යුද්ධය ජයගැනීමෙන් පමණක් රටට ඉදිරියට යා හැකිද?

September 13, 2009
Publication:
The victory opened a space the country has not used well. Ivan grants the president the larger share of the credit and then turns to the West's changed policy, to the covenant on civil and political rights the country has signed, and to Vietnam — which defeated a great power militarily and then spent decades as one of the poorest countries on earth. Jayewardene, he ends, made a hat to fit his own head; Rajapaksa's task is to make one that fits the country's.

එල්ටීටීඊයට එරෙහිව කරන ලද යුද්ධය ජයගැනීම නිදහස ලැබීමෙන් පසු රටේ මෙතෙක් සිදුවූ ලොකුම ජයග්‍රාහී සංසිද්ධිය ලෙස සැලකිය හැකි වුවත්, ඒ නිසා විවර වූ දැවැන්ත අවකාශය ප්‍රශස්ථ ලෙස ප්‍රයෝජනයට ගැනීමට සමත් වූ බවක් බැලූ බැල්මටම පෙනෙන්නේ නැත. යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය ඒක පුද්ගල උත්සාහයක ප්‍රතිඵලයක් නොවූවත් ඊට ලැබිය යුතු ගෞරවයෙන් වැඩි කොටසක් හිමිවිය යුත්තේ ජනාධිපතිවරයාටය. රටේ රාජ්‍ය නායකයා හා ත්‍රිවිධ හමුදාවට අණදෙන ප්‍රධානියා වශයෙන් ඔහු අනුගමනය කළ දැඩි හා ස්ථිරසාර ප්‍රතිපත්තිය නොවන්නට එම ජයග්‍රහණයට දායක වූ අන් ප්‍රධාන පුද්ගලයන් කවර තරම් කැපකිරීම් කළ ද එම ජයග්‍රහණය රටට නොලැබෙන්නට ඉඩ තිබුණේය. මීට පෙර ආරක්ෂක හමුදාවන්ට එල්ටීටීඊය පරාජය කරන්නට නොහැකි වූයේ එල්ටීටීඊය පරාජය කිරීමට බැරි තරමට ඔවුන් ශක්තිමත් වූ නිසා නොව, බාහිර වශයෙන් කලාපීය බලවතුන්ගෙන් හෝ මහා බලවතුන්ගෙන් එල්ල වූ බලපෑම් ඉදිරියේ එල්ටීටීඊයට එරෙහිව ආරම්භ කෙරෙන යුද ව්‍යාපාරයක් අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය අනුග්‍රහය රාජ්‍ය නායකයන්ගෙන් නොලැබීම නිසාය.

එහෙත් එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ අන් රාජ්‍ය නායකයන්ට වෙනස්ව මහා බලවතුන්ගෙන් එල්ල වන බලපෑම් නොසලකා එල්ටීටීඊ යුද්ධය ඔවුන් පරාජය කරන තෙක් අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය උපරිම අනුග්‍රහය ලබාදෙන පිළිවෙතක් අනුගමනය කළේය. මෙම යුද්ධ ව්‍යායාමය තුළ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රධාන කොට අනෙක් හමුදාවන්ට අයත් සෙසු අණදෙන නිලධාරීන් ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද අතිවිශාල කාර්යභාරයක් ඉටු කළ බවට සැකයක් තිබිය නොහැකිය. ඒ සියලුදෙනාගේ ඇප කැපවීම නොවන්නට රාජ්‍ය නායකයා කොතරම් විශාල ප්‍රමාණයකින් අනුග්‍රහය ලබාදෙන පිළිවෙතක් ඉදිරියේ පවා අපේක්ෂිත ප්‍රතිඵලය ලබාගැනීමට හැකි නොවන්නට ඉඩ තිබුණි. අනෙක් අතට ඒ සියලුදෙනා කරන කැපකිරීම් ඉදිරියේ පවා රාජ්‍ය නායකයා ඔවුන්ගේ එම ගමනට අවහිර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් ලැබෙන ප්‍රතිඵලය ලැබුණු ප්‍රතිඵලයට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි.

යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය ඒ සියලුදෙනාගේ සාමූහික උත්සාහයක ඵලයක් ලෙස සැලකිය හැකි වුවත්, නැවත ඒ සියලුදෙනාට රාජ්‍ය නායකයා වශයෙන් හා ත්‍රිවිධ හමුදාවට අණදෙන ප්‍රධානියා වශයෙන් එම කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂට එම ගෞරවයෙන් වැඩි කොටසක් හිමිවිය යුතුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබුණු මහජන පිළිගැනීම දෙගුණ තෙගුණ කරමින් ඔහු නිදහසින් පසු බලයට පත්වූ බලවත්ම රාජ්‍ය නායකයා බවට පත්වන්නේ ඒ නිසාය.

යුද්ධය එක කඩුල්ලක් පමණය

එහෙත් යුද්ධය රට ඉදිරියේ ජයගත යුතුව තිබුණු කඩුලු අතරින් ඉතාමත් වැදගත් එක කඩුල්ලක් පමණය. එය ජයගැනීමට තිබුණු කඩුලු අතරින් වැදගත්ම හා දුෂ්කරම කඩුල්ල විය හැකි වුවත්, එම කඩුල්ල ජයගැනීමෙන් පසු අනෙකුත් සියලු කඩුලු ප්‍රශස්ථ ලෙස ජයගැනීමට සමත් නොවේ නම්, තරගය පරාජයවීමෙන් හෝ ජය පරාජයකින් තොරව තරග කෙළවරවීමට ඉඩ තිබේ. දුෂ්කරම කඩුල්ල ජයගැනීමෙන් පසු ඒ නිසා ඇති කරගන්නා උද්දාමයෙන් යුතුව ඉතිරි අනෙකුත් කඩුලු ජයගැනීමේ අරමුණ අමතක කළහොත්, දුෂ්කරම කඩුල්ල ජයගැනීමේ ආස්වාදය හා ඒ මගින් ලැබෙන ජවය ඉතිරි කඩුලු ජයගැනීම සඳහා ප්‍රශස්ථ ලෙස යොදා නොගතහොත් තරගය පරාජය වීමේ හැකියාව සේ ම තවත් සමහරවිට ජය පරාජයෙන් තොරව අවසන්වීමේ හැකියාවද පවතී. රට ඉදිරියේ තිබෙන ප්‍රශ්න ඉතාමත් සංකීර්ණය. රාජ්‍යයේ ආධිපත්‍යය නොපිළිගන්නා, රාජ්‍යයේ ආධිපත්‍යයට අභියෝග කරන අවි අතට ගත් ශක්තිමත් ත්‍රස්තවාදී ව්‍යාපාරයක පැවැත්ම එම සංකීර්ණ ප්‍රශ්න අතර තිබුණු එක ලොකු ප්‍රශ්නයක් පමණය.

එම ලොකු ප්‍රශ්නය ජයගැනීම නිසා රාජ්‍යයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව තහවුරු විය. එහෙත් රටේ දේශපාලන ක්‍රමය තිබෙන්නේ මනා ප්‍රතිශෝධනයකින් තොරව එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි තැනකය. දේශපාලන ක්‍රමය නමැති සංකීර්ණ විෂයට අත ගසන්නට පෙර ඉක්මණින් විසඳාගත යුතු ප්‍රශ්න කිහිපයක්ද රටේ ඇත්තේය. යුද්ධයෙන් අවතැන්වූවන් පිළිබඳ ප්‍රශ්නය ඒ අතර තිබෙන ලොකුම ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. යුද්ධයේම අතුරු ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි බටහිර ලෝකය සමග ඇතිවී තිබෙන මතභේදද ඉක්මනින් විසඳා ගත යුතුව තිබෙන වැදගත් ප්‍රශ්නයකි.

බටහිර පිළිවෙත

යුද්ධය කෙරෙන කාලයේදී බටහිර ලෝකය හා ශ්‍රී ලංකාව අතර රළු වාදයක් තිබුණි. මොන මොන හේතු නිසා හෝ බටහිර ලෝකය ශ්‍රී ලංකාවේ යුද්ධ වැඩපිළිවෙළට අවහිර කළේය. එල්ටීටීඊය යුද්ධයෙන් පරාජය කළ හැකිවේයැ”යි ඔවුහු විශ්වාස නොකළහ. එම යුද්ධයේදී බටහිර ලෝකය එල්ල කරන බාධාවලදී ඒවා නොසලකා යුද්ධය ඉදිරියට පවත්වාගෙන යන දැඩි පිළිවෙතක් ආණ්ඩුව අනුගමනය කළේය. එහිදී රළු ස්වරූපයකින් අදහස් හුවමාරු කරගැනීම් ද සිදුවිය. එහිදී ආණ්ඩුව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිවැරදිය. එසේ නොවී නම් යුද්ධයේ ජයග්‍රහණය සිදු නොවන දෙයක් බවට ද පත්වන්නට ඉඩ තිබුණි. එහෙත් යුද්ධයේ ජයග්‍රහණය නොවැළැක්විය හැකි බව පෙනෙන්නට වූ විට එතෙක් බටහිර ලෝකය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ දැඩි ප්‍රතිපත්තිය ලිහිල් කළේය. එහෙත් ඊට ගැළපෙන ලෙස බටහිර ලෝකය සම්බන්ධයෙන් අප අනුගමනය කරන දැඩි ප්‍රතිපත්තියේ ලිහිල් බවක් ඇති නොවීය.

