බල තරගයේ හැඩතල

November 8, 2009
Publication:
The picture has changed from one in which the government would win any election easily to one in which it must fight for them. Ivan traces the crisis to the scale of the president's own coming victory, and argues that the country turned a policy of taking help from the anti-American world into publicly campaigning for it — going so far as to attack Obama, which even China, Iran and Venezuela did not do.

රටේ දේශපාලන චිත්‍රය දැන් තිබෙන්නේ ඉතාමත් සංකීර්ණ තත්ත්වයකය. කලින් පැවති තත්ත්වය වූයේ එළඹෙන ඕනෑම මැතිවරණයකින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පහසුවෙන්ම ජයගතහැකි තත්ත්වයකය. එහෙත් දැන් පවතින්නේ බලවත් තරගයකට මුහුණදීමෙන් පසුව පමණක් ඉදිරි මැතිවරණ ජයගතයුතු තත්ත්වයකය. මෙම සංකීර්ණ තත්ත්වය ප්‍රඥාවන්ත ලෙස කළමනාකරණය කිරීමට ආණ්ඩුව අසමත් වෙතොත් දැන් තිබෙන තත්ත්වය වඩා නරක තත්ත්වයකට පවා පත්විය හැකිය. දැන් ප්‍රකාශ වී තිබෙන අර්බුදයේ මුල් ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ලබන සුවිශේෂ ජයග්‍රහණය තුළමය. ප්‍රභාකරන් දෙමළ ජනතාව කෙරෙහි පනවන ලද ඡන්ද තහනම හා ජවි පෙරමුණෙන් ලැබුණු සහාය එම ජයග්‍රහණය කෙරෙහි බලපෑ තීරණාත්මක සාධක දෙකක් ලෙස බලපෑවේය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගන්නා ලද්දේ කැමැත්තෙන් නොව එසේ කරනවා හැර ඒ මොහොතේ තෝරාගැනීමට අන් විකල්පයක් නොතිබුණු නිසාය.

ඒ වන විට පක්ෂ යන්ත්‍රය තිබුණේ චන්ද්‍රිකා අතේය. මහින්ද රාජපක්ෂ බලයට පත්වනවා දකින්නට චන්ද්‍රිකාට අවශ්‍ය නොවූ අතර ඒ නිසා ශ්‍රීලනිප යන්ත්‍රය වෙනුවට ජේවීපී පක්ෂ යන්ත්‍රය ප්‍රයෝජනයට ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවූයේය. බලයට පත්වීමේ අරමුණ ජයගැනීම සඳහා අනුන්ගේ පක්ෂ යන්ත්‍රයක් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට සිදුවුවද ජේවීපී වැඩසටහන කරගසාගෙන බොහෝ දුර යා නොහැකි බව තේරුම් ගැනීම නිසා ජේවීපීය මත මුළුමනින් නොයැපී ඉදිරියට යෑමේ අරමුණ ජයගැනීම සඳහා එජාපයෙන් මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩු පක්ෂයට එකතු කරගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවිය.

මංගල හා ජේවීපීය

ඒ වන විට ජේවීපීය හා මංගල අතර සමීප සම්බන්ධයක් තිබුණි. මංගල චන්ද්‍රිකාගේ සමීප ආධාරකරුවකු වුවද ඔහු චන්ද්‍රිකා අනුව නොගොස් මහින්ද රාජපක්ෂ බලයට පත් කරන ව්‍යාපෘතියේ ප්‍රධාන ආධාරකරුවකු බවට පත්විය. මහින්ද රාජපක්ෂ බලයට පත්කිරීමෙන් ජේවීපීය අපේක්ෂා කළ අරමුණ හා මංගල අපේක්ෂා කළ අරමුණ අතර එක්තරා ආකාරයක සමානතාවක් තිබුණි. මහින්ද රාජපක්ෂ බලයට පත්කරන ව්‍යාපෘතිය තුළ තමන්ගේ බලය ශක්තිමත් කරගන්නා අතර ජනාධිපතිවරයා තමන් කැමති දිසාවකට රැගෙන යමින් අනාගතයේ තමන් රජවීම මංගලගේ අපේක්ෂාව වූ අතර මහින්ද රාජපක්ෂ පාලනය සේ ම ඒ ආශ්‍රයෙන් අනාගතයේ ඇතිවන පාලනයක් ද තීරණාත්මක ලෙස පාලනය කිරීම ජේවීපීයේ දේශපාලන අපේක්ෂාව වී තිබුණි. අවසාන විග්‍රහයේදී ජේවීපීය සේම මංගල ද මහින්දට ආධාර කළේ මහින්ද බලයට පත්කිරීමට ඇති කැමැත්ත නිසා නොව ඒ අවස්ථාවේදී තමන් වෙත බලය ලබාගැනීමේ අරමුණ ජයගැනීම සඳහා තෝරාගැනීමට තිබුණු හොඳම විකල්පය එය වූ නිසාය.

