ජනාධිපතිවරණය, සුභ නැකත හා පාප්වහන්සේගේ සංචාරය

October 19, 2014
Publication:
Ivan argues that the Eighteenth Amendment, poorly drafted, did not remove the two-term bar in a way that clearly lets the President stand again, and that a law-abiding leader would seek the Supreme Court's opinion rather than rely on a friendly ruling. He criticises plans to time the election by an astrologer's auspicious date despite the Pope's planned visit in January 2015, and examines the history of presidential nominations and the Commissioner of Elections' role.

18 වැනි සංශෝධනයට අදාළව මීට පෙර කිසිවකුත් පෙන්වා දී නැති වරදක් පසුගිය සතියේ රාවය පාඨකයකු විසින් (කේ.ටී.ඩී. පියසෝම) පෙන්වා දී තිබුණි. ඔහු ඉන් පෙන්වා දී තිබුණේ 18 වැනි සංශෝධනයේදී ව්‍යවස්ථාවේ 92 වන වගන්තිය ඉවත් කොට හෝ වෙනස් කොට නැති බවය.

ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගැනීමට නුදුසුදුසුකම් යන තේමාව යටතේ 92 වන වගන්තියට ඇතුළත් කාරණා මෙසේය.

ඡන්ද හිමියකුවීමට සුදුසුකම් ලත් සෑම තැනැත්තෙක්ම ඒ තැනැත්තා

(අ) වයස වුරුදු 30 සම්පූර්ණ කර නොතිබීම

(ආ) 91 ව්‍යවස්ථාවේ 1 වන අනුව්‍යවස්ථාවේ

(ඇ) (ඉ) (ඊ) හෝ (උ) ඡේද යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරාපත් කරගැනීමට නුසුදුස්සකු වීම.

(ඈ) ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට පත්කරගෙන තිබීම සහ

(උ) 38 වන ව්‍යවස්ථාව (2) වන අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයේ විධිවිධාන යටතේ ජනාධිපති ධුරයෙන් ඉවත් කරනු ලැබ සිටීම.

යන නුසුදුසුකම්වලින් කවර හෝ නුසුදුසුකමකට යටත්ව සිටී නම් ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගැනීමට නුසුදුස්සෙක් වන්නේය.”

18 වැනි සංශෝධනය කෙටුම්පත් කර තිබෙන්නේ කොතරම් අවධිමත් ලෙසද යන්න ඉන් හොඳින් පෙන්නුම් කරයි. ඉන් පෙනෙන්නේ සරත් නන්ද සිල්වා දක්වා තිබෙන දේවලට අතිරේක වශයෙන් ව්‍යවස්ථාවේ 92 වගන්තිය යටතේද තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරීමේ බලය මේ ජනාධිපතිවරයාට පමණක් නොව කවර ජනාධිපතිවරයෙකුටවත් නැති බවය.

අපේ රටේ නීති කෙටුම්පත් කිරීමේ බලය පැවරී තිබෙන ආයතනය ඇද වැටී තිබෙන ඔලමොට්ටලකමේ හා අකාර්යක්ෂමබවේ තරම ඉන් හොඳින් පෙන්නුම් කරයි.

18 හා අධිකරණය

රටේ පාලකයා නීතිගරුක පුද්ගලයකු වී නම් 18 වැනි සංශෝධනයේ ඇති බරපතළ දෝෂ පෙන්වාදීමෙන් පසු ඔහු කම්පනයට පත්විය යුතුව තිබුණේය. 18 වැනි සංශෝධනයට ඉදිරිපත් කරන ප්‍රතිසංශෝධනයක් මගින් ඒ වරද නිවැරදි කරගත යුතුව තිබුණේය. ඒ වරද නිවැරදි කරගැනීමට දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබාගැනීමට පුළුවන්කමක් නැත්නම් නීතියට ගරුකරමින් දෙවැනි ධුර කාලය සම්පූර්ණවීමෙන් පසු විශ්‍රාම යා යුතුව තිබුණේය.

