රාවය වර්ණවත් කළ අශෝක

March 16, 2014
Publication:
A tribute to Asoka, one of the three founding staff of Ravaya and its chief artist for twenty years. Ivan first met him at Sarvodaya's Vishva Lekha press, recalls how his village of Hungama linked him to young rebels during the 1987–89 years, how he designed the pages of all of Ivan's books, and how he left Ravaya around 2006 so that his younger brother could keep his job. Asoka died, remarkably, on his own birthday; many who had built the early Ravaya came to his funeral.

අශෝක රාවයේ ආරම්භක කාර්ය මණ්ඩලයට ඇතුළත් තිදෙනාගෙන් කෙනකු වූ අතර, රාවයේ ආරම්භයේ සිට එක දිගට වසර 20ක් රාවයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙසද ක්‍රියා කළේය. මට ඔහු පළමුවෙන් හමුවන විට ඔහු වැඩ කළේ සර්වෝදය විශ්වලේඛා නමින් පවත්වාගෙන ගිය මුද්‍රණාලයේය. ඔහු සර්වෝදය ව්‍යාපාරයේ උග්‍ර අනුගාමිකයකු වූ අතර ඔහුගේ වීරයා වූයේ සර්වෝදයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන්ය. ඒ වනවිට ඔහු විශ්වලේඛා ආයතනයේ සේවය කළේද චිත්‍ර ශිල්පියෙකු වශයෙනි. ඔහු සර්වෝදය දර්ශනය කෙරෙහි ඇති කරගෙන තිබූ අතිවිශාල ඇල්ම අත්හරිමින් රාවයේ ක්‍රියධරයකු බවට පත්විය. එකල රාවය ශක්තිමත් ලෙස මුල් බැසගත් ආයතනයක් නොවූවද ලංකාවේ තිබුණු ලොකුම රාජ්‍ය නොවන සංවිධානය වූ සර්වෝදය අතහැර රාවයට එකතුවීමට තරම් ඔහු නිර්භීත වූවේයැ”යිද කිව හැකිය.

ඔහු චිත්‍ර කලාවේදී ශාස්ත්‍රාලයීය උගතකු නොවී සිය සහජ දක්ෂතා ස්වඋත්සාහයෙන් ඔපවත් කරගනිමින් සිටි චිත්‍ර ශිල්පියෙකු විය. රාවය සඟරාවේ නම ඇතුළත් ශීර්ෂය අඳින ලද්දේ ඔහු විසිනි. මංගල කලාපයේ පිටකවරය සඳහා මුල් කටු සටහන මගේ උපදෙස් පරිදි අඳින ලද්දේද ඔහු විසිනි. එය රට ලේ හලන අර්බුදයකට තල්ලු වී යමින් තිබෙන බව සංකේතාත්මක ලෙස පෙන්නුම් කරන පිටකවරයක් විය. එම කටු සහටනට වර්ණ යොදන ලද්දේ විශ්වලේඛා ආයතනයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස ක්‍රියා කළ පුද්ගලයාය. දෙවැනි සඟරාවේ සිට සියලු පිටකවර මාගේ උපදෙස් මත අශෝක විසින් නිර්මාණය කරන ලද පිටකවර ලෙස සැලකිය හැකිය. දෙවැනි සඟරාවේ කවරේ කතාව බවට පත්කරගත්තේ මහා පරිමාණයෙන් පළවෙමින් තිබූ අසභ්‍ය පුවත්පත්ය. මා කවරයේ කතාවේ මාතෘකාව ලෙස යොදාගත්තේ “බුදුසරණ අතහැර නව සරණ සොයා යන ජාතියක්” යන්නයි. එහිදී පිටකවරය සඳහා යොදාගත යුතු ආකෘතිය විස්තර කරදීමෙන් පසු ඔහු ඒ වෙනුවෙන් කදිම පිටකවරයක් නිර්මාණය කළේය. ඉන්පසු හැමදාමත් ඔහු අතින් නිර්මාණය වූ පිටකවර ඉතා ආකර්ෂණීය හා උසස් මට්ටමක තිබුණේයැ”යි කිව හැකිය.

අපි දැන හෝ නොදැන අතගසා තිබුණේ ඉතාමත් අවදානම්සහගත ව්‍යාපාරයකටය. ජේවීපී දෙවැනි කැරැල්ල ආරම්භවීමෙන් පසු රට ද්වන්ද පාලනයකට නතුවූ අතර සාමාන්‍ය ජනයා පමණක් නොව විශේෂ වශයෙන් ජනමාධ්‍යයද ගිරයකට හසුවූ පුවක්ගෙඩියක තත්ත්වයකට පත්ව තිබුණේය. ජීවිතාරක්ෂාව සඳහා ආණ්ඩුවේ හෝ කැරලිකරුවන්ගේ අසන්තෝෂයට හේතුවන දේවල් වාර්තා කිරීමෙන් හෝ සාකච්ඡා කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් වෙනත් ජනමාධ්‍ය අනුගමනය කරන විට රාවය ඊට වෙනස්ව කතා කළ යුතුව තිබුණු වැදගත් හැම දෙයක්මත් කතා කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේය. එම බිහිසුණු කාලවකවානුවේදී එළැඹෙන ඕනෑම අවදානමක් භාරගනිමින් අප තෝරාගෙන තිබූ මගෙහි ඉදිරියට යෑමට අවශ්‍ය නිර්භීතකම රාවයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස ක්‍රියා කළ අශෝක පද්මසිරිට සේ ම සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක වශයෙන් ක්‍රියා කල උපාලි කොළඹගේටද තිබුණේය. එය බිහිසුණු හා අවලස්සන කාලයක් වුවද එය රාවයේ අපට අලුත් අත්දැකීම් ලබා දුන් කාලවකවානුවක් වීයැ”යි කිව හැකිය. අපට දෙපැත්තේම තහනම් නියෝග ලැබුණු අවස්ථා තිබුණි. සමහරවිට අපි ඒවා පිළිපැද්දෙමු. වැඩි වශයෙන් ඒවා ගණන් නොගෙන අපි අපේ කටයුතුවල නිරතවීමු.

අශෝකගේ ගම හුංගම වීම නිසා අශෝකට කැරැල්ලට සම්බන්ධ තරුණ කැරලිකරුවන් සමග මිත්‍රත්වයක් තිබුණි. ඔවුන් කොළඹ එන අවස්ථාවලදී අශෝක බලන්නට රාවය කාර්යාලයටද ආවේය. කැරැල්ල උච්චතම තත්ත්වයට පත්ව තිබෙන අවස්ථාවකදී අශෝකව හමුවන්නට පැමිණි තරුණයෙකු ඔහු මට හඳුන්වා දුන්නේය. ඔහුගේ හැඳින්වීම අනුව ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ වඩමරච්චිය ලෙස හැඳින්වුණු ප්‍රදේශයක කැරැල්ලේ නායකයා වූවේය. ඔහුගේ එම හඳුන්වාදීමෙන් පසු මම විජේවීර සේ ම ඔහුගේ ව්‍යාපාරයද ඔහු ඉදිරියේ දැඩි ලෙස විවේචනය කරන තැනකට ගියෙමි. ඔයාගේ නායකයාට හොඳටම පිස්සුයැ”යි කී මම වැඩේ කෙළවර වනු ඇත්තේ විජේවීරගේද ජීවිතය කෙළවර වී විශාල තරුණ සංහාරයකින් බව කියා සිටියෙමි. ඔහු මට උනන්දුවෙන් සවන්දීගෙන සිටියා මිස මා පළ කළ විවේචනයන්ට එරෙහිව ප්‍රතිවිවේචනයක් කරන තැනකට ගියේ නැත. සාකච්ඡාව අවසානයේදී ඔහු වැලපුණු මුහුණකින් යුතුව අශෝක වෙත ගියේය. තවත් සුළු මොහොතකට පසු අශෝක මා වෙත ආවේය. මාගේ කතාවෙන් ඔහු දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බවත් මේ සියලු දේවල් අතහැර හොඳ මිනිසකුවීමට ඔහුට අවශ්‍යව තිබෙන බවත් මේ මොහොතේ ඔහුට මොනයම් හෝ රැකියාවක් ලබාදිය හැකි නම් ඔහු හම්බන්තොට යෑමෙන් වැළකී සිටීමට සූදානම් බවත් අශෝක මට කීවේය. මම මාගේ මිත්‍රයෙකුට දුරකතනයෙන් කතා කොට මෙම තරුණයාට ඔහුගේ ආයතනයේ තාවකාලික රැකියාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමි. එම මිත්‍රයා මාගේ ඉල්ලීම ඉටුකර දුන්නේය. ඒ නිසා ඔහුට කැරැල්ල අවසන් වනවිට සිය ජීවිතය ආරක්ෂා කරගැනීමට හැකිවිය. මේ ආකාරයට අශෝක එම අවලස්සන කාලයේදී විපතට පත්ව සිටි තමන් දන්නා හඳුනන පුද්ගලයන්ට උපරිම ලෙස උදව් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

