සෙලින්කෝ වෘක්ෂයේ ප්‍රධාන අත්තක් ලෙස සැලකිය හැකි ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරයේ තැන්පත්කරුවන්ට නියම වේලාවට ඔවුන්ට හිමි පොලී ගෙවීමට නොහැකි වී තැන්පත්කරුවන් සිය තැන්පත් ඉල්ලා සිටීම නිසා එම ව්‍යාපාරය කඩා වැටී මුළු සෙලින්කෝ ව්‍යාපාරයම දෙදරුම් කන තත්ත්වයක් ඇතිවී තිබේ. ඇතිවිය හැකි උද්වේගකර වාතාවරණය තුළ සෙලාන් බැංකුවේ කඩා වැටීමක් ඇතිවීම වළකා ගැනීම සඳහා මහ බැංකුව මැදිහත් වී සෙලාන් බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය ඉවත් කොට බැංකුව තාවකාලික ලෙස ලංකා බැංකුවේ පාලනයට යටත් කර තිබේ. පුදුමයකට මෙන් සෙලින්කෝ ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරය තැන්පත්කරුවන්ගෙන් තැන්පත් ලබාගෙන එම තැන්පත් සඳහා පොලී ගෙවන ව්‍යාපාරයක් වුව ද එය ද මහ බැංකුවේ ලියාපදිංචි කළ මූල්‍ය ව්‍යාපාරයක් නොවීය. සක්විති රණසිංහගේ තැන්පත්කරුවන් මුදාගැනීමට ඉදිරිපත් වූ සෙලින්කෝ අධිපතිවරයාට දැන් සක්විති රණසිංහට මුහුණ දෙන්නට සිදුවූ අර්බුදයට සමාන අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවීම දෛවයේ සරදමක් බඳුය.
එහෙත් ලලිත් කොතලාවල සක්විති රණසිංහට සමාන කළ නොහැකිය. ඔහුට සක්විති රණසිංහට මෙන් තැන්පත්කරුවන් අමාරුවේ දමා රට අතහැර පලායෑමේ හැකියාවක් නැත. ඔහු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් අතර සිටින බලවත්ම පුද්ගලයන් දහදෙනාගෙන් කෙනෙකි. සෙලින්කෝ නාමය යටතේ තිබෙන සමාගම් ගණන සිය ගණනක් විය හැකිය. එම සමාගම් යටතේ රැකියා කරන්නන්ගේ සංඛ්‍යාව 25,000 ක් පමණ විය හැකිය. ලලිත් කොතලාවල මහතා සැලකෙන්නේ ද සමාජ සංවේදී ව්‍යාපාරිකයකු ලෙසය. ගෝල්ඩන් ක්‍රෙඩිට් ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත්තේ මුදල් ඇති පුද්ගලයන් සොයා ගොස් 30% ක වාර්ෂික පොලියක් සඳහා ඔවුන්ගේ තැන්පත් මුදල් ලබාගනිමිනි. තැන්පත්කරුවන්ගේ ගිණුම්වලට පොලිය බැර කෙරෙන අතර, තැන්පත්කරුවන්ට තමන්ට ලැබෙන ක්‍රෙඩිට් කාඩ්පත මගින් තමන්ගේ තැන්පතුවේ මුදල් මුළුමනින් හෝ එක්තරා ප්‍රමාණයක් හෝ පොලිය පමණක් ලබාගැනීමේ හැකියාව ලබාදී තිබුණි.