මේ දෙපිරිසටම මහින්ද රාජපක්ෂ සමග අතීතයේ සිට පැවත එන විරෝධයක් තිබුණා සේ ම මහින්දට ද ඒ දෙපිරිස සමගම අතීතයේ සිට පැවත එන භේදයක් තිබුණේය. එහෙත් එම බලඅරගලයේදී මේ සියලුදෙනා තමන් අතර පැවති භේද මොහොතකට අමතක කොට තමන්ගේ බලඅරමුණු ජයගැනීම සඳහා එකිනෙකා ප්‍රයෝජනයට ගන්නා තැනකට තල්ලු වී සිටියෝය. එහෙත් එජාපයෙන් මන්ත්‍රීන් කණ්ඩායමක් ආණ්ඩු පක්ෂයට එකතු කරගැනීමත් සමග තමන්ගේ දේශපාලන සිරකරුවකු වීමට මහින්ද සූදානම් නැති බව තේරුම් ගනිමින් මංගල සේ ම ජවිපෙ ද ආණ්ඩුවෙන් ඉවත්වන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ තමන් බලයට පත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග වෛරයක් ද ඇති කරගනිමිනි. මංගලට ජේවීපීය සමග අතීතයේ සිට පැවත එන සමීප මිත්‍රත්වයක් තිබුණද ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු ඍජු ලෙස ජේවීපීයට එකතුවීමේ හැකියාවක් නොතිබුණු අතර ඔහු එජාපයට එකතුවෙමින් එජාපයේ මහින්ද විරෝධී අරගලය මෙහෙයවන්නා බවට පත්වූයේය.

කලක් එජාප නායක රනිල් වික්‍රමසිංහගේ දේශපාලන මිනීවළ හාරන්නා බවට පත්ව සිටි මංගල විශේෂයෙන් ලබාදෙන සැලකිලි සමග එජාපයට එකතු කරගැනීමෙන් රනිල් අපේක්ෂා කළ එක් වැදගත් අරමුණක් වූයේ ආණ්ඩුව තුළ සිටින මහින්ද විරෝධීන් ද විරුද්ධ පක්ෂයට එකතු කරගන්නා අතර ජවිපෙ හා එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන ඓතිහාසික ගැටුම අවසන් කරමින් එක්සත් ජාතික පක්ෂය හා ජවිපෙ අන්‍යොන්‍ය අවබෝධයෙන් ක්‍රියාකරන තැනකට ගැනීමය. මහින්ද විරෝධී අරගලයට යම් ජීවයක් ලබාදීමට මංගල සමත් වුවද රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කළ අනෙක් අරමුණු ඉටුකරදීමට මංගල සමත් නොවීය. ජේවීපීයට මහින්ද සමග වෛරයක් තිබුණද තමන්ට තිබුණු පාර්ලිමේන්තු නියෝජනය වහාම අහිමි කරගැනීමට හේතුවන පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට බලකෙරෙන තත්ත්වයක් ඇතිකිරීමට හේතුවන මහින්ද විරෝධී සටනකට තල්ලුවීමට ජවිපෙට අවශ්‍ය නොවූ අතර, ඒ නිසා ඒ සඳහා සුදුසු ව්‍යාපාරයට අවස්ථාව එළඹෙන තෙක් කල්බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන තැනක සිටියේය.

