ප්‍රාදේශීය සභා මැතිවරණය පාලන තල හතරක් සඳහා පැවැත්වෙන මැතිවරණ අතුරින් පහළම තලය සඳහා පැවැත්වෙන මැතිවරණය ලෙස සැලකිය හැකිය. එහෙත් මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා කරන වියදම දෙස බලන විට එය බැලූ බැල්මට පෙනෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් ලෙසය. මෙම අප්‍රසන්න අත්දැකීම පසුගිය පළාත් සභා මැතිවරණයේදීද මහජනයාට විඳින්නට සිදුවිය. පළාත් සභා මන්ත්‍රීවරයකුට ඒ වෙනුවෙන් ලැබෙන වැටුප විශාල නොවූවත්, මිලියන තුන් හාරසියයක් වියදම් කළ අපේක්ෂකයෝද තරග කළ අපේක්ෂකයන් අතර සිටියෝය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට ලැබෙන්නේ රුපියල් 5000ක් තරම් සොච්චම් වැටුපක් වුවත් බැලූබැල්මට පෙනෙන්නේ සමහර අපේක්ෂකයන් අතිවිශාල වියදමක් දරමින් සිටින බවය. සොච්චම් වැටුපක් ලැබෙන තනතුරකට තේරී පත්වීම සඳහා ඊට නොගැළපෙන විශාල වියදමක් දරන විට මහජනයා තුළ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව බලවත් සැකයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
ඒකාධිපති ක්‍රමයකට වඩා මැතිවරණවලින් මහජන නියෝජිතයන් තෝරා පත්කර ගන්නා ක්‍රමයක් තිබීම වැදගත්ය. පවත්වනු ලබන මැතිවරණවල නිදහස් හා සාධාරණභාවය ආරක්ෂා කරගැනීම සඳහා පිළිගත් ප්රජාතන්ත්රවාදී රටවල ක්‍රියාත්මක වන විධිවිධාන අපේ රටේ දක්නට නැත. තිබෙන නීති ප්‍රමාණවත් නැත. දුර්වලය. ඒ ප්‍රමාණවත් නොවන දුර්වල නීති පවා මැතිවරණවලදී අකුරටම ක්‍රියාත්මක කැරෙන සම්ප්‍රදායක්ද අපේ රටේ නැත.
මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය. තරග කරන අයගෙන් කීයෙන් කීදෙනෙකු එම නීතිය පිළිපදිනවාද යන්න පැහැදිලි නැත. වත්කම් බැරකම් නීතියෙන් අපේක්ෂා කරන්නේ ඒ නීතිය යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට බැඳී සිටින අයගේ වත්කම් හා බැරකම් මහජනයාට විනිවිදව පෙනෙන තැනක තැබීමය. එහි ඊළඟ අරමුණ වන්නේ නීති විරෝධී ලෙස වස්තුව ඉපැයීම වැළකීමය. මැතිවරණවලදී තරග කරන අපේක්ෂකයන්ගෙන් වැඩි පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශ නොකරනවා පමණක් නොව, කලාතුරකින් හෝ එසේ ප්‍රකාශ කරන අයගේ ප්‍රකාශ පවා මහජනයා වෙත ලබාගැනීම දුෂ්කර දෙයක් බවට පත්කර තිබේ. වත්කම් බැරකම් ප්‍රකාශ නොකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමක්ද සිදු නොවේ. මැතිවරණවලදී මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට අදාළව වත්කම් බැරකම් නීතිය ක්‍රියාත්මක කළයුතු බලධාරියා වන්නේ මැතිවරණ කොමසාරිස්වරයාය. එහිදී ඔහු අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද යන්න පැහැදිලි නැත.
ඔහුට අවශ්‍ය නම් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම අනිවාර්ය කළ හැකිය. ඒ මගින් මැතිවරණවලට තරග කරන සියලුදෙනා වත්කම් බැරකම් ප්‍රකාශ භාර දියයුතු තැනකට ගෙනා හැකිය. එහෙත් එය මැතිවරණ කොමසාරිස්වරයාට වැදගත් දෙයක් වී ඇති බවක් පෙනෙන්නට නැත.
මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට සීමාවකින් තොරව වියදම් කිරීමට ඉඩදෙන ක්‍රමයක් හොඳ ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. ලෝකයේ ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම පාහේ මැතිවරණ අරමුදල් හා මැතිවරණ වියදම් පාලනය සඳහා නීති රීති පවතී. ඊට අදාළව අන් හැම රටකම ක්‍රියාත්මක තවත් වැදගත්ම සම්ප්රදායයක් වනුයේ මැතිවරණයේදී පක්ෂ විසින් හා අපේක්ෂකයන් විසින් කරනු ලබන වියදම්, ඒ වියදම් සඳහා මුදල් ලබාගත් මාර්ග හා ඒවාහි ප්‍රමාණයන් පිළිබඳව වාර්තා විගණකාධිපතිවරයා හා මැතිවරණ බලධාරියා වෙත භාරදීම අනිවාර්ය කර තිබීමය.
මෙවැනි මැතිවරණ සංස්කෘතියක් සඳහා වන නීති සම්පාදනය කරගන්නා තැනකට අප යොමු නොවන්නේ ඇයි? එවැනි නීති ඇති කරගැනීමෙන් හා ඒවා ප්‍රයෝගිකව ක්‍රියාවට නගන තත්ත්වයක් ඇති කරගැනීමෙන් පමණක් පවත්නා මැතිවරණ සංස්කෘතියේ පැහැදිලි වෙනසක් ඇති කළ හැකිය.
මෙම ක්‍රමය දිගින් දිගට තබාගැනීමෙන් සිදුවිය හැක්කේ රටේ පවතින මැතිවරණ ක්‍රමය කෙරෙහි ජනතාව අතර තිබෙන විශ්වාසය බිඳ වැටීමය.