පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු

March 14, 2010
Publication:
With the opposition's enthusiasm spent and its forces fighting the parliamentary election separately, Ivan expects the government to take 130 to 135 seats. He argues this is the historic moment for constitutional reform, and that it will only command respect if the opposition is brought in rather than bypassed by buying UNP members across. His programme: a mixed German-style electoral system, internal democracy in parties, publication of asset declarations on a website for continuous public scrutiny, the information act Milinda Moragoda has proposed, and opening parliamentary committees to the press. On devolution he proposes abandoning the province as the universal unit — keeping it only for the North, where the Tamil majority is overwhelming, and using the district everywhere else, with village councils on the Indian panchayat model beneath. He notes the President won 58 votes in every hundred and his opponent 40, and that reform must include the 40.

ජනාධිපතිවරණයේදී විපක්ෂය කෙරෙහි පළවූ උද්යෝගය දැන් තිබෙන්නේ වාෂ්ප වී ගිය තත්ත්වයකය. ජනාධිපතිවරණයකින් ලැබෙන පරාජයකින් පසු එසේවීම ද ස්වාභාවිකය. ජනාධිපතිවරණයේදී සියලු විරුද්ධ පක්ෂ බලවේගයන් එකට එකතු වී සටන් කරන තත්ත්වයක සිටියද දැන් ඔවුන් පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදෙමින් සිටින්නේ වෙන්ව තනි තනිව සටන් කරන තත්ත්වයකය. ජෙනරාල් ෆොන්සේකාගේ දායකත්වය විසින් විරුද්ධ පක්ෂ බලවේගයන්ට ලබාදී තිබුණු ආස්වාදජනක තත්ත්වය දැන් තිබෙන්නේ මුළුමනින් මිලාන වී ගිය තත්ත්වයකය. ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම නිසා ඇතිවී තිබූ උද්වේගකර තත්ත්වයද දැන් බොහෝදුරට සාමාන්‍ය අතට හැරී පවතී. දූෂණයෙන් තොර අවංක පුද්ගලයකු වශයෙන් ජෙනරාල් ෆොන්සේකාට ලැබී තිබුණු පරමාදර්ශී පිළිගැනීමද බොහෝදුරට බිඳ වැටී තිබේ. මොන මොන ප්‍රශ්න තිබුණද ජෙනරාල් එජා පෙරමුණෙන් තරග කළේ නම් අඩුම වශයෙන් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වීම නොවැළැක්විය හැකිවන්නට ඉඩ තිබුණි.

මොන මොන හේතු නිසා හෝ ඔහු තරග කරන්නේ එක්සත් ජාතික පෙරමුණෙන් නොව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙනි. පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සමත් වුවහොත් ඒ ඔහුගේ වාසනාවකි. එසේ නොවෙතොත් එය ජෙනරාල්ගේ දේශපාලන අවසානය ලෙස සැලකිය හැකිය. මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂයට ආසන 130ත් 135ත් අතර ප්‍රමාණයකුත්, විරුද්ධ පක්ෂයට ආසන 90-95 අතර ප්‍රමාණයකුත් ලැබෙනු ඇතැ”යි උපකල්පනය කළ හැකිය. එහෙත් විරුද්ධ පක්ෂය සිටින දුර්වල තත්ත්වය දෙස බලන විට ආණ්ඩු පක්ෂයට ලැබෙන පංගුව මීට වඩා ලොකුවීමටද ඉඩ තිබේ. විරුද්ධ පක්ෂයේ ආධාරකරුවන් ජනාධිපතිවරණයේදී ජීවත් වූයේ සිහින ලෝකයකය. වෙනසක් සඳහා ඇති කරගත් විශාල බලාපොරොත්තු වෙනුවෙන් ඔවුහු සිය උද්යෝගය උපරිම මට්ටමින් වැය කළෝය. එහෙත් ඇති කරගෙන තිබුණු සුන්දර සිහිනය බොරු කරමින් ලැබෙන ප්‍රතිඵලය පරාජයක් වූ විට පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මුදාහැරීමට තරම් උද්යෝගයක් ඉතිරි වී නැති පිරිසක් බවට ඔවුහු පත්වූහ.

