රටක ඇති දේශපාලන ක්‍රමයේ ශිෂ්ටසම්පන්නභාවයේ තරම එරට ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රමය විසින් පිළිබිඹු කරන බව කියා ඇත්තේ හැරල්ඩ් ලැස්කිය. අප අපේ රටේ පවතින අධිකරණය නැතිනම් පැවති අධිකරණය රටේ තිබෙන දේශපාලන ක්‍රමයේ ශිෂ්ටසම්පන්නභාවය මනින කෝදුවක් කරගත්තේ නම් ලැබෙන ප්‍රතිඵලය කුමක් විය හැකිද? රටේ නීති සම්පාදකයන් ලෙස ක්‍රියාකරන්නේ දේශපාලනඥයන්ය. ඔවුන් වැරදි කිරීම පිස්සු නැටීම තේරුම් ගත හැකිය. අඩුම වශයෙන් වැරදි කරන දේශපාලකයන් මැතිවරණවලදී පරාජය කොට ඔවුන් ගෙදර යැවීමේ බලය මහජනයා සතුය. රටක යුක්තිය ඉටු කරන දේවාලය ලෙස සැලකෙන්නේ අධිකරණයයි. එම දේවාලයේ යුක්තිය පසිඳලන විනිශ්චයකාරවරුන් එම තනතුරුවලට පත්කරන්නේ දේශපාලනඥයන් මෙන් මහජනයා නොවේ. වැරදි කරන විනිශ්චයකාරවරුන් ගෙදර යැවීමේ බලයක් ද මහජනයාට නැත. අධිකරණයක් දූෂිත වූ විට දූෂිත ව්‍යවස්ථාදායකයකින් ඇති කරන හානියට වැඩි හානියක් අධිකරණය විසින් කරනු ලබයි.
විශ්‍රාම ගිය අගවිනිසුරුගේ දශකයක් තරම් වන පාලන යුගය තුළ අධිකරණයේ සිදුවී ඇති නින්දාසහගත දේවල් අප්‍රමාණය. එය හිතුවක්කාරී ලෙස තමන්ට තිබෙන බලය මහජනයා පීඩාවට පත් කිරීම පිණිස යොදාගැනීමෙන් නොනැවතී පොදු දේපළ මංකොල්ලකන ආයතන ක්‍රමයක් ලෙස ද ක්‍රියාකර තිබේ. උසාවි මගින් රාජසන්තක කරන වටිනා ඇත්දළ, ගජමුතු වැනි භාණ්ඩ තමන් කැමති කැමති පූජනීය ස්ථානවලට පරිත්‍යාග කරන වැඩපිළිවෙලක් හිටපු අගවිනිසුරුවරයා විසින් පවත්වාගෙන යන ලදි. එම නීති විරෝධී වැඩපිළිවෙල ගැන මම ඒ කාලයේ පුවත්පතට විචාරයක් ලීවෙමි. ඔහු ඊට ප්‍රතිචාරය දක්වන ලද්දේ එය රජ කාලේ සිට පැවත එන සම්ප්‍රදායක් බව ප්‍රකාශ කරමින් එම පරිත්‍යාග වැඩපිළිවෙල දෙගුණ තෙගුණ කිරීමෙනි. මෙම පරිත්‍යාග වැඩපිළිවෙලට ඔහු තෝරාගත් විනිසුරුවරුන් පිරිසක් ද යොදා ගත්තේය. එම පරිත්‍යාග සඳහා වන උත්සව කටයුතුවල සංවිධායකයන් ලෙස ක්‍රියා කළේ එම විනිසුරුවරුන්ය.
ඒ සඳහා අවශ්‍ය මුදල් එකතු කිරීමේ වගකීම පැවරුණේද එම විනිසුරුවරුන්ටය. සමහර විනිසුරුවරුන් තමන් ඉදිරියේ ඇසෙන නඩුවලට සම්බන්ධ පුද්ගලයන්ගෙන් පවා ආධාර මුදල් ලබාගන්නා ලද බව දැනගන්නට ලැබුණි. රජ කාලයේ මෙවැනි පරිත්‍යාගයන් සිදුවූවා විය හැකි වුවත්, රජයට අයත් වටිනා සම්පත් පරිත්‍යාග කරන අවස්ථාවලදී එසේ කරන ලද්දේ රජු විසින් හෝ රජුගේ අනුමැතිය ඇති අවස්ථාවලදී පමණක් රාජ්‍ය නිලධාරීන් විසිනි. හිටපු අගවිනිසුරුතුමා රජු සංකේතවත් කරන පදවියක් ඉසිලුවේ නැත. ඔහු උසස් රාජ්‍ය නිලධාරියෙකු පමණය. රාජසන්තක කරන වටිනා දේපළ තමන් කැමති කැමති පුද්ගලයන්ට අදාළ බලධාරීන්ගේ අනුමැතිය ලබාගැනීමෙන් තොරව පරිත්‍යාග කිරීමේ බලයක් ඔහුට නොතිබුණි. එහෙත් මොන හේතු නිසා හෝ අධිකරණය රාජසන්තක කරන දේවල ප්‍රධාන ගණක නිලධාරියා වන අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද ගම්ලත් මහතාද පනින රිලවුන්ට ඉණිමං බඳින ප්‍රතිපත්තියක් අනුගමනය කළා මිස, ප්‍රසිද්ධියේ සිදුවූ මෙම නීති විරෝධී ක්‍රියාව වළකන ප්‍රතිපත්තියක් අනුගමනය නොකළේය.
