මහජන සෞඛ්‍ය සේවා-ශක්තිය හා සීමාසහිතකම්

February 27, 2011
Publication:
People:
Public health has always interested Ivan, and what made him write this was not that interest but a personal reason: a blood test done for an illness of his wife's, an ESR eight times the normal level, and the run of investigations the doctors had to send her through to find out why. The article is what he saw of the service from the inside, set out in four parts.

මහජන සෞඛ්‍ය සේවා කවදත් මගේ උනන්දුවට හේතුවී තිබුණු ක්ෂේත්‍රයක් ලෙස සැලකිය හැකිය. එහෙත් මේ ලිපිය ලියන්නට මා පෙළඹූයේ ඒ උනන්දු නොව පුද්ගලික හේතුවකි. මාගේ බිරිඳට ඇතිවූ රෝග තත්ත්වයක් නිසා සිදුකළ රුධිර පරීක්ෂණයකදී ඇගේ රුධිරයේ ESR අනුපාතිකය (රතු රුධිර සෛලවල අවසාධිත අනුපාතිකය) සාමාන්‍ය තත්ත්වයට වඩා අටගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙන බව දැනගත හැකිවිය. ඒ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම සඳහා වෛද්‍යවරුන්ට ඇය පරීක්ෂණ රාශියකට යොමු කිරීමට සිදුවිය. ආරම්භයේ සිට අවසානය දක්වා ඇති කර තිබුණු විවිධ සැකයන් අතර පිළිකා තත්ත්වයක් ඇයට තිබෙන්නේද යන සැකයද තිබුණි. ඒ බව ඇයද දැන සිටියාය. මේ කාලය තුළ මට සුපුරුදු පත්තර ලෝකයෙන් බැහැර වී රෝහල් ලෝකයට සමීප ජීවිතයක් ගතකිරීමට මට සිදුවිය. මේ ලිපිය ලියන්නට මා පොළඹවා ලූයේ එම අත්දැකීම්ය.

මරණය

නිරෝගී සුවය මනුස්සයකුට ලැබිය හැකි උතුුම්ම සම්පත ලෙස සැලකිය හැකිය. ධනය ඇතුළු වෙනත් මොනතරම් සම්පත් තිබුණද සෞඛ්‍යමය වශයෙන් සිටින්නේ නිරෝගී තත්ත්වයක නොවේ නම් ඒ ජීවිතය පීඩාකාරී හා අර්ථවිරහිත දෙයක් බවට පත්වන්නේය. මරණය සියලුදෙනාට පොදු නිත්‍ය දෙයක් ලෙස සැලකිය හැකිය. උත්තරීතර මනුෂ්‍යයන් පවා මරණයට පත් නොවී මරණය ජයගෙන නැත. මරණය නොවැළැක්විය හැකි නිත්‍ය දෙයක් වුවද මරණයෙන් කෙළවර විය හැකි රෝග තත්ත්වයකට පත්වීම අපට මරණය මතක් කරදෙන වැදගත් අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. මරණය ජීවිතයේ නිත්‍ය අංගයක් වුවද අපි ජීවිතයේ හැම මොහොතකම මරණය ගැන සිතන්නේ නම් මුළු ජීවිතයම දුකෙන් පිරුණු දෙයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. අනෙක් අතට ජීවිතයේ ඇති තාවකාලික බව අප මුළුමනින් අමතක කරමු නම් අපට ජීවත්වන්නට සිදුවන්නේ මුළුමනින් මායාකාරී මනෝරාජික ලෝකයකය.

තෝල්ස්තෝයි හා දොස්තොව්ස්කි රුසියාව බිහිකළ ශ්‍රේෂ්ඨතම නවකතාකරුවන් දෙදෙනා ලෙස සැලකිය හැකිය. දොස්තොව්ස්කිගේ නවකතා කියවන විට ජීවිතය දුකක්ය යන හැඟීම අප තුළ ඇති කරයි. ඊට වෙනස්ව තෝල්ස්තෝයිගේ නවකතා කියවන විට ජීවිතය විඳිය යුතු රසවත් අත්දැකීමක්ද යන හැඟීම අප තුළ ඇති කරයි. සමහරවිට ඇත්ත ඇත්තේ ඒ දෙක අතරය. ජීවිතය දුකක් වන්නා සේ ම එය විඳිය යුතු රසවත් අත්දැකීමක්ද වේ.

මාගේ බිරිඳගේ රෝගී තත්ත්වය පිළිකා තත්ත්වයක්ද නැද්ද යන ප්‍රශ්නය නිරාකරණය කරගන්නා තෙක් ඇගේ මරණය ගැනද අඩු වැඩි වශයෙන් කල්පනා කරන තැනකට මා යොමුවිය. මගේ ජීවිතය පිළිබඳව මගේ හිතේ ඇඳගෙන තිබුණු සැලැස්ම අනුව ඇය මියයා යුතුව තිබුණේ මා මියගිය පසුවය. ඇගේ පිළිකා සැකය සත්‍යයක් නම් මාගේ සැලැස්ම මට වෙනස් කරන්නට සිදුවනු ඇතැ”යි මට සිතුණේය. ඇය මාගේ ජීවිතයේ ප්‍රධාන ආධාරකාරිය ලෙස සැලකිය හැකිය. ඉතාමත් වැදගත් දේ ඇය හෝ මගේ දරුවන් තිදෙනා මට ආත්මාර්ථකාමීවීමට බලපෑම් නොකිරීමය. ඔවුන් මට මාගේ ප්‍රතිපත්ති පවත්වාගෙන යෑමට හා ආරක්ෂා කරගැනීමට ආධාර කළේය. ඇය රෝගී තත්ත්වයට පත්වීමෙන් පසුවද ඇතිවන ඕනෑම තත්ත්වයකට ආත්ම විශ්වාසයකින් හා සන්සුන්ව මුහුණදීමේ වැදගත්කම අවධාරණය කළ විට ඇයද ඇතිවන ඕනෑම තත්ත්වයක් භාරගැනීමට හිත හදාගත් බව පෙනෙන්නට තිබුණි.

නිදර්ශන දෙකක්

මගේ අත්දැකීම අනුව බොහෝ මිනිස්සු සාමාන්‍ය නොවන ලෙඩ දුක්වලදී සන්සුන්ව හා තර්කානුකූලව ක්‍රියානොකිරීමෙන් විශාල හානි ඇතිකර ගනී. සුවකළ හැකි ලෙඩක් ඇතිවිට එය සුවකරගත යුතුය. ඒ සඳහා අවශ්‍ය වියදම් දැරිය යුතුය. එහෙත් සුව කරගැනීමට බැරි තරමට වර්ධනය වූ ලෙඩවලදීද තමන්ට තිබෙන දේවල් සියල්ල පරදුවට තබා ක්‍රියාකරන පිළිවෙතක් තුළ මුළු පවුලේම ජීවිත කාලකණ්ණිභාවයට පත්කර ගන්නා අවස්ථා සමාජයේ සුලබව දැකිය හැකිය.

මාගේ වැඩිමහල් සහෝදරයා මියගියේ පිළිකාවකිනි. මියයන විට ඔහුගේ දරු දෙදෙනා පුංචිය. ඔහු තමන් දන්නා හඳුනන අයට උදව් උපකාර කළ ඉතාමත් විධිමත් හා ක්‍රමානුකූල ජීවිතයක් ගත කළ හොඳ හා ප්‍රියජනක පුද්ගලයෙක් විය. ඔහු මත්පැන් පානය කළා නම් කළේ වසරකට එක දිනක් පමණක් විය හැකිය. එයද පුංචි අඩියක් පමණය. දුම්බීම කළේද අවුරුද්දටම එක දිනක් පමණක් විය හැකිය. ඔහු පිළිකා රෝගියෙක් බව හඳුනාගත් විට තමාව ඉන්දියාවට ගෙන ගොස් ප්‍රතිකාර ලබාදෙන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය. මා ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා ගොනුව රැගෙන මට සම්බන්ධයක් තිබූ පිළිකා විෂයට සම්බන්ධ වෛද්‍යවරයකු හමුවී ඒ ගැන ඔහුගේ මතය විමසුවෙමි. මගේ සහෝදරයා ඉන්දියාව කෙරෙහි ඇති කරගෙන තිබෙන බලාපොරොත්තුවද ඔහුට කීවෙමි. ඔහු වෛද්‍ය පරීක්ෂණ වාර්තා පරීක්ෂා කොට බලා මට කීවේ පිළිකාව මුළු ශරීරය පුරා පැතිරී තිබෙන බැවින් ඔහු වැඩිම වුවහොත් මාසයකට නොවැඩි කාලයක් ජීවත් වනු ඇති බවත්, ඔහු වෙනුවෙන් වියදම් කිරීමෙන් වැළකී ඔහු මැරෙන තෙක් සන්තෝෂයෙන් තැබීමට අවශ්‍ය කටයුතු කිරීම සුදුසු බවය. වෛද්‍යවරයා සහෝදරයා ගැන කී අනාවැකිය සැබෑ විය.

මේ කාරණය ගැනම දැක්විය හැකි තවත් අනුවේදනීය නිදර්ශනයක් මෙසේය. තමන්ගේ එකම දුවට ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා ඇගේ පියා ඇය අධ්‍යාපනය ලබමින් සිටි හොඳ පාසලකින් ඉවත් කොට නිවසට සමීප කසිකබල් ගණයේ පාසලකට සිය දුව ඇතුළත් කළේය. ඉන්පසු ඔහු කසිකබල් තත්ත්වයක තිබුණු පාසලේ තත්ත්වය නගා සිටුවීම සඳහා ලොකු සටනක් කළේය. ඒ අතරතුර දුවට අතිරේකව ඔහුගේ බිරිඳද රෝගී තත්ත්වයකට ඇද වැටුණි. ඇය පෙලුණේ වකුගඩු ආබාධයකිනි. ක්‍රමයෙන් දුවගේ රෝගී තත්ත්වය ඉක්මවා මවගේ රෝගී තත්ත්වය උත්සන්න විය. ඔහු සිය බිරිඳට වකුගඩු සැත්කමක් සැලසුම් කළේය. ඒ වනවිටත් ඔහුෙ දුවගේ රෝගය වෙනුවෙන් ඔහු විශාල වියදමක් දරා තිබූ අතර බිරිඳගේ වකුගඩු සැත්කම වෙනුවෙන් අපේක්ෂා කළ වියදම රුපියල් ලක්ෂ 80කි. එම වියදමෙන් ඔහු විශාල කොටසක් ලබාගෙන තිබුණේ ණයටය. ඉතිරිය ඔහු සොයා ගැනීමට උත්සාහ කළේ තමන් දන්නා හඳුනන යාළු මිත්‍රයන්ගෙනි. මා ඔහු දැන සිටි අතර රංජිත් දිසානායක (කළු රංජි) සමග මා හමුවීමට මාගේ කාර්යාලයට පැමිණි අවස්ථාවකදී ඔහු සිටි හැඟීම්බර තත්ත්වය නොසලකා මට පෙනෙන ඇත්ත කියා දෙන්නට මම උත්සාහ කළෙමි.

තමන් ඇලුම් කරන බිරිඳගේ ජීවිතය බේරාගැනීම සඳහා සියලු දේ පරදුවට තබා ක්‍රියා කරන ප්‍රතිපත්තියක් යහපත් වුවත්, ඔහුට රෝගී තත්ත්වයක සිටින දරුවකු ද සිටින නිසා කරන්නට යන විශාල වියදමෙන් යහපත් ප්‍රතිඵලයක් ලබාගත හැකිද යන්න හොඳින් සලකා බලන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඕනෑම කෙනකුටම ආවේණික මරණයේ නියතභාවය පැහැදිලි කොටදී අප ප්‍රිය කරන පුද්ගලයන්ද මරණයට පත්වන බව පෙන්වා දෙමින් බිරිඳ සිටින්නේ ප්‍රතිකාර කොට ඇගේ ජීවිතය ගලවා ගතහැකි තැනක නම් ඒ වෙනුවෙන් වියදම් කිරීම වරදක් නැතත්, බිරිඳ ඉන්නේ ඇගේ ජීවිතය ගලවාගත නොහැකි තත්ත්වයක නම් ඇය වෙනුවෙන් ණය බරවී එවැනි විශාල වියදමක් දැරීම රෝගී තත්ත්වයක සිටින ඔහුගේ දුවගේ අනාගත ජීවිතය විශාල අවුලකට තල්ලු කිරීමට හේතුවනු ඇති බව කියා සිටියෙමි. ඔහු මට සාවධානව ඇහුම්කන් දුන්නද තමාගේ සැලැස්ම ආපස්සට ගැනීමේ හැකියාවක් ඔහුට නොතිබුණි. එහෙත් ඔහුගේ වැඩපිළිවෙළට බිරිඳගේ ජීවිතය ගලවා ගැනීමට හැකිවූයේ නැත. බිරිඳගේ ජීවිතය ගලවා ගැනීම සඳහා ණයගැතිවී කරන ලද විශාල වියදම ඔහුගේ රෝගී දුවණියගේ ජීවිතය දුෂ්කර කිරීමට හේතුවූවා විය හැකිය. තම පවුලේ කෙනකුට බිහිසුණු ලෙඩක් ඇතිවූ විට බොහෝ දෙනකු හැසිරෙන්නේ ඊට සමාන ආකාරයකටය. ඒ මගින් සිදුවන්නේ ගැටලුව ජයගැනීම වෙනුවට උත්සන්න කරගැනීමය.

වෛද්‍යවරුන්ගේ හොඳ නරක

නිතර උණ ගැනීම හා උණ බැසීම මගේ බිරිඳට පෙනෙන්නට තිබුණු රෝග ලක්ෂණය විය. බෙල්ල රිදෙන බවද ඇය කීවේය. වෛද්‍යවරයකුට පෙන්වීමට තීරණය කිරීමෙන් පසුද පෙන්වන්නට සිදුවූයේ අපේක්ෂා කළ වෛද්‍යවරයාට නොව ඔහු නැතිකම නිසා වෙනත් වෛද්‍යවරයකුටය. වෛද්‍යවරයා ඇය පරීක්ෂා කර බැලීමෙන් පසු සති දෙකක කාලයක් සඳහා පාවිච්චි කිරීමට මිලිග්‍රූම් 650 ප්‍රතිජීවක ඖෂධයක් නියම කොට ලේ පරීක්ෂණයක් ලබාගන්නා ලෙස ද නියම කළේය.

ඇගේ ලේවල තිබෙන ESR අනුපාතිකය 116ක් බව ලේ පරීක්ෂණයේදී සොයාගත හැකිවිය. පරීක්ෂණ වාර්තාව සමග ඇය මුලින් කී වෛද්‍යවරයා හමුවන්නට ගියේය. ඔහු ලේ පරීක්ෂණ වාර්තාව බලා ESR අනුපාතිකය අසාමාන්‍ය තරමින් ඉහළ නැග තිබියදීත් ඒ ඇයිද කියන ප්‍රශ්නයට පිළිතුරක් නොසොයා දින 14ක් සඳහා නියම කරන ලද ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කිරීමෙන් පසු නැවත තමා හමුවන ලෙස නියම කළේය.

වෛද්‍යවරයා එහිදී අනුගමනය කළ ප්‍රතිපත්තිය රෝගියාගේ හෝ මගේ විශ්වාසයට හේතු නොවීය. ඉන්පසු දෙවැනි මතයක් දැනගැනීම සඳහා ඇය කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට අනුයුක්ත වෙනත් වෛද්‍යවරයකු හමුවන්නට ගියේය. ලේ පරීක්ෂණ වාර්තාව බලා ඔහු ඇය පැය භාගයක් පමණ කාලයක් පරීක්ෂාවට ලක් කළේය. ඒ සමග ඇගෙන් ප්‍රශ්න ද කළේය. තමන් වැඩ කරන කරාපිටිය රෝහලේ 11 වන වාට්ටුවට ඇතුළත් වන ලෙස ඔහු ඇයට දැනුම් දුන්නේය. එහෙත් ආණ්ඩුවේ රෝහලකට ඇතුළුවීමට ඇය කැමති නොවීය. ඒ වෙනුවට පෞද්ගලික රෝහලක් වන රුහුණු රෝහලට ඇතුළුවීම ඇගේ අභිමතය වුවත් වෛද්‍යවරයා ඊට කැමති නොවීය. ලෙඩය සොයාගැනීම සඳහා පරීක්ෂණ විශාල ගණනක් සිදුකරන්නට සිදුවිය හැකි බැවින් එවැනි දේකට ගාල්ලේ තිබෙන හොඳම තැන කරාපිටිය රෝහල බව වෛද්‍යවරයාගේ මතය විය. ඇය කරාපිටිය රෝහලට ඇතුළුවීමට කැමැත්තක් නොදැක්වූයේ ආණ්ඩුවේ රෝහල්වල වැසිකිළි අපිරිසිදු බවට ඇති කරගෙන තිබූ පූර්ව නිගමනය නිසාය. ඇය කරාපිටිය රෝහලට ඇතුළු නොවී ගෙදර ආවේය.

කුමක් කළ යුතුද යන්න එහිදී අපි සාකච්ඡා කළෙමු. ඇයට දෙවැනි වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසයක් සේ ම ගෞරවයක්ද තිබුණි. වැසිකිළි ප්‍රශ්නය නිසා කරාපිටිය රෝහලට ඇතුළුවීමේ අකමැත්තක්ද තිබුණි. වෛද්‍යවරයාට වැදගත් වූයේ රෝගියාගෙන් උපයාගත හැකි ගාස්තු නම් ඇය පෞද්ගලික රෝහලකට ඇතුළු වනවාට ඔහු කැමති විය යුතුව තිබුණි. එහෙත් වෛද්‍යවරයා රෝගියාගෙන් ඉල්ලා සිටියේ තමන්ට ගාස්තු නොලැබෙන රජයේ රෝහලට ඇතුළු වන ලෙසය. වෛද්‍යවරයා යහපත් වෛද්‍යවරයකු බව පෙනෙන නිසා ඇතිවිය හැකි අපහසුතා නොසලකා කරාපිටිය රෝහලට ඇතුළු විය යුතු බව මගේ මතය විය. ඇයද එය පිළිගත්තාය.

ඇය නේවාසික ප්‍රතිකාර ලබාගැනීම අවසන් කිරීමෙන් පසු රෝහල් සේවාවන්ගේ තත්ත්වය පිළිබඳව මා ඇය හා කතා කළෙමි. ඇගේ මතය වූයේ වාට්ටුවේ සියලු වෛද්‍යවරුන්ගේ සේ ම හෙදියන්ගේද ක්‍රියාකාරීත්වය අගේ කළයුතු තත්ත්වයක තිබුණු බවය. එය ඇය සම්බන්ධයෙන් පළවූ විශේෂ තත්ත්වයක්ද නැතිනම් වාට්ටුවේ සියලු රෝගීන් සම්බන්ධයෙන් පැවති පොදු තත්ත්වයක්දැ”යි මා විමසූ විට එම වාට්ටුවේ සියලුම රෝගීන් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් හා හෙදියන් පවත්වාගෙන ගිය සේවාවන් යහපත් තත්ත්වයක පැවති බව ඇය කියා සිටියාය.

ඇගේ මතය අනුව වාට්ටුව පිරිසිදුය. වැසිකිළිද නිතර නිතර පිරිසිදු කළද සමහර රෝගීන්ගේ නොසැලකිලිමත්භාවය වැසිකිළිවල අපිරිසිදුභාවය කෙරෙහි බලපා තිබෙන බව ඇගේ මතය විය. වැසිකිළි කෙරෙහි ඇති අප්‍රියාව ඇය වෙනස් කරගෙන තිබුණේ නැත. වැසිකිළියෑමේ අවශ්‍යතාව මගහරවා ගැනීම සඳහා බොහෝ විට ආහාර ගැනීමෙන් වැළකී සිටි බව කියා සිටියාය.

මෙම තනි නිදර්ශනයෙන් පමණක් වුවද වෛද්‍යවරුන් ප්‍රභේද දෙකක් සිටින බව හඳුනාගත හැකිය. එක ප්‍රභේදයක් වඩා වැදගත් කොට සලකන්නේ මුදල් නොව තමන් අතින් වියයුතු සේවාව ගැනය. අනෙක් ප්‍රභේදයට වඩා වැදගත් මුදල්ය.

පෞද්ගලික වෛද්‍ය සේවය ආශ්‍රයෙන් මතුවී තිබෙන ගැටලු ගැන කතා කරන විට ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ උගත්කමේ තරමට හා ඔවුන් කරන සේවාවේ තරමට ගැළපෙන වැටුපක් නොලැබෙන්නේ යන කාරණය අමතක නොකළ යුතුය. වෛද්‍යවරයකුට ලැබෙන වැටුපට වැඩි වැටුපක් වරාය අධිකාරිය, විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් වැනි ආයතනවල සාමාන්‍ය කම්කරුවන්ට ලැබෙන්නේය. සමහර වෛද්‍යවරුන් මුදල් උපයා ගැනීමේ මූලික පරමාර්ථයෙන් යුතුව ක්‍රියාකරන අතර අනවශ්‍ය තරමට මුදලට කෑදර නොවී රෝගීන් සඳහා මහඟු සේවාවක් කරන වෛද්‍යවරුන්ද සිටිති.

රජයේ රෝහල් සේවය

රජයේ රෝහල් සිය සේවාවන් පවත්වාගෙන යන්නේ නොමිලේය. සීමාසහිතකම් තිබෙනමුත් ඒ මගින් සමාජයට සිදුවන සේවය දැවැන්තය. සෞඛ්‍ය සේවා සඳහා රජයේ වියදම රුපියල් බිලියන 74.5කි. ඉන් 75%ක් තරම් විශාල පංගුවක් වැයවන්නේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු රෝහල් සේවකයන්ගේ වැටුප් සඳහාය. ඉතිරි වියදමෙන් තවත් විශාල පංගුවක් වැයවන්නේ ඖෂධ සඳහාය. රෝහල් ගොඩනැගිලි නඩත්තු කිරීමට හෝ රෝහල්වල කාර්මික හා තාක්ෂණ සේවා පවත්වාගෙන යෑමට ඉතිරි වියදම් ප්‍රමාණවත්වන්නේ නැත. මගේ බිරිඳගේ සමහර රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම් කරාපිටිය රෝහල තුළ නොතිබුණි. ඒවා පිටතින් මුදල් ගෙවා කරගත යුතුවිය. අප දැන් ජීවත්වන්නේ තොරතුරු තාක්ෂණය රජ කරන යුගයක වුවත් රජයේ රෝහල් සේවය තුළ තොරතුරු තාක්ෂණයට ප්‍රමුඛ තත්ත්වයක් ලබාදී තිබෙන බවක් පෙනෙන්නට නැත. රෝගීන් ලියාපදිංචි කෙරෙන්නේ තවමත් ඉපැරණි ක්‍රමයටය. පැරණි ඇඳ ඉහපත් ක්‍රමය වෙනස් වී නැත. වෛද්‍යවරුන්ගේ තාක්ෂණඥයන්ගේ හා හෙදියන්ගේ රාජකාරි කටයුතු සඳහා බහුල ලෙස පරිගණක යොදා ගැනෙන බවක් ද පෙනෙන්නට නැත. රෝහල්වල ඖෂධ ගබඩාද පරිගණක ගතකර තිබෙන බවක් පෙනෙන්නට නැත.

