වැට් බදු වංචා නඩුව පසුගිය සතියේ අවසන් වූයේ, චෝදනා ලැබ සිටි චූදිතයන් 13 දෙනකු අතරින්, අත්අඩංගුවට ගනු ලැබූ 5 දෙනාගෙන් වරද පිළිගෙන නොගෙන සිටි, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු වූ ඥානසිරි ද සොයිසා ද, අවසානයේ වරද පිළිගැනීම නිසා අවුරුදු තුනකින් ගෙවෙන ලෙස සිව් අවුරුදු දඬුවමක් හා රුපියල් කෝටි 1198ක දඩයක් නියම කිරීමෙනි. පනවන ලද දඩය එක් මසක කාලය තුළ නොගෙව්වොත් තහනම් කර තිබෙන විත්තිකරුගේ දේපළ රාජසන්තක කොට එම දඩ මුදල අයකරගත යුතු බවද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කර තිබේ.
මෙම වැට් බදු වංචාව සැලකෙන්නේ දකුණු ආසියානු රටක රාජ්ය ආයතනයක සිදුවී තිබෙන ලොකුම බදු වංචාව වශයෙනි. මෙම වංචාව මුලින්ම රටට වාර්තා කළේ රාවය පුවත්පත විසිනි. ඒ 2005 ජූනි 26 වැනිදාය. එය මුල් පුවතක් ලෙස එදින රාවය වාර්තා කර තිබුණේ “දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මිලියන 3570ක මුදල් වංචාවක්” යන තේමාව යටතේය. එහි පළවූ මුල් පුවත සේ ම ඇතුළත පළවී තිබූ ඒ පිළිබඳව පළවූ විශේෂාංගයට ඇතුළත් කතාවද ලියන ලද්දේ මා විසිනි. එම විශේෂාංගයට ඇතුළත්ව තිබූ නියෝජ්ය මුදල් ඇමති සරත් අමුණුගම, දේශීය ආදායම් බදු කොමසාරිස් ජෙනරාල් ආර්.පී.එල්. වීරසිංහ හා විගණකාධිපති ඩී.එස්.එස්. මායාදුන්නේ යන අයගේ ප්රතිචාර ඒ ප්රතිචාර ලියනුයේ කර්තෘ මණ්ඩලයේ වෙනත් සාමාජිකයකු විසිනි.
මේ පුවත ඒ ආකාරයෙන් වාර්තා කිරීමට මට අවශ්ය වූයේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සිදුවී තිබුණු මෙම මහා වංචාව සොයාගෙන ඒ බව නිසි බලධාරීන්ට දැනුම්දීමෙන් පසුත් වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්රියාත්මක නොවන තත්ත්වයක් ඇතිවී තිබීම තුළ වංචාව සොයාගත් නිලධාරියා ඇද වැටී තිබුණු බිහිසුණු තත්ත්වයෙන් ඔහු මුදාගෙන මෙම වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වන තත්ත්වයක් සහතික කිරීමට අවශ්ය වූ නිසාය. රජයට බදු ආදායම් එකතු කරන ආයතනයක සිදුවී තිබෙන මෙම දැවැන්ත බදු වංචාව සේ ම වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වූ අලස, අසම්පූර්ණ හා විකාරරූපී ස්වරූපය ලංකාවේ ආයතන ක්රමය කොතරම් විශාල ප්රමාණයකට කුණුවී තිබේද යන්න පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
පූර්ණ පරීක්ෂණයක් සිදු නොවීම
සිදුවී තිබුණු වංචාව අපූරුය. අපනයන සඳහා භාණ්ඩ නිපදවන සමාගම්වලට භාණ්ඩ අපනයනය කළ පසු එම භාණ්ඩ නිපදවීම සඳහා ආනයනය කරන ලද භාණ්ඩ වෙනුවෙන් ගෙවන ලද වැට් බදු ආපසු අයකරගත හැකිය. මෙම දැවැන්ත වංචාව සිදුවී තිබුණේ අපනයනය කරන ලද භාණ්ඩවලට ලැබිය යුතු වැට් බදු ආපසු ලබාගන්නා ආකාරයටය. ඉතා කෙටි කාලයක් තුළ මේ ආකාරයට වංචාවෙන් ලබාගෙන තිබුණු මුදල් ප්රමාණය රුපියල් කෝටි 357ක් හෙවත් රුපියල් බිලියන