එහෙත් ඒ වෙනුවට ඔහු කරන්න යන්නේ කුමක්ද? ඒ ගැන කරන විවේචනය ඔහු තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැත. ඒ සියලු බරපතළ දෝෂ තිබියදීත් තුන්වැනි ධුර කාලයක් සඳහා තමන්ට තරග කරිමේ අනුමැතිය අධිකරණය විසින් ලබාදෙනු ඇතැ”යි ඔහු විශ්වාස කරයි. ඒ පිළිබඳව අල්පමාත්‍රයක හෝ සැකයක් ජනාධිපතිවරයා තුළ තිබෙ බවක් පෙනෙන්නට නැත. එයින් බැලූ බැල්මට පෙනෙන්නේ ජනාධිපතිවරයා කරන කවර ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකට වුවත් අනුමැතිය දෙන අධිකරණයක් රටේ තිබෙන බව නොවේද?

ජනාධිපතිවරයකු රටේ මුද්‍රිත නීතිය ලෙස සැලකෙන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සැලකෙන්නේ ඉතා බරපතළ දෝෂාභියෝගාත්මක ගණයට වැටෙන බරපතළ වරදක් ලෙසය. එවැනි වරදක් පියකු තමන්ගේම දරුවකු දූෂණය කරනවාටත් වඩා බරපතළ හා නින්දාසහගත ගණයට අයත් වරදකි. එවැනි බරපතළ වරදක් වරදක් ලෙස ජනාධිපතිවරයාට නොපෙනේ නම්, එසේම ආණ්ඩුවේ සෙසු සාමාජිකයන්ටද නොපෙනේ නම්, අධිකරණයටද නොපෙනෙන්නේ නම් හා සමාජයට නොපෙනෙන්නේ නම් ඒ රට හා සමාජය සැලකිය යුත්තේ අශීලාචාර රටක් හා සමාජයක් ලෙසය.

ජනාධිපතිවරයා ජනතාවට ඉදිරිපත් කළ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්ද, ජනතා විමුක්ති පෙරමුණ සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුමෙන්ද සහතික වී තිබුණේ තමන් බලයට පැමිණීමෙන් පසු විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බවය. දැන් මේ සියල්ල කරමින් සිටිනුයේ එසේ පොරොන්දු වූ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා එසේ කරන්නේ තමන් පොරොන්දු වූ දෙයට ප්‍රතිවිරුද්ධ දෙයක් කරන්නේ ඇයිද කියා ජනතාවට කරන පැහැදිලි කිරීමකින්ද තොරවය. ඒ ගැන ජනාධිපතිවරයාට ලැජ්ජාවක් නැත. ආණ්ඩුවටද ලැජ්ජාවක් නැත.

පාප්තුමාගේ සංචාරය

පාප්වහන්සේගේ සංචාරය සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්තියද ජුගුප්සාජනකය. පාප්වහන්සේ ශ්‍රී ලංකා සංචාරය සඳහා දින නියම කරගෙන තිබුණේ රාජ්‍ය නායකයාගේ හා ආණ්ඩුවේ එකඟතාව ඇතිවය. එම එකඟතාව ඇතිකර ගැනීමෙන් තවත් කලකට පසුව ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිසක් පාප්වහන්සේ බැහැ දැකීමට වතිකානයටද ගියේය. ඒ වනවිටත් ජනාධිපතිවරයා ඉක්මන් ජනාධිපතිවරයකට කටයුතු සැලසුම් කර තිබුණු අතර ඒ සැලැස්ම හා පාප්වහන්සේ ලංකාවට පැමිණෙන දිනය අතර අවුලක් තිබෙන බවද ඔහු දැන සිටියේය. රටක මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් එම මැතිවරණයකට මසකට පෙර හා මැතිවරණයකට පසුව නම් මැතිවරණයකට පසුව මිස පාප්වහන්සේ ප්‍රතිපත්තියක් වශයෙන් රටක සංචාරයක නොයෙදෙන බව එහි ගිය ඒ සියලුදෙනා නොදැන සිටියා විය නොහැකිය. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ලැබෙන ප්‍රතිවිපාක කුමක්ද වුවත් පාප්වහන්සේගේ සංචාරය නොසලකා ජනාධිපතිවරණයකට යා හැකිය. කැමති නම් පාප්වහන්සේගේ සංචාරයෙන් පසුවද ජනාධිපිතවරයකට යා හැකිය. ඒ විකල්ප දෙකෙන් කැමති විකල්පයක් තෝරාගැනීමේ බලය ජනාධිපතිවරයාට තිබෙන්නේය. පාප්වහන්සේගේ සංචාරය නොසලකා ඉක්මන් ජනාධිපතිවරණයක් අවශ්‍යම නම් වතිකානයට ගිය අවස්ථාවේදී ඒ බව පාප්වහන්සේට දැනුම් දිය යුතුව තිබුණි. එවැනි දැනුම්දීමක් නොකළ විට වතිකානයට පමණක් නොව පාප්වහන්සේගේ සංචාරය භාරව ක්‍රියාකරන කතෝලික පල්ලියේ බලධාරීන්ද සිතන්නේ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයකට තමන්ට මනාප අවස්ථාවකදී ගතහැකි නිසා පාප්වහන්සේගේ සංචාරයෙන් පසුව පමණක් ජනාධිපතිවරණය පවත්වනු ඇතැ”යි කියාය. එහෙත් දේවල් සිදුවන ආකාරයෙන් පෙනෙන්නේ පාප්වහන්සේගේ සංචාරය නොසලකා හැකි ඉක්මනින් ජනාධිපතිවරණය පවත්වන්නට යන බවය. ඒ පිළිබඳව අවිනිශ්චිතභාවයක් ඇති බව පෙනෙන්නට තිබියදීත් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මැතිවරණය පවත්වන්නට යන්නේ පාප්වහන්සේගේ සංචාරයෙන් පසුවද ඊට පෙරද යන්න කියන්නේ නැත. කතෝලික පල්ලියද ඒ බව නොසලකා කතෝලික බැතිමතුන් පාප්වහන්සේගේ සංචාරය සඳහා සූදානම් කරමින් සිටින බව පෙනේ.

