ජනාධිපතිනියගේ අධ්යාපන සාමාර්ථයන් පිළිබඳව කෙරෙමින් පවතින විවාදයට ශ්රී ලංකාවේ ප්රංශ තානාපතිනිය ද එකතුවීම තුළ දැන් එම විවාදය දේශීය සීමාවන්ගෙන් ඔබ්බට යන විවාදයක් බවට වර්ධනය වෙමින් පවතී. තානාපතිනියක් වැනි විශේෂ පුද්ගලයෙකු කරන කරුණු පැහැදිලි කිරීමක් තුළ අපක්ෂපාත භාවයක් තිබීම අවශ්ය වුවත්, තානාපතිනියගේ කරුණු පැහැදිලි කිරීම තුළ ඒ ලක්ෂණය ඇති බවක් නම් පෙනෙන්නට නැත. පුවත්පත් කතුවරයකු ජනාධිපතිනිය ප්රකාශ කර ඇති ඇගේ අධ්යාපන සාමාර්ථයන් ප්රශ්න කිරීමකට ලක් කිරීම තානාපතිනිය දැක ඇත්තේ ජනාධිපතිනියගේ ප්රතිරූපය කෙළෙසීමේ දුෂ්ට අරමුණින් කරන්නක් ලෙසය. ප්රශ්න කරන්නා ඒ කුමන අරමුණකින් යුතුව කරනු ලැබුවත්, ප්රශ්න කිරීම ආරම්භයේදි ඒ ගැන නිල විමසීමක යෙදුණු කතුවරයකු ජනාධිපති කාර්යාලය විසින් පණුවකු ලෙස හැඳින්වීම බරපතල වරදක් ලෙස දෑකීමට ප්රංශ තානාපතිනිය පොහොසත් වී නැත. මේ විෂයයේදි තානාපතිනිය කෙරෙන් ප්රකාශ වී ඇති ආකල්ප ප්රංශය ඇතුළත් මානව අයිතීන් පිළිබඳ යුරෝපීය අධිකරණය විසින් ස්ථාපිත කොට ඇති දේශපාලකයන් වැඩි වැඩියෙන් ජනමාධ්යවල සමීප පිරික්සුමකට ලක්විය යුතුය, එහිදී සිදුවිය හැකි අපහාසාත්මක තත්ත්වයන් ඉදිරියේ පවා දේශපාලකයන් ඉවසීමෙන් ක්රියාකිරීමට හුරු පුරුදු විය යුතුය යන මූලධර්මයට පටහැනිය. මහජන මුදලින් යැපෙන දේශපාලකයින්ගේ ක්රියාකාරකම් සහ ප්රකාශ වැඩි වැඩියෙන් ප්රශ්න කිරීමකට බඳුන් කිරීම යහපත් ලක්ෂණයක් වශයෙන් මිස අයහපත් ලක්ෂණයක් ලෙස සැලකිය නොහැකිය.
තානාපතිනිය එකහෙළා ප්රකාශ කර සිටිනුයේ Sciences PO ආයතනය පැරිස් විශ්ව විද්යාලයේ කොටසක් බවය. ඒ නිසා ඊට ඇතුළුවීම සෝබෝන් වශයෙන් සාමාන්යයෙන් හැඳින්වෙන පැරිස් විශ්ව විද්යාලයට ඇතුළුවීමට සමාන බවය. ප්රංශ විශ්ව විද්යාලය විසින් ලබාදෙන උපාධි ප්රංශයේ හැඳින්වෙන්නේ ඩිප්ලෝමා වශයෙන් වන නිසා ඩිප්ලෝමාවක් හා උපාධියක් අතර වෙනසක් නැති බවය. ජනාධිපතිනිය ළග ඇති ඩිප්ලෝමාව තාක්ෂණික අර්ථයෙන් බී.ඒ. උපාධියටත්, රැකියා විෂයයෙහි සුදුසුකම ලෙස ගැනෙන විට එම්.ඒ. උපාධියටත් සමාන වන බවය.