මෙම මහා වංචාව අල්ලා ගත් නිල 3.57කි. ධාරියා (විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වර්තමානයේ නියෝජ්ය විගණකාධිපතිවරයෙකු) එස්.ඒ.ඩී.එස්.ඒ. ක්රිස්ටිය. සිදුවී තිබෙන වංචාවේ ප්රමාණය ලෙස බිලියන 3.57 ගණනය කර ඇත්තේ නියැදි පරීක්ෂණයකින් මිස පූර්ණ පරීක්ෂණයකින් නොවේ. ඉන් පෙනෙන්නේ වංචාවේ පරිමාව ඊටත් වඩා විශාල විය හැකි බවය. මෙම වංචාව අල්ලාගැනීමෙන් පසුවවත් ඒ ගැන පූර්ණ පරීක්ෂණයකට යමින් සිදුවී තිබෙන වංචාවේ නියම අගය කුමක්දැ”යි අද දක්වා සොයා ගෙන නැත. මොන මොන හේතු නිසා හෝ නියැදි සමීක්ෂණයෙන් සොයාගත් දෙයකට වැඩි දෙයක් සොයන තැනකට යායුතු නැතැ”යි බලධාරීන් කල්පනා කර තිබෙන බව ඉන් පෙනීයයි. මෙම බදු වංචා ගැන සොයා බැලීමට පත්කරන ලද වැට් කොමිසමද පූර්ණ පරීක්ෂණයකට යෑමේ අවශ්යතාව නිර්දේශ කර තිබුණි. එහෙත් අද දක්වාම පූර්ණ පරීක්ෂණයක් සිදුවී නැත.
මේ නඩු විභාගයේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් චෝදනා එල්ල වී තිබුණේ චෙක්පත්වලට අත්සන් තැබූ නියෝජ්ය කොමසාරිස්වරයකුට හා තක්සේරුකරුවෙකුට පමණය. වංචාව සිදුවී තිබෙන ආකාරය දෙස බලන විට එම වංචාව එම දෙපාර්තමේන්තුවේ එම නිලධාරීන් දෙදෙනාට පමණක් සීමාවූ වංචාවක් ලෙස විශ්වාස කිරීම දුෂ්කරය. හෙළිදරව් වී තිබෙන දේවලට පමණක් සීමාවන ලෙස පරීක්ෂණ කටයුතු සිදුකිරීමට අදිසි බලයක් ක්රියාත්මක වී තිබෙන බව ඉන් පෙනීයයි.
මෙම මහා වංචාව කර තිබුණේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ උසස් නිලතල දරන කිහිපදෙනකු පමණක් නොවේ. එම කල්ලියට ව්යාපාරිකයන් කිහිපදෙනකුද ක්රියාකාරී ලෙස සම්බන්ධ වී සිටියේය. වංචා කරන ලද මුදල් මේ දෙපිරිස අතර බෙදී ගියේය.
මෙම නඩුවේ විත්තිකරුවන් ගණන 13කි. එහෙත් පොලිසියට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හැකිවූයේ ඉන් 5 දෙනකු පමණය. අනෙක් 8 දෙනාම රටින් පලා ගොස් ඇති බව පිළිගත් මතය වී තිබේ. ඒ සියලුදෙනා මෙම වංචාවට සම්බන්ධ ව්යාපාරිකයෝය. නූතන ලෝකයේ අධිකරණය ඉදිරියේ බරපතළ චෝදනාවකට ලක්ව සිටින පුද්ගලයකු රටින් පැනගොස් විදේශීය රටක ආරක්ෂිතව ජීවත්විය හැකිද? මා හිතන්නේ එසේ කිරීම ඉතාමත්ම අමාරු දෙයක් බවය. එහෙත් මේ අටදෙනාට එසේ රටින් පිටවී අත්අඩංගුවට ගැනීමකින් තොරව ජීවත්වීමට හැකිවී තිබෙන්නේ කෙසේද? මේ පුද්ගලයන් 8 දෙනා පමණක් නොව එවැනි අයගේ ලැයිස්තුවක් සකස් කළහොත් ඒ ලැයිස්තුවට අයත් වන අයගේ ගණන දහස් ගණනක් විය හැකිය. ලලිත් කොතලාවලගේ බිරිඳ තාමත් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත. දැවැන්ත වංචාවක් කළ ප්රමුඛ බැංකුවේ හිමිකරු තාමත් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත. ප්රභූ පන්තියේ හොරුන් පමණක් නොව ප්රභූ නොවන අපරාධකරුවන් විශාල සංඛ්යාවක්ද රටින් පලා යන ක්රියාමාර්ගයක් ඔස්සේ නීතිය මගහැර සැඟවී සිටීමට සමත්ව සිටිති.
