ජීවන වියදම ඉහළ යමින් තිබෙන්නේ මහජනතාවට ඔරොත්තු දිය හැකි ආකාරයට නොවේ. ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ප්‍රකාශ කර තිබෙන සංඛ්‍යා ලේඛනවලට අනුව 2007 අප්‍රේල්වල දී රුපියල් 39.34කට තිබූ රතු කැකුළු හාල් කිලෝවක මිල රුපියල් 70කට වැඩි ය. රුපියල් 41.62කට තිබූ සම්බා කිලෝවක මිල රුපියල් 80කට වැඩි ය. රුපියල් 19කට තිබූ පොල්ගෙඩිය රු. 45 කි. රුපියල් 86.48කට තිබූ මයිසූර් පරිප්පු කිලෝව රුපියල් 160 කි. රුපියල් 164 කට තිබූ ග්රූම් 400 ලක්ස්ප්‍රේ කිරි පැකට්ටුව රුපියල් 275 කි. කෘෂිකාර්මික භාණ්ඩවල මිල ඉහළ යෑම ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවූ මුළු ලෝකයට ම පොදු තත්ත්වයක් ලෙස සැලකිය හැකි වුවත්, තත්ත්වය පාලනය කිරීමට දරන උත්සාහයේ දී අප ඉන්නේ යහපත් තැනක නොව, අයහපත් තැනක ය. කෘෂිකාර්මික භාණ්ඩවල මිල ඉහළ යන තරමට කෘෂිකාර්මික භාණ්ඩ නිපදවන ගොවීන්ගේ අතමිට සරුවන බව සැබෑ ය.
එහෙත් මේ රටේ ගොවීන් නොවන දෛනික කුලී වැඩවලින් හා වැටුප් ආදායමෙන් පමණක් ජීවත් වන විශාල ජනතාවක් සිටින බව ආණ්ඩුව අමතක නො කළ යුතු ය. තේ, පොල්, රබර්, කුරුඳු වැනි නිෂ්පාදනයන්ට ලැබෙන ආදායම් හා වෙනත් කෘෂිකාර්මික භෝග වගාවන්ට ලැබෙන ආදායම් වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතත්, ග්‍රාමීය ජනතාව අතර, පවා වගා කිරීමට ඉඩම් නැති 40%ක් පමණ සිටින බව අමතක කළ හැක්කේ කෙසේ ද? ග්‍රාමීය ප්‍රදේශවල දෛනික කුලී වැඩවලින් ජීවත් වන අයගේ පංගුව කුඩා නැත. රටේ ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන මිල වඩාත් ම නරක ලෙස බලපා ඇත්තේ ඔවුන් කෙරෙහි හා වැටුප් ආදායම්වලින් පමණක් ජීවත් වන ජනයා කෙරෙහි ය. භාණ්ඩ මිල ඉහළ යෑමේ ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වනවා මිස, පහළ යන බවක් පෙනෙන්නට නැත. ගෘහස්ථ පරිභෝජනය සඳහා ඇති කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1749 කි. ඒ මිල තවත් රුපියල් 128කින් ඉහළ යෑමට නියමිත ය.
රුපියල් 275කට තිබෙන කිරිපිටි පැකැට්ටුවක මිල ද රුපියල් 45කින් මිල ඉහළ යෑමට නියමිතය. මේ ආකාරයට වේගයෙන් භාණ්ඩවල මිල ද තවදුරටත් ඉහළ යෑමට නියමිතය. මේ තත්ත්වය ඉදිරියේ ආණ්ඩුව මහජනතාවට දෙන්න බලාපොරොත්තු වන සහන මොනවාද? ගෙවතු වගාව තවදුරටත් ධෛර්යමත් කළ හැකි ය. රටේ වගා නොකළ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා සේ ම, වගා කිරීමට ඉඩම් නැති ජනතාවක් ද ගම්වල සිටින්නේ ය. වගා නොකර නිකම්ම තිබෙන ඉඩම් වගා කරන තැනකට ගෙනා යුතු ය. වගා කිරීමට ඉඩම් නැති ග්‍රාමීය ජනතාවට ඉඩම් ලබාදෙන ප්රතිපත්තියකට ආණ්ඩුව යොමුවිය යුතු ය. අඩු වියදමකින් නිපදවා ගත හැකි පෝෂ්‍යදායක ආහාර වේලක් හඳුන්වා දිය හැකි ය. මාළු පිනි වර්ග දෙක තුනක් වෙන්ව හදාගන්නවාට වඩා එකට හදාගන්නා ක්‍රමයක් හඳුන්වා දිය හැකි ය. වෙනදා කෘෂිකාර්මිකයනට හිසරදයක් වී තිබුණේ මීයන් ය. වර්තමානයේ ඔවුන්ට හිසරදයක් වී තිබෙන්නේ මීයන්ට වඩා වඳුරන් හා රිලවුන් ය.
ගම්බද වඳුරන් හා රිලවුන්ගෙන් වන වගා හානිය පාලනය කරන ක්‍රමයක් හඳුන්වා දිය හැකි ය. ඒ වගකීම ප්‍රාදේශීය සභාවලට පැවරිය හැකි ය. මේ සියුල දේට අතිරේකව වැටුප් ආදායම්වලින් පමණක් ජීවත් වන්නන්ට සහන දෙන ක්‍රමයක් ද සොයා ගත යුතු ය.