මෙම විශේෂ මොහොතේදී යුද්ධයෙන් බැටකන දෙමළ ජනතාව ගැන සානුකම්පිත හැඟීමකින් කතා කරන සුළු පිරිසක් හෝ සිංහල ජනතාව අතර සිටීම යහපත් තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඔවුන්ගේ ක්‍රියාව යහපත් වනු ඇත්තේ දෙමළ ජනතාව අතර ඇතිවී තිබෙන දුක් වේදනා තුනී කිරීමට ඔවුන් හේතුවන්නේ නම් පමණය. ඒ වෙනුවට දෙමළ ජනතාව අතර පවතින දුක් වේදනා සිංහල විරෝධී වෛරයක් බවට පත්කිරීමට ඔවුන්ගේ ක්‍රියා හේතුවේ නම් එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. ත්‍රස්තවාදී ව්‍යාපාරයක් වශයෙන් සලකා තමන් මර්දනය කිරීමට ආණ්ඩුව දියත් කර තිබෙන යුද ව්‍යාපාරය දෙමළ සංහාරයක් ලෙස දෙමළ ජනතාවට සේම ජාත්‍යන්තර ප්‍රජාවට ද ඒත්තු ගැන්වීමට එල්ටීටීඊය දැවැන්ත සංවිධානාත්මක වැඩපිළිවෙලක් දියත් කර තිබෙන බව ප්‍රකටය. ඔවුන් මෙම අරමුණ ඉලක්ක කොටගෙන ගෝලීය මට්ටමෙන් හොඳින් සැලසුම් කළ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු නීතිපතිවරයෙකු යොදා ගනිමින් ශ්‍රී ලංකා දෙමළ ජන සංහාරයක් සිදුවන බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල එල්ටීටීඊය ක්‍රියාවට නගා තිබෙන එම වැඩපිළිවෙලේ ප්‍රමුඛ අංගයක් ලෙස ද සැලකිය හැකිය.
කරුණු විකෘති කිරීම
එල්ටීටීඊය ගෙනයන ප්‍රචාරක වැඩපිළිවෙලේ රශ්මියට අසුවී ශ්‍රී ලංකාවේ සිදුවන දේවල් උඩින් පල්ලෙන් බලන විදේශිකයෙකුට ශ්‍රී ලංකාවේ දෙමළ සංහාරයක් සිදුවන්නේයැ”යි කියන හැඟීමක් ඇතිවිය හැකිය. එහෙත් එවැනි හැඟීමක් මේ රටේ ජීවත් වන හෝ රටේ සිදුවන දේවල් පිළිබඳව වඩා හොඳ වැටහීමක් තිබෙන රාවයට ලියන සමහර ලේඛකයන් අතර ද පවතී නම් එය අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. සුමනසිරි ලියනගේගේ කොලමට ඇතුළත්ව තිබුණු භාෂණ ගැන වන කෙටි සඳහනක් පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ දෙමළ සංහාරයක් සිදුවන බව ඔප්පු කිරීම සඳහා භාෂණ දිග ලිපියක් ලියා තිබුණි. ඉන්පසු ඒ විෂය ගැනම ලියන විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු හිට්ලර් යුදෙව්වන් සංහාරය කිරීම සඳහා යොදාගත් වැඩපිළිවෙල ගැන කෙටි විග්‍රහයක් කරමින් එදා යුදෙව්වන්ට මුහුණ දෙන්නට සිදුවූ තත්ත්වය හා අද ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන තත්ත්වය අතර සමානකමක් ඇති බවට තර්ක කර තිබුණි.