ලන්ඩනයේ Europa Publications නමින් වන සමාගමක් ලෝකයේ විවිධ රටවල ඇති විශ්ව විද්යාල හා උසස් අධ්යාපනික ආයතන පිළිබඳව කාණ්ඩ දෙකකින් යුත් නාමාවලියක් (The World of Learning) ප්රකාශයට පත් කරයි. 1975-76 වර්ෂයට අදාළව පළකර ඇති නාමාවලියේ පළමුවෙලුමට ප්රංශ විශ්ව විද්යාල හා උසස් අධ්යාපන ආයතන පිළිබඳව දිර්ඝ විස්තරයක් ද ඇතුළත්ය. ඊට අනුව එම වසරේ ප්රංශයේ තිබී ඇති රජයේ විශ්ව විද්යාල ගණන 68කි. Universite de Paris I, II, III යනාදි වශයෙන් ප්රංශයේ පැරිස් විශ්ව විද්යාල නමින් තිබී ඇති විශ්ව විද්යාල ගණන 13කි. ඉන් Universite de Paris XII යන විශ්ව විද්යාලය හැර අනික් පැරිස් විශ්ව විද්යාල 12ම තිබී ඇත්තේ එක කුලපතිවරයකු යටතේය. ප්රංශයේ විශ්ව විද්යාල ලේඛනයට ජනාධිපතිනිය අධ්යාපනය ලැබුවේ යයි කියන Sciences PO ආයතනය හෝ Ecole des huutes etudes en Sciences Sociales යන ආයතන දෙක ඇතුළත් නැත. ඒ ඒ විශ්ව විද්යාල යටතේ ඇති අනුබද්ධ ආයතනවල ලේඛනයක් ද ඒ විශ්ව විද්යාල යටතේම දක්වා ඇතත්, ජනාධිපතිනිය අධ්යාපනය ලැබූ ආයතන දෙක පැරිස් විශ්ව විද්යාලයට හෝ වෙනත් විශ්ව විද්යාලයකට අනුබද්ධ බව එහි දක්වා නැත.
එහෙත් නාමාවලියේ රජයේ විද්යාල හා ආයතන (State Colleges and Institutes) යන මාතෘකාව යටතේ ඇති ලේඛනයට ජනාධිපතිනිය අධ්යාපනය ලැබුවේ යැයි කියන ආයතන දෙකේ නම් ද, ඇතුළත්ය. මේ ආයතන දෙක මොන යම් හෝ විශ්ව විද්යාලයකට අනුබද්ධ බව එම ආයතන දෙක යටතේ ඇති විස්තරවල ද සඳහන් වන්නේ නැත. ජනාධිපතිනිය පශ්චාත් උපාධි අධ්යාපනයක් ලැබුවේ යැයි කියන 547 Rue De Varenne Paris, යන ස්ථානයේ පිහිටි Ecole Des Hautes Etudes En Sciences Sociales යන ආයතන 1974 දක්වා තිබී ඇත්තේ College De France නමැති විද්යාලය යටතේ ඇති Ecole Pratique Deshaut es Etudes යන ආයතනයේ කොටසක් වශයෙනි.
ප්රංශයේ විශ්ව විද්යාලවලට ඇතුළුවීමට අවශ්ය මූලික සුදුසුකම් නැති අයට උසස් අධ්යාපනයේ යෙදිමට අවශ්ය අධ්යාපනික ආයතන ක්රමයක් වෙනත් රටවල සේ ම ප්රංශයේ ද පවතී. Ecoles වශයෙන් හැඳින්වෙන්නේ එම විකල්ප අධ්යාපන ආයතනයන්ය. Ecoles වලින් ලබා ගන්නා ඩිප්ලෝමාව හා විශ්ව විද්යාලවලින් ලබා ගන්නා උපාධිය සමාන නොවෙතත්, Ecoles ඩිප්ලෝමාධාරින් අතර සිටින දක්ෂතා ඇති අයට ද වැඩිදුරට උසස් විභාග සඳහා පෙනී සිටීමට ඉඩ දෙන සීමිත ක්රමයක් බොහෝ රටවල සේ ම ප්රංශයේ ද ක්රියාත්මක වේ. විශ්ව විද්යාලවලින් ලැබෙන උපාධිය හා Ecoles වලින් ලැබෙන ඩිප්ලෝමාවට සමාන පිළිගැනීමක් එරට නොපවත්නා බව පෙන්නුම් කිරීමට දැක්විය හැකි නිදර්ශනයක් මෙසේය.
