ලෝකය මෙතෙක් බිහිකර තිබෙන සියලු ජනනායකයන් අතුරෙන් ශ්රේෂ්ඨත්වයේදී දකුණු අප්රිකාවේ නෙල්සන් මැන්ඩෙලා දෙවැනි වනුයේ ඉන්දියාවේ මහත්මා ගාන්ධිට පමණය. මහත්මා ගාන්ධි විසින් මනුෂ්ය වර්ගයාට දායද කළ අවිහිංසාවාදී සටන් ක්රමය ඔහුගේ ශ්රේෂ්ඨත්වය කෙරෙහි බලපෑ ලොකුම සාධකය වීයැ”යි කිව හැකිය. මනුෂ්ය වර්ගයා බොහෝ අංශවලදී ශීලාචාර වී තිබුණද පීඩාවට පත් මනුෂ්ය විශේෂයක් යුක්තිය දිනාගැනීම සඳහා යොදාගනු ලැබූ සටන් ක්රමය අශීලාචාර තත්ත්වයක පැවතුණි. එහිදී ඒ සඳහා වන ශීලාචාර සටන් ක්රමයක් මනුෂ්ය වර්ගයාට හඳුන්වා දුන් පුද්ගලයා වනුයේ මහත්මා ගාන්ධිය.
මහත්මා ගාන්ධිද ඉන්දියාවේ ජාතිය ගොඩනැගීම පිළිබඳ විෂයේදීද ඉතාමත් වැදගත් නිර්මාණශීලී කාර්ය භාරයක් ඉටු කළේය. එහෙත් එහිදී නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්රිකාවේදී ඉටුකරන ලද කාර්යභාරය ඉන්දියාවේදී මහත්මා ගාන්ධි ඉටුකරන ලද කාර්යභාරයටත් වඩා ප්රශස්ත හා නිර්මාණශීලීවීයැ”යි කිව හැකිය. ඔහු විසින් එක ජාතියක් ලෙස එකට එකතු කරන ලද්දේ එකට එකතු කිරීමක් ගැන හිතන්නටවත් බැරිතරමට වර්ණ භේදවාදයෙන් අවුරුදු සිය ගණනක් තිස්සේ බෙදී සිටි එකිනෙකා කෙරෙහි දැඩි වෛරයකින් ක්රියා කළ වර්ග දෙකකි. එවැනි ශ්රේෂ්ඨ එකතු කිරීමක් ලෝක ඉතිහාසයේ අන් කවර තැනකින්වත් අසන්නට ලැබෙන්නේ නැත. මැන්ඩෙලාගේ ශ්රේෂ්ඨත්වය කෙරෙහි බලපා තිබෙන ප්රධානම සාධකය එය වීයැ”යි කිව හැකිය.
මෙම නායකයන් දෙදෙනාට ආවේණික පොදු ලක්ෂණ කිහිපයක්ම තිබුණේය. මේ දෙදෙනාම ප්රතිපක්ෂය අතින් අසාමාන්ය තරමේ පීඩාවට ලක්වූ නායකයන් දෙදෙනකු ලෙස සැලකිය හැකිය. තමන් හා තම වර්ගයා පීඩාවට පත් කළ ප්රතිපක්ෂයට වෛර නොකිරීම මේ දෙදෙනාටම ආවේණික පොදු ලක්ෂණයක් වීයැ”යි කිව හැකිය. දකුණු අප්රිකානු නිදහස් අරගලයේ ආරම්භක ගිනිසිළුව ලෙස සැලකිය හැක්කේද මහත්මා ගාන්ධිය. එහෙත් ඔහු එහිදී තමන් ආරම්භ කළ අරගලය දකුණු අප්රිකාවේදී තර්කානුකූල අවසානයක් කරා ගෙන ගියේ නැත. ඒ වෙනුවට ඔහු සිය ජන්ම භූමිය වූ ඉන්දියාවට පැමිණ දකුණු අප්රිකාවේදී අත්හදා බලන ලද අවිහිංසාවාදී සටන් ක්රම ප්රශස්ත ලෙස යොදාගනිමින් ඉන්දියානු නිදහස් අරගලය තර්කානුකූල අවසානයක් කරා ගෙන ගියේය. දකුණු අප්රිකාවේදී ගාන්ධි නවතන ලද තැනින් ආරම්භ කොට දකුණු අප්රිකාවේ නිදහස් අරගලය තර්කානුකූල අවසානයක් කරා ගෙනගිය පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ නෙල්සන් මැන්ඩෙලාය. ඒ අර්ථයෙන් මැන්ඩෙලා ගාන්ධිගේ නූතන දේශපාලන අවතාරය ලෙස සැලකිය හැකිය.