සුබ නැකත

එක් අතකින් ජනාධිපතිවරයාට විරුද්ධ පක්ෂයට සූදානම්වීමට අවස්ථාවක් නොලැබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය වී තිබෙන බව පෙනේ. ඊටත් වඩා ලොකු නැකත් ප්‍රශ්නයක්ද ඇති බව පෙනේ. ජනාධිපතිගේ දෛවඥයාට අනුව ජනාධිපතිවරයාට හොඳ නැකතක් තිබෙන්නේ ජනවාරි දෙවැනි සතියේ දිනකදීය. ඒ සුබ දිනයට ජනාධිපතිවරණය පවත්වන්නට නොහැකි වෙතොත්, මේ වසරේම ජනාධිපතිවරයාගේ කේන්දරයේ සුබ නැකත් ඇති දිනයක් නැත. මිථ්‍යා විශ්වාසයන්හි දැඩි ලෙස එල්බ ගත් පුද්ගලයකුට වෙනත් ඕනෑම දෙයකට වඩා සුබ නැකත වැදගත්ය. ජය හෝ පරාජය තීරණය වන්නේ සුබ නැකත මතය. ඒ නිසා බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන්නේ අවසාන මොහොතේ පාප්වහන්සේගේ සංචාරය නොසලකා එම නැකත් දිනයට ඉක්මන් ජනාධිපතිවරණයක් පවත්වනු ඇති බවය. එය ඇති කරන ප්‍රතිවිපාක කුමක් වුවත් ජනාධිපතිවරයාට තෝරාගැනීමට අන් විකල්පයක් ඇති බවක් පෙනෙන්නට නැත.

ඉදිරියේ පැවැත්වෙන්නට යන ජනාධිපතිවරණය මැතිවරණ කොමසාරිස්වරයාගේ අපක්ෂපාතීත්වය තීරණාත්මක ලෙස උරගා බැලෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

