයා දියුණුවක් අත් කරගෙන තිබේද?” යන මාතෘකාව යටතේ පවත්වන ලද රචනා තරගයකට රූසෝ ඉදිරිපත් වී රූසෝගේ රචනයට එම තරගයේදී ප්‍රථම ස්ථානය හිමිවිය. රූසෝ බලවත් හා ප්‍රසිද්ධ පුද්ගලයකු බවට පත්වීම ආරම්භවන්නේ ඒ සමගය. රූසෝ සිය රචනයෙන් තර්ක කළේ මිනිසා ලබාගෙන තිබෙන දියුණුව දියුණුවක් ලෙස සැලකිය නොහැකි බවය. මිනිසා දියුණුවේ නාමයෙන් විශාල විනාශයක් ඇති කර තිබෙන බවත්, මිනිසා තමන් අත්පත් කරගෙන තිබෙන දියුණුව අතහැර පරිසරය සමග සහයෝගයෙන් එකට ජීවත් වූ පැරණි වනචාරී යුගයකට නැවත යායුතු බවටත් ඔහු එහි තර්ක කළේය.
රූසෝගේ යුගයේදී ප්‍රංශයේ සිටි ප්‍රකට හා පිළිගත් දාර්ශනිකයා වූයේ වෝල්ටෙයාර්ය. රූසෝ සිය ජයග්‍රාහී රචනයේ පිටපතක් වෝල්ටෙයාර් වෙත යැවීය. වෝල්ටෙයාර් එය කියවා බලා ඒ ගැන සිය අදහස් ඇතුළත් කෙටි සටහන් රූසෝ වෙත යැවීය. ඒ සටහනේ එන අදහස් මෙසේය.
““මනුෂ්‍ය වර්ගයා සිය දියුණුව අතහැර පරිසරය සමග එකට ජීවත් වූ පැරණි ලෝකය වෙත යායුතු බව කියන ඔබගේ රචනය මම කියවීමි. මා වියපත් මිනිසකු වන බැවින් දෙපයින් යෑමේ පුරුද්ද අතහැර බඩගාගෙන යෑමේ පැරණි පුරුද්ද නැවත ඇති කරගැනීමේ හැකියාවක් මට නැත. නැවත බඩගාගෙන යෑමේ පුරුද්ද ඇති කරගැනීමට ඔබ දක්වන උනන්දුවට සුබ පතමි.””
එයින් පෙනෙන්නේ දියුණුව හා ප්‍රගතිය හැමදාමත් විවාදයට හේතුවූ උණුසුම් මාතෘකාවක් වූ බවය.
කාබනික හා රසායනික පොහොර
කෘෂිකර්මයේදී කාබනික පොහොර හා රසායනික පොහොර භාවිතයද විවාදයට හේතුවී තිබෙන මාතෘකාවකි. ලෝකයේ තිබෙන බඩවල් සංඛ්‍යාවට වඩා ඉඩම් තිබුණු යුගයක් අතීතයේදී තිබුණි. ඒ කාලයේ මිනිස්සු ඉඩමක් වසරක් වගා කොට එය නිසරු වූ පසු ඒ ඉඩම වගා කිරීම කලකට අතහැර අලුත් ඉඩමක් වගා කිරීම මගින් පස නිසරුවීම පිළිබඳ ප්‍රශ්නය විසඳා ගත්තේය.