යුරෝපයේ පුහුණුවීමට තිබෙන ආයතනවල විස්තර ඇතුළත් ග්රන්ථයක් (Inventory of training possibilities) ආර්ථික සහයෝගය හා සංවර්ධනය සඳහා වන ආයතනය (O.E.C.D) විසින් ප්රකාශයට පත් කර තිබෙන අතර ඊට ප්රංශයේ ඇති පශ්චාත් උපාධි පාඨමාලා පිළිබඳ විස්තර ද ඇතුළත්ය. ප්රංශයේ පරමාණු බලශක්ති මණ්ඩලය මගින් පවත්වනු ලබන “පරමාණු බලශක්තිය” පිළිබඳ තුන් අවුරුදු පශ්චාත් උපාධි පාඨමාලාවක් සඳහා අවශ්ය සුදුසුකම් විස්තර කිරිමේදි Ecoles ඩිප්ලෝමාවක් හා විශ්ව විද්යාල උපාධියක් අතර ඇති වෙනස පැහැදිලිව දක්වා තිබුණි. පාඨමාලාව සඳහා අයදුම් කළහැක්කේ න්යෂ්ටික භෞතික විද්යාව (Nuclear Physics) හෝ භෞතික විද්යාව යන අවස්ථා (Solid States Physics) යන විෂයයන් දෙකින් එකක් සඳහා විශ්ව විද්යාල උපාධි ඇති අයට පමණය. එහෙත් එම විෂයයන්ට අදාළ granesecoles වලින් සාමාර්ථ ලාභීන්ටද පාඨමාලාව සඳහා අයදුම්කළ හැකි බවත්, එහෙත් ඔවුන් පාඨමාලාවට තෝරා ගැනීම පිළිබඳව අවසාන වශයෙන් තීන්දු කිරීම සිදු කරනු ඇත්තේ විශේෂ මණ්ඩලයක් මගින් බවත් එහි සඳහන් වේ. විශ්ව විද්යාලයකින් ලබා ගන්නා උපාධිය හා Ecoles වලින් ලබාගන්නා ඩිප්ලෝමාවට සමාන පිළිගැනීමක් එරට නොපවත්නා බව එයින් පමණක් වුවත්, මනා ලෙස පෙන්නුම් කරයි.
අධ්යාපනයෙන් ලැබෙන දැනුම මිස විභාග සාමාර්ථයන් සඳහා ලබාදෙන කඩදාසි සහතික ප්රංශය වැදගත් කොට නොසලකන බව තානාපතිනිය කර ඇති ප්රකාශය ද වගකීමෙන් තොරව කරන ලද ප්රකාශයක් බව පෙනී යයි. අවසානයේදි වැදගත් වන්නේ දැනුම බව සත්යයකි. එහෙත් එම දැනුම ලබාදෙන අධ්යාපනයේ පුද්ගලයකු පසුකර ඇති කඩ ඉම් සහතික කරනු ලබන්නේ කඩදාසි සහතික මගිනි. එක් මට්ටමක අධ්යාපනයක් ලැබූ පුද්ගලයකු වඩා උසස් මට්ටමක අධ්යාපනයක් ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන අවස්ථාවකදි තමන්ට ඒ සඳහා සුදුසුකම් ඇති බව පෙන්නුම් කිරීමට කඩදාසියෙන් දෙන සහතිකය ඉදිරිපත් කළයුතු ක්රමයක් ශ්රී ලංකාවේ පමණක් නොව ප්රංශයේ ද පවතී. Alliance Francalise හි ප්රංශ භාෂාව හදාරන ශිෂ්යයකුට පාඨමාලාවක් සම්පූර්ණ කළ පසු සහතික පත්රයක් ලබාදෙන්නේ නැද්ද? ලබාදෙන්නේ නම් එයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
ප්රංශ තානාපතිනියගේ මේ ප්රකාශය ප්රංශ ජනතාවට කියවන්නට අවස්ථාවක් ලැබුණහොත් එය ඔවුන් තුළ පුදුමයක් මිස ගෞරවයක් ඇති කිරීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය.