දේශපාලනයට ආධ්‍යාත්මික ශක්තිය සමග මහජන බලය එකට එකතු කොට එය ආත්මාර්ථයෙන්, ද්වේෂයෙන් හා වෛරයෙන් තොර සාමාන්‍ය මහජනයාගේ ප්‍රගතිය, යුක්තිය හා විමුක්තිය පිණිස ක්‍රියාකරන අපරාජිත ගාමක බලයක් බවට හැරවිය හැකි බව ලෝකයට පෙන්වා දුන්නේ මහත්මා ගාන්ධිය. ගාන්ධි ඝාතනය කැරුණු අවස්ථාවේදී එදා ලෝකයේ ජීවත් වූ මහා විද්‍යාඥයා ලෙස සැලකිය හැකි ඇල්බට් අයින්ස්ටයින් කීවේ බලවත් අනුගාමික සමූහයක් ලබාගත හැක්කේ දේශපාලන සටකපටකම්වලින් පමණක් නොවන බව හා සීලසම්පන්න උත්තරීතර මනුෂ්‍ය චර්යාව පිළිබඳව දෙන ප්‍රබල ආදර්ශයක් මගින්ද වඩාත් හොඳින් එසේ කළ හැකි බව ගාන්ධි විසින් පෙන්වා දී ඇති බව හා මනුෂ්‍ය ගුණධර්ම පරිහානියට පත්ව ඇති අපේ කාලයේ ගාන්ධි උසස් මානව සම්බන්ධතා උදෙසා නැගී සිටි එකම රාජ්‍යතාන්ත්‍රිකයා වන බවය. ලොව මෙතෙක් පහළ වූ සියලු දේශපාලන නායකයන් අතරින් ගාන්ධි අව්‍යාජම හා ශ්‍රේෂ්ඨතම මිනිසා ලෙස සැලකිය හැකි වුවත් ඔහුගේ මහා ආත්මය සොයාගෙන ගිය ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස ඔහු හමුවූ අවස්ථාවේදී ඔවුන් විසින් කරන ලද ඉල්ලීම-ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාව මුහුණ දී වෙන ප්‍රධාන ප්‍රශ්න ගැන සොයා බලා ශ්‍රී ලංකාවේ ගැටලු ගැන කරන විශ්ලේෂණයන් සමග ඒවා ජයගැනීම සඳහා වන මගපෙන්වීමක් ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීම-මහත්මා ගාන්ධි විසින් නිහතමානී ලෙස භාරගෙන තිබේ. ඉන්පසු ගාන්ධි ශ්‍රී ලංකාවට එන්නට පෙර ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැඹුරින් හදාරා තිබෙනවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ වර්තමාන ගැටලුවලට සම්බන්ධ ශ්‍රී ලංකාවේ දේශපාලනයට, ආගමට, සංස්කෘතියට, චින්තනයට හා ආණ්ඩු ක්‍රමයටද බලපෑ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් එනම් රොබට් නොක්ස්ගේ සිට ප්‍රභාකරන් දක්වා හමුවී සාකච්ඡා කර තිබේ. එපමණක් නොව, ඔහු ඒ ගමන සඳහා සිංහල හා දෙමළ යන භාෂා ද හොඳින් ඉගෙන ගෙන තිබේ.
ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්පසුවය. ඔහු හමුවී ඇති අය මෙසේය.
1. ජනාධිපති මහින්ද රාජපක්ෂ, විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලු දේශපාලන පක්ෂවල නායකයන් හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග.
2. බෞද්ධ-හින්දු-ක්‍රිස්තියානි හා මුස්ලිම් යන ආගම්වලට අයත් පැවිදි හා ගිහි නායකයන්.
3. සේවයේ යෙදී සිටින හා විශ්‍රාම ගිය ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන්.
4. සේවයේ යෙදී සිටින හා සේවයෙන් විශ්‍රාම ගිය ප්‍රධාන පෙළේ අධිකරණ නිලධාරීන්.
5. ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන්.
6. වෘත්තීයවේදීන්.
7. ශාස්ත්‍රාලයීය උගතුන් හා බුද්ධිමතුන්.
8. කලාකරුවන්.
9. ජනමාධ්‍යවේදීන්.
10. විවිධ දේශපාලන ධාරාවන් නියෝජනය කරන දේශපාලන න්‍යායවාදීන්.