එහෙත් ජනගහනයේ ඇතිවූ ශීඝ්‍ර ව්‍යාප්තිය හා වගා කිරීමට තිබෙන ඉඩම් සීමාසහිතවීම හේතු කොටගෙන පැරණි වගා ක්‍රමය අතහැර තමන්ට හිමි කුඩා භූමියේ හැමදාමත් වගා කරන වගා ක්‍රමයකට මාරුවීමට මනුෂ්‍ය වර්ගයාට සිදුවුණි. ඒ වනවිට ඉඩම්වල ප්‍රමාණය සීමාසහිත වී ඒ සීමාසහිත ඉඩම්වලින් යැපෙන බඩවල්වල සංඛ්‍යාව විශාල වී තිබුණි. හැමදාමත් එක තැන වගා කිරීම නිසා නිසරු වන භූමිය සාරවත් කිරීමට අවශ්‍ය තරම් විශාල කාබනික පොොහර තොග නිපදවීම හා සොයා ගැනීම දුෂ්කර වීම නිසා ඒ අඩුව සපුරා ගැනීම සඳහා අලුත් ක්‍රම සොයාගන්නා තැනකට යන්නට මනුෂ්‍ය වර්ගයාට සිදුවිය. රසායනික පොහොර භාවිතය ඇතිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
රසායනික පොහොරවලට වඩා කාබනික පොහොර ප්‍රශස්ත බවට සැකයක් තිබිය නොහැකිය. එහෙත් තිබෙන ප්‍රශ්නය වනුයේ වගා කිරීමේදී සිදුවන පසේ නිසරුභාවය මුළුමනින් අහෝසි කිරීමට අවශ්‍ය තරම් කාබනික පොහොර නිපදවීමේ හැකියාවක් ලෝකයට නැතිකමය. රසායන පොහොර කිලෝ 10කින් කරන කාර්ය සඳහා කාබනික පොහොර හොණ්ඩර 200ක් පමණ අවශ්‍ය විය හැකිය. තමන් විසින්ම නිපදවා නොගත්තේ නම් කාබනික පොහොරවලට යන වියදමද රසායනික පොහොර වියදමට වඩා වැඩිය. යුරෝපයේ කාබනික එළවළු හා පලතුරුවල මිල සාමාන්‍ය එළවළු හා පලතුරුවලට වඩා හතරපස් ගුණයක් මිලය. ඒ නිසා ඒවා මිලදී ගැනීමේ හැකියාව ලැබී ඇත්තේ සල්ලිකාරයන්ට පමණය.
රසායනික පොහොර භාවිතය නිසා මිනිසුන්ට වස විස කන්නට සිදුවී රෝගී මිනිස් සමාජයක් බිහිවී ඇතැ”යි කියන කතාව හැඟීම්බර වුවත් එහි ලොකු ඇත්තක් නැත. කාබනික පොහොරවලට සීමාවී තිබූ අතීත ලෝකයේ මිනිසුන්ගේ පරමායුෂ කාලය වඩා රසායනික පොහොර භාවිත කරන වර්තමාන මිනිසාගේ පරමායුෂ කාලයට අඩුවී නැත. ඇත්තටම අතීත මිනිසාගේ පරම ආයුෂ කාලයට වඩා වර්තමාන මිනිසාගේ පරමායුෂ කාලය වැඩිවී තිබේ. මිනිසාගේ පරම ආයුෂ කාලය අවුරුදු 40ක මට්ටමක තිබුණු යුගයක්ද තිබුණි. එහෙත් අද එය අවුරුදු 70 දක්වා වර්ධනය වී තිබේ. අනාගතයේදී එය තවත් වැඩිවිය හැකිය.
මා මින් කියන්නට යන්නේ කාබනික පොහොරවලට වඩා රසායනික පොහොර හොඳ බව නොවේ. කාබනික පොහොර වඩා හොඳ වුවත් කාබනික පොහොරවලට පමණක් සීමාවී වර්තමාන සමාජයේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් සපුරාගත නොහැකි බවය. අප රසායනික පොහොර භාවිත කළයුත්තේ එය පසේ සංයුතියට ඇති කරන හානිය ගැන අවබෝධයකින් යුතුව ඒ හානිය අවම කිරීමට හේතුවන ආකාරයටය. ජනමාධ්‍යවේදීන් මෙම සංකීර්ණ විෂය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව රසායන පොහොර භාවිතයෙන් මුළුමනින් ඈත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින තැනකට ගියහොත් ඒ මගින් සමාජයට ඇති කරන බලපෑම විනාශකාරීය.