දැඩි සිංහල මතධාරි උගතකුගෙන් මා අසා තිබෙන කතාවක් මෙසේය. ඔහු ද ඇතුළුව සිංහල මතවාදී ව්‍යාපාරයක නායකයන් කිහිපදෙනෙකු ජර්මන් තානාපතිවරයා හමුවී කරන සාකච්ඡාවකදී එම නියෝජිත පිරිසේ කෙනෙකු ප්‍රභාකරන් හිට්ලර්ටත්, ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය හිට්ලර්ගේ පැසිස්ට්වාදී ව්‍යාපාරයටත් සමාන කර තිබේ. ජර්මන් තානාපති ඔවුන්ට දී තිබෙන පිළිතුර වී ඇත්තේ ප්‍රභාකරන්ට හිට්ලර්ගේ ඇතැම් ගති ලක්ෂණ ද, ප්‍රභාකරන්ගේ ව්‍යාපාරයට පැසිස්ට් ගති ලක්ෂණ ද තිබිය හැකිවුවත් ඒ දෙක සමාන කළ නොහැකි බවය. ඒ දෙක අතර තිබෙන පරතරය ඉතාමත් විශාල බවය. භාෂණ සේම ඉහත කී සරසවි මහාචාර්යවරයා ද ජර්මන් තානාපති හමුවී හිට්ලර් යුදෙව්වන් සංහාරය කිරීම පිණිස යොදා ගත් වැඩපිළිවෙල හා ඒ දෙදෙනා දෙමළ සංහාරයක් ලෙස දකින එල්ටීටීඊ විරෝධී ආණ්ඩුවේ යුද ව්‍යාපාරය අතර ඇති සමානතාව ගැන ප්‍රශ්න කළහොත් ඔවුන්ට හොඳ පිළිතුරක් ලබාගැනීමට හැකිවනු ඇතැ”යි මම සිතමි.
එල්ටීටීඊයට එරෙහිව පවත්වාගෙන යන යුද ව්‍යාපාරය දෙමළ ජනතාව කෙරෙහි අතිවිශාල පීඩාවක් ඇති කිරීමට හේතුවී තිබෙන බව සත්‍යයකි. එහෙත් එය දෙමළ සංහාරයක් අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් සේ විග්‍රහ කළ හැක්කේ කෙසේද? මෙය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව අතින් මර්දනය කෙරෙන පළමු සන්නද්ධ කැරැල්ල නොවේ. තුන්වැනි සන්නද්ධ කැරැල්ලය. පළමු දෙක වර්ගය අනුව සිංහලය. තුන්වැන්න වර්ගය අනුව දෙමළය.
ජේවීපී කැරැල්ල හා එල්ටීටීඊ කැරැල්ල
71 අප්‍රේල් කැරැල්ල මාසයකට නොවැඩි කාලයක් තුළ පරාජය කෙරෙනු අතර, කැරැල්ල හා මර්දනය තුළ මියගිය අයගේ සංඛ්‍යාව 5000ක් පමණ විය හැකිය. ජවිපෙ දෙවැනි කැරැල්ල කරළියට එන්නේ ඉන්දු-ලංකා ගිවිසුමත් සමගය. එය විජේවීරගේ මරණයත් සමග අවසන් වේ. ඉන්දියාව යාපනයට ගුවනින් සහනාධාර හෙළීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ 1987 ජූනි 07 වැනි දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ මුරපොළකට පහර දෙන ලද අතර, එය කැරැල්ලේ ආරම්භය ලෙස සැලකිය හැකිය. විජේවීර අත්අඩංගුවට ගෙන ඝාතනය කෙරන්නේ 1989 නොවැම්බර් 12 වැනිදාය. ඒ අනුව දෙවැනි කැරැල්ල පැවති මුළු කාලය වසර දෙකකුත් මාස පහක් ලෙස සැලකිය හැකිය. කැරැල්ල අවසන් වන විට දෙපාර්ශ්වය අතින් මරණයට පත් මුළු සංඛ්‍යාව පනස්දාහකට අඩු නැත. එල්ටීටීඊය ජවිපෙට වඩා හොඳින් සංවිධානය වූ (පුහුණුව හා යුද්ධායුධ) යුද ව්‍යාපාරයකි. 4 වන ඊළාම් යුද්ධය ආරම්භ වන අවස්ථාව වන විට එය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සමග කරන ලද විවිධ යුද්ධ අරගල තුළ යුදමය වශයෙන් අපරාජිත තත්ත්වයකට සමාන තත්ත්වයක් හිමි කරගෙන සිටියේය.
