2008 වසර මහින්ද රාජපක්ෂ පාලනයේ සාර්ථක, අසාර්ථකභාවය උරගා බැලෙන තීරණාත්මක වසර වනු ඇත්තේ ය. එල්ටීටීඊ විරෝධී යුද්ධය තුළ ආණ්ඩුවේ ආරක්ෂක හමුදා හිමි කරගෙන තිබෙන ප්‍රමුඛතාව තවදුරටත් ආරක්ෂා කරගැනීමට හැකිවීම ආණ්ඩුව අත්පත් කරගෙන තිබෙන විවිධ ජයග්‍රහණ අතර, වඩාත් ම කැපී පෙනෙන හා සාමාන්‍ය ජනතාවගේ ආකර්ෂණයට හේතුවී තිබෙන වැදගත් ම සාධකය ලෙස සැලකිය හැකිය. එක් අතකින් එම සාධකය ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කරන සාධකයක් ලෙස ක්‍රියා කරන විට, අනෙක් අතට එම සාධකයම තවත් අංශ ගණනාවකදී ආණ්ඩුවේ පැවැත්ම දුර්වල කරන සාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී. එක් අතකින් යුද්ධය බිඳ වැටෙමින් තිබුණු නීතියේ පාලනය තවදුරටත් වේගවත් කරමින් ආණ්ඩුවේ මානව හිමිකම් ප්‍රතිරූපය පළුදු කිරීමට හේතුවී තිබෙන අතර, සමහර අංශවල ආර්ථික ක්‍රියාකාරීත්වය දුර්වල කොට රටේ ආර්ථික අර්බුදය උග්‍ර කරමින් ජීවන බර ඔරොත්තු නොදෙන තරමට නොකඩවා වර්ධනය කිරීමට හේතුවී තිබේ.
ආරක්ෂක හමුදාවල වාර්ෂික වැටුප් වියදම පමණක් රුපියල් කෝටි 9000කි. මාසික වියදම රුපියල් කෝටි 750ක් ද, දෛනික වියදම රුපියල් කෝටි 25 ක් ද වේ. මෙම වියදමට අවි ආයුධ වෙනුවෙන් කරන වියදම ද එකතු කළ විට දකින්නට ලැබෙන චිත්‍රය තැති ගන්වන සුළුය. බටහිර රටවලින් ලැබෙමින් තිබූ ආධාර ප්‍රමාණය අතිවිශාල නොවූවත් බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාවට දෙනු ලබන ආධාර සීමා කිරීම් හා කපා හැරීමේ ක්‍රියාවලිය යුද්ධයක් තුළ හිරවී සිටින රටේ ආර්ථික අමාරුකම් තවදුරටත් උග්‍ර කිරීමට හේතුවී තිබේ. දේශපාලනතන්ත්‍රය නඩත්තු කිරීම සඳහා ඉහළ යන වියදම හා යුද්ධය සඳහා අවශ්‍ය අතිරේක වියදම් උපයා ගැනීම සඳහා අනුකම්පා විරහිතව මහජනතාව මත නොකඩවා බදු බර පටවන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ආණ්ඩුවට සිදුවී තිබේ. නව වසර උදාවීමට නියමිතව තිබෙන අවස්ථාවක ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ අටක මිල ඉහළ දැමීය.
ඒ අනුව රුපියල් 80කට තිබූ ටින් මාලු ටින් එකක මිල රුපියල් 92 දක්වා ද, රුපියල් 115ට තිබූ කඩල කිලෝවක මිල රුපියල් 148 දක්වා ද, රුපියල් 100කට තිබූ මුංඇට කිලෝවක මිල රුපියල් 111 දක්වා ද, රුපියල් 73ක් වූ වටනා පරිප්පු කිලෝවක මිල රුපියල් 111 දක්වා ද, රුපියල් 100කට තිබූ රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 107.80 දක්වා ද, රුපියල් 45ට තිබූ සීනි කිලෝවක මිල රුපියල් 49 දක්වා ද, රුපියල් 135කට තිබූ වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 165 දක්වා ද, රුපියල් 55 ට තිබූ පකිස්තානු අර්තාපල් කිලෝවක මිල රුපියල් 65 දක්වා ද, රුපියල් 65ට තිබූ ඉන්දියානු අර්තාපල් කිලෝවක මිල රුපියල් 75 දක්වා ද, රුපියල් 64ක් ව තිබූ පාන් පිටි කිලෝවක මිල රුපියල් 70 දක්වා ද මිල ඉහළ ගියේය. ඒ සමග ෂෙල් ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 1312 සිට රුපියල් 1487 දක්වා ඉහළ ගියේය.