මැතිවරණ දෙකක් ළඟ ළඟ පැවැත්වීමට නියමිතව තිබෙන අවස්ථාවක සිය ආධාරකරුවන් සිහින ලෝකයකට ඇදගෙන යන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට ලැබෙන්නට නියමිත ප්‍රතිඵලය කල්තියා දකින තැනක ඔවුන් තබා ගත්තේ නම් පළමු පරාජයෙන් පසුත් දෙවැනි මැතිවරණය සඳහා වැඩි උද්යෝගයකින් ක්‍රියාකරන තත්ත්වයක් ඇතිකර ගතහැකි වන්නට ඉඩ තිබුණි. එහෙත් ඒ වෙනුවට දැන් සිදුවී තිබෙන්නේ ඇති කරගෙන සිටි ලොකු බලාපොරොත්තු බිඳ වැටී තිබෙන තත්ත්වයක් තුළ සියලු බලාපොරොත්තු අත්හළ අනුද්යෝගීමත් තත්ත්වයකට ඔවුන් පත්ව සිටීමය. ජවිපෙ පත්ව සිටින්නේ 1994න් එළැඹෙන ඔවුන්ගේ නව දේශපාලන යුගය තුළ ඔවුන්ට තිබෙන මහජන පිළිගැනීම විශාලම ප්‍රමාණයකට අහිමි කරගත් අවාසනාවන්ත අවස්ථාවකටය. ජවිපෙට ලැබෙන පංගුව ඉතා කුඩා වනු නොවැළැක්විය හැකිය. ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය මුළුමනින් අහිමි වන තත්ත්වයක් පවා ඇතිවිය හැකි අනතුරක් ඔවුන් ඉදිරියේ පවතී.

එහෙත් එවැනි තත්ත්වයක් රටේ යහපතට හේතුවන්නේ නැත. 2004දී හිමිවූයේ කෘත්‍රිම තත්ත්වයකි. ජාතික හෙළ උරුමය සම්බන්ධයෙන් පැවති තත්ත්වයද එයමය. ඔවුන්ගේ කෘත්‍රිම නියෝජනය යථාර්ථවාදී වීමක් සිදුවීම අවශ්‍ය වුවත් මුළුමනින් අතුගෑවී යන තත්ත්වයක් රටේ යහපතට හේතුවන්නේ නැත.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

දැන් රට ගමන් කරමින් තිබෙන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇති කරගත යුතු ඓතිහාසික අවස්ථාවක් වෙතය. තනි බලයෙන් කෙරෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට වඩා රටේ යහපතට හේතුවනු ඇත්තේ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය රටේ ජනතාවද ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගනිමින් අන්‍යොන්‍ය අවබෝධයෙන් කෙරෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකි. ජනාධිපතිවරයාත්, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාත් පාර්ලිමේන්තුවට සුළු ජාතීන් වෙනුවෙන් තේරී පත්වන නායකයනුත් අන්‍යොන්‍ය අවබෝධයෙන් හා විශ්වාසයෙන් යුතුව රටේ ඉදිරි ගමනට ඉවහල් වන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇතිකර ගන්නා තැනකට යන්නේ නම් එය රටට අලුත් යුගයක් ආරම්භ කිරීමට දැමෙන හොඳ අත්තිවාරමක් වනු නොඅනුමානය. එක්කෝ තිබෙන ජනාධිපති ක්‍රමය විධිමත් කරගත යුතුය. නැතිනම් පොදු එකඟතාවකින් යුතුව රටට සුදුසු වෙනත් දේශපාලන ක්‍රමයකට මාරුවිය යුතුය.