රුබෙල්ලා එන්නත
දැන් අපට මෙම ප්‍රශ්නය තවත් කෝණයකින් සලකා බැලිය හැකිය. ඔබ සියලුදෙනා රුබෙල්ලා එන්නත ගැන අසා ඇතැ”යි සිතමි. රුබෙල්ලා එන්නත විසවී එක් ශිෂ්‍යාවක් මරණයට පත්වීමෙන් ඇතිවූ ආන්දෝලනය ගැනද දන්නවා ඇතැ”යි සිතමි. එම මරණය, දෙන ලද එම එන්නතේ වරදක් නිසා ඇති වූවක් විය හැකිය. නැතිනම් ඇගේ ශරීරයේ තිබූ විශේෂ තත්ත්වයක් නිසා එසේ වූවා විය හැකිය. ඕනෑම හොඳ ඖෂධයක් ලක්ෂ ගණනක් අතුරින් එක් අයකුට විසවිය හැකිය. සමහරවිට ඒ නිසා ඔහු හෝ ඇය මරණයටද පත්විය හැකිය.
එහෙත් එවැනි එක් ඛේදජනක සිද්ධියක් නිසා ඒ හොඳ ඖෂධයට ලැබෙන වැදගත්කම අහෝසි වන්නේ නැත.
රුබෙල්ලා එන්නත වැදගත් වන්නේ කාන්තාවන්ටය. ජර්මන් සරම්ප රෝගය නිසා විකෘති දරු උපත් ඇතිවිය හැකි අතර එය මැඬලීම රුබෙල්ලා එන්නතේ අරමුණ වේ. විකෘති දරු උපත් ඇතිවූ විට එවැනි දරුවන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට මුහුණ දෙන්නට සිදුවන අවාසනාවන්ත තත්ත්වය ගැන මා ඔබට අමුතුවෙන් කියා දිය යුතු නැත.
එන්නත විසවීමෙන් සිදුවූ ශිෂ්‍යයාවගේ මරණය හා එම අවාසනාවන්ත මරණය කෙරෙහි බලපෑ හේතු සාකච්ඡාවට ලක්කිරීමේ වගකීමක් ජනමාධ්‍යවේදීන්ට තිබුණත්, ඒ හැම දෙයක්ම ඔවුන් කළ යුතුව තිබුණේ රුබෙල්ලා එන්නත පිළිබඳව අනියත භීතියක් මහජන සිත් තුළ ඇති නොවන ආකාරයටය. එහෙත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් මෙම සිද්ධිය වාර්තා කළේද, නැවත එම ප්‍රශ්නය සාකච්ඡාවට ලක් කළේද රුබෙල්ලා එන්නත පිළිබඳව විශාල බියක් මහජනයා තුළ ඇති කිරීමට හේතුවන ආකාරයටය. ඒ නිසා ඇතිවූ නරක ඵලයක් වූයේ රුබෙල්ලා එන්නත භාවිත කරන්නෙන්ගේ අනුපාතිකය ශීඝ්‍ර ලෙස පහළ වැටීමය. එය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මහජන සෞඛ්‍ය විෂයේදී ඉතාමත් පසුගාමී ආකාරයකින් ක්‍රියා කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
ජනමාධ්‍යවේදීන් තමන් නොදන්නා මෙවැනි සංකීර්ණ විෂයක් ගැන ලියන්නට හෝ කතා කරන්නට පෙර එම විෂය පිළිබඳව මූලික අවබෝධයක් ලබාගත යුතුය. රුබෙල්ලා එන්නත කුමක්ද ඒ එන්නත ලබාදීමෙන් අරමුණු කරන්නේ කුමක්ද යන්න ගැන ඒ විෂය ගැන දන්නා උගතුන් හා වෛද්‍යවරුන් සමග සාකච්ඡා කළ යුතුව තිබුණි. නැතිනම් ඒ විෂය ගැන ලියැවී ඇති දේවල් කියවිය යුතුව තිබුණි. එහෙත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් එම ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන තැනකට ගියේ ඒ ගැන එවැනි විෂය අවබෝධයක් නැතිවය.
මැදපෙරදිග ගෘහ සේවය
මැදපෙරදිග ගෘහ සේවිකාවන් පිළිබඳ ප්‍රශ්නයද ජනමාධ්‍යවේදීන් විෂය අවබෝධයකින් තොරව ලියන ජනප්‍රිය මාතෘකාවකි.
