අරාබි විප්ලවය හා ජපාන ඛේදවාචකය

March 6, 2011
Publication:
People:
Before Japan the world's attention was on the Arab world and the risings against its autocratic rulers. Beginning in Tunisia they spread to Egypt and other Arab countries, peaceful everywhere except Libya, where the movement took an armed form — and the thing that gave the young generation the political knowledge and drew them together was Facebook.

ජපානයට පෙර ලෝක අවධානය යොමුවී තිබුණේ අරාබි ලෝකයටය. ඒ කලාපයේ ඒකාධිපති පාලකයන්ට එරෙහිව ඇතිව තිබූ මහජන නැගිටීම්වලටය. ටියුනීසියාවෙන් ආරම්භ වී එම මහජන නැගිටීම් ඊජිප්තුව ප්‍රමුඛ වෙනත් අරාබි රටවල්වලටද පැතිරයමින් තිබුණු අතර වෙනත් රටවල සාමකාමී ස්වරූපයකින් ක්‍රියාත්මක වූ එම ව්‍යාපාරය ලිබියාවේදී පමණක් ආයුධ සන්නද්ධ නැගිටීමක ස්වරූපයක් ගෙන තිබුණි. එම කලාපයේ ඇතිවූ සාමකාමී පැනනැගීම්වලදී තරුණ පරපුරට අවශ්‍ය කරන දේශපාලන දැනුම ලබාදෙමින් නැගිටීමක් සඳහා ඔවුන් එකට ඒකරාශී කරන සාධකය ලෙස ක්‍රියාකර තිබුණේ අන්තර්ජාලයයි. අරාබි ලෝකයේ ඒකාධිපති පාලකයන්ට එරෙහිව ඇතිවූ එම නැගිටීම් ලෝකයට දෙන ලද දර්ශනය වූයේ විද්‍යාවේ දියුණුව විසින් ඇති කර තිබෙන තාක්ෂණික දියුණුව ඒකාධිපති පාලකයන්ට ඉඩක් නැති නව ලෝකයක් ඇති කරමින් තිබෙන බවය. එය දේශපාලන වේශයකින් නවීන විද්‍යාවේ මහිමය කියා පෑ ප්‍රබල අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

අරාබි විප්ලව රැල්ලේ ආස්වාදය පැවති එම කාලයේදීම ටයිම් සඟරාවේ එක් කලාපයක (පෙබරවාරි 21) කවරයේ කතාව වෙන් කර තිබුණේ වසර 2045දී මනුෂ්‍ය දැනුම් විෂයෙහි ඇතිවන්නට නියමිත මහා තාක්ෂණ විප්ලවයක් ගැනය. මනුෂ්‍ය මොළයට බද්ධ කැරුණු පරිගණක මෘදුකාංගයක් මගින් මනුෂ්‍යයා හා යාන්ත්‍රණය එකම දෙයක් බවට පත්වීමට නියමිතව තිබෙන බවත්, මනුෂ්‍යයාගේ මොළයට බද්ද කැරෙන එම මෘදුකාංගය මගින් මොළයට එකතු කැරෙන දත්ත ගබඩාව නිසා මනුෂ්‍යයාගේ බුද්ධිමය හැකියාවෙහි පෙර නොවූ විරූ මහා විප්ලවයක් ඇති කරන්නට නියමිතව තිබෙන බවත් එය කියා තිබුණේය.