තිබෙන මැතිවරණ ක්‍රමය සේ ම මැතිවරණ නීතිද වෙනස්විය යුතුය. ඡන්ද කොට්ඨාස ක්‍රම අනුව අඩක්ද, අනුපාතික ක්‍රමයෙන් ඉතිරි අඩ ද ව්‍යවස්ථාදායකයට මන්ත්‍රීවරුන් තේරී පත්වන ආකාරයට ජර්මනියේ පවතින ක්‍රමයට සමාන ක්‍රමයක් ඇති කරගත හැකිය. එහෙත් එවැනි ක්‍රමයක් සඳහා පක්ෂ ක්‍රමය වෙනස් විය යුතුය. පක්ෂ ක්‍රමය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහිත පක්ෂ ක්‍රමයක් බවට හරවන නීතිරීති ඇති කළ යුතුය. පක්ෂ අරමුදල් හා මැතිවරණ වියදම් සඳහා නව නීති රීති ඇති කළ යුතුය. දේශපාලන ක්‍රමය සඳහා තෝරා ගන්නා මාදිලිය කුමක් වුවත්, දූෂණය අවම කරන තැනකට රට යායුතුය. 1977දී ඇති කළ දේශපාලන ක්‍රමය යටතේ බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම තනතුරු ලබන දේශපාලකයන්ට තමන් හොබවන තනතුරුවලින් අයථා ලෙස ධනය උපයා ගැනීමට ඉඩ දුන්නේය. මහා භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම් විශාල ප්‍රමාණයකින් හීන කොට මුළු මහත් ආයතන ක්‍රමයම දූෂණයෙන් කුණුවී මජර ගලන තත්ත්වයක් ඇති කිරීමට එම තත්ත්වය හේතුවිය.

මහජනයා මත අනවශ්‍ය තරම් බදුබර පටවන තත්ත්වයකට නොගොස් රජය විසින් පවත්වාගෙන යන මහජන සේවාවන් ඵලදායී හා කාර්යක්ෂම තත්ත්වයකින් පවත්වාගෙන යෑමට හා ඒවා නවීකරණය සඳහා අවශ්‍ය අතිරේක වියදම් සොයාගත හැකිවනු ඇත්තේ දූෂණය අවම කරන තැනකට යෑමෙන් පමණය.

වත්කම් බැරකම් නීතිය

වත්කම් බැරකම් නීතිය විධිමත් කොට එය අකුරටම ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමෙන් පමණක් දේශපාලකයන් හා නිලධාරීන් අතර දූෂණයට ඇති බය නැතිකම බොහෝ දුරකට නැති කළ හැකිය. වත්කම් බැරකම් නීතිය විධිමත් කළ යුතුවා සේ ම වත්කම් බැරකම් ප්‍රකාශන සඳහා යොදා ගැනෙන පෝරමයද විධිමත් කළ යුතුය. මෙම නීතියේ අරමුණ වගකිවයුතු පුද්ගලයන්ගේ වත්කම් බැරකම් පිළිබඳ විස්තර ඔවුන් ලවා ප්‍රකාශ කරවා ගැනීම පමණක් නොව, එසේ ලබාදෙන තොරතුරු පරීක්ෂා කිරීමේ බලය මහජනයාට ලබාදීමය. මෙම නීතිය සංශෝධනය කෙරෙන කාලවකවානුවේදී අන්තර්ජාල පහසුකම් කියා දෙයක් නොතිබුණි. වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට නීතියෙන් බැඳී සිටින පුද්ගලයකුගේ වත්කම් බැරකම් පරීක්ෂා කිරීමට අවශ්‍ය පුද්ගලයකුට ඒ සඳහා නියමිත ගාස්තුවක් ගෙවා වත්කම් බැරකම් ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට හැකිවන ආකාරයට ප්‍රතිපාදනයක් ඇති කර තිබෙන්නේ ඒ සඳහා යොදාගත හැකි අන් ප්‍රශස්ත ක්‍රමයක් එකල නොතිබුණු නිසාය.

එහෙත් දැන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට නීතියෙන් බැඳී සිටින සියලුදෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඒ සඳහාම පවත්වාගෙන යන වෙබ් අඩවියකට යොමු කිරීමෙන් එවැනි අයගේ වත්කම් බැරකම් ප්‍රකාශන මහජනයාගේ නිරන්තර පරීක්ෂාවට ලක් කරන තත්ත්වයක් ඇති කළ හැකිය. ලිඛිත වත්කම් බැරකම් ප්‍රකාශනය සමග එහි ඉලෙක්ට්‍රොනික් පිටපතක්ද ලබාදීමට බලකෙරෙන නීති ඇති කිරීම මගින් වත්කම් බැරකම් ප්‍රකාශන වෙබ් අඩවි මගින් ප්‍රසිද්ධ කිරීමේ ක්‍රියාවලිය රජය මගින් දරන විශාල වියදමකින් තොරව පහසුවෙන් කළහැකි ක්‍රියාවලියක් බවට පත්කළ හැකිය. වත්කම් බැරකම් ප්‍රකාශ අන්තර්ජාලයට යවන ක්‍රමයක් ඇති කරන්නේ නම්, ඒ නිසා ඔවුන් කරනු ලබන ප්‍රකාශ නිරන්තර මහජන පරීක්ෂාවට ලක්වන තත්ත්වයක් ඉදිරියේ, වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින පුද්ගලයන්ද වඩා අවංක ලෙස ඒ තොරතුරු ලබාදෙන තත්ත්වයක් ඇතිවිය හැකිය.

