මොන මොන හේතු නිසා හෝ රටේ බහුතර ජනතාව තාමත් සිටින්නේ ආණ්ඩුව සමගය. ආණ්ඩුව බලයට පත්වී වසර තුනකට වැඩි කාලයක් ගතවී ඇතත්, ආණ්ඩුවේ ජනප්‍රියභාවයේ වර්ධනයක් මිස පිරිහීමක් ඇතිවී නැති බව බස්නාහිර පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලවලින් හොඳින් පෙනී යයි. ආණ්ඩුවේ මැතිවරණ වැඩපිළිවෙල විරුද්ධ පක්ෂ ව්‍යාපාර අතිවිශාල පසුබෑමකට තල්ලු කිරීමට හේතුවී තිබේ. එජාපයට බස්නාහිර පළාත් සභාවේ නියෝජිතයන් 39 දෙනෙකු සිටියද, මෙවර තේරී පත්වී ඇත්තේ 30 දෙනෙකු පමණය. ජනතා විමුක්ති පෙරමුණට බස්නාහිර පළාත් සභාවේ නියෝජිතයන් 22කු සිටියද මෙවර තේරී පත්වී ඇත්තේ තිදෙනෙකු පමණය. මුස්ලිම් කොංග්රස් නියෝජනය ද හතරේ සිට දෙක දක්වා පහත වැටී තිබේ. ජවිපෙ නියෝජිතයන් 22 අඩු කළ විට පොදු පෙරමුණට සිටියේ නියෝජිතයන් 35 දෙනෙකු පමණය. ඒ ගණන 68 දක්වා වැඩිකර ගැනීමට ආණ්ඩුව සමත් වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද අනුපාතිකය අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එකදු අසුනක්වත් දිනාගත නොහැකි අසරණ තත්ත්වයකට පත්වීමේ තර්ජනයකට එම පක්ෂය මුහුණ දී සිටින බවද පෙනේ. ඉතිරි වී තිබෙන ඌව හා දකුණ යන පළාත් සභා මැතිවරණ දෙක එකවර පවත්වයිද නැතිනම් දෙවරකට පවත්වීද යන්න නොපැහැදිලිය. ඒවා කවර ආකාරයකින් පැවැත්වුවද, එම පළාත් සභා මැතිවරණ දෙකේදීද ආණ්ඩුවට පහසු ජයග්‍රහණයක් ලැබෙනු නොවැළැක්විය හැකිය. ඊළඟට ඉතිරි වන ප්රශ්නය වනු ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ජනාධිපතිවරණය පවත්වන්නේද, නැතිනම් ජනාධිපතිවරණය පවත්වා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වයිද යන ප්රශ්නය පමණය. පළමුවෙන් එන්නේ කුමන මැතිවරණයක් වුවද සමාජ ආකල්පවල මහා වෙනස්කම් ඇති කිරීමට හේතුවන තරමේ විශාල හා පුදුමසහගත දේවල් සිදුනොවෙතොත් එම මැතිවරණ දෙකෙන් ද පොදු පෙරමුණ ජයගනු නොවැළැක්විය හැකිය.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති පරාජය කරනවා තබා හොඳ තරගයක්වත් දීමේ හැකියාවක් විරුද්ධ පක්ෂයට තිබෙන බවක් පෙනෙන්නට නැත. පවතින දේශපාලන ක්‍රමය නිසා පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ හැකියාවක් නැතත්, ඊට ආසන්න බලයක් පොදු පෙරමුණට ලැබෙන බවද පෙනෙන්නට තිබේ.