11. සිංහල හා දෙමළ සමාජයේ විවිධ කුලවලට අයත් නියෝජිතයන්.
12. විවිධ ජනවර්ගවලට අයත් ස්ත්‍රී නියෝජිතයන්.
13. විවිධ ජනවර්ගවලට අයත් තරුණ නියෝජිතයන්.
14. ව්‍යාපාරික අංශයේ නියෝජිතයන්.
15. සිංහල, දෙමළ සමාජ දෙකෙහි අතුරුදන්වූවන්ගේ සංවිධානවල නියෝජිතයන්.
16. වැදි ප්‍රජාවගේ නියෝජිතයන්.
17. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හා තිබුණු අල්ලස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන්.
18. මැතිවරණ කොමිසමට හා ඊට පෙර පැවති මැතිවරණ දෙපාර්තමේන්තුව සම්බන්ධ ප්‍රධාන නිලධාරීන්.
19. මානව හිමිකම් කොමිසමට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන්.
20. සමෘද්ධියෙන් හා ජනසවියෙන් ආධාර ලැබූ දුප්පතුන් තෝරාගත් පිරිසක්.
ගාන්ධි මෙම විවිධ කණ්ඩායම් වලට අයත් නියෝජිතයන් හමුවී ඇත්තේ තනිව නොව, ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ආ ලේකම්වරයකුගේ ද සහාය ඇතිවය. ගාන්ධිගේ සාමාන්‍ය පෙනුමේ වෙනසක් තිබී නැතත්, අඳින ඇඳුම හා උපැස් යුවළ වෙනස් වී තිබුණු බව කියනු ලැබේ. හිසේ බඳින තලප්පාව නොතිබුණු බවත් අඩ නිරුවත් දිග අමුඩයක් වැනි ඇඳුම වෙනුවට කාදි රෙද්දෙන් මසන ලද කුර්තාවකට සමාන ඇඳුමක් ඇඳ සිටි බවත් ඇඳි රහිත රවුම් උපැස් යුවළ වෙනුවට සාමානය උපැස් යුවළක් පැළඳි බවත්, ඔහුගේ ලේකම්වරයා නවීන ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් පාවිච්චි කළ බවත් කියනු ලැබේ. මොන හේතුවක් නිසා හෝ ඔහු හමුවීමට අපේක්ෂා කළ කිසිවෙකු ඔහු මගහැර නැත. ඔහු හමුවු හැම කෙනකුම කරුණු වසන් කිරීමෙන් තොරව අව්‍යාජව කතා කර ඇති බවද කියනු ලැබේ. ගාන්ධි ඔවුන් ඉදිරියේ පෙනී සිට ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳව අධ්‍යයනයක යෙදෙන ඉන්දීය විද්වතකු වශයෙනි. අඳින ඇඳුමෙන් හැර ගාන්ධිගේ පෙනුමේ කිසිිදු වෙනසක් තිබී නැතත්, ඒ කිසිවකුත් ඔහු ගාන්ධි බව හඳුනාගෙන නැත. හැමවිටම ඔහු කවුද යන කුතුහලය මතුවී ඇත්තේ කරුණු විමසීම අවසන් කොට ගාන්ධි ඔවුන් වෙතින් නික්ම ගියාට පසුවය. ගාන්ධි සිය ලේකම්වරයා වශයෙන් ගෙන ආවේ කවුද යන්නද නොපැහැදිලිය.
ගාන්ධි ශ්‍රී ලංකාව පිළිබඳව කරන විවරණය ආරම්භ කොට ඇත්තේ ශ්‍රී ලංකාව ඉතිහාස පිළිබඳව කරන කෙටි විමර්ශනයකිනි.
ලංකා ඉතිහාසයේ ප්‍රවර්තක සාධක
ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ප්‍රධාන මුහුදු මාර්ගයකට මුහුණලා පිහිටි අඹගෙඩියක හැඩයෙන් යුතු දිවයිනකි. එහි ප්‍රමාණය වර්ග සැතපුම් 25481කි. උතුරේ සිට දකුණට දිග සැතපුම් 270ක් වන අතර නැගෙනහිර සිට බස්නාහිරට ඇති පළල සැතපුම් 140කි. ලංකාව ඉන්දීය අර්ධද්වීපයේ දකුණු කෙළවරින් වෙන්ව ඇත්තේ මන්නාරම් බොක්කෙන් හා පෝක් සමුද්‍ර සන්ධියෙනි. රටේ නැගෙනහිර, බටහිර හා දකුණ යන තුන් දිසාවෙන්ම ශ්‍රී ලංකාවට ආසන්න රටක් නැත.