තොරතුරු පනත

මහජනයාට තොරතුරු ලබාගැනීමේ අයිතිය ලබාදෙන තොරතුරු පනතක් නීතිගත කිරීම මගින් ආණ්ඩුවේ සියලු ගනුදෙනු පාරදෘශ්‍ය තත්ත්වයකට ගෙන ආ හැකිය. අධිකරණ ඇමති මිලින්ද මොරගොඩ මහතා තොරතුරු පනතක අවශ්‍යතාව අවධාරණය කිරීම හා ඇමතිවරයා ඉදිරිපත් කළ තොරතුරු පනත නීතිගත කිරීමට ජනාධිපතිවරයා සිය එකඟත්වය පළකිරීම මෙම විෂයෙහිලා මේ මොහොතේ දක්නට තිබෙන සාධනීය තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. මෙම යෝජිත පනත අනුව ජාතික ආරක්ෂාවට බලපාන කාරණාවලදී හැර ඕනෑම රාජ්‍ය ආයතනයක සිදුවන ගනුදෙනුවල හා ක්‍රියාකාරීත්වයට අදාළ තොරතුරු ලබාගැනීමේ අයිතිය සියලු පුරවැසියන්ට හිමිවන්නේය. මීට අතිරේකව ආණ්ඩුව සැලසුම් කර තිබෙන ව්‍යාපෘතිවලට අදාළ සියලු තොරතුරු එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මාස තුනකට පෙර මහජනයාගේ දැනගැනීම සඳහා ආණ්ඩුව ප්‍රසිද්ධ කළ යුතුය. මේ සඳහා තොරතුරු ලබාගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන කොමිෂන් සභාවක් ආණ්ඩුව පිහිටුවිය යුතුය.

එම කොමිෂන් සභාව ගෞරවයට හේතුවන පුද්ගලයන් තිදෙනකුගෙන් සමන්විත වනු ඇති අතර තොරතුරු පනතේ එන විධිවිධානවලට අනුකූලව රාජ්‍ය ආයතන ක්‍රියාකරන්නේද යන්න සොයා බැලීමේ වගකීම පැවරෙනු ඇත්තේ එම කොමිෂන් සභාවටය. අර්ථවත් තොරතුරු පනතක් නීතිගත කිරීමෙන් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය පාරදෘශ්‍ය තත්ත්වයකට පත්කළ හැකි අතර ඒ මගින් රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණය ද අවම කළ හැකිය. තොරතුරු ලබාගැනීමේ අයිතිය නීතිගත කර තිබෙන රටවල් සංඛ්‍යාව 100කට වැඩිවන අතර අසල්වැසි ඉන්දියාව පමණක් තොරතුරු පනතක් නීතිගත කිරීමෙන් රටක් වශයෙන් ලබාගෙන තිබෙන ප්‍රතිලාභවල වටිනාකම ඉතා විශාලය. ඉන්දියාවේ රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක කරන හැම ව්‍යාපෘතියකම විස්තරාත්මක තොරතුරු මහජනයා අතට පත් කරන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. නිදර්ශනයක් වශයෙන් ගමක පාරක තාර දැමීමට මුදල් වෙන් කරන අවස්ථාවකදී ඒ සඳහා වෙන් කර තිබෙන මුදල, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගෙන තිබෙන ආයතනය හෝ සමාගම පිළිබඳ විස්තරය, තාර දැමීමේ ක්‍රියාවලිය සිදුවිය යුතු ආකාරය පිළිබඳ කාර්මික විස්තරය තාර දමන ගමේ ප්‍රසිද්ධ දැන්වීම් පුවරුවක හෝ පුවරු කිහිපයක ප්‍රසිද්ධ කරනු ලැබේ.

