පසුගිය පුවත්පත් කලාවේදී විශිෂ්ටතා සම්මාන උළෙලේදී හොඳම ගවේෂණාත්මක වාර්තාකරණයට දෙන ලද සම්මානය පිළිබඳ විචාරයකි. ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ 10 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ගල්කිස්ස හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. පළමුවරට හොඳම ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියා සඳහා ද සම්මානයක් පිරිනමනු ලැබීය. මෙම සම්මානය හිමි කරගනු ලබන ජනමාධ්‍යවේදියා කවුරුන් විය හැකිද යන්න ගැනත්, සම්මානයට හේතුවන වාර්තාකරණය කුමක් විය හැකිද යන්න ගැනත් මුල සිටම මා තුළ කුතුහලයක් තිබුණි. ඉතාමත් විශේෂිත මෙම විෂය සඳහා සම්මානය හිමිවී තිබුණේ වෘත්තියෙන් වෛද්‍යවරයකු වුවද “දි අයිලන්ඩ්” පුවත්පතේ මහජන සෞඛ්‍ය පිටුවේ සංස්කාරකවරයා ද වන දොස්තර ප්‍රසන්න කුරේ මහතාටය. එම සම්මානය ප්‍රදානය කර තිබුණේ රජරට දැවෙන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන වකුගඩු රෝගය කෙරෙහි බලපා තිබෙන හේතු පිළිබඳව ලියන ලද ලිපියකට හෝ ලිපි තුනකටය.
සම්මානය ලබාදීමට හේතුවී තිබෙන ගවේෂණාත්මක අයිත්තමේ ඡායා පිටපතක් ලබාදෙන ලෙස මම සම්මාන උළෙලෙන් දින කිහිපයකට පසුව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සේවය කරන කමල් ලියනාරච්චි මහතාට දුරකථනයෙන් කතා කොට ඉල්ලා සිටියෙමි. ඒ මොහොතේ නිසි පිළිතුරක් දීමට ඔහු අසමත් වූවත් පසුව මට දුරකථනයෙන් කතා කොට එම ලිපියේ ඡායා පිටපතක් සඳහා ලිඛිත ඉල්ලීමක් කරන ලෙස මට දැනුම් දුන්නේය. එහෙත් ඒ වන විට විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ක්‍රියා කළ ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහගෙන් ඒ ගැන කරුණු විමසීමක් කර තිබූ අතර, අදාළ ලිපිය අන්තර්ජාලයෙන් ලබාගත හැකි බව කීවේය. ඒ අනුව අදාළ ලිපි තුන අන්තර්ජාලයෙන් ලබාගැනීමට හැකිවිය. ලිපි තුන මෙසේය. 1. Chronic Kidney Disease in NCP: A Post-Mahaweli Predicament? 2. Ecology: Accelerated Mahaweli Project and Kidney Disease: Pieces of the Puzzle. 3. Will Uma Oya bring Kidney Disease to Uva-Wellassa and Ruhunu? මෙම ලිපි තුන පිළිවෙළින් 2008.02.28, 2008.05.29 සහ 2008.05.09 යන දිනවල “දි අයිලන්ඩ්” පුවත්පතේ පළවී තිබේ.
හොඳම ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියාට දෙන සම්මානය ලබාදී ඇත්තේ මේ ලිපි තුනෙන් තෝරාගත් එකක් හෝ තුනම සලකාය. මෙම තෝරා ගැනීම ගවේෂණාත්මක වාර්තාකරණයට වැරදි අර්ථකථනයක් ලබාදෙයි. සම්මානයට පාත්‍රවී තිබෙන ලිපිය හෝ ලිපි තුන මෙම විෂය හදාරන ශිෂ්‍යයන් සේ ම ජනමාධ්‍යවේදීන් ද පූර්වාදර්ශයක් ලෙස සැලකීමේ අනතුරක් ද පවතී. විවේචනයට ලක්නොවෙතොත් ඉදිරි සම්මාන උත්සවවලදීද මෙම වරද දිගින් දිගට සිදුවිය හැකිය. මේ නිසා සම්මාන උළෙලේදී විනිශ්චය මණ්ඩලය හෝ සංවිධායකයන් අපහසුතාවට පත්කිරීමේ අරමුණින් නොව, සිදුවී තිබෙන වරද නිවැරදි කිරීමේ අරමුණින් හා ගවේෂණාත්මක වාර්තාකරණය පිළිබඳව හරි අර්ථකථනයක් මතුකර ගැනීමේ අරමුණින් මෙම තේරීමේ ඇති දෝෂසහගතභාවය පෙන්වා දීමට කැමැත්තෙමි. මම මීට කිසියම් කලකට ඉහතදී ජනමාධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන් අමතා කරන ලද දේශනයකදී දේශනය අවසානයේදී එහි සිටි එක් ශිෂ්‍යාවක ගවේෂණාත්මක වාර්තාකරණය කුමක්ද යන ප්‍රශ්නය මගෙන් විමසන ලදි.
