පුවත්පත් ආයතනයක උණුසුම් වාද විවාද පමණක් නොව ගැටුම් ඇතිවන අවස්ථාද තිබිය හැකිය. පසුගිය සතියේ එවැනි අර්බුදයක් රාවයේද ඇතිවිය. පසුගිය සතියේ විමලනාත් වීරරත්නගේ උපහාස කොලම පදනම් කොටගෙන තිබුණේ ලංකා කර්තෘ නිදහස් කිරීමේ සිද්ධිය හා ඊට ඇති මගේ සබඳතාව ගැනය.
හාස්‍යය හා අපහාසය
පත්තරකාරයකුට ඔහු ලියන හෝ පුවත්පතේ පළවී තිබෙන වෙනත් දේ ගැන පාඨකයන්ට කියන කතාවලටද ඇහුම්කන් දෙන්නට සිදුවේ. පත්තරයේ හොඳ නරක ගැන දුරකථනයෙන් කථා කරන පාඨකයන් අතර විවිධ තරාතිරම්වලට අයත් විවිධ අය සිටින්නෝය. ඒ අය අතර කවදාවත් දැක නැති සමහරවිට දුරකථනයෙන් කෙරෙන කථාවලින් පමණක් හඳුනාගත් අයද සිටින්නෝය. මා ගැන ලියැවුණු එම කොලම ගැන කිහිපදෙනෙක් මට අදහස් පළ කළෝය. දීර්ඝකාලීන පාඨකයකු මට කීවේ මා කරමින් තිබෙන අත්හදා බැලීම ඉතා වැදගත්වුවත්, මා කර්තෘ මණ්ඩලයට ලබාදී තිබෙන නිදහස විනයගරුක නිදහසක් ලෙස පවත්වාගෙන යෑමට මා අසමත්ව තිබෙන බවය. ඔහු හා වෙනත් අයගෙන්ද ඒ ගැන අසන්නට ලැබුණු අදහස් නිසා මා තුළ යටපත් වී තිබුණු මානය කිතිකැවුණා විය හැකිය. ඔහුගේ එම නිර්මාණය වැරදි චේතනාවෙන් කරන ලද්දක් නූනා විය හැකි වුවත් එය මතු කරන උපහාසය තුළ අපහාසයක්ද තිබෙන බව මගේ විශ්වාසය විය.
ලංකා කර්තෘට අදාළ මෙම මැදිහත්වීම සිදුවූයේ අහම්බෙනි. එහිදී ලංකා කර්තෘ ගැන පමණක් නොව, ප්‍රගීත් එක්නැලිගොඩ ගැනද සාකච්ඡා විය. ඊට අතිරේකව සමහර විරුද්ධ පක්ෂ උද්ඝෝෂණ ව්‍යාපාරවලට එල්ල වී තිබෙන පහරදීම් ගැනද, ජෙනරාල් සරත් ෆොන්සේකා පිළිබඳ ආණ්ඩුව අනුගමනය කෙරෙමින් තිබෙන ප්‍රතිපත්තියද සාකච්ඡාවට ලක්විය. එක්නැලිගොඩගේ අතුරුදන්වීම ගැන තමන් දරන මතය ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කළේය. ලංකා පත්තරයේ කර්තෘ නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කරන ලද අතර පහරදීම්වලට හා තර්ජනය කිරීම්වලට ලක් නොවී විරුද්ධ පක්ෂවලට සිය විරෝධතා ව්‍යාපාර සාමකාමී ස්වරූපයකින් පවත්වා ගෙන යෑමට ඉඩදෙන දැඩි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලු විධිවිධාන යොදන ලෙසටද ජනාධිපතිවරයා නියෝග කළේය.
මැදිහත්වීම් වැරදිද?
මෙය මාගේ විෂය ක්ෂේත්‍රයට අදාළව මැදිහත්වීම් කළ පළමු අවස්ථාව නොවේ. පරමේශ්වරී රඳවා තබා ගැනීමේ නියෝගයක් මත අත්අඩංගුවේ තබාගෙන සිටි අවස්ථාවේදීද සුදුසු අවස්ථාවක් ලැබුණු වේලාවකදී මම ඇය ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළෙමි. සන්ඩේ ටයිම්ස් කර්තෘ සිංහ රත්නතුංගද ඒ ගැන කතා කළ බව ජනාධිපති කීවේය. පරමේශ්වරී එකම ලිපියක්වත් ලියා තිබෙන ජනමාධ්‍යවේදිනියක් නොවන බවත්, ඇය අත්අඩංගුවේ තබාගැනීමෙන් රජයට හා රටට හානියක් මිස යහපතක් සිදු නොවන බවත් කීවෙමි. පරමේශ්වරී සම්බන්ධයෙන් ආණ්ඩුව පවත්වාගෙන යන ප්‍රතිපත්තියේ වෙනසක් ඇති කරන බව ජනාධිපතිවරයා ඒ මොහොතේ ප්‍රකාශ කළේ නැත. එහෙත් නැවත පැය භාගයකට පමණ පසුව මට කතා කොට එදින ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවත්, පරමේශ්වරී නිදහස් කරන ලෙස මා හා සිංහ ඉල්ලා සිටින නිසා පරමේශ්වරී නිදහස් කරන ලෙස ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී දැනුම් දෙන බවත් කීවේය.
