ශ්රී ලංකාවේ පවත්නා අර්බුදයට විසඳුමක් සෙවීමට උනන්දුවක් දක්වන බාහිර බලවතුන්ගේ අවධානය ප්රභාකරන්ගේ සීමාන්තික ක්රියාකාරකම්වලට පමණක් සීමා නොවී චන්ද්රිකා ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී ක්රියාකාරකම් කෙරෙහි යොමු වී තිබීම යහපත් ප්රවේශයක් ලෙස සැලකිය හැකි ය. ඇමරිකානු නියෝජ්ය රාජ්ය ලේකම්වරයා තමන් ඊළාම් රාජ්යයක් පිළිගැනීමට සූදානම් නැති බව ප්රකාශ කිරිමෙන් නොනැවතී නිදහස් හා සාධාරණ මැතිවරණ පවත්වනවා දකින්නටත්, අදහස් ප්රකාශන නිදහස ආරක්ෂෂා වනවා දකින්නටත් උනන්දුවක් දක්වන බව ප්රකාශ කළේ ය. ශ්රී ලංකාවේ අර්බුදය පිළිබඳව යුරෝපා සංගමය කෙරෙන් සේම අසල්වැසි ඉන්දියාව කෙරෙන් පළ වී තිබෙන අදහස් ද ඊට සමාන ය.
උතුරේ ත්රස්තවාදය පිළිබඳ ප්රශ්නය පුළුල් අර්ථයෙන් ගත්විට ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ ගැටලුවේ ම කොටසකි. උතුරේ දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි ප්රජාතන්ත්රවාදී ආකාරයකින් විසඳගැනීමට ඉඩක් ලැබුණේ නම් ත්රස්තවාදය පිළිබඳ ප්රශ්නයක් ද ඇති නොවන්නට ඉඩ තිබුණි. අනෙක් අතට ප්රජාතන්ත්රවාදී නිදහස සීමා කිරිමේ ගැටලුව දෙමළ උතුර කෙරෙහි පමණක් නොව සිංහල දකුණ කෙරෙහි ද විනාශකාරී ලෙස බලපායි. 1971 දිත් නැවත 1989-90 කාලයේදිත් දකුණේ විනාශකාරී තරුණ කැරලි මතුවූයේ ද එහි ප්රතිඵලයක් වශයෙනි. දැන් දෙමළ උතුර මෙන් නොව සිංහල දකුණ සාමකාමී වුවත් සීමා කොට තිබෙන ප්රජාතන්ත්රවාදී නිදහස කල් නොයා පුළුල් කිරීමට අසමත්වේ නම් එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් සිංහල දකුණ කෙරෙන් ද විනාශකාරි ව්යාපාර මතුවිය හැකි ය.
දකුණේ සිංහල අපට උතුරේ දෙමළ ප්රභාකරන් පෙනෙන්නේ දරුණුතම ගණයේ ත්රස්තවාදි නායකයකු ලෙස ය. දකුණේ අපේ සිංහල පාලකයින් ත්රස්තවාදි නායකයන් ලෙස සැලකිය නොහැකි වුවත් ඔවුන් ප්රජාතන්ත්රවාදී නායකයන් ලෙස ද සැලකිය නොහැකි ය. අපේ පාලකයින් ප්රභාකරන් මෙන් නොව මහජන වරමින් බලයට පැමිණ අය බව අපට කිව හැකි ය. මේ හැම නායක නායිකාවක්ම ආරම්භයේ බලයට එන්නේ මහජන වරමිනි. එහෙත් ඉන් පසු දිර්ඝ කාලයක් බලයේ රැඳී සිටීම සඳහා බලහත්කාරය ආයුධයක් කොටගනී. විරුද්ධ පක්ෂෂ බෙලහීන කිරීම පිණිස තමන්ට කළ හැකි හැම දෙයක්ම කරන්නේ ය. අදහස් ප්රකාශන නිදහස මැඩ පැවැත්වීම පිණිස මේ හැම පාලකයෙක්ම හදිසි නීතිය ආයුධයක් කොට ගත්තේ ය. පුවත් පත් ආයතන සීල් තැබුවේ ය. අධිකරණ නිදහසට ඇගිලි ගැසුවේ ය. තමන් කැමති ප්රතිපලයක් ලබාගත හැකි ආකාරයට ඡන්ද මංකොල්ල කෑමට මැලි නොවූයේ ය. ඒ අර්ථයෙන් දෙමළ උතුරේ ප්රභාකරන්ගේ දේශපාලනය ත්රස්තවාදි වන්නා සේ ම සිංහල දකුණේ පාලකයන්ගේ ප්රජාතන්ත්රවාදී දේශපාලනය ද යම් ප්රමාණයකට ත්රස්තවාදි වන්නේ යයි කිව හැකි ය.
