පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ආණ්ඩු ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ඇති කිරීමට තිබෙන අභිලාෂය ජනාධිපතිවරයා වෙතින් සේ ම ආණ්ඩුව වෙතින් ද ප්‍රකාශවෙමින් තිබේ. පාර්ලිමේන්තු මැතිවරණයටත් වඩා රටේ ජනතාවගේ බැරෑරුම් අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ එම විෂය කෙරෙහිය. විරුද්ධ පක්ෂ සන්ධානය පසුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩු ක්‍රමයේ වෙනසක් සඳහා පෙනී සිටියේය. ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු වෙනසක් ඇති කරන බව ප්‍රකාශ කළේය. ආණ්ඩු ක්‍රමයේ වෙනසක් සඳහා මුලපිරිය හැක්කේ බලයේ සිටින පක්ෂයටය. විරුද්ධ පක්ෂයට ඒ ක්‍රියාවලියේ ප්‍රබල කොටස්කරුවකු බවට පත්විය හැකිය. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුවත් ජනාධිපතිවරයා තවදුරටත් ආණ්ඩු ක්‍රමයේ ඇති කරන වෙනසක් ගැන කතා කරමින් සිටියද විරුද්ධ පක්ෂය දැන් ඒ ගැන කතා කිරීම අත්හැර තිබෙන බව පෙනෙන්නට තිබේ. එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.
ඔවුන් අතද ආණ්ඩු ක්‍රමයේ ඇති කළ යුතු වෙනස්කම් සඳහා යෝජනා පොදියක් තිබිය යුතුය. ආණ්ඩු පක්ෂ නායකයන් ආණ්ඩු ක්‍රමයේ වෙනසක් සඳහා තමන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. දැන් රටේ තිබෙන දේශපාලන වටාපිටාව යටතේ තුනෙන් දෙකක බලයක් කෙසේ වෙතත් තුනෙන් දෙකකට ආසන්න බලයක් සන්ධානයට ලැබෙනු ඇතත්, ආණ්ඩු ක්‍රමයේ වෙනසක් සඳහා ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් අත්‍යවශ්‍ය වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන්නෙහි තේරුම නිශ්චිත දේශපාලන ක්‍රමයක් සඳහා ඇති කරගන්නා සමාජ ගිවිසුමකි. කොතරම් විශාල බහුතර බලයක් තිබුණත් එක දේශපාලන පක්ෂයක් මුළු මහත් සමාජයම නියෝජනය නොකරයි. අපේ රටේ දේශපාලන සමාජය සකස් වී ඇත්තේ ශ්‍රීලනිප, එක්සත් ජාතික පක්ෂය, ජවිපෙ, දෙමළ සන්ධානය, හෙළ උරුමය ඇතුළු තවත් විවිධ දේශපාලන ප්‍රවණතා රාශියක් එකට එකතුවීමෙනි.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා ගතයුත්තේ ඒ සියලුදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් පොදු සමාජ ගිවිසුම ගොඩනගන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමෙනි. ආණ්ඩුක්‍රම සම්පාදන විෂයෙහි අපේ ඉතිහාසය කීර්තිමත් එකක් නොවන බවද කිවයුතුය. නිදහසින් පසු අපි මෙතෙක් ඇති කරගෙන තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගණන තුනකි. දැන් අතගසන්නට යන්නේ හතරවැන්නටය. සාමාන්‍යයෙන් රටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගන්නේ අවුරුදු සිය ගණනක් පවතින්නට මිස අවුරුදු 05ක් 10ක් හෝ 20ක් පවතින්නට නොවේ. ලෝකයේ පුංචිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේ ඇමරිකාවටය. අවුරුදු 200කට වැඩි කාලයක් ගෙවී ඇතත්, තාමත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇමරිකාවට එපාවී නැත. ලෝකයේ ලොකුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේ ඉන්දියාවටය. නිදහසින් පසු ඇති කරගත් එම ව්‍යවස්ථාව ද තාමත් ඉන්දියාවට එපාවී නැති අතර ඉන්දියාව කලින් කල මුහුණදෙන අභියෝග ජයගැනීමට එම ව්‍යවස්ථාව හේතුවී තිබෙන බව පොදු පිළිගැනීම වී තිබේ.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සම්පාදනය මෙතෙක් අසාර්ථක දෙයක් බවට පත්ව තිබෙන්නේ එය හැමවිටම බලයේ සිටින පාලක පක්ෂය ප්‍රතිපක්ෂ බැහැර කොට රටේ වුවමනාවන්ට වඩා ඔවුන්ගේ පටු දේශපාලන වුවමනාවන්ට මුල්තැන දෙමින් හා කඩිමුඩියේ කෙරෙන දෙයක් බවට පත්කර ගැනීම නිසාය. 70දී බලයේ සිටි සිරිමා බණ්ඩාරනායක තමන්ට තිබුණු තුනෙන් දෙකේ බලය උපයෝගී කරගනිමින් ප්‍රතිපක්ෂ නොසලකා තමන් කැමති ව්‍යවස්ථාවක් ඇති කරගත්තේය. ඉන්පසු 77දී බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන ද තමන්ට තිබුණු හයෙන් පහේ බලය මත පිහිටා ප්‍රතිපක්ෂ නොසලකා තමන්ට හා තම පක්ෂයට දීර්ඝ කාලයක් බලයේ සිටිය හැකි හා ලේසියෙන් වෙනස් කළ හෝ අවලංගු කළ නොහැකි ව්‍යවස්ථාවක් හදා ගත්තේය. නිදහසත් සමග නිදහස දිනාගත් පක්ෂය වශයෙන් ඉන්දියානු කොංග්‍රසයට අතිවිශාල පාර්ලිමේන්තු බලයක් ලැබුණද ශ්‍රීමත් නේරු තම පක්ෂයට තිබූ අතිවිශාල බලය මත පදනම් වී තමන්ගේ වුවමනාවන්ට ගැළපෙන ලෙස හිතුවක්කාරී ලෙස ව්‍යවස්ථාවක් තනාගන්නා තැනකට ගියේ නැත.
ඒ වෙනුවට රටේ එදා වුවමනාවන්ට හා අනාගත වුවමනාවන්ට මුල්තැන දෙමින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගත යුතු සියලුදෙනා සම්බන්ධ කරමින් ප්‍රශස්ත ව්‍යවස්ථාවක් ඇතිකර ගත්තේය. උණුසුම් වාද විවාද මැද ව්‍යවස්ථාව සම්පාදනය කරගැනීමේ ක්‍රියාවලියට පමණක් ගතවූ කාලය අවුරුදු තුනහමාරකි. අතීතයේදී ඩී.ඇස්. සේනානායක විසින්, සිරිමා බණ්ඩාරනායක විසින් හෝ ජේ.ආර්. ජයවර්ධන විසින් ව්‍යවස්ථා සම්පාදනයේදී කරන ලද මූලික වරද ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් සිදු නොවිය යුතුය. ඔහු නායකත්වය දිය යුත්තේ වසර කිහිපයකට පසුව බහුබූත ව්‍යවස්ථාවක් ලෙස සලකා මහජනතාවගේ ගැරහීමට ලක්වන ව්‍යවස්ථාවක් නිර්මාණය කරන ක්‍රියාවලියකට නොව, වර්තමානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ පමණක් නොව, මතු අනාගතයේ උපදින ශ්‍රී ලාංකිකයන්ගේද විශ්වාසයට හා ගෞරවයට හේතුවන ව්‍යවස්ථාවක් නිර්මාණය කරන ක්‍රියාවලියකටය.
Editor’s Note
The 1978 constitution was enacted under J.R. Jayewardene’s government, which held a five-sixths parliamentary majority following the 1977 election; Ivan describes this majority accurately but the constitution itself dates from 1978.