ඒ දේ ඒ ආකාරයටම සිදුවිය. ඉන්පසු ඉරුදින පුවත්පතට ලියන ජ්‍යොතිෂ්‍යවේදියා අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් අවස්ථාවේදීද ඔහුගේ බිරිඳ කරන ලද ඉල්ලීමක් අනුව ඔහු ගැන මම ජනාධිපතිවරයාට කතා කළෙමි. ඔහු නිදහස් කර යැවීමට ජනාධිපතිවරයා එකඟ වූ අතර එදිනම ඔහු නිදහස් කර යවන ලදි. මා මෙවැනි දේවලට විටින් විට මැදිහත් වී තිබෙනවා විනා, මා වෙනුවෙන් මාගේ පවුලේ දරුවන් වෙනුවෙන්, රාවය වෙනුවෙන් හෝ මගේ කිසිම මිත්‍රයකු වෙනුවෙන් මොනම දෙයක්වත් ලබාගන්නට හා ලබාදෙන්නට උත්සාහ කර නැත. ජනාධිපතිවරයා විසින් මගේ පුතා උසස් අධ්‍යාපනය සඳහා රජයේ වියදමින් ඇමරිකා එක්සත් ජනපදයට යවා ඇති තිබෙන බව කියන කතාවක් කිසියම් පිරිසක් විසින් රටේ පතුරුවා හැර තිබෙන බව මම දනිමි. මගේ පාඨකයකු මෑතකදී මා වෙත එවන ලද කෝපයෙන් ලියා තිබුණු ලියුමකද ඒ බව සඳහන් කර තිබුණි. මා ජනාධිපතිවරණයේදී ජෙනරාල් ෆොන්සේකාට ආධාර නොකර ජනාධිපති මහින්ද රාජපක්ෂට ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඒ නිසා බවද එහි සඳහන් විය.
මා ජනාධිපතිවරයා සමග හෝ ආණ්ඩුව සමග එකතු වී ලංකා කර්තෘ රඳවා තබා ගැනීම, එක්නැලිගොඩ අතුරුදන් කිරීම හෝ විරුද්ධ පක්ෂ උද්ඝෝෂණ ව්‍යාපාරවලට අවහිර කිරීම අනුමත කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළේ නම් මාගේ ක්‍රියාකලාපය කෙරෙහි පිළිකුලක් ඇති කිරීමට හේතුවන නිර්මාණයක් ලිවීම යුක්තිසහගත විය හැකිය. එහෙත් මා වැරදි දෙයක් කර නැත. නොකළයුතු දෙයක් ද කර නැත. මගේ වෘත්තීය සගයකු විපතට පත්ව සිටින අවස්ථාවක අපට කළහැකි සුළු උපකාරයක් හෝ වේ නම් එය කළ යුතුය.
තේ කෝප්පයේ කුණාටුව
රාවයේ කර්තෘ මණ්ඩල ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්නේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුකූලවය. කර්තෘ සිය අදහස් ප්‍රකාශ කරන විට කර්තෘ මණ්ඩල සාමාජිකයන්ටද සිය අදහස් නිදහසේ පළකිරීමේ අයිතිය ලබාදී තිබේ. විවිධ මතවාද මත පිහිටා පිටස්තරින් එන අදහස් ද පළ කෙරේ. පුවත්පත පමණක් නොව, කර්තෘ හෝ කර්තෘ මණ්ඩලය විවේචනය කිරීමේ අයිතියද සහතික කර තිබේ. කර්තෘ මණ්ඩල සාමාජිකයෝ කර්තෘගේ අදහස් විවේචනයට ලක් කරන ලිපි පළකිරීමේ අයිතියද භුක්ති විඳිති. මෙය ලංකාවේ පළකෙරෙන මොනම පුවත්පතකවත් දක්නට නැති සුවිශේෂී ලක්ෂණයක් බවද කිව යුතුය. එහෙත් විමලනාත්ගේ කොලම එවැනි විවේචනයක් නොවේ. එය සිය නිර්මාණයන් ඔස්සේ කරන හැඟීම් ප්‍රකාශනයකි. ඒ මගින් ඔහු පළ කරන උපහාසය තුළ අපහාසයක් ඇතැ”යි සලකා මම මාගේ බලවත් විරෝධය පළකිරීමට තීරණය කළෙමි. මම සඳුදා උදේ හතට පමණ කර්තෘ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරන ජනරංජනට දුරකතනයෙන් කතා කොට පෙ.ව.
10.30ට පමණ මට කර්තෘ මණ්ඩල සාකච්ඡාවක් ලබාදෙන ලෙසත්, මා රාවය පුවත්පතට ලිවීම නතර කිරීමට තීරණය කර ඇති බැවින් කර්තෘ මණ්ඩල සාකච්ඡාවේදී ඒ බව දැනුම්දීමට අවශ්‍ය වී තිබෙන බවත් කීවෙමි. රාවයට ලිවීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියට තමන්ට එකඟ විය නොහැකි බව කියන අතර, කර්තෘ මණ්ඩල සාකච්ඡාවක් කැඳවා දීමට ඔහු එකඟ විය. එහෙත් මා කාර්යාලයට ගියවිට පිළිගැනීමේ නිලධාරිනිය ජනරංජන විසින් දෙන ලද ලිපියක් මා අතට පත් කළාය. එදින තමාගේ දුවගේ ක්‍රීඩා උත්සවයට යෑමට නියම කොටගෙන තිබෙන බැවින් කර්තෘ මණ්ඩල සාකච්ඡාව පසුදින පැවැත්වීම වඩා සුදුසු බව ඔහු කියා තිබුණි. ඒ සමග මා ගෙන තිබෙන ස්ථාවරය ඔහුගේ පුදුමයට හේතු නොවන බවත්, විමලනාත්ගේ කොලමෙන් කර්තෘ මණ්ඩල සාමාජිකයකු වශයෙන් ඔහු අතින් විශ්වාසය හා සාමූහික වගකීම උල්ලංඝනය කිරීමක් සිදුවී ඇතැ”යි තමාගේ අදහස බවත්, එම කොලම පත්තරය මුද්‍රණය කරන්නට පෙර තමා නොකියවූ නමුත් කර්තෘ මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ඒ වගකීම භාරගත යුත්තේ තමා බැවින් තමා දරන තනතුරෙන් ඉල්ලා අස්වන බවත් එහි සඳහන් විය.
එහෙත් මේ ආරාවුල පසුදින විමලනාත් හා ජනරංජනද සහභාගි වූ කර්තෘ මණ්ඩල සාකච්ඡාවකදී අපි සුහදව සාකච්ඡා කොට බේරා ගත්තෙමු. මේ කතාව මෙතැනින් අවසන් නොකර ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතියට ආවේණික ජනමාධ්‍යවේදීන්ගේ හා සමාජයේ ප්‍රමාණවත් තරමේ අවධානයට ලක් නොවූ ප්‍රවණතාවක් ගැන කතා කිරීමට කැමැත්තෙමි. මේ කියන කතාව විමලනාත්ට හෝ රාවයට අදාළ නැත. දේශපාලනය මහත්මා දේශපාලනයකට ගැනීමේ වැදගත්කම ගැන අපි මහා ඉහළින් කතා කරමු. රස්තියාදුකාර ස්වරූපයක් ඇත්තේ දේශපාලනයේ පමණක්ද? මට පෙනෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදය තුළද ඒ රස්තියාදුකාරභාවය හොඳින් දැකිය හැකිය. ඒ අර්ථයෙන් ජනමාධ්‍යවේදීන් වන අපද දේශපාලකයන් තරම්ම රස්තියාදුකාරයන් පිරිසක් වේයැ”යි කිව හැකිය.
ප්‍රේමදාස කිරිකළවලින් නැහැවීම
ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේදී ප්‍රේමදාස ජනාධිපතිවරයා කිරිකළවලින් නැහැවූ නිරුවත් කන්‍යාවන් හත්දෙනකුගේ කතාවක් එක්තරා විකල්ප පුවත්පතක පළවිය. මෙම කතාව දින කිහිපයක් තුළ රට පුරා පැතිරුණු කතාවක් බවට පත්විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම පුවත්පත් මුද්‍රණය කෙරුණු මුද්‍රණාලයට රාත්‍රී කාලයේ කඩා වැදුණු සාහසික පිරිසක් මුද්‍රණ යන්ත්‍රවලට පහරදී විශාල අලාභයක් ඇති කළේය. එම සිද්ධියේදී ජනමාධ්‍යවල හා ජනමාධ්‍යවේදීන්ගේ අවධානය දිනාගත්තේ එල්ල වූ සාහසික පහරදීම පමණය. එම සාහසික ප්‍රතික්‍රියාව කෙරෙහි බලපෑ පුවතේ සාහසික බව ගැන කිසිම කතාබහක් සිදුවූයේ නැති තරම්ය. මෙම කතා පුවත ප්‍රේමදාස ජනාධිපතිවරයා කෙරෙහි පිළිකුලක් හා අවමානයක් ඇති කිරීම පිණිස ප්‍රේමදාස විරෝධී පිරිසක් විසින් නිර්මාණය කොට කටකතා මගින් පතුරුවා හරින ලද කතාවක් විය. මෙම කටකතාව ප්‍රවෘත්තියක් ලෙස පුවත්පතක පළවීම නිසා එය ජනතාවගේ විශ්වාසයට හේතුවූ කතාවක් බවට පත්විය.