ෂෙල් ගෑස්වල හැර මිල ඉහළ දැමූ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ අටේ මිල ඉහළ ගියේ ලෝක වෙළඳ පොළේ ඇතිවූ මිල වෙනස්කම් නිසා නොවේ. ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය අතිරේක ආදායම් උපයා ගැනීමේ මාර්ගයක් වශයෙන් ඒ භාණ්ඩ සඳහා එතෙක් අය කළ රේගු බදු වැඩි කිරීම නිසාය. රේගු බදු වැඩිකර තිබෙන ආකාරය මෙසේය. සීනි කිලෝවක් සඳහා අය කළ රුපියල් හතරේ රේගු බද්ද රුපියල් 14ක් දක්වා ද, වියළි මිරිස් කිලෝවක් සඳහා අය කළ රුපියල් 12ක රේගු බද්ද රුපියල් 42 දක්වා ද, මුංඇට කිලෝවක් සඳහා අය කළ රුපියල් 05 රේගු බද්ද රුපියල් 25 දක්වා ද, කඩල කිලෝවක් සඳහා අය කළ රුපියල් පහේ රේගු බද්ද රුපියල් 38 දක්වා ද, වටනා පරිප්පු කිලෝවක් සඳහා අය කළ රුපියල් දෙකේ රේගු බද්ද රුපියල් 40 දක්වා ද, රතු පරිප්පු කිලෝවක් සඳහා අය කළ රුපියල් 3.80 රේගු බද්ද රුපියල් 11.60 දක්වා ද, අර්තාපල් කිලෝවක් සඳහා අය කළ රුපියල් 10 රේගු බද්ද රුපියල් 25 දක්වා ද, ටින් මාළු ටින් එකක් සඳහා අය කළ රුපියල් හයේ රේගු බද්ද රුපියල් 18 දක්වා ද වැඩි කර තිබේ.
අතීතයේ දී රේගු බදු අය කෙරුණේ සුඛෝපභෝගී ගණයට වැටෙන භාණ්ඩවලට පමණය. දැන් ඊට අතිරේකව සාමාන්‍ය මිනිසුන් කන බොන අත්‍යවශ්‍ය ගණයට වැටෙන භාණ්ඩවලට ද රේගු බදු පනවන තැනකට යන්නට රටට සිදුවී තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩවලට අය කෙරෙන බද්දේ ප්‍රමාණය ද බිය උපදවන තරමට විශාලය. සීනි කිලෝවක මිල රුපියල් 49/- කි. ඒ රුපියල් 49 තුළ ඇති රේගු බද්දේ ප්‍රමාණය රුපියල් 14කි. සීනි කිලෝවකට අය කෙරෙන රේගු බද්ද සීනි කිලෝවක විකුණුම් මිලෙන් 26%කි. රටේ පවුල් ජනගහනය ලක්ෂ 45ක් ලෙස සලකා එක් පවුලක් මසකට සීනි කිලෝ 2ක් පරිහරණය කරන්නේ යයි උපකල්පනය කළහොත් සීනි බද්දෙන් පමණක් ආණ්ඩුව උපයන මාසික ආදායම රුපියල් මිලියන 126කි. වාර්ෂික ආදායම රුපියල් මිලියන 1512කි. එහෙත් දේශපාලනතන්ත්‍රය හා රාජ්‍ය නිලධර තන්ත්රයේ ඉහළ නිලධාරීන් සඳහා බෙන්ස්, බී.එම්. ඩබ්ලිව්, මොන්ටාරෝ වැනි සුඛෝපභෝගී රථ ලබා දෙන්නේ බදු විරහිතවය.