මැදපෙරදිග රටවල හා වෙනත් විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් සංක්‍රාම ආදායම ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයන ප්‍රධානම මාර්ගය ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ජනගහනය මිලියන 1.8කි. මුළු විදේශීය සේවා නියුක්තියෙන් කාන්තා දායකත්වය 70%කි. 2009 වසරේදී විදේශ සේවා නියුක්තියෙන් ශ්‍රී ලංකාව උපයන ලද සංක්‍රාම ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 3330කි. රෙදිපිළි හා ඇඟලුම් අපනයනයෙන් එම වසරේ ඉපැයූ විදේශ විනිමය ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 3274කි. තේ අපනයනයෙන් එම වසරේ උපයන ලද විදේශ විනිමය ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 1185කි. රබර් අපනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 99කි. විදේශ විනිමය ආදායම් ඉපයීමේදී විදේශ සේවා නියුක්තියෙන් උපයන විනිමය ආදායම පළමු ස්ථානය හිමි කරගෙන තිබෙන බව ඉන් පෙනේ.
විදේශීය රැකියා කරන්නන් අතර කාන්තා පංගුව විශාලය. ඒ අතරින්ද ප්‍රධාන වන්නේ ගෘහ සේවයයි. ඊළඟට ප්‍රධාන තැන ගෙන ඇත්තේ ඇඟලුම් කර්මාන්ත සේවයයි.
ශ්‍රී ලංකාවට මේ මට්ටමෙන් හෝ ජේත්තුකාර ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය හැකියාව ලැබී ඇත්තේ මැදපෙරදිග රටවල ගෘහ සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් නිසාය. ඔවුන්ගේ දාඩිය ශ්‍රමය රටේ ප්‍රගතියට හේතුවී ඇතත්, රටේ ජනතාව තුළ ඔවුන් කෙරෙහි ඇත්තේ පිළිකුලකි. රටේ ජනයා ඔවුන් දන්නේ රටේ හොඳ නම කැත කරන පිරිසක් වශයෙනි. ඔවුන් පිළිබඳව ජනතාව අතර පවතින වැරදි මතය ජනමාධ්‍ය හා ජනමාධ්‍ය විසින් සමාජය මත පටවන ලද මතයක් ලෙස ද සැලකිය හැකිය.
විදේශ රටවල හා ගෘහ සේවය හා ඇඟලුම් සේවයට යන්නේ දුප්පත්ම පවුල්වල ජනයාය. ඔවුන් එසේ කරන්නේ ඔවුන් ජීවත් වන අසරණ හා කටුක ජීවිතය ජයගැනීමට තෝරා ගැනීමට ඔවුන්ට තිබෙන මාර්ගයක් ලෙස සලකාය.
මැදපෙරදිග ගෘහ සේවයට යන සියලු කාන්තාවන් එහිදී දූෂණයට ලක්වන්නේ නැත. ඒ සියලුදෙනා නින්දා අපහාස කිරීම්වලට හෝ පහරදීම්වලට ලක්වන්නේද නැත. එහි යන සියලුදෙනාගේ ජීවිත ඒ නිසා කාලකණ්ණි වන්නේ නැත. ජීවිත අසාර්ථක කරගත් පිරිසක්ද සිටිනමුත් වැඩි පංගුවක් වඩා හොඳ ජීවිත ගත කරන තතත්වයක් දිනාගැනීමට සමත් වී ඇතැ”යි කිව හැකිය. ඔවුන්ගේ එම ක්‍රියාමාර්ගය රටේ දුප්පත්කමේ හා විරැකියා ප්‍රශ්නයේ බර හෑල්ලු කිරීමට හේතුවී තිබේ.