මාගේ දේශනයේ මාතෘකාව වූයේ ගවේෂණාත්මක වාර්තාකරණය නොව වෙනත් මාතෘකාවකි. මම එය අවස්ථාවක් කරගනිමින් ගවේෂණාත්මක වාර්තාකරණය යන්නෙන් එහි සිටි ශිෂ්‍ය, ශිෂ්‍යාවන් තේරුම් ගෙන තිබෙන්නේ කුමක්ද යන්න කෙටියෙන් විස්තර කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමි. හැමකෙනකුටම තමන්ගේ අර්ථකථනය කෙටියෙන් ඉදිරිපත් කිරීමට ඉඩ දුන්නෙමි. ප්‍රශ්නයට පිළිතුරු දුන් ආකාරයේ වෙනස්කම් තිබුණද හැමදෙනාම දෙන ලද පිළිතුරුවල අවසාන තේරුම එක සමාන විය. ගැඹුරින් වාර්තා කිරීම හෝ ගවේෂණය කොට ලිවීම යන්න එහි තේරුම විය. මෙම දේශනයෙන් පසුව මගේ වෙනත් වුවමනාවක් සඳහා මෙම විෂය පිළිබඳව ශ්‍රී ලංකාවේ උගතුන් කිහිපදෙනකු ලියා ඇති ලිපි කියවා බැලුවේ ඔවුන් ගවේෂණාත්මක වාර්තාකරණයට දෙන අර්ථකථනය කුමක්ද යන්න දැනගැනීම සඳහාය. එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ඒ සියලුදෙනා දී තිබුණු අර්ථකථනය ජනමාධ්‍ය විද්‍යාලයේ ඉහත කී ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙන ලද අර්ථකථනයට සමාන විය.
ඒ සමග සුනන්ද දේශප්‍රිය, ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ජැකොලයින් පාර්ක් සමග එක්වී මෙම විෂයට අදාළව ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රයෝජනය සඳහා “ඉරා කඩතිර” නමින් ලියන ලද අත්පොතක් කියවන්නට ලැබුණි. ඒ ගැන කිවයුත්තේ මේ දෙදෙනා තමන් හරිහැටි නොදන්නා විෂයක් ගැන ජනමාධ්‍යවේදීන් සඳහා අත්පොතක් ලියන්නට ගොස් තමන්ගේ නොදන්නාකම ඉහළ මට්ටමකින් ප්‍රදර්ශනය කර ඇති බවය. හොඳින් ගවේෂණය කොට, ලිවීමක් පමණක් ගවේෂණාත්මක වාර්තාකරණයක් වන්නේ නැත. සඟවාගෙන සිටින බලවත් වරදක් හෙළිදරව් කිරීමට හේතුවන ලෙස යටපත් කරගෙන සිටින අනුන්ගේ වාර්තාවක් පළකිරීම ද ගවේෂණාත්මක වාර්තාකරණයක් වන්නේ නැත. තෝරුන්, මෝරුන්, අලින්, වඳුරන් ගැන වෙන කොයිකවුරුන් විසින්වත් හෙළිදරව් කර නැති තරම් සැඟවුණු කරුණු ඇතුළත් ගවේෂණයක් පුවත්පතක හා ජනමාධ්‍යයක පළකිරීම ද ගවේෂණාත්මක වාර්තාකරණයක් වන්නේ නැත.
