එල්ටීටීඊ විරෝධී යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමෙන් පසු දෙමළ ජනතාවට දිය යුතු විසඳුම කුමක්ද යන ප්‍රශ්නය අරබයා දැන් වාද විවාද ඇරඹෙමින් තිබෙන බව පෙනේ. දෙමළ ජනයාට දෙන විසඳුම කුමක්ද යන ප්‍රශ්නයට පෙර වහාම විසඳාගත යුතුව තිබෙන ලොකුම ප්‍රශ්නය වී තිබෙන්නේ අවතැන්වූවන් පිළිබඳ ප්‍රශ්නයයි. ඔවුන් නැවත පදිංචි කරන තෙක් ඔවුන් බලාගත යුතුය. ඔවුන්ට අවශ්‍ය ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය පහසුකම් හා වෙනත් අවශ්‍යතාවන් සපුරාලිය යුතුය. තුන් ලක්ෂයකට නවාතැන්දීම, ආහාර පාන දීම හා අනෙකුත් පහසුකම් දීම සරල නැත. දැනට තිබෙන ප්‍රශ්න අතර ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ අවශ්‍ය වැසිකිළි පහසුකම් සැලසීම හා ජලය සැපයීමය. අපිරිසිදුකම හා රෝග ව්‍යාප්තිය කෙරෙහි මෙම සාධක දෙක බලපායි. පහසුකම් සැපයීමේදී අඩුපාඩුකම් තිබියදීත් වේගවත් ප්‍රගතියක් පෙන්නුම් කරන බවද කිව යුතුය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ලබාදී තිබෙන වැසිකිළි සංඛ්‍යාව 4800 දක්වා ඉහළ නැග තිබේ. ඒත් තුන් ලක්ෂයක් සඳහා ඒ ගණන ප්‍රමාණවත් නැත. සාදන වළ වැසිකිළි ද ඉක්මණින් පිරී යන තත්ත්වයක් පවතී. මැස්සන් හා මදුරුවන් රෝග බෝ කරන ප්‍රධාන සාධක ලෙස ක්‍රියා කරයි. කඳවුරුවලින් ඉක්මණින් ඉවත් කළ හැකි පිරිසක් සිටින්නේය. වයස අවුරුදු 60 ඉක්ම වූ අය හා අවුරුදු 10ට හෝ 15ට අඩු කුඩා දරුවන් ඉක්මණින් ඉවත් කළ හැකිය. එහෙත් එයද හිතන තරම් සරල හෝ පහසු නැත. අවුරුදු 60 ඉක්මවූ අය පවා භාරගැනීමට පිරිසක් සිටිය යුතුය. කුඩා දරුවන් ඉවත් කළයුත්තේ අවම වශයෙන් සිය මව්වරුන් සමගය. කුඩා දරුවන් සිටින ෙෙ මව්වරුන් ද සිටිය හැකිය. දෙමාපියන් දෙදෙනාම නැති දරුවෝ ද සිටිති. එල්ටීටීඊ නායකත්වය විනාශ කිරීමට නොහැකිවී කුඩා කණ්ඩායමක් වශයෙන් හෝ ඔවුන් කොහේ හෝ සිටින තත්ත්වයක් තිබුණේ නම් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම පිළිබඳ ප්‍රශ්නය මීට වඩා සංකීර්ණ මුහුණුවරක් ගන්නට තිබුණි.
එහෙත් එල්ටීටීඊය මුළුමනින් විනාශ කර තිබෙන තත්ත්වයක් තුළ ආරක්ෂාව පිළිබඳව ඇති කරගන්නා විශාල බියකින් තොරව එම ප්‍රශ්නයට අතගැසීමේ හැකියාව රටට ලැබී ඇත්තේය. එල්ටීටීඊ ක්‍රියාකරුවන් වහාම නිදහස් කිරීම පිළිබඳ සාධාරණ ප්‍රශ්නයක් තිබිය හැකි වුවත්, අන් අය ඉක්මණින් ඔවුන්ගේ ගම්බිම්වල නැවත පදිංචි කරන තැනකට යායුතුය. ඊට පෙර කඳවුරුවල සිටින සංඛ්‍යාව අඩු කිරීමට හේතුවන ක්‍රියාමාර්ගවලට ද යා හැකිය. ඊළඟට ඉතිරි වන ප්‍රශ්නය දෙමළ ජනතාවට දෙන විසඳුම කුමක්ද යන ප්‍රශ්නයයි. වර්ග, ආගම් හෝ කුලභේද නොසලකා සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුයි කියන මූලධර්මයට සියලුදෙනා එකඟය. දෙමළ ජනතාවට ඔවුන්ගේ භාෂාවෙන් වැඩ කිරීමට ඉඩ දිය යුතුයි කියන මූලධර්මයට ද කිසිවකුත් විරුද්ධ නැත. උතුරු නැගෙනහිර රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු දෙමළ භාෂාවෙන් වැඩ කළ හැකි අයගෙන් පිරවීමට දැනටමත් රජය තීරණය කර ඇති අතර, පොලිස් සේවාව සඳහා ද දෙමළ භාෂාවෙන් වැඩ කළ හැකි පිරිසක් බඳවා ගැනීමට තීරණය වී ඇති බව ප්‍රකාශිතය.
අනෙකුත් වාද විවාදවලට යන්නට පෙර මෙම විෂයයේදී ඔවුන්ට ලැබිය හැකි අයිතිවාසිකම් ප්‍රතිපූර්ණ කළ හැකිනම් දෙමළ වාර්ගික ප්‍රශ්නයේ අරටුවට විසඳුම් දුන්නේයැ”යි කිව හැකිය. රටේ භෞමික අඛණ්ඩතාවට හානියක් නොවන ආකාරයට කිසියම් ප්‍රමාණයකට ඔවුන්ගේ කටයුතු ඔවුන්ටම පාලනය කිරීමට ඉඩදීම සඳහා යොදාගත යුතු ක්‍රමය කුමක්ද යන ප්‍රශ්නයට අතගැසිය යුත්තේ ඉන් අනතුරුවය. එම ප්‍රශ්නයේ සීමා මායිම් ජනාධිපතිවරයා විසින් දැනටමත් සලකුණු කර ඇති බව ද අප අමතක නොකළ යුතුය. ජනාධිපතිවරයා රටට පමණක් නොව, අසල්වැසි ඉන්දියාවට හා ජාත්‍යන්තර ප්‍රජාවට ද කියා ඇත්තේ දැනට 13 වන සංශෝධනය ඊට ඇතුළත් බලතල සමග ක්‍රියාවට නගන බවය. වෙනදා එම විෂය ගැන වාද කෙරුණේ 13 වැනි සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදාහැරීමක් ලබාදෙන්නේ කෙසේද යන ප්‍රශ්නය ගැනය. අද එවැනි සංවාදයක් නැත. දැන් තිබෙන්නේ ජනාධිපතිවරයා පනවා තිබෙන සීමා රාමුව තුළ කෙරෙන සංවාදයන්ය.
මත වෙනස්කම් තිබියදීත් එම ප්‍රශ්නයේදී පොදු එකඟතාවක් ඇතිකර ගැනීම වැදගත්ය. දෙතුන් පැත්තකට අදින ප්‍රතිපත්තියක් නැවත අවුල් ඇතිකිරීමට හේතුවිය හැකිය. රටේ අනාගතය කෙරෙහි බලපාන මෙවැනි ප්‍රශ්නවලදී පොදු ජාතික ඒකමතිකභාවයක් ඇතිකර ගැනීම ඉතා වැදගත්ය.