මේ අවස්ථාවේදී ප්‍රේමදාස ජනාධිපතිවරයාට ගත හැකිව තිබූ ප්‍රතිකර්මය කුමක්ද? එම පුවත්පතට එරෙහිව නීතිය ඉදිරියට යෑමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබුණේද? කතාවේ ස්වභාවය අනුව නීතිය ඉදිරියට ගියේ නම් ඒ නිසා ජනාධිපතිවරයාට සිදුවන අවමානය දෙගුණ තෙගුණ වන්නට ඉඩ තිබුණි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ නඩු මගට යනවා වෙනුවට මුද්‍රණාලය ඉලක්ක කොට පහරදීමක් එල්ලවීමය. මුද්‍රණාලය ඉලක්ක කොටගෙන එල්ල වූ සාහසික පහරදීම දේශීය හා විදේශීය වශයෙන් විශාල කතාබහකට ලක්වුවද මෙම සාහසික ප්‍රහාරය කෙරෙහි බලපෑ සාහසික වාර්තාකරණය ගැන මොනම සංවාදයක්වත් සිදුවූයේ නැති තරම්ය. මෙම සිද්ධියේදී දේශපාලකයාගේ හැසිරීම තුළ රස්තියාදුකාරභාවයක් දැකිය හැකි නම් ඒ මෙන් තුන් හතර ගුණයක රස්තියාදුකාරභාවයක් ජනමාධ්‍යවේදියා තුළ දැකිය හැකිය. මාගේ මතය අනුව මෙම සාහසික ක්‍රියාව හා ප්‍රතික්‍රියාව ගැන ඇසෙන නඩු විභාගයකදී වැඩියෙන්ම දඬුවම් ලැබිය යුතු පුද්ගලයා දේශපාලකයා නොව ජනමාධ්‍යවේදියාය.
මෙම සිද්ධියේදී දේශපාලකයාගේ හැසිරීම සාහසිකය. එහෙත් දේශපාලකයාගේ සාහසික සාපරාධී හැසිරීම කෙරෙහි බලපෑවේ ජනමාධ්‍යවේදියාගේ සාහසික හා සාපරාධී හැසිරීමයි.
අන්තර්ජාලය
ජනමාධ්‍යවලට හා ජනමාධ්‍යවේදීන්ට ඔප්පු කළ හැකි සත්‍ය කරුණු වාර්තා කිරීමේ අයිතිය තිබිය යුතු වුවත් ඔප්පු කළ නොහැකි නිර්මාණය කළ දේවල් වාර්තා කිරීමේ අයිතියක් තිබිය නොහැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ පවතින ජනමාධ්‍ය සංස්කෘතිය තුළ දේශපාලන වශයෙන් විවිධ කණ්ඩායම්වලට පක්ෂපාතීව ක්‍රියා කරන ජනමාධ්‍යවේදීන් ප්‍රතිපක්ෂ දේශපාලකයන්ට හෝ පුද්ගලයන්ට එරෙහිව ඔප්පු කළ නොහැකි කටකතාද වාර්තා කිරීම සුලබව දකින්නට ලැබෙන ලක්ෂණයක් වී තිබෙන බවද කිව යුතුය. මෙවැනි සාහසික වාර්තාකරණයක් නිසා සිදුවන සාහසික ප්‍රතික්‍රියාවලදී ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංවිධාන එම සාහසික ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව හඬ නගන සම්ප්‍රදායන් රටේ ගොඩ නැගී ඇතත්, එම සාහසික ක්‍රියා කෙරෙහි බලපාන ජනමාධ්‍යවේදීන්ගේ සමහර සාහසික වාර්තාකරණයක් ගැන කෙරෙන කිසිදු සංවාදයක් රටේ ඇත්තේ නැති තරම්ය.