ඔංචිල්ලාවේ පැද්දෙන කාලය වෙනස් කිරීම
ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයෙන් හා ජනාධිපතිවරණයෙන් පොදු පෙරමුණ ජය ලබාගන්නා තත්ත්වයක් යටතේ විරුද්ධ පක්ෂයට ආණ්ඩු පෙරළියක් ගැන බලාපොරොත්තු ඇති කරගැනීමට සිදුවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය සම්පූර්ණවීමෙන් පසුව පැවැත්වෙන ජනාධිපතිවරණයකදීය. ඉන් පෙනෙන්නේ මෙම දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩු පෙරළියක් සඳහා දශක දෙකකට ආසන්න හෝ ඊටත් වැඩි කාලයක් ගතවන බවය. ඊට පෙර පැවති දේශපාලන ක්‍රමය තුළ සාමාන්‍යයෙන් හැම අවුරුදු පහකට වරක්ම ආණ්ඩු පෙරළියක් සිදුවිය. එහෙත් හැම වසර පහකට වරක්ම ආණ්ඩු පෙරළියක් ඇතිවීමේ ක්‍රියාවලිය දශක දෙකකට ආසන්න කාලයකට වරක් හෝ ඊටත් වැඩි කාලයක් තුළ සිදුවන දෙයක් බවට හරවන ලද්දේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසිනි. ඔහු ඒ අරමුණ වෙනුවෙන් තිබුණු දේශපාලන ක්‍රමය වෙනස් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1977දී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එක දිගට අවුරුදු 17ක් බලයේ සිටියේය.
ඒ නිසා ශ්රීලනි පක්ෂයට එක දිගට අවුරුදු 17ක් බලයෙන් පිටස්තරව විරුද්ධ පක්ෂයේ ඉන්නට සිදුවිය. ඉන්පසු 1994දී බලයට පත්වන ශ්‍රීලනිප (පොදු පෙරමුණ) අද දක්වා අවුරුදු 15කට තරමක් වැඩි කාලයක් එක දිගට රට පාලනය කළ අතර, තවත් අවුරුදු 8කට තරමක් වැඩි කාලයක් බලයේ ඉන්නටද නියමිතය. සාමාන්‍යයෙන් ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් නිර්මාණය කරන්නේ පාලක පක්ෂයකට එක දිගට දීර්ඝ කාලයක් බලයේ රැඳී ඉන්නට ලැබෙන ඉඩ සීමා කෙරෙන ආකාරයටය. ඇමරිකානු ජනාධිපතිගේ නිල කාලය අවුරුදු 04කි. එක ජනාධිපතිවරයෙකුට බලයේ සිටිය හැක්කේ ධුර කාල දෙකක් පමණය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුගේ නිල කාලය අවුරුදු 06ක් වන විට ධුර කාල දෙකක් නිලයේ රැඳී සිටිය හැකිය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුගේ ධුර කාල දෙක ඇමරිකාවේ ජනාධිපතිවරයෙකුගේ ධුර කාල තුනකට සමානය. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය නිර්මාණය කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ ධුර කාල දෙකෙන් පසුත් තවදුරටත් පාලක පක්ෂයට එක් ධුර කාලයක් හෝ දෙකක් තවදුරටත් බලයේ රැඳී සිටීමට ඉඩ ලැබෙන ආකාරයටය.
පැවති පැරණි දේශපාලන ක්‍රමය තුළ අවුරුදු 70ක සාමාන්‍ය ආයු කාලයක් ඇති පුරවැසියෙකුගේ ජීවිත කාලය තුළ ආණ්ඩු වෙනස් වන අවස්ථා ගණන 14කි. එහෙත් ජේ.ආර්. ඇති කළ නව ක්‍රමය තුළ පුරවැසියෙකුගේ සම්පූර්ණ ජීවිත කාලය තුළ ආණ්ඩු වෙනස්වන්නේ තුන් වතාවක් හෝ හතර වතාවක් පමණය. වැඩිහිටි ජීවිතයේදී නම් තුන් වතාවක් පමණය. ජේ.ආර්. ජයවර්ධන නිර්මාණය කර තිබෙන දේශපාලන ක්‍රමය තුළ පාලක පක්ෂයක දීර්ඝකාලීන පැවැත්ම සඳහා ප්රශස්ත පාලනයක් අත්‍යවශ්‍ය වන්නේ නැත. අයහපත් ප්‍රජා පීඩක පාලනයක් තුළ වුවත්, දේශපාලන ක්රමයේ ඇණ මුරිච්චි හරියාකාරව කරකැවීමට දන්නේ නම් මැතිවරණ ජයගනිමින් බලයේ රැඳී සිටිය හැකිය. ජේ.ආර්. ජයවර්ධනගේ පාලන කාලය තුළ විරුද්ධ පාක්ෂිකයන් මර්දනය කළේය. ඔවුන් දහස් ගණනක් රස්සාවලින් දොට්ට දැමුවේය. විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කළේය. විරුද්ධ පක්ෂවල වෘත්තීය සමිති ව්‍යාපාර මර්දනය කළේය.