එහෙත් මැන්ඩෙලා පාවිච්චි කළ දේශපාලන සටන් ක්රමය ගාන්ධිගේ මෙන් පූර්ණ අහිංසාවාදී සටන් ක්රමයක් නොවීය. ගාන්ධි ප්රචණ්ඩත්වය පරිපූර්ණ වශයෙන් ප්රතික්ෂේප කරන විට මැන්ඩෙලා ප්රචණ්ඩත්වය පරිපූර්ණ වශයෙන් පිළිගත්තේ නැති වුවද එය ප්රතිපක්ෂය කෙරෙහි බලපෑමට යොදාගත හැකි මාර්ගයක් ලෙස පිළිගත්තේය. ඒ අර්ථයෙන් මැන්ඩලාවාදය එක්තරා ප්රමාණයකට මාක්ස්වාදයත් ඊට වැඩි ප්රමාණයකට ගාන්ධිවාදයත් එකට එකතු කොට තනාගත් සහවාදයක් ලෙස සැලකිය හැකිය. මෙම නායකයන් දෙදෙනාටම ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මාක්ස්වාදය හෝ කොමියුනිස්ට්වාදය වැදගත් හා ගරු කටයුතු දේශපාලන ප්රවණතාවක් ලෙස සලකා එය සිය ව්යාපාර තුළ පවතින්නට ඉඩ දුන්නා වුවද එය ව්යාපාර මාක්ස්වාදයේ හෝ කොමියුනිස්ට්වාදයේ ග්රහණයට මුළුමනින් නතුවන්නට ඉඩ නොතැබීමය. ඉන්දියානු කොංග්රසයට මාක්ස්වාදීන්ගේ හා කොමියුනිස්ට්වාදීන්ගේ විශාල බලපෑමක් තිබුණු අතර දකුණු අප්රිකානු කොංග්රසයට ඔවුන්ගෙන් ඊට වැඩි බලපෑමක් තිබුණි. එහෙත් මේ නායකයන් දෙදෙනාම මාක්ස්වාදී චින්තනයේ සිරකරුවන් බවට පත් නොවීය. මෙම නායකයන් දෙදෙනාට මනුෂ්ය වර්ගයා බෙදීමට බලපා තිබූ සියලු සාධක, එනම් වර්ණවාදය, වර්ගවාදය, කුලවාදය, ආගම්වාදය හා ලිංගවාදය පමණක් නොව, පන්තිවාදයද මනුෂ්ය වර්ගයාගේ බෙදීම් කෙරෙහි බලපා තිබෙන නපුරු සාධක ලෙස සලකා එම පටු ආකල්පවලින් මනුෂ්ය වර්ග නිදහස් කරගැනීම සඳහා ක්රියාකළ ශ්රේෂ්ඨ නායකයන් දෙදෙනකු ලෙස සැලකිය හැකිය.
