වේගවත් ඉදිරිගමනක් සඳහා දූෂණයට වැට බැඳිය යුතුය

March 21, 2010
Publication:
Sri Lanka can only move quickly after the war if it reforms the political and institutional obstacles in its way, and cutting the cabinet to thirty-five is a start. Ivan attacks a convention he traces to J.R. Jayewardene: letting ministers and office-holders enrich themselves from the transactions of the ministries beneath them, which drains the treasury and turns politics from a matter of honour into a squalid way of making money. He questions the privileges — two vehicle permits for a six-year term when one car easily lasts six years, permits for officials who already have official cars, ministers running fleets, backup vehicles for bodyguards now the war is over. Corruption is not confined to politics: Customs collects perhaps a quarter of what it should, and Inland Revenue, Motor Traffic and Excise are no different. Information technology could triple that revenue at modest cost.

රට තුළ කල්පවත්නා බිහිසුණු ත්‍රස්තවාදයක් පැල පදියම් වී තිබීම රටක් වශයෙන් අප මුහුණ දී තිබුණු ලොකුම අභියෝගයක් ලෙස සැලකිය හැකිය. ඒ අභියෝග ජය ගැනීමෙන් පසු වේගවත් ඉදිරි ගමනක් දිනා ගැනීමට රටක් වශයෙන් ශ්‍රී ලංකාව සමත්වනු ඇත්තේ තිබෙන දේශපාලන ක්‍රමය හා ආයතන ක්‍රමය විසින් ඇති කර තිබෙන බාධාද ජයගත හැකි ආකාරයට පුළුල් ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් වෙත රට යොමු වන්නේ නම් පමණය. කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය තිස් පහක් දක්වා අඩු කිරීමට ජනාධිපතිවරයා ගෙන තිබෙන තීරණය වැදගත් ආරම්භයක් ලෙස සැලකිය හැකිය. ඒ සමග දේශපාලනයෙන් අයථා ලෙස වස්තුව හරි හම්බ කර ගැනීමට මෙම දේශපාලන ක්‍රමයන් ලැබී තිබෙන ඉඩ කඩද මුළුමනින්ම ඇහිරිය යුතුය. මෙය විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කරන ලද ඉතාමත් නරක දේශපාලන සම්ප්‍රදායක් ලෙස සැලකිය හැකිය.

ඇමති තනතුරු දරන්නන්ට සේම දේශපාලන තනතුරු දරන්නන්ටද තමන් යටතේ තිබෙන අමාත්‍යාංශ හා ආයතනවල අභ්‍යන්තර ගනුදෙනුවලින් අයථා ලෙස වස්තුව උපයා ගැනීමට ඉඩ ලබා දෙන සම්ප්‍රදායක් ඇති කර කරන ලදුව එම සම්ප්‍රදාය ශක්තිමත් ලෙස මුල් බැස එය අද දක්වා කි්‍රයාත්මක වන සම්ප්‍රදායක් බවට පත්වී තිබේ. මෙම ක්‍රමය රටේ භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් හීනකොට රාජ්‍ය මට්ටමෙන් සිදුවන දේශපාලන දූෂණයේ වේගවත් වර්ධනයක් ඇති කිරීමට හේතුවී තිබේ. දේශපාලකයන් නම්බුව, ගෞරවය හෝ මහජන යහපත පිණිස කරන දේශපාලනයෙන් ඉවත් වී දේශපාලනය වස්තුව උපයන කැත මාර්ගයක් බවට පත්වුණේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඔවුන් අතරිත් පත්වන නිල දරන්නන් සඳහා විවිධ වරප්‍රසාද සහිත වැටුප් ක්‍රමයක් කි්‍රයාත්මක වේ. ඊට අතිරේකව භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම් ඔවුන්ගේ සාක්කුවලට ගලායන ක්‍රමයකට ඉඩ දිය යුතු නැත.

ඔවුන්ට ලබා දෙන සමහර වරප්‍රසාද පවා නැවත සලකා බලන තැනකට යායුතුය. පාර්ලිමේන්තු මන්තී්‍රවරයකුගේ නිල කාලය අවුරුදු හයකි. එම නිලකාලය සඳහා වන වාහන බලපත්‍රයක් මිස දෙකක් දීම තේරුමක් නැති කි්‍රයාවකි. ඔවුන්ට එම බලපත්‍ර ක්‍රමය යටතේ ඉතාමත් සහන මිලකට ලබාදෙන අලුත්ම අලුත් වාහනය පහසුවෙන්ම අවුරුදු හයක් පාවිච්චි කළ හැකිය. අවුරුදු 5ක කාලයෙන් පසු තවත් වාහන බලපත්‍රයක් ලබා දෙන්නේ ඔවුන්ට අතිරේක ලොකු ආදායමක් ලබා දීමේ අරමුණින් මිස ලැබෙන පළමු වාහනය අවුරුදු 06ක කාලයක් පාවිච්චි කිරීමට බැරි නිසා නොවේ. දේශපාලනඥයන් සඳහා පමණක් නොව රාජ්‍ය නිලධාරින් සඳහා වාහන බලපත්‍ර ලබා දෙන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතුය. රාජකාරී කටයුතු සඳහා රජයේ නිල වාහන ලැබෙන නිලධාරීන්ට අවුරුදු පහකට වරක් වාහන බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් සාධාරණ විය නොහැකිය. එක්කෝ බලපත්‍ර ලබා දෙන අයට නිලවාහන නොදෙන ඒ වෙනුවට ඔහුගේ වාහනයට කුලියක් ගෙවන ක්‍රමයක් ඇති කළ හැකිය.

නැතිනම් නිලවාහන පාවිච්චි කිරීමේ අයිතිය ඇති අයට බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දිය යුත්තේ විශ්‍රාම යන අවස්ථාවේදීය. ඇමතිවරයකුටද එක වාහනයක් වෙනුවට වාහන විශාල ගණනාවක් පාවිච්චි කරන සම්ප්‍රදායක් ගොඩනැගී තිබේ. ඒ වැරදි සම්ප්‍රදාය නැති කළ යුතුය. තවදුරටත් ආරක්ෂාව පිළිබඳ ඇත්ත ප්‍රශ්නයක් තිබෙන දේශපාලනඥයින් කිහිප දෙනාට හැර අන් ඇමතිවරුන්ට ආරක්ෂකයින් සමග බැකප් වාහන දෙන පිළිවෙතද අහෝසි කළ යුතුය. දැන් යුද්ධයක් නැත. විශේෂ ආරක්ෂක විධිවිධාන නැතිව ගමන් බිමන් කරන තැනකට ඔවුන් මාරුවිය යුතුය. දූෂණය දේශපාලනයට පමණක් සීමාවී නැත. විශාල ලෙස බදු ආදායම් උපයන සෑම රාජ්‍ය ආයතනයක් තුළම පාහේ දූෂණය රජකරන නරක තත්ත්වයක් පවතී. රේගුවෙන් රජයට ලැබෙන බදු ආදායම රජයට ලැබිය යුතු ඇත්ත බදු ආදායමෙන් 25%ක් වත් නොවන තරම්ය. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ වාහන ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි රජයට බදු ආදායම් උපයා දෙන හැම වැදගත් රාජ්‍ය ආයතනයකම පවත්නා තත්ත්වය ඊට වෙනස් වන්නේ නැත.

දැන් අප ජීවත්වන්නේ තොරතුරු තාක්ෂණය රජයන යුගයකය. මෙම ආයතනවල පවත්නා දූෂණය අවම කිරීමට ඵලදායි ලෙස තොරතුරු තාක්ෂණය යොදා ගන්නා වැඩ පිළිවෙළක් සඳහා ඔරොත්තු නොදෙන තරම් විශාල වියදමක් යන්නේ නැත. එවැනි ක්‍රියාකාරී වැඩ සටහනකින් පමණක් මෙම ආයතනවලින් භාණ්ඩාගාරයට ලැබෙන ආදායම තුන් ගුණයකින් පමණ ඉහළ දැමිය හැකිය. ඒ මගින් අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, විදුලිය, ප්‍රවාහනය, මහා මාර්ග වැනි අංශවලට කෙරෙන ආයෝජනයන් දෙගුණ තෙගුණ කළ හැකිය. වත්කම් බැරකම් නීතිය විධිමත් කොට අකුරටම කි්‍රයාත්මක වන තත්ත්වයක් ඇති කිරීමෙන් පමණක් දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් අතර ඇති දූෂණයට ඇති බය නැත්තට නැති කළ හැකිය.