බිරිඳට ඇගේ අස්ථිවල පිළිකා තත්ත්වයක් තිබෙනවාද යන්න හරියාකාරව දැනගැනීම සඳහා “අස්ථි ප්‍රතිබිම්භ පරීක්ෂණයක් සඳහා” පේරාදෙණිය රෝහලට ගෙනයෑමට සිදුවිය. මෙම ස්කෑනර් පරීක්ෂණයට පෙර ඔ 99 නමින් හැඳින්වෙන විකිරණශීලී එන්නතක් රෝගියාගේ ශරීරයට විදිනු ලැබේ. එම එන්නත ලබාදීමෙන් පසු රෝගියා ස්කෑනර් පරීක්ෂණයට ලක්කරනුයේ පැය දෙකක කාලයකට පසුවය. ඒ අතරතුර කාලයේ රෝගියා වතුර ලීටර් දෙකක් පානය කළ යුතුය. එන්නත විදීමෙන් පසු රෝගියාගේ ශරීරයෙන් කිරණ පිටවෙන නිසා රෝගීන් සමග සිටින පිටස්තරයන් ඒ ස්ථානයෙන් පිට කරනු ලැබේ. ස්කෑනර් පරීක්ෂණයෙන් පසුද පැය 24ක කාලයක් තවදුරටත් රෝගියේ ශරීරයෙන් කිරණ පිටකිරීමක් සිදුවන නිසා ඒ කාලය තුළ රෝගියා සමාජ ඇසුරෙන් තොරව තැබිය යුතුය.

අවාසනාවකට මෙන් ස්කෑනර් යන්ත්‍රය වැඩ කළේ පළමු රෝගියා සඳහා පමණය. එන්නත් ලබාදී තිබුණු රෝගීන් තිදෙනකුට යන්ත්‍රයේ කාර්මික දෝෂය නිරාකරණය කරන තුරු බලා සිටීමට සිදුවූ අතර යන්ත්‍රය යථා තත්ත්වයට ගන්නා විට ලබාදෙන ලද එන්නතේ කාලය පසුවී තිබුණි. ඒ නිසා මාගේ බිරිඳ ඇතුළු එම රෝගීන් තිදෙනාට දෙවන වරටද ඔ 99 එන්නත ලබාදී තවත් පැය දෙකක කාලයක් සූදානම් කොට තැබීමට සිදුවිය. එය වෛද්‍යවරියගේ වරදක් නොවේ. යන්ත්‍රයේ වරදකි. එදින නිවාඩු දිනයක් වූ අතර වෛද්‍යවරිය එහි පැමිණ තිබුණේ ලෙඩුන් දහදෙනා පරීක්ෂාවට ලක් කොට අඩුම තරමින් දහවල් දෙක පමණ වනවිටත් ගෙදර යෑමේ බලාපොරොත්තුව ඇතිවය. එම රෝගීන් දහදෙනා අතර විශ්‍රාම ගිය මහාචාර්යවරයකුද සිටියේය. ඉතිරි පිරිසෙන් වැඩිම පංගුව ගුරුවරියන් වූහ.

මෙම පරීක්ෂණය භාරව ක්‍රියා කළ වෛද්‍යවරිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මෙම විෂය භාරව ක්‍රියා කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක විය. මෙම විෂය විකිරණ සමග ගනුදෙනු කළයුතු විෂයක් වන නිසා මෙම විෂය තෝරා ගැනීමට වෛද්‍ය ශිෂ්‍යයන් මැලිකමක් දක්වන බවත් එම තත්ත්වය අනාගත පිළිකා රෝගීන් කෙරෙහි හානිකර ලෙස බලපෑ හැකි බවත් ඇය එහි සිටි මහාචාර්යවරයාට කියා තිබුණි. යන්ත්‍රයේ ඇතිවූ කාර්මික දෝෂය නිසා ඇයට ගෙදර යන්නට සිදුවූයේ බොහෝ ප්‍රමාදවීය. ස්කෑනර් යන්ත්‍රයේ ප්‍රින්ටරය ක්‍රියාකරන තත්ත්වය නොතිබීම නිසා රෝගීන්ගේ ස්කෑනර් වාර්තා මතක පෑනකට ගෙන අදාළ වාර්තාවල මුද්‍රිත පිටපත් රෝගීන් වෙත තැපෑලෙන් ලැබෙන්නට සලස්වන බව ඇය රෝගීන් වෙත දැනුම් දී තිබේ. මාගේ බිරිඳගේ අස්ථිවල පිළිකා තත්ත්වයක් නැති බවද ඇය දැනුම් දුන්නාය.