80 වැඩ වර්ජනයට සහභාගි වූ හතළිස් දහසකගේ රක්ෂා අහිමි කළේය. ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍ය මර්දනය කළේය. ආණ්ඩුවට එරෙහිව තීන්දු දෙන නඩුකාරයන්ට ගල් ගැසුවේය. උතුරෙත් දකුණෙත් කෙළවරක් නැති තරමට ලේ වැගිරීම් ඇතිවිය. ඒ සියලු දේ තිබියදීත් 1994 දක්වා පැවති හැම ලොකු කුඩා මැතිවරණයකින්ම ආණ්ඩුව ජයගත්තේය. 1994න් පසුව දේවල් සිදුවූයේද අඩු වැඩි වශයෙන් ඊට සමාන ආකාරයකටය. ජේ.ආර්. ජයවර්ධන නිර්මාණය කළ දේශපාලන ක්‍රමයට දැන් වයස අවුරුදු තිස් දෙකකි. ක්‍රමය ඇති කිරීමෙන් පසු එම කාලය තුළ ඇතිවී ඇත්තේ එක ආණ්ඩු පෙරළියක් පමණය. එම අවුරුදු 32 කාලයෙන් අවුරුදු 17ක්ම එක දිගට එක්සත් ජාතික පක්ෂය ද, ඊළඟ අවුරුදු 15 එක දිගට පොදු පෙරමුණ ද රට පාලනය කළේය. බලයේ සිටින පොදු පෙරමුණ තවත් අවුරුදු 8කට ටිකක් වැඩි කාලයක් බලයේ ඉඳීමට නියමිතය. එවිට ආණ්ඩු මාරුවීමේ චක්‍රය පිළිබඳව අපට ලැබෙන චිත්‍රය මෙසේය.
එජාප එක දිගට අවුරුදු 17ක් බලයේ සිටියේය. ඒ නිසා ශ්‍රීලනිපයට ද අවුරුදු 17ක් එක දිගට විරුද්ධ පක්ෂයේ සිටින්නට සිදුවිය. ඉන්පසු ශ්‍රීලනිප බලයට පැමිණ අද දක්වා එක දිගට අවුරුදු 15කට ටිකක් වැඩි කාලයක් රට පාලනය කළේය. තවත් අවුරුදු 8කට ටිකක් වැඩි කාලයක් බලයේ රැඳී සිටීමට නියමිතය. එවිට ශ්‍රීලනිප පාලන යුගය අවුරුදු 24කි. මේ චක්‍රය ඉදිරියේදී වඩා දීර්ඝ විය හැකිය. ඊළඟට බලයට පත්වන පාලක පක්ෂය අවුරුදු 30ක් හෝ 36ක් එක දිගට රට පාලනය කරන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. මෙවැනි ක්‍රමයක් පොදුවේ රටේ යහපතට හේතුවනු ඇත්තේ කෙසේද? මෙම විසම දේශපාලන ක්‍රමය විසින් ඇති කරන තිබෙන සමහර නරක අතුරු විපාක ගැන විටින් විට කෙරෙන සංවාද ඇතත්, එම අතුරු ප්‍රතිවිපාක කෙරෙහි බලපා ඇති දේශපාලන ක්‍රමය ගැන බලවත් සංවාදයක් රටේ නැති තරම්ය. මානව හිමිකම් උල්ලංඝනය, දූෂණය හා නාස්තිය, විරුද්ධ පක්ෂ ව්‍යාපාර මර්දනය, පාලනයේ දැඩි අධිකාරිවාදී ස්වරූපය, නීතියේ පාලනයක් නැතිකම වැනි ලක්ෂණ මෙම විසම දේශපාලන ක්රමයේ ප්‍රතිඵල නොවන්නේද? එල්ටීටීඊ කැරැල්ලේ දිග්ගැසුණු බව හා ම්ලේච්ඡ ස්වරූපය සේ ම ජේවීපී කැරැල්ලේ දිග්ගැසුණු බව හා ම්ලේච්ඡ ස්වරූපයද මෙම දේශපාලන ක්රමයේම අතුරු ඵල ලෙස සැලකිය හැකිය.
එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු දෙමළ ජනතාවට දෙන්නට යන දේශපාලන විසඳුම ඉදිරියේ සාකච්ඡාවට ගැනීමට නියමිතය. එහිදී අපි රටේ පවතින සුළු ජාතීන් පිළිබඳ ප්‍රශ්නයට පමණක් සීමාවෙමුද? නැතිනම් ඊට අතිරේක වශයෙන් සමස්ත දේශපාලන ක්රමයේ ඇති කරගත යුතු වෙනස්කම් හඳුනා ගනිමින් සුළු ජාතීන්ගේ ප්‍රශ්නයට පමණක් විසඳුම් හොයන තැනකට සීමා නොවී, සමස්ත දේශපාලන ක්රමයේ වෙනසක් ඇතිකර ගන්නා තැනකට යොමුවෙමුද?
නැපෝලියානු ආදර්ශය හා ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය
ජේ.ආර්. ජයවර්ධනගේ වීරයා වූයේ නැපෝලියන්ය. නැපෝලියන් සිය කුලී හමුදා යොදාගෙන රටවල් අල්ලා ගැනීමේදී අල්ලා ගන්නා රටවල වස්තුව කොල්ලකෑමේ නිදහස සිය හමුදාවන්ට ලබා දුන්නේය. අල්ලාගත් රටවල් කොල්ලකෑමේ නිදහස, නැපෝලියන්ගේ හමුදාවල ක්රියාකාරීත්වයේ උත්ප්‍රේරණ බලය ලෙස ක්‍රියා කළේය. ජේ.ආර්. ජයවර්ධන මෙම දේශපාලන ක්‍රමය නිර්මාණය කර ඇත්තේ ද බලය ලබාගන්නා පාලක පක්ෂයට රටේ පොදු සම්පත් කොල්ලකෑමේ අයිතිය හා ඒවා ආධාරකරුවන් අතර බෙදාගැනීමේ අයිතිය ලැබෙන ආකාරයටය. මේ නිසා දේශපාලන බලය සඳහා පක්ෂයකට විවිධ ආකාරවලින් ආධාර කරන මහජනයා තමන් බලයට පත් කළ පක්ෂයෙන් ඒ වෙනුවෙන් නියමිත මිලක් බලාපොරොත්තු වේ. ලැබෙන මිල තීරණය කෙරෙන්නේ පුද්ගලයන් ලබාදෙන දායකත්වයේ ප්‍රමාණය හා වටිනාකම අනුවය. ජේ.ආර්. ජයවර්ධන තමන්ට ආධාර කළ ව්‍යාපාරිකයන්ට සුදුසු පොලියක්ද සමග පොදු දේපළවලින් ආපසු ගෙවීය.