ඒ මගින් ගමේ තාර දැමීමේ ක්‍රියාවලිය පරීක්ෂාවට ලක්කිරීමේ අයිතිය එම ගම්වැසියන්ට ලැබෙන්නේය. මෙම ක්‍රමය ග්‍රාමීය ව්‍යාපෘතිවල දූෂණය අවම කොට ගුණාත්මකභාවය ඉහළ දැමීමට හේතුවී තිබේ.

කාරක සභාවල දොරටු ජනමාධ්‍යවලට විවෘත කිරීම

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවල හා උපදේශක කාරක සභාවල දොරටු ජනමාධ්‍යවේදීන් සඳහා විවෘත කරන ප්‍රතිපත්ති රාජ්‍ය ආයතනවල ඵලදායී ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට හා ඒවාහි පාරදෘශ්‍යභාවය සහතික කිරීමට හේතුවේ. රාජ්‍ය පාලනයට අදාළ වැදගත්ම සංවාද සිදුවන්නේ පාර්ලිමේන්තුවේ මහා සභා රැස්වීම්වලදී නොව කාරක සභා හා උපදේශක කාරක සභා මට්ටමෙන් සිදුවන සංවාදවලදීය. මේ වන විට ලෝකයේ බොහොමයක් රටවල පාර්ලිමේන්තු කාරක සභාවල දොරටු ජනමාධ්‍යවලට විවෘත කර ඇතත්, අපේ රටේ තවමත් පාර්ලිමේන්තු කාරක සභාවල දොරටු ජනමාධ්‍යවලට විවෘත කර නැත. ඒවා විවෘත කරගැනීමේ උනන්දුවක් හෝ අවබෝධයක් ජනමාධ්‍ය සංවිධානවලට පවා තිබෙන බවක්ද පෙනෙන්නට නැත. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිගත හැකි ප්‍රශස්ත මට්ටමක නොපවතී. හැම අමාත්‍යාංශයක් සඳහාම උපදේශක කාරක සභා ක්‍රමයක් පවතින අතර එම උපදේශන කාරක සභාවල සාමාජිකයන් ලෙස ක්‍රියා කරන ආණ්ඩු පක්ෂයට හෝ විරුද්ධ පක්ෂයට අයත් මන්ත්‍රීවරුන්ට එම අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය සේ ම ඕනෑම ගනුදෙනුවක් පරීක්ෂා කිරීමේ හා අවශ්‍ය රාජ්‍ය නිලධාරීන් කාරක සභාව ඉදිරියට ගෙන්වා ප්‍රශ්න කිරීමේ බලය තිබේ.

මීට අතිරේකව රාජ්‍ය ආයතනවල ගිණුම් පරීක්ෂා කිරීම සඳහා ගිණුම් කාරක සභාවක් සේ ම පොදුවේ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා රාජ්‍ය ව්‍යාපාර කාරක සභාවක්ද පවතී. මෙම පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ප්‍රශස්ත මට්ටමකින් ක්‍රියාකරන තත්ත්වයක පවතී නම් රාජ්‍ය ආයතනවල බරපතළ වැරදි සිදුවන්නට ඉඩක් ඇත්තේම නැති තරම්ය. එහෙත් අවාසනාවකට අපේ රටේ පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ප්‍රශස්ත තත්ත්වයක නොපවතී. බොහෝ විට කාරක සභාවලට සාමාජික මන්ත්‍රීවරුන් එන්නේ නම ලකුණු කොට ඒ වෙනුවෙන් ලැබෙන දීමනාව ලබාගැනීම සඳහා පමණය. බොහෝ සාමාජිකයන් කෙටි වේලාවකින් රැස්වීම්වලින් පිටවී යන තත්ත්වයක් තුළ ගණපූරණය නැතිකම නිසා රැස්වීම් අතරමග අත්හිටුවීමට සිදුවන්නේය. ජනමාධ්‍යවේදීන්ට මෙම කාරක සභාවල දොරටු විවෘත කරන ප්‍රතිපත්තියක් මෙම කාරක සභාවල ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමට හේතුවන්නේය.