ඒ නිසා බටහිර ලෝකය හා ශ්‍රී ලංකාව අතර ඇතිවී තිබූ හිත් අමනාපකම් වර්ධනය වන තත්ත්වයක් ඇතිවී තිබේ. අප දුෂ්කර තත්ත්වයක සිටින අවස්ථාවකදී බටහිර ලෝකය අපට අවහිර කරන දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට අපට ආධාර කළ මිතුරෝ පිරිසක් අපට සිටියෝය. ඒ මොහොතේ ඔවුන් අපට කළ උදව් අප අමතක නොකළ යුතුය. එහෙත් බටහිර ලෝකය මුළුමනින් කපා හරින ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන්නේ නැත. විවේචනාත්මක ප්‍රතිපත්තියක පිහිටා සිටිමින් හෝ අප ඔවුන් සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතුය. අප බටහිරට ගැති තැනකට යායුතු නැතත්, දැඩි බටහිර විරෝධී ප්‍රතිපත්තියකටද යායුතු නැත. ප්‍රධාන දේ අපනයනය සඳහා අප නිපදවන භාණ්ඩ විකිණිය යුත්තේ බටහිර ලෝකයටය. චීනය, ඉන්දියාව හෝ බටහිර නොවන වෙනත් රටවලට ඒ භාණ්ඩ විකිණිය නොහැකිය. රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය කෙරෙහි අන්තර්ජාතික වෙළෙඳාම තීරණාත්මක සාධකයක් ලෙස බලපායි.

අපට බටහිර ලෝකයෙන් ලැබෙන ආධාර නැතිව පැවතිය හැකි වුවත්, බටහිර ලෝකයට භාණ්ඩ විකිණීමෙන් තොරව අපට පැවතිය නොහැකිය. ශ්‍රී ලාංකිකයන් කිසියම් විශාල පිරිසක් බටහිර රටවල ජීවත්වන්නේය කියන සාධකය කෙරෙහි ද අප සැලකිලිමත් විය යුතුය. විදේශ රටකට සංක්‍රමණය වීම ඉලක්ක කරගත් ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් බටහිර රටකට යනවා මිස පෙරදිග රටවලට යන්නේ නැත.

පාඩම් ඉගෙන ගැනීම

1977 මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන වේදිකාවේ සිටියදී රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඉන්දිරා ගාන්ධි එළදෙනක් ලෙස සඳහන් කරමින් කරන ලද කතාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට අතිවිශාල වන්දියක් ගෙවන්නට සිදුවිය. මහා බලවතුන් ඉදිරියේ දිනවිය යුතු නැතත් අප වැනි පුංචි රටක් මහ බලවතුන් සමග රණ්ඩු කරන්නට යෑම සුබදායක නැත. ගොලයාත් -ඩේවිඩ් නිදර්ශනය හැමතැනටම වලංගු නැත. බටහිර රටවල උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශ්‍රී ලාංකිකයෝ සැලකිය යුතු පිරිසක් සිටිති. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ගුරුවරුන් පවා වැඩිදුර උසස් අධ්‍යාපනය සඳහා වැඩිපුර යන්නේ බටහිරට රටවලටය. බටහිර රටවල් හා අප රට අතර පවතින අප්‍රසන්න ගැටුමක් ඔවුන් කෙරෙහි පීඩාකාරී ලෙස බලපා හැකි බව අප අමතක නොකළ යුතුය. සියලු බටහිර රටවල් එකට එකතු වූ විට ඔවුන්ට ලැබෙන බලවත්කම නිසා සාධාරණ හේතු ඇතිව හෝ නැතිව අප පීඩාවට පත්කිරීමේ බලය ඔවුන් සතුය.

බටහිර ලෝකය නියෝජනය කරන ප්‍රමුඛ පුද්ගලයන් සඳහා අප තහංචි පනවන පිළිවෙතක් අනුගමනය කරන විට ඔවුන් ද ඒ හා සමාන පිළිවෙතක් අප සම්බන්ධයෙන් අනුගමනය කළ හැකිය. ඔවුන් අපට වඩා බලවත් වන නිසාම ඔවුන් සම්බන්ධයෙන් අපට ඇති කළ හැකි පීඩනයට වැඩි පීඩනයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ට ඇති කළ හැකිය. කියුබාව සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය කළ ප්‍රතිපත්තිය ඉතාමත් අයුක්තිසහගත හා දුෂ්ට සහගතවීයැ”යි කිව හැකිය. එහෙත් සෝවියට් දේශය බිඳ වැටීමත් සමග නන්නත්තාර තත්ත්වයකට පත්වූයේ පීඩකයාගේ භූමිකාව රඟපෑ ඇමරිකාව නොව පීඩිතයාගේ භූමිකාව රඟපෑ කියුබාවය. ඉන්දිරා ගාන්ධි යුගයේදී ඉන්දියාව සමග ඇති කරගෙන තිබුණු ආරාවුලේදී දැඩි ඇමරිකන් හිතවාදී හා බටහිර හිතවාදී ප්‍රතිපත්තියක් මගින් ආරක්ෂාව සහතික කරගත හැකිවේයැ”යි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විශ්වාස කළේය. සහනාධාර රැගෙන පැමිණි ඉන්දියානු බෝට්ටු ආපසු හරවා යැවීමට නියෝග කරන ලද්දේ ද ඒ විශ්වාසය හිතේ ඇතිවය.

රටේ මහජනතාව ද ඒ අවස්ථාවේදී මහත් ආස්වාදයකින් යුතුව ආණ්ඩුව ගනු ලැබූ එම තීරණය අනුමත කළේය. එහෙත් ඒ සමග ඉන්දියාව ගුවනින් ලංකාව ආක්‍රමණය කොට යාපනේට සහනාධාර හෙලූ අවස්ථාවේදී ඉන්දියාව කළ එම ක්‍රියාව හෙළා දකින්නට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ඉන්දියානු විරෝධී ප්‍රතිපත්තියට උඩගෙඩි දුන් බටහිර කිසිදු බලවතකු ඉදිරිපත් වූයේ නැත. එම තත්ත්වය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ විස්මයටද, කනස්සල්ලටද හේතුවී අවසානයේ ආරක්ෂාව සඳහා ඉන්දියාව ඉදිරියේ දණ නමන තැනකට යන්නට ජනාධිපතිවරයාට සිදුවිය.

විදේශ පිළිවෙත නැවත සලකා බැලීමේ වැදගත්කම

වියට්නාම් නිදර්ශනයෙන්ද අපට උගත හැකි පාඩම් බොහෝය. වියට්නාමය සෝවියට් දේශයේ ද සහාය ලබාගනිමින් ඇමරිකාවට එරෙහිව නිර්භීතව නැගී සිටියා පමණක් නොව, මහා බලවතකු වූ ආක්‍රමණිකයා යුදමය වශයෙන් පරාජය කිරීමට ද සමත් විය. එහෙත් ඇය ලැබූ එම මහා ජයග්‍රහණයෙන් පසු බලවත් ජාතියක් ලෙස නැගී සිටීමේ හැකියාව ඇයට ලැබුණේ නැත. වියට්නාමය ලෝකයේ දුප්පත්ම රටවලින් එකක් බවට පත්වූවා පමණක් නොව, තමන් ඇද වැටී සිටි දුක්ඛිත තත්ත්වයෙන් ගොඩ ඒම පිණිස තමන්ගේ වෛරයට හේතුවී සිටි ඇමරිකාවේම සහාය ලබාගන්නා තැනකට තල්ලුවන්නට ද වියට්නාමයට සිදුවිය. අප බලවත් රටවල් ඉදිරියේ වැඳ වැටෙන තැනකට යායුතු නැතත්, අප වැනි පුංචි රටක් ලෝක බලවතුන් සමග රණ්ඩු කරන තැනකට යායුතු නැත. මහා බලවතුන් තමන්ගේ විරෝධයට හේතුවන රටක් පීඩාවට පත්කරනුයේ වහාම නොව ක්‍රම ක්‍රමයෙනි. මහා බලවතුන් විසින් පාගා කාලකන්නිභාවයට පත් කරන ලද රටවලින් අප පාඩම් ඉගෙන ගත යුතුය.

එල්ටීටීඊයට එරෙහිව යුද්ධයක් කෙරෙන අවස්ථාවේදී සාධාරණ හේතු ඇතිව හෝ නැතිව බලවත් රටවලින් එල්ල වූ බලපෑම් නොසලකා අපේක්ෂිත අරමුණ දිනාගැනීම සඳහා දැඩි පිළිවෙතක පිහිටා ක්‍රියාකිරීම නිවැරදිය. එහෙත් යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණයෙන් පසු යුරෝපා රටවල් සම්බන්ධයෙන් එතෙක් පවත්වාගෙන ආ දැඩි පිළිවෙත අත්හරිමින් ඔවුන්ට ඉවසීමෙන් කරුණු පහදා දෙන ප්‍රතිපත්තියක් ඔස්සේ ඔවුන් සමග සුහදව ක්‍රියා කරන තැනකට අප යායුතුව තිබුණි. GSP+ සහනය අහිමිවන තත්ත්වයක් ඇති කිරීමට හේතුවූයේද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියට අදාළව අධිකරණය දෙන ලද තීන්දුවකි. එය ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙන සියලු අන්තර්ජාතික ප්‍රඥප්තීන් අවුල්සහගත තත්ත්වයකට පත්කිරීමට හේතුවූ අතර, ශ්‍රී ලංකාව තමන් අත්සන් තබන අන්තර්ජාතික ගිවිසුම්වලට ගරු නොකරන හිතුවක්කාරී රටක් ලෙස සලකන තත්ත්වයක් ගොඩනැගුණි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය

ශ්‍රී ලංකාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ විකල්ප ප්‍රොටකෝලයට අත්සන් තබන ලද්දේ 1997දීය. එය විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ මැදිහත්වීම යටතේ සිදුවූ ක්‍රියාවලියක් විය. එම ප්‍රඥප්තිය, ප්‍රඥප්තියට අත්සන් තබන රාජ්‍යයේ ජනතාවගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණ වෙනුවෙන් ගොඩනගා ගෙන තිබුණු ප්‍රඥප්තියකි. එහිදී විකල්ප ප්‍රොටකෝලයට අත්සන් තබන රාජ්‍යයේ පුරවැසියකුට අයිතිවාසිකම් උල්ලංඝනයවීමකදී ඒ රටේ තිබෙන ඉහළම අධිකරණයෙන් සාධාරණය ඉටු කරගැනීමට නොහැකිවූ අවස්ථාවකදී ජිනීවාහි තිබෙන මානව හිමිකම් කමිටුවට පැමිණිලි කිරීමේ අයිතිය ලැබුණි. 2004 වසරේදී කමිටුව ශ්‍රී ලංකාවෙන් තමන් වෙත ලැබී තිබුණු පැමිණි තුනක් විභාග කොට අදාළ නිර්දේශ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ඉදිරිපත් කර තිබුණි. එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ මාය.

ඒ සාපරාධී අපහාස නීතිය යටතේ සිදුකරන ලද නඩු පැවරීම්වලට එරෙහිව මා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් දෙන ලද තීන්දුවකට එරෙහිවය. ඊළඟ පැමිණිලි දෙක ඉදිරිපත් කර තිබුණේ සිංහරාසා හා ත්‍රස්තවාදී මර්දන නීතිය යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි දෙමළ තරුණයෙකි. මාගේ පෙත්සමට අදාළව දෙන ලද තීන්දුව වූයේ අන්තර්ජාතික නීතියේ පිළිගත් මූලධර්මවලට පටහැනිව සිදුකර තිබෙන මෙම නඩු පැවරීම් මගින් මාගේ අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවී ඇති බැවින් ශ්‍රී ලංකා ආණ්ඩුව මා වෙත ඊට සරිලන තරමේ වන්දියක් ගෙවිය යුතු බවය. සිංහරාසා පැමිණිල්ලේ තීන්දුව වූයේ සිංහරාසාට දඬුවම් කිරීම සඳහා ප්‍රධාන සාක්ෂිය ලෙස යොදාගෙන තිබුණේ ඔහුට නොතේරෙන භාෂාවකින් ලබාගන්නා ලද කටඋත්තරයක් වන නිසා ඔහුගේ නඩුව එක්කෝ නැවත අලුතෙන් විභාග කළයුතු බව හා නැතිනම් ඔහු නිදහස් කළ යුතු බවය.

අනෙක් පැමිණිල්ල සම්බන්ධයෙන් දී තිබුණු තීන්දුව වූයේ නඩු පැවරීමකින් තොරව දිගින් දිගට රඳවා තබා ගැනීම ප්‍රඥප්තියට පටහැනි වන බැවින් එක්කෝ ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බව හා එසේ නොවේ නම් ඔහු නිදහස් කළ යුතුය. මානව හිමිකම් කමිටුවේ මෙම තීරණ තුන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව අනුගමනය කරන්නට අපේක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ අමාත්‍යාංශය මානව හිමිකම් කමිටුව වෙත යවන සංදේශයක් මගින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලදි. මා සම්බන්ධයෙන් එහි කියා තිබුණේ දී තිබෙන තීරණයක් පිළිගන්නා බවත්, ගෙවිය යුතු වන්දියේ ප්‍රමාණය තීන්දු කිරීමේ වගකීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම වෙත පවරා තිබෙන බවත්, කොමිසම නියම කරන වන්දිය ගෙවන බවත්ය. සිංහරාසා තීරණය සම්බන්ධයෙන් එම සංදේශයෙන් ප්‍රකාශ කර තිබුණේ නඩු තීන්දුව දී තිබෙන්නේ ඉහළම අධිකරණය බැවින් නැවත අලුතෙන් නඩුවක් ආරම්භ කිරීමේ හැකියාවක් නැති බවත්, එහෙත් ඔහුට සමාවදීමක් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා තීරණයක් ගැනීමේ බලය ජනාධිපතිට ඇති නිසා කමිටුවේ තීරණයක් ජනාධිපති වෙත යොමු කරන බවත්ය.

ඊළඟ පැමිණිල්ලේ තීරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ එම පැමිණිලිකරුට එරෙහිව නඩු පවරා ඇති බව හා එම නඩුව විභාගවෙමින් පවතින බවය. මෙම පැමිණිලි තුනට අදාළව දී තිබෙන තීරණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් තමන් ඒ අනුගමනය කරන්නට යන ප්‍රතිපත්තිය මේ ආකාරයෙන් පැහැදිලි කර තිබියදීත් සිංහරාසාගේ පැමිණිල්ලට අදාළව දෙන ලද තීරණයක් සම්බන්ධයෙන් නීතිඥ ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියේ ඇයිද යන්න නොපැහැදිලිය. ගුණසේකර මහතා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නීති උපදේශකයකු ලෙස ක්‍රියාකරමින් සිටි තත්ත්වයක් තුළ ඒ ගනුදෙනුව ජනාධිපතිනිය සමග කරන තැනකට ගියේ නම් මෙම අවුල ඇති නොවන්නට ඉඩ තිබුණි.

හොරාට පෙර මුට්ටිය

ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් වී විභාගයට ගෙන තිබුණු ශ්‍රී ලංකාවේ පැමිණිලි සියල්ලම වාගේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ නීතියට පටහැනි ක්‍රියාකාරකම්වලට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි වීම හේතු කොටගෙන ජිනීවාහි මානව හිමිකම් කමිටුව දෙනු ලබන තීරණයක් බලරහිත කිරීමේ ස්වාභාවික වුවමනාවක් හිටපු අගවිනිසුරුවරයාට තිබුණි. විභාගයට ගෙන තිබූ පැමිණිලි අතර ඔහු විසින් දඬුවම් පමුණුවනු ලැබූ ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දුගේ හා එස්.බී. දිසානායකගේද, එම අගවිනිසුරුවරයා විසින් නීතියට පටහැනිව අධිකරණ සේවයෙන් පලවා හැර තිබූ හිටපු විනිසුරුවරුන් දෙදෙනකුගේද පැමිණිලි විය. ඍජු ලෙස ලංකා ආණ්ඩුවට හෝ ආරක්ෂක හමුදාවට එරෙහිව චෝදනා කරන කිසිදු පැමිණිල්ලක් ඒ පැමිණිලි අතර නොවීය. සිංහරාසාට අදාළව දෙන ලද තීරණයක් පිළිබඳ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගෙන ගිය විට අගවිනිසුරුවරයා තමන්ගේ ආරක්ෂාව සඳහා ජිනීවාහි මානව හිමිකම් කමිටුව දෙනු ලබන තීරණයක් බලරහිත කිරීමට එය අවස්ථාවක් කරගත්තේය.

ඒ මගින් ඔහු තමන්ගේ ආරක්ෂාව සඳහා රටේ පැවැත්ම බිලි දුන්නේය. සිංහරාසාගේ මෙම පැමිණිල්ලට අදාළ මෙම තීන්දුව දෙන අවස්ථාව වන විට ශ්‍රේෂ්ඨාධිකරණය අන්තර්ජාතික ප්‍රඥප්තියට අදාළව අඩුම වශයෙන් නඩු තීන්දු දෙකක් දී තිබුණු අතර, මෙම තීන්දුවේදී ඒ කිසිවක් සැලකිල්ලට ගෙන නොතිබුණි.

රාජ්‍ය නායකයාගේ වගකීම

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බටහිර ලෝකය සම්බන්ධයෙන් අප අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය නැවත කියවීමකට ලක්විය යුතු අතර, දේශපාලන ක්‍රමයේ තිබෙන අවුල්සහගත ස්වභාවය ගැනද බැ?රුම් අවධානය යොමුවිය යුතුය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නය පමණක් නොව, විනය පාලනය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයම තිබෙන්නේ පහසුවෙන් ලිහාගත නොහැකි අවුල්සහගත තත්ත්වයකය. අධ්‍යාපනය ඇතුළු මහජන සේවා සේ ම යුක්තිය පසිඳලන ආයතන ක්‍රමය තිබෙන්නේ ද අවුල් ජාලයකය. ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද යුද්ධය ජයග්‍රාහී ලෙස නිම කිරීමෙන් විවර වී තිබෙන අවකාශය උපරිම ලෙස ප්‍රයෝජනයට ගතහැකි වනු ඇත්තේ රටේ පවතින චෞර දේශපාලන ක්‍රමය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීමෙනි. රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ ක්‍රියාවලියට ද නායකත්වය දිය යුතුය. දේශපාලන ක්‍රමයේ ප්‍රතිසංවිධානයක් සඳහා සුදුසු වටාපිටාවක් ඔහු ගොඩනැගිය යුතුය.

රාජ්‍ය නායකයා වශයෙන් ඔහු සාධාරණ හා අපක්ෂපාතව ක්‍රියා කළ යුතුය. ඔහු සිය පාක්ෂිකයන් අතර පමණක් නොව, විරුද්ධ පාක්ෂිකයන් අතර ද ගෞරවයට හේතුවන ලෙස ක්‍රියා කළ යුතුය. සිය පක්ෂයේ ප්‍රගමනය පිණිස විරුද්ධ පක්ෂවලට පීඩා කරන තැනකට නොයා යුතුය. යුද්ධයට පක්ෂවීම හා විරුද්ධ වීම මත දේශපාලන තලයේ ඇතිවී තිබෙන ගොරෝසු බෙදීම් අවසන් කරන තැනකට යා යුතුය. අදහස් පළකිරීමේ නිදහස උපරිම මට්ටමෙන් ආරක්ෂා කරන තත්ත්වයක් සහතික කළ යුතුය. කොටින්ම ජනාධිපතිවරයා එක් පක්ෂයකට නායකත්වය දෙන පුද්ගලයකුගෙන් ඔබ්බට ගිය, පක්ෂ භේදයෙන් තොරව, වර්ග, ආගම්, කුලභේදයෙන් තොරව සියලු පුරවැසියන් බලාගන්නා ඒ සියලුදෙනාගේ නායකයා බවට පත්විය යුතුය. දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානය විය යුත්තේද ජේ.ආර්. ජයවර්ධන කළා සේ රාජ්‍ය නායකයාගේ පෞද්ගලික වුවමනා සැලකිල්ලට ගෙන නොව, රටේ පොදු වුවමනා සැලකිල්ලට ගනිමිනි.

ජේ.ආර්. ජයවර්ධන දේශපාලන ක්‍රමය නමැති තොප්පිය හැදුවේ තමාගේ ඔළුවට ගැළපෙන ලෙසය. එහෙත් මහින්ද රාජපක්ෂ විසින් කළයුතුව තිබෙන්නේ එය නොව, රටේ ඔළුවට ගැළපෙන තොප්පියක් හදාදීමය.