1990ට පෙර කොළඹ සිට උතුර බලා ගිය යාල්දේවී දුම්රිය සේවය නැවත ආරම්භ කිරීමට ඇති කරගෙන තිබෙන අධිෂ්ඨානය සමාජ-ආර්ථික වැදගත්කමකින් පමණක් නොව, සංකේතාත්මක වැදගත්කමකින් ද යුතුය. එය උතුර හා දකුණ අතර ඇති දුරස්ථභාවය අහෝසි කොට සිංහල, දෙමළ හා මුස්ලිම් වර්ගයා අතර අඩු වැඩි වශයෙන් පවත්නා භේද තුනී කොට ජාතියක් වශයෙන් ඔවුන් එක්සත් කරන වැදගත් මාර්ගයක් වනු ඇතිවා පමණක් නොව, ඉරි තැලී තිබෙන රටේ ඒකාබද්ධතාව ද ශක්තිමත් කරනු ඇත. සිංහල දෙමළ විරසකභාවය කෙරෙහි සිංහලයන් අතින් දමිළයන්ට සිදුවූ අසාධාරණකම්ද, නැවත දමිළයන්ගේ පැත්තෙන් සිදු කෙරුණු සාහසික ප්‍රතික්‍රියා පමණක් නොව, උතුරු නැගෙනහිර සංවර්ධනය කෙරෙහි ලැබුණු අඩු සැලකිලි ද බලපෑවේය. ප්‍රචණ්ඩ අරගළ හටගැනීමෙන් පසු ගමනාගමනයෙහි සිදුවූ බිඳ වැටීම තවදුරටත් මෙම දුරස්ථ බව තීව්‍ර කළේය. උතුරට යන ගමනේදී කිසියම් දීර්ඝ කාලයක් කෘත්‍රිම දේශසීමාවක් ගොඩනැගී තිබුණු අතර, උතුරට යන්නන්ට හා නැවත උතුරෙන් දකුණට එන්නන්ට එම දේශසීමා කවුළුවේදී රේගු බදු ගෙවන්නට ද සිදුවිය.
යාපනේ අර්ධද්වීපයේ පාලනය හමුදා අතට ගැනීමෙන් පසු එල්ටීටීඊ පාලනය කිලිනොච්චි කලාපයට සීමාවී තිබුණද යාපනයට යන්නට නිදහස් ගොඩබිම් මාර්ගයක් නොතිබුණි. යාපනේ සිට කොළඹට අහසින් එන්නට හෝ මුහුදෙන් එන්නට දකුණු ඉන්දියාවට ගමන් ගැනීමට යන තරම් විශාල වියදමක් දරන්නට සිදුවිය. මේ තත්ත්වයෙහි මූලික වෙනසක් ඇතිව තිබීම දෙමළ ජනතාවගේ පමණක් නොව, රටේ සියලු ජනතාවගේ යහපතට හේතුවේ. විවෘත වී තිබෙන ඒ 9 මාර්ගයෙන් පමණක් තෘප්තිමත් නොවී නැවත උතුරට යන දුම්රිය ගමනාගමනය ප්‍රතිසංවිධානය කිරීමට ගෙන තිබෙන තීරණය ඉතා යහපත්ය. දුම්රිය සිහිනය සැබෑ කරගැනීමට විශාල වියදමක් දරන්නට සිදුවනු ඇති බවට සැකයක් නැත. ප්‍රවාහන ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙන ආකාරයට වවුනියාවේ සිට කන්කසන්තුරේ දක්වා කිලෝමීටර් 150ක් දුර අලුතෙන් දුම්රිය මාර්ග ඉදිකළ යුතුය. ඒ සඳහා මහ පාලම් 85ක්ද, බෝක්කු 58ක් ද දුම්රිය ස්ථාන 28ක් ද අලුතෙන් ඉදිකළ යුතුය.