නොසැලකිලිමත්කමේ තරම
එය එසේ වී ඇත්තේ ඇයි? මාගේ මතය අනුව ගෝලීයකරණය වී තිබෙන ලෝකයේ නොයෙකුත් වැරදි හා අඩුපාඩුකම් තිබිය හැකි වුවත් ජාත්යන්තර පොලිසිය තිබෙන්නේ අපේ පොලිසිය මෙන් නොව කාර්යක්ෂම තත්ත්වයකය. මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ක්රියාත්මක වන වෙනත් ආයතනද විවිධ රටවල තිබෙන්නේය. නමගිය අපරාධකරුවන්ට රැකවරණය දීමට කිසිම රටක් කැමති නැත. ජාත්යන්තර පොලිසිය හා ඒ සඳහා තිබෙන වෙනත් ජාත්යන්තර ආයතනවල ක්රියාකාරීත්වය කෙරෙහි එම අපරාධකරුවන් පලා ආ රටවල් දක්වන උනන්දුවේ ප්රමාණය බලපායි. ඇමරිකාවට පලා ගොස් එහි සැඟවී සිටින ඕනෑම අපරාධකරුවකු ඇමරිකාවේ ෆෙඩරල් පරීක්ෂණ බියුරෝව හරහා සොයාගත හැකිය. එහෙත් ලංකාවෙන් පලා ගොස් සිටින අධිකරණයට අවශ්ය පුද්ගලයන් සොයාගැනීමට ශ්රී ලංකාව ප්රමාණවත් උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කර නැත.
වැට් වංචා නඩුවේ චූදිතයෙක් (අමාන්) 2010 වසරේදී පමණ චෙන්නායිවලදී අත්අඩංගුවට ගෙන ජාත්යන්තර පොලිසිය ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. සාමාන්යයෙන් එවැනි පුද්ගලයකු චෝදනා විරහිතව දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තබාගැනීමට උසාවිය ඉඩ නොදෙන නිසා ප්රමාද නොකොට ඔහු පිළිබඳ අවශ්ය තොරතුරු දැනුම්දී ඔහු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ක්රියාකරන ලෙස ජාත්යන්තර පොලිසිය ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. එවැනි අවස්ථාවකදී අත්අඩංගුවට ගෙන සිටින අපරාධකරුවා ගෙන්වා ගතයුත්තේ විදේශ අමාත්යාංශය හරහාය. මොන හේතුවක් නිසා හෝ මෙම නිශ්චිත සිද්ධියේදී ලංකාවේ අධිකරණයට අවශ්ය වී තිබූ මේ පුද්ගලයා ගෙන්වා ගැනීමට විදේශ අමාත්යාංශය උනන්දුවක් නොදැක්වීය. එහි ප්රතිඵලයක් වශයෙන් ඔහු නිදහස් කර හැරීමට චෙන්නායි අධිකරණයට සිදුවූ අතර ඉන්පසු ඔහු වෙනත් රටකට පලායෑමට සමත් වී තිබේ.
අධිකරණය විසින් සමහර පුද්ගලයන්ගේ ගමන් බලපත්රය අධිකරණයට භාරයට ගෙන රටින් පිටවීම තහනම් කළ පසුත් අධිකරණයට අවශ්ය පුද්ගලයන් රටින් පලා යති. මෙය කලාතුරකින් නොව බහුල වශයෙන් සිදුවන දෙයකි. එහෙත් කිසිවෙක් එසේ වන්නේ ඇයිද කියා සොයා බලා ඒ හිල වහන්නට උත්සාහ කර නැත. අධිකරණය ගමන් බලපත්රය සිය භාරයට ගැනීමෙන් පසුත් සමහර පුද්ගලයන්ට රටින් පලායෑමට පුළුවන්කම ලැබී තිබෙනුයේ ව්යාජ ගමන් බලපත්රයක් හා ව්යාජ හැඳුනුම්පතක් ලබාගැනීම ශ්රී ලංකාවේ ඉතා පහසු දෙයක් වී තිබෙන නිසාය. ගමන් බලපත්ර හා හැඳුනුම්පත් නිකුත් කරන ආයතන දෙක ඒවාට දියයුතු සම්මත පගාව ගෙවීමට සූදානම් ඕනෑම කෙනෙකුට කිසිදු අපහසුවක් නැතිව ව්යාජ ගමන් බලපත්රයක් හෝ ව්යාජ හැඳුනුම්පතක් ලබාගත හැකිය. ජාත්යන්තර ප්රමිතීන් අනුව ලෝකයේ විශ්වාසවන්ත බවෙන් අඩුම ගමන් බලපත්ර තිබෙන්නේ ශ්රී ලංකාවටය. මෙම වැට් වංචාවේදී චෙක්පත් ලබාගැනීම සඳහා පාවිච්චි කර තිබෙන හැඳුනුම්පත් 13ම ව්යාජ ඒවා විය.