2006 ජූලි මාසයෙන් ආරම්භ වන හතරවැනි ඊළාම් යුද්ධයට මෙතෙක් ගතවී තිබෙන කාලය වසර දෙකකුත් මාස අටක කාලයකි. එය ජවිපෙ දෙවැනි කැරැල්ලට වඩා මාස තුනක් දිගය. එල්ටීටීඊ හතරවැනි කැරැල්ල පරාජය කිරීමේදී දෙපැත්තෙන්ම සිදුවී තිබෙන මරණ සංඛ්‍යාව 15,000ක් ලෙස සැලකුව ද ජේවීපී දෙවැනි කැරැල්ල මර්දනය කිරීමේදී දකුණේ සිංහල ජනතාවට සිදුවූ හානියට වඩා අඩු හානියක් ඇතිවන ලෙස එල්ටීටීඊ කැරැල්ල පරාජය කිරීමට හැකිවී තිබෙන බව පෙනේ. එල්ටීටීඊ කැරැල්ල පරාජය කිරීම සඳහා මුදා හැරෙන ප්‍රති ප්‍රචණ්ඩත්වය වර්ග නාශක අරමුණින් දියත් කරන ලද්දක් නම් ජේවීපී කැරැල්ල මර්දනය කිරීමේදී සිදුවූ හානියට අඩු හානියක් සිදුවිය හැක්කේ කෙසේද? ආධිපත්‍යය සඳහා සන්නද්ධ ප්‍රතිපක්ෂ දෙකක් අතර කෙරෙන යුද්ධයක් තුළ සිදුවන සිදුවීම් ප්‍රසන්න විය නොහැකිය. ජේවීපී දෙවැනි කැරැල්ල හා ඊට එරෙහිව මුදා හැරුණු ප්‍රතිප්‍රචණ්ඩත්වය දකුණේ සිංහල සමාජය කෙරෙහි අතිවිශාල පීඩාවක් ඇති කළේය.
වර්තමානයේ හැම දෙමළ තරුණයෙකුම ආරක්ෂක හමුදාවල සැකයට හේතුවී සිටිනවා සේ එකල සිංහල තරුණ තරුණියෝ ආරක්ෂක හමුදාවල සැකයට හේතුවූහ. එකල මරණ බිය මුළු මහත් සිංහල සමාජයම වෙලාගෙන තිබුණි. එහෙත් කැරැල්ලේ පරාජයත් සමග රටේ තත්ත්වය ද වෙනස් විය. ආරක්ෂක හමුදා කැරැල්ල පරාජය කිරීමෙන් පසු කැරලිකරුවන්ගේ පවුල්වල ඉතිරි වී සිටින අය සොය සොයා ඔවුන් මරා දමන තැනකට ගියේ නැත. දකුණ පුරා ගොඩනගා තිබුණු තාවකාලික හමුදා කඳවුරු ඉවත් කරගනිමින් ආරක්ෂක හමුදා බැරැක්කවලට ගියේය. මියගියවුන් හා අතුරුදහන්වූවන් පිළිබඳ බරපතළ සමාජ ප්‍රශ්නයක් ඉතිරි වී තිබියදීත්, රටේ දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයකින් ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇතිවිය. එල්ටීටීඊ හතරවැනි කැරැල්ල මර්දනයේදී ජේවීපී දෙවැනි කැරැල්ල මර්දනයේදී අනුගමනය කෙරුණ ප්‍රතිපත්තිය ඉක්මවා ගිය සාහසික ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් හා ඒ නිසා මරණයට පත් අයගේ සංඛ්‍යාව වඩා හා ඉතා විශාල වී නම් එය ජනසංහාරයක් ලෙස අර්ථ දැක්වීම යුක්තිසහගත වන්නට ඉඩ තිබුණි.
එහෙත් එය එසේ නොවීය. එල්ටීටීඊ කැරැල්ල මර්දනයේදී සිදුවී තිබෙන හානිය ජේවීපී දෙවැනි කැරැල්ල මර්දනයේදී සිදුවී තිබෙන හානියට වඩා අඩුය.