ලංකා ඉතිහාසයේ ඓතිහාසික යුගය ආරම්භවන්නේ විජයාවතරණයෙනි. එය සිදුවී තිබෙන්නේ ක්‍රි.පූ. තුන්වැනි ශතවර්ෂයකට ටික කලකට පෙරය. විජයගේ ප්‍රභවය පිළිබඳව මහාවංශයේ එන අපූරු කතා පුවත සිංහලයන් විශේෂ මනුෂ්‍ය වර්ගයක් වේ කියන අදහස සිංහල වර්ගයා තුළ ඇති කිරීමට හේතුවී තිබෙන බවද පෙනේ. මේ පිරිස ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයෙනි. එම පිරිස කතා කළ සිංහල භාෂාව අයත් වන්නේද ගුජරාටි, මරාටි, බෙංගාලි හින්දුස්තානි වැනි ඉන්දු-ආර්ය භාෂා ගණයටය. ඒ නිසා තමන් ආර්ය ගණයට අයත් විශේෂ මනුෂ්‍ය වර්ගයක් වේය කියන හැඟීම සිංහල ජනතාව තුළ ඇති කිරීමට හේතුවී තිබේ.
සිය පිරිවර සමග ලංකාවට එන විජය එවකට දිවයිනේ අරක්ගෙන සිටි යක්ෂයන්ගේ (ඔවුන් ආදිවාසි ගෝත්‍රයක් විය යුතුය.) නායිකාව වූ කුවේණිය විවාහ කරගනිමින් ඇගේ ආධාර ඇතිව යක්ෂයන්ට තිබූ ආධිපත්‍යය අහිමි කොට රටේ ආධිපත්‍යය තමන් වෙත හිමිකර ගැනීමට සමත් වී තිබේ. නව සංක්‍රමණිකයෝ ඔවුන්ගේ ජනපද පිහිටුවන ලද්දෝ සාරවත් පස් සහිත වියළි කලාපීය පහත්බිම් ප්‍රදේශවලය.
පසුව විජය තමන්ට දාව කුවේණියට ලැබී තිබුණු දරු දෙදෙනා සමග ඇය පලවාහැර ඉන්දියාවෙන් ගෙන්වා ගත් පාණ්ඩ්‍ය කුමාරිකාවක විවාහ කොට ගත්තේය. ඇය සමග පැමිණි පිරිවරට විජය සමග පැමිණි පිරිවරට අවශ්‍ය සහකාරියෝද ඇතුළත් වූහ.
කඳුකරයට පලාගිය කුවේණිය එහි ඉතිරි වී සිටි ඇගේ නෑයන් විසින් මරා දමනු ලැබූ බවත් ඇගේ දරු දෙදෙනා පමණක් බේරී පලාගිය බවත් කියනු ලැබේ. වැදි ජනයා පැවත එන්නේ කුවේණියගේ දරු දෙදෙනාගෙන් ආරම්භ වන පරපුරෙන් බව ද කියනු ලැබේ.
විජය හා ඔහුගේ පිරිවර විවාහ කොටගත් පාණ්ඩ්‍යයන් ද්‍රවිඩ වර්ගයක් වන බවට කැරෙන අර්ථකථනය පරණවිතාන බැහැර කරයි. ඔවුන්ද ආර්යයන් වන බවත් ආර්යයන් මේ දිවයිනේ පදිංචි වූ මුල් භාගයේ ද්‍රවිඩයන් මෙහි විසූ බව ඔප්පු කරන ඓතිහාසික සාක්ෂි නැති බවත්, ඒ සඳහා වන සාක්ෂි පැරණි දෙමළ සාහිත්‍යයේ පවා නැති බවත් පරණවිතානයන්ගේ මතය වී තිබේ. ඒ අනුව ලංකාවට දෙමළ ජනයාගේ පැමිණීම ලංකාවට බුද්ධාගම පැමිණීමෙන් පසුව සිදුවූවක් බව පෙනේ.
විජයාවතරණයෙන් පසුව ඊළඟට සිදුවන ඓතිහාසික වශයෙන් වැදගත් ඊළඟ සිද්ධිය වනුයේ ලංකාවට බුද්ධාගම පැමිණීමය. බුද්ධාගම පැමිණීම හා ලංකාවේ රාජ්‍යත්වය පිහිටුවීම යන ක්‍රියා දෙකම සිදුවී ඇත්තේ එකටය. ඒ ක්‍රියා දෙක කෙරෙහිම ඉන්දියාවේ ධර්මාශෝක රජු බලපෑවේය. එය සිදුවී ඇත්තේ ක්‍රි.පූ. 250දී පමණය.
එතැන් සිට විවිධ ගෝත්‍රික කණ්ඩායම්වලට බෙදී සිටි ජනයා සිංහල ජනවර්ගයක් ලෙස එකට එකතු කරන සාධකය ලෙස ක්‍රියාකර ඇත්තේ බුද්ධාගමය. ඒ මගින් ලංකාවේ බුද්ධාගම සිංහල ජනවර්ගය හා බැඳුණු ආගමක් බවට පත්වී තිබේ.
බුද්ධාගම ලංකාවට පැමිණෙන අවස්ථාව වනවිටත් සිංහලයන් දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන තත්ත්වයක් හිමි කරගෙන තිබුණේය. කැලෑ හෙළි පෙහෙළි කොට අනුරාධපුරය මහා උද්‍යාන පුරයක් බවට පත් කරගෙන තිබුණු අතර වියළි කලාපයේ වැව් ආශ්‍රිත වාරි කර්මාන්තයේදී ඉතාමත් දියුණු ශිල්පීය හැකියාවක් ප්‍රදර්ශනය කර තිබුණි. බුද්ධාගම පැමිණීමෙන් පසු ආගමික හා කලාත්මක උද්යෝගයක් ඇතිවී මහා වාරි කර්මාන්ත අතරට විශාල වෙහෙර විහාර හා මාලිගාද එකතුවෙමින් තිබුණේය.
දේවානම්පියතිස්ස කාලයේදී රජරටට අතිරේකව තවත් රාජධානියක් දකුණේ ඇතිවිය. සමහර කාලවල රට එක්සත්ව තිබුණු අතර තවත් සමහර කාලවල ආධිපත්‍යය සඳහා දේශීය කණ්ඩායම් අතරම අභ්‍යන්තර යුද්ධ ඇතිවිය.
ධර්මාශෝක අධිරාජ්‍යයේ බලපරාක්‍රමය ඉන්දියාව කෙරෙහි බලවත්ව පැවති තෙක් එම අධිරාජ්‍යයේ මිත්‍ර රටක් වශයෙන් පැවති ලංකාවට ඉන්දියාවෙන් ආක්‍රමණික තර්ජන එල්ල නොවීය. එහෙත් එම අධිරාජ්‍යයට තිබුණු බලපරාක්‍රමය බිඳ වැටීමෙන් පසු අසල්වැසි දකුණු ඉන්දියාවෙන් හා ඊට යාව තිබුණු ඩෙකෑන් පථයෙන් විටින් විට ආක්‍රමණික තර්ජන එල්ල වී තිබේ. ලංකාව ඒ වන විට අත්පත් කරගෙන තිබුණු විශේෂ දියුණුවද ඒ තත්ත්වය කෙරෙහි බලපෑවා විය හැකිය.
දකුණු ඉන්දියානු ආක්‍රමණ
එකල දකුණු ඉන්දියාව වශයෙන් හැඳින්වුණු ප්‍රදේශය චෝල පාණ්ඩය හා කේරළ වශයෙන් දේශ තුනකට බෙදී තිබුණේය. ඩෙකෑන් පථය ලෙස හැඳින්වුණු මයිසූර් සානුව සැලකුණේද තවත් දේශයක් වශයෙනි. මේ රාජ්‍යයන් තුළ සේ ම රාජ්‍යයන් අතරද ආධිපත්‍යය සඳහා විටින් විට යුද්ධ ඇතිවිය. කිසියම් රජකු බලවත් තත්ත්වයක් දිනාගත් විට සිරිතක් වශයෙන් ඒ බලගතු රජු ලංකාව ආක්‍රමණය කොට වස්තුව කොල්ලකෑවේය.