මෙම ව්‍යාපාරය තැන්පත්කරුවන්ට 30% ක් තරම් වන පොලියක් ලබාදුන්නේ කෙසේද යන ප්‍රශ්නයක් මතුවන්නේය. සෙලින්කෝ ව්‍යාපාරය යටතේ දේපළ වෙළෙඳාමේ යෙදෙන වෙනත් ව්‍යාපාර තිබුණි. දේපළ වෙළෙඳාමට හොඳ ඉල්ලුමක් තිබුණු යුගයේ දේපළ වෙළෙඳාමෙන් විශාල ලාභයක් ලැබීමේ හැකියාව තිබුණු අතර, ගෝල්ඩන් ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරයේ තැන්පත්කරුවන්ගෙන් ලබාගන්නා මුදල් දේපළ ව්‍යාපාරවල යෙදී සිටින සිය සමාගම්වලට ලබාදී ඒ මගින් සිය තැන්පත්කරුවන්ගේ පොලිය ලබා දුන් බව පෙනී යයි. සමස්ත ලෝකය සමග ශ්‍රී ලංකාව ද මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය තුළ දේපළ වෙළෙඳාමට තිබුණු ඉල්ලුම විශාල ප්‍රමාණයකට බිඳ වැටී තිබෙන අතර, ඉඩම් හා ඉඩම් සමග තනා දෙන නිවාස සඳහා තිබුණු ඉල්ලුම බිඳ වැටෙන තත්ත්වයක් තුළ මෙම ව්‍යාපාරයට ද සිය තැන්පතුකරුවන්ට නියමිත පොලී ගෙවිය නොහැකි තත්ත්වයක් ඇතිවූ බව පෙනෙන්නට තිබේ.
පොලී අනුපාතිකය සඳහා ඇති කරගත් එකඟතාව නිශ්චිත තත්ත්වයක නොතබා වෙළෙඳපොළේ ඇතිවන වෙනස්කම්වලට ගැලපෙන ලෙස වෙනස්කම් ඇති කිරීමට ඉඩ තබාගත්තේ නම්, මෙම ව්‍යාපාරය මෙවැනි අර්බුදයකට තල්ලුවන්නට ඉඩ නොතිබුණි. ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරයේ තැන්පත්කරුවන්ගේ සංඛ්‍යාව 10,000 ක් බවත්, මුළු තැන්පත්වල වටිනාකම රුපියල් බිලියන 25 ක් බවත් කියනු ලැබේ. තමන්ගේ තැන්පත් ඉල්ලා සිටින තැන්පත්කරුවන්ට වහාම තැන්පත් ලබාදිය නොහැකි තත්ත්වයක් ඇතිවූ විට තැන්පත්කරුවන් සන්සුන් කොට අර්බුදය පාලනය කිරීමට ලලිත් කොතලාවල මහතා උත්සාහ කළත්, අපේක්ෂිත අරමුණ ජයගැනීමට ඔහු සමත් නොවීය. සිය සමාගම් විකුණා හෝ එම සමාගම් සතු දේපළ විකුණා හෝ තැන්පත්කරුවන්ගේ සියලු තැන්පත් ආපසු ගෙවීමට ලලිත් කොතලාවල මහතා තැන්පත්කරුවන්ට පොරොන්දු වී ඇතත්, තැන්පත්කරුවෝ එයින් සෑහීමට පත් නොවූහ.
ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම සතු දේපළ ඇති බව කියනු ලැබේ. සමාගම සතු බිලියන 4 ක් පමණ වටිනා ඇස් රෝහලක් ඇති බව ද, බිලියන 1.5 ක් පමණ වටිනා අක්කර 100 ක තේක්ක වැවිල්ලක් ඇති බව ද, ඊටත් අතිරේකව කිරිමණ්ඩල මාවතේ රුපියල් බිලියන 2 ක පමණ වටිනාකමක් ඇති අක්කර 1.3 ක් තිබෙන බව ද කියනු ලැබේ. එහෙත් සමාගම සතු මෙවැනි දේපළ තිබුණ ද පවතින ආර්ථික කඩා වැටීම තුළ මේ දේපළ වහාම මුදල් බවට පත් කළ නොහැකිය. අනෙක් අතට මේ දේපළ ඒවාහි නියම මිලට විකුණුව ද තැන්පත්කරුවන්ගෙන් ලබාගෙන ඇති මුළු තැන්පතු සඳහා ගෙවීමට ඉන් උපයන ආදායම ප්‍රමාණවත් වන්නේ ද නැත. අවසානයේ ලලිත් කොතලාවල මහතා සෙලාන් බැංකුව සතු කොටසක් විකිණීමට තීරණය කරන ලද්දේ ප්රශ්නය ජයගැනීමට තිබෙන එකම මාර්ගය එය ලෙස සලකා විය හැකිය. එහෙත් ඒ වන විටත් අර්බුදය සෙලින්කෝ නාමය යටතේ තිබෙන මහ බැංකුවේ ලියාපදිංචි කළ හා නොකළ අන්‍ය මූල්‍ය සමාගම් කෙරෙහි පමණක් නොව, සෙලාන් බැංකුව කෙරෙහි ද බලපා තිබුණි.