මෙම අත්දැකීමෙන්ද පෙනී යන්නේ රෝහල්වල පරීක්ෂණ අංශවල තිබෙන යන්ත්‍ර සූත්‍ර යථා තත්ත්වයක තබාගැනීම සඳහා වන කාර්යක්ෂම ක්‍රියාමාර්ගයක් ආණ්ඩුවේ රෝහල් ක්‍රමයට නැති බවය. ඊට පසුදින මහරගම පිළිකා රෝහලට කතා කළ අවස්ථාවේදීද එහි බෙහෙත් ගබඩාවට සවිකර තිබෙන වායුසමීකරණ යන්ත්‍රවලින් කිසියම් ප්‍රමාණයක් ක්‍රියාවිරහිත වී තිබෙන බවත්, වායුසමීකරණ තත්ත්වයක තබාගත යුතු වටිනා ඖෂධවල පැවැත්ම ඒ මගින් අනතුරට ලක්ව ඇති බවත් දැනගන්නට ලැබුණි. කරාපිටිය රෝහලේදී බොහොමයක් පරීක්ෂණ පිටතින් කරගන්නට සිදුවූයේද එම පරීක්ෂණ සඳහා යොදා ගැනෙන යන්ත්‍ර සූත්‍ර ක්‍රියාවිරහිත තත්ත්වයක තිබෙන නිසා විය හැකිය.

ආණ්ඩුවේ රෝහල් මුළුමනින් අයවැයෙන් ලැබෙන ප්‍රතිපාදන මත පමණක් යැපෙන තත්ත්වයක තැබීම යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී ආණ්ඩුවේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් සතවිසිපහක ගාස්තුවක් අය කිරීමට යෝජනා කළවිට බලවත් ලෙස විවේචනයට ලක්විය. ආණ්ඩුවේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් රුපියල් 50ක් හෝ 100ක් වැනි මුදලින් අය කරන ප්‍රතිපත්තියකට යාහැකිය. එවැනි ගෙවීමක් කිරීමේ හැකියාවක් නැති අයගෙන් ඒ මුදල අය නොකර ප්‍රතිකාර කරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා හැකිය. ඒ මගින් රෝහලට ලැබෙන මුදල් රෝහලේ අඩුපාඩු සඳහා යොදාගැනීමේ බලය එම රෝහල් පාලකයන්ට ලබාදිය හැකිය. ඒ මගින් රෝහල් මුහුණ දෙන මෙවැනි ප්‍රශ්න ජයගත හැකිය.

ආණ්ඩුවේ සෞඛ්‍ය සේවය සඳහා වෙන් කැරෙන අරමුදල් ප්‍රමාණවත් නොවනවා විය හැකිය. ඒ සමග ආණ්ඩුවේ සෞඛ්‍ය සේවය තුළ විශාල ප්‍රමාණයේ දූෂණයන් ද සිදුවන බව හා ඒ මගින් විශාල සම්පත් නාස්තියක් සිදුවන බවද අමතක නොකළ යුතුය. පාලන කටයුතු සඳහා ෂඔ තාක්ෂණය යොදාගැනීම මගින් දූෂණය අවම කළහැකි අතර අක්‍රමවත් බවද නැති කළ හැකිය. දකුණු ආසියානු හෝ ආසියානු රටවල මිනුම් දඬු අනුව මහජන සෞඛ්‍ය විෂයේදී අප ඉන්නේ හොඳ තැනක මිස නරක තැනක නොවේ. එහෙත් යුරෝපීය රටවලට සාපේක්ෂව අප ඉන්නේ හොඳ තැනක නොව නරක තැනකය.

