ශ්‍රී ලංකාවේ දේශපාලන තලයේ රජ කරන අශීලාචාර තත්ත්වය ඊට සමාන ආකාරයකින් ජනමාධ්‍ය තලය තුළද දැකිය හැකිය. එම ලක්ෂණය අඩු වැඩි වශයෙන් ලෞකික හා ලෝකෝත්තර අර්ථවලින් පූජනීය ආයතන ලෙස සැලකෙන පන්සල, පල්ලිය තුළ සේ ම අධිකරණය තුළ ද දැකිය හැකිය. ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍යවලට නූතන ලෝකයේ ඉතාමත් වැදගත් පිළිගැනීමක් ලැබී ඇත්තේ ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන්ට නූතන සමාජ, දේශපාලන ක්‍රමය තුළ රඟපාන්නට සිදුවී තිබෙන භූමිකාවට ආවේණික සුවිශේෂභාවය නිසාය. ජනමාධ්‍ය ආයතනයකට එල්ල කෙරෙන පහරදීමක් හෝ ජනමාධ්‍යවේදියකුට එල්ල කෙරෙන පහරදීමක් සුළු මොහොතකින් ලෝක ප්‍රවෘත්තියක් බවට පත්වන්නේ ඒ නිසාය. එහෙත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් තමන්ට පැවරී තිබෙන සමාජ වගකීම පිළිබඳව නිසි අවබෝධයකින් ක්‍රියාකරන පිරිසක් ලෙස සැලකිය නොහැකිය. ජනමාධ්‍යවේදියා එක් අතකින් රටේ එදිනෙදා කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සාධාරණවූත්, සත්‍යවාදීවූත් චිත්‍රයක් පුරවැසියන්ට ලබාදිය යුතුය.
අනෙක් අතට රටේ පවතින මතවාදී වාද විවාදවලට වේදිකාවක් වෙමින් සමාජ මනස මුවහත් කිරීමේ වගකීමද ජනමාධ්‍යවේදීන්ට ඇත්තේය. එහෙත් මේ දෙයාකාරයක කාර්ය හොඳින් සම්පූර්ණ කිරීමට නම් ඒ සඳහා අවශ්‍ය කරන උගත්කමක් සේ ම පුහුණුවක් ද ජනමාධ්‍යවේදීන්ට තිබිය යුතුය. ඔවුන්ගේ එම සමාජ කාර්යභාරය ඉටු කළ හැකි ආයතනික රාමුවක් ද ජනමාධ්‍ය ආයතනවල තිබිය යුතුය. නූතන අර්ථයෙන් ජනමාධ්‍යවේදීන් සැලකෙන්නේ සමාජයට උගන්වන ගුරුවරයා ලෙසය. එහෙත් සමාජයට උගන්වන එම ගුරුවරුන් නිසි උගත්කමක් නැති, නිසි පුහුණුවක් නැති පොතපත නොකියවන පිරිසක් වේ නම්, එවැනි පිරිසක් සමාජය කෙරෙහි ඇති කරන බලපෑම ද විනාශකාරී විය හැකිය. නූතන සමාජය කෙරෙහි මුද්‍රිත මාධ්‍යවලට වඩා විද්‍යුත් මාධ්‍ය බලපායි. අතීතයේදී අපේ රටේ ගුවන්විදුලිය සමාජයේ බුද්ධිය, දැනුම හා රසවින්දන හැකියාව දියුණු කරන, විචාරාත්මක අවබෝධය වර්ධනය කරන ගුරුවරයකුගේ කාර්යභාරය ඉටු කළේය.