කාරක සභාවල සාකච්ඡාවට ලක් කෙරෙන දේවල් පමණක් නොව සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයේ ප්‍රමාණය හා ගණපූරණය නැතිකම නිසා රැස්වීම් අත්හිටුවන්නට සිදුවන අවස්ථාවලදී ඒ පිළිබඳ විස්තරද ජනමාධ්‍යවලට වාර්තා කිරීම ඔවුන් අතින් සිදුවනු ඇත්තේය. ඒ තත්ත්වය කාරක සභාවල ක්‍රියාකාරීත්වය ඵලදායී තැනකට ගෙන ඒමට බලපානු ඇත.

සුළු ජාතීන්ගේ අසහනය

රටේ සුළු ජාතීන් අතර පවත්නා සැකය හා අසහනය ජයගැනීම සඳහා කළයුතු දේවල් මොනවාද යන්න දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියකදී සැලකිල්ලට ගත යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. 13 වන සංශෝධනයෙන් ඇති කරන ලද පළාත් සභා ක්‍රමය, වඩුක්කොඩෙයි ප්‍රකාශනය හා තිම්පු මූලධර්මද සැලකිල්ලට ගනිමින් එල්ටීටීඊය තෘප්තිමත් කොට ඔවුන් ප්‍රධාන ප්‍රවාහයට ගෙන ඒමේ අරමුණින් කඩිමුඩියේ ඇතිකර ගන්නා ලද වැඩපිළිවෙළක් ලෙස සැලකිය හැකිය. පළාත් සභා ක්‍රමයෙන් සුළු ජාතීන්ට විශේෂ සෙතක් සිදුවී නැතිවා සේ ම මහජාතියට ඒ නිසා සිදුවූ විශේෂ සෙතක් නැත. ඒ මගින් රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කිරීමටද හේතුවී නැත. බලය බෙදාහැරෙන ඒකකය පළාතක් වන විට රාජ්‍ය නිලධාරීන් දිස්ත්‍රික්ක පදනමක් මත විමධ්‍යගත කර තිබීම අතර පවතින පරස්පරයද පළාත් සභා ක්‍රමයේ ඇතිවී තිබෙන මෙම අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන බව පෙනේ.

බලය බෙදාහැරෙන ඒකකය පළාත බවට පත්කොට උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කරන පිළිවෙතකට යාමට සිදුවූයේ උතුරු නැගෙනහිර පළාත් දෙක දෙමළ නිජබිම් ප්‍රදේශ ලෙස සියලු දෙමළ දේශපාලන පක්ෂ සලකන තත්ත්වයක් ඉදිරියේ නිජබිම් පිළිවෙත මොනම ආණ්ඩුවක් විසින්වත් පිළිනොගන්නා වුවත් විසඳුමක් ඇතිකර ගැනීමට එසේ පිළිගැනීම අවශ්‍යවේයැ”යි විශ්වාස කරන තත්ත්වයක් ඇතිවීම නිසාය. එහෙත් දෙමළ නිජබිම් පිළිබඳ මතය ඓතිහාසික සත්‍යයක් නොවූවා සේ ම එම ප්‍රතිපත්තිය නැගෙනහිර ජනතාව බෙදා වෙන් කරන බලවත් සාධකයක් ලෙස මිස ඔවුන් එකට එකතු කරන සාධකයක් ලෙස ද ක්‍රියාකළේ නැත. අනෙක් අතට දෙමළ බෙදුම්වාදී සටන්කාමී කණ්ඩායම් උතුරු නැගෙනහිර දේශපාලනය එකට යා කළ විශාල ඒකකයක් ඉල්ලා සිටියේය. ඔවුන් එසේ කරන ලද්දේ බලය බෙදාහැරෙන සාධකයක් වශයෙන් එවැනි ඒකකයකට ලැබෙන වැදගත්කම සලකා නොව, වෙනම රාජ්‍යයක් පිළිබඳ සිහිනය සැබෑ කරගැනීම සඳහා එවැනි විශාල භූමියක් ඔවුන්ට අවශ්‍ය වූ නිසා පමණය.

ඒකකය කුමක් වියයුතුද?