හිට්ලර්ගේ වැඩපිළිවෙලට සමාන කිරීම
විශ්වවිද්‍යාල මහාචාර්යවරයා හිට්ලර්ගේ යුදෙව් ජන සංහාර වැඩපිළිවෙලට සමාන වැඩපිළිවෙලක් දෙමළ ජන සංහාරයක් සඳහා කිසියම් දීර්ඝ කාලයක සිට රටේ ක්‍රියාත්මක වී ඇති බව තහවුරු කිරීමට යොදාගෙන තිබෙන එක් තර්කයක් වී ඇත්තේ 1983 කළු ජූලියෙන් පසු විදේශ ගතවී සිටින දෙමළ ජනතාවගේ සංඛ්‍යාවය. ඔහුගේ ඇස්තමේන්තුව අනුව එසේ පිටවී ගිය අයගේ සංඛ්‍යාව අට ලක්ෂ පනස් දහසකි. ඔහු කියන ආකාරයට “සෑම දෙමළ ජාතිකයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු අද ජීවත්වන්නේ විදේශ ගතවය.” මේ සියලු දෙනා විදේශ ගතවූයේ 83 කළු ජූලිය ඔවුන්ට ඇති කළ පීඩා නිසා හෝ ඒ නිසා ඇති කරගත් බිය නිසාද? ඒ හේතු මත විදේශ ගතවූ පිරිසක් සිටිනවා විය හැකිය. එහෙත් වැඩි පිරිසක් විදේශ ගතවූයේ 83 කළු ජූලිය යුරෝපයට සංක්‍රමණය වීමට අවශ්‍ය පහසු වටාපිටාවක් ඇති කිරීම නිසාය. දෙමළ තරුණ තරුණියන් පමණක් නොව සිංහල තරුණ තරුණියන් ද යුරෝපයට සංක්‍රමණය වීම දකින්නේ වාසනාවේ දොරකඩට පැමිණීමක් ලෙසය.
ඒ අරමුණ ජයගැනීම පිණිස නීති විරෝධී සංක්‍රමණය සඳහා රුපියල් මිලියනයකට වැඩි මුදලක් වැය කරන අයද සිටිති. ජේවීපී දෙවැනි කැරැල්ල හේතුවක් කරගනිමින් කැරැල්ලට කිසිම සම්බන්ධයක් නැති සිංහල තරුණ තරුණියෝ පවා යුරෝපීය රටවලට සංක්‍රමණය වූහ. 83 කළු ජූලිය ද දෙමළ තරුණ තරුණියන්ට යුරෝපා රටවලට සංක්‍රමණයවීමට හොඳ අවස්ථාවක් ලබාදෙන ලද අතර, ඔවුන් වැඩි පිරිසක් විදේශ ගතවූයේ වාසනාව සොයා යන මාර්ගයක් වශයෙන් මිස රටේ ජීවත්වීමට සුදුසු වටාපිටාවක් නොතිබුණු නිසා නොවේ. මෙම ලේඛකයන් දෙදෙනාම ජන නාශක තර්කය ගොඩනගා ඇත්තේ දැන් ශ්‍රී ලංකාවේ සියලු දෙමළ ජනයා පුදුකුඩිඉරිප්පුවේ ““යුද මුක්ත කලාපයේ” ජීවත් වන ආකාරයටය. 1981 සංඛ්‍යා අනුව මන්නාරම, වවුනියාව හා මුලතිව් යන දිස්ත්‍රික්ක තුනේම (වන්නියේ) ජීවත් වූයේ ලංකාවේ දෙමළ ජනගහනයෙන් 8.84%ක් පමණය. එකල ලංකාවේ දෙමළ ජනගහනය 1,886,864ක් වන විට මන්නාරම දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාව 54,474කි.