ඖෂධ සඳහා පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම මගින් රෝගීන්ට දරන්නට සිදුවන සෞඛ්‍ය වියදම අඩු කළ හැකිය. අපේ රටේ පමණක් නොව, හැම රටකම ඖෂධ කර්මාන්තය විශාල ලාභ ලබාදෙන ජාවාරමකි. ලාභ අනුපාතිකයේදී එය දෙවැනි වනුයේ ආයුධ වෙළෙඳාමට හා මත්ද්‍රව්‍ය වෙළෙඳාමට පමණය. ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙඳාමේ යථා තත්ත්වය පිළිබඳ අදහසක් ඇති කරගැනීමට ප්‍රයෝජනවත් කතාවක් මෙසේය. එය මට මාගේ මිතුරකුගෙන් අසන්නට ලැබුණු කතාවකි. ඔහු හොඳින් දන්නා හඳුනන විශාල ව්‍යාපාරිකයකු මීට වසර හය හතකට පෙර ඔහුට කියන ලද කතාවකට අනුව මෙම ව්‍යාපාරිකයාට විවිධ අංශ ගණනාවක ආයෝජනයන් ඇතත්, ඔහුට වැඩියෙන්ම ලාභ ලබන ව්‍යාපාරය වී ඇත්තේ ඖෂධ වෙළෙඳාමය. ඔහු ගෙන්වා බෙදාහරින ඖෂධ වර්ගවල සංඛ්‍යාව 160කි. එක වර්ගයකට අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා දෙන අල්ලස් වෙනුවෙන් කරන සාමාන්‍ය වියදම රුපියල් මිලියන 04කි. අල්ලස් දී අනුමැතිය ලබාගත් පමණකින් ඖෂධ විකිණිය නොහැකිය. වෛද්‍යවරුන්ද ඖෂධ වෙළෙඳපොළ තීරණය කරන වැදගත් සාධකයකි. වෛද්‍යවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා ඔහු වෙළෙඳ සහායකයන් හතළිස් දෙනකු යොදාගෙන ඇති බවත් ඒ වෙනුවෙන් වෛද්‍යවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා ද විශාල වියදමක් කරන්නට සිදුවී තිබෙන බවත්, මෙම දෙපිරිස වෙනුවෙන් කරන වියදම පමණක් වරාය දක්වා වන ඖෂධයක මිල මෙන් දෙගුණයක් පමණ වන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

ඖෂධ වෙළෙඳාම පිළිබඳව මා ළඟ ඇති ලිපිගොනුවක 1980 ගණන්වල පේරාදෙණිය වෛද්‍ය පීඨයේ එවකට ඖෂධ විද්‍යා අංශයේ මහාචාර්යවරයා වශයෙන් ක්‍රියා කළ මහාචාර්ය කේ. ජයසේන ලියන ලද ලිපියක් තිබේ. එයට අනුව සමහර වෛද්‍යවරුන් රෝග පරීක්ෂාවෙන් උපයන ආදායමට වැඩි ආදායමක් ඖෂධ වෙළෙඳාමට දායකවීමෙන් උපයා ගනී. ඖෂධ නියම කිරීමේදී, තීරණය කිරීමේ බලය ඇත්තේ වෛද්‍යවරයාටය. පිළිගත් ආචාර ධර්ම අනුව ඖෂධ නියම කළයුත්තේ ඒවා අත්‍යවශ්‍ය වන විට පමණක් වුවත් ඖෂධ ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු අත්‍යවශ්‍ය නොවන ඖෂධ ද රෝගීන්ට නියම කරති. ඒ මගින් තම ආදායම් තරකර ගනී. මෙම අශෝභන තත්ත්වය ශ්‍රී ලංකාවේ පමණක් නොව, හැම රටකම පාහේ අඩුවැඩි වශයෙන් පවතී. අත්‍යවශ්‍ය ඖෂධ සංකල්පය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දෙන ලද සංකල්පයකි. එකම ඖෂධය වෙළෙඳනාම විශාල ගණනකින් වෙළෙඳපොළේ විකිණේ. රටකට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සංඛ්‍යාව 150කට වැඩි නැත. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඖෂධ ලැයිස්තුවක් සකස් කරන ලද අතර ශ්‍රී ලංකාවද ඒ අනුව යමින් 70 ගණන්වලදී ආණ්ඩුව විසින් පත් කළ විශේෂඥ කමිටුවක් මගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් සකස් කළේය. එම ලැයිස්තුව 80 ගණන්වලදී නැවත විධිමත් කළේය. වෙළෙඳනාම මත පදනම් නොවී ඖෂධ නාමවලින් ඖෂධ නියම කිරීමේ ප්‍රතිපත්තියක්ද ඇතිකර ගන්නා ලදි. ඒ මගින් පමණක් රෝගීන්ට ඖෂධ සඳහා කරන වියදම 50%කට වැඩි ප්‍රමාණයකින් අඩු කරගත හැකිය. එහෙත් මෙම ප්‍රතිපත්තිය දැඩිව ක්‍රියාත්මක වන තත්ත්වයක් රටේ නොපවතී. මෙම ප්‍රතිපත්තිය දැඩිව ක්‍රියාත්මක කරන තත්ත්වයක් ඇති කරන බවට නව සෞඛ්‍ය ඇමතිවරයා රටට සහතික වී තිබේ. එසේ කිරීමෙන් පමණක් වුවත් රෝගීන්ට ලබාදිය හැකි සහනයේ ප්‍රමාණය විශාලය. එහෙත් ඖෂධ ජාවාරම්කරුවන් එවැනි ප්‍රතිපත්තියකට ඉඩදේද යන්න ප්‍රශ්නයකි.