ජෙනරාල්වරයා අත්අඩංගුවට ගත් වේලාව සේ ම ස්වභාවයද වැරදිය. ඔහු ජනාධිපතිවරණයට තරග කළ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනෙකි. ජයග්‍රාහකයා ඡන්දය ප්‍රකාශ කළ හැම සියදෙනකු අතරින් ඡන්ද 57ක් ලබාගන්නා විට පරාජිත ජෙනරාල්වරයාද ඡන්දය පාවිච්චි කළ හැම සිය දෙනකුගෙන්ම ඡන්ද 40ක් ලබාගත්තේය. ජයග්‍රාහකයාට තිබුණු කැමැත්ත ඒකමතික නොවීය. ජයග්‍රාහකයා ඡන්ද 6015934ක් ලබාගනිමින් වැඩි ඡන්ද 1842749කින් තරගය ජයගත්තද, පරාජිතයාද ඡන්ද 4173185ක් ලබාගත්තේය. පරාජිතයාගේ පසුබිම කුමක් වුවද ජයග්‍රාහකයා රටේ පළමු ජනනායකයා වන විට පරාජිතයා ජනතාවගේ පිළිගත් දෙවැනි නායකයා ලෙස සැලකිය යුතුය. සාධාරණ හේතු තිබියදී වුවත්, ජනාධිපතිවරණයක් අවසානයේදී පරාජිතයා අත්අඩංගුවට ගැනීමත් ඔහුට ඡන්දය දුන් ජනතාවට සේ ම සාධාරණව සිතන මතන ජනතාවටද මෙම ක්‍රියාව පෙනෙනු ඇත්තේ පළිගැනීමේ ක්‍රියාවක් ලෙසය.
ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන ජෙනරාල්ට රළු විවේචනයක් තිබුණි. ඔහු එම ප්‍රතිඵලය භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. ප්‍රතිඵලය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන බවද කීවේය. එවැනි අවස්ථාවක කෙරෙන අත්අඩංගුවට ගැනීමක් ඡන්ද පෙත්සම් වැඩපිළිවෙළට කරන අවහිර කිරීමක් ලෙස ජනතාවට පෙනීයා හැකිය. මොනතරම් සීමාසහිතකම් තිබෙනවා විය හැකි වුවත්, ජෙනරාල් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයාද, මාණ්ඩලික ප්‍රධානියාද වේ. ජයග්‍රාහී එල්ටීටීඊ විරෝධී යුද්ධයේදී ඔහු කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ සුවිශේෂ පුද්ගලයෙකි. අනෙක් අතට ඔහු එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ බෝම්බ ප්‍රහාරයකට ලක්වී දිවි ගලවාගත් පුද්ගලයෙකි. එවැනි විශේෂ පුද්ගලයකු සඳහා මෙවැනි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මහජනතාව අනුමත කරන්නේ නැත. හමුදා නීතිය බලපෑ යුත්තේ හමුදා සේවයේ නිරත පුද්ගලයන්ටය. ජෙනරාල් යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය පුද්ගලයෙකි.
හමුදා සේවයේ සිටියදී ඔහු වරදක් කර ඇත්නම් එය බේරාගත යුතුව තිබුණේ විශ්‍රාම යන අවස්ථාවේදී හෝ ඊට පෙරය. ඒ වැරදි හඳුනාගන්නේ විශ්‍රාම ගිය පසු නම් එසේ හඳුනාගත් වැරදි අපරාධ ගණයෙහිලා සැලකිය හැකි වැරදි නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුත්තේ හමුදා නීතිය යටතේ නොව සාමාන්‍ය නීතිය යටතේය. ආණ්ඩුව මෙම ක්‍රියාවෙන් තමන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණය පළුදු කරගැනීමට හේතුවන ලොකු කළු පැල්ලමක් එකතු කරගෙන තිබෙනවා සේ ම ජනතාව විසින් පරාජය කරනු ලැබූ ජෙනරාල්වරයා අලුත් වීරයකු බවටද පත්කර ඇත්තේය. දැන් අත්අඩංගුවේ සිටින ජෙනරාල්වරයාට පමණක් නොව ඔහුගේ බිරිඳට ද පහසුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්විය හැකිය. මෙම ආරාවුලේදී ජෙනරාල්ගේ බිරිඳ විපක්ෂයට ඉතා වැදගත් වනු ඇත්තේය. තම ස්වාමිපුරුෂයාට සිදුකර තිබෙන අසාධාරණය පිළිබඳ වේදිකාවක් වේදිකාවක් ගානේ යමින් රටට කීමේ වගකීම පැවරෙනු ඇත්තේ ජෙනරාල්ගේ බිරිඳ අනෝමා වෙතය.
එම ක්‍රියාවලිය තුළ ඇයද රටේ පිළිගත් දේශපාලන චරිතයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. මෙම අවාසනාවන්ත සිද්ධිය අන්තර්ජාතික වශයෙන්ද ජනාධිපතිවරයාගේ කීර්තිය පළුදු කරන සාධකයක් ලෙස ක්‍රියා කරනු නොවැළැක්විය හැකිය. එසේම එය විරුද්ධ පක්ෂය හා ආණ්ඩු පක්ෂය අතර පවතින වෛරය ශක්තිමත් කරන සාධකයක් ලෙසද ක්‍රියාකරනු ඇත. සිදුවී තිබෙන මෙම වරද නිවැරදි කිරීම ජනාධිපතිවරයාගේ වගකීමකි. එය ජනාධිපතිවරයාගේ හොඳ නරක උරගා බැලීමකට ලක් කෙරෙන තීරණාත්මක උරගලක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් පසු ජෙනරාල් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වූ උත්සාහයන් දෙකක් ව්‍යර්ථ කළේය. තුන්වැනි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ජනාධිපතිවරයා රටේ නොසිටියදී වුවත් සිදුවී ඇත්තේ වරදක් නම් එය නිවැරදි කිරීම ජනාධිපතිවරයාගේ වගකීමකි. ජයග්‍රහණයේදී ජයග්‍රාහකයා පරාජිතයා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියේදී ආදර්ශයට ගතයුත්තේ ජයග්‍රාහී දුටුගැමුණු රජු පරාජිත එළාර රජු සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියයි.
ජෙනරාල් අතින් බරපතළ වැරදි සිදුවී ඇත්නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වරදක් නැතත්, එය මැතිවරණ උණුසුමක් ඇති මේ මොහොතේ සිදු නොවිය යුතුය. අනෙක් අතට ඔහු අතින් බරපතළ වැරදි සිදුවී ඇත්නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුත්තේ හමුදා නීතිය යටතේ නොව සාමාන්‍ය නීතිය යටතේය.