අද්විතීය බවේ උභතෝකෝටිකය

October 11, 2009
Publication:
The government expects a large win in the south, where its base is, but the south is also the most critical province in the country and the uncritical loyalty of six months ago has gone. Ivan sets the president's standing beside Sarath Fonseka's — a man made equally singular by the same victory, for whom no office in the country was large enough — and notes how much local politicians' cut-outs are costing the government in public patience.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දකුණු පළාත් සභා මැතිවරණයෙන් ලොකු සුවිශේෂ ජයග්‍රහණයක් බලාපොරොත්තු වේ. දකුණු පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂය ජයගැනීම නොවැළැක්විය හැකි වුවත් මොනරාගල හා බදුල්ලෙන් ලබාගත් ඉහළ අනුපාතිකය දකුණෙන් ලබාගත හැකිද යන්න සැකසහිතය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද බල පදනම තිබෙන්නේ දකුණේය. දකුණ වෙනත් පළාත්වලට වඩා වමට බරය. ඒ සමග දකුණ වෙනත් ඕනෑම පළාතකට වඩා විවේචනාත්මකව කරුණු සලකා බලන කලාපයක් ලෙස ද සැලකිය හැකිය. මීට මාස පහ හයකට පෙර රටේ ජනතාව අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි පැවතියේ අවිවේචනාත්මක පක්ෂපාතීභාවයකි. යුද්ධයේ ජයග්‍රහණය එම තත්ත්වය උච්චතම තැනකට ගෙනාවේය. එහෙත් අද වන විට යුද්ධයේ හා යුද්ධයේ ජයග්‍රහණයේ ආස්වාදය එදා පැවති තරමට මහජනයා අතර නොපවතී. එය මුළුමනින් නොවෙතත් කිසියම් විශාල ප්‍රමාණයකට වාෂ්ප වී ඇතැ”යි කිව හැකිය.

අද වෙනදාට වඩා මහජනතාව ආණ්ඩුවේ කටයුතු විවේචනාත්මකව බලන තැනකට තල්ලු වී සිටින බව කිව හැකිය. ඒ තත්ත්වය වෙනත් පළාත්වලට වඩා දකුණු පළාතට විශේෂිතය. මෙම තත්ත්වය කෙරෙහි බලපා තිබෙන මනෝවිද්‍යාත්මක සාධකයක් ද පවතී. ලොකු දෙයක් කරපු නායකයකුගෙන් මහජනයා පොඩි දේවල් බලාපොරොත්තුවන්නේ නැත. බලාපොරොත්තු වන්නේ ඒ තරම්ම ලොකු දේවල් හෝ ඊට වැඩි ලොකු දේවල්ය. එල්ටීටීඊය අබිබවා ලැබූ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලොකු දේවල් කරන ලොකු ජනනායකයකු බවට පත් කළේය. එල්ටීටීඊය පරාජය කිරීම මහජනයාට ඇදහිය නොහැකි තරම් ලොකු දෙයක් විය. ඒ ලොකු දේ කළ ජගතාගෙන් මහජනයා ඉන්පසු බලාපොරොත්තු වූයේ ද ලොකු දේවල් මිස පුංචි දේවල් නොවේ. එහෙත් ඒ ලොකු දේ කළ පසු කරන දේවල් මහජනයා අපේක්ෂා කරන තරමට ලොකු නොවන විට මහජන විශ්වාසයේ පිරිහීමක් ඇතිවීම ආරම්භ වූවායැ”යි කිව හැකිය.

මෙය ලොකු දෙයක් කළ ඕනෑම පුද්ගලයකුට මුහුණ දෙන්නට වන අභියෝගයකි. ඉන්දියානු නිදහස් අරගලය කළ මහත්මා ගාන්ධි රඟපෑ අසමාන භූමිකාව නිසා ඉන්දියානු මහජනයා මහත්මා ගාන්ධි දැක්කේ අන් දේශපාලන නායකයන්ට වෙනස් දෙවියකු තරම් දැවැන්ත නායකයකු ලෙසය. නිදහස දිනාගැනීමෙන් පසු ගොඩනගන ලද රාජ්‍යයේ ඔහු ක්‍රියාකාරී පංගුකාරයකු වී නම්, ඔහුට තිබුණු පිළිගැනීමේ බිඳ වැටීමක් ඇතිවන්නට ඉඩ තිබුණි. එහෙත් ඔහු ගොඩනගන ලද නව රාජ්‍යයේ පංගුකාරයකු නොවී වාර්ගික ආවේග පාලනය කරන ව්‍යාපෘතියකට මාරුවෙමින් එම සත් ව්‍යාපාරය තුළ මැරුම්කන පුද්ගලයකු බවට පත්වීම නිසා ඔහුගේ අද්විතීයභාවය තවදුරටත් ඉහළ ගියේය. නෙල්සන් මැන්ඩෙලාටද අවශ්‍ය නම් පළමු අවුරුදු පහෙන් පසුත් කිසිම අභියෝගයකින් තොරව තවදුරටත් රාජ්‍ය බලයේ රැඳී සිටීමේ හැකියාව තිබුණි. ඒ වෙනුවට ඔහු පළමු වසර පහ තුළ අලුත් දේශපාලන ක්‍රමයක් ඇති කොට, රාජ්‍ය බලය අත්හැර විශ්‍රාම ගියේය.

ඒ මගින් ඔහු තමන්ට ලැබී තිබුණු අද්විතීය බව ආරක්ෂා කරගත්තේය. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාද එල්ටීටීඊ විරෝධී යුද්ධයෙන් ලබන ජයග්‍රහණය තුළ දැවැන්ත හා අද්විතීය පුද්ගලයකු බවට පත්ව තිබුණේය. යුද්ධයේ ජයග්‍රහණය ඔහුගේ ඒක පුද්ගල වීර ක්‍රියාවක් නොවූවත් ආණ්ඩුවෙන් ලැබෙන අනුග්‍රහය තුළ පවා ඔහු රඟපෑ භූමිකාව යුද්ධයේ ජයග්‍රහණය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑවේය. යුද්ධයේ ජයග්‍රහණයෙන් පසු තමන්ගේ ලොකු නමට ගැළපෙන තනතුරක් රටේ නොතිබුණු තත්ත්වයක් තුළ වෙනත් තනතුරු භාරගැනීමෙන් තොරව ගෙදර ගොස් විශ්‍රාම සුවයෙන් කල් ගෙව්වේ නම් හිමි කරගත් අද්විතීය බව බොඳවීමකින් තොරව ආරක්ෂා වන්නට ඉඩ තිබුණි. මෙම න්‍යාය ධර්මය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ද පොදුය. ඔහුද සිය කාර්යභාරයෙන් පසු ගෙදර ගියේ නම් ඔහු හිමි කරගත් අද්විතීයභාවය නොනැසී ආරක්ෂා වන්නට ඉඩ තිබුණි.

එහෙත් ඔහු ජනාධිපතිගේ සහෝදරයා වීම නිසා තවදුරටත් තනතුරේ රැඳී සිටින්නට ඔහුට සිදුවූ අතර, ඒ නිසා අද්විතීය දෙයක් කළ ලොකු මිනිසකු තමන්ගේ තරමට නොගැළපෙන පුංචි දේවල් කරන පුද්ගලයකුගේ තත්ත්වයට ඔහු පත්වී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණයෙන් පසු තමන් හිමි කරගත් අද්විතීය තත්ත්වය ඉදිරියේ තමන් තුළ එතෙක් ජීවත් වූ පැරණි දේශපාලකයාගෙන් ඉවත් වී පක්ෂ භේදයෙන් තොරව රට හා රටේ ජනතාව නගා සිටුවීමට අවශ්‍ය තව එක ලොකු දෙයකට අතගසන තැනකට ගියේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්පත් කරගෙන තිබූ අද්විතීයභාවය ද බොඳ නොවන දෙයක් බවට පත්වන්නට ඉඩ තිබුණි. ජනාධිපතිවරයාට තෝරා ගැනීමට බොහෝ විකල්ප නොතිබුණි. අඩුම වශයෙන් පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීම රටට කරන ලොකු දෙයක් ලෙස සලකා බලයට පත්වන පාලක පක්ෂවලට රටේ ධනය කොල්ලකන්නට ලැබී තිබෙන අයිතිය අහිමි කෙරෙන ආකාරයට හා නීතිය, විනය, ගුණධර්ම හා මහජන අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන, වර්ග භේද, ආගම් භේද හා කුල භේද අහෝසි කිරීමට හේතුවන නව දේශපාලන ක්‍රමයක් ඇති කරන තැනකට ගියේ නම් හා ඒ කටයුත්ත අවුරුදු ගණනක් තුළ සම්පූර්ණ කිරීමෙන් පසු බලයේ එල්ලී නොසිට විශ්‍රාම ගන්නා තැනකට ගියේ නම් මහින්ද රාජපක්ෂ මහතා යුද්ධයේ ජයග්‍රහණයෙන් හිමි කරගත් අද්විතීය බව නොනැසී පවතින්නට ඉඩ තිබුණි.

අවශ්‍ය නම් එවැනි වෙනසක් සඳහා තවමත් ප්‍රමාද නැත. එහෙත් ඒ සඳහා පැරණි දේශපාලකයා නමැති හැව අත්හැරීමකට ජනාධිපතිවරයා හිත හදා ගත යුතුය. ප්‍රචාරය දේශපාලකයකුට වැදගත් වුවත්, අධි ප්‍රචාරය විනාශකාරී විය හැකිය. දැන්වීම් කර්මාන්තයේ පිළිගත් සිද්ධාන්තයකට අනුව එකම පුද්ගලයකුගේ ඡායාරූපයක් හැම දිනකම එකම තැනක එකම ආකාරයකින් ජනමාධ්‍යවල පළකරන පිළිවෙතක් මගින් ඒ පුද්ගලයා නැති කළ හැකිය. රට පුරා හන්දියක් හන්දියක් ගානේ දකින්නට ලැබෙන ජනාධිපතිගේ කටවුට් ජනාධිපතිගේ අයහපතට මිස යහපතට හේතුනොවන්නේය. මේ කටවුට්වලින් අතිවිශාල බහුතරයක් ප්‍රාදේශීය දේශපාලකයන් විසින් කරවන ලද ඒවා වන අතර ජනාධිපතිගේ රූපය සමග ප්‍රදේශයේ දේශපාලකයාගේ රූපය පළකරවා ගැනීම මගින් ජනාධිපතිට තිබෙන පිළිගැනීමෙන් කිසියම් කොටසක් ප්‍රදේශයේ දේශපාලකයා වෙත ලබාගැනීම මෙම කටවුට් ව්‍යාපාරවල අරමුණ වී තිබෙන බවද පෙනේ.

ප්‍රාදේශීය දේශපාලකයා මහජනයාට එපාවූ පුද්ගලයකු වන විට ඒ උදහස ජනාධිපතිවරයා කෙරෙහි ද බලපායි. ප්‍රාදේශීය දේශපාලකයන් කටවුට් සඳහා කරන විශාල වියදම මහජන විවේචනයට තුඩුදී තිබෙන වැදගත් සාධකයක් වී තිබේ.