මෙම ජනාධිපතිවරණය තවමත් මහජනතාව අතර බලවත් උද්යෝගයක් ඇති කිරීමට සමත් වී ඇති බවක් පෙනෙන්නට නැත. මෙම ජනාධිපතිවරණය වෙනත් ජනාධිපතිවරණවලට වඩා සාමකාමී ස්වරූපයකින් ඉදිරියටයමින් තිබෙන බව ද පෙනෙන්නට තිබේ. එම සාමකාමී තත්ත්වය කෙරෙහි ස්වාධීන කොමිෂන් සභාවල පැවැත්ම බලපා තිබෙන බව ද පෙනේ. එයින් පෙන්නුම් කෙරෙන්නේ හෙමින් හෙමින් වුවත්, ස්වාධීන කොමිෂන් සභා ක්රමය තහවුරුවෙමින් තිබෙන බවය.
වෙනස් වී නැත්තේ රාජ්ය මාධ්යවල හැසිරිම පමණය. මැතිවරණ කොමසාරිස්වරයා ද තාමත් එම විෂයයට බරපතළ ආකාරයකින් අතගසා ඇති බවක් ද පෙනෙන්නට නැත.
“මැතිවරණ නීති ඇයි රාජ්ය මාධ්යවලට පමණක්?” යන තර්කය සුපුරුදු පරිදි ආණ්ඩු පක්ෂයේ සමහර ප්රකාශකයින් විසින් මතු කරමින් තිබෙන බව ද පෙනෙන්නට ඇත. පෞද්ගලික ජනමාධ්ය බහුතරයක් රනිල් වික්රමසිංහ මහතාට පක්ෂපාතව ක්රියාකරමින් තිබෙන නිසා රාජ්ය මාධ්යවලට අතගසන ප්රතිපත්තියක් දැනට යම් පමණකට හෝ තිබෙන සමබරතාව බිඳ දැමීමට හේතුවනු ඇති බවට ඔවුහු තර්ක කරති.
පෞද්ගලික ජනමාධ්ය පැත්තක් නොගෙන ස්වාධීනව ක්රියාකරයි නම් එය වඩා යහපත්ය. එහෙත් අවශ්ය නම් පෞද්ගලික මාධ්යවලට තමන් කැමති පැත්තක් ගැනීමේ අයිතිය ද පවතී. එහෙත් රාජ්ය මාධ්ය යන්නෙන් අදහස් කරන්නේ ආණ්ඩුවේ මාධ්යයි. ආණ්ඩුවේ කිසිම ආයතනයකට මැතිවරණවලදි එක් පක්ෂයක පැත්තක් ගැනීමේ අයිතියක් තිබිය නොහැකිය. ඒවා රාජ්යය සතු මාධ්ය වූ පමණකින් මැතිවරණවලදි ආණ්ඩු පක්ෂයට ආධාර කරන ප්රතිපත්තියක් අනුගමනය කළ නොහැකිය. එවැනි භාවිතයක් 17 වැනි ව්යවස්ථා සංශෝධනයට සේ ම ඉන් පරිබාහිර මැතිවරණ නීතිවලට ද පටහැනිය. ජවිපෙ වැනි පක්ෂ පවා එම නීති උල්ලංඝනයට ප්රසිද්ධියේ ආධාර කරන තත්ත්වයකට වැටී සිටිති.