මෙය අපේ රටේ ජනමාධ්‍ය සංස්කෘතිය තුළ දක්නට ලැබෙන ඛේදජනක තත්ත්වයක් බව කිව යුතුය. වර්තමානයේ අන්තර් ජාලයද කැළෑ පත්තර පළ කෙරෙන ජනප්‍රියම මාර්ගයක් වී තිබේ. විදේශ රටක ලියාපදිංචි වෙබ් අඩවියක් ඔස්සේ ඕනෑම කැළෑ පත්තරයක් පළ කළ හැකිය. අන්තර්ජාලයේ පළකෙරෙන ප්‍රකාශනවලට අදාළ නීති ඇතත්, විදේශ රටක පළකෙරෙන වෙබ් අඩවියක් මගින් පළ කෙරෙන ප්‍රකාශනයකින් සිදුවන හානියකදී එම වෙබ් අඩවියට එරෙහිව නීති මගින් ක්‍රියාකළ හැක්කේ ඒ සඳහා අවශ්‍ය විශාල ධනසම්භාරයක් ඇති පුද්ගලයන් හා ආයතනවලට පමණය. පසුගිය ජනාධිපතිවරණ කාලයේදී එවැනි වෙබ් අඩවි මගින් ප්‍රකාශ කළ කැළෑ පත්තර ප්‍රමාණය ඉතා විශාලය. ප්‍රතිපක්ෂ දෙකම අන්තර් ජාලයෙන් ලැබී තිබුණු පහසුකම එකිනෙකාට එරෙහිව කැළෑ පත්තර මුදාහැරීම සඳහා උපරිම ලෙස ප්‍රයෝජනයට ගත් බවක් පෙනෙන්නට තිබුණි.
රෝහණ කුමාර ඝාතනය
රෝහණ කුමාර ඝාතනය කෙරුණු අවස්ථාවේදී මා එම ඝාතනය හෙළා දැකීම පිණිස කතුවැකියක් ලීවෙමි. මෙම කතුවැකියෙන් ඔහුගේ ඝාතනය හෙළා දකින අතර ඔහු අසම්මත වර්ගයේ පුවත්පතක් පවත්වාගෙන ගිය පුවත්පත් කතුවරයකු වුවත් ඔහු ජනමාධ්‍යවේදියකු ලෙස සැලකිය නොහැකි බවත් ඔහු සාහසික හා පාදඩ ජනමාධ්‍ය සම්ප්‍රදායක් පවත්වාගෙන ගිය පුද්ගලයකු වූ බවත් කියන්නට මට සිදුවිය. යමකුට පහරදීමක් කිරීමට අවශ්‍ය පුද්ගලයකුට ඔහු ඉල්ලා සිටින මිල ගෙවූ විට ඔහු ඒ කතාව මුද්‍රණය කොට බෙදාහැරියේය. එය ඔහුගේ ජීවන මාර්ගය විය. කතාව පළකිරීමට ලැබෙන මිල මිස, පළ කරන කතාවේ ඇත්ත නැත්ත ඔහුට වැදගත් නොවීය. රෝහණ කුමාරගේ යථාර්ථය එය වුවත්, ඔහුගේ ඝාතනය ගැන කරුණු සොයා බලන තැනකට මම තල්ලු වූයෙමි. එය මරණ තර්ජන ගැන මැද කෙරුණු දීර්ඝ චාරිකාවක් විය. අපරාධ පරීක්ෂණ බියුරෝවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ ෂෝ වික්‍රමසිංහ ආණ්ඩුව ආරක්ෂා කිරීම පිණිස විටින් විට විවිධ නිල අර්ථකථන දෙන විට ඔහු ප්‍රශ්න කරන තැනකට යන්නට සිදුවිය.
අවසානයේ අපරාධ පරීක්ෂණ බියුරෝවේ ප්‍රධානියාටම ප්‍රසිද්ධ දිවුරුම් පෙත්සමක් මගින් එම අපරාධයේ පසුබිම් තොරතුරු හෙළිදරව් කිරීමට සිදුවිය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ ගවේෂණාත්මක වාර්තාකරණ හැකියාවන් වැඩි දියුණු කිරීම පිණිස අන්තර්ජාතික සංවිධාන වාර්ෂිකව විශාල වියදමක් දරන බව පෙනේ. විවිධ සංවිධාන විසින් ඒ සඳහා වසරකට දරන වියදම රුපියල් කෝටි දෙක තුනක් විය හැකිය. එහෙත් පහරදීම්වලට, ඝාතනයට හා අතුරුදන් කිරීම්වලට ලක් කෙරෙන ජනමාධ්‍යවේදීන් පිළිබඳව ජනමාධ්‍යවේදීන් හෝ ජනමාධ්‍ය සංවිධාන විසින් කිසිදු කරුණු සොයා බැලීමක් කෙරෙන තත්ත්වයක් මේ රටේ නොපවතී. එය පොලීසිය විසින් පමණක් කළයුතු දෙයක් ලෙස සැලකීම ජනමාධ්‍යවේදීන්ගේ සේ ම ජනමාධ්‍ය සංගම්වල ද පිළිගත් ප්‍රතිපත්තිය බවට පත්වී තිබේ.
