දූෂණය සනාථ කළයුත්තේ කටකතාවලින් නොව නිශ්චිත සාක්ෂිවලින් යන හිසින් පළවූ මාගේ ලිපියට ශිරාල් ලක්තිලක ලියන පිළිතුරු ලිපියක් රාවය පුවත්පතේද, වසන්ත විජේනායක ලියන පිළිතුරු ලිපියක් ලංකා පුවත්පතේද පළකොට තිබුණි. ශිරාල් ලක්තිලක එජාප නියෝජිතයකු වන නිසාත් ලංකා පුවත්පත ජවිපෙ පුවත්පතක් වන නිසාත් මේ ලිපි දෙක එජාප හා ජවිපෙ නියෝජනය කරන පුද්ගලයන් දෙදෙනකු විසින් ලියන ලිපි දෙකක් ලෙසද සැලකිය හැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පාලනය දූෂිත නොවේයැ”යි මා එම ලිපියේ කොතැනකවත් කියා නැත. මා එම ලිපිය ලියා ඇත්තේද ජේ.ආර්. ජයවර්ධන ඇති කළ දේශපාලන ක්‍රමය දූෂණයට බර තබා සකස් කරන ලද දේශපාලන ක්‍රමයක් බව පෙන්වා දෙන අතර මෙම දේශපාලන ක්‍රමය තුළ දූෂණය නොවැළැක්විය හැකි බව පෙන්වාදීම සඳහාය.
මගේ ස්ථාවරය
මට මෙම දේශපාලන ක්‍රමය ගැන මගේම වන විග්‍රහයක් ඇත්තේය. විවාදයට හේතුවී තිබෙන මෙම ලිපියට ද එම විග්‍රහය සංක්ෂිප්ත ලෙස ඇතුළත් කොට තිබුණි. අදාළ කොටසක් මෙසේය.
““අපේ රටේ ඇත්තේ දූෂණයට බර තබා සකස් කරන ලද දේශපාලන ක්‍රමයකි. බලයට පත්වන පාලක පක්ෂයට රට පාලනය කරනවාට අතිරේකව අයථා ලෙස වස්තුව හරිහම්බ කරගැනීමේ බලය හා අයිතියද ලබාදෙන ක්‍රමයකි. මෙම දේශපාලන ක්‍රමය හඳුන්වාදීමෙන් පසුව ඇතිවූ හැම පාලන ක්‍රමයක් තුළම දේශපාලන තනතුරු දරන පුද්ගලයන්ට එම තනතුරුවලට අදාළ ආයතන පාලනය කරනවාට අතිරේකව එම ආයතනවල සිදුවන ගනුදෙනුවලින් අයථා ලෙස වස්තුව උපයා ගන්නා ක්‍රමයක් ද ක්‍රියාත්මක විය. එය සැලකුණේ දේශපාලන කණ්ඩායම් නායකයන්ට ඔවුන් ලබාදෙන ලද දායකත්වය වෙනුවෙන් ගෙවන මිල වශයෙනි. මෙම දේශපාලන ක්‍රමය තුළ බලතරගය සකස් කොට ඇත්තේ අසාමාන්‍ය තරමේ මිලක් ගෙවා තරගය ජයගත යුතු ආකාරයටය. ජයග්‍රාහී පාලන පක්ෂය සිරිතක් වශයෙන් ඒ සඳහා ගිය වියදම් ආපසු ගෙවන ලද්දේද රටේ පොදු සම්පත්වලිනි. ඒ නිසා මෙම දේශපාලන ක්‍රමය තුළ බලයට පත්වන හැම පාලක පක්ෂයක්ම දූෂිතවේයැ”යි කිව හැකිය. මෙම දේශපාලන ක්‍රමය තුළ බලය සඳහා උනන්දු කරවන උත්ප්‍රේරණ සාධකය වන්නේද පාලන බලය තුළ අයථා ලෙස මසකට උපයා ගැනීමට තිබෙන අයිතිය හා බලයයි. නැපෝලියන්ගේ උන්නතිකාමී කුලී හමුදාවත් රටවල්ආ ක්‍රමණය කොට අල්ලා ගැනීමෙන් අපේක්ෂා කළේ කොල්ලකෑමට සොල්දාදුවන්ට ලබාදී තිබූ අයිතියයි. මෙම දේශපාලන ක්‍රමය තුළ දේශපාලකයන්ට ක්‍රියාකරන්නට සිදුවී තිබෙන්නේ ද නැපෝලියන්ගේ උන්නතිකාමී කුලී හමුදා ක්‍රියාකළ ආකාරයටය.””