එල්ටීටීඊ විරෝධී යුද්ධය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන පැවැත්ම දේශපාලන ප්‍රතිපත්ති තීරණය කරන ඊළඟ වැදගත්ම සාධකය ලෙස ක්‍රියා කළේය. එම යුද්ධයේදී තෝරාගත් තමන් කැමති පිරිසක් සමග ඉදිරියට යනවා වෙනුවට මතවාදී තලයේදී යුද්ධයට පක්ෂපාතී පිරිස් සමග ඉදිරියට යෑමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවිය. මැදිහත්ව හා වඩා සාධාරණව කරුණු සලකා බැලිය හැකි වැඩි පිරිසක් එහිදී එල්ටීටීඊයේ පැවැත්ම තනිකර ජනවාර්ගික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සලකා ඊට සාකච්ඡාමය විසඳුමක් මිස යුද්ධය විසඳුමක් නැතැ”යි කියන අන්තවාදී මතයේ පිහිටා ක්‍රියාකිරීම නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වඩ වඩා මතවාදී තලයේ අන්තවාදී අදහස් දරන්නන් සමග ක්‍රියාකරන තත්ත්වය ශක්තිමත් කළේය. එහිදී බටහිර ලෝකය ජනාධිපතිගේ දැඩි යුදවාදී පිළිවෙත අනුමත නොකිරීම හේතු කොටගෙන බටහිර ලෝකයෙන් වැඩි වැඩියෙන් ඈත්වෙමින් ජාත්‍යන්තර තලයේදීද පසුගාමී ලෝක බලවේග සමග කිට්ටු සහයෝගයකින් ක්‍රියාකරන තැනකට තල්ලු කළේය.

යුද්ධයේදී ජනාධිපතිවරයාට සහයෝගය දුන් මතවාදී තලයේ අන්තවාදී අදහස් දරන ව්‍යාපාර අතර විවිධ මත වෙනස්කම් තිබුණද විදේශ ප්‍රතිපත්තියේදී ඒ සියලුදෙනා දරන අදහස්වල අපූරු සමානතාවක් තිබුණේය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝක හවුලට තිබෙන ලෝක ආධිපත්‍යය අවසන්වෙමින් චීනය, රුසියාව, ඉන්දියාව, ඉරානය, වෙනිසියුලාව, බ්‍රසීලය වැනි රටවල් ඇතුළත් නව හවුලක් විසින් ලෝක ආධිපත්‍යය හිමිකර ගනිමින් සිටින්නේය යන්න හා එය වඩා ඉදිරිගාමී තත්ත්වයක් ලෙස සලකා වැඩි වැඩියෙන් එම හවුලට ඇතුළත් රටවල් සමග ශ්‍රී ලංකාව සමීප සහයෝගයෙන් ක්‍රියාකරන තැනකට යායුතුය යන්න ඒ සියලුදෙනා දරන ලද පොදු මතය විය. යුද්ධයේදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් සමන්විත ලෝක පිල ශ්‍රී ලංකාවට සහායදීමෙන් වැළකී සිටින පිළිවෙත තුළ හා විකල්ප ලෝක බලවතුන්ගේ පිලට ඇතුළත් සමහර රටවල් යුද්ධයේදී අනුගමනය කළ කොන්දේසිවලට එරෙහිව ශ්‍රී ලංකාවට ආධාර කරන පිළිවෙත තුළ ශ්‍රී ලංකාව බටහිර ලෝකයෙන් ඈත් කරමින් විකල්ප ලෝක බලවතුන්ගේ රටවල් මත වැඩි වැඩියෙන් යැපෙන හා එම රටවල් සමග සමීපව ක්‍රියාකරන තත්ත්වයක් ඇති කළේය.