දකුණු අප්රිකාවේ බහුතර ජනයා වූ කල්ලන්ගේ ප්රධාන හා පොදු සතුරා බවට පත්ව සිටින්නේ සුද්දන්ය. අන්ග්ලෝ බෝයර් යුද්ධයෙන් වසර කිහිපයකට පසුව එනම් විසිවන සියවසේ පළමු දශකයේදී පමණ දකුණු අප්රිකාවේ ජීවත් වූ සියලු වර්ගවලට අයත් සුදු මිනිසුන් තමන් අතර පැවති සියලු වෙනස්කම් අමතක කොට දකුණු අප්රිකාවේ කළු මිනිසුන්ට එරෙහිව වර්ගවාදී ආධිපත්යයන් පවත්වාගෙන යන කෘර දේශපාලන ක්රමයක් ගොඩනගා ගත්හ. ඒ ක්රමය තුළ කළු මිනිසුන් සැලකුණේ තිරිසනුන් වශයෙනි. ඔවුන්ට පොදු කඩසාප්පුවලට ඇතුළුවීම තහනම් විය. සුද්දන් සමග පොදු ප්රවාහන සේවාවන් පාවිච්චි කිරීම තහනම් විය. සුද්දන් ජීවත්වන ප්රදේශවල වෙරළ තීරයට ඇතුළුවීම තහනම් විය. දකුණු අප්රිකාවේ සියලු ධන උපයන මාර්ග හිමි කරගෙන සිටියේ සුද්දන්ය. දකුණු අප්රිකාවේ කල්ලන් අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කෙරෙන සටන් ඉතාමත් අනුකම්පා විරහිතව හා කුරිරු ලෙස මර්දනය කරන ලදි. සුද්දන් හා කල්ලන් අතර තිබූ බෙදීම අතිවිශාල වුවත් සුද්දන් දකුණු අප්රිකාවට පසුව පැමිණි පිරිසක්ව තිබියදීත් මැන්ඩෙලා සුද්දන්ගේ පැවැත්ම අහෝසි කොට කල්ලන්ගේ ආධිපත්යයක් තනන තැනකට නොගියේය. ඒ වෙනුවට කල්ලන් මත දීර්ඝ කාලයක් කෘර ආධිපත්යය පවත්වාගෙන ගිය සුද්දන්ද තම ජාතියේ කොටසක් ලෙස සලකා දකුණු අප්රිකාවේ සුද්දන් හා කල්ලන් සමාන අයිතිවාසිකම් ඇති සමාන ගෞරවයෙන් යුතු වර්ණයෙන් පමණක් වෙනස් එකම ජාතියක් බවට පත් කළේය. එම සිහිනය ජයගැනීම පහසු නැති ඉතා දුෂ්කර හා සංකීර්ණ එකක් වුවද අවසානයේ එම සිහිනය ජයගැනීමට ඔහු සමත් විය. මැන්ඩෙලා දකුණු අප්රිකාවේ සුද්දන් නැති භංග කරන ක්රමයක් තුළ නොව ඔවුන්ටද සමාන ගෞරවයෙන් ජීවත් වියහැකි ක්රමයක් ඇතිකරදෙමින් කල්ලන් කෙරෙහි පැවති පීඩාවෙන් ඔවුන් නිදහස් කරගත්තේය.
මහත්මා ගාන්ධි ඉන්දියානු ජනතාව කෙරෙහි අතිවිශාල බලයක් තිබුණද ඔහු රාජ්ය බලය තමන් අතට නොගත්තේය. ඉන්දියාවේ පළමු නිල නිදහස් උත්සවයටවත් ඔහු සහභාගි නොවීය. ඒ වෙනුවට ගාන්ධි රටේ ඇවිලෙමින් තිබූ හින්දු-මුස්ලිම් කෝලාහල සමතයකට පත්කිරීම සඳහා ගිනි ඇවිලෙමින් තිබෙන ප්රදේශවලට යමින් ඒවා නිවන්නට ක්රියාකරමින් සිටියේය. මැන්ඩෙලා ඊට වෙනස්ව සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන දේශපාලන ක්රමයක් ඇතිකරමින් ඒ රාජ්යයේ පළමු රාජ්ය නායකයා බවට පත්වූවේය. එහෙත් ඔහු රාජ්ය බලයට කෑදරකමින් එය බදාගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය කළේ නැත. තමන් භාරගත් කාර්ය සම්පූර්ණ කිරීමෙන් පසුව තවදුරටත් රාජ්ය නායකත්වයේ රැඳී සිටීමේ හැකියාව තිබියදී තනතුරෙන් විශ්රාම ගෙන ගෙදර ගියේය.