එක විට පුවත්පත්වලට ලියන ජනමාධ්‍යවේදියකු හා විද්‍යාඥයකු ලෙස ක්‍රියා කරන පුද්ගලයකු විද්‍යාත්මක තලයේ කරන මහා ගවේෂණයක් එම පුද්ගලයා විසින් ජනමාධ්‍යයකට වාර්තා කිරීමක්ද ගවේෂණාත්මක වාර්තාකරණයක් ලෙස සැලකෙන්නේ නැත. සැකකටයුතු ගනුදෙනු පිළිබඳව අවශ්‍ය උපුටා ගැනීම් සමග පුවත්පත්වල පළවන හෙළිදරව් කිරීම් කියවන පාඨකයන් ඒවා හොඳ ගවේෂණාත්මක වාර්තා ලෙස සලකන බව මම අසා ඇත්තෙමි. හොඳ කර්තෘවරයකු අතට විවිධ රහස් ලිපිගොනු ලැබිය හැකිය. අවශ්‍ය උපුටා දැක්වීම් සහිතව ලියන වාර්තා කියවන පාඨකයෝ විස්මයට පත්වනවා පමණක් නොව, එම පුවත්පතේ කර්තෘ හොඳ ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියකු ලෙස ද සලකති. ගවේෂණාත්මක යන පදයෙන් ඇඟවෙන අර්ථය හා ජනමාධ්‍ය විෂයේදී “ගවේෂණාත්මක වාර්තාකරණය” යන යෙදුමෙන් අදහස් වන අර්ථය එක සමාන නැත. ගවේෂණාත්මක වාර්තාකරණයක් යන්නෙන් අදහස් කරන්නේ පොදු ජනතාවට වසන් කිරීමට උත්සාහ කරන, මහජන උනන්දුවට හේතුවන රහසක් හෝ කරුණක් ගවේෂණය කොට වාර්තා කිරීමය.
ඒ සඳහා කෙරෙන ගවේෂණය ජනමාධ්‍යවේදියාගේම ස්වාධීන ගවේෂණයක් විය යුතුය. කොතරම් වැදගත්කමක් තිබුණ ද, අනුන් ලියන ලද රහස්‍ය වාර්තාවක් තව කෙනකුගෙන් ලබාගත් මහජන උනන්දුවට හේතුවන රහස්‍ය ලිපිගොනුවක් පෙළගස්වා වාර්තා කිරීමක් ගවේෂණාත්මක වාර්තාකරණයක් ලෙස සැලකෙන්නේ නැත. ගවේෂණාත්මක වාර්තාකරණය පිළිබඳව හරි අර්ථකථනයක් ජෝන් උල්මාන් (John ඹකකප්බබ) හා ජාන් කෝල්බර්ට් (Jan Colbert) ගේ සංස්කාරකත්වයෙන් පළකර තිබෙන,ඔයැ රුචදරඑැර.ි ය්බා ඉදදන – ්බ ෂබඩැිඑසට්එසදබ ්බා එැජයබසුමැි, යන අත්පොතට රොබට් ඩබ්ලිව්. ග්‍රීනි (ඍදඉැරඑ උග ඨරුැබැ) ලියා ඇති පෙරවදනට ඇතුළත්ය. ජෝන් ග්‍රීන් දෙවරක් පුලිට්සර් (ඡමකසඑ“ැර) සම්මාන ලැබූ පුවත්පත් කතුවරයෙකි. ගවේෂණාත්මක වාර්තාකරුවන්ගේ හා කර්තෘවරුන්ගේ වෘත්තීයවේදී සංවිධානයේ (ෂඍෑ) හිටපු සභාපතිවරයෙකි. කණ්ඩායම් ගවේෂණාත්මක වාර්තාකරණයේ පියා ලෙස සැලකෙන්නේ ද ග්‍රීනිය.
