හිටපු අගවිනිසුරු විසින් දෙන ලද තීන්දුවලට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පත් පෝලිමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්වෙමින් තිබෙන බව පෙනේ. තවමත් පෝලිම දිග නැත. එහෙත් එය ඉක්මනින් දිග පෝලිමක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. හැදෙමින් තිබෙන එම පෝලිමට තවමත් නඩු හබවලට වියදම් කිරීමට ශක්තියක් නැති සමහරවිට චෝදනා පත්‍රයක් පවා නැතිව දඬුවම් කරනු ලැබූ දුප්පත් මිනිසුන් එකතු වී නැත. අගතියට පත් සියලුදෙනා ප්‍රතිශෝධන අයදුම්පත් ඉදිරිපත් කරන තත්ත්වයක් ඇතිවුවහොත් ඒ නඩු ඇසීමට පමණක් වෙන් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණයක් ඇති කිරීමට පවා සිදුවිය හැකිය. හිටපු අගවිනිසුරු තමන්ගේම නඩු ද ඇසුවේය. ඥාතීන්ගේ හා හිතමිතුරන්ගේ ද නඩු ඇසුවේය. සතුරන් ලෙස සලකන අයගේද නඩු ඇසුවේය. තමන් විසින් නිර්මාණය කොට උසාවියට ගෙන්වා ගත් නඩුද ඇසුවේය. ඒ නඩුවලදී තමන්ගේ ලා සැලකිය හැකි අයට උපරිම ලෙස සහන දුන්නේය.
සතුරන් ලෙස සැලකෙන අයට උපරිම දඬුවම් දුන්නේය. සමහර අවස්ථාවලදී දරුණු අපරාධකරුවන් ආරක්ෂා කළේය. තවත් සමහර අවස්ථාවල ඉතාමත් අහිංසක මිනිසුන්ට සිරදඬුවම් දුන්නේය. අධිකරණය විසින් රාජසන්තක කරන වටිනා දැව, ගජමුතු, ඇත්දළ, පෞරාණික වටිනාකමක් ඇති පිළිම වැනි වටිනා සම්පත් එය රජයේ දේපළක් ලෙස සලකා රජයට දෙනවා වෙනුවට, තමන් කැමති අයට පරිත්‍යාග කළේය. ඒ මගින් පමණක් රජයට අහිමි කරන ලද ධනය රුපියල් කෝටි සිය ගණනක් විය හැකිය. අධිකරණ ප්‍රතිසංවිධානය සඳහා ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිය පාලනය කළේ හිටපු අගවිනිසුරුවරයාය. එය ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අතරින් වඩාත්ම දූෂිත ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකිය. ඔහු අධිකරණය තුළ දූෂණයට ද, අනාචාරයට ද අනුබල දෙමින් මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවී තිබූ අධිකරණ ක්‍රමය ““කෝලම් මඩුවක්”” බවට පත් කළේය.
ඔහු අධිකරණයේ සිට රට පාලනය කරන්නටද උත්සාහ කළේය. ඔහුගේ මෙම විනාශකාරී ක්‍රියාකලාපයට අනුබලදීම මගින් අයුතු වාසි ලබාගත් පිරිසක් විනිශ්චයකාරවරුන් අතර සේම, නීතීඥයන් අතර ද සිටියේය. ඔහු විසින් දෙන ලද සමහර නඩු තීන්දු නීතියට පටහැනි බව දැන දැනම සමහර විනිසුරුවරුන් ඒවාට අනුමැතිය දුන්නේය. නීතිඥ සංගමය ඔහු ගෙනගිය විනාශකාරී ප්‍රතිපත්තිය ඉදිරියේ බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළා විනා සුළු වශයෙන් හෝ විරෝධය පාන තැනකට ගියේ නැත. ව්‍යවස්ථාදායකය හා ජනමාධ්‍ය අනුගමනය කළේද ඒ හා සමාන ප්‍රතිපත්තියකි. මෙම පුද්ගලයාගේ ක්‍රියාකලාපය ඉදිරියේ දැනුවත් සමාජය දක්වන ලද නිහඬතාව වෙනුවෙන් අධිකරණ ක්‍රමයට පමණක් නොව, සමාජයට ද ගෙවන්නට සිදුවූ වන්දියේ ප්‍රමාණය අතිවිශාලය. ඔහු ගෞරවයට හේතුවී තිබුණු අධිකරණ ක්‍රමය නින්දාසහගත තත්ත්වයකට පත් කළේය. කිසිම සාධාරණ හේතුවක් නැතිව ඔහු විසින් කාලකණ්ණිභාවයට පත්කර තිබෙන ජීවිත සංඛ්‍යාව ඉතා විශාලය.
අධිකරණයට නැවත ගෞරවය දිනාගැනීමට අවශ්‍ය නම් ඔහු අතින් අසාධාරණයට ලක්වූ මිනිසුන්ට සහන දිය යුතුය. ඔහු අධිකරණ ක්‍රමයේ ඇතිකර තිබෙන විකෘතිය නැවත ප්‍රතිසංවිධානය කරන තැනකට යා යුතුය. එහිදී ඔහු විසින් දූෂිතභාවයට පත්කර තිබෙන, පත්කරන ක්‍රියාවලදී ඔහු සමග එකට කල්ලි ගැසී නීතියට පටහැනිව බලය පාවිච්චි කළ විනිසුරුවරුන් එක්කෝ පුනරුත්ථාපනය කළ යුතුය. නැතිනම් ගෙදර යැවිය යුතුය. ඔහුගේ නීති විරෝධී ක්‍රියාකලාපයට අධිකරණ අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් පමණක් නොව, අධිකරණ සේවා කොමිසමේ සමහර උසස් නිලධාරීන් ද ආධාර කළේය. ඒ මගින් ඔවුන් ද හිටපු අගවිනිසුරුවරයා විසින් කරන ලද මහා පාපකර්මයක කොටස්කරුවන් පිරිසක් ලෙස ක්‍රියාකර තිබේ. වැරදි හා අගතිගාමී නඩු තීන්දු මගින් නීතියේ ඔහු ඇති කර තිබෙන විකෘති කිරීම් ද නිවැරදි කළ යුතුය. වඩාත්ම වැදගත් දේ මින්පසු මෙම උසස් හා ගරු කටයුතු තනතුරට පත්වන කිසිම පුද්ගලයෙකු මේ හා සමාන පිස්සු නැටිල්ලකට ඉඩ නොලැබෙන වටාපිටාවක් ඇති කිරීමය.
අභියාචනාවලදී අවසාන වශයෙන් තීන්දුදීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. එසේ දෙනු ලබන තීන්දු වැරදි වූ විට ඒවා නිවැරදි කරගන්නට යන්නට තවත් තැනක් නැත. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නිරන්තර පරීක්ෂාවට ලක්වෙන ආයතනයක් බවට පත්විය යුතුය. ඒ සඳහා වන ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතුය. අඩුම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දු විචාරයට හා විවේචනයට ලක් කෙරෙන ආයතන ක්‍රමයක්වත් රටේ තිබිය යුතුය. නව අගවිනිසුරුවරයා සේ ම නව අධිකරණ ඇමතිවරයා ඉදිරියේ ද ඇත්තේ සරල නොවන සංකීර්ණ අභියෝගයකි. නැවත අධිකරණය මහජනයාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවූ යුක්තියේ දේවාලය බවට පත්කරන්නේ කෙසේද යන්න ඔවුන් ඉදිරියේ තිබෙන අභියෝගයයි.