එහෙත් මැදපෙරදිග ගෘහ සේවයට යන අය අතරින් කිසියම් සුළු පිරිසක් අතවර කිරීම්වලට ලක්වන්නේය. පහරදීම්වලට ලක්වන්නේය. ජීවිත කාලකණ්ණි කරගන්නේය. එහෙත් එය සමස්ත චිත්‍රය නොව සමස්ත චිත්‍රයට ඇතුළත් පුංචි කොටසක් පමණය. එහෙත් ජනමාධ්‍යවේදීන් එම පුංචි කොටස දක්වන්නේ සමස්ත චිත්‍රය වශයෙනි. ඔවුන් ඒ නිසා සිදුවී තිබෙන නරක ගැන කතා කරනමුත් වැඩියෙන් සිදුවී තිබෙන හොඳ ගැන කතා කරන්නේ නැත. කාලකණ්ණි වූ ජීවිත ගැන කතාකරනමුත් සාර්ථක කරගත් ජීවිත ගැන කතා කරන්නේ නැත.
මැදපෙරදිග ගෘහ සේවයට අනුබල දිය යුතු නැත. එහෙත් අන්ත දුප්පත්කමින් අත්මිදීමට ප්‍රමාණවත් තරම් විකල්ප මාර්ග ඇති කරන තෙක් ඔවුන්ගේ එම ගමනට බාධා නොකළ යුතුය. ඔවුන් එහි යන්නේ අවධානමක් ඇති බව දැනගෙනය. අන්ත දුප්පත්කමෙන් අත්මිදීමට ඔවුන්ට තෝරා ගැනීමට ඔවුන් දන්නා එකම මාර්ගය එයවීම නිසාය. ජනමාධ්‍යවේදීන් ඔවුන්ගේ ප්‍රශ්න වාර්තා කළයුත්තේද සාකච්ඡාවට ලක් කළ යුත්තේද ඔවුන් කෙරෙහි පිළිකුලක් හෝ අවඥාවක් ඇති කරන ආකාරයට නොව ඔවුන් කෙරෙහි මහජනයා තුළ සානුකම්පිත හැඟීමක් ඇති කිරීමට හේතුවන ආකාරයටය.
දේශපාලන ආකල්ප
සංවර්ධනයට අදාළ ප්‍රශ්න දෙස බැලීමේදී අපගේ දේශපාලන ආකල්ප අපට ඇත්ත දැකීමට තිබෙන හැකියාව සීමා කරන සාධකයක් ලෙස ක්‍රියා කළ හැකිය. මගේම අත්දැකීම අනුව කියන්නේ නම් ප්‍රේමදාස ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ ඇඟලුම් කම්හල් 200ක් ගමට ගෙනයෑමේ වැඩපිළිවෙළ ආණ්ඩු විරෝධී පුද්ගලයකු ලෙස මට එදා පෙනුණේ කිසිම තේරුමක් නැති, සම්පත් නාස්ති කරන ඵලදායී නොවන ශෝභන වැඩපිළිවෙළක් ලෙසය. එහෙත් එය ඊට වඩා ගැඹුරු දැක්මක් ඇති වැඩපිළිවෙළක් බව මා පසක් කරගන්නේ ඉන් බොහෝ කලකට පසුවය. ඇඟලුම් කර්මාන්තශාලාවල රැකියාවලට ඇදී ආවේ ගම්බද දුප්පත් බොහෝවිට පීඩිත කුලවලට අයත් තරුණයන්ය. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හල්වලට එන තරුණියන්ට තමන් ජීවත් වන ගමෙන් ඉවත් වී නගරවල බෝඩින්කාර ජීවිතයක් ගතකිරීමට සිදුවිය. ඒ තත්ත්වය ඔවුන්ගේ ජීවිත වඩා දුෂ්කර කිරීමට හේතුවී තිබුණා සේ ම ඔවුන්ගෙන් අයුතු ඵල ප්‍රයෝජන ලබාගත හැකි වටාපිටාවක්ද ඇති කර තිබුණේය. ඇඟලුම් කම්හල් ගමට ගෙනයෑමෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයා අපේක්ෂා කළේ තමන්ගේ ගම්වල පවුලේ අය සමග ජීවත්වෙමින් තම නිවසේ සිට වැඩට යාහැකි තත්ත්වයක් ඇති කරදීමය. එය ඵලදායී සහ අගේ කළයුතු වැඩසටහනකි.
නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානත්වය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට හිමිවීමෙන් පසු ඔහු දියත් කරන ලද පදික වෙළෙඳුන් කොළඹ නගරයේ මහා මාර්ගවලින් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ විවේචනයට ලක්කිරීමේදීද එම විවේචනයන් කෙරෙහි දේශපාලන අගතිය බලපෑ බව පෙනෙන්නට තිබේ. පදික වෙළෙඳුන් හා ඔවුන්ගේ අනවසර ඉදිකිරිම් නගරවලින් ඉවත් කිරීම ලංකාවට පමණක් ආවේණික දෙයක් නොව, ලෝකයේ බොහෝ දියුණු රටවල දියුණුවේ එක අවස්ථාවකදී ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තියකි. ඊට අදාළව කොළඹ නගරයේ ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළේදී පදික වෙළෙඳුන්ගේ අනවසර ඉදිකිරීම් ඉවත් කොට ප්‍රධාන මාර්ග නිදහසේ ගමන් ගමන් කළහැකි තත්ත්වයකට ගැනීමෙන් නොනැවතී පදික වේදිකාවෙන් ඉවත් කරන ලද වෙළෙඳුන්ට සිය වෙළෙඳාම පවත්වාගෙන යෑම සඳහා වඩා හොඳ විකල්ප වෙළෙඳපොළ ක්‍රමයක් ඇති කර දුන්නේය. එසේ ඇති කරදෙන ලද විකල්ප වෙළෙඳපොළ ක්‍රමය තුළ වෙළෙඳුන්ගේ දෛනික ආදායම පෙර පැවති තත්ත්වයට වඩා ඉහළ ගිය බව පදික වෙළෙඳුන් දරන පොදු මතය වී තිබේ.
එහෙත් අපේ රටේ ජනමාධ්‍යවේදීන් පදික වෙළෙඳුන් පදික වේදිකාවලින් ඉවත් කිරීමේ වැඩපිළිවෙල හැඟීම්බරව වාර්තා කරන පිළිවෙතක් අනුගමනය කළා විනා ඔවුන්ට අලුතෙන් ලබාදෙන ලද විකල්ප වෙළෙඳපොළ ක්‍රමයේ සාර්ථකත්වය ගැන ප්‍රමාණවත් තරමින් මහජනයාට දැනුම් දුන්නේ නැත.
කොළඹ නගර සංවර්ධනය
කොළඹ නගරය විධිමත් කිරීම සඳහා පැල්පත්වාසීන් හා අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ වාර්තා කරමින් තිබෙන්නේද එය සිත්පිත් නැති සාහසික ක්‍රියාවලියක් ලෙසය. රටේ අගනුවර වශයෙන් කොළඹ නගරයෙන් පැල්පත්වාසීන් හා අනවසර පදිංචිකරුවන් ඉවත් කළ යුතුය. අනවසර ඉදිකිරීම් ද ඉවත් කළ යුතුය. නගරයේ අලංකාරය, විධිමත්භාවය හා ප්‍රගතිය සඳහා එය අවශ්‍ය කොන්දේසියකි. ඒ සමග එවැනි වැඩපිළිවෙළක් සාධාරණ විය හැක්කේ ඒ නිසා නිවාස අහිමිවන සියලුදෙනාට වඩා හොඳ නිවාස ලබාදෙන විකල්ප වැඩපිළිවෙළක් ඇත්නම් පමණය. කොළඹ නගරයෙන් සිරගෙවල් හා ආරක්ෂක හමුදා කඳවුරු ඉවත් කිරීමද ඉදිරිගාමී ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය. බොරැල්ලේ බන්ධනාගාර සංකීර්ණය සඳහා ප්‍රයෝජනයට ගෙන තිබෙන නාගරික ඉඩම් ප්‍රමාණය අක්කර 40කි. බොරැල්ලේ ඉඩම් පර්චසයක වෙළෙඳපොළ මිල රුපියල් මිලියන දෙක තුනක් විය හැකිය. ඒ ඉඩ වෙනත් ව්‍යාපාරයකට විකිණීමෙන් පමණක් වුවත් නගරයෙන් කිසියම් දුරක් ඈත ස්ථානයක වඩා නවීන පහසුකම්වලින් යුතු නව බන්ධනාගාර සංකීර්ණයක් ඉදිකළ හැකිය. එවැනි වැඩසටහනක් ඉදිරියට ගත්තේ කවර ආණ්ඩුවක් වුවත් රටේ ප්‍රගතියට හේතුවන එවැනි වැඩසටහන්වලට ජනමාධ්‍යවේදීන් බාධා නොකළ යුතුය. එවැනි වැඩසටහන් පිළිබඳව මහජනයා තුළ වැරදි හැඟීම් ඇති කරන පිළිවෙතක් අනුගමනය නොකළ යුතුය.
මහජන අයිතිවාසිකම් නොසලකා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන අවස්ථාවලදී ජනමාධ්‍යවේදීන් මහජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. කතා කළ යුතුය. ඕනෑම සංවර්ධන වැඩසටහනක් එම වැඩසටහන ක්‍රියාත්මක වන ප්‍රදේශයේ සමහර මහජනයා කෙරෙහි තාවකාලික අර්ථයෙන් පීඩාකාරී තත්ත්වයක් ඇති කළ හැකිය. එවැනි අවස්ථාවලදී ද ඔවුන්ගේ දුක්ගැනවිලි ආවරණය කිරීම අත්‍යවශ්‍ය වුවත් එය රටේ ප්‍රගතියට හේතුවන ව්‍යාපෘතියක් වේ නම් ඒ නිසා පීඩාවට පත්වන සුළු පිරිසකගේ නාමයෙන් සමස්ත වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට හේතුවන ලෙස ජනමාධ්‍යවේදීන් ක්‍රියා නොකළ යුතුය.
නොරොච්චෝලේ ගල්අඟුරු ව්‍යාපෘතිය දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක කිරීම අතපසුවූයේ ඒ නිසා එම ප්‍රදේශයේ සුළු ධීවර පිරිසකට සිදුවන හානිය සලකා කතෝලික පල්ලිය ඊට එරෙහිව ගෙනයන ලද උද්ඝෝෂණ ව්‍යාපාර නිසාය. එහිදී ජනමාධ්‍යවේදීන් එම ධීවරයන්ගේ දුක බලවත් ලෙස සමාජය වෙත ගෙන ගියද එම ව්‍යාපෘතිය නතර කිරීමෙන් රටට සිදුවන්නට නියමිතව තිබුණු අතිවිශාල අලාභය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් මහජනයාට ලබාදුන්නේ නැත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටීමට වඩාත්ම බලපෑවේ ඒ ප්‍රදේශවල මතුවූ මහජන උද්ඝෝෂණවලට වඩා ජනමාධ්‍යවේදීන්ගේ ජනමාධ්‍ය භාවිතයයි. එය විනාශකාරී ව්‍යාපාරයක් බව වඩා බලවත් ලෙස රටට කීවේ ජනමාධ්‍යවේදීන්ය. එම චිත්‍රයේ අනෙක් පැත්ත ඔවුන් අතින් ආවරණය වූයේ නැත.
සංවර්ධනය පිළිබඳ විෂයේදී ජනමාධ්‍යවේදීන්ගේ තියුණු ඇස දූෂණය වෙතද යොමුවිය යුතුය. කටකතා මත පදනම්වීමෙන් වැළකී සංවර්ධන ව්‍යාපෘතිවලදී දූෂණය වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකරයි නම් දූෂණය ක්‍රියාත්මක වන ආකාරය කරුණු සොයා බලා ඒ පිළිබඳ තර්කානුකූල හා නිවැරදි තොරතුරු මහජනයාට ඉදිරිපත් කළ යුතුය. සංවර්ධන ව්‍යාපාරවලදී සිදුවන දූෂණය අවම කළ හැකිවනු ඇත්තේ එවිටය.