රේල්පීලි සඳහා පමණක් රුපියල් කෝටි 400ක් ද සිල්පර සඳහා රුපියල් කෝටි 250ක් ද අවශ්‍ය කෙරේ. මෙය මිත්‍රත්වයේ දුම්රිය මාර්ගය ලෙස නම් කරමින් හැම ගමකින්, හැම පන්සලකින්, හැම පල්ලියකින්, හැම පාසලකින් හා හැම වැඩපොළකින් ඒ ගමේ, පන්සලේ, පල්ලියේ, පාසලේ හෝ වැඩපළේ නම සලකුණු කරන ලද සිල්පර කොටයක් සඳහා යන වියදම ලබාගන්නා ක්‍රමයක් ඇති කිරීම මගින් සමහරවිට මුළු දුම්රිය මාර්ගය සඳහාම අවශ්‍ය කරන සිල්පර සපයා ගත හැකිය. ඒ මගින් රජයේ වැය බර ලිහිල් කරමින් දකුණේ ජනතාවට එම ක්‍රියාවලියට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමේ අවස්ථාවක් ලබාදිය හැකිය. සමහරවිට දුම්රිය ස්ථාන 28 ඉදිකිරීම සඳහා දායකවීමට කැමති පෞද්ගලික සමාගම් 28ක් සොයාගැනීමට පුළුවන් විය හැකිය. ඒ මගින් යාල්දේවී දුම්රිය ගමන සමස්ත ජනතාවගේ දායකත්වයෙන් කෙරෙන ක්‍රියාවලියක් බවට පත් කරගත හැකිය.
උතුරේ ජනතාවට සංවර්ධනයට හා මැතිවරණවලට අතිරේකව මේ මොහොතේ ආණ්ඩුවේද දකුණේ ජනතාවගේද කරුණාව හා දයාව ද අවශ්‍ය වී තිබේ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ ක්‍රියාවලිය රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය සාධකයක් වනමුත් ඒ අරමුණ විශාල ප්‍රමාණයකට ජයගැනීමට සමත්ව ඇතත්, ඒ සඳහා දියත් කර තිබෙන ත්‍රස්තවාදී මර්දන ව්‍යාපාරය දෙමළ ජනතාව කෙරෙහි පීඩාකාරී ලෙස බලපානු ඇතැ”යි කියන සත්‍යය ද අපි අමතක නොකළ යුතුය. එවැනි මර්දන වැඩපිළිවෙලකදී සාමාන්‍ය ජනයා පීඩාවට පත්වීම නොවැළැක්විය හැකි වුවත්, එසේ පීඩාවට පත් ජනතාවට විශේෂ දයාවකින් හා කරුණාවකින් ක්‍රියාකිරීම ද අවශ්‍ය වන්නේය. ජවිපෙ දෙවැනි කැරැල්ල මර්දනයේදී දරුවන් අහිමි වූ විශාල අම්මලා තාත්තලා ද, සැමියන් අහිමි වූ බිරින්දන් ද, දෙමාපියන් අහිමි වූ දරුවන් ද විශාල පිරිසක් සිටියෝය. දැන් උතුරේ පවතින තත්ත්වයත් ඊට සමානය.
ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු රට මුහුණ දෙන එක අභියෝගයක් වනු ඇත්තේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ක්‍රියාවලියේදී පීඩාවට පත් දෙමළ ජනතාව අතර පවත්නා අවිශ්වාසය, තරහ හා අපේක්ෂාභංගත්වය, දුරු කරමින් නැවත ඔවුන් ආත්ම ගෞරවය ඇති ජනතාවක් ලෙස පොදු ජාතික ප්‍රවාහයට එකතු කරගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. ත්‍රස්තවාදය ජයගන්නවාටත් වඩා ජයගැනීමට දුෂ්කර අභියෝගය වනු ඇත්තේ ද එයයි. එම අභියෝගය සාර්ථක ලෙස ජයගැනීමට රට අසමත් වෙතොත්, ත්‍රස්තවාදය ජයගැනීම පවා අරුත් විරහිත දෙයක් බවට පත්විය හැකිය.
Editors Note
The Yal Devi ran from Colombo to Jaffna until 1990. The figures quoted — 150 kilometres of
new track from Vavuniya to Kankesanthurai, 85 bridges, 58 culverts and 28 stations — are the
transport minister’s.