ජනමාධ්‍ය අමාත්‍යාංශය විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යය ආයතනවල ජනමාධ්‍යවේදීන් අමතා පවත්වන ලද වැඩ මුළුවක් අමතා මා පවත්වන ලද දේශනයකදී දේශනය අවසානයේ දී එහි සිටි ජනමාධ්‍යවේදියකු මාගේ පමණක් නොව අසන්නන්ගේ ද උනන්දුවට හේතුවන අපූරු ප්‍රශ්නයක් මතු කරන ලදි. ඔහු නගන ලද ප්‍රශ්නය මෙසේය.
—මම අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ කාලයේදී ඔහු සමග ලොකු අරගලයක් කළේය. එහෙත් ඔහු විශ්‍රාම යාමෙන් පසු දැන් මම නිහඬයි. අධිකරණය ගැන කිසිවක් කථා කරන්නේ නැත. එහි තේරුම හිටපු අගවිනිසුරුතුමාගේ විශ්‍රාම යෑමෙන් පසු අධිකරණය හොඳ තැනක් බවට පත්ව ඇති නිසාද? නැත්නම් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ අන් හේතුවක් නිසාද?”
මෙම ප්‍රශ්නයට මේ සමාන ආකාරයටම නොවෙතත් විවිධ ආකාරවලට වෙනත් අය ද විවිධ අවස්ථාවලදී මතුකර තිබෙන ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. මෙම ප්‍රශ්නයද ජනමාධ්‍යවේදීන් ඉදිරියේ කවදා හෝ විස්තර කිරීමේ වුවමනාවක්ද මා තුළ සැඟවී තිබුණේයැ”යි කිව හැකිය. මා මෙම ආරවුල ගැන “නොනිමි අරගලය” නමින් පොතක් ලියා ඇත. ඊට ඇතුළත්ව ඇත්තේ සමස්ත කථාවෙන් එන අර්ධයක් පමණය. එහි නොකියවුණ හා නොලියවුණු තවත් කථාවක්ද ඇත්තේය. ඒ නොකියවුන කථාව ජනමාධ්‍යවේදියා නගන ලද ප්‍රශ්නයට අදාළය. එය යුක්තිය සඳහා මගේ සටන් කරන ප්‍රතිපත්තිය කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කිරීමට හේතු වූ අත්දැකීම් සමුදායක් ලෙස ද සැලකිය හැකිය. මා එම ජනමාධ්‍යවේදියා අසන ලද ප්‍රශ්නයට දෙන ලද පිළිතුර සංක්ෂිප්ත වශයෙන් මෙසේය.
—ඔව්. මම අධිකරණයේ ප්‍රධානියා සමග සටනක් කළා. එය පුද්ගලික සටනක් නොවෙයි. එය හොඳ උදාර අරමුණකින් කෙරුණු සටනක්. එය පැවත්ම පරදුවට තබා කරන ලද ඉතාමත් අවදානම් සහගත සටනක් ලෙස ද සැලකිය හැකිය. ඒ සඳහා ගත වූ කාලය අවුරුදු 10ක්. එය මාගේ ජීවිතයෙන් දහයෙන් එකක් තරම් කාලයක්. එය යුක්තිය සඳහා කෙරුණු අරගලයකි. සාධාරණ හා ස්වාධීන අධිකරණයක් සඳහා කැරුණු අරගලයක්. අගවිනිසුරුවරයා නිල බලයෙන් කොතරම් බලවත් වුවත් ඒ අරගලයෙන් ජය ලැබීමේ වැඩි හැකියාව තිබුණේ මටය. මා ඉන් ජය ලැබී නම් එය අධිකරණයේ මහා වෙනස්කම් ඇති කිරීමටද හේතු වන ක්‍රියාවලියක ආරම්භයක් වන්නට ඉඩ තිබුණා. එය පෙරළා ආණ්ඩු පාලනය කෙරෙහිත් සමාජය කෙරෙහිත් යහපත් බලපෑමක් ඇති කරන සංසිද්ධියක් බවට පත්වන්නට ඉඩ තිබුණා.