ශ්රී ලංකාවේ පවත්නා අර්බුදයට ශක්තිමත් හා කල් පවත්නා විසඳුමක් සොයාගත හැකි වනු ඇත්තේ එකම ගැටලුවක් තුළ ඇති මේ ගැටලු දෙකටම සාර්ථක විසඳුමක් ලබාදිය හැකි නම් පමණ ය. එනම් ප්රභාකරන්ට ප්රජාතන්ත්රවාදී ප්රවාහයෙන් පිටස්තරව ඉඳීමට තිබෙන ඉඩකඩ ඇහිරිය යුතු ය. අනෙක් අතට ප්රජාතන්ත්රවාදී ප්රවාහය තුළ ඉඳිමින් ප්රජාතන්ත්ර විරෝධීව ක්රියාකිරීමට අපේ නායකයින්ට තිබෙන පුලුවන්කම අහෝසි කළ යුතුය.
ප්රභාකරන් සාකච්ඡා මගින් ප්රශ්න විසඳ ගැනීමට කැමැත්තේ නම් කිසියම් කාලයක් මැතිවරණයකින් තොරව අතුරු පාලනයක් ලබාදිමට තමන් සූදානම් බව ජනාධිපතිනිය මෑත දි ප්රකාශ කළා ය. එය ඵලදායක ප්රවේශයකි. එහෙත් ඔවුන් පරිධියට පමණක් සීමා නොකොට කේන්ද්රයට ද ඇතුළත් කර ගැනීම වැදගත්ය.
බාහිර රටවල් සමූහයකගේ මැදිහත්වීමකින් තොරව මේ දෙපක්ෂෂයට කිසිම සාර්ථක ගනුදෙනුවක් කළ නොහැකිය. දෙපක්ෂෂයම පසුවන්නේ එකිනෙකා කෙරෙහි ඇතිකරගත් වෛරයකින් හා අවිශ්වාසයකි. දෙපක්ෂෂයේ ම විශ්වාසයට හේතුවන හා කවර පක්ෂෂයක් අතින් හෝ සිදුවන මුරණ්ඩුකමක් වේ නම් එය පාලනය කිරිමේ හැකියාවක් ඇති බලවත් තුන්වැනි පිරිසක් දෙපක්ෂෂය සමගම සාකච්ඡා කොට පිළිගත හැකි එකගතාවයක් ඇති කරගනිමින් එම එකගතාවන් ක්රියාවට නැගීම සඳහා වන කාලසටහනක් සහිත න්යාය පත්රයක් ඇති කරගනිමින් තුන්වැනි පිරිස බලවත් ආකාරයකින් එම න්යාය පත්රයේ එන කාරණා එකකට පසු එකක් යනාදි වශයෙන් සම්පූර්ණ කර ගැනීම සඳහා ක්රියා කරයි නම් දෙපාර්ශවයේ ම ගෞරවයට හා වාසියට හේතුවන ලෙස ප්රශ්න විසඳ ගැනීමේ හැකියාවක් තිබෙනව විය හැකි ය. එහෙත් ඒ න්යාය පත්රයේ වැදගත්ම අරමුණක් විය යුත්තේ ශීඝ්ර ලෙස ගරා වැටෙමින් තිබෙන ප්රජාතන්ත්රවාදී දේශපාලන ආයතන ක්රමය ප්රතිසංස්කරණය කොට තහවුරු කිරීම විය යුතුය.
දෙමළ ජනතාවට එක්තරා ප්රමාණයක ස්වයං පාලන තත්ත්වයක් ලබා දෙනවාට අමතරව කේන්ද්රයේ තීන්දු ගැනීමේ ක්රියාවලියට සියලු දෙනා මනා ලෙස සම්බන්ධ කරගන්නා ක්රමයක් ඇති කරගත හැකි ය. එවිට අන්තර් පාලන ක්රමයක් මගින් දෙමළ ප්රදේශ පාලනය කිරිමේ අවස්ථාව ලැබෙනවාට අතිරේකව මුළු රටම සඳහා වන පොදු ප්රතිපත්ති සම්පාදනය කරන ආයතනය ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තුව ද සම්බන්ධ කරගත හැකි ය.
දකුණු අප්රිකාවේ ගැටුමට සම්බන්ධ සියලු පාර්ශවයන් වට මේස සාකච්ඡා වටයක් තුළ ගොඩනගන ආණ්ඩු ක්රමයක් සඳහා තිබිය යුතු මූලධර්ම හඳුනාගනිමින් ඉන්පසු පවත්වන ලද මැතිවරණයකට වෙන් වෙන්ව තරග කොට තෙරී පත්වන සියලු දෙනා එක් වී පස් වසරක කාලයක් සඳහා සියලු දෙනා අතර බලතල සාධාරණ ලෙස බෙදියන ආකාරයට ජාතික ආණ්ඩුවක් ඇතිකරගත්තා සේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කොටගත් ක්රියාවලියක් ක්රියාවට නැංවීමට ඉඩක් ඇත්තේ ය.