ඉන්පසු මෙම ක්‍රමය තුළ ක්‍රියාත්මක වන දූෂණයට අදාළ කොන්දේසි ක්‍රමය ආරම්භ කෙරුණු පාලන යුගයේ සිට චන්ද්‍රිකා පාලන යුගය දක්වා ක්‍රියාත්මක වූ ආකාරය සුදුසු නිදර්ශන ද ඇතිව විස්තර කරමින් ඒ ගැන මහින්ද රාජපක්ෂ පාලනයට අදාළ මගේ මේ නිරීක්ෂණයන් මෙසේ ඉදිරිපත් කළෙමි.
““මෙම දේශපාලන ක්‍රමය දූෂණයට බර තබා තනන ලද දේශපාලන ක්‍රමයක් වන නිසාම මහින්ද රාජපක්ෂ පාලනය පමණක් දූෂණයෙන් තොර පිරිසිදු තත්ත්වයක තිබිය නොහැකිය. එයද 77න්ප සු බලයට පත් අන් හැම පාලක පක්ෂයක් සේ ම දූෂිත විය යුතුය.””
ඉන්පසු මහින්ද රාජපක්ෂ පාලනයට දූෂණ චෝදනා එල්ල කරන ප්‍රතිපක්ෂය පිළිබඳව මගේ නිරීක්ෂණ ද මෙසේ ඉදිරිපත් කළෙමි.
““ඒ සමග මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දූෂණ චෝදනා එල්ල කරන විරුද්ධ පක්ෂ ව්‍යාපාරය මිස්ටර් ක්ලීන්ලාගේ ව්‍යාපාරයක් නොවන බවද අමතක නොකළ යුතුය. ඔවුන් ද තමන්ට පාලන බලය ලැබුණු අවස්ථාවලදී දූෂිත ලෙස ක්‍රියාකර තිබෙන අතර මහින්ද රාජපක්ෂ පාලනය අහෝසි කොට තමන්ගේ පාලන බලයක් ඇති කරගැනීම සඳහා උනන්දු වන්නේද අයථා ලෙස වස්තුව හරිහම්බ කරගැනීමට තමන්ට අහිමි වී තිබෙන අයිතිය නැවත ලබාගැනීම සඳහා වන බවද අමතක නොකළ යුතුය.””
දූෂණය පිළිබඳ විෂයයේදී මේ ලිපියෙන් මා මහින්ද රාජපක්ෂ පාලනයට පිරිසිදුකම පිළිබඳ සහතිකයක් ලබාදී නැති බව ඉන් පැහැදිලිව පෙනී යයි. එහෙත් මා මේ ලිපියේ මහින්ද රාජපක්ෂ පවුලේ අය දේපළ මිලදී ගැනීම් පිළිබඳව පැතිර ඇති කතාවලින් බොහොමයක් පදනමක් නැති කටකතා බව කියා ඇත්තෙමි. ඒ කටකතා මොනවාද යන්නද එහි විස්තර කොට ඇත්තෙමි. මහින්ද රාජපක්ෂ පවුලේ අය අයථා ලෙස උපයාගත් ධනයෙන් දේපළ මිලදී ගෙන ඇත්නම් ඒ බව කටකතාවලින් නොව නිශ්චිත සාක්ෂිවලින් ඔප්පු කිරීම විරුද්ධ පක්ෂය සතු වගකීමක් බව මම එහිදී කීවෙමි.
