හිටපු අගවිනිසුරු සහ ජීඑස්පී ප්ලස් සහනය

March 7, 2010
Publication:
The EU has suspended Sri Lanka's GSP Plus concession, worth 78 million euros in 2008 against exports of 1.24 billion. Government, exporters and commentators alike have forgotten what caused it: two rulings by former Chief Justice Sarath Nanda Silva, the same man now lecturing the country on international law. Under the ICCPR, citizens could petition the UN Human Rights Committee where the highest court failed them, and most complaints heard concerned Silva's own conduct — among them Tony Emmanuel Fernando, jailed a year for contempt on a false charge after suing over withheld case records, and assaulted in prison the day he was committed. Silva also barred a work-to-rule at the port, which the ILO found breached its convention, and then disparaged that convention in open court with an ILO representative present. Correcting those two wrongs would be enough to recover the concession.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ අපනයනයන්ට ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය තාවකාලික ලෙස අත්හිටුවා තිබේ. යුරෝපා සංගමයේ පළකර තිබෙන ගණන් හිලව්වලට අනුව 2008 වසරේදී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට කර තිබෙන අපනයනයන්ගේ වටිනාකම යුරෝ බිලියන 1.24කි. ශ්‍රී ලංකා මුදලින් නම් එය රුපියල් බිලියන 186කි. 2008දී ශ්‍රී ලංකාවේ අපනයන්ට ලැබී තිබෙන ජීඑස්පී ප්ලස් සහනයේ වටිනාකම යුරෝ මිලියන 78කි. රුපියල් වටිනාකම අනුව රුපියල් බිලියන 12386.84කි. ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීම කෙරෙහි බලපෑ මුල සාධකය මොන මොන හේතු නිසා හෝ ආණ්ඩුවද, අපනයනකරුවන්ද, විචාරකයන්ද මුළුමනින් අමතක කර තිබෙන බව පෙනේ. මතභේද ඇති කරන පළමු සාධකය ලෙස ක්‍රියා කළේ වර්තමානයේ අන්තර්ජාතික නීතියේ වැදගත්කම ගැන රටට බණ කියන හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සිවිල් හා දේශපාලන ප්‍රඥප්තියට අදාළව හා අන්තර්ජාතික කම්කරු ප්‍රඥප්තියට අදාළව දෙන ලද සාහසික තීන්දු දෙකකි.

සිවිල් හා දේශපාලන ප්‍රඥප්තිය යටතේ රටේ ඉහළම අධිකරණයෙන් සාධාරණත්වය ඉටුකර ගැනීමට නොහැකි වූ මානව හිමිකම් ප්‍රශ්නයකදී ඒ ගැන සිවිල් හා දේශපාලන ප්‍රඥප්තිය යටතේ ක්‍රියාත්මක වන ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කිරීමේ අයිතිය එම ප්‍රඥප්තියට අත්සන් කළ රාජ්‍යයන්හි පුරවැසියන්ට ලැබී තිබුණි. එම අයිතිය යටතේ ශ්‍රී ලංකාවේ විවිධ පුද්ගලයන් ඉදිරිපත් කළ පැමිණිලි ගණනාවක් ජිනීවාහි මානව හිමිකම් කමිටුව හමුවේ විමර්ශනයට ගෙන තිබුණු අතර පැමිණිලි තුනක් සම්බන්ධයෙන් කමිටුව සිය නිරීක්ෂණ ප්‍රකාශ කර තිබුණි. සිංහරාසා තීන්දුවට අදාළව ද සිය තීරණයන් ප්‍රකාශ කර තිබූ අතර ත්‍රස්තවාදය මර්දනය කිරීමේ නීතිය යටතේ සිංහරාසාට දඬුවම් කිරීමේදී ඔහුගෙන් තමන් නොදන්නා භාෂාවකින් (සිංහල භාෂාවෙන්) ලබාගත් කටඋත්තරයක් චෝදනා සනාථ කරන ප්‍රධාන සාක්ෂියක් වශයෙන් යොදාගෙන තිබෙන නිසා එක්කෝ ඔහුට එරෙහිව අලුතෙන් නඩු අසන ලෙස හෝ නැතිනම් ඔහු නිදහස් කරන ලෙස මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කර තිබුණි.