බටහිර විරෝධී පිළිවෙත

යුද්ධයේදී එවැනි පිළිවෙතක් අනුගමනය කිරීම ප්‍රායෝගික වුවත්, යුද්ධයෙන් පසුත් තවදුරටත් දැඩි ඇමරිකන් විරෝධී හා බටහිර විරෝධී විදේශ පිළිවෙතක් ශ්‍රී ලංකාව වැනි පුංචි රටක යහපතට හෝ ආරක්ෂාවට හේතු නොවන බව තේරුම් ගැනීමට ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අසමත් විය. ලෝක බලතුලනයේ ඇතිවන වෙනස්කම් පිළිබඳව ඇති කරගෙන තිබුණු දේශපාලන තක්සේරුව එක්තරා ප්‍රමාණයකට මිස මුළුමනින් නිවැරදි නොවීය. ලෝක ආධිපත්‍යය සඳහා තිබෙන බලතුලනයේදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල එකතුවට ලැබී තිබුණු ප්‍රමුඛතාවේ යම් පිරිහීමක් ඇතිවී තිබෙන බව සත්‍යයකි. එහෙත් පිරිහීමක් මිස මූලික වෙනසක් ඇතිවී නැත. එසේම එය එක වසරකින් හෝ දෙකකින් වෙන්න යන වෙනසක් ද නොවේ. සමහරවිට අනාගතයේ ඇතිවිය හැකි වෙනස්කමක් පමණය. තවමත් එම රටවල විකල්ප බල එකතුවට වඩා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල බල එකතුව බලවත්ය.

තවමත් මෙම බල කණ්ඩායම් දෙක අතර තිබෙන පරතරය විශාලය. මූලික වෙනසක් ඇතිවීමට තවත් දශක දෙකක පමණ කාලයක් ගතවිය හැකි අතර, ඒ ඇතිවන වෙනස්වීමේදී පවා ලෝක බලවතා විය යුත්තේ චීනයද, ඉන්දියාවද කියන ප්‍රශ්නය තීරණාත්මකව මතුවන අවස්ථාවකදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල සහාය ලබනු ඇත්තේ චීනය නොව ඉන්දියාවය. හේතුව සරලය. ඉන්දියාව නූතන දේශපාලන වටිනාකම් පිළිගනිමින් ඒ අනුව ඉදිරියට යන රටකි. එය ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන අතර, අදහස් පළකිරීමේ නිදහස, ජනමාධ්‍ය නිදහස, වෘත්තීය සමිති ගොඩනගා ගැනීමේ නිදහස, මැතිවරණ මගින් ආණ්ඩු තෝරාපත් කරගැනීමේ නිදහස ඇතුළු නවීන දේශපාලන වටිනාකම් පිළිගන්නා රටකි. ඒ විෂයේදී චීනය තාමත් සිටින්නේ පසුගාමී තැනකය. ඒ නිසා ලෝක බලවතා විය යුත්තේ චීනය ද ඉන්දියාවද යන ප්‍රශ්නය තීරණාත්මක ලෙස මතුවන අවස්ථාවකදී නවීන දේශපාලන වටිනාකම් පිළිගන්නා රටවල් ආධාර කරනු ඇත්තේ චීනයට නොව ඉන්දියාවටය.

අප මෙම ලෝක බල අරගලයේදී විකල්ප බල එකතුවට ඇතුළත් රටවලින් හුදෙක් ආධාර ලබාගන්නා තැනකට සීමා නොවී එම පාර්ශ්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින ආධාරකරුවකු වීම මගින් අනවශ්‍ය ලෙස ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය තරහ කරගත්තේය. ඇමරිකානු ජනාධිපති වී සිටියදීත් ඇමරිකන් විරෝධී ලෝකයේ පවා ගෞරවයට පාත්‍රවී සිටින ජනාධිපති ඔබාමාට පවා පහරදෙන තැනට ගියේය. චීනය, ඉරානය, වෙනිසියුලාව වැනි ඇමරිකන් විරෝධී විශාල හා බලවත් රටවල් පවා ඔබාමා සම්බන්ධයෙන් එවැනි රළු පිළිවෙතක් අනුගමනය කර නැත. ලෝක බලය තිබෙන්නේ කාට වුවද ඔවුන් හැමවිටමත් අවංක හෝ යුක්තිසහගත නැත. තමන් ගර්හාවට ලක් කරන රටවල් සම්බන්ධයෙන් ඔවුන් නිහඬව බලා සිටින පිළිවෙතක් අනුගමනය කරන්නේ නැත. කලාපීය බලවතා ලෙස සැලකිය හැකි ඉන්දියාවේ කටළඟ ජීවත්වෙමින් ඉන්දියානු විරෝධී පිළිවෙතක් අනුගමනය කරන්නට ගොස් ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්නට වරෙක රටට සිදුවිය.

දැන් අප වෙනස් ආකාරයකින් කරමින් සිටින්නේද ඊට සමාන දෙයකි. ලෝක බලය දිනාගැනීම සඳහා බලවත් රටවල් අතර කෙරෙන අරගලයේදී උපේක්ෂාවෙන් ක්‍රියාකරන මැදිහත් පිළිවෙතක් මිස තෝරාගත් කිසියම් බලවතකු වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින පිළිවෙතක් ශ්‍රී ලංකාව වැනි පුංචි රටක යහපතට හේතුවන්නේ නැත. එහිදීද ඉන්දියාව කට ළඟ තිබෙන පුංචි රටක් වශයෙන් ඉන්දියාවේ වුවමනාවන්ට පටහැනිව ක්‍රියාකරන පිළිවෙතක් ද රටේ යහපතට හේතුවන්නේ නැත. දැන් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් තමන්ට එරෙහිව ශ්‍රී ලංකාව අනුගමනය කරන දැඩි බටහිර විරෝධී පිළිවෙත ඉදිරියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විරෝධී පිළිවෙතට යොමුවී සිටින අතර එම තත්ත්වය රටේ මහින්ද රාජපක්ෂ විරෝධී බලවේගයන්ට උත්තේජනය ලබාදෙන වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී.

එජාප හා ජේවීපීය

මහින්ද රාජපක්ෂ විරෝධී අරගලයේදී ජේවීපීයට ඍජු ලෙස එක්සත් ජාතික පක්ෂය සමග පොදු සන්ධානයකට ඒමේ හැකියාවක් නැත. එහෙත් මේ වන විට එම දෙපක්ෂය අවබෝධයෙන් යුතුව ක්‍රියාකරන තැනකට තල්ලු වී සිටින බව පෙනේ. ජේවීපීය මහින්ද රාජපක්ෂට එරෙහිව පාවිච්චි කිරීමට අපේක්ෂා කරන ලොකුම දේශපාලන තුරුම්පුව වී ඇත්තේ සරත් ෆොන්සේකා තුරුම්පුවය. එජාප ඉදිරිපත් කරන අපේක්ෂකයාට අතිරේකව සරත් ෆොන්සේකා මහතා තුන්වැනි අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කොට ජනාධිපතිවරණය ජයගැනීම හෝ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම ජවිපෙ දේශපාලන උපාය මාර්ගය වී තිබෙන බව පෙනේ. එජාපයේ කල්පනාව වී තිබෙන්නේ ද සරත් ෆොන්සේකා මහතා තුන්වැනි අපේක්ෂකයකු ලෙස තරග කරන්නේ නම් එයින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි ඇති කරන අවාසිදායක වටාපිටාව තුළ තරගය ජයගැනීමේ හැකියාව සිය පක්ෂයට ලැබෙනු ඇති බවය. 2003 සිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන හැසිරීම නිරීක්ෂණය කරන්නකුට පෙනීයන්නේ දේශපාලන අර්බුදවලදී ජවිපෙ මැදිහත් වී තිබෙන්නේ තමන්ට එවේලේ ලැබෙන වාසි සලකා මිස ගැඹුරින් කරුණු සලකා බලා නොවන බවය.