සෙලාන් බැංකුවේ තැන්පත්කරුවන් තැන්පත් මුදල් ලබා ගැනීම සඳහා පෝලිම් ගැසෙන තත්ත්වයක් ගොඩනැගී තිබුණු අතර, මහ බැංකුව මැදිහත් වී සෙලාන් බැංකුවේ පාලනය වෙනස් කිරීම නිසා සෙලාන් බැංකුව ආරක්ෂා විය හැකි වුවත්, සෙලින්කෝ ව්‍යාපාරය යටතේ තිබෙන අනෙකුත් ව්‍යාපාර කෙරෙහි ඇතිවී තිබෙන අහිතකර බලපෑම ඒ නිසා අවසන් වන්නේ නැත. කවර මාර්ගයකින් හෝ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ අර්බුදය විසඳීමට ලලිත් කොතලාවල මහතා අසමත්වෙතොත්, එම තත්ත්වය මුළු සෙලින්කෝ ව්‍යාපාර පද්ධතිය කෙරෙහිම විනාශකාරී ලෙස බලපෑ හැකිය. එය සෙලින්කෝ ව්‍යාපාරයේ විවිධ තරගකරුවන්ගේ අමන්දානන්දයට හේතුවිය හැකි වුවත්, එවැනි බිඳ වැටීමක් පොදුවේ රටේ යහපතට හේතුවන්නේ නැත. රටේ මූල්‍ය සමාගම් පවතින්නේ රටේ තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල්වලින් වුවත්, ඒ මගින් සමාගම්වලට ලැබී තිබෙන බලය එම සමාගම් විසින් ඉතාමත් නරක ලෙස පාවිච්චි කරන අවස්ථා ද දැකිය හැකිය.
මෙම ලක්ෂණය ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරය තුළ ද නොඅඩුව දක්නට තිබුණි. එම සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස ක්‍රියා කළ කාවන් පෙරේරාගේ මාසික වැටුප සියලු දීමනා එකතු කළ විට රුපියල් ලක්ෂ 65 ක් බව කියනු ලැබේ. ඔහුගේ පරිහරණය සඳහා නවීන සුඛෝපභෝගී වාහන 06 ක් ලබාදී තිබුණු බව ද කියනු ලැබේ. ඔහුගේ ලේකම්ට ලැබී තිබෙන මාසික වැටුප රුපියල් ලක්ෂ පහමාරකි. තැන්පත්කරුවන්ගේ තැන්පතුවලින් උපයන ආදායම්වලින් කිසියම් විශාල කොටසක් පාලකයන් අධි සුඛෝපභෝගී තත්ත්වයක තැබීම සඳහා වියදම් කිරීම මෙම මූල්‍ය සමාගමට පමණක් නොව, බොහෝ මූල්‍ය සමාගම්වල දක්නට ලැබෙන අයහපත් තත්ත්වයකි. දක්ෂ පරිපාලකයන්ට හොඳ වැටුපක් දිය යුතුය. එහෙත් මෙවැනි ගෙවීම් සැලකිය හැක්කේ හොඳ වැටුප් ලෙස නොව අසාධාරණ කප්පම් ලෙසය. සමහර ආයතන සිය නිලධාරීන්ගේ පරිහරණයට දෙන්නේ රුපියල් ලක්ෂ 150 ත් 200 ත් අතර වෙළෙඳ වටිනාකමක් ඇති අධි සුඛෝපභෝගී වාහනය.