ඒ සමග ජපානයේ ඇතිවන මහා ඛේදවාචකය ලෝක අවධානය දිනාගත් ප්‍රධාන සිද්ධිය බවට පත්වූයේය. විද්‍යා හා තාක්ෂණ දියුණුවේදී, ජපානය, ලෝකයේ ප්‍රමුඛ තත්ත්වයක් දිනාගෙන සිටි රටවල් කිහිපයෙන් එකක් ලෙස සැලකිය හැකිය. 2010 වසර තෙක්ම නිපදවන දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම අනුව ඇය දෙවැනි වූයේ ඇමරිකා එක්සත් ජනපදයට පමණය. 2010 වසරට අදාළ දත්ත ප්‍රකාශ වූයේ මෙම මහා ඛේදවාචකය ඇතිවන්නට සති කිහිපයකට ඉහතදීය. ඒ අනුව ඇය දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම අනුව එතෙක් ඇය හිමි කරගෙන සිටි දෙවැනි ස්ථානය අහිමි කරගනිමින් තුන්වැනි ස්ථානයට පහළ වැටී තිබුණේය. දෙවැනි ස්ථානය හිමි කරගෙන තිබුණේ චීනයයි. තවදුරටත් පළමු ස්ථානය රැකගෙන සිටි ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 14.66ක්ද, චීනයේ එය ඩොලර් ට්‍රිලියන 5.88ක්ද වනවිට ජපානයේ එය ඩොලර් ට්‍රිලියන 5.47ක් විය. ඒ අනුව ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 47132ක්ද, චීනයේ එය ඇමරිකන් ඩොලර් 7518ක්ද, ජපානයේ එය ඇමරිකන් ඩොලර් 33823ක් විය. ඒක පුද්ගල ආදායමේදී ජපානය, චීනයට වඩා හතර ගුණයකටත් වැඩි ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටියේය.

ජපානය දෙවැනි ලෝක යුද්ධ කාලයේදී ආක්‍රමණික මහා බලවතකු ලෙස නැගී සිටින්නට දරන ලද උත්සාහය අවසාන වශයෙන් පරාජය කැරුණේ ජපානයට එල්ල කැරුණු පරමාණු බෝම්බ ප්‍රහාරයකිනි. ඒ නිසා රටේ වැඩි කොටසක් අළු දූවිලි බවට පත්විය. එහෙත් එම අළු දුවිලිමත්තේ යුද හමුදාවක් පවා නැතිව නැවත මහා ආර්ථික බලවතකු ලෙස ජපානය නැගී සිටියේය. එය ආසියාවේ සියලු රටවල් අතරින් විද්‍යාවේ හා තාක්ෂණයෙන් බලමහිමය වඩාත්ම ප්‍රබල ලෙස පෙන්නුම් කළ රට ලෙසද සැලකිය හැකිය.

ජපානය ස්වාභාවික විපත් තුළ ජීවත්වෙමින් ස්වාභාවික විපත්වලට සිය ජීවිත හුරුපුරුදු කරගත් ජාතියක් විය. ඒ රටේ සියලු දේවල් ඉදිකර තිබුණේ ස්වාභාවික විපත්වලට ඔරොත්තු දෙන ආකාරයටය. උමං දුම්රිය සේවය, විදුලි බලය හා ජලසම්පාදන සේවා ඉදිකර තිබුණේද භූමිකම්පාවක් ඇතිවන අවස්ථාවකදී ස්වයංක්‍රීය ලෙස ඒවාහි ක්‍රියාකාරීත්වය නතර වී නැවත ඒ තත්ත්වය යථා තත්්ත්වයට පත්වූ පසු ඒවාහි ක්‍රියාකාරීත්වය තිබුණු ආකාරයට හෝ විකල්ප ආකාරයකට ක්‍රියාත්මක වන ලෙසටය. ජපන් ජන ජීවිතය පුරුදු කර තිබුණේද ඇතිවන ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදිය හැකි ආකාරයකටය.

එහෙත් මෙවර ඇතිවූ මහා ඛේදවාචකයේදී පූර්ව සූදානම සඳහා ඇති කර තිබුණු විධිවිධාන එක්තරා ප්‍රමාණයකට මිස මුළුමනින් ක්‍රියාත්මක නොවීය. එහිදී දහස් ගණනක් මිනිස්සු මිය ගියෝය. සිදුවූ දේපළ හානියේ පරිමාවද දැවැන්ත විය. මේ ලියන මොහොත වනවිටත් අඩපණ වූ විදුලි බලය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවී නැත. පරමාණු බලාගාර ඉදිකර තිබුණේ භූමිකම්පාවලට පමණක් නොව, මිසයිල ප්‍රහාරවලට පවා ඔරොත්තු දෙන ආකාරයට වුවත්, ලැබී තිබෙන ප්‍රතිඵලය වෙනස්ය. බලාගාරවල ඇතිවී තිබෙන විකිරණ කාන්දුවද ඛේදවාචකයේ බරපතළකම තවදුරටත් තීව්‍ර කිරීමට හේතුවී තිබේ.

එහෙත් ජපානයේ ඇතිවූ ඛේදවාචකය මිනිසාගේ නවීන දැනුම ලෙස සැලකිය හැකි විද්‍යාවේ හා තාක්ෂණයේ මහිමය ප්‍රකාශ කැරුණු අවස්ථාවක් ලෙස සැලකිය නොහැකිය. ස්වභාව ධර්මය ඉදිරියේ මිනිසාගේ බලමහිමයේ හා ඔහුගේ දැනුම ලෙස සැලකිය හැකි විද්‍යාවේ හා තාක්ෂණ දැනුමේ සීමිතකම ප්‍රබල ලෙස පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මිනිසා ස්වභාව ධර්මයේ නිර්මිතයකි. ස්වභාව ධර්මය විසින් නිර්මාණය කර තිබෙන ජීවීන් අතරින් ස්වභාව ධර්මයේ මූලික රීතීන්ට ගරු නොකොට ස්වභාව ධර්මය කෙරෙහි ආක්‍රමණික පිළිවෙතක් අනුගමනය කළ බුද්ධිමත්ම හා අහංකාරම සත්වයා මනුෂ්‍ය වර්ගයා ලෙස සැලකිය හැකිය.

ජපානයේ ඇතිවූ ඛේදවාචකය එක රටක ඇතිවූ තනි සිද්ධියක් ලෙස නොගෙන ඊට පෙර ලෝකයේ වෙනත් රටවල එක ළඟ කාලයක් තුළ විවිධ ස්වරූපයන්ගෙන් ඇතිවූ ස්වාභාවික විපත් එකිනෙක අන්තර් සම්බන්ධයක් ඇති දාම ක්‍රියාදාමයක් ලෙස ගතහොත් දක්නට ලැබෙන චිත්‍රය වඩා බිහිසුණුය. ජපානයේ මේ ඛේදවාචකය ඇතිවන්නට පෙර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් ඉතාමත් අසාමාන්‍ය ආකාරයේ ගංවතුර තර්ජනයට ලක්විය. මීට පෙර දක්නට නොලැබුණු ආකාරයේ පැයකට කිලෝමීටර් 250ක වේගයකින් හමා යන සුළි සුළං තත්ත්වයකට මුහුණ දෙන්නට තවත් රටවල් ගණනාවකට සිදුවිය. තවත් රටවල් ගණනාවකට හිම කුණාටු තත්ත්වයකටද, තවත් රටවල් ගණනාවකට ළැව්ගිනි තත්ත්වයකටද මුහුණ දෙන්නට සිදුවිය. නියඟයන්ගෙන් වන හානියද අසාමාන්‍ය ලෙස ඉහළයමින් පවතී. මේ වසරේ විශාල නියඟයකට මුහුණදීමට චීනයට සිදුවනු ඇති බවට හා ඒ තත්ත්වය ලෝක ආහාර අර්බුදය උග්‍රකිරීමට හේතුවනු ඇති බවට ප්‍රකාශ වී තිබේ. ග්ලැසියර් දියවන වේගය ඉහළ යමින් තිබෙන අතර පසුගිය දශකයේ සිට මුහුදු මට්ටම වසරකට මිලිමීටර් තුනක ප්‍රමාණයකින් ඉහළ යමින් තිබෙන බවද විද්‍යාඥයන්ගේ පිළිගත් මතය වී තිබේ.