කැරැල්ල අවසන් වන විට රටට මහා විනාශයක් සිදුව තිබුණද රාවයේ අප කිසිවකුට හානියක් සිදුවී තිබුණේ නැත.

මා පළකර තිබෙන සියලුම පොත්පත්වල පිටු සැකසුම් කර තිබෙන්නේ අශෝකය. “කඳුළු සලන පාරාදීසය” නමින් පළකරන ලද ඡායාරූප සහිත පොතේ චිත්‍ර ශිල්පියා ලෙස ක්‍රියා කළේද ඔහුය. මා තවමත් මහජනයා අතරට ගෙන නොගිය එහෙත් තෝරාගත් පිරිසකට පමණක් ප්‍රදර්ශනය කළ රටේ ඓතිහාසික ගමන් මග පෙන්නුම් කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනයේ ඡායාරූප සකස් කොට එහි චිත්‍ර ශිල්පියා හා සැලසුම් ශිල්පියා ලෙස ක්‍රියා කළේද අශෝකය.

ඔහු රාවයෙන් ඉවත්වීම සිදුවූයේද අපූරු ආකාරයකටය. 2006 පමණ රාවය මුහුණ දී තිබුණු මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන රාවය කාර්ය මණ්ඩලයෙන් අඩක් පමණ ඉවත් කිරීමට රාවය කාර්ය මණ්ඩලය තීරණය කොට ඉවත් කළ යුතු පුද්ගලයන් කවුද යන්න තීන්දු කිරීමේ බලය මා වෙත පවරා දෙන ලදි. අශෝක සිටියේ තබාගත යුතු අයගේ ලැයිස්තුවේය. ඔහුගේ මල්ලී සිටියේ ඉවත් කළයුතු අයගේ ලැයිස්තුවේය. ඔහුගේ මල්ලී රාවයට එකතුවී සිටියේ පසුකලකදීය. වෙනත් අංශයකට බැඳී පසුව පරිගණක අංශයට එකතු වී සහාය චිත්‍ර ශිල්පියා බවට පත්ව සිටියේය. රාවයට චිත්‍ර ශිල්පීන් දෙදෙනකු අවශ්‍ය නොවන නිසාත් ඔහුගේ මල්ලී රාවයට එකතුවීමෙන් පසු රාවයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් හා විවාහ වී දරු දෙදෙනකුගේ පියකු බවට පත්වී සිටීම නිසා එකම පවුලේ දෙදෙනකු රාවයේ තබා ගැනීමට නුසුදුසු බව පෙනුණු නිසාත් මල්ලිගේ බිරිඳ සේවයේ තබා ගනිමින් ඇගේ ස්වාමිපුරුෂයා සේවයෙන් ඉවත් කිරීමටත් තීරණය කර තිබුණි.

අශෝක ඒ ගැන දරනලද මතය වූයේ මල්ලීට රක්ෂාව අහිමි වුවහොත් ඔහුට රක්ෂාවක් සොයා ගැනීම පහසු නැති බවය. තමන්ට ජීවත්වීමට අවශ්‍ය වැඩ සොයාගැනීම අපහසු නොවන නිසා මල්ලීට ඉඩදී තමා රාවය අතහැර යෑම සුදුසු බව ඔහු කීවේය. ඒ තෝරාගැනීම ඉදිරියේ මට ගතහැකි පියවරක් නොවීය. රාවය අත්හැරයෑමෙන් පසුත් ඔහු අවශ්‍ය අවස්ථාවලදී කෑලි පදනමක් මත රාවයට වැඩ කළේය.

අශෝක ඉතා ගුණයහපත් මිත්‍රශීලී පුද්ගලයකු විය. ඔහුගේ මළගෙදර ගිය අවස්ථාවේදී රාවයේ මුල් යුගයේ සිට විවිධ ආකාරයෙන් රාවයට දායකත්වයන් ලබා දුන් සැලකිය යුතු තරම් විශාල පිරිසක් එහි පැමිණ සිටින බව දකින්නට ලැබුණි. සමහරුන්ගේ පෙනුම හඳුනාගත නොහැකි තරමට වෙනස් වී තිබුණි. ඒ සියලුදෙනා රාවයේ ඉතිහාසයේ තමන්ගේ අත්දැකීම් ගැන කතා කළේ හැඟීම්බර ආකාරයකිනි. එවැනි හැඟීම්බර අත්දැකීමක් ඊට සතියකට පමණ ඉහතදීද අත්දකින්නට ලැබුණි. රාවය සහයෝගිතා ව්‍යාපාරය සෙනසුරාදා දිනයකදී රාවයට මුදලින් දායකවූවන්ගේ රැස්වීමක් කැඳවා තිබුණි. පැමිණ සිටි පිරිස හැත්තෑවක් පමණ වීයැ”යි කිව හැකිය. ඒ අයගෙන් වැඩි පිරිසක් රාවයේ මුල් යුගයේ සිටම රාවය කියවන පාඨකයන්වීයැ”යි කිව හැකිය. සමහරකු පැමිණ තිබුණේද අනුරාධපුරය, පොළොන්නරුව, මහියංගනය, මහනුවර, හුංගම වැනි දුර බැහැර ප්‍රදේශවලිනි. ඔවුන්ට තිබුණු ලැදියාව හා උනන්දුව මගේ පුදුමයට හේතුවිය. එම රැස්වීමට සහභාගි වූ වෘත්තීය සමිති ක්‍රියාධරයෙකු රැස්වීමෙන් පසු මගේ මිත්‍රයකුට කියා තිබෙනුයේ එම රැස්වීම තමන්ට ලැබුණු අලුත් අත්දැකීමක් බවත් සාමාන්‍යයෙන් දැන් මිනිසුන් රැස්වීම්වලට එන්නේ යන එන ගමන් වියදම් ලබාදීමෙන් පසුව බවත් එසේ එන අයට පවා කන්නට බොන්නටද දෙන්නට සිදුවන බවත් එහෙත් මේ පිරිස රාවයට මුදලින් ආධාර කිරීමෙන් නොනැවතී තමන්ගේ ක්‍රියාව යුක්තිසහගත කිරීම සඳහා තමන්ගේම වියදමින් දුර බැහැර සිට එහි පැමිණ සිටි බවත් මෙය අද කාලයේ දක්නට නොලැබෙන විශේෂ දෙයක් බවත් ඔහු කියා තිබුණි. ඔහුගේ එම විග්‍රහය නිවැරදිය. රාවයට ඇලුම් කරන විශේෂ පිරිසක් රටේ සිටින්නේය. එහෙත් අවාසනාවකට ඒ අය සමග හැඟීම්බර සම්බන්ධයක් ඇතිකර ගැනීමට රාවය සමත් වී නැත. එය අශෝකගේ මරණ ගෙදරදීද අත්දකින්නට ලැබුණු තත්ත්වයකි. රාවය වඩා ජවසම්පන්න වනු ඇත්තේ ඒ සියලුදෙනා සමග ආත්මීය සම්බන්ධයක් ඇති කර ගැනීමට සමත් වූ විටය.

අශෝක මිය යායුතුව තිබුණේ මට පසුව මිස මට පෙර නොවේ. පුදුමයකට මෙන් ඔහු මියගියේද ඔහු උපන් දිනයේම උපත සිදුවූ වෙලාවට ආසන්න වේලාවකදීය. ඔහු තමන් මිය යන්නට ආසන්න තත්ත්වයක සිටි බව දැන සිටි බවද පෙනෙන්නට තිබේ. ඔහු සිය ණයකරුවන් හමුවී ණය බේරූ බව අසන්නට ලැබුණි. ඔහු පමණක් නොව අප සියලුදෙනා කිසියම් අවස්ථාවකදී මරණයට පත්වන්නේය. නොමැරී මරණය ජයගත් කිසිවකු නැත. අපට කළහැක්කේ කවදා හෝ මැරෙන බව දැනගෙන ප්‍රයෝජනවත් හා යහපත් පුරවැසියන් ලෙස ජීවත්වීමය. අශෝකට සදාකාලික සුව නින්දක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.