වවුනියාව 54,179කි. මුලතිව් 58,209කි. වර්තමානයේ උතුරට ආවේණික නිවැරදි ජන සංඛ්‍යා නැතත්, එල්ටීටීඊයේ වාසියට හේතුවන ලෙස පාවිච්චි කරමින් තිබෙන ඇස්තමේන්තුවලට අනුව වුවත් එල්ටීටීඊ පාලනය යටතේ පැවති වන්නි කලාපයේ මුළු ජනගහනය 200,000කට වැඩි නොවීය. ආණ්ඩුවේ ඇස්තමේන්තු අනුව ඒ ගණන 100,000කට වැඩි නැත. එයින් පෙනෙන්නේ එල්ටීටීඊ පාලන කලාපයේ ජීවත් වූ පිරිස උතුරු නැගෙනහිර දෙමළ ජනගහනයෙන් 20%කටත් අඩු බවය. දෙමළ ජනගහනයෙන් වැඩි පිරිස ජීවත්වන්නේ යාපනය අර්ධද්වීපයේත්, මඩකළපුව දිස්ත්‍රික්කයේ හා බස්නාහිර පළාතේය. 2004 වසරේදී කොළඹ නාගරික සීමාව තුළ පමණක් ජීවත් වන දෙමළ ජනගහනය 206,310කි. ඒ නිසා එල්ටීටීඊ විරෝධී යුද්ධයෙන් ඍජු ලෙස පීඩාවට පත් දෙමළ ජනතාව ලෙස ප්‍රධාන කොට සැලකිය හැක්කේ වන්නි කලාපයේ යුද්ධයට මැදිවී සිටින ජනතාවය. ඔවුන්ගේ සංඛ්‍යාව රටේ මුළු දෙමළ ජනගහනයෙන් (වතුකරය හැර) 20%කටත් වඩා අඩුය.
එයින්ද පෙනෙන්නේ එල්ටීටීඊ යුද්ධය ඍජු ලෙස බලපා තිබෙන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ලෙස සැලකිය හැකි සියලු දෙමළ ජනයා කෙරෙහි නොව, වන්නියේ එල්ටීටීඊ ආධිපත්‍යය යටතේ ජීවත් වූ දෙමළ ජනතාව කෙරෙහි පමණක් බවය.
යුද්ධයේ නීතිය
යුද්ධය සන්නද්ධ ආධිපත්‍යය සඳහා කෙරෙන තරගයකි. යුද්ධයේ නීති අනුව පරාජය වන පිල පරාජය බාරගනිමින් යටත් විය යුතුය. ඒ සමග තරගය ද අවසන් වේ. යටත්වීම මගින් පරාජිත පිල තවදුරටත් තමන්ට සිදුවිය හැකි ජීවිත හානිය වළකා ගනී. ප්‍රභාකරන් යුද්ධයේ කෙළ පැමිණියකු විය හැකි වුවත්, යුද්ධයේ නීති හා රීතිවලට ගරු නොකරන හිතුවක්කාරී පුද්ගලයෙකි. හිට්ලර් පවා පරාජයේදී පරාජය පිළිගත්තේය. සියදිවි හානි කරගනිමින් සිය පිලට යටත්වීමට අවස්ථාවක් ලබා දුන්නේය. ඒ මගින් සිය පිලට සිදුවිය හැකි ජීවිත විනාශය අවම කළේය. ප්‍රභාකරන් ද යුද්ධයේ නීති රීතිවලට ගරු කරන පුද්ගලයෙකු වී නම් ඔහු පරාජය පිළිගෙන යටත් විය යුතුව තිබුණේය. නැත්නම් අනෙක් අයට යටත්වීමට අවස්ථාවක් ලැබෙන ලෙස සිය දිවි හානි කරගත යුතුව තිබුණේය. ඒ වෙනුවට ප්‍රභාකරන් කළේ සිය ජනතාවට සිදුවන හානි උපරිම කෙරෙන ආකාරයට එම ජනතාව ආරක්ෂක පළිහක් බවට පත්කර ගැනීමය.