ඔවුන්ගෙන් සමහරුන්ට නොවටිනා මිලකට ආණ්ඩුවේ ව්‍යාපාර හෝ දේපළ මිලදී ගැනීමේ අවස්ථාව ලබා දුන්නේය. තවත් සමහරුන්ට රාජ්‍ය බැංකුවලින් ආපසු ගෙවීමට අවශ්‍ය නැති ආකාරයට ණය පහසුකම් ලබා දුන්නේය. ආණ්ඩුවේ ඇමතිවරුන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සොච්චම් මිලකට රජයේ ඉඩම් මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදෙමින් ඔවුන් ඉඩම් හිමි වතු වැවිලිකරුවන් පන්තියක් බවට පත් කළේය. ඊට අතිරේකව විවිධ ව්‍යාපාරවල යෙදෙන ව්‍යාපාරිකයන් පිරිසක් බවට පත් කළේය. ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඍජු ලෙස හෝ අනියම් ලෙස තනතුරු දරන්නන් බවට පත් කළේය. රජයේ රැකියා ලබාදීමේදී පාක්ෂිකයන්ට හා ආධාරකරුවන්ට සුදුසුකම් නොසලකා ප්‍රමුඛතාවක් ලබා දුන්නේය. පාක්ෂිකයන්ගේ රැකියා අවස්ථා පුළුල් කරනු පිණිස විරුද්ධ පාක්ෂිකයන් ආණ්ඩුවේ රැකියාවලින් පලවා හරින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.
පැරණි පාලනය තුළ පීඩාවට පත් පාක්ෂිකයන්ට මුදලින් වන්දි ගෙවන ක්‍රමයක් ද ඇති කරන ලදි. මේ ක්‍රමය තුළ පාක්ෂිකයන්ට වැදගත් වූයේ රට හෝ රටේ පැවැත්ම නොව තමන්ගේ ආණ්ඩුවේ පැවැත්ම හා ඒ මත තමන්ට ලැබෙන වරප්‍රසාදයන්ය. බලයේ සිටින ආණ්ඩුවක් කොතරම් බරපතළ වැරදි කළ ද ආණ්ඩුවට තිබෙන පක්ෂපාතීත්වය අත්හැරීමට පාක්ෂිකයාට එය වැදගත් කරුණක් නොවීය. පාක්ෂිකයාගේ දියුණුව හා යහපත රඳා පැවතියේ රටේ දියුණුව හා යහපත මත නොව, තමන් බලයට පත් කළ ආණ්ඩුවේ පැවැත්ම මතය. පාක්ෂිකයන්ට වැදගත් වූයේ ආණ්ඩුව රටේ යහපතට කුමක් කරන්නේද යන ප්රශ්නය නොව, පාක්ෂිකයන් වශයෙන් තමන්ගේ යහපතට කුමක් කරන්නේද යන ප්රශ්නයයි. 1977 සිට අද දක්වාම පවතින්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් ස්ථාපිත කරන ලද එම කෑදර ක්‍රමයයි. ඒ නිසා රජයේ ව්‍යාපාර, දේපළ හා බලපත්‍ර විකිණීමේදී හා බදුදීමේදී භාණ්ඩාගාරයට ලැබිය යුතු නියම ආදායම නොලැබෙන තත්ත්වයක් ගොඩනැගී තිබේ.
දේශපාලන අනුග්‍රහය වෙනුවෙන් රජයට වසරකට අහිමි වන ආදායම බදුවලින් ලැබෙන ආදායම තරම්ම විශාල විය හැකිය. පාක්ෂිකයන්, ආධාරකරුවන් හා අනුග්රාහකයන් නීතියට පටහැනිව ක්‍රියාකරන අවස්ථාවලදී ඔවුන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරන්නට ආණ්ඩුවලට සිදුවීම නිසා නීතියේ පාලනයක් නැති තත්ත්වයක් රටේ ඇතිවී තිබේ. පාර්ලිමේන්තුවට තේරී පත්වන ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් සියලුදෙනාටම ඍජු ලෙස හෝ අනියම් ලෙස නිල තනතුරු දෙන්නට සිදුවීම නිසා දේශපාලන ක්‍රමය නඩත්තු කිරීම සඳහා රටට ඔරොත්තු නොදෙන තරම් අතිවිශාල වියදමක් දරන්නට සිදුවී තිබේ. සුදුසුකම් නොසලකා පාක්ෂිකයන්ට රක්ෂා ලබාදෙන ක්‍රමය නිසා ආණ්ඩුවේ රක්ෂාවලට තිබෙන ආර්ථික ඵලදායිතාව හීන කිරීමට හේතුවී තිබේ. එම තත්ත්වය පෙරළා සුදුසුකම් ඇති අය තුළ වෛරයක් හා කෝපයක් ඇති කිරීමට හේතුවී තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අසමත් රාජ්‍යයක තත්ත්වයකට ඇද වැටීම කෙරෙහි එල්ටීටීඊය පවත්වාගෙන ගිය තත්වාකාර රාජ්‍යයේ පැවැත්ම සේ ම රටේ පවතින විසම දේශපාලන ක්‍රමය ද බලපෑවේය.
දැන් රාජ්‍යයේ අසමත්භාවය කෙරෙහි බලපෑ එක් ප්‍රධාන සාධකයක් ජයගැනීමට රට සමත්ව තිබේ. ඒ සමග රාජ්‍යයේ අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන ඊළඟ සාධකය ද (දේශපාලන ක්‍රමය) ජයගැනීමට හැකිවේ නම් ශ්‍රී ලංකා රාජ්‍යය සාර්ථක හා කීර්තිමත් රාජ්‍යයක තත්ත්වයකට පත්කර ගනිමින් අභිමානවත් රටක් ලෙස නැවත බලවත් ලෙස නැගී සිටීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත්තේය.
දේශපාලන ක්‍රමය ජයගැනීම
මෙම විසම දේශපාලන ක්‍රමය ජයගැනීම ආණ්ඩුවට හෝ විරුද්ධ පක්ෂයට තනිව කළ නොහැකිය. ඒ සඳහා දේශපාලන පක්ෂ කෙරෙහි මහජනයා බලපෑ යුතුය. අනෙක් අතට දේශපාලන පක්ෂ ද මෙම ක්රමයේ ඇති දූෂිතබව, විනාශකාරීබව හා නාස්තිකාරීබව තේරුම් ගෙන රටේ පොදු යහපතට හේතුවන සරල, වියදම් අඩු, දූෂිතභාවයෙන් තොර නීතියේ පාලනය රජයන ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් ගැන සිහින දකින තැනකට යා යුතුය. මෙම දූෂිත දේශපාලන ක්‍රමය නිර්මාණය කළ එජාප මෙම දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ වැදගත්කම තේරුම් ගෙන තිබීම වැදගත්ය. එහෙත් අවාසනාවකට එය වෙනස් කළ යුතු හරි ආකාරය තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. ඊළඟට බලයට පත්වන එජාප ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට සහතිකවීම විකාරයකි. ඊළඟ එජාප ආණ්ඩුවක් සඳහා ගතවිය හැකි කාලය කොපමණද? එතෙක් මහජනතාව මෙම විසම ක්‍රමය තුළ ජීවත් විය යුතුද? අනෙක් අතට ක්‍රමය වෙනස් කිරීම ආණ්ඩුවට පමණක් කළ හැකි දෙයක් වන්නේ නැත.
එය කළ හැකිවනු ඇත්තේ ආණ්ඩු පක්ෂය හා විැරද්ධ පක්ෂ එකට එකතු වී ඒ වෙනුවෙන් පොදුවේ ක්‍රියාකරන තත්ත්වයක් ඇතිකර ගැනීමෙන් පමණය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට රටට පොරොන්දු දී ඇති බව අමතක නොකළ යුතුය. එම පොරොන්දුව ඉටු කරන ලෙසට විපක්ෂයට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය හැකිය. එම පොරොන්දුව ඉටුකිරීම සඳහා ක්‍රියාකරන්නේ නම්, බල දේශපාලනය එක්තරා කාලසීමාවකට අතහැර ඒ වෙනුවට ආණ්ඩුවට ආධාර දීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළ හැකිය. ඒ මගින් ශ්‍රී ලංකාවට සුදුසු දේශපාලන ක්‍රමය කුමක්ද යන ප්රශ්නය දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළත් වැදගත් ප්‍රධාන මාතෘකාවක් බවට පත් කරගත හැකිය.