එවැනි එක් රථයකින් ආණ්ඩුවට අහිමි වන බදු ආදායම රුපියල් ලක්ෂ 67කට වැඩිය. එය රාජ්‍යයේ බදු ප්‍රතිපත්තිය සැකසී තිබෙන විකාරරූපී ස්වරූපය පෙන්නුම් කරන එක් නිදර්ශනයක් පමණය. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පවා පනවන බදු බර තව තව ඉහළ දමනවා හැර බදු බර අඩු කිරීමේ හැකියාවක් රට වැටී තිබෙන තත්ත්වය තුළ ආණ්ඩුවට නැත. ඒ නිසා ජීවන මිල තවදුරටත් ශීඝ්‍රයෙන් ඉහළ යනු නොවැළැක්විය හැකිය. එම තත්ත්වය යටතේ මහජනයා කෝපයෙන් ප්‍රතික්‍රියා කරන තැනකට යෑම වළක්වා ගන්නේ කෙසේද යන්න ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදුවනු ඇති එක් ලොකු අභියෝගයක් වනු ඇත්තේය. දැන් ආණ්ඩුව තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ තිබුණු බහුතර බලය අහිමි වූ තත්ත්වයකය. ආණ්ඩුවට තවදුරටත් බලයේ ඉන්නට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමේ බලය දරන පිරිස බවට පත්ව ඇත්තේ ජවි පෙරමුණය. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 38 දෙනාට ආණ්ඩුවේ පැවැත්ම කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කිරීමේ හැකියාව ඇතත්, ආණ්ඩුව පෙරළා මැතිවරණයකට යෑමෙන් ජවිපෙට අත් කරගත හැකි කිසිදු ජයග්‍රහණයක් නැති නිසා ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන ක්‍රියා කරන ප්රතිපත්තියක පිහිටා ක්‍රියා කරනවා හැර අන් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව ජවිපෙට නැත.
ජවිපෙ තමන් පෙරළා නොදමන බව ආණ්ඩුව දනී. එහෙත් අනවශ්‍ය තරමට ජවිපෙ මත යැපෙන තත්ත්වයක සිටීමේ හැකියාවක් ද ආණ්ඩුවට නැත. ඒ තත්ත්වය යටතේ එක් අතකින් ජවිපෙ සංතෝෂයෙන් තබන ප්රතිපත්තියක පිහිටා ක්‍රියා කරන අතර, නැවත බහුතර බලයක් ඇති කරගැනීම සඳහා අඩු පිරිස එජාපයෙන් ආණ්ඩුවට ගන්නා තැනකට යන්නට ආණ්ඩුවට සිදුවනු ඇත්තේය. ඒ තත්ත්වය ජයගැනීමට ආණ්ඩුව සමත් වෙතොත්, එජාප බෙලහීන වීමේ ක්‍රියාවලිය ද වේගවත් වනු ඇත. ඒ සමග ඕනෑම මොහොතක ඡන්දයකට යෑමේ අවශ්‍යතාව ද අමතක කිරීමේ හැකියාව ආණ්ඩුවට නැත. ඒ අනුව යුදමය තලයේ ලබන ජයග්‍රහණයක් තුළ පවත්වන මැතිවරණයක් පිළිබඳව සිහින දකින තැනකට යන්නට ආණ්ඩුවට සිදුවනු ඇත්තේය. එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධය ජාත්‍යන්තර ප්‍රජාවගේ මතභේදයට හේතුවී නැතත්, දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඉදිරිපත් නොකිරීම හා මානව හිමිකම් අරඹයා රටේ පවතින තත්ත්වය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි විවේචනයට හා විරෝධයට හේතුවී තිබේ.