වර්තමානයේ රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් තුළ බුද්ධිමය වැදගත්කමක් ඇති වැඩසටහනක් අසන්නට හෝ දකින්නට ලැබෙන්නේම නැති තරම්ය. නැතිනම් එවැනි වැඩසටහන් ඇත්තේ කිහිපයක් පමණය. වැඩිම වැදගත්කමක් ලබාදී තිබෙන්නේ සරල විනෝදය සඳහාය. මහජනයා අතර ජනප්‍රිය දේශපාලන සංවාද වැඩසටහන් පවා තිබෙන්නේ පිළිගත හැකි උසස් තත්ත්වයක නොව පහත් තත්ත්වයකය. ඒවාහි ප්‍රමුඛතාව ලබාදී තිබෙන්නේ බුද්ධිමය වැදගත්කමක් ඇති දේවලට වඩා වාචාල කතාවලටය. රූපවාහිනී වැඩසටහන්වල නිවේදකයන්ට හා වැඩසටහන් මෙහෙයවන්නන්ට ප්‍රියජනක පෙනුමක් හා හොඳ කටහඬක් තිබීම අවශ්‍යය. එහෙත් ඊට අතිරේකව සංවාද මෙහෙයවන්නකුට නම් මෙහෙයවන සංවාදවලට විෂය කරගන්නා විෂය පිළිබඳ දැනුමක්ද තිබිය යුතුය. ඒ දැනුම ඔහුට නැතිනම් ඒ දැනුම ඔහුට ලබාදෙන ක්‍රමයක් ආයතනවලට තිබිය යුතුය. එහෙත් අපේ රටේ සංවාද වැඩසටහන් මෙහෙයවන්නන්ගේ විෂය දැනුම දුප්පත්ය.
එවැනි අය බොහෝ විට අදාළ සංවාදයට සූදානම් වන්නේ ද කඩිමුඩියේ හා උඩින්පල්ලෙනි. රූපවාහිනී ආයතන පවත්වාගෙන යන දේශපාලන වැඩසටහන්වලදී කුකුල් පොරයකට හොඳ පොර කුකුළන් තෝරන්නා සේ තෝරා ගන්නේද පොරකන්නට සූදානම් දේශපාලකයන්ය. කරුණු ගැඹුරින් විග්‍රහ කිරීමට ශක්තියක් ඇති අය වැදගත් කොට නොසැලකේ. වැඩසටහන් මෙහෙයවන්නාගේ සාර්ථකත්වය තීරණය වන්නේ පොරකෑමක් සඳහා වටාපිටාවක් ඇති කිරීම මගින් අවසානයේ සංවාදය උද්වේගකර පොරකෑමක් බවට පත්කිරීමට සමත් වන්නේ නම් පමණය. රූපවාහිනී හා ගුවන්විදුලි ආයතන සිය වැඩසටහන් ජනප්‍රිය කිරීමට උත්සාහ කරන්නේ ද වැඩසටහන්වල ගුණාත්මක වටිනාකම වර්ධනය කිරීමෙන් නොව නරඹන්නන්ට තෑගි පිරිනමන විවිධ ක්‍රම ඇති කිරීම මගිනි. කිසිම දෙයක් නොකොට සමහර රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන්වලට එක දිගට දවසේ පැය විසිහතරේම සවන්දීමෙන් පමණක් ලක්ෂපතියන් වියහැකිය කියන මෝඩ විශ්වාසයක් මහජනයා තුළ ඇති කිරීම සඳහා වන ව්‍යාපාරයක් සමහර ආයතන පවත්වාගෙන යන බවක් ද පෙනෙන්නට තිබේ.
අධ්‍යාපනය සමාජයේ ඉහළ නැගීමට තිබෙන ප්‍රධාන මාර්ගයකි. එහෙත් අපේ රටේ පාසල් අධ්‍යාපනය තුළ මාර්ගෝපදේශන සේවාවක් ඇත්තේම නැති තරම්ය. තමන්ට තිබෙන හැකියාව මත අනාගතය පිළිබඳව ඇති කරගත යුතු ඉලක්ක, ඒ ඉලක්ක සපුරා ගැනීම සඳහා තිබෙන මාර්ග පිළිබඳව අවශ්‍ය මගපෙන්වීමක් ශිෂ්‍යයන්ට ලබාදෙන ක්‍රමයක් නැත. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන අයගෙන්ද විශාල පිරිසකට ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල ඇති ඉඩ මඳකම නිසා විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ හැකියාවක් නැත. ඊළඟට තෝරා ගැනීමට තිබෙන විකල්ප මාර්ග පිළිබඳව බොහෝ දෙනකුට හරි අවබෝධයක් නැත. වර්තමානයේ අපොස උසස් පෙළ අධ්‍යාපනයක් නැතිවත් උසස් අධ්‍යාපනයක් ලබාගත හැකිය. උසස් පෙළ සමත්වීම සඳහා දීර්ඝ කාලයක් ගත නොකොට උපාධි අධ්‍යාපනයකට මාරුවීමෙන් සමහරවිට වැඩි වේගයකින් විධිමත් උපාධියක් ලබාගත හැකිය. එහෙත් ගම්බද තරුණ පරපුරට හෝ ඔවුන්ගේ දෙමාපියන්ට තිබෙන එවැනි ඉඩ ප්‍රස්ථා ගැන හරි අවබෝධයක් නැත.
තරුණ පරපුරට නිසි උපදේශන සේවාවක් නැතිකමේ අඩුව අවශ්‍ය නම් ජනමාධ්‍යවලට සැපිරිය හැකිය. ඒ මගින් රටේ තරුණ පරපුර එම ඉඩ ප්‍රස්ථාව ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගන්නා තරුණ පරපුරක් බවට පත්කළ හැකිය. සරල විනෝදය සඳහා වෙන් කරන කාලයෙන් කිසියම් කොටසක් එවැනි ප්‍රයෝජනවත් දේවල් වෙනුවෙන් වෙන් කිරීමෙන් ජනමාධ්‍යවලට ද රටේ සංවර්ධනය සඳහා ඵලදායී දායකත්වයක් ලබාදිය හැකිය. බොහෝ ගම්බද තරුණයන් සිය ආර්ථික ජීවිතයේ ඉක්මන් යහපත් වෙනසක් ඇති කරගැනීම සඳහා යුරෝපීය රටකට පලායෑමට සිහින දකිති. ඒ සඳහා රුපියල් ලක්ෂ ගණන් වියදම් කොට රැවටෙන අයගේ ප්‍රමාණයද විශාලය. අද යුරෝපා රටවල වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ විද්වත් වෘත්තිකයන්ටත් වඩා පුහුණු ශිල්පීන්ටය. මේසන් වැඩ, වඩුවැඩ, පේන්ට් වැඩ, පොලිෂ් වැඩ, පයිප්ප වැඩ, වෙල්ඩින් වැඩ, විදුලි කාර්මික වැඩ දන්නේ නම් එවැනි වැඩ සඳහා අවශ්‍ය අවම ඉංග්‍රීසි භාෂා දැනුමක් ද ඇත්තේ නම් හා එම වැඩ ගැන ඇති දැනුම හා ඉංග්‍රීසි භාෂා දැනුම ගැන ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සහතිකයක් ද ඇති නම් එවැනි අයට නීති විරෝධී ලෙස නොව නීත්‍යනුකූල ලෙස ලොකු වියදමක් දරා නොව පොඩි වියදමක් දරා යුරෝපීය රටකට ගොස් ලොකු පඩියකට වැඩ කළ හැකිවා සේ ම, අවශ්‍ය නම් පුරවැසිභාවය ද ලබාගත හැකිය.
කලක් අපේ රටේ හෙදි පුහුණුව නවතා තිබුණි. පසුව හෙදියන් පුහුණු කිරීම ආරම්භ කොට එම වැඩපිළිවෙළ නොකඩවා ඉදිරියට ගෙන ගියද මෙම පුහුණුවට ඉංග්‍රීසියෙන් වැඩ කිරීමට අවශ්‍ය ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදෙන වැඩපිළිවෙළක් ඇතුළත් නොවීම නිසා එසේ පුහුණුව ලැබූ හෙදියන්ට බටහිර රටවල රක්ෂා ලබාගැනීමට තිබෙන හැකියාව අහිමි වී තිබේ. මෙම වරද ඉක්මනින් නිවැරදි කළ හැකි නම් පුහුණුව අවසන් වන සියලුදෙනාට බටහිර රටවල ලොකු වැටුපකට වැඩ කළ හැකි තත්ත්වයක් ඇති කළ හැකිය. මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් අපේ රටේ ජනමාධ්‍යවල මැදිහත්වීම ප්‍රශස්ත තත්ත්වයක නොපවතී. හැම රූපවාහිනී නාලිකාවක්ම පාහේ ප්‍රංශ, ඉතාලි, චීන සුප, විධික්‍රම කියාදෙන වැඩසටහන් පවත්වාගෙන යයි. ඒ දේවල් වැදගත් විය හැකිය. එහෙත් ඊට පෙර බත්, රටේ ප්‍රධාන ආහාරය වන නිසා හරිහැටි බතක් උයාගන්නේ කෙසේද කියා කියාදීම වැදගත්ය.
ඉන්පසු එළවළු සෑදිය යුත්තේ බතේ ස්වභාවයට ගැළපෙන ලෙසය. ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම තේ නිපදවන රට වුවත් හරි තේ කෝප්පයක් සාදා ගන්නේ කෙසේද යන්න රටේ වැඩිදෙනෙකු දන්නේ නැත. එක්කෝ සීනි වැඩිය. නැතිනම් කහටවල පදම සමග කිරිවල ප්‍රමාණය ගැළපෙන්නේ නැත. සිය ශ්‍රාවකයන් සිහින ලෝකවල ජීවත් කරනවාට වඩා ඔහු ජීවත්වන සැබෑ ලෝකයේ ගැටලු විසඳා ගැනීමට ජනමාධ්‍ය ආධාර කළ යුතුය. නවීන හා සුඛෝපභෝගී ගෙවල් දොරවල්වල අසිරිය පෙන්වීම සඳහා පවත්වාගෙන යන වැඩසටහන්වලින් ද රටේ සාමාන්‍ය ජනයාට සිදුවන විශේෂ යහපතක් නැත. මහා මන්දිර වෙනුවට ලස්සණට පිළිවෙළකට පවත්වාගෙන යන පුංචි ගෙවල් එමට තිබේ. ඉඳහිට හෝ මහජනයාගේ ජීවිතවලට සමීප එවැනි ආදර්ශ පෙන්වන්නේ නම් ඒවායින් මහජනයාට ඉගෙන ගතහැකි පාඩම් බොහෝමය. පිළිවෙළකට හා ලස්සණට ජීවත්වීමට ලොකු සල්ලිකාරයකුවීම ම අවශ්‍ය නැත. ජනමාධ්‍යවලට පිස්සු නැටීමට නිදහස ලැබී ඇත්තේ ජනමාධ්‍යවල වැරදි ක්‍රියාකාරීත්වය අනුමත නොකරන දැනුවත් ජනයා නිසි විවේචනයකින් තොරව නිශ්ශබ්දව ඉඳීම නිසාය.
ජනමාධ්‍ය මහජනයාගේ ජීවිත කෙරෙහි පමණක් නොව, ඔවුන්ගේ දූ දරුවන්ගේ ජීවිත කෙරෙහි ද බලපායි. ඔවුන්ගේ ජීවිත කෙරෙහි හානිදායී ලෙස බලපාන වැඩසටහන්වලට එරෙහිව මහජනයා විනයගරුකව සිය විරෝධය පළ කරන තැනකට යායුතුය. දුරකතනයෙන් කතා කොට අදහස් පළ කරන තැනකට යා හැකිය. මිනිසුන් කිහිපදෙනකු නොව දහස් ගණනක් ජනමාධ්‍ය ආයතන වෙත ඔවුන්ගේ විවේචනයන් ඉදිරිපත් කරයි නම් ජනමාධ්‍ය ආයතනවලටද සරල විනෝදයට බර තබන ප්‍රතිපත්තියෙන් ඉවත් වී ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කිරීමට අවශ්‍ය දැනුම හා රසවින්දනය වැඩි දියුණු කරන වැඩසටහන්වලට බර තබන ප්‍රතිපත්තියකට මාරුවීමට සිදුවනු ඇත්තේය. එවැනි වෙනසක් සමාජයේ යහපතට පමණක් නොව ජනමාධ්‍ය ආයතනවල යහපතටද හේතුවන්නේය.