සතුට හා අසතුට
රාජපක්ෂ පාලනය කෙරෙහි පිළිකුලක් ඇතිකිරීමට වඩාත්ම බලපා තිබුණේ එම කටකතාය. එම කටකතා ඉබේ අහසින් කඩා වැටුණු ඒවා නොව ගොතා පතුරුවා හරින ලද සංවිධානාත්මක ව්‍යාපාරයක් විය. මාගේ එම නිරීක්ෂණය විරුද්ධ පක්ෂ ව්‍යාපාරයේ නොසතුටට හේතුවන විට ආණ්ඩු පක්ෂ ව්‍යාපාරයේ සතුටට හේතුවිය. ආණ්ඩු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණය මගේ ලිපියේ එන කටකතාවලට අදාළ කොටස ප්‍රචාරක වෙළෙඳ දැන්වීමක් බවට පත්කර ගත්තේ මාගේ එම නිරීක්ෂණයෙන් ඔවුන්ට ලැබෙන සහනය සලකාය. තෝරාගත් කොටසක් වෙනුවට මගේ මුළු විග්‍රහයම වෙළෙඳ දැන්වීමක් ලෙස පළ කළේ නම් එය මගේද සතුටට හේතුවන්නට ඉඩ තිබුණි. මාගේ එම නිරීක්ෂණය ආණ්ඩුවේ සතුටට හේතුවන විට විරුද්ධ පක්ෂ ව්‍යාපාරයේ අසතුටට හේතුවූ බවක්ද පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මට එරෙහිව ලියන ලද කැලෑ පත්තරයක් වෙබ් අඩවිවල පළකරනවාට අතිරේකව ශිරාල් ලක්තිලකට හා වසන්ත විජේනායකට පිළිතුරු ලිපි දෙකක් ලියන්නට සිදුවූයේද ඒ නිසාය.
මට එරෙහිව නිර්නාමිකව පළකර තිබෙන කැලෑ පත්තරයෙන් කියා තිබෙන්නේ රාවයට බදු වශයෙන් රජයට ගෙවන්නට තිබෙන අතිවිශාල බදු මුදලක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලවා කපාගෙන තිබෙන බවත්, ඊට කරන ප්‍රතිඋපකාරයක් වශයෙන් මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් කඩේ යන බවත්ය. එම චෝදනාව කිසිම පදනමක් නැති ප්‍රලාපයකි. රාවය පොහොසත් පුවත්පතක් නොව දුප්පත් පුවත්පතකි. එහි වැටුප් ලබන්නන් මිස ලාභ උපයා ගන්නන් නැත. එය දුප්පත් ආයතනයක් වී තිබියදීත් රජයට බදු වශයෙන් කාර්තුවකට ගෙවන මිල රුපියල් මිලියන භාගයකට ආසන්නය. රාජපක්ෂ ආණ්ඩුවෙන් මා මොනම ප්‍රතිලාභයක්වත් ලබාගෙන නැති අතර ප්‍රතිලාභ ලබාගැනීමේ අපේක්ෂාවක් ද නැත. සුපුරුදු ආණ්ඩු පෙරළන දේශපාලනයෙන් මා සමුගෙන බොහෝ කල්ය. ඒ බව මා ලියන පොත්පත්වලින් සේම ලිපි ලේඛනවලින්ද කියා ඇත්තෙමි. මා වර්තමානයේ වැදගත් කොට සලකනුයේ ආණ්ඩු පෙරළීම ගැන නොව, දේශපාලන ක්‍රමයේ ඇති කරන මූලික වෙනසක් ගැනය.
එල්ටීටීඊයට එරෙහිව යුද්ධයක් පැවති කාලයේ ආණ්ඩු විරෝධී බලවේග අතර පැවති ජනප්‍රිය විශ්වාසයන්ට එරෙහිව මම යුද්ධය අනුමත කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළෙමි. එහිදී නම් මා රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කරන ලද පිළිවෙත ප්‍රසිද්ධියේ අනුමත කළා පමණක් නොව එම යුද පිළිවෙතට පක්ෂපාතීව ප්‍රසිද්ධ වාද විවාද ද කළෙමි. එහිදී මා රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කරන ලද යුද පිළිවෙත පමණක් නොව, යුද හමුදාපති වශයෙන් ජෙනරාල් ෆොන්සේකා අනුගමනය කරන පිළිවෙතද අනුමත කළෙමි.
කටකතා හා කැලෑ පත්තර
කටකතා හා කැලෑ පත්තර සංස්කෘතියට මම අද පමණක් නොව, හැමදාමත් විරුද්ධව අදහස් පළකරන පුද්ගලයකු ලෙස ක්‍රියාකර ඇත්තෙමි. 94 චන්ද්‍රිකා බලයට ගෙන එන ප්‍රචාරක වැඩපිළිවෙළේදී එහි වැදගත් කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයකු වශයෙන් ප්‍රතිපක්ෂයට කැලෑ පත්තරවලින් පහරදෙන පිළිවෙතට එරෙහිව මම ක්‍රියාකර ඇත්තෙමි. ඒ ගැන මම මීට පෙර ලියා ඇත්තෙමි. ප්‍රතිපක්ෂය පරාජය කළයුත්තේ බොරුව මත පදනම් වූ කැලෑ පත්තරවලින් නොව සත්‍ය කරුණු මත පදනම් වූ වාද විවාද හා ප්‍රචාරක ව්‍යාපාරයකින් බව මා එහිදී දරන ලද මතය විය. 77 මැතිවරණ ව්‍යාපාරයේ ජේ.ආර්. ජයවර්ධනට විශේෂිත වැඩපිළිවෙළක් තිබූ බව මා අසා ඇත්තේ එම වැඩපිළිවෙළ ක්‍රියාවට නගන ලද ඒකකයට අයත් පුද්ගලයකුගෙනි. නගරයක ජේ.ආර්. ජයවර්ධන සහභාගි වන ප්‍රචාරක රැස්වීමක් පවත්වන්නට පෙර දින හිඟන මිනිසුන් කණ්ඩායමක් එම නගරයට මුදාහරින වැඩපිළිවෙළක් තිබූ බවත් ප්‍රචාරක රැස්වීම පැවැත්වෙන දිනයේ නගරයේ ඇති කුණු බක්කි ඇවිස්සීම ඔවුන් වෙත පැවරුණු රාජකාරිය බවත් ඊට අතිරේකව කටකතා පැතිරවීම සඳහා ද වෙනම ඒකකයක් තිබූ බවත් මම ඔහුගෙන් අසා ඇත්තෙමි.
ජනාධිපති ප්‍රේමදාස බලයේ සිටි කාලවකවානුවේදීද ඔහුට එරෙහිව කටකතා පතුරුවන සංවිධානාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය. නිරුවත් කන්‍යාවන් හත්දෙනකු ලවා ජනාධිපතිවරයා කිරි කළවලින් නැහැවීමේ කතාව එසේ පතුරුවා හරින ලද කටකතාවක් විය. එම කටකතාව විකල්ප පුවත්පතක පළවීම නිසා එම කටකතාව විශ්වාස කරන පිරිසක්ද රටේ ඇතිවිය. එම කටකතාවල අරමුණ වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා කෙරෙහි මහජනයා අතර පිළිකුලක් ඇති කිරීමය. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාවටද එවැනි පහත් පෙළේ කටකතා කිහිපයක් ඇතුළත් කර තිබුණි. මම ද දෝෂාභියෝග ව්‍යාපාරයේ ආධාරකරුවකු වුවත් දෝෂාභියෝග යෝජනාවට පහත් පෙළේ කටකතා ඇතුළත් කර තිබීම මගේ සතුටට හේතුවූයේ නැත. මම ඒ ගැන ලලිත් ඇතුලත්මුදලි සමග වාද කර ඇත්තෙමි. දේශපාලන ව්‍යාපාරයක් බලයට පත්වීමේ අරමුණ ජයගැනීම සඳහා බොරුව ආයුධයක් කරගත යුතු නැති බව මම කියා සිටියෙමි.
ලලිත් මගේ තර්කය පිළිගනිමින් කීවේ ඊට කටකතා ඇතුළත් කළයුතු බව ප්‍රේමචන්ද්‍ර හා ගාමිණී තරයේ කියා සිටි නිසා දෝෂාභියෝග යෝජනාවට එම කටකතා ඇතුළත් කරන ලද බවය.
දූෂණය හා සාක්ෂි
පාලක පක්ෂයක් විසින් සිදුකරනු ලබන දූෂණ අනුමාන වශයෙන් මිස කරුණු සහිතව සනාථ කිරීම පහසු නැති බවට කරන තර්කය පිළිගත නොහැකිය. එය දුෂ්කර කාර්යයක් විය හැකි වුවත්, එය නොකළ හැකි කාර්යයක් නොවේ. එජාප පාලනය බිඳ වැටෙන්නට ප්‍රථම ඒ කාලයේ සිදුවූ දූෂිත ගනුදෙනු සැලකිය යුතු තරම් විශාල සංඛ්‍යාවක් සාක්ෂි සහිතව ප්‍රසිද්ධ කිරීමට අපට හැකිවිය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ඉඩම් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන් හා ආණ්ඩුවට සමීප රාජ්‍ය නිලධාරීන් අතර බෙදාගෙන තිබූ ආකාරය, ඔවුන් එම ඉඩම් සඳහා ගෙවා තිබෙන සොච්චම් මිල ගණන් හා ඔප්පු අංක සමග ගෙනහැර දැක්වීමට අපට හැකිවිය. තෝරාගත් ගජ මිතුරන් පිරිසකට ආරක්ෂණ රහිතව රාජ්‍ය බැංකු මගින් ණය ලබාදී එම ණය ආපසු ලබාගැනීමකින් තොරව කපාහැර තිබෙන ආකාරය අදාළ බැංකු ලියවිලි සමග ගෙනහැර දැක්වීමට අපි සමත් වීමු. එම හෙළිදරව්කිරීම් ආශ්‍රයෙන් රටේ මහා වාද විවාදද ඇතිවිය.
ප්‍රේමදාස පාලන යුගයේදීද එයාර් බස් මිලදී ගෙන තිබෙන දූෂිත ස්වභාවය පෙන්නුම් කිරීම සඳහා ඒ ගැන නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා (ෂන්මුගලිංගම්) ලියන ලද රහස්‍ය ලිපියක් ප්‍රසිද්ධ කිරීමට අපි සමත් වීමු. තෙල් සහ මේද සංයුක්ත මණ්ඩලය මිලදී ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති විජේතුංග ප්‍රීමා සමාගම් ප්‍රධානියා ලෙස ක්‍රියා කළ ප්‍රී මුස්ට ලියන ලද පෞද්ගලික ලිපියක් ප්‍රසිද්ධ කිරීමට අපට හැකිවිය. වරාය අධිකාරිය පෑලියගොඩින් පවරා ගන්නා ලද ඉඩම්වලට වන්දි ගෙවීමේදී වෙනත් ගැනුම්කරුවන්ගේ ඉඩම් සඳහා පර්චසයකට රුපියල් පහළොස් දහසක් ගෙවන විට දෝෂාභියෝග යෝජනාවේදී ප්‍රේමදාස ජනාධිපතිවරයාට ආධාර කළ නවලෝක මුදලාලිට පර්චසයක් සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවා තිබෙන ආකාරය අදාළ ලියවිලි සමග ප්‍රසිද්ධ කිරීමට අපි සමත් වීමු. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාවට නගා තිබෙන සංවර්ධන යෝජනා ක්‍රමවලින් ආණ්ඩුවේ ප්‍රධානීන් අයථා ලෙස වස්තුව උපයන්නේය කියන කතාවන්ට සමාන කතා මීට පෙර බලයේ පැවති ආණ්ඩු විසින් කරවන ලද සංවර්ධන ව්‍යාපාර සම්බන්ධයෙන් ද අසන්නට ලැබුණි.
මහවැලි සංවර්ධන ව්‍යාපාරය සම්බන්ධයෙන් සේ ම සෙත්සිරිපාය, පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීම වැනි යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ද එවැනි කතා අසන්නට ලැබුණි. ප්‍රේමදාස පාලන යුගයේදී ක්‍රියාත්මක වූ නිවාස ව්‍යාපෘති, ගම්උදාව වැනි සංවර්ධන ව්‍යාපාර සම්බන්ධයෙන් සේම චන්ද්‍රිකා පාලන යුගයේදී ක්‍රියාත්මක වූ කටුනායක අධිවේගී මාර්ග වැනි ව්‍යාපාර සම්බන්ධයෙන් ද එවැනි කතා අසන්නට ලැබුණි. එදා කෙරුණු කතාවල සේ ම අද කෙරෙන කතාවලද යම් සත්‍යයක් ඇති බවට සැකයක් නැත. මේ දේශපාලන ක්‍රමය තුළ රාජ්‍ය මට්ටමෙන් කෙරෙන ගනුදෙනුවලදී දේශපාලනඥයන් අයථා ලෙස වස්තුව උපයා ගැනීම අද සේම මීට පෙරද සිදුවිය. එය මෙම දූෂිත දේශපාලන ක්‍රමයට ආවේණික නිසඟ ලක්ෂණයකි. මෙම දේශපාලන ක්‍රමය සකස් කර තිබෙන්නේ බලයට පත්වන පාලක පක්ෂවලට රට පාලනය කරනවාට අතිරේකව රාජ්‍ය මට්ටමෙන් කෙරෙන ගනුදෙනුවලදී අයථා ලෙස වස්තුව උපයා ගැනීමට අයිතිය හා බලය ලැබෙන ආකාරයටය.
එම ධර්මතාව වර්තමානයේ ක්‍රියාත්මක වනවා සේ ම මීට පෙර පැවති පාලන බලයන් තුළ ද ක්‍රියාත්මක විය. හුදු ආණ්ඩු වෙනසක් මෙම ප්‍රශ්නයට පිළියමක් නොවන්නේ ඒ නිසාය.
ලසන්තගේ නඩුව
දූෂණය පිළිබඳව පුවත්පත් විසින් කරන ලද හෙළිදරව්කිරීම්වලට ඇතුළත් කාරණා හැමවිටම සත්‍ය නොවන බවද කිවයුතුය. පුවත්පත්වල පළවන හැම වැරදි වාර්තාකරණයකටම එරෙහිව බලයේ සිටින ආණ්ඩු සිරිතක් වශයෙන් නඩු පවරන තැනකට යන්නේ නැත. එහෙත් කලාතුරකින් හෝ නඩු පවරන අවස්ථාවලදී පුවත්පත් අමාරුවේ වැටෙන අවස්ථාද ඇති බව අප අමතක නොකළ යුතුය. මෙම විෂය පිළිබඳව මා විසින් ලියා පළකර තිබෙන ““පෑන අහිංසකද?”” යන කෘතියෙන් විස්තරාත්මකව ඒ ගැන කතාකර ඇත්තෙමි. ටෙන්ඩරයක් සඳහා තරග කොට පරාජය වූ පුද්ගලයකු පුවත්පතකට රසවත් කතාවක් ගෙන ආ හැකිය. ඒ සඳහා තමන්ගේ ටෙන්ඩර් ලියවිලිද ඔහු පුවත්පතට ලබාදිය හැකිය. එහෙත් එහිදී ඔහු කියන කතාව තුළ විශාල බොරුද තිබිය හැකිය. ලබාගත් කරුණු හොඳින් සලකා බැලීමකින් තොරව කතාව පළකළහොත් බැලූ බැල්මට එය දූෂණය පිළිබඳව ලියවුණු හොඳ වාර්තාකරණයක් ලෙස පෙනිය හැකිමුත් වැරදිලාවත් එම වාර්තාකරණයට එරෙහිව නඩු පැවරීමකට ගියහොත් සමහරවිට එම වාර්තාව පළ කළ පුවත්පත විශාල අමාරුවක වැටෙන්නට ද බැරි නැත.
මිග් යානා මිලදී ගැනීම පිළිබඳව ලස්සණ වාර්තාවක් ලසන්ත වික්‍රමතුංග පළ කළේය. එවැනි වාර්තාකරණයක් අභියෝගයට ලක් කරමින් නඩු පැවරීමක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් අවස්ථාවක පමණය. එහෙත් ලසන්තගේ මෙම වාර්තාකරණයට එරෙහිව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලසන්තට එරෙහිව නඩු පැවරුවේය. ඉල්ලා සිටි වන්දියේ ප්‍රමාණය මිලියන 1000කි. මෙවැනි වාර්තාකරණයකදී තමා ලියන ලද කතාව සත්‍යයක් බව සනාථ කිරීමට පුවත්පත්කරු අසමත් වුවහොත් පැමිණිල්ල ඉල්ලා සිටින වන්දිය ගෙවන්නට වගඋත්තරකරුට සිදුවේ. එහෙත් ලසන්ත ලිව් කරුණු සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ලසන්ත ළඟ නොතිබුණි. ලියන ලද කතාවට අසත්‍ය කරුණුද ඇතුළත්ව තිබුණි. තමන් අමාරුවේ වැටෙන්නට යන බව ලසන්ත දැනගත්තේය. දිස්ත්‍රික් උසාවියේ ඇසෙන නඩුවෙන් වැරදිකරු වුවහොත් අභියාචනයට යාමේ අයිතිය ලැබෙන්නේ ගෙවන්නට නියම කළ වන්දිය ඇපකරයක් වශයෙන් උසාවියේ තැන්පත් කිරීමෙන් පසුව පමණය.
පළමු දේ ඇපකරයක් වශයෙන් රුපියල් මිලියන 1000ක් උසාවියේ තැන්පත් කිරීම පහසු දෙයක් වන්නේ නැත. අනෙක් අතට අභියාචනය කවදා අවසන්වේදැ”යි කිව නොහැකිය. නඩුව අවසන් වන තෙක් ඇපකරය උසාවියේ තැබිය යුතුය. ඒ සඳහා කිසිම පොලියක් ලැබෙන්නේ නැත. තමන් ඇද වැටී සිටින දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒම පිණිස ලසන්ත තමන්ගේ පැරණි මිත්‍රයකු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග නැවත ඇඟෑලුම්කමක් ඇතිකර ගන්නට උත්සාහ කළේය. ඒ සඳහා රාත්‍රි කාලවලදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවල නිරත විය. ජනාධිපතිවරයා ඔහුගේ නඩුව බේරුමක් කරදීමට උත්සාහ කළත්, නඩුව ඉවත් කරගැනීමට ආරක්ෂක ලේකම්වරයා එකඟ නොවීය. ලසන්ත ඝාතනයට ලක්වූයේ ඒ අතර කාලයේදීය. ලසන්තගේ ඝාතනයෙන් පසු තමන් ඝාතනයට ලක්වන්නට යන බව කල්තියා දැනගෙන ලසන්ත මරණයට පෙර ලියා තිබුණේයැ”යි කියන කතාවක් ද එම පුවත්පත පළ කළේය. එය ලෝකයේ වැඩිම පුවත්පත් ගණනක පළවූ කතුවැකිය ලෙස ද සැලකිය හැකිය.
එහෙත් ඇත්තටම එය ලසන්ත සිය මරණයට පෙර ලියන ලද කතුවැකියක් නොවීය. ලසන්තට කතුවැකි ලියන්නට වෙනම පුද්ගලයෙක් සිටියේය. ලසන්ත ඝාතනයට ලක්වුවද ලසන්තගේ පුවත්පතට කතුවැකි ලියන පුද්ගලයා ඝාතනයට ලක් නොවීය. ඔහු ලසන්ත විසින්ම සිය මරණයට පෙර ලියන ලද සටහනක් ලෙස මරණයෙන් පසුව ලියන ලද සටහනක් පළ කළේය. ලසන්ත ඝාතනය කිරීම හෙළා දැකිය යුතු නින්දිත ක්‍රියාවක් වුවත් එම මරණයෙන් පසුව එවැනි බොරුවක් කිරීම යහපත් ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකිය. ඒ බොරුව බොරුවක් බව දැන සිටි පිරිසක් ජනමාධ්‍යවේදීන් අතර ද සිටියෝය. මෙම ප්‍රශ්නය මගේ කර්තෘ මණ්ඩලය සමගද කතා කර ඇත්තෙමි. ඒ මොහොතේ එම බොරුව හෙළිදරව් කරනවා දකින්නට ඔවුහු පවා කැමති නොවූහ. ඒ පිළිබඳ විස්තර මගේ ““පෑන අහිංසකද” යන කෘතියට ඇතුළත්ය.
මගේ නිරීක්ෂණ
මා මේ සියල්ලෙන් කියන්නට අදහස් කරන්නේ මෙම දේශපාලන ක්‍රමය තුළ දූෂණය, ජාතික දේහයේ ලේ උරාබොන මාපිලකු ලෙස ක්‍රියාකරමින් තිබුණද ඒ ගැන බොහෝ විට අපට අසන්නට ලැබෙන තොරතුරු අසත්‍ය හෝ අතිශයෝක්තියට නගන ලද තොරතුරු බවය. ඒ තත්ත්වයට එක හේතුවක් වී තිබෙන්නේ දේශපාලන බල තරගයයි. මෙම දේශපාලන ක්‍රමය තුළ බලයෙන් පිටස්තරව සිටින ප්‍රතිපක්ෂයක් බලයේ සිටින පක්ෂයකට දූෂණ චෝදනා එල්ල කරන්නේ ඇත්තටම ඔවුන් දූෂණයට විරුද්ධ නිසා නොව, පාලක පක්ෂයට රාජ්‍ය ගනුදෙනුවලින් අයථා ලෙස වස්තුව හරිහම්බ කරගැනීමට තිබෙන අයිතිය තමන් වෙත හිමිකර ගැනීමේ අරමුණ ජයගැනීම සඳහාය. දූෂණයට බර තබා සකස් කර තිබෙන මෙම දේශපාලන ක්‍රමය අහෝසි කොට දූෂණයට ඉඩක් නැති නව ක්‍රමයක් ඇති කළහොත් දැන් දේශපාලනයේ යෙදී සිටින අතිවිශාල බහුතර පිරිසක් දේශපාලනයෙන් ඉවත්ව යනු නොඅනුමානය. දේශපාලන ක්‍රමය වෙනස් කිරීම දුෂ්කර හා සංකීර්ණ ක්‍රියාවලියක් වී ඇත්තේ ද ඒ නිසාය.
මෙම බලතරගයෙන් ජයගන්නේ කව්ද යන්න මම නොදනිමි. එය තීරණය කරන්නේ මහජනයාය. මා දන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර ළඟ ළඟ තරගයක් තිබෙන බව පමණය. තරගය ආරම්භයේදී මහින්ද ඉදිරියෙන් සිටියද ඔහුගේ ව්‍යාපාරය අතින් සිදුවන එක වරදක් චිත්‍රයේ මහා වෙනසක් ඇති කිරීමට හේතුවිය හැකි බවද මම මීට පෙර ලියන ලද ලිපියකින් කියා ඇත්තෙමි. මටද මහින්ද රාජපක්ෂ ගැන විවේචනයක් තිබේ. ඔහුගේ පාලන ශෛලියේ මා කැමති අංග සේ ම නොකැමති අංග ද ඇත්තේය. මට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගැන විශාල විවේචනයක් ඇතත් මා හැමවිටම කියන්නේ ඔහු මා වඩාත්ම අකමැති හා මා වඩාත්ම කැමති දේශපාලකයා නිසාය. එම ප්‍රකාශය තුළ පරස්පර විරෝධී බවක් තිබිය හැකි වුවත් එය ඔහු පිළිබඳව මා දරන අවංක මතයයි. මා ප්‍රේමදාස ජනාධිපතිවරයාට ආධාර කර නැත. මා වැඩ කර ඇත්තේ ඔහුට එරෙහිවය. එහෙත් ඔහුගේ මළගමදා ලියන ලද සටහනේ ඔහු හඳුන්වන ලද්දේ පීඩිත ජනයා කෙරෙහි වැඩිම සංවේදීභාවයකින් ක්‍රියාකළ නායකයා වශයෙනි.
රංජන් විජේරත්න ඝාතනයට ලක්වූ අවස්ථාවේදී ඒ මරණය ගැන විරුද්ධ පාක්ෂිකයන් ප්‍රීතිවෙමින් සිටි අවස්ථාවකදී ඔහු ගැන ලියන කතුවැකියෙන් කීවේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි ප්‍රචණ්ඩ කැරැල්ල පරාජය කළ වීරයා වන බවය. ජවිපෙ ගොඩනගා තිබූ ද්වන්ද්ව බලය පරාජය නොකොට දීර්ඝ කාලයක් දකුණේ තිබුණේ නම් දකුණේ ජනතාවගේ ජීවිතය උතුරේ ජනතාවගේ ජීවිත තරම්ම කාලකණ්ණි වන්නට ඉඩ තිබුණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන ඉරණම කුමක් විය හැකිද යන්න මම නොදනිමි. මා අකමැති අංග කොතෙකුත් තිබියදී ඔහු කිසිම වැඩකට නැති නිකමකු ලෙස ඉතිහාසයේ කුණු කූඩයට තල්ලු කරනවා දකින්නට මා කැමති නැත. සියලු සීමාසහිතකම් තිබියදීත් ශ්‍රී ලංකාව මුහුණදී තිබුණු ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකි ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකා රාජ්‍යයට අතිරේකව ප්‍රභාකරන්ගේ තත්වාකාර රාජ්‍යයක් ගොඩනැගී තිබීමේ අභියෝගය ජයගත් දේශපාලන වීරයා ඔහුය.
නිදහසින් පසු බලයට පැමිණි සියලු නායකයන් කළ කාර්යයන් එකට ගත්තද ඔහු කළ එම කාර්යය ඒ සියල්ලට වඩා විශාලය. ඔහු පරාජය කරනවා නම් එසේ කළයුත්තේ ඔහුට හිමි ඒ ගෞරවයද ලබාදෙමිනි.