දැන් අපට ගවේෂණාත්මක වාර්තාකරණය පිළිබඳ එම අර්ථකථනය මත පදනම් වී සම්මානය හිමි කරගත් වාර්තාකරණය විමසීමට ලක් කළ හැකිය. රජරට පවතින වකුගඩු රෝග ප්‍රශ්නය රජරට පැවති පැරණි සුවිශේෂ පරිසර පද්ධතිය, කඩිනම් මහවැලි ව්‍යාපාරය නිසා විනාශවීම නිසා ඇතිවූ ප්‍රතිඵලයක් බව මෙම වාර්තාකරණයෙන් වෛද්‍ය ප්‍රසන්න කුරේ කියයි. වැව පාරම්පරික වාරි කර්මාන්තයේ සුවිශේෂ පාරිසරික පද්ධතියක් විය. මහවැලි කඩිනම් ව්‍යාපාරය මගින් සාම්ප්‍රදායිකව ප්‍රාදේශීයව ජලය රැස්කිරීමේ ක්‍රියාවලිය වෙනුවට සැතපුම් සිය ගණනක් දුර බැහැර සිට රජරටට ජලය ආනයනය කෙරෙන ක්‍රමයක් ඇති විය. එහිදී අතීතයේ භාවිත කළ වක්‍රාකාර ගමන් මාර්ගයක සෙමින් සෙමින් ජලය ප්‍රවාහනය කිරීමේ ක්‍රමයක් වෙනුවට යොදා ගැනුණේ අධිවේග ක්‍රමයකි. අතීතයේ පැවති ක්‍රමය තුළ බර ලෝහ ඛනිජ වර්ග ඇළ පතුලේ තැන්පත්වීම හෝ ඉවුරේ තිබූ ජලජ ශාක මගින් ඒවා අවශෝෂණය කරගැනීමක් සිදුවිය.
නූතන ක්‍රමවේද මගින් ජලයේ අධිවේග ගමන පහසු කිරීම සඳහා ඉවුරු මගින් සිදුවන ජල කාන්දුව අවම කිරීම පිණිස කොන්ක්‍රීට් කිරීම නිසා ජලයට මුසුවන බර ලෝහ, ඛනිජ ද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍ය ඉහළ සිට පහළට ගලා ඒම වේගවත් විය. මීට අතිරේකව අධික රසායන පොහොර හා යෙදවුම් ඔස්සේ වැඩි වැඩියෙන් රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වී තිබේ. එය ප්‍රාදේශීය වශයෙන් සිදුවන ක්‍රියාවකට සීමා නොවී කඳුකරයේ තේ, අර්තාපල් හා එළවළු වගාවට අධික ලෙස රසායන ද්‍රව්‍ය යොදන තත්ත්වයක් තුළ එය ආනයනය කෙරෙන ජලයට එකතු වී රජරටට ලැබෙන ජලය තවදුරටත් දූෂ්‍ය කිරීමට හේතුවී තිබේ. රජරට වකුගඩු රෝග කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන හේතුව වී ඇත්තේ එම ක්‍රියාදාමයයි. කඩිනම් මහවැලිය නිසා රජරට තිබූ පැරණි පාරිසරික පද්ධතියේ ඇතිවී තිබෙන විනාශය පිළිබඳව එහි එන විග්‍රහය වෛද්‍ය ප්‍රසන්න කුරේගේ ස්වාධීන විග්‍රහයක් නොව, උදුල බණ්ඩාර අවුසදහාමිගෙන් ලබාගත් විග්‍රහයකි.