ඒ අරගලය ජය ගැනීමේ මගේ හැකියාවත් මට තිබියදීත් එය ජය පරාජයෙන් තොර යහපත් ප්‍රතිඵල නැති නිෂ්ඵල අරගලයක් බවට පත් කළේ ජනමාධ්‍යවේදීන් වන ඔබලා විසින්ය. නැත්නම් ප්‍රධාන කොට ජනමාධ්‍ය ආයතන, ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන් හා ජනමාධ්‍යවේදීන් ඇතුළත් ජනමධ්‍ය සමාජය විසින්ය.
එහිදී මට උදව් කරනවා වෙනුවට, ප්‍රසිද්ධියේ මට උදව් කිරීමට ශක්තියක් නැතිනම් නිහඬව ඉඳිමින් මට ආශිර්වාද කරනවා වෙනුවට ජනමාධ්‍ය සමාජය මාගේ සටන විසින් අධිකරණයේ ඇති කර තිබුණු අර්බුදයට තමන්ට වාසි ලබාගැනීමට අවස්ථාවක් කර ගත්තා. ජනමාධ්‍යය සමාජයේ නඩු කියන අය අගවිනිසුරුවරයාට ළංවීමට හා වාසිදායක වූ තීන්දු ලබාගැනීමට එය අවස්ථාවක් කර ගත්තා. එක ජනමාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් තමන්ට තිබෙන නඩු 17ක් සඳහා වාසිදායක තීන්දු ලබාගැනීමට එය අවස්ථාවක් කරගත්තා. තවත්් හිමිකරුවෙක් වංචා නඩුවකින් නිදහස්වීමට එය අවස්ථාවක් කරගත්තා. තවත් හිමිකරුවෙක් තමන්ගේ දේපළ නඩුවක් විසඳා ගැනීමට එය අවස්ථාවක් කරගත්තා. සමහර ජනමාධ්‍යවේදීන්ද තමන්ගේ නඩු හබ, තම පවුල්වල නඩුහබ, මිත්‍රයන්ගේ නඩුහබ විසඳා ගැනීමට එය අවස්ථාවක් කරගත්තා. ඒ සියලු දෙනා අගවිනිසුරුවරයාගෙන් ලබාගත් හෝ ලබාගැනීමට නියමිත වාසි වෙනුවෙන් එම අර්බුදයේදී අගවිනිසුරුවරයා රකින ශක්තිමත් පවුරක් ලෙස ක්‍රියා කළා. ඔහුගේ වාසියට හේතුවන ලෙස උපරිම ප්‍රචාරයක් ලබාදෙන අතර ඔහු ගුණයහපත් සත්පුරුෂ වීරයකු බවට පත් කළා.
මෙම මහා පෙරහැරට එකතු වූ වෙනත් අයද සිටියා. සමහර නීතිඥයින් අගවිනිසුරුවරයාට ළංවීමට මෙය අවස්ථාවක් කරගත්තා. ඒ මගින් පමණක් ඔවුන් විශාල ආදායම් උපයන්නන් බවට පත්වුණා. නඩුහබ තිබුණු සමහර උගතුන් පවා ඔවුන්ගේ නඩුහබ බේරාගැනීමට එය අවස්ථාවක් කර ගත්තා. නඩුහබ තිබෙන දේශපාලනඥයන් අගවිනිසුරුවරයාට ළංවීමට එය අවස්ථාවක් කරගනිමින් ඔවුන්ගේ නඩුහබ සඳහා වාසිදායක තීන්දු ලබාගත්තා. විකල්පකාරී ලෙස සිතන දේශපාලන ව්‍යාපාර පවා අගවිනිසුරුවරයාට ළංවී ඔවුන්ගේ දේශපාලන කීර්තියට හේතුවන නඩු තීන්දු ලබාගැනීමට එය අවස්ථාවක් කර ගත්තා. පාතාල ලෝකයේ සමහර දරුණු අපරාධකාරයන් පවා අගවිනිසුරුවරයාට ළංවීමට එය අවස්ථාවක් කරගත්තා. ඒ මොහොතේ දී ඒ සියලු දෙනාට තමන්ගේ ආරක්ෂාව සඳහා අගවිනිසුරුවරයාව වැදගත් වුණා. ඔවුන්ට අවශ්‍ය දේවල් ලබාදෙමින් ඔවන්ට තිබෙන විවිධ ශක්තිය තමන්ගේ ආරක්ෂාව සඳහා උපරිම ලෙස ප්‍රයෝජනයට ගත්තා.