මෙම පැමිණිල්ල හැරුණු විට මානව හිමිකම් කමිටුව ඉදිරියේ විමර්ශනයට ගෙන තිබූ පැමිණිලිවලින් වැඩි හරියක් අගවිනිසුරුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි විය. අගවිනිසුරුගේ බිහිසුණු පළිගැනීමකට ලක්වූ පුද්ගලයකු ලෙස සැලකිය හැකි ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දුට අදාළවද කමිටුව සිය නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණු අතර එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එස්.බී. දිසානායකට අදාළව පනවන ලද දඬුවමට අදාළව ඔහු විසින් ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ලද විභාගවෙමින් තිබුණි. ටෝනි තමාගේ නඩුවකට අදාළ නඩු වාර්තා ලබාගැනීමට නොහැකි වී ඒ බව අධිකරණ සේවා කොමිසමටද පැමිණිලි කිරීමෙන් පසුත් අදාළ නඩු වාර්තා නොලැබීම නිසා අධිකරණ සේවා කොමිසමේ සභාපති වශයෙන් ක්‍රියාකළ අගවිනිසුරු ඇතුළු කොමිසමේ සාමාජිකයන් වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවේය.

අගවිනිසුරුවරයා එම නඩුව තමන් ඉදිරියේ විභාගයට ගෙන උසාවියට අපහාස කළේය කියන බොරු චෝදනාව මත ඔහුට එක් අවුරුදු සිරදඬුවමක් පැනවූවා පමණක් නොව, බන්ධනාගාර ගත කරන ලද දිනයේම ඔහු බිහිසුණු පහරදීමකටද ලක්විය. ජීඑස්පී ප්ලස් සහනය ප්‍රශ්නගත දෙයක් බවට පත්කිරීමට බලපෑ ඊළඟ සිද්ධිය වූයේ වරායේ සිදුවූ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයකට අදාළව අපනයනකරුවන්ගේ සංගමයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙම අගවිනිසුරුවරයා තමන් ඉදිරියේ විභාගයට ගෙන අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයට එරෙහිව තහනම් නියෝගයක් දීමේ තීන්දුවයි. අගවිනිසුරුවරයාගේ මෙම තීන්දුවට එරෙහිව වරායේ වෘත්තීය සමිති ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට පැමිණිලි කළේය. ජාත්‍යන්තර කම්කරු සම්මේලනය පැමිණිල්ල විභාගයට ගෙන අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අත්හිටුවීම සඳහා දෙන ලද තහනම් නියෝගය අන්තර්ජාතික කම්කරු සංවිධානය ශ්‍රී ලංකාව සමග ඇතිකර ගෙන තිබෙන ප්‍රඥප්තියට පටහැනි බව තීන්දු කළේය.

එම නිරීක්ෂණය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දුන් විට අගවිනිසුරුවරයා විවෘත උසාවියේදී අන්තර්ජාතික කම්කරු ප්‍රඥප්තිය නින්දාවට ලක් කෙරෙන ආකාරයෙන් කතා කළේ අයිඑල්ඕ (ILO) නියෝජිතයකු ද උසාවි ශාලාවේ සිටියදීය. ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීම කෙරෙහි බලපෑ මූලික කාරණා දෙක එයයි. ජීඑස්පී සහනය නැවත හිමිකර ගැනීමට හිටපු අගවිනිසුරු විසින් කර තිබෙන එම වැරදි දෙක නිවැරදි කිරීම පමණක් වුවත් ප්‍රමාණවත්ය.