ජනාධිපතිවරණ තරගය දේශපාලන බලය සඳහා ප්රජාතන්ත්රවාදී බලවේග දෙකක් අතර කෙරෙන සටනක ස්වරූපයක් වෙනුවට බජාර් එකේ චණ්ඩින් දෙදෙනකු අතර ආධිපත්‍යය සඳහා කෙරෙන සාහසික හා වියරු සටනක ස්වරූපයක් ගෙන තිබෙන බව පෙනේ. ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසු පිළිපැදිය යුතු නීති තිබෙනවා සේ ම නාමයෝජනා භාරදීමෙන් පසු පිළිපැදිය යුතු නීතිද පවතී. නාමයෝජනා භාරදීමෙන් පසු තරග කරන අපේක්ෂකයන්ගේ කටවුට් ප්‍රදර්ශනය කිරීම හා පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම නීතියට පටහැනිය. එහෙත් වෙසක් උත්සව සමයේදී වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කෙරෙන ආකාරයට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පමණක් නොව, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කටවුට්වලින් රටේ හැම ප්‍රදේශයකම මග දෙපස වැසී ඇති බවක් පෙනීයයි. ජෙනරාල් ෆොන්සේකාගේ කටවුට් ඉවත් කෙරෙන සංවිධානාත්මක ව්‍යාපාරයක් ආණ්ඩුව විසින් දියත් කර ඇති බවට ජෙනරාල් ෆොන්සේකාට හිතවත් බලවේග ආණ්ඩුවට චෝදනා කිරීමෙන් පෙනීයන්නේද ආණ්ඩුවෙන් එල්ල වී තිබෙන කටවුට් අකා මකා දැමීමේ ව්‍යාපාරය නොවන්නට නීතිය නොසලකා හරිහරියට කටවුට් ප්‍රදර්ශනය කරන්නට ඔවුන් ද සූදානම් බවය.
ප්‍රසිද්ධ රැස්වීම් සඳහා ප්‍රදර්ශනය කරන පෝස්ටර් හැර අපේක්ෂකයන් හුවා දක්වන පෝස්ටර් ප්‍රදර්ශනය නීති විරෝධී වුවත්, ජනාධිපති හුවා දක්වන පෝස්ටර් වැඩියෙන් ද, ජෙනරාල් හුවා දක්වන පෝස්ටර් අඩුවෙන්ද ප්රදර්ශනයවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද මේ පක්ෂ දෙකම නීතියට ගරු කරන දේශපාලන බලවේග දෙකක් නොවන බවය. රාජ්‍ය බලය ඇති නිසා ආණ්ඩු පක්ෂය වැඩියෙන්ද රාජ්‍ය බලය නැති නිසා විරුද්ධ පක්ෂය අඩුවෙන් ද ඡන්ද නීති උල්ලංඝනය කරන තත්ත්වයක් රටේ පවතී.
වයඹ ඡන්දයෙන් පසු
මැතිවරණ කොමසාරිස්වරයා දෙන නියෝග පිළිපදින්නට පොලීසිය සූදානම් බවක් පෙනෙන්නට නැත. 17 වැනි සංශෝධනය යටතේ මැතිවරණ කොමිසම සතු සියලු බලතල මැතිවරණ කොමසාරිස් සතුව ඇතත්, තම නියෝග නොපිළිපදින පොලීසියට එරෙහිව දැඩිව ක්‍රියාකිරීමට මැතිවරණ කොමසාරිස්වරයා ද සූදානම් බවක් පෙනෙන්නට නැත. මැතිවරණ කොමසාරිස්වරයා දෙන නියෝග පොලීසිය අකුරටම පිළිපදින තත්ත්වයක් පැවති එකම අවස්ථාව ලෙස සැලකිය හැක්කේ 1999 වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසුව පැවති පළාත් සභා මැතිවරණවලදීය. ඒ තත්ත්වය කෙරෙහි බලපෑවේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. වයඹ ඡන්ද මංකොල්ලයෙන් පසුව එවැනි තත්ත්වයක් ඊළඟට පැවැත්වෙන පළාත් සභා ඡන්දවලදී ඇති නොවන තත්ත්වයක් සහතික කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට කැඳවා ඊළඟට පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණ නිදහස් හා සාධාරණ තත්ත්වයක පැවැත්වීම සඳහා අවශ්‍ය විධිවිධාන ඇතිකිරීමට නියෝග කොට එසේ ඇතිකරන විධිවිධාන මොනවාද යන්න විස්තරාත්මකව පැහැදිලි කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය අවම කරන නව විධිවිධාන රැසක් ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසුව 1999 ජනාධිපතිවරණය දක්වා පැවති පළාත් සභා මැතිවරණ ඉතාමත් නිදහස් හා සාධාරණ තත්ත්වයක පැවතුණි. එම මැතිවරණවලදී පොලීසිය මැතිවරණ කොමසාරිස්වරයා දෙන නියෝග අකුරටම පිළිපැද්දේය. 1977න් පසුව මැතිවරණ නිදහස් හා සාධාරණ තත්ත්වයක පැවති පළමු අවස්ථාව එය විය. රාජ්‍ය මාධ්‍ය සේ ම දේශපාලන පක්ෂ ද මැතිවරණ නීති අකුරටම පිළිපැද්දේය.