ඔහු අවුසදහාමි දිගින් දිගට උපුටා දක්වයි. මහවැලි ජලයේ කැඩ්මියම් ඇති බවට කෙරෙන උපුටා දැක්වීම් ද වෙනත් අයගේය. මෙය මෙම ලේඛක වෛද්‍යවරයාගේ ස්වාධීන ගවේෂණයක් ලෙස සැලකිය නොහැකිය. උදුල බණ්ඩාර අවුසදහාමි ඉදිරිපත් කර තිබෙන මතය සනාථ කිරීම සඳහා තෝරාගත් සාක්ෂි ඉදිරිපත් කිරීමක් පමණය. තමන්ගේම ස්වාධීන ගවේෂණයකින් සොයාගත් අලුත් කිසිවක් ඊට ඇතුළත් නැත. ඊළඟ වැදගත්ම දේ, මෙය සැඟවුණු රහසක් හෙළිදරව් කිරීමක් ලෙස ද සැලකිය නොහැකිය. අපි රජරට වකුගඩු රෝගය මොහොතකට අමතක කොට ඩෙංගු රෝගය පිළිබඳව වෙනත් කිසිවකු විසින් සොයාගෙන ඇති අලුත් කරුණු රැසක් තමන්ගේම ස්වාධීන ගවේෂණයකින් සොයා ගත් වෛද්‍යවරයකු නිදර්ශනයට ගනිමු. ඒ අළලා ඔහු පුවත්පතකට ලියන වාර්තාවක් ගවේෂණාත්මක වාර්තාකරණයක් ලෙස සලකා සම්මාන දීමේ හැකියාවක් ජනමාධ්‍යවේදීන්ට තිබේද? මගේ මතය නැත යන්නයි.
එවැනි ගවේෂණයකට හරි වැරදි හෝ හොඳ නරක තීරණය කිරීමේ විද්‍යාත්මක දැනුමක් ජනමාධ්‍යවේදීන්ට නැත. එවැනි ගවේෂණයක් ඉදිරිපත් කළයුත්තේ ජනමාධ්‍ය විෂයට අදාළ ආයතනයක් වෙත නොව, විද්‍යාවට අදාළ ආයතනයක් වෙතය. ඒ අනුව විද්‍යාවට අදාළ මණ්ඩලයක් විසින් කළයුතු කාර්යයක් ජනමාධ්‍යවේදීන්ට අදාළ මෙම විනිශ්චය මණ්ඩලයක් විසින් සිදුකර තිබෙන බව පෙනේ. ජනමාධ්‍ය විෂය විද්‍යාවට අදාළ නැත. රසායන විද්‍යාව හා වෛද්‍ය විද්‍යාවට අදාළව කෙරෙන ගවේෂණ හෝ පර්යේෂණ පිළිබඳ තීන්දු දීමේ හැකියාවක් ජනමාධ්‍යවේදීන්ට නැත. එවැනි කාරණාවලදී ජනමාධ්‍යවලට කළහැක්කේ විද්‍යාවට සම්බන්ධ ආයතන ප්‍රකාශ කරන තීරණයක් වාර්තා කිරීම පමණය. මගේ මතය අනුව වෛද්‍ය ප්‍රසන්න කුරේ මහතා ගොස් ඇත්තේ වැරදි උසාවියක් ඉදිරියටය. ඔහු යා යුතුව තිබුණේ ජනමාධ්‍ය විෂය ගැන තීන්දු දෙන උසාවියක් ඉදිරියට නොව, වෛද්‍ය විද්‍යාව හා රසායන විද්‍යාව ගැන තීන්දු දෙන උසාවියක් ඉදිරියටය.
අවසානයේ ඒ මහතා ගිය උසාවිය, තමන්ගේ විෂය පථයට අයත් නොවන තමන් නොදන්නා විෂය පථයක් ගැන තීන්දු දෙන තැනකට ගොස් තිබෙන බව පෙනේ. වෛද්‍ය ප්‍රසන්න කුරේ මහතාගේ ලිපි පෙළ නරක ලිපි පෙළක් නොව, හොඳ ලිපි පෙළකි. එහෙත් එය ගවේෂණාත්මක වාර්තාකරණයක් ලෙස සැලකිය නොහැකිය. කඩිනම් මහවැලි ව්‍යාපාරයෙන් රජරට පරිසර පද්ධතියට ඇතිවී තිබෙන විනාශය හා රජරට පවතින වකුගඩු රෝග ප්‍රශ්නයට එහි ඇති සම්බන්ධය පිළිබඳව මෙම වෛද්‍යවරයා කර තිබෙන විග්‍රහය අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් මට නැත. එහෙත් රජරට තිබුණු පාරිසරික පද්ධතියේ විනාශය කඩිනම් මහවැලිය නිසාම සිදුවූවක්යැ”යි කියන විට ඒ ගැන යම් සැකයක් මා තුළ ඇතිවන බවද කිව යුතුය. ඉංග්‍රීසීන් ලංකාව අල්ලා ගන්නා අවස්ථාව වන විටත් එම ඉපැරණි පාරම්පරික පද්ධතියේ ඇතිවී තිබුණු මහා බිඳ වැටීමක් තුළ එම ප්‍රදේශ විශාල ප්‍රමාණයකට ජනශූන්‍ය වූ, තැන් තැන්වල ඉතිරි වී සිටි ජනයා නානාප්‍රකාර රෝග නිසා විනාශ මුඛයට තල්ලුවීයමින් සිටි ජනතාවක් බවට පත්ව සිටියේය.