අවසානයේ ඒ සියලු දෙනා එකට එකතු වී බොර දියේ මාළු බාමින් යුක්තිය සඳහා කෙරුණු මගේ අරගලය ජය පරාජයෙන් තොර අරගලයක් බවට පත් කළා. අධිකරණයේ යහපත් වෙනස්කම් ඇතිවීමට තිබූ හැකියාව නැති කළා.
එදා මෙම අර්බුදයේදී අගවිනිසුරුවරයා සමග පස්සා දොරෙන් ගනුදෙනු කොට යුක්තිය මරා දැමූ අයගේ ආයතනවලට අද පහරදීම් එල්ලවන විට ඔවුන්ට යුක්තිය ඉටු නොවන විට ඔවුන් මා අමතා මම දැන් සටන් නොකොට නිහඬව සිටින්නේ ඇයිද කියා ප්‍රශ්න කළහොත් මා දිය යුතු පිළිතුර කුමක්දැ”යි ඔවුන්ගෙන් පෙරළා ප්‍රශ්න කළෙමි.
මම ඔවුන්ට ටෝනි එම්මානුවෙල්ගේ නිදර්ශනයක් ද මතක් කර දුන්නෙමි. ටෝනි මේ අරගලයෙන් බැට කෑ එකම පුද්ගලයා නොවේ. බැටකනු ලැබූ පුද්ගලයන් සිය ගණනක් සිටියේය. අධිකරණ නිලධාරීන් කිසියම් පිරිසක්ද දරුණු පළිගැනීම්වලට ලක්විය. සමහරෙක් බොරු චෝදනා මත සේවයෙන් පලවා හැරියේය. සමහරෙක් සිය කැමැත්තෙන්ම අධිකරණ සේවයෙන් ඉවත්ව ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයා සිය විශ්‍රාම කාලය ලබන්නට පෙර විශ්‍රාම ගියේය. අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන්නට සිදුවිය. රක්ෂාව අහිමිකරනු ලැබූ එක් විනිශ්චයකාරවරයෙක් පීඩාව දරාගත නොහැකිව සිය දිවි නසාගත්තේය. සමහර නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමෙන් වැළකී සිටියේය. සමහර නීතිඥයින්ද කරුණු පළිගැනීම්වලට ලක්විය. මෙම ආරවුලට පාදක වූ විනිසුරුවරයෙක් අතින් දූෂණය වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා අභිරහස් ලෙස මරා දමන ලදි. මාගේ නීතිඥවරයාද වඩාත්ම මාගේ ගෞරවයට හේතු වූ මිත්‍රයාද ලෙස සැලකිය හැකි සුරංජිත් හේවාමාන්නගේ අකල් මරණය මෙම ආරවුලේම අතුරු ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. අගවිනිසුරුවරයා කාන්තාවන් සමග අඩනිරුවතින් සිටින අවස්ථාවක සිදුවූ පොලිස් සෝදිසියට සම්බන්ධ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාද දරුණු පළිගැනීමකට ලක්විය. අද දක්වාම ඔහු ඉන්නේ උසස්වීම් අහිමි කරනු ලැබූ පුද්ගලයකු ලෙසය. මේ සියලු සිද්ධීන් අතර ටෝනි ගේ සිද්ධිය අනුවේදනීය වනවා පමණක් නොව මතධාරී සමාජයේ හෘදය සාක්ෂිය උරගා බලනු ලැබූ අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය.