මීට පෙර සිදුවී ඇති දැන් අසාමාන්‍ය ආකාරයකට සිදුවෙමින් තිබෙන ස්වාභාවික විපත් කෙරෙහි සේ ම ඒ කෙරෙහි බලපා ඇති අස්වාභාවික දේශගුණික විපර්යාසය කෙරෙහි ද බලපා තිබෙන්නේ මිනිසාය. මෙම අස්වාභාවික දේශගුණික විපර්යාසයට හේතුව ගෝලීය උණුසුම ඉහළ යෑමය. ගෝලීය උණුසුම ඉහළයෑම කෙරෙහි ප්‍රධාන කොට බලපා තිබෙන්නේ වායුගෝලයට එකතු වී ඇති කාබන් ඩයොක්සයිඩ් පරිමාව අසාමාන්‍ය ලෙස ඉහළ යෑමය. වායුගෝලයට අසාමාන්‍ය තරමින් කාබන් ඩයොක්සයිඩ් එකතුවීම කෙරෙහි විද්‍යාත්මක දැනුමෙන් හිස උදුම්මවාගත් මිනිසාගේ උජාරු ජීවන රටාව බලපා ඇතැ”යි කිව හැකිය.

අරාබි ලෝකයේ ඇතිවූ පැනනැගීම් ලෝකයට දෙන ලද්දේ සරල දේශපාලන පණිවුඩයකි. එහෙත් ජපානයේ ඇතිවූ සිදුවීම් දෙන ලද පණිවුඩය ඊට වෙනස්ය. මනුෂ්‍ය වර්ගයාට සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නම් දියුණුව හා ශිෂ්ටාචාරය පිළිබඳව ඇති කරගෙන තිබෙන වැරදි මිනුම් දඬු වෙනස් කරගන්නා ලෙස එය අපෙන් ඉල්ලා සිටියේයැ”යි කිව හැකිය.

මනුෂ්‍යයාට ලැබිය යුතු වැදගත්කමේ තරම කුමක්ද යන ප්‍රශ්නය දාර්ශනික තලයේ දීර්ඝ කාලයක් තිස්සේ විවාදයට හේතුවී තිබුණු මාතෘකාවකි. මිනිසාට විශ්ව වැදගත්කමක් ලබාදෙන දර්ශනවාදයන් අතර මාක්ස්වාදය ප්‍රධාන තැනක් ගනී. බර්ට්‍රන්ඩ් රසල්ට අනුව මාක්ස්ට ආවේණික ලොකුම දුර්වලතාව වන්නේද මාක්ස්ගේ දෘෂ්ටිය මුළුමනින් අප ජීවත් වන ග්‍රහතාරකාවද එම ග්‍රහ තාරකාව තුළ ජීවත්වන මිනිසාටද සීමාවී තිබීමය. මිනිසා තමන් වෙත පවරාගෙන තිබෙන විශ්ව වැදගත්කම ඔහුට හිමි නැති බව කොපර්නිකස්ගේ කාලයේ පටන්ම ප්‍රත්‍යක්ෂ වී තිබෙන බවත් එම මූලික කරුණු වටහා ගැනීමට අපොහොසත් වන කිසිම දාර්ශනිකයකුට ස්වකීය දර්ශනය විද්‍යාත්මක දර්ශනයක් බව පැවසීමේ අයිතියක් නැති බවත් රසල් කියා සිටියේය.

ගාන්ධි කීවේ මනුෂ්‍ය වර්ගයාගේ මූලික අයිතිවාසිකම් සපුරාලීමේ හැකියාවක් ස්වභාව ධර්මයට ඇතත්, ඔහුගේ කෑදර අවශ්‍යතාවන් තෘප්තිමත් කිරීමේ හැකියාවක් ස්වභාව ධර්මයට නැති බවය.