සරත් සිල්වාගේ වැදි බණ
ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති මෙම යහපත් තත්ත්වය කණපිට හරවන ලද්දේ අද යහපාලනය ගැන රටට වැදි බණ කියන සරත් නන්ද සිල්වා විසිනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගමන්මග ජනාධිපතිනි චන්ද්‍රිකාගේ කෝපයට හේතුවී තිබුණි. වයඹ ඡන්ද පෙත්සම මුල් කොටගෙන ඡන්ද මංකොල්ලයට දායක වූ ඇමතිවරුන් හතරපස්දෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය දඬුවම් කරනු ඇතැ”යි ඇය විශ්වාස කළාය. අනෙක් අතට ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනසක් ඇති නොකළහොත් 1999 පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රාජ්‍ය සම්පත් පාවිච්චි කිරීමට තිබෙන ඉඩ අහුරනු ඇතැ”යි ඇය විශ්වාස කළාය. ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට පක්ෂපාත තැනකට ගැනීම පිණිස ඇය කළේ අගවිනිසුරු ධුරයෙන් ජී.පී. ඇස් ද සිල්වා විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨතම විනිසුරු මාර්ක් ප්‍රනාන්දු එම තනතුරට පත් නොකොට නීතිපති ධුරයේ සිටි සරත් නන්ද සිල්වා එම තනතුරට පත් කිරීමය.
ඇය ඔහු එම තනතුරට පත් කළේද ඔහුට එරෙහිව දූෂණ චෝදනා මත ඉදිරිපත්වූ පැමිණිලි දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබූ අවස්ථාවකදීය. සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ එතෙක් පැවති ස්වාධීන ගමන් මග වෙනස් කොට එය විධායකයේ වුවමනා මත ක්‍රියාකරන දේශපාලන අතකොලුවක් බවට පත් කළේය. 1994 ජනාධිපතිවරණයේදී රාජ්‍ය මාධ්‍ය පවත්වාගෙන ගිය පක්ෂපාතී ක්‍රියාකලාපයට එරෙහිව කරු ජයසූරිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවේ එම පෙත්සම වැඩිදුර කරුණු විභාග කරන තත්ත්වයකට පවා නොගෙන අගවිනිසුරු එය නිෂ්ප්‍රභ කළේය. එය ජනාධිපතිවරණයේදී ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳව ඇති කරගන්නා බියකින් තොරව පොදු සම්පත් පරිහරණය කරන ලෙසට ආණ්ඩු පක්ෂයට දෙන ලද සංඥාවක් විය. ඒ සමග ආණ්ඩු පක්ෂය එම මැතිවරණයේදී මහා පරිමාණයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කරන තැනකට යොමුවිය.
කලඑළියේ සිදුකෙරුණු මැතිවරණ කොල්ලයක් ලෙස සැලකිය හැකි වයඹ පළාත් සභා මැතිවරණ පෙත්සම නිෂ්ප්‍රභ කෙරුණේ ද සරත් නන්ද සිල්වාගේ පාලන යුගයේදීය. 2005 පාර්ලිමේන්තු මැතිවරණයේදීද රාජ්‍ය මාධ්‍යවල පක්ෂපාතී භාවිතයට එරෙහිව නැවත කරු ජයසූරිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළේය. එම පෙත්සම මැතිවරණයෙන් පසු දිනෙක විභාගයට ගැනීමට තීරණය කරන ලද්දේ ද මෙම සරත් නන්ද සිල්වාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළුමනින් පටහැනි පක්ෂ මාරුවට නීත්‍යනුකූලභාවයක් ලබාදෙන ලද්දේද ඔහුය. 17 වැනි සංශෝධනය උල්ලංඝනය කරන ජනාධිපතිවරුන්ට ආරක්ෂාව ලබා දුන්නේද ඔහුය.
කබරගොයා තලගොයා වීම
මෙම සරත් නන්ද සිල්වාට එරෙහිව බරපතළ දූෂණ චෝදනා ඉදිරිපත් කරමින් ඔහුට එරෙහිව ඒකාබද්ධ දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන ලද බව අද එජාපයට සේ ම ජවිපෙට ද මතක නැත. එජාප පළමු දෝෂාභියෝගයෙන් පසු නැවත එම චෝදනා විස්තරාත්මකව විස්තර කරන දෙවැනි දෝෂාභියෝගයක්ද එජාපය ඉදිරිපත් කළේය. 1999 ජනාධිපතිවරණයේදී ඡන්දයෙන් තේරීපත්වූ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියට එරෙහිව ඉදිරිපත් කළ ඡන්ද පෙත්සම එජාපයට ඉවත් කරගැනීමට සිදුවූයේද එවකට අගවිනිසුරු ධුරය හෙබවූ සරත් නන්ද සිල්වා එම නඩුවේදී අනුගමනය කළ පක්ෂපාත ක්‍රියාකලාපය නිසාය. එජාප හා ජවිපෙ සරත් නන්ද සිල්වාට එරෙහිව ඒකාබද්ධව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාවට ඇතුළත් චෝදනා එම පක්ෂ දෙක අද දක්වා ඉවත් කොටගෙන නැත. එහෙත් පුදුමයකට මෙන් විරුද්ධ පක්ෂ ඡන්ද ව්‍යාපාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ප්‍රශ්න විග්රහ කරන ප්‍රකාශකයා බවට පත්ව සිටින්නේ ඔවුන් විසින්ම අධම හා දූෂිත පුද්ගලයකු ලෙස චෝදනා කරන ලද සරත් නන්ද සිල්වාය.
ජවිපෙ නායකයකු ප්‍රකාශ කර තිබෙන ආකාරයට ජෙනරාල් ජයගතහොත් රනිල් වෙනුවට භාරකාර ආණ්ඩුවේ අගමැති ධුරයට ගෙන එන්නට අපේක්ෂා කරන්නේ ද එම සරත් නන්ද සිල්වාය. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මෙම දේශපාලන ක්‍රමය තුළ ක්‍රියාත්මක වන අධිකරණ ක්රමයේ දූෂිත ස්වභාවය ඉතාමත් ප්‍රබල ලෙස සංකේතවත් කළ පුද්ගලයාය. දේශපාලනඥයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම තේරුම් ගත හැකිය. අඩුම වශයෙන් එවැනි නායකයකු අවුරුදු 6කට වරක් පැවැත්වෙන මැතිවරණයකදී මහජනයාට අවශ්‍ය නම් ගෙදර යැවිය හැකිය. එහෙත් අධිකරණ නායකයකු සම්බන්ධයෙන් මහජනයාට එසේ කළ නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ වගකීම පැවරී ඇති ආයතන ක්රමයේ ප්‍රධානියා අගවිනිසුරුවරයාය. ඔහු එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත බඩ පිනුම් ගැසුවේය. ඉතාමත් බලවත් පාලකයකු ලෙස සැලකිය හැකි ජේ.ආර්.
ජයවර්ධනගේ පාලන යුගයේදී පවා ඔහුට පවා කළ නොහැකි වූ අධිකරණය විධායකයේ දේශපාලන අතකොලුවක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය පරිපූර්ණ කළ පුද්ගලයා සරත් නන්ද සිල්වාය. එවැනි අන්ත දූෂිත පුද්ගලයකු විරුද්ධ පක්ෂ ඡන්ද ව්‍යාපාරයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමෙන් සංකේතවත් කෙරෙන්නේ ද රාජ්‍ය බලය සඳහා මෙම දෙපක්ෂය අතර කෙරෙන බලපොරය දූෂණයට එරෙහිව මිස්ටර් ඩර්ටිලාට එරෙහිව මිස්ටර් ක්ලීන්ලා කරන අරගලයක් නොව මිස්ටර් ඩර්ටිලා දෙපිරිසක් අතර කෙරෙන බල අරගලයක් වන බවය.
අවලස්සණ බව හා ක්‍රමය
මේ රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය තුළ දේශපාලන බලය තීන්දු කිරීම සඳහා පැවැත්වෙන කවර තීරණාත්මක මැතිවරණයක්වත් නිදහස් හා සාධාරණ තත්ත්වයක තිබිය නොහැකිය. මෙම දේශපාලන ක්‍රමය ඇති කිරීමෙන් පසු අද දක්වා පැවති හැම වැදගත් මැතිවරණයකදීම බලයේ සිටින පක්ෂය නීතියට පටහැනිව උපරිම ලෙස පොදු සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගත්තේය. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂට රඟපාන්නට සිදුවී තිබෙන්නේ ද අලුත් භූමිකාවක් නොව, සිය පූර්වගාමී නායකයන් රඟපෑ භූමිකාවමය. මේ ක්‍රමය ඇති කළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ දෙවැනි ධුර කාලය සඳහා පැවැත්විය යුතු ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන සිය ප්රතිපක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කළේය. එම ජනාධිපතිවරණයේදී උපරිම මට්ටමකින් රාජ්‍ය සම්පත් සිය මැතිවරණ කටයුතු සඳහා යොදාගත්තා පමණක් නොව, උපරිම මට්ටමකින් මැතිවරණ නීතිය උල්ලංඝනය කළේය.
ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමත විචාරණයකින් දීර්ඝ කරගත්තේය. ජනමත විචාරණයට එරෙහිව ක්‍රියාකාරී ලෙස වැඩ කළ විරුද්ධ පක්ෂ නායකයන් සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත්තේය. ඊට පෙර පැවති යාපනේ දිස්ත්‍රික් සභා ඡන්දයේදීද මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල කාර්යභාරය ආරක්ෂක ලේකම්වරයා වෙත පවරා ගනිමින් මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමසාරිස්වරයා පත් කළ නිලධාරීන් වෙනුවට කොළඹෙන් රැගෙන ගිය පාක්ෂිකයන් යොදා ගත්තේය. රණසිංහ ප්‍රේමදාස මහතා ද 88 ජනාධිපතිවරණයේදී රටේ පැවති භීෂණ තත්ත්වය තමන්ගේ ජයග්‍රහණය සඳහා ආයුධයක් ලෙස පාවිච්චි කළේය. ආණ්ඩුවට අවාසිදායක ඡන්ද කොට්ඨාසවල ඡන්දය පාවිච්චි කිරීමේ අනුපාතිකය පහළ මට්ටමක තැබීම සඳහා භීෂණ ක්‍රියා ඇති කළේය. ඉන්පසු අවුරුදු 17කින් පසු බලයට පැමිණි පොදු පෙරමුණ ද තීරණාත්මක වැදගත්කමක් ඇති මැතිවරණවලදී අනුගමනය කළ ක්‍රියාපිළිවෙත එජාප ආණ්ඩු අනුගමනය කළ පිළිවෙතට වඩා වෙනස් නොවීය.
රාජ්‍ය සම්පත් උපරිම ලෙස මැතිවරණ කටයුතු සඳහා යොදා ගත්තේය. උපරිම මට්ටමකින් මැතිවරණ නීති උල්ලංඝනය කළේය. එළිපිට කෙරෙන ඡන්ද මංකොල්ලයක් බවට පත්වූ 1999 වයඹ පළාත් සභා ඡන්දය ඒ ක්‍රියාවලියේ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකිය. මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ බලයේ සිටින කවර පක්ෂයක් වුවත් තීරණාත්මක මැතිවරණවලදී නීතියට පටහැනිව උපරිම ලෙස රාජ්‍ය බලය පාවිච්චි කිරීම මේ ක්‍රමයට ආවේණික නිසග ලක්ෂණයකි. එහිදී විරුද්ධ පක්ෂයට සිරිතක් ලෙස යහපාලනයක් ගැන කතා කරන්නට සිදුවුවත් සිරිතක් වශයෙන් විරුද්ධ පක්ෂය පාලක පක්ෂය බවට පත්වූ විට නැවත තීරණාත්මක මැතිවරණවලදී අනුගමනය කරනු ඇත්තේ සිය පූර්වගාමීන් අනුගමනය කළ අධම හා දූෂිත ක්රියාමාර්ගයන්ය. එහිදී ජවිපෙට පවා සුදනකු ලෙස පෙනී සිටීමේ හැකියාවක් නැත. රනිල් වික්‍රමසිංහට බලය තිබුණු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පොදු පෙරමුණ සමග සන්ධානයක් ඇති කරගනිමින් ජවිපෙ තරග කළ පාර්ලිමේන්තු මැතිවරණයේදී නීතියට පටහැනිව තමන්ගේ වාසියට ජවිපෙ ද ශ්‍රීලනිප සමග එක්ව රාජ්‍ය බලය උපරිමය ලෙස භාවිත කළේය.
එහිදී තමන් කරන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ජවිපෙ නොදැන සිටියා විය නොහැකිය. එහිදී ජවිපෙ හැසිරීම පාලක පක්ෂය හැසිරීමට වෙනස් නොවීය. එයින්ද පෙන්නුම් කෙරෙන්නේ මේ ක්‍රමය තුළ ඕනෑම පුද්ගලයකුගේ හැසිරීම ගුණාත්මක වශයෙන් වෙනස්විය නොහැකි බවය. අඩු වැඩි වශයෙන් හැම කෙනකුගේම හැසිරීම එක සමාන වන බවය.
අවලස්සණ ජයගැනීම
හැම මැතිවරණයකදීම දකින්නට ලැබෙන මෙම අවලස්සණ ගතිලක්ෂණ ජයගැනීමට අවශ්‍ය නම් එසේ කළහැකිවනු ඇත්තේ පුද්ගලයකු පරාජය කරන දේශපාලනයකින් නොව, ක්‍රමය වෙනස් කරන දේශපාලනයකිනි. මහජනයාට දෙනු ලබන සරල පොරොන්දුවලින් හෝ ක්‍රම විරෝධී සටන් පාඨවලින් පමණක් මෙම දූෂිත ක්‍රමය වෙනස් කළ නොහැකිය. ඒ සඳහා මෙම දේශපාලන ක්‍රමය ගැන බලවත් පිළිකුලක් මහජනයා අතර ඇතිවීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වන අතර දේශපාලන ක්‍රමය වෙනස් කරගැනීම සඳහා මහජනතාවගෙන් එල්ල වන බලපෑම තුළ ප්රතිපක්ෂ දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවකින් ක්‍රියාකරන තත්ත්වයක් ඇතිවීමද අත්‍යවශ්‍යය. තමන් බලයට පත්වුවහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා සහතික වී ඇතත්, ක්රමයේ වෙනසක් අවශ්‍ය වී ඇත්තේ ඇයි? ඒ වෙනස ඇති කරන්නට යන ක්‍රමය කුමක්ද යන ප්රශ්නය විස්තරාත්මකව විග්රහ කිරීමක් සිදුවී නැත.
රනිල් වික්‍රමසිංහ පවා ඔහු ලියා පළ කළ පොත් පිංචක් මගින් විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට විධායක අගමැති ක්‍රමයක් ඇතිකර ගැනීමේ වැදගත්කම අවධාරණය කර ඇත්තේ දැන් පවතින විධායක ජනාධිපති ක්‍රමය නුසුදුසු ඇයිද කියන ප්රශ්නය හා ඔහු ඇති කරන්නට යන විධායක අගමැති ක්‍රමය තෝරාගැනීමට තිබෙන හොඳම විකල්පය වන්නේ කෙසේද යන ප්රශ්නය විස්තරාත්මක විග්රහ කිරීමකින් තොරවය. ජවිපෙ පවා විටින් විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැදගත්කම අවධාරණය කොට ඇතත්, මෙම ක්‍රමය නුසුදුසු ඇයිද කියන ප්‍රශ්නයට හා ඒ වෙනුවට තෝරාගත යුතු ක්‍රමය කුමක්ද කියන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරක් ලබාදී නැත. මෙම විෂයේදී තාමත් සියලු දේශපාලන පක්ෂ ඉන්නේ අඳුරේ අතපතගාන තැනකය. එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.