ප්‍රගීත් අතුරුදන්වීම
අතුරුදන් වී සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ගැන ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙස කෙලී සේනානායක මට දුරකතනයෙන් කතා කොට මගෙන් ඉල්ලා සිටියේය. ප්‍රගීත්ගේ බිරිඳ මා හමුවීමට එවන බවද ඔහු කියා සිටියේය. ඒ වනවිට මමද ප්‍රගීත්ගේ පසුබිම් තොරතුරු සොයා බලන තත්ත්වයකට පත්ව සිටියෙමි. ප්‍රගීත් දන්නා විවිධ පුද්ගලයන්ගෙන් ඔහු පිළිබඳවත්, ඔහුගේ පසුබිම පිළිබඳවත් ඔහු ලියන ලද දේවල් පිළිබඳවත් කරුණු සොයා බැලුවෙමි. ඔහුගේ බිරිඳ ද මා හමුවී ඇය දන්නා තොරතුරු මට විස්තර කළාය. ආණ්ඩුවේ නිල මතය වී තිබුණේ ජෙනරාල් සරත් ෆොන්සේකාට ආධාර කළ පුද්ගලයකු වශයෙන් ඔහු ආණ්ඩුව අපකීර්තියට ලක්කිරීමේ අරමුණින් ජනාධිපතිවරණය මුවවිට තිබෙන අවස්ථාවකදී අතුරුදන්වීමක් සිදුවී ඇති බව මවාපෙන්වීම සඳහා සිය කැමැත්තෙන් සැඟවී සිටින බව හා ජනාධිපතිවරණයෙන් ජෙනරාල් ෆොන්සේකා පරාජය වී තිබූ තත්ත්වයක් ඉදිරියේ ඔහු එළියට පැමිණිය නොහැකි තත්ත්වයක සිටින බවය.
එහෙත් ප්‍රගීත්ගේ බිරිඳ ඒ මතය පිළිගත්තේ නැත. ඇයගේ දැඩි මතය වන්නේ කිසියම් පිරිසක් ඔහු පැහැරගෙන ගොස් ඇති බවය. ප්‍රගීත් හා ඔහුගේ පවුලේ අය ආර්ථික අමාරුකම් මැද්දේ ජීවත් වූ පවුලක් බවද පෙනී යයි. ප්‍රගීත් අතුරුදන්වීමට පෙර අතුරුගිරියේ ලංකා ඊ නිව්ස් කාර්යාලයේදී ප්‍රගීත් සමග පැය දෙක තුනක් පමණ කාලයක් ගතකර ඇති චිත්‍රපටි නිෂ්පාදකයකු වූ වසන්ත කුලතුංග කාර්යාලයට ගෙන්වා ගෙන ඔහු දන්නා තොරතුරු ගැන ඔහු සමග දීර්ඝ වශයෙන් කතා කළෙමි. වසන්ත කියන්නේ ඔහු එදින සවස ප්‍රගීත් හමුවන විට ඔහු දඹුල්ලේ සිට පැමිණෙන මිත්‍රයකු අපේක්ෂාවෙන් සිටි බවය. ඔහු විටින් විට දුරකතනයෙන් කතා කළ බවත්, දුරකතන කාඩ්පත අවසන් වී ඔහුගේ දුරකතනයෙන් එම මිත්‍රයා සමග කතා කළ නොහැකි වූ අවස්ථාවකදී තමාගේ ජංගම දුරකතනය ගෙන ඔහුට කතා කළ බවත් කීවේය. එම දුරකතන අංකය තවමත් ඔහුගේ දුරකතන අංකයේ සටහන් වී තිබේ.