ජනාධිපතිවරයාට පාප්වහන්සේගේ සංචාරය නොසලකා ඉක්මන් ජනාධිපතිවරණයක් කරළියට ගැනීමට අවශ්‍ය වී ඇත්තේ නැකැත් පිළිබඳ ප්‍රශ්නයක් නිසා නම් ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන නැකත් දිනය ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලෙස ප්‍රකාශ කිරීමේ බලයක් මැතිවරණ කොමසාරිස්වරයාට තිබේද යන ප්‍රශ්නය ඇතිවන්නේය. මැතිවරණ කොමසාරිස්වරයා සියලු අපේක්ෂකයන් සමාන ලෙස සැලකිය යුතුය. අනෙක් අපේක්ෂකයන්ගේ අවශ්‍යතාවන් නොසලකා ජනාධිපතිවරයා ඉල්ලා සිටින ඔහුගේ කේන්ද්‍රයට ගැළපෙන සුබ දිනයක් ජනාධිපතිවරණය පැවැත්වෙ දිනය ලෙස තීන්දු කිරීම සමානතා මූලධර්මයට පටහැනිවනවා සේ ම නීතියටද පටහැනිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 31 (5) වගන්තිය අනුව නාමයෝජනා දිනය සේ ම ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීන්දු කළයුත්තේ මැතිවරණ කොමසාරිස්වරයාය. ජනාධිපතිවරයාගේ සුබ නැකත්වලට ගැළපෙන මැතිවරණ කාලසටහනක් ක්‍රියාත්මක කිරීමේ බලයක් මැතිවරණ කොමසාරිස්වරයාට නැත. නාමයෝජනා දිනය හා මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට නම් ජනාධිපතිවරයාගේ දෛවඥයා ඉල්ලා සිටින සුබ නැකතට ගැළපෙන මැතිවරණ දිනයක් ලබාගන්නේ කෙසේද? ජනමාධ්‍ය පුන පුනා කියන්නේ සුබ නැකත් දිනය මැතිවරණ දිනය වන බවය. නාමයෝජනා දිනය හා මැතිවරණ දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා නම් ජනාධිපතිවරයා හෝ ජනමාධ්‍ය ඒ දින කල් තියා ප්‍රකාශ කරන්නේ කෙසේද?

ජනාධිපතිවරයා හා මැතිවරණ කොමසාරිස්

ජනාධිපතික්‍රමයක් ඇති කිරීමෙන් පසු පවත්වන 1982 සිට 2010 දක්වා පවත්වා තිබෙන ජනාධිපතිවරණවලදී ජනාධිපතිවරණයක් ප්‍රකාශ කළ දිනය, ජනාධිපතිවරණ පැවති දිනය හා නාමයෝජනා දින සිට ජනාධිපතිවරණයක් සඳහා ගතවී තිබෙන දින ගණන හා ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීමේ දිනයේ සිට ජනාධිපතිවරණය පැවති දිනය දක්වා ගතවී තිබෙන කාලය පිළිබඳ විස්තර 1 වගුවට ඇතුළත්ය. එම වගුවේ එන තොරතුරු ආශ්‍රයෙන් මෙතෙක් දේවල් සිදුවී තිබෙන සාමාන්‍ය ස්වභාවය තේරුම් ගත හැකිය. මෙම ජනාධිපතිවරණයේදී දින නියම කිරීම සිදුවන්නේ සාමාන්‍ය ක්‍රමයකට අනුකූලවද නැත්නම් ඊට වෙනස්වද යන්න තේරුම් ගැනීමට මේ වගුවේ එන තොරතුරු පාඨකයන්ට වැදගත් වනු ඇත.

එම වගුවේ එන තොරතුරු පරීක්ෂා කිරීමේදී ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීමේ සිට ජනාධිපතිවරණයක් පැවැත්වූ දිනය දක්වා ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ගතවී තිබෙන අවම කාලය දින 51කි. උපරිම කාලය දින 64කි. 1988දී සංශෝධනය වූ ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපතිවරණයක් සඳහා දිය යුතු අවම කාලය දින 45කි. උපරිම කාලය දින 60කි. සාමාන්‍ය කාලය දින 57කි. 2010 ජනාධිපතිවරණයේදී පමණක් නීතියෙන් දක්වා තිබෙන උපරිම කාලය දින 04කින් ඉක්මවා තිබෙන බව පෙනේ. එය නීතිය ඉක්මවා ගිය අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එසේ වූයේ ඇයිද යන්නට දියහැකි පිළිතුර වනුයේ සමහරවිට ජනාධිපතිවරයාගේ සුබ නැකතට ගැළපෙන දිනයක් නියම කරන්නට යෑමේදී ඇතිවූ දෝෂයක් ලෙසය.