ශ්රී ලංකාවේ අපිට දකුණු අප්රිකාවේ නෙල්සන් මැන්ඩෙලාගේ සේ ම ඉන්දියාවේ මහත්මා ගාන්ධිගෙන්ද උගත හැකි වැදගත් පාඩමක් තිබෙන්නේය. ශ්රී ලංකාව මුහුණ දී තිබෙන අවුල්සහගත තත්ත්වය ජයගැනීමට නම් වර්ගවාදයෙන්, ආගම්වාදයෙන් හා කුලවාදයෙන් පමණක් නොව පන්ති වාදයෙන්ද බැහැර වී සියලුදෙනා සමාන අයිතිවාසිකම් ඇති එක සමාන ගෞරවයක් ඇති එක ජාතියකට අයත් මිනිසුන් ලෙස සලකා එකවිට ජාතිය හා ප්රජාතන්ත්රවාදී සමාජය ගොඩනගන තැනකට අප යා යුතුය. එක්සත් ජාතියක් ඇතිකර ගැනීම හෝ ප්රජාතන්ත්රවාදී සමාජ ක්රමයක් ඇතිකර ගැනීම හොඳ ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇතිකර ගැනීමෙන් පමණක් සපුරාගත හැකි දේවල් නොවන බවද අප තේරුම් ගත යුතුය. වැදගත්ම දේ නව ආකල්ප ඇති මිනිසුන් තැනීමය. රටට නව සමාජ ව්යාපාරයක් අවශ්ය වී ඇත්තේ ඒ සඳහාය. මහත්මා ගාන්ධි සේ ම මැන්ඩෙලාද එක්සත් ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් තනන ලද්දේ ආණ්ඩුක්රම ව්යවස්ථාවලින් නොව මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමට හේතුවන දැවැන්ත මතවාදී ව්යාපාර ක්රියාත්මක කිරීමෙනි. මේ රටවල් දෙකම පසුව ඇතිකරගන්නා ආණ්ඩුක්රම ව්යවස්ථා මගින් කරනු ලැබුවේ මතවාදී ව්යාපාර මගින් තනාගන්නා ලද එක්සත් ජාතිය හා ප්රජාතන්ත්රවාදී සමාජය වඩා ශක්තිමත් ආකාරයකට ඉදිරියට ගෙනයෑමට අවශ්ය ප්රතිපත්ති හා සංවිධාන ක්රම ඇතුළත් සියලුදෙනාගේම පිළිගැනීමට හේතුවන සමාජ ගිවිසුමක් ඇතිකර ගැනීමය.
එක්සත් ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජ ක්රමයක් ඇතිකර ගැනීම සරල හෝ පහසු නැත. අප අද දක්වා එක්සත් ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජ ක්රමයක් ඇතිකර ගැනීමට සමත්ව නැතත් ශ්රී ලංකා සමාජයේ පවතින භේද ඉන්දියානු සමාජයේ තිබූ භේද හෝ දකුණු අප්රිකානු සමාජයේ පැවති භේද තරමින් කඨෝර හෝ උග්ර තත්ත්වයක නොපවත්නා බව තේරුම් ගැනීම වැදගත්ය. දකුණු අප්රිකාවේ සුද්දන් හා කල්ලන් අතර පැවතියේ අහසට පොළොව තරම් වන මහා පරතරයකි. ශ්රී ලංකා සමාජයේ වර්ග කුල හා වර්ග අතර සේ ම ආගම් අතරද භේද ඇතත් ඒ භේද දකුණු අප්රිකාවේ සුද්දන් හා කල්ලන් අතර පැවති භේද තරම් විශාල හෝ සංකීර්ණ නැත. දකුණු අප්රිකාවට වර්ණ භේද ජයගතහැකි වී නම් ඊට වඩා පොඩි භේද ලෙස සැලකිය හැකි අප අතර තිබෙන භේද ජයගැනීමට නුපුළුවන්කමක් අපට තිබිය නොහැකිය. අපට තිබෙන ලොකුම අඩුව ලෙස සැලකිය හැක්කේ එම මූලික ප්රශ්න දෙක කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ සමාජ දේශපාලන ව්යාපාරයන් රටේ නැතිකමය. දැන් අප සපුරාගත යුතුව තිබෙන්නේ ඒ අඩුවය.
එම ඓතිහාසික අවශ්යතාව සම්පූර්ණ කරගැනීමට අප සමත් වේ එනම් කුලභේදයට තිබෙන පිළිගැනීම නැති කොට වර්ග හා ආගම් භේදවාදී හැඟීම් තුනීකොට එක්සත් ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇතිකර ගැනීමට අප සමත් වෙමු නම් හා ඒ සඳහා ශක්තිමත් මතවාදී ව්යාපාරයන් පවත්වාගෙන යෑමට සමත් වෙමු නම් මජර ගලන තරමටම කුණුවී තිබෙන මෙම නින්දාසහගත දේශපාලන ක්රමයෙන්ද නිදහස්වීමේ හැකියාව අපට ලැබෙනු ඇත්තේය.