ඔහු ළඟ එදින සාක්කුවේ රුපියල් 600ක මුදලක් තිබුණු බවත් ඉන් රු. 100ක් තමන්ට යන්න ගමන් වියදම් නැති බව කියා තමන් ඉදිරියේ නන්දන වීරරත්න ප්‍රගීත්ගෙන් ඉල්ලා ගත් බවත් ඔහු කීවේය. තමා සමග ඒ අසල ඇති කොමියුනිකේෂන් සෙන්ටරයකට ගොස් දුරකතන කාඩ්පතක් මිලදී ගත් බවත්, තමන් ගුණසිරි සිල්වා හා තවත් කෙනකු සමග එකතු වී අරක්කු බෝතලයක් ගෙන්වා ගෙන අඩියක් ගහන්නට ප්‍රගීත්ට ආරාධනා කළත් තමා හමුවීමට එන මිත්‍රයා සමග පිළියන්දල පැත්තට යන්න තිබෙන නිසා අඩියක් ගහන්න සහභාගිවීම ප්‍රතික්ෂේප කළ බවත් එහෙත් බඩගින්නෙන් සිටින බව ඔහු කී නිසා රුපියල් 20ක කඩල ගොට්ටක් ගෙන ඔහුට දුන් බවත් කීවේය. වසන්ත කියන ආකාරයට ප්‍රගීත් හමුවන්නට එන මිත්‍රයා එන්න තිබුණේ පිටකොටුවටය. එම මිත්‍රයා කොළඹ ගැන නොදන්නා බවද ප්‍රගීත් කියා තිබේ. පිටකොටුවට එන මිත්‍රයා රැගෙන එන්නට වසන්තගේ මෝටර් රථය යොදාගත හැකිදැයි ඇසූවිට වසන්ත ඊටද කැමැති වී තිබේ.
එහෙත් පසුව ඔහු කියා ඇත්තේ ලැබුණු දුරකතන පණිවුඩය අනුව ඔහු පිටකොටුවට නොඑන බවත් කවුරුන් හෝ හමුවීමට බියගමින් බැස ඇති බවත්, බියගමින් ත්‍රීවීලරයක් රැගෙන එන බවත්ය. තමන් සමග අඩියක්වත් නොගෙන මෙතරම් උනන්දුවෙන් බලා සිටින මිත්‍රයා කවුදැයි විටෙක වසන්ත ඔහුගෙන් විමසා ඇතත් ඔහු කවුද කියා නැත. තමන් මුදල් ටිකක් බලාපොරොත්තුවෙන් සිටින බව හා බලාපොරොත්තු වන මුදල තමන් අතට පත්වුවහොත් අවශ්‍ය නම් රුපියල් දෙතුන් දාහක් වසන්තටද දිය හැකි බව ඔහු කියා තිබේ. ප්‍රගීත්ගේ බිරිඳගෙන් දැනගන්නට ලැබුණු ආකාරයට ප්‍රගීත්ට දඹුල්ල පැත්තේ ඉඩමක් තිබුණේය. තිබුණු මුදල් දුෂ්කරතා නිසා ඔහු ඒ ඉඩම විකුණන්නට උත්සාහ කළේය.
අභිරහස් මිත්‍රයා
මග එමින් සිටින මිත්‍රයාගෙන් ලැබුණු දුරකතන පණිවුඩයෙන් පසුව ප්‍රගීත් වසන්තට කියා ඇත්තේ දැන් ඔහු ත්‍රීවීලරයකින් එමින් සිටින බවත් දැන් ඔහු ඉන්නේ වැලිවේරිය හරියේ බවත්ය. වැලිවේරියේ සිට රාජගිරියට එන්නට තවත් විනාඩි 30ත් 40ත් අතර කාලයක් ගතවිය හැකි බැවින් එතෙක් තමන් සමග අඩියක් ගහන්න එකතු වන ලෙස වසන්ත ඔහුට ඇරයුම් කර ඇතත් ඔහු ඊට එකඟ වී නැත. දුරකතන පණිවුඩයක් ලැබුණු පසු මිත්‍රයා පැමිණී ත්‍රීවිලරය වෙත ප්‍රගීත් ගොස් ඇතත්, ඔහු හමුවීට පැමිණි මිත්‍රයා කවුදැයි වසන්ත දැක නැත. ප්‍රගීත් අතුරුදන්වන්නේ එම ගමනේය. ප්‍රගීත් පැහැර ගැනීමේ සිද්ධියට දඹුල්ලෙන් එන ප්‍රගීත්ගේ මිත්‍රයා එක් ආකාරයකින් හෝ තවත් ආකාරයෙකින් සම්බන්ධ බව බැලූ බැල්මට පෙනෙන සත්‍යයකි. ඔහු සමග යනවිට කිසියම් පිරිසක් ප්‍රගීත් පැහැර ගත්තේ නම් මේ මිත්‍රයා ප්‍රගීත්ගේ නිවසට හෝ පොලීසියට දැනුම් දිය යුතුය.