වරද සිදුවී තිබෙන තැනද එම වගුව ආශ්‍රයෙන්ම තේරුම්ගත හැකිය. සංශෝධිත ජනාධිපතිවරණ පනත අනුව නාමයෝජනා කාලසීමාව දවස් 16කට නොඅඩු දවස් 21කට නොවැඩි විය යුතුය. කිසිම මැතිවරණයකදී පනතේ දක්වා තිබෙන අවම කාලය යොදාගෙන නැති අතර 2010දී හැර අන් හැම ජනාධිපතිවරණයකදීම නාමයෝජනා සඳහා ලබාදී ඇත්තේ අවමය හා උපරිමය අතර කාලයකි. එය දින 18ක් හෝ දින 19කි. 2010 පමණක් එම උපරිම සීමාව දින තුනකින් ඉක්මවා තිබෙන බව පෙනේ. එය ජනාධිපති ඉල්ලා සිටි සුබ නැකතට ගැළපෙන දිනයක් ලබාදීම ආශ්‍රයෙන් මතුවී තිබෙන අවුලක් විය හැකිය. එහෙත් ඊට වගකිවයුත්තේ වර්තමාන මැතිවරණ කොමසාරිස්වරයා නොව හිටපු මැතිවරණ කොමසාරිස්වරයාය.

නාමයෝජනා සඳහා මෙතෙක් අනුගමනය කර තිබෙන සම්ප්‍රදාය මෙම ජනාධිපතිවරණයේදී අනුගමනය කළහොත් නාමයෝජනා සඳහා දින 18ක කාලයක් ලබා දුනහොත් නාමයෝජනා දිනය වැටෙන්නේ දෙසැම්බර් 08 වැනිදාටය. දින 19ක කාලයක් ලබාදුනහොත් දෙසැම්බර් 9 වැනිදාටය.

මෙම වගුවේ එන තොරතුරු අනුව නාමයෝජා ලබාගැනීමේ සිට ජනාධිපතිවරණය දක්වා ලබාදී තිබෙන කාලය දින 33ත් දින 41ත් අතර වෙනස්වන බව පෙනේ. 2005දී දින 41ක් ලබාදී තිබෙන අතර 2010දී දින 40ක් ලබාදී තිබේ. ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපතිවරණය සඳහා ඡන්දය පැවැත්වීමේ දිනය නාමයෝජනා දිනයේ සිට සති 04කට නොඅඩු හා සති 06කට නොවැඩි විය යුතුය. එජාපය ඉල්ලා තිබෙන දින ගණන දින 45කි. මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ ප්‍රචාරක කටයුතු කරගෙන යෑම සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කරන ඉල්ලීමද සැලකිල්ලට ගනිමින් නීතියෙන් නියම කර තිබෙන අවමය හා උපරිමය අතර සාධාරණ කාලයක් දිය යුතුය. එජාප ඉල්ලා සිටින දින 45ක කාලයක් ලබාදීමේ හැකියාවක් නැති නිසා දින 40ක කාලයක් ලබා දුන්නද නාමයෝජනා දිනය දෙසැම්බර් 08 වැනිදා වුවහොත් ජනාධිපතිවරණ දිනය විය යුත්තේ ජනවාරි 17 වැනිදාය. නාමයෝජනා දිනය දෙසැම්බර් 9 වැනිදා වුවහොත් ජනාධිපතිවරණ දිනය වනු ඇත්තේ ජනවාරි 18 වැනිදාය. නාමයෝජනාවල සිට දින 35ක කාලයක් ලබාදුනහොත් නාමයෝජනා දිනය අනුව එය ජනවාරි 12 හෝ ජනවාරි 13 වන දිනය විය යුතුය.

ඇතිවිය හැකි නීති ගැටලු සැලකිල්ලට ගත්විට ජනාධිපතිවරණය පැවැත්වෙ දිනය මීටත් වඩා කල්යා හැකිය. ජනාධිපතිට තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරීමේ පුළුවන්කමක් තිබේද යන ප්‍රශ්නය අධිකරණය ඉදිරියට යෑමට නියමිතය. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාද, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඒ වෙනුවෙන් අධිකරණයට යෑමට අපේක්ෂා කරයි. අධිකරණය දෙන තීන්දුව කුමක් වුවත් ඒ් සඳහාද තව දින කිහිපයක් ගතවිය හැකිය.

එවිට ජනාධිපතිගේ සුබ නැකතට ගැළපෙන දිනයක් ලබාගැනීමේ කවර හැකියාවක්