එල්ටීටීඊ නායකත්වය පරාජයට පත්වීමෙන් පසු යටත් වී නම් කොටුවී සිටින ජනතාවට සිදුවන හානිය අවම කරගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. සිවිල් ජනයාට හානි සිදුවී ඇත්තේ ආරක්ෂක හමුදා අතින් පමණක්ද? එල්ටීටීඊය අතින් සිවිල් ජනතාවට හානි සිදුවී නැද්ද? මෙම විෂය පිළිබඳ හරි ගණන් බැලීමකට යා හැකිව තිබියදී තමන්ගේ වාසියට හේතුවන කරුණු කෙරෙහි පමණක් ඇඟිල්ල දිගු කර පෙන්වන ප්‍රතිපත්තියක් නිවැරදි වන්නේ කෙසේද? විසිපස් වසරක කාලයක් තිස්සේ පැවති යුද්ධය නිසා මැරුණු සංඛ්‍යාව කොපමණද? ඒ අතරින් සෙබළ ගණයට වැටෙන අයගේ සංඛ්‍යාව කොපමණද? සිවිල් ගණයෙහි ලා සැලකිය හැකි ඉතිරි අයගේ වාර්ගික සංයුතිය කුමක්ද? ඔවුන් අතරින් ආරක්ෂක හමුදාව අතින් මරණයට පත් අයගේ අනුපාතිකය හා එල්ටීටීඊය අතින් මරණයට පත් අයගේ අනුපාතිකය කොතරම්ද? ඇත්තටම එල්ටීටීඊය විසින් විවිධ ආකාරවලින් මරා දමන ලද සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාගේ සංඛ්‍යාව කොපමණ විය හැකිද? මගේ මතය දළ වශයෙන් ඒ ගණන තිස්දහසකට අඩු නොවන බවය.
ප්‍රමුඛ දෙමළ නායකයන් 99%ක්ම මරා දමන ලද්දේ ඔවුන් විසිනි. අවතැන්වූවන් ගැන කතා කරනවිටත් එල්ටීටීඊයෙන් අවතැන් කරන ලද විශාල ජනතාවක් තවමත් සරණාගත කඳවුරුවල ජීවත් වන බව අමතක නොකළ යුතුය. පැය 24ක් තුළ යාපනයෙන් පිටමං කළ හැට දහසක් මුස්ලිම් ජනයා අදත් ජීවත්වන්නේ ප්‍රධාන කොට පුත්තලමේත්, වෙනත් ප්‍රදේශවලත් සරණාගත කඳවුරුවලය. ජේවීපී දෙවැනි කැරැල්ල වලංගුව පැවති මාස 29ක කාලය තුළ දකුණේ සිංහල ජනතාවට ජීවත්වන්නට සිදුවූයේ ද්වන්ද්ව පාලනයකට යටත්වය. එකවිට බලවතුන් දෙදෙනෙකු දෙන පරස්පර නියෝග පිළිපැදීමට එදා දකුණේ සිංහල ජනතාවට සිදුවිය. එම ද්වන්ද්ව පාලනය තව අවුරුදු 5ක් පැවතියේ නම් දකුණේ සිංහල සමාජයේ ජීවිත ද උතුරේ දෙමළ සමාජයේ ජීවිත තරම්ම කාලකණ්ණිභාවයට පත්වන්නට ඉඩ තිබුණි. දකුණේ සිංහල සමාජය මාස 29ක කාලයක් ද්වන්ද්ව පාලනයක් තුළ ජීවත් වන විට උතුරේ දෙමළ සමාජය ද්වන්ද්ව පාලනයක් තුළ ගතකර තිබෙන කාලය අවුරුදු 25ක් හෙවත් මාස 300කි.
ද්වන්ද්ව පාලනයෙන් නිදහස් වී එක් පාලනයකට නතුවීමෙන් දකුණේ සිංහල ජනතාවට සැලකිය යුතු තරමේ නිදහසක් ලැබුණා සේ, දෙමළ ජනතාව කෙරෙහි පවත්නා ද්වන්ද්ව පාලනය අහෝසිවීමෙන් දෙමළ ජනතාවට ඒ සමාන නිදහසක් ලැබෙනු ඇතැ”යි විශ්වාස කළ හැකිය.
Editors Note
Bhashana, the writer Ivan is answering, is a Ravaya columnist and a former supporter of the
JVP’s second insurrection who later took the LTTE’s side; the professor referred to without
a name is answered directly in Ivan’s column of 26 April 2009. The 1981 census figures Ivan
uses give the Tamil population of Mannar, Vavuniya and Mullaitivu as under nine per cent of
the island’s Tamils.