එය නාස්තිකාර වියදමක් වන අතර, එය තැන්පත්කරුවන්ගේ තැන්පතු යොදා උපයන ආදායම් අයථා ලෙස පාවිච්චි කිරීමක් ලෙස ද අර්ථ දැක්විය හැකිය. මෙය එක තැනක, දෙතැනක නොව බොහෝ ආයතනවල දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. තැන්පත්කරුවන්ට අධික පොලී ගෙවන ලියාපදිංචි නොකළ මූල්‍ය ව්‍යාපාරවල පැවැත්ම කෙරෙහි කළු සල්ලිවල ව්‍යාප්තිය ද ඍජු ලෙස බලපා තිබේ. අපේ රටේ තැන්පත්කරුවන් සරල ලෙස ප්‍රධාන වර්ග තුනකට බෙදා දැක්විය හැකිය. නීත්‍යනුකූලව උපයා ගත් කිසියම් ධනයක් ඇති, එහෙත් නීත්‍යනුකූල මූල්‍ය ආයතනයක එම ධනය තැන්පත් කිරීමෙන් ලැබෙන පොලිය ජීවත්වීමට ප්‍රමාණවත් නොවන නිසා අධික පොලියක් සොයා ගන්නට බලකෙරෙන තත්ත්වයක සිටින තැන්පත්කරුවන් පළමු ගණයයි. දෙවැනි ගණයට අයත්වන්නේ නීත්‍යනුකූලව විශාල මුදල් ප්‍රමාණයක් උපයා ගත් එහෙත් ඒවාට කරන්නේ කුමක්දැ”යි හරිහැටි නොදන්නා නිසා ඉහළ පොලියක් සොයා යන තැන්පත්කරුවන්ය.
තුන්වැනි ගණය සකස් වී ඇත්තේ නීති විරෝධී ලෙස මුදල් උපයාගත් නීත්‍යනුකූල මූල්‍ය ආයතනවල තැන්පත් කිරීමට බියක් ඇති තැන්පත්කරුවන්ය. ගෝල්ඩන් කී ක්‍රෙඩිට් ව්‍යාපාරයේ තැන්පත්කරුවන් අතර මේ තුන් පිරිසම දැකිය හැකිය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශාල ආදායම් උපයාගෙන ඇති ක්‍රිකට් තරු ගණනාවක්ම එම තැන්පත්කරුවන් අතර සිටිති. ඔවුන් මෙම ආයතනයේ තැන්පත් කර තිබෙන මුදල් ප්‍රමාණය ද විශාලය. එය රුපියල් බිලියන 75 සිට 25 දක්වා අතර වේ. නීති විරෝධී මාර්ගවලින් ධනය උපයා ගත් විශාල පිරිසක් ද තැන්පත්කරුවෝ අතර සිටිති. දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් සිය වත්කම් ප්‍රකාශ කළ යුතුය. එහෙත් සිය ධනය ඇත්තටම ප්‍රකාශ නොකළ රාජ්‍ය නිලධාරීහු හා දේශපාලනඥයෝ කිසියම් විශාල පිරිසක් මෙම තැන්පත්කරුවන් අතර සිටිති. අධිකරණයේ නාමධාරි පුද්ගලයෙකු ද තැන්පත්කරුවන් අතර සිටින අතර, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ජීවිතය අහිමි කරගත් දේශපාලනඥයකුගේ බිරිඳක් ද ඔවුන් අතර සිටිති.
මීට අතිරේකව විශ්‍රාම යෑම වෙනුවෙන් ලැබෙන ප්‍රතිපාදන ආයෝජනය කළ විශාල පිරිසක් ද මේ තැන්පත්කරුවෝ අතර සිටිති. තැන්පත්කරුවන් සිය තැන්පතුවලට උපරිම ආදායමක් බලාපොරොත්තුවීම ස්වාභාවිකය. එහෙත් සාධාරණ ප්‍රතිලාභයකින් තෘප්තිමත් නොවන විට විශාල අලාභ දරන්නට සිදුවිය හැකිය. ඉහළ ලැබීම් සඳහා ඉහළ අවදානමක් ද පවතී. තැන්පත්කරුවන් සැලකිල්ලට නොගන්නේ ද එම සාධකයයි. මෙම අර්බුදය පැතිරෙන්නට ඉඩ නොදී පාලනය කිරීම ආණ්ඩුවේ ද, මහ බැංකුවේ ද, මූල්‍ය ආයතනවල පාලකයන්ගේ ද, තැන්පත්කරුවන්ගේ ද මහජනතාවගේ ද වගකීමය. සෙලාන් බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය ඉවත් කොට ලංකා බැංකුවෙහි අධ්යක්ෂ මණ්ඩලයක් පත් කිරීම සෙලාන් බැංකුව මුහුණ දී තිබෙන අර්බුදයට පිළියමක් වී ඇති බවක් පෙනෙන්නට නැත. තැන්පත්කරුවන්ට කරුණු පැහැදිලි කරදී ඉතාමත් විශේෂ අවස්ථාවකදී හැර තැන්පතුවලට දෙනු ලබන පොලිය හැර තැන්පතු ආපසු ලබාගැනීම තාවකාලිකව අත්හිටුවීම පිණිස ක්‍රියා කළේ නම්, සෙලාන් බැංකුව ආරක්ෂා කරගන්නට හැකිවන්නට ඉඩ තිබුණි.
