සාමකාමී හා ශිෂ්ටසම්පන්නවීමේ වැදගත්කම

January 24, 2010
Publication:
Elections are the highest exercise of popular sovereignty and a measure of a country's political civility — and on that measure Sri Lanka's record since 1977 offers only cause for shame. Every administration has used state resources and state media for its campaign; only once has election law been followed to the letter, and only because the Supreme Court intervened. People die at every election, the educated speak of it with distress, and everyone forgets once polling closes. Sri Lanka may be the only country with no law controlling party and campaign funds, yet a leading presidential candidate can spend over 1,500 million rupees, and even a parliamentary candidate 100 million. That money is other people's and must be repaid in some form: this is the foundation of corruption. Whoever wins, both candidates must pledge there will be no reprisals.

දැන් රට තිබෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය සඳහා කෙරෙන උද්වේගකර දේශපාලන බලතරගයක් අවසන්වීමට ආසන්න අවස්ථාවකය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක රාජ්‍ය පාලකයා තෝරාගන්නේ මහජන ඡන්දයකිනි. රාජ්‍ය පාලකයා හෝ පාර්ලිමේන්තු නියෝජිතයන් තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද මහජනතාව සිය පරමාධිපත්‍යය බලය අභ්‍යාස කරන උතුම්ම අවස්ථාව ලෙස සැලකේ. රටක පැවැත්වෙන මැතිවරණ ඒ රටේ දේශපාලන ශිෂ්ටසම්පන්නභාවයේ තරම පෙන්නුම් කරන වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ. අපේ රටේ අද පවතින තත්ත්වය ගැන පමණක් නොව, 1977 සිට මේ දක්වා පැවති තත්ත්වය ගැනද අපට ඇති කරගත හැක්කේ අතිවිශාල ලැජ්ජාවක් පමණය. දැන් බලයේ සිටින මහින්ද රාජපක්ෂ පාලනය සේ ම ඊට පෙර 1977 දක්වා බලයේ සිටි හැම පාලනයක් යටතේම පැවති මැතිවරණ ශිෂ්ටසම්පන්න තත්ත්වයක නොතිබුණි. සිරිතක් වශයෙන් පාලන බලයේ සිටින ආණ්ඩුව සිය මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය සම්පත් යොදා ගත්තේය.

රාජ්‍ය මාධ්‍ය යොදාගත්තේය. අකුරටම නීතිය ක්‍රියාත්මක වන මැතිවරණයක් තිබී ඇත්තේ එකම අවස්ථාවකදී පමණය. එය සිදුවූයේද ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම නිසාය. හැම මැතිවරණයක් තුළම මිනිස්සු කිහිපදෙනෙක් හෝ මරණයට පත්වෙති. විරුද්ධවාදීහු පහරදීම්වලට ලක්වෙති. රටේ උගත් මිනිස්සු හැම මැතිවරණයකදීම කම්පාවෙන් කතා කරති. මැතිවරණ අවසන්වීමත් සමග ඔවුහු ද සියල්ල අමතක කරති. මැතිවරණවලදී දක්නට ලැබෙන මෙම අශෝභන තත්ත්වය ජයගෙන ශිෂ්ටසම්පන්න ලෙස මැතිවරණ පැවැත්වෙන තත්ත්වයක් ඇති කිරීම සඳහා කිසිදු උත්සාහයක් ගැනෙන්නේ නැත. සිරිතක් වශයෙන් මැතිවරණවලදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු බලයේ සිටින ආණ්ඩු පවත්වාගෙන යන වැරදි ප්‍රතිපත්ති විවේචනය කරති. එහෙත් ඔවුහු ද මැතිවරණවලින් පසුව සියල්ල අමතක කරති. යහපත් වටාපිටාවක් ඇතිකර ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීමේ වැදගත්කම නීති සම්පාදකයන් වශයෙන් ඔවුහු ද අමතක කරති.

මෙම ජනාධිපතිවරණයේදී ජය ලබන්නේ කව්ද කියන ප්‍රශ්නයට වඩා ජයග්‍රාහකයා පරාජිතයා සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යන ප්‍රතිපත්ති මහජන අවධානයට යොමුවිය යුතුය. පළිගැනීම්වල හා ලේ වැගිරීම්වලට ඉඩ නොතැබීම සමාජ වගකීමකි. ඊළඟ වැදගත්ම දේ අන් සියලු දේට පෙර මින්පසු පැවැත්වෙන සියලු මැතිවරණ නිදහස් හා සාධාරණ තත්ත්වයක තිබීම සහතික කිරීමට හේතුවන නීති ඇති කරගත යුතුය. පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් පාලනය කරන නීති ඇත්තේම නැති එකම රට ශ්‍රී ලංකාව විය හැකිය. ප්‍රධාන මැතිවරණයක් සඳහා ප්‍රධාන පක්ෂ වැය කරන ධනස්කන්ධය අතිවිශාලය. ඒ සඳහා අවශ්‍ය ධනය ලැබෙන්නේ කොහෙන්ද? කාගෙන්ද? ඒ මගින් රටේ සිටින කළු සල්ලිකාරයන් සුළු පිරිසකට බලයට පත්වන ආණ්ඩු අනියම් ලෙස පාලනය කිරීමේ හැකියාව ලැබී නැද්ද? නීතියේ පාලනය බිඳ දැමීම කෙරෙහි එය බලවත් සාධකයක් ලෙස බලපා නැද්ද? ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයකුගේ මැතිවරණ වියදම රුපියල් මිලියන 1500කටත් වැඩිවිය හැකිය.

දැන් පාර්ලිමේන්තු මැතිවරණයකදී පවා ප්‍රධාන පෙළේ අපේක්ෂකයකුගේ මැතිවරණ වියදම මිලියන 100ක් තරමට ඉහළ නැග තිබේ. දේශපාලනඥයන් මෙම මුදල් ලබාගන්නේ අනුන්ගෙනි. ඔවුන් ඒවා සිය අනුග්‍රාහකයන්ට එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ආපසු ගෙවිය යුතුය. දූෂණයේ ලොකුම පදනම ඇත්තේ මෙතනය. ජනාධිපතිවරණයේ හා පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 05ක් බවට පත්කොට මෙම මැතිවරණ දෙකම එක දිනක පවත්වන ක්‍රමයක් ඇති කිරීමෙන් මැතිවරණ ක්‍රමය ක්‍රමික කළ හැකිය. දිස්ත්‍රික්ක මට්ටමෙන් අනුපාත ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරන ක්‍රමයකට වඩා අනුපාතික ක්‍රමය හා ඡන්ද කොට්ඨාස ක්‍රමය මිශ්‍ර කොට තනන ක්‍රමයක් මගින් මන්ත්‍රීවරුන් තෝරන ක්‍රමයකට යා හැකිය. මැතිවරණ කොමිසමද ඉන්දියාවේ පවතින මැතිවරණ කොමිසම මෙන් බලවත් හා ක්‍රමවත් ආයතන ක්‍රමයක් බවට පත් කළ යුතුය.

මේ මොහොතේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ජනාධිපතිවරණයෙන් ජයගන්නේ කුමන අපේක්ෂකයා වුවත් ඒ සමග පහරදීම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති නොවන තත්ත්වයක් සහතික කිරීමය. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ඒ සඳහා ඇති ඇප කැපවීම ප්‍රකාශ කළ යුතුය.