රිසානා සිද්ධියේදී බාලවයස්කාරයෙකු වූ ඇයට වයස ව්යාජ ලෙස වෙනස් කළ ගමන් බලපත්රයක් හා ජාතික හැඳුනුම්පතක් ලැබුණේ කෙසේද කියා අද දක්වා අප සොයා බලා නැත. බාලවයස්කාර දරුවන්ගේ වයස වෙනස් කොට තොග ගණනින් ගෘහ සේවය සඳහා මැදපෙරදිග රටවලට යැවීමට හැකිවී තිබෙන්නේද උසාවියට අවශ්ය වී තිබෙන අපරාධකරුවන්ට රටින් පලායෑමට හැකිවී තිබෙන්නේද ගමන් බලපත්ර හා ජාතික හැඳුනුම්පත් නිකුත් කරන ආයතන දෙකම අන්ත දූෂිත තත්ත්වයක පවතින නිසාය. එම තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීමට මුදල් අමාත්යාංශ බලධාරීන් හෝ දේශපාලන බලධාරීන් කිසිදු උනන්දුවක් දක්වා තිබෙන බවක්ද පෙනෙන්නට නැත.
ගමන් බලපත් හා ජාතික හැඳුනුම්පත්
මෙම තත්ත්වයෙහි ඇති බැරෑරුම්කම පෙන්වාදීම සඳහා දැක්විය හැකි තවත් නිදර්ශනයක් මෙසේය. ඇමති ඩග්ලස් දේවානන්ද මරාගෙන මැරීමට පැමිණි එල්ටීටීඊ බෝම්බකාරියක් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය ළඟ තිබූ හැඳුනුම්පත පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයකදී එම හැඳුනුම්පත ඇතුළු තවත් හැඳුනුම්පත් ගණනක් හැඳුනුම්පත් කාර්යාංශයේ ප්රධානියාගේම සුපරීක්ෂාව යටතේ නිකුත් කරන ලද ව්යාජ හැඳුනුම්පත් බව සොයා ගන්නා ලදි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැඳුනුම්පත් කාර්යාංශයේ ප්රධානියා අත්අඩංගුවට ගැනීමට අවශ්ය විය. ඒ බව දැනගත් වහාම ඔහු කළේ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමේ තර්ජනයක් ඇති නිසා අත්අඩංගුවට ගැනීම වළකන නියෝගයක් ලබාගැනීම සඳහා ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට යෑමය. මෙම මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට ගැනුණේ හිටපු අගවිනිසුරුවරයකු වන සරත් නන්ද සිල්වා ප්රධාන විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. අගවිනිසුරුවරයා හා මෙම හැඳුනුම්පත් කාර්යාංශයේ ප්රධානියා අතර මිත්රත්වයක් තිබුණේය. ඔහු ඉල්ලා සිටි නියෝගය නිර්ලෝභී ලෙස ශ්රේෂ්ඨාධිකරණය විසින් ඔහු වෙත ලබාදීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය පරීක්ෂණ කාර්යය තාවකාලිකව අත්හිටුවන්නට සිදුවිය. ඉන්පසු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එල්ල වූ ප්රහාරයන් පිළිබඳව කෙරෙන පරීක්ෂණවලදීද ව්යාජ ජාතික හැඳුනුම්පත් ප්රශ්නය නැවත කරළියට ආවේය. මරාගෙන මැරෙන බෝම්බකාරයන් සඳහා එල්ටීටීඊය පාවිච්චි කළ හැඳුනුම්පත් හැඳුනුම්පත් කාර්යාංශයේ ප්රධානියාගේ පුද්ගලික සුපරීක්ෂාව යටතේ නිකුත් කරන ලද ඒවා බව වඩා හොඳින් තහවුරුවීමෙන් පසු සිදුවූයේ ආණ්ඩුව එම පුද්ගලයා එම තනතුරෙන් ඉවත් කිරීමය. ඉන් එහාට ඔහුට එරෙහිව නීතිය ක්රියාත්මකවීමක් සිදු නොවීය. රටේ ආයතන ක්රමය කුණුවී තිබෙන තරම ඉන් ද හොඳින් පෙන්නුම් කරයි.