එහෙත් එවැනි දෙයක් සිදුවී නැත. එසේ නැතහොත් මෙම පැහැර ගැනීම සිදුවන්නට ඇත්තේ මේ මිත්‍රයා උපයෝගී කරගනිමිනි. ප්‍රශ්නය වන්නේ දඹුල්ලෙන් පැමිණි ඒ මිත්‍රයා කවුද යන්නයි. ප්‍රගීත්ගේ ජනමාධ්‍යවේදය ගැනද මම විවිධ අයගෙන් කරුණු සොයා බැලුවෙමි. කතා කරන කිසිවෙක් ඒ විෂයේදී ඔහු කෙරෙහි විශ්වසනීය හෝ ගෞරවයකින් කතා නොකළේය. ජෙනරාල් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මුද්‍රණයට යැවීම සඳහා සකස් කළ ඔහුගේ අත් අකුරින් ලියන ලද කැළෑ පත්තරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතට පත්වී තිබෙන බව ප්‍රගීත්ගෙන් දැනගන්නට ලැබුණු බවත්, ඒ නිසා තමන් අත්අඩංගුවට ගනු ඇතැ”යි කියන විමතියක් ඔහු තුළ වූ බවත් කෙනෙක් මට කීවේය. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ නම සඳහන් නොකළ ඇමතිවරයකුගේ පරපීඩාකමී ලිංගික චර්යාව අළලා ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ නමක් රහිතව පළවූ විවාදයට හේතුවී තිබෙන ජුගුප්සාජනක ලිපිය කවුරුන් විසින් ලියන ලද ලිපියක්ද යන ප්‍රශ්නයට ඔහු ගැන දන්නා මා කතා කළ බොහෝදෙනකු දෙන ලද පිළිතුර වූයේ එය ප්‍රගීත් විසින් ලියන ලද ලිපියක් බවය.
ඒ ගැන ප්‍රගීත් මහත් උජාරුවෙන් තමා සමග කතා කර ඇති බව එක් අයෙක් කීවේය. එය වෙබ් අඩවියක තබා කොතනකවත් පළ නොකළ යුතු තරම් අසභ්‍ය ගණයේ ලා සැලකිය හැකි පහත් ලිපියකි. මිනිසුන් අතුරුදන් කිරීම හෙළා දැකිය යුතු නින්දාසහගත නීච අපරාධයක් ලෙස සැලකිය හැකි වුවත් ප්‍රගීත්ගේ ජනමාධ්‍ය භාවිතයද යහපත් හෝ ගෞරවයට හේතුවන තත්ත්වයක නොපැවති බව මගේ නිරීක්ෂණයයි. ප්‍රගීත් ජීවතුන් අතර සිටීද යන්න සැකසහිතය. ඔහු අතුරුදන් කිරීම පිටුපස සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වුවත් අඩුම වශයෙන් මෙම ඛේදජනක සිද්ධියෙන් පසුවවත් පහරදීම්වලට, ඝාතනය කිරීම්වලට හා අතුරුදන්කිරීම්වලට අතවනන ආකාරයට ජනමාධ්‍යවේදීන් පවත්වාගෙන යන රස්තියාදුකාර ජනමාධ්‍ය භාවිතය පාලනය කරන්නේ කෙසේද යන මූලික ප්‍රවේශයට ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංවිධාන පිළිතුරක් සොයාගත යුතුය.
මිනිසුන් හිතුවක්කාරී ලෙස තුවක්කුවෙන් වෙඩි තබා ඝාතනය කිරීම බරපතළ අපරාධයක් වනවා සේ ම අසාධාරණ ලෙස ලේ නොසැලෙන ලෙස මිනිසුන් පෑනෙන් ඝාතනය කිරීමද බරපතළ අපරාධයක් බව තේරුම් ගනිමින් සමාජ වගකීමෙන් යුතුව දේවල් වාර්තාකරන හා ප්‍රකාශ කරන ශිෂ්ටසම්පන්න ජනමාධ්‍ය සම්ප්‍රදායක් ඇති කරගැනීමේ අවශ්‍යතාව ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංවිධාන තේරුම් ගත යුතුය.
Editor’s Note
Published five weeks after Prageeth Eknaligoda disappeared on 24 January 2010. Ivan sets out inquiries he made into the disappearance, including an account given to him by the film producer Wasantha Kulatunga of the last evening Eknaligoda was seen, and names others present. He also reports, on the basis of unnamed sources, that Eknaligoda’s journalism was not held in respect and that he was the author of an anonymous article on a minister’s sexual conduct published by Lanka e News. These attributions are Ivan’s own and were never substantiated; Eknaligoda has never been found and could not answer them.
Ivan records the government’s position at the time — that Eknaligoda had concealed himself to discredit the administration — and notes that his wife rejected it. Nine military personnel were indicted over the abduction in November 2019. The trial has been repeatedly obstructed and no one has been convicted. Sandya Eknaligoda has campaigned for her husband’s case since 2010.
Also referred to: the release of the Lanka editor Chandana Sirimalwatte, detained under emergency regulations in January 2010; the detention of the journalist Parameshwari; and the 1999 killing of Rohana Kumara, editor of Satana.