දැන් ආයුධ අතට ගත් බෙදුම්වාදී ව්‍යාපාරයක් නැති නිසා සේ ම වෙනම දෙමළ රාජ්‍යයක් ගැන සිහින දකින දෙමළ ප්‍රජාවක් ද රටේ නැති නිසා වඩුක්කොඩෙයි හා තිම්පු මූලධර්මවලින් ඉවත් වී දෙමළ ජනතාවගේ යථාර්ථවාදී දේශපාලන අභිලාෂයන් සේ ම අනෙකුත් සුළු ජාතීන්ගේ සාධාරණ දේශපාලන අභිලාෂයන් ද සැලකිල්ලට ගනිමින් රටේ දේශපාලන යථාර්ථයට ගැළපෙන බලය බෙදාහරින මාදිලියක් ගැන කරුණු සලකා බලන තැනකට රටට යා හැකිය. උතුරු පළාතේ අතිවිශාල බහුතරයක් දෙමළය. තමන්ගේ පාලන ඒකකයක් පිළිබඳව බලවත්ම හැඟීමක් ඇති ජනතාවක් සිටින භූමි ප්‍රදේශය ලෙස සලකා උතුරු පළාතට පමණක් පළාත බලය බෙදාහැරීමේ ඒකකය ලෙස ගත හැකිය. අනෙකුත් සියලු ප්‍රදේශ සඳහා දිස්ත්‍රික්කය බලය බෙදාහැරීමේ ඒකකය ලෙස ගත හැකිය. එවිට මඩකළපුව දිස්ත්‍රික්කය දෙමළ බහුතරයක් සහිත දිස්ත්‍රික් සභාවක් වශයෙන් ද, අම්පාර මුස්ලිම් බහුතරයක් සහිත දිස්ත්‍රික්ක සභාවක් වශයෙන් ද, ත්‍රිකුණාමලය බොහෝදුරට එක සමාන පංගු සහිත ජනවර්ග කණ්ඩායම් තුනකින් සමන්විත දිස්ත්‍රික් සභාවක් වශයෙන් ද, නුවර-වැලිමඩ වතුකරයේ දෙමළ බහුතරයක් සහිත දිස්ත්‍රික් සභාවක් වශයෙන් ද අනෙකුත් සියලු දිස්ත්‍රික්ක සිංහල බහුතරයක් දිස්ත්‍රික්ක සභා ඇති ලෙසද පවතිනු ඇත.

අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, යන අංශවලදී කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයක් සඳහා බලතල බෙදාගත යුතු ආකාරය නැවත සාකච්ඡාවට ලක්කරන තැනකට යා හැකිය. ආයුධ සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය මුළුමනින් අවසන් වී ඇති බැවින් අධි ආරක්ෂිත කලාප ක්‍රමයෙන් බැහැර වී ඒ සඳහා අත්පත් කරගෙන තිබෙන ඉඩම් නැවත ඒවාහි පැරණි අයිතිකරුවන්ට පවරා දෙන ප්‍රතිපත්තියකට යා හැකිය. රාජ්‍ය සේවය තුළ දෙමළ භාෂාවෙන් වැඩ කරන අයගේ පංගුව ඉහළ දමන ප්‍රතිපත්තියකටද යා හැකිය. මේ සියල්ල ගැන මීට වඩා ඵලදායී විවිධ අදහස් තිබෙනවා විය හැකිය. ඒ සියල්ල සාකච්ඡාවට ලක් කොට රටේ යහපතට හේතුවන ඵලදායී ක්‍රමයක් සොයාගත යුතුය. මීට අතිරේකව ගම් මට්ටමේ පාලනයක් සඳහා ඉන්දියාවේ පංචායත් ක්‍රමයට සමාන නැතහොත් අතීතයේ පැවති ගම්සභා ක්‍රමයකට සමාන පාලන ක්‍රමයක් ඇතිකළ හැකිය. ගමේ සිදුවන සියලු සංවර්ධන කටයුතු තීරණය කිරීමේ බලය සේ ම ගමේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කෙරෙන මුදල් පාලනය කිරීමේ බලයද ගම් සභාවට ලබාදිය යුතුය.