එකල රජරට පැවති ශෝචනීය තත්ත්වය පිළිබඳ විස්තර ආර්.එල්. බ්‍රෝහියර්, ටී.ඩබ්ලිව්. රීස් ඩේවිඩ්ස්, හියු නෙවිල්, ආර්.ඩබ්ලිව්. අයිවර්ස් හා ඒ.එම්. පීරිස් හොකාට් (්‍යදජ්රඑ) හා බී.එච්. ෆාමර් යන අයගේ පොත්පත්වලට ඇතුළත්ය. සිංහල ශිෂ්ටාචාරයේ මධ්‍යස්ථානය ලෙස පැවති උතුරුමැද වියළි කලාපය අතහැර දමා සුවිසල් වාරිමාර්ග අනවශ්‍ය වූ තෙත් කලාපයට ජනතාව සංක්‍රමණය වූයේ ඇයි? දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා නම් ආක්‍රමණිකයා එහි රැඳී සිටිය යුතුය. ඔවුහු ද එහි රැඳී නොසිටියෝය. එක් කලකදී ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කී විශාල ජනගහනයකින් යුතු එම කලාපය බොහෝ දුරට ජනශූන්‍ය වූ තැන් තැන්වල ඉතිරිවී සිටි ජනයා වෙත රටේ වෙන කොහේවත් අසන්නට නොලැබෙන ලෙඩ රෝගවලින් පීඩා විඳින ජනතාවක් සහිත කලාපයක් බවට පත්ව තිබුණි. ඒ නිසා ඒ පැරණි පාරිසරික පද්ධතියේ බිඳ වැටීම් කඩිනම් මහවැලි ව්‍යාපාරය නිසා පමණක්යැ”යි ඇඟිල්ල දිගු කිරීම සාධාරණ නොවන බව මගේ මතයයි.
කඩිනම් මහවැලි ව්‍යාපාරය එම ප්‍රදේශවල පැවති පාරිසරික පද්ධතිය බිඳවැටීම උග්‍ර කලා විය හැකිය. එහෙත් එහි බිඳ වැටීම සිදුවී තිබුණේ කඩිනම් මහවැලිය එහි එන්නට පෙරය. ගවේෂණාත්මක වාර්තාකරණයට අදාළ සම්මානලාභී වාර්තාකරණය පිළිබඳව මා මෙහි දක්වා තිබෙන අදහස් වැරදි නම් එය මට පෙන්වා දෙන ලෙස මෙම විෂය පිළිබඳව දැනුම ඇති අයගෙන් මම ඉල්ලා සිටිමි. ඒ නිසා ඇතිවන සංවාදයක් මෙම විෂය ගැන උනන්දුවක් දක්වන්නන්ගේ දැනුම වැඩි දියුණු කිරීමට හේතුවනු ඇත. මෙම විවේචනය ජනමාධ්‍යවේදීන් සඳහා පවත්වාගෙන යන විශිෂ්ටතා සම්මාන වැඩපිළිවෙල අධෛර්යට පත් කිරීම පිණිස ලියන ලද්දක් නොවන බව ද කිව යුතුය. සීමාසහිතකම් තිබිය හැකි වුවත්, ඒ වැඩපිළිවෙල හොඳ වැඩපිළිවෙලකි. මෙවැනි විවේචන නිසා එම වැඩපිළිවෙල වඩා අර්ථවත් ආකාරයකින් ඔවුන්ට ඉදිරියට ගෙනයෑමට හැකිවේවා”යි කියා මම ප්‍රාර්ථනා කරමි.