ලංකාවේ රජවරුද රට අභ්‍යන්තරයේ යුද්ධ ආරාවුල්වලදීද, දකුණු ඉන්දියාවෙන් එල්ලවන ආක්‍රමණ වළකා ගැනීම සඳහා හෝ සිය ආධිපත්‍යය තර කරගැනීම සඳහා මෙම රාජ්‍යයන් අතර පැවති ගැටුම්වලට එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් අතපොවන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියෝය.
මේ කාලයේදී ආක්‍රමණිකයන් සේ ම වෙළඳුන් හා ශිල්පීන් ලෙසද දකුණු ඉන්දියාවෙන් හා ඩෙකෑන් සානුවෙන් මිනිස්සු ලංකාවට ආවෝය. ලංකාවේ දෙමළ භාෂාව කතා කරන හින්දු ආගම අදහන දෙමළ ජනවර්ගයක් ඇතිවූයේ එම සංක්‍රමණ ක්‍රියාවලිය ආශ්‍රයෙනි.
ක්‍රි.පූ. දෙවැනි සියවසේ සිට 14 වැනි සියවස දක්වා ලංකාවේ දේශපාලන ඉතිහාසය ප්‍රධාන වශයෙන් සමන්විත වනුයේ විටින් විට දකුණු ඉන්දියාවෙන් එල්ල වන ආක්‍රමණවලට එරෙහිව සිංහල රජවරුන් මෙහෙයවන යුද්ධ ව්‍යාපාරවලිනි. සියලු ආක්‍රමණිකයන් ද්‍රවිඩ නොවූවද ඒ සියලුදෙනා සැලකුණෝ ද්‍රවිඩයන් ලෙසය. අනෙක් අතට විදේශීය ආක්‍රමණිකයකුට හෝ විදේශ ආක්‍රමණික පාලකයකුට එරෙහිව සිංහල රජවරුන් පවත්වාගෙන ගිය යුද්ධ ව්‍යාපාර බුද්ධාගමේද, රටේද ආරක්ෂාව හා උන්නතිය පිණිස කැරුණු විමුක්ති ව්‍යාපාර ලෙස සලකනු ලැබීය.
සිංහල-දෙමළ සහජීවනය
එහෙත් සිංහල දෙමළ සම්බන්ධය හැමවිටම පසමිතුරු බවක් ගනු ලැබූ බවක් ද පෙනෙන්නට නැත. සිංහල රජවරුන් අතර හින්දු ආගම ඇදහූ රජවරුන් සිටියා සේ ම බුද්ධාගම අදහන අතර හින්දු ආගමේ දියුණුව පිණිස ක්‍රියාකළ රජවරු ද සිටියෝය. ආක්‍රමණික පාලක රජවරුන් අතර ද බෞද්ධ රජවරුන් සිටියා සේ ම හින්දු ආගම ඇදහුවද බුද්ධාගමේ උන්නතිය පිණිස ක්‍රියා කළ රජවරු ද සිටියෝය. තම යටත්වැසියන් ඇදහූ බුද්ධාගම තමන්ද වැළඳ ගැනීම ධාතුසේනට පෙර රජකම් කළ දකුණු ඉන්දියානු හා ආක්‍රමණික පසුබිමක් ඇති රජවරුන්ගේ සිරිත විය. පස්වැනි සියවසේ සිට 8 වැනි සියවස දක්වා සිංහල රජවරුන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වා ගන්න ලද සේනාවන්ට අයත් භටයන්ගෙන් හා සේනාපතින්ගෙන් වැඩි පිරිසක් බෞද්ධයෝ වූහ. සිංහල රජවරු දකුණු ඉන්දියානු කුමාරිකාවන් සරණ පාවා ගත්තෝය. මේ නිසා සමහර සිංහල රජ පවුල් සිංහල-දෙමළ මිශ්‍ර සම්භවයක් ඇති රජ පවුල් බවට පත්විය. මෙම මිශ්‍රිත ස්වභාවය රදළ පවුල් කෙරෙහි ද බලපෑවේය. බෞද්ධ-හින්දු අන්තර් සම්බන්ධයේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවූයේ 14 වැනි සියවසේදීය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවා ලෞකික වරප්‍රසාද පතා දෙවිවරුන් යදින්නට ඒ වන විට නැඹුරු වී සිටියෝය. සමහර සිංහල සංදේශ නාට්‍යකරුවෝ පළමුව බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් නැමද දෙවනුව හින්දු දෙවිවරුන්ගේද ආශිර්වාද පැතුවෝය. මෙම හින්දු-බෞද්ධ අන්තර් සම්බන්ධය වාස්තු විද්‍යා නිර්මාණ කෙරෙහිද බලපෑවේය. රජවරුන් හා නිලධාරීන් දේවාල තැනුවා පමණක් නොව, සමහරවිට දේවාල හා බෞද්ධ විහාර එකට යාකොට තනන ලදි. ලංකාතිලක විහාරය ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයකි. එහි ඇතුළු භූමිය බුදු මැදුරක් වනවිට අවට ගෘහය දේවාලයක් විය. දේවාලයේ උපුල්වන්, සමන්, විභීෂණ, ස්කන්ධ වැනි ආරක්ෂක දෙවිවරුන්ගේ ද ශිව හා විෂ්ණු දෙවියන් දෙදෙනාගේද ප්‍රතිමා දැකිය හැකිය.