ඉතාමත් වැදගත් නිලතල සඳහා සුදුසුම පුද්ගලයන් පත් කෙරෙන පිළිගත් ක්රමයක් තිබිය යුතු ය. ඒ සඳහා ජන නායකයින්ට ලැබෙන අසීමිත බලය හිතුවක්කාරී ලෙස පාවිච්චි කිරිමේ ඉඩක් නොතිබිය යුතු ය. අදහස් ප්රකාශ කිරිමේ නිදහස පාලනය කිරීමට තිබෙන ඉඩකඩ විශාල ප්රමාණයකින් සීමාකළ යුතු ය. මහජන නියෝජිතයින් සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇති කරගනිමින් ප්රමාණවත් තරමේ මහජන සේවයක් නොකරන හා බරපතල වැරදි කරන මහජන නියෝජිතයන් එම තනතුරුවලින් ඉවත් කරන හා දඬුවම් දෙන ක්රමයක් ඇතිකරගත යුතු ය. අධිකරණය මහජනතාවගේ ගෞරවයට හේතුවන ලෙස ප්රතිසංවිධානය කරමින් දේශපාලන ඇගිලි ගැසීම්වලට ඉඩක් නැති ස්වාධීන ආයතන ක්රමයක් බවට පත්කළ යුතු ය. රාජ්ය සේවය හා පොලිස් සේවය ද ස්වාධීන කළ යුතු ය. අධ්යාපනය, සෞඛ්ය, ගමනාගමනය පුද්ගලීකරණය හා ජනවර්ග සම්බන්ධතා සඳහා වන පොදු ජාතික ප්රතිපත්තියක් ඇතිකරගත යුතු ය. ජාතික ආරක්ෂෂාව පිළිබඳ ප්රශ්නවලදි හැර රාජ්ය මට්ටමින් සිදුවන සියලු කටයුතු හා ගනුදෙනු මහජනතාවට පහසුවෙන් දැනගැනීමට ඉඩ ලැබෙන ආකාරයට තොරතුරු ලබාගැනීමේ අයිතිය නීතිගත කළ යුතු ය. පාලකයන්ට තමන්ට කැමති ප්රතිඵලයක් ලබාගත නොහැකි ආකාරයට හා දේශපාලන ඇගිලිගැසීම් වලින් තොරව නිදහස්ව හා සාධාරණව මැතිවරණ පැවැත්වීමට පුළුවන්කම ලැබෙන ආකාරයේ සියලු බලතල සහිත ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇතිකළ යුතු ය.
අවශ්ය නම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කොටගනිමින් ම එවැනි වැඩපිළිවෙළක් ක්රියාවට නැංවිය හැකිය. ස්වාධීන පාලන ක්රමයක් සඳහා වන මූලධර්ම පිළිබඳ කොටි සංවිධානය හා අනෙකුත් දෙමළ සංවිධාන සමග සාකච්ඡා අරඹමින් සුදුසු ආණ්ඩු ක්රමයක් ඇති කර ගැනීම සඳහා මූලධර්ම පිළිබඳව එකගතාව ඇතිකර ගැනීමේ අරමුණින් කෙරෙන සර්වපාක්ෂෂික සාකච්ඡා වටයකට ද ඔවුන් සමබන්ධ කරගත හැකි ය. ඇති කරන නව ආණ්ඩුක්රමයක් සඳහා වන මූලධර්ම හඳුනා ගනිමින් ඒවාට පොදු එකගතාවක් ඇතිකර ගැනීමෙන් පසුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන නව ආයතන ක්රමයක් ඇතිකර ගනිමින් ඒ යටතේ පාර්ලිමේන්තු මැතිරවණය පැවැත්විය හැකි ය. මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව ආණ්ඩුක්රම සම්පාදන මණ්ඩලයක් බවට හරවා ගනිමින් මැතිවරණයට පෙර සර්ව පාක්ෂෂික සාකච්ඡාවේ දි එකගතාව ඇතිකරගත් මූලධර්ම මත ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇතිකරගත හැකිය. වැඩිම බලයක් ලැබෙන පක්ෂෂයට රාජ්ය නායකත්වය ද ඊළග වැඩි බලය ලැබෙන පක්ෂෂයට දෙවැනි රාජ්ය නායකත්වය ද ලැබෙන ආකාරයටත් ඉතිරි බලතල ඒ ඒ පක්ෂෂ ලබාගත් ආසන ප්රමාණය අනුව බෙදියන ආකාරයටත් බලතල බෙදාගනිමින් අවුරුදු පහක් වැනි කාලයක් සඳහා ජාතික ආණ්ඩුවක් ඇතිකරගත හැකිය. දේශපාලන ක්රමයේත් ස්වාධීන සමාජ ක්රමයේත් ඇති වී තිබෙන ගරා වැටීම වළකා ගනිමින් නව ආරම්භයකට ශක්තිමත් ලෙස මුල පිරිමක් කළ හැකිවනු ඇත්තේ එවැනි පුළුල් න්යාය පත්රයක් සඳහා බාහිර බලවතුන්ගේ මග පෙන්වීමක් ලැබේ නම් පමණ ය.