ටෝනිගේ විවාදයට හේතු වූ නඩුව සමග හෝ ටෝනි සමග ආරම්භයේ මට කිසිම සම්බන්ධයක් නොතිබුණි. ඔහු කම්කරු උසාවියේ ඇසුණු තමන්ට අදාළ නඩුවක සහතික පිටපත් ඉල්ලා තිබෙන අතර ඒවා ලබාගත නොහැකි වූ විට ඔහු ඒ බව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිලි කර තිබේ. අධිකරණ සේවා කොමිසමෙන් ද ඊට පිළිතුරක් නොලැබුණු විට ඔහු අධිකරණ සේවා කොමිසමේ සභාපති වශයෙන් ක්‍රියා කළ අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණ සේවා කොමිසමේ සෙසු සාමාජිකයන් දෙදෙනා වගඋත්තර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
එය අගවිනිසුරු වගඋත්තරකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ හයවැනි මූලික අයිිතිවාසිකම් පෙත්සම විය. ඊට පෙර සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත් වූ අවස්ථාවේදීම එකවිට මා විසින් ද රසායන ඉංජිනේරුවෙක් වූ ජයසේකර විසින් ද ජනමාධ්‍යවේදියකු වූ රාජපාල් අබේනායක විසින් ද අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ඉදිරිපත් කරන ලදි. එම පෙත්සම්වලට පාදක වූයේ නීතිපති ධුරයේ සිටියදී අයථා ලෙස බලය පාවිච්චි කිරීමට එරෙහිව මා විසින් හා ජයසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකකි. එම පෙත්සමේ කරුණු පදනම් කොට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් ආරම්භ කළ තිබූ අතර ජනාධිපතිනිය ඔහු එම ධුරයට පත්කරන ලද්දේ එම පරීක්ෂණය තිබියදීය. එම මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනම පසුව අධිකරණ නිලධාරින්ගේ සංගමයේ සභාපති හා ලේකම් වශයෙන් ක්‍රියාකළ විනිසුරුවරුන් දෙදෙනෙක් ද (ජී.ඩී. කුලතිලක හා සුනිල් පෙරේරා) අගවිනිසුරුතුමාගේ වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඉදිරිපත් කළේය. එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ විනිසුරුවරුන් දෙදෙනාට පාතාල ලෝකයෙන් තර්ජන ගර්ජන එල්ල විය.
මෙම උණුසුම් වටාපිටාව තුළ අගවිනිසුරුවරයා සිටියේ ශෝකයෙනි. ටෝනිගේ පෙත්සම ඔහුගේ ශෝකය උග්‍ර කිරීමට හේතු විය යුතුය. තමන් වගඋත්තරකරුවකු කරමින් නඩු පවරන සෙල්ලමට ටෝනිට ලොකු දඬුවමක් දීම මගින් අවසන් කළ යුතුයැ”යි ඔහු කල්පනා කළා විය හැකිය.
අගවිනිසුරුවරයා තමන්ට එරෙහිව පවරන ලද නඩුව තමන් ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගෙන අධිකරණයට අපහාස කළේය යන පදනමට ඔහු එක් අවුරුදු සිරදඬුවමක් පැමිණවීය. පනවන ලද දඬුවමේ සැඟවුණු පැත්තක්ද තිබුණි. ටෝනි සිරගෙට ගෙන ගිය වහාම ඔහු සාහසික පහරදීමට ලක්විය. ඒ පහරදීම නිසා ඔහුට දීර්ඝ කාලයක් රෝහල් ගතවී ප්‍රතිකාර ලබන්නට සිදුවිය. සිරදඬුවම ගෙවා අවසන් කොට නිදහස ලැබීමෙන් පසුත් සාහසික කණ්ඩායමක් විසින් ඔහු පැහැරගෙන යෑමට දරන ලද උත්සාහයකින් ඔහු ගැලවුණේ ආශ්චර්යමත් ආකාරයකටය. අවසානයේ ඔහුට රටින් පලා යෑමට සිදුවිය.
ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් පළිගැනීමේ අරමුණින් සිරදඬුවම් පමුණුවනු ලැබූ පළමු පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ටෝනිය. එහෙත් ටෝනිගේ සිද්ධිය පොදු සමාජයට තබා ශ්‍රී ලංකාවේ වනචාරී සමාජය තුළවත් බලවත් කම්පනයක් ඇති කළ බලවත් සංවාදයට හේතුවූ දෙයක් නොවීය. ශ්‍රී ලංකාවේ දියුණුවේ තරම ඉන් පෙන්නුම් කළේය.
යුක්තිය සඳහා කරන වැදගත්, බලවත් හා දුෂ්කර සටන්වලදී ඒ සමගම උචිත සමාජ වටාපිටාවක් ඇතිකරගැනීමෙන් තොරව, කෙරෙන සටන් බොහෝ විට අවසන්වන්නේ ඵලරහිතවය. එවැනි සටන්වලින් වාසි ලබන්නේ සමාජය නොව, බොරදියේ මාළුබාන්නන්ය.