මීට අතිරේකව දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණ සිංහලයන් අතර පදිංචි වූ දෙමළ ජන කණ්ඩායම් බුද්ධාගම වැළඳ ගනිමින් සිංහල බෞද්ධයන් බවට පත්ව සිටියා සේ ම යාපනේ දෙමළ සමාජය තුළ ජීවත් වූ සිංහල ජන කණ්ඩායම් ද හින්දු ආගම වැළඳගෙන දෙමළ හින්දුන් බවට පත්ව සිටියෝය.
මුස්ලිම් ජනවර්ගයේ ආගමනය
වැදි, සිංහල හා දෙමළ යන ජනවර්ග තුනට අතිරේක වශයෙන් 8 වැනි සියවසේ සිට අරාබි භාෂාව කතා කරන මුස්ලිම් ආගම ඇදහූ ජනවර්ගයක්ද ලාංකික සමාජයට එකතු වී සිටියේය. අටවැනි සියවස වන විට අරාබි ලෝකයේ මුස්ලිම්වරුන් තම වෙළෙඳ ව්‍යාපාරයන් පෙරදිග ලෝකයට පතුරුවා හරිමින් තිබුණේය. ඔවුන්ගෙන් සමහරෙක් ලංකාවේ කොළඹ, බේරුවල හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලද මුහුදු තොටුපළවල් ආශ්‍රිතව තමන්ගේ කුඩා ජනපද ඇති කරගනිමින් ලංකාවේ ස්ථිර පදිංචිකරුවන් පිරිසක් බවට පත්ව සිටියෝය. ක්‍රමයෙන් පෘතුගීසීන් පැමිණෙන තෙක්ම ලංකාවේ ආනයන හා අපනයන වෙළෙඳාම හැසිරවීමේ තනි බලය හිමි කරගෙන තිබුණේ එම අරාබි වෙළෙඳුන්ය. මෙහි පදිංචි වී සිටි මුස්ලිම් වෙළෙන්දෝ අරාබි වෙළෙඳුන්ට අවශ්‍ය භාණ්ඩ එකතු කොට මුහුදු තොටුපලවලට එන අරාබි යාත්‍රාවලට සපයන ප්‍රධාන සැපයුම්කරුවන් බවට පත්ව සිටියෝය. මෙහි පදිංචි වූ මුස්ලිම්වරුන් තමන්ගේ සහකාරියන් අරාබි ලෝකයෙන් ගෙනා බවට සාක්ෂි නැත. ඔවුහු සහකාරියන් බවට පත්කොට ගත්තෝ දේශීය සිංහල හෝ දෙමළ කාන්තාවන්ය.
සිංහල ශිෂ්ටාචාරයේ පරිහානිය
පෘතුගීසීන් ලංකාවට පැමිණෙන්නේ 1505දීය. ඒ සමග එළැඹෙන යුගය තුළ දකුණු ඉන්දියාවෙන් එල්ල වන ආක්‍රමණික බලපෑම නැවතී ඒ වෙනුවට අනුපිළිවෙළින් පෘතුගීසීන්ගේ, ලන්දේසීන්ගේ හා බ්‍රිතාන්‍යයන්ගේ ආක්‍රමණික බලපෑම්වලට ලක්වෙමින් ලංකාව පළමුව පෘතුගීසීන්ටද, දෙවනුව ලන්දේසීන්ටද තෙවනුව බ්‍රිතාන්‍යයන්ටද අර්ධ වශයෙන් යටත් රටක තත්ත්වයට පත්වී, 1815දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ පූර්ණ යටත්විජිතයක තත්ත්වයට පත්විය.