2005 කුමන්ත්රණය
රටේ ජනතාව සිය අක්කාට පාලන බලය දුන්නේ අවුරුදු 12ක කාලයක් සඳහා වුවත්, කිසියම් පිරිසක් විසින් කරන ලද කුමන්ත්රණයක් හේතු කොටගෙන ඇගේ ධුර කාලය අවුරුද්දකින් කෙටි කරන ලද බවත්, එම කුමන්ත්රණයේ සුලමුල මේ අවස්ථාවේදි හෙළිකරන්නට තමන් සූදානම් නැතත්, ඉදිරියේදි පාර්ලිමේන්තුවේදි හෙළිකරන බවත්, අනුර බණ්ඩාරනායක මහතා සිය අක්කා වෙනුවෙන් මහනුවරදි පැවති උපහාර උළෙලකදි ප්රකාශ කර තිබුණි. මීට පෙර ඉරිදා ලංකාදිපය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදි ද ඒ මහතා ඒ ගැන අදහස් පළ කර තිබුණි. ඔහු කියා තිබුණේ කුමන්ත්රණයේ සුලමුල 19 වැනිදා පාර්ලිමේන්තුවේදි හෙළිදරව් කරන බවය.
අනුර බණ්ඩාරනායක හෙළිදරව් කරන්නට යන රහස කුමක්ද? යන්න මහජනයාට රහසක් විය හැකි වුවත්, එය එම පවුලේ අයට හෝ, පවුලේ සමීප මිත්රයන්ට රහසක් නොවේ. මහින්ද රාජපක්ෂ මහතා අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා සමග කල්ලි ගැසී කුමන්ත්රණය කොට අක්කාගේ නිල කාලය අවුරුද්දකින් අඩුකළා යන්න ඔහු හා එම පවුලේ අය දරන මතයයි.
එය දැන් මහජනයාට නොව මැතිවරණයෙන් පසු 19 වැනිදා පාර්ලිමේන්තුවේදි හෙළි කරනවා කියන කතාවේ සැගවුණු තේරුමක් තිබේ. ඔහු ඒ මගින් අනියම් ලෙස කියන්නේ අගවිනිසුරුට එරෙහිව ඊළග දෝෂාභියෝගය ඉදිරිපත් කරන්නේ තමා බවය. අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝග දෙකක්ම යටපත් කිරීමට ක්රියාකාරී ලෙස දායක වූ පුද්ගලයෙකුම එම අගවිනිසුරුවරයාටම එරෙහිව තුන්වැනි දෝෂාභියෝගය ඉදිරිපත් කරන්නට සිදුවේ නම් එය සැලකිය යුත්තේ දෛවයේ සරදමක් වශයෙනි. අගවිනිසුරු සමග කල්ලි ගැසී ක්රියාකළ එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොවේ. අනුර බණ්ඩාරනායක මහතාගේ අක්කා ද අවුරුදු 10කට ආසන්න කාලයක් ඒ වරද කළාය. ඒ මගින් හොඳ නරක කණපිට හැරවීය. ඒ මගින් රට විනාශය කරා යන ගමන වේගවත් කළාය. අවසානයේ ඒ අක්කාට ද අගවිනිසුරුගෙන් බැට කන්න සිදුවිය. අගවිනිසුරු වැරදි බව පෙනෙන්නට වී ඇත්තේ ඔහු රටට වැරදි කරන විට නොව, තමාට හා තම පවුලේ අයට වැරදි කරන විටය.
මංගලගේ ප්රජාතන්ත්රවාදය
වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති මංගල සමරවීර මහතාගේ මවගේ පරිහරණය පිණිස ඔවුන් ජීවත් වන දෙමහල් නිල නිවසට ශ්රී ලංකා වරාය අධිකාරියේ වියදමින් (රුපියල් කෝටියක) විදුලි සෝපානයක් ලබාදිමේ සිද්ධියක් පිළිබඳව පසුගිය රාවයේ පළවූ ප්රවෘත්තිය ගැන මංගල සමරවීර මහතා පසුගිය සතියේ අයිලන්ඩ් පුවත්පතට සිය අදහස් පළකර තිබුණි. ඔහු එහි කියා තිබුණේ කතාව ඇත්තක් වුවත්, වියදම රුපියල් කෝටියක් නොව ලක්ෂ 35ක් බවය. ඔහු එම ක්රියාව සාධාරණීකරණය කර තිබුණේ තමන් එය සවි කළේ නිල නිවසට බවත්, එම විදුලි සෝපානය තමන් ගෙදර ගෙන නොයන බවත්ය.
විදුලි සෝපානය ගෙදර ගෙනයනවාද නැද්ද යන්න වෙනම ප්රශ්නයකි. ඇමතිවරයෙකුට සිය පෞද්ගලික පරිහරණය පිණිස තමන්ගේ යටතේ තිබෙන පොදු ආයතනයකින් මෙසේ වියදම් කළ හැකිද?
මංගල සමරවීර මහතාට රුපියල් කෝටියක් විශාල මුදලක් නොවනවා විය හැකිය. එහෙත් රටේ සාමාන්ය ජනයාගේ ආකල්පයෙන් එය විශාල මුදලකි. ඇමතිවරයා වරායේ භාරකාරයා පමණය. අයිතිකාරයා ලෙස සැලකිය නොහැකිය. එහෙත් භාරකාරයා ක්රියාකරමින් සිටින්නේ අයිතිකාරයෙකු ලෙසය. දඬුවම් පැමිණවීමට හේතුවන තරම් බරපතළ වරදක් පෙන්වා දිමෙන් පසුත්, කිසිදු ලජ්ජාවකින් තොරව වරද සාධාරණීකරණය කරන ආකාරය පුදුමසහගතය. එයින් පෙන්නුම් කෙරෙන්නේ රටේ දේශපාලන ජීවිතය කුණුවී තිබෙන ප්රමාණයේ තරමය.
සෝම හිමි ඝාතන කුමන්ත්රණය
සෝම හිමියන්ගේ අභාවය ඝාතන කුමන්ත්රණයක ප්රතිඵලයක් ද යන්න සොයා බැලීම සඳහා පත්කළ ත්රිපුද්ගල පරීක්ෂණ කොමිසමේ වාර්තාව දැන් නිකුත් වී තිබේ.
සෝම හිමියන්ගේ අභාවය රටේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතු වී තිබුණු අතර, එය දුෂ්ට බලවේගයන් එකට ඒකරාශී වී කුමන්ත්රණකාරී ලෙස කරන ලද සාහසික ඝාතනයක් බව රටේ පැවති ජනප්රිය මතය වී තිබුණි. ඒ මතය ද ඉබේ ඇතිවූවක් නොව සංවිධානාත්මකව ඇති කරන ලද්දකි.
එහෙත් නිගමන අවිනිශ්චිතය. රුසියාවට ගෙන්වා ගැනීම, හෘදයාබාධයේදි වහා ප්රතිකාර නොකිරීම, රෝගී තත්ත්වය ගැන ඥාතීන්ට නොදැන්වීම යන කාරණා නිසා කුමන්ත්රණයක් තිබුණා විය හැකි බව කොමසාරිස්වරුන් දෙදෙනෙකුගේ නිගමනය වී තිබේ. එහෙත් ඔවුන් ද කුමන්ත්රණයක් තිබුණු බව ස්ථිර ආකාරයකින් ප්රකාශ නොකරයි. එම කොමිසමේ කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතාගේ නිගමනය වී ඇත්තේ ඝාතන කුමන්ත්රණයක් තිබී නැති බවත්, අපවත්වීම ස්වාභාවික හේතු නිසා සිදුවූවක් බවත්ය.
සෝම හිමියන්ගේ අපවත්වීම හෘදයාබාධ තත්ත්වයක් මත ස්වාභාවිකව සිදුවූවක් බව මහාචාර්ය චන්ද්රසිරි කිරිඇල්ල මහතා සාධාරණ වෛද්ය පරීක්ෂණයකින් පසුව ප්රකාශ කළ විට ඔහු ද්රෝහියකු ලෙස හඳුන්වා දෙන තරම්ම අන්තවාදි බලවේග දුර දිග ගියේය.