එහෙත් තිබුණු පැරණි ගම් සභා ක්‍රමයට වෙනස්ව ඉන්දියාවේ ක්‍රියාත්මක වන පංචායත් ක්‍රමයට සමානව එන ගමක් සඳහා සභිකයකු ලැබෙන ක්‍රමයක් වෙනුවට හැම ගමක් සඳහාම ගම් සභාවක් ලැබෙන ක්‍රමයක් ඇති කළ හැකිය. ලේකම් කොට්ඨාසයක් දෙකට බෙදා එක බල ප්‍රදේශයකට වැටෙන ගම් සභාවල ගම් සභාපතිවරුන් ඇතුළත් වන ලෙස ප්‍රාදේශීය සභා ක්‍රමයක් ඇති කළ හැකිය. ඒ මගින් දැන් පවතින ප්‍රාදේශීය සභා ක්‍රමය ඉවත් කොට ප්‍රාදේශීය පාලනය සඳහා වැඩි සංවේදීතාවකින් ක්‍රියාකරන ප්‍රාදේශීය සභා ක්‍රමයක් ඇති කළ හැකිය. එවිට නාගරික ප්‍රදේශ සඳහා පමණක් මහ නගර සභාව, නගර සභා, සුළු නගර සභා ක්‍රමයක් පවත්වාගෙන යා හැකිය. එවිට ගම් මට්ටමෙන් ගම් සභාද, ප්‍රදේශ මට්ටමෙන් උතුරු පළාත සඳහා පළාත් සභාවද, සෙසු ප්‍රදේශ සඳහා දිස්ත්‍රික් සභාද ක්‍රියාකරන විට පාර්ලිමේන්තුව හා සෙනෙට් මණ්ඩලය ඇතුළත් ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකය රටේ මහ ආණ්ඩුව ලෙස ක්‍රියාකරනු ඇත්තේය.

සෙනෙට් මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාව දැනටත් ජනාධිපතිවරයා ඉඟිකොට ඇති බවද කිවයුතුය. පවතින විධායක ජනාධිපති ක්‍රමය විධිමත් කොට පවත්වාගෙන යනවා ද, නැත්නම් වෙනත් ක්‍රමයකට මාරු වනවාද යන්න සාකච්ඡාවකට ලක් කොට රටේ යහපතට හේතුවන වඩා හොඳ තීන්දුවක් ගත යුතුය. ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා නම් ජනාධිපති ධුරය නීතියට යටත් පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයකට ගෙනා යුතුය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අවශ්‍ය කරන පිළිගැනීම හා ගෙ!රවය ලැබෙනු ඇත්තේ එය ආණ්ඩු පක්ෂයට සීමාවූ ව්‍යාපාරයක් නොවී විරුද්ධ පක්ෂය ද ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගත් ජාතික ව්‍යාපාරයක් වේ නම් පමණය. මහින්ද රාජපක්ෂ ජනාධිපති පසුගිය ජනාධිපතිවරණයෙන් අතිවිශාල හා ඓතිහාසික ජයග්‍රහණයක් ලැබූ බව සත්‍යයකි. එහෙත් ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ හැම සියදෙනකුගෙන්ම ජනාධිපතිවරයා ඡන්ද 58ක් ලබාගන්නා විට ප්‍රතිවාදී අපේක්ෂකයා ඡන්ද 40ක් ලබාගත් බව අමතක නොකළ යුතුය.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් තමන්ට පක්ෂපාත 58%ට සීමා නොකොට විරුද්ධව ක්‍රියා කළ 40%ද ඇතුළත් කරගත යුතුය. සීමිත අරමුණක් සඳහා වුවත් ප්‍රතිපක්ෂ සමග අවබෝධයෙන් හා සමඟියෙන් වැඩ කිරීම සරල හෝ පහසු නැත. එජාපයෙන් තේරී පත්වන මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු කරගැනීම ඊට වඩා පහසුය. එහෙත් එවැනි ක්‍රියාවක් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයකට ලැබිය යුතු මහජන ගෙ!රවය හීන කරන සාධකයක් ලෙස ක්‍රියා කරයි. එකට වැඩ කිරීම සරල හෝ පහසු නැතිවිය හැකි වුවත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් සියලුදෙනාගේ ගෞරවයට හේතුවන ලෙස විධිමත් හා ජයග්‍රාහී ලෙස ඉදිරියට ගෙනයා හැකිවනු ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ සමගත් පාර්ලිමේන්තුවට තේරී පත්වන සුළු ජාතික නායකයන් සමගත් එකට එකතු වී ක්‍රියාකරන පිළිවෙතක් මගින් පමණය.