මේ යුගය පිළිබඳව විවරණයකට යන්නට පෙර, සිංහලයන් අතර පවත්නා වැරදි මතයක් නිවැරදි කරගැනීම සඳහා, ඒ ගැන කෙටියෙන් කරුණු සොයා බැලීම, වැදගත්වන්නේ එළැඹෙන ඊළඟ යුගය විවේචනාත්මකව දැකීමට අවශ්‍ය ඓතිහාසික දෘෂ්ටියක් ඇතිකර ගැනීමට එසේ කිරීම අත්‍යවශ්‍ය නිසාය.
සිංහලයන් අතර මුල් බැස ඇති ජනප්‍රිය මතයක් වන්නේ සිංහල ශිෂ්ටාචාරය විනාශ කර දමන ලද්දේ දකුණු ඉන්දියාවෙන් එල්ල වූ දෙමළ ආක්‍රමණ හා ඉන්පසු පෘතුගීසී, ලන්දේසි හා බ්‍රිතාන්‍ය යන බටහිර ජාතීන්ගෙන් එල්ල වුණු ආක්‍රමණ නිසා බවය.
පෘතුගීසීන් ලංකාවට එන්නට බොහෝ කලකට පෙර සිටම රජරට මුල් කරගෙන බිහිවී තිබූ පැරණි සිංහල ශිෂ්ටාචාරයේ කීර්තිමත් යුගය අවසන් වී පරිහානියේ හා කැඩී බිඳීයෑමේ ක්‍රියාවලිය ආරම්භ වී, එය කිසියම් දුරකට ගමන් කර ද තිබුණි.
සිංහල ශිෂ්ටාචාරයේ නිජබිම වී තිබුණේ පහතරට වියළි කලාපයයි. එම ප්‍රදේශය වියළි කලාපය ලෙස හැඳින්වෙන්නේ ඊසානදිග මෝසමේදී නියඟය බලපාන නිසාය. වියළි කලාපයේ සරු බිම් මුහුණ දී තිබුණු මෙම ජල ප්‍රශ්නය පැරණි සිංහලයන් ජයගත්තේ පොළොවේ උස්පහත්කම ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගනිමින් කඳුවැටි අතර කපොලු බැඳ ලොකු කුඩා වැව් තනා, ගංඉස්මත්තේ වේලි බැඳ තැනූ ඇළවල් දිගේ ජලය ලබාගැනීමෙනි. අමුණු, ඇළවේලි එකිනෙක සම්බන්ධ කිරීමෙන් විස්මයජනක හා සංකීර්ණ ජලසම්පාදන ක්‍රමයක් ඇතිකර ගැනීමට ඔවුහු සමත් වූහ. පැරණි සිංහල ශිෂ්ටාචාරයේ පදනම ලෙස ක්‍රියා කළ පැරණි සිංහලයන් ප්‍රදර්ශනය කළ විශිෂ්ටතම කෞශල්‍යය ද එය විය.
එහෙත් මෙම සංකීර්ණ ජලසම්පාදන ක්‍රමය පවත්වාගෙන යෑම සඳහා මනා පරිපාලනයක් අවශ්‍ය වූ අතර මොන මොන හේතු නිසා හෝ එම පරිපාලනයේ ඇතිවූ බිඳ වැටීම සිංහල ශිෂ්ටාචාරයේ නිජබිම් ප්‍රදේශ බවට පත්ව තිබූ වියළි කලාපය ජනශූන්‍ය කලාපයක් බවට පත්කිරීමට හේතුවිය.