2003දී පොදු පෙරමුණු ආණ්ඩුව අර්බුදයට ගිය අවස්ථාවේදී පොදු පෙරමුණු ආණ්ඩුවට එකතු වී පරිවාස ආණ්ඩුවක් ඇති කරගැනීමට සමත් වුවත්, ඒ වැඩපිළිවෙළ මගින් පොදු පෙරමුණු ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා කරගනිමින් පොදු පෙරමුණු ආණ්ඩුව අනියම් ලෙස පාලනය කරන තත්ත්වයක් පවත්වාගෙන යෑමට සමත් නොවීය. ඉන්පසු රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව පරාජය කිරීමට නැවත පොදු පෙරමුණ සමග සන්ධානයක් ඇතිකර ගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාප පෙරමුණ පරාජය කොට තමන්ගේ ගොඩ කෘත්‍රිම ලෙස වැඩිකර ගැනීමට සමත් වුවත් ඒ නිසා ගොඩ නැගෙන සන්ධාන ආණ්ඩුව අනියම් ලෙස පාලනය කිරීමේ සිහිනය සැබෑ කරගැනීමට හැකිවූයේ නැත. ඊළඟ වටයේදී ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ සමග ගිවිසුමක් ඇති කරගනිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට ගෙන ඒමට සමත් වුවත් ජනාධිපතිවරයා අනියම් ලෙස පාලනය කිරීමේ හා අවසාන වශයෙන් බලය ලබාගැනීමේ සිහිනය සැබෑ කරගැනීමට හැකිවූයේ නැත.

දැන් ඊළඟට ජයග්‍රාහී ඊලාම් විරෝධී යුද්ධය මෙහෙයවූ යුද නායකයා කරළියට ගැනීම මගින් සිය දේශපාලන අරමුණු සපුරා ගැනීමේ සිහිනයක් දකින තැනකට ජවිපෙ තල්ලු වී සිටින බව පෙනේ. ජවිපෙ තමන්ගේම වන දේශපාලන මතවාදයක් ඇති දේශපාලන ව්‍යාපාරයකි. රටේ ආරක්ෂක හමුදාවට එරෙහිව කරන යුද්ධයක් මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට අසාර්ථක උත්සාහයන් දෙකක නිරත වූ ව්‍යාපාරයකි. එවැනි දේශපාලන ව්‍යාපාරයක් දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති හිටපු හමුදා නායකයකු තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග බිමට ගෙන ඒම හොඳ දේශපාලන තීන්දුවක් ලෙස සැලකිය හැක්කේ කෙසේද? දෘෂ්ටිමය වශයෙන් ජවිපෙ හා සරත් ෆොන්සේකා මහතා අතර තිබෙන පොදු බව කුමක්ද යන්න අපැහැදිලිය. සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දෘෂ්ටිය මත පිහිටා ක්‍රියාකරනු ඇතැයි එම පක්ෂයට විශ්වාස කරන්නේද? නිසැක වශයෙන් සරත් ෆොන්සේකා මහතා එල්ටීටීඊ විරෝධී යුද්ධය තුළ බිහිවූ පළමු පෙළේ වීරයෙකි.

එම යුද්ධයේදී යුද හමුදාවට ඔහු විසින් දෙන ලද නායකත්වය යුද්ධයේ ජයග්‍රහණය කෙරෙහි බලපෑ එක් වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කළේය. ඔහු වැනි සුවිශේෂ පුද්ගලයකු බල දේශපාලනයට මැදිහත්වීම ඔහුගේ යහපතට හෝ ගෞරවයට හේතුවන්නේ නැත. ඔහු ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් ඔහු දේශපාලන වශයෙන් විවාදයට හේතුවන පුද්ගලයකු වනවා පමණක් නොව, එකිනෙකාට චෝදනා හා ප්‍රතිචෝදනා එල්ල කරගන්නා වටාපිටාවක් තුළ ඔහු අතින් විශාල හානියක් ප්‍රතිපක්ෂයට සිදුවිය හැකිවා සේම අනෙක් අතට ප්‍රතිපක්ෂය අතින් විශාල හානියක් ඔහුටද සිදුවිය හැකිය. ඉතාමත්ම බිහිසුණුම දේ වනුයේ මෙම තරගයෙන් ජයගැනීමට ඔහු අසමත් වෙතොත් ඔහු හිමි කරගෙන සිටින වීරත්වය ද ඒ නිසා වාෂ්ප වී යන තත්ත්වයක් ඇතිවිය හැකිවීමය.