මේ හා සමාන වැඩපිළිවෙලක් උසාවි මගින් රාජසන්තක කෙරෙන වටිනා දැව වර්ග සම්බන්ධයෙන් ද අනුගමනය කර තිබේ. ඒ මගින් ඔහු තමන්ට හිතවත් හිමිනමකට රුපියල් කෝටි ගණනක් වටිනා දැව තොග ලබා දුන්නේය. ලබාදෙන ලද දැව තොගයට කළුවර කොට ට්‍රේලර් 11ක් ද ඇතුළත් විය. දැව ලබාගත් ඒ හිමිනම දැව විකිණීමෙන් උපයාගත් ආදායමෙන් කොටසක් යොදා අගවිනිසුරුගේ හදිසි පරිහරණය පිණිස වායුසමීකරණය කළ සුඛෝපභෝගී නිවසක් ඉදි කළේය. මෙම පරිත්‍යාග වැඩපිළිවෙල පසුපස පොදු දේපළ මංකොල්ලකන සියුම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී තිබෙන බවද පසුගිය සතියේ දැනගන්නට ලැබුණි. වලස්මුල්ලේ නිධානයක් හාරා ලබාගත් දඹරන් බුදුපිළිමයක් හා ගජමුතු 05ක් හෝමාගමදී අත්අඩංගුවට ගන්නා ලදුව හෝමාගම අධිකරණය විසින් එය රාජසන්තක කර තිබේ. අඟල් නවයක් උස බුදුපිළිමයේ බර කිලෝ 16කි. මෙම බුදුපිළිමය පෞරාණික වටිනාකමක් ඇති බුදුපිළිමයක් බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය දැරණියගල විසින් නිර්දේශ කර තිබියදී, මෙම බුදුපිළිමය ගැන අසන්නට ලැබී අගවිනිසුරු අණින් අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා මෙම පිළිමය සිය භාරයට ගෙන සම්බෝධි විහාරයට පරිත්‍යාග කර තිබේ.
මෙම බුදුපිළිමයේ වටිනාකම රුපියල් කෝටියකටත් වැඩිවිය හැකි බව අධිකරණ සේවකයන්ගේ මතය වී තිබේ. තවදුරටත් ඔවුන් කියන්නේ උසාවි මගින් රාජසන්තක කරන වටිනා පුරාවස්තුවල කෘත්‍රිම ආකෘති තනා ඒවා පන්සල්වලට පරිත්‍යාග කරන අතර, අව්‍යාජ ආකෘතිය විකුණන සංවිධානාත්මක ව්‍යාපාරයක් තිබුණේද යන්න සොයා බැලිය යුතුව තිබෙන බවය. රාජසන්තක කරන දේපළ සැලකිය යුතුවන්නේ රජය සතු දේපළක් ලෙසය. එවැනි දේපළ තමන් සතු කරගැනීමේ, තමන් කැමති පුද්ගලයන්ට පරිත්‍යාග කිරීමේ බලයක්, අයිතියක් අගවිනිසුරුට හෝ අගවිනිසුරුවරයාගේ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා සතුව තිබිය නොහැකිය. රේගුව රාජසන්තක කරන වටිනා භාණ්ඩ තමන් සතු කරගැනීමේ අයිතියක් හෝ තමන් කැමති පුද්ගලයන්ට පරිත්‍යාග කිරීමේ අයිතියක් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්ට තිබිය නොහැකිය. ඒ සියල්ල රජය සතුවිය යුතුය. ඒ ධර්මතාව උසාවිවලට ද අදාළය.
මේ ආකාරයෙන් පසුගිය දශකය තුළ උසාවි මගින් රාජසන්තක කරන ලද වටිනා භාණ්ඩවලට සිදුවී තිබෙන දේ කුමක්ද යන්න විධිමත් ලෙස සොයා බැලීමක් කරන්නේ නම් කෝටි ගණනක් වටිනා භාණ්ඩ සංවිධානාත්මක පිරිසක් වංචා කර ඇති බව සොයාගැනීමට හැකිවනු නොඅනුමානය.