එහි පරිපාලනයේ බිඳ වැටීම කෙරෙහි දකුණු ඉන්දියානු ආක්‍රමණයද බලපෑවේය. ඊට අතිරේකව දේශීය බලකණ්ඩායම්වල බලපොරය නිසා ඇතිවූ අභ්‍යන්තර යුද්ධ ව්‍යාපාරද ඒ කෙරෙහි බලපෑවේය. ලංකාවේ වියළි කලාපය ජනපද යෝජනා ක්‍රම පිළිබඳ විශේෂඥයකු ලෙස සැලකිය හැකි බී.එච්. ෆාමර්ගේ මතය අනුව සිංහලයන් පමණක් නොව, ආක්‍රමණිකයන්ද වියළි කලාපයෙන් පලවා හැර එම කලාපය ජනශූන්‍ය කිරීමට හේතුවූයේ මැලේරියා මදුරුවාය. සිංහලයන් අතින් ඉදිවූ එම සංකීර්ණ ජලසම්පාදන ක්‍රමය පසුව මදුරුවන් බෝකරන තෝතැන්නක් බවට පත්විය. ඩීඩීටී සොයාගන්නා තෙක්ම මැලේරියාව මෙම කලාපය වසාගෙන තිබූ මාරාන්තික උවදුරක් විය. මැලේරියා මදුරුවන්ට එදා කළ හැකිව තිබූ විනාශය කොතරම්ද යන්න 1930-31 කාලවකවානුවේදී සබරගමුව පළාත වෙලාගත් මැලේරියා වසංගතය ඇති කළ විනාශයෙන් පෙනී යයි. ඒ මගින් අහිමි වූ ජීවිත සංඛ්‍යාව ලක්ෂයකට වැඩිවිය.
වියළි කලාපයේ සිංහලයන් ගොඩනගා තිබූ සංකීර්ණ වාරිමාර්ග පද්ධතිය මැලේරියා මදුරුවන්ගේ රජදහනක් වී මැලේරියා මදුරුවන් විසින් සිංහලයන් පමණක් නොව සිංහලයන් සමග යුද්ධ කළ ආක්‍රමණිකයන්ද එම කලාපයෙන් පලවා හැර රජරට යම්කිසි දුරකට ජනශූන්‍ය කලාපයක් බවට පත් කළේය. සිංහල රාජධානිය රජරට අතහැර ශතවර්ෂ ගණනාවක් තුළදී අනුක්‍රමයෙන් දකුණු දෙසට තල්ලු වී යන්නේත්, උතුරේ දෙමළ රාජ්‍යයන් ඇතිවන්නේත් එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ නිසා යාපනේ අර්ධද්වීපයත්, නැගෙනහිර හා බටහිර වෙරළබඩ පටු බිම් තීරු දෙකක් හැර වියළි කලාපයේ වැඩි කොටසක් ජනශූන්‍ය ප්‍රදේශ බවට පත්විය. අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ඉදිකර තිබූ මහා වෙහෙර විහාර, දාගැබ්, රජ මාලිගා දීර්ඝ කාලයක් වනයට හසුවී නොපෙනී තිබුණි. මහා වැව් හා ඇළවල්වලින් ජලය සැපයුණු අක්කර දහස් ගණනක් විශාල කුඹුරු ඉඩම් මහා කැලෑ බවට පත්ව තිබුණි. ඝන කැලෑවලින් වැසී තිබුණු සිංහලයන්ගේ විස්මයජනක ඉදිකිරීම්වල නටබුන් නැවත සොයාගනු ලැබුවේද, ඒවා සංරක්ෂණ කෙරුණේද, ඒ සොයාගැනීම් ආශ්‍රයෙන් ඒ ඉතිහාසයට හිමිතැන ගැන පර්යේෂණ හා සංවාද කරන තත්ත්වයක් ඇතිවූයේද බ්‍රිතාන්‍ය යුගයේදීය. බොහෝ කොට ඒ දේ සිදුවූයේ ස්වදේශිකයන් අතින් නොව විදේශීය උගතුන් අතිනි.
පෘතුගීසීන් ලංකාවට එන අවස්ථාව වන විට දහතුන්වැනි සියවසේදී (1235දී පමණ) ඇතිවූ යාපනේ රාජධානිය, 1415දී පමණ සිට ඇතිවී පැවතුණු කෝට්ටේ රාජධානිද, පහළොස්වන සියවස අවසනදී පමණ ඇතිවී පැවතුණු උඩරට රාජධානිය ද යනුවෙන් රාජධානි තුනක් ඒ වන විට ලංකාවේ තිබුණි.
(ඉතිරි කොටස ලබන කලාපයේ)