මහින්ද හා ආණ්ඩුව සිටින තැන

මහින්ද රාජපක්ෂ පාලනය පිළිබඳව මහජනයා අතර බලවත් විවේචනයක් ඇතත්, තවමත් එම විවේචනය පවතින්නේ හිතවාදී ආකාරයකින් මිස විරුද්ධවාදී ආකාරයකින් නොවේ. දකුණු පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව අපේක්ෂා කළ 80% හෝ 90% ලබාගැනීමට ආණ්ඩුව අසමත් වුවත් පාවිච්චි කළ ඡන්දවලින් 68%කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට ආණ්ඩුව සමත් විය. මෙම මැතිවරණ ක්‍රමය යටතේ 68%ක් යනු පුංචි අනුපාතිකයක් නොවේ. ආණ්ඩුවට යථාර්ථවාදී දේශපාලන තක්සේරුවක් තිබුණේ නම් දකුණෙන් අපේක්ෂා කළ යුතුව තිබුණේද 65%ක් තරම් ප්‍රමාණයක් මිස ඊට වැඩි ප්‍රමාණයක් නොවේ. ආණ්ඩුව අපේක්ෂා කළ තරම්ම ප්‍රතිඵලයක් නොලැබීම ආණ්ඩුව ලැබූ පරාජයක් ලෙස තර්ක කළ හැකිවුවත් එම මැතිවරණයේදී පිරිහීමක් මිස, කිසියම් හෝ ප්‍රගතියක් පෙන්නුම් කිරීමට විරුද්ධ පක්ෂය ද සමත් නොවීය. ජවිපෙ තමන්ගේ පරිහානිය කිසියම් ප්‍රමාණයකට පාලනය කරගැනීමට සමත්ව තිබුණා මිස, ඊට එහා ගිය ප්‍රගතියක් පෙන්නුම් කිරීමට සමත් නොවීය.

එජාප පෙන්නුම් කළේ පිරිහීමකි. විශාල මහජන විවේචනයක් මැද්දේ වුවත් මහජනතාව තවමත් දැඩි ආණ්ඩු විරෝධී තැනකට තල්ලු වී නැත. අනෙක් අතට මහජන බලයේදී විරුද්ධ පක්ෂය හා ආණ්ඩු පක්ෂය අතර තිබෙන පරතරය තවමත් විශාල වන නිසාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකින් පරාජය කිරීම ද විරුද්ධ පක්ෂය හිතන තරම් සරල හෝ පහසුවන්නේ නැත. පසුගිය ජනාධිපතිවරණය ළඟ ළඟ තරගයක් වුවත් දැන් පවතින්නේ ඊට සමාන තත්ත්වයක් නොවේ. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු විශාල ප්‍රමාණයකට තම ජන පදනම ශක්තිමත් කරගැනීමට ආණ්ඩුව සමත් වූ අතර, එහිදී විරුද්ධ පක්ෂය පෙන්වා ඇත්තේ පිරිහීමක් මිස ප්‍රගතියක් නොවේ. තවමත් රටේ පවතින දේශපාලන වටාපිටාව ආණ්ඩු පක්ෂයට මිස විරුද්ධ පක්ෂයට වාසිදායක නැත. මේ තත්ත්වය ඉදිරියේ වැඩි ආත්ම විශ්වාසයකින් යුතුව තරග කිරීමේ ශක්තිය ලැබී ඇත්තේ විරුද්ධ පක්ෂයට නොව ආණ්ඩුවටය.

එහෙත් එම වාසිදායක තත්ත්වයේ වෙනසක් ඇතිවීමට ආණ්ඩුව කරන එක මෝඩකමක් සමහරවිට ප්‍රමාණවත් විය හැකිය.