එක් අතකින් ආණ්ඩුව 2008 වසර ප්රභාකරන් යුදමය වශයෙන් පරාජය කරන වර්ෂය ලෙස ප්‍රකාශ කර තිබෙන අතර, ඉන්දියානු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර සර්ව පාක්ෂික සමුළුව හරහා දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන බව ද ප්‍රකාශ කරයි. නිදහස් උත්සවයට තමන් ශ්‍රී ලංකාවට එන්නේ ඊට පෙර දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන්නේ නම් පමණක් බව ඉන්දියානු අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන ඇඟලුම් නිෂ්පාදන සඳහා ලබාදී තිබෙන නිදහස් වෙළෙඳ තත්ත්වය මෙම මාසය තුළ නැවත පුනරීක්ෂණය කිරීමට නියමිතය. එහිදී මේ වසරේ කරුණු විමසීම් සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුයුක්ත ආයතනවලින් පමණය. යුරෝපා සංගමය සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය ඇතුළු මානව හිමිකම්වලට අදාළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇති කරගෙන තිබෙන ප්රඥප්තීන් අපි පිළිපැදිය යුතුය.
එහිදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තීන් යටතේ ක්‍රියාත්මක වන ජිනීවාහි මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාවට අදාළව විභාග කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් දී තිබෙන තීන්දු ක්‍රියාත්මක නොකිරීමේ ප්රශ්නය බරපතළ ප්‍රශ්නයක් ලෙස මතුවනු නොවැළැක්විය හැකිය. එසේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ නීත්‍යානුකූලභාවය ආශ්රයෙන් මතුවී තිබෙන අර්බුදය ද ඒ කෙරෙහි බලපායි. ඊට අතිරේකව ෂඛධ නීතිය ක්‍රියාත්මක නොවීමේ ප්රශ්නය ද බලපායි. ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන සඳහා ලබාදී තිබෙන නිදහස් වෙළෙඳ තත්ත්වය මේ වසර තුළ අවලංගු කිරීම පහසු නැතත්, ඊළඟ වසරේදී එය අවලංගු කිරීමේ තර්ජනයක් මතුවිය හැකිය. මොන හේතුවක් නිසා හෝ අපට ලබාදී තිබෙන නිදහස් වෙළෙඳපොළ තත්ත්වය අහිමි වුවහොත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අතිවිශාල අර්බුදයකට යනු නොවැළැක්විය හැකිය.
එසේ වුවහොත් එය රටේ ආර්ථිකය කෙරෙහි පමණක් නොව ඇඟලුම් කර්මාන්ත අංශයේ රැකියා කෙරෙහිත් විනාශකාරී ලෙස බලපානු නොවැළැක්විය හැකිය. එහෙත් ආණ්ඩුව ප්‍රඥාවන්ත නම් බටහිර ලෝකයෙන් එල්ල විය හැකි බලපෑම් අවම කරගත හැකිය. ආධාරවලදී බටහිර ලෝකය ශ්‍රී ලංකාවට තීරණාත්මක නැතත් අපනයන වෙළෙඳාමේදී තීරණාත්මකය. අපගේ අපනයන නිෂ්පාදනයන්ගෙන් වැඩි කොටසක් මිලදී ගන්නේ බටහිර ලෝකයයි. අපි අපේ ප්‍රතිපත්ති හැසිරවිය යුත්තේ එම වැදගත් සාධකය ද සැලකිල්ලට ගනිමිනි. ආර්ථික ආධාරවලින් පමණක් ශ්‍රී ලංකාව හිර කිරීමේ හැකියාවක් බටහිර ලෝකයට නැතත්, වෙළෙඳාමේදී අප හිර කිරීමේ හැකියාව බටහිර ලෝකයට ඇත්තේය. එවැනි තත්ත්වයක් ඇති නොවන්නට වග බලා ගැනීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවටය. රටේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වැඩි වැඩියෙන් සංවේදීවීමෙන්, දෙමළ ප්‍රශ්නයට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමෙන් හා 17 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත ක්‍රියාත්මක කරන අතර, ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර ප්රඥප්තීන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියක් මගින් මේ අවුල විසඳා ගැනීමේ හැකියාව ආණ්ඩුවට ඇත්තේය.
රටේ දේශපාලන හා ආර්ථික චිත්රයේ යහපත් වෙනසක් ඇතිවීම ආරම්භ වනු ඇත්තේ ද එවැනි ප්රතිපත්තියක පිහිටා ක්‍රියා කළහොත් පමණය.