එහෙත් අධ්යක්ෂ මණ්ඩල පාලනය ලංකා බැංකුවට පැවරීම තැන්පත්කරුවන් දැක්කේ බැංකුව අවුලට පත්වී තිබෙන නිසා ගනු ලබන පියවරක් ලෙසය. තමන්ගේ තැන්පතු අහිමිවීම වළකා ගැනීම සඳහා බැංකුවෙන් තමන්ගේ තැන්පතු ආපසු ලබාගන්නා පිළිවෙතක් තැන්පත්කරුවෝ අනුගමනය කළෝය. මේ තත්ත්වය තවදුරටත් වෙනත් බැංකුවලට ද පැතිරී යෑම වළකා ගැනීම සඳහා ප්‍රඥාවන්ත ලෙස ක්‍රියා කිරීම මහ බැංකුවේ වගකීමකි. මහජනතාව අතර මහ බැංකුව කෙරෙහි ද විවේචනයක් ඇති බව මහ බැංකුව අමතක නොකළ යුතුය. සක්විති රණසිංහ වැනි පුද්ගලයන්ට සිය බොරුව නිදහසේ ඉදිරියට ගෙනයෑමට ඉඩ හැරියේ ඇයිද යන්න මහජනතාව නගන ප්රශ්නයකි. ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ ද මහ බැංකුවේ අනුමැතිය නැතිවය. මහ බැංකු නීතිවල ඇති දුර්වලතා ඒ තත්ත්වය කෙරෙහි බලපෑවා විය හැකි වුවත්, මහජනයා එම තත්ත්වය දකින්නේ මහ බැංකුව සිය වගකීම් පැහැර හැරීමක් ලෙසය.
මහ බැංකුව කෙරෙහි මහජන විශ්වාසයක් නැතිවූ විට මහ බැංකුව මෙවැනි අර්බුදයක් පාලනය කිරීම සඳහා අනුගමනය කරන ප්රතිපත්තීන් ද මහජනයාගේ විශ්වාසයට හේතුවන්නේ නැත. ඉතා වැදගත් දේ මහජනයාට මෙම ආරාවුල කියාදීමය. මොනයම් හේතුවක් නිසා හෝ සියලු තැන්පත්කරුවන් තමන්ගේ තැන්පතු ඉල්ලා සිටින තත්ත්වයකට ගියහොත් තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පත් අහිමිවනවා පමණක් නොව, බැංකු ක්‍රමය ද කඩා වැටී මුළු ආර්ථිකය ද අවුල් ජාලාවක් බවට පත්වන්නේය. එවැනි තත්ත්වයක් ඇතිවීම වැළකීමට අනුගමනය කළ හැකි හොඳම ප්‍රතිපත්තිය මහජනයාට කරුණු කියාදීම හා මහජනයාට සිය තැන්පතු ආපසු ලබාගැනීමට තිබෙන හැකියාව තාවකාලික ලෙස පාලනය කරන විධි විධාන ඇති කිරීමය.
Editor’s Note
The article states that cricketers’ deposits in Golden Key ranged from 75 billion down to 25 billion rupees; that range exceeds the 25 billion given as the total of all deposits and appears to be an error in the original, most likely for millions.
Ivan refers to depositors he does not name — an eminent figure in the judiciary, and the widow of a politician killed in a terrorist attack. Golden Key Credit Card Company collapsed in December 2008; Lalith Kotelawala was later convicted and the case remained before the courts for years afterwards.