වැට් බදු වංචාවේ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතට ගැනීමෙන් පසු එම පරීක්ෂණය භාරව ක්රියා කළේ විශ්වනාදන් නමින් වන පොලිස් පරීක්ෂකවරයෙකි. ජයතිලකට ලංකාවේ තිබෙන දේපළ මොනවාද යන්න සොයා බලා එම දේපළ අත්පත් කරගැනීමට උසාවි නියෝගයක් ලබාගත්තේ ඔහුය.
මෙම පරීක්ෂණය පවත්වාගෙන යන අතරතුර කිසියම් දිනක එවකට සිටි පොලිස්පතිවරයා (බාලසූරිය) ඔහු තමන් වෙත ගෙන්වා ඔහු විසින් සිදුකර තිබුණු මෙම දේපළ අත්පත් කරගැනීම පිළිබඳව ඔහුට බැණ වැදුණේය. මෙවැනි පරීක්ෂණයක් මෙහෙයවීමට ආදායම් බදු නීතිය පිළිබඳව ඔහුට දැනුමක් තිබේදැ”යි ඔහු පොලිස් නිලධාරියාගෙන් ප්රශ්න කළේය. ඔහු ඉදිරියේදීම පොලිස්පතිවරයා එවකට සිටි නීතිපතිට දුරකතනයෙන් කතා කොට වැට් බදු පරීක්ෂණය විධිමත් ආකාරයකින් සිදුවී නැති නිසා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කොට එය අවසන් වන තෙක් ආරම්භ කර තිබෙන අධිකරණ ක්රියාමාර්ගය අත්හිටුවීමට හැකියාවක් ඇත්නම් එසේ කිරීම සුදුසු බව කියා තිබේ. ඒ මොහොතේ එවකට සිටි පොලිසියේ ලොක්කා ක්රියාකර තිබෙන ආකාරය ඉතාමත් අවලස්සනය.
ගෞරවය ලබාදිය යුත්තාට ගෞරවය ලබානොදීම
මෙම වංචාව අල්ලාගත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා සිදුවී තිබෙන වංචාවේ ප්රමාණය තේරුම් ගත්විට ඇතිවිය හැකි තර්ජන හා බලපෑම් පිළිබඳව ඔහු තුළ කම්පනයක් ඇති කිරීමට හේතුවී තිබුණි. වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වන තත්ත්වයක් ඇතිකර ගැනීම සඳහා සිය සොයාගැනීම් ඇතුළත් වාර්තාවේ පිටපත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්රධානියාට පමණක් නොව මුදල් අමාත්යාංශයේ ලේකම් හා මහා භාණ්ඩාගාරයේ ප්රධානියාටද (පී.බී. ජයසුන්දර) යැවීය. පළමු දැනුම්දීමට ප්රතිචාරයක් නොලැබුණු විට ඔහු පී.බී. ජයසුන්දර වෙත දෙවැනි වරටද ලිඛිත දැනුම්දීමක් කළේය. පුදුමයට මෙන් මෙය වහාම සොයා බැලිය යුතු ප්රශ්නයක් බව ඔහුටද පෙනී නැත.
ජාත්යන්තර ක්ෂමා ආයතනය වැට් වංචාව කරළියට ඒමෙන් පසු ඔවුන්ගේ සුපිරිපන්න සම්මානය ලබාදෙන ලද්දේ විගණකාධිපති මායාදුන්නේ මහතාටය. එම සම්මානය කෙරෙහි බලපෑ කේන්ද්රීය ප්රශ්නය ලෙස බැලූ බැල්මට පෙනෙන්නේ වැට් වංචාව සොයාගැනීමය. මායාදුන්නේ මහතා ඉතාමත් අවංක හා ගරු කටයුතු පුද්ගලයෙකු බවට වාදයක් තිබිය නොහැකිය. එහෙත් මෙම මහා වංචාව සොයාගන්නා ලද්දේ ඔහු විසින් නොව ඔහුගේ දෙපාර්තමේන්තුවේ විගණක අධිකාරිවරයෙකු වූ එස්.ඒ.ඩී.එස්.ඒ. ක්රිස්ටිය. ඒ නිසා එහි පූර්ණ ගෞරවය හිමිවිය යුතුව තිබුණේ ඔහුටය. ඒ නිසා ඒ සම්මානය හිමිවිය යුතුව තිබුණේද ඔහුටය. එයද අපේ රටේ දේවල් සිදුවන අවිධිමත් හා විකාරරූපී ස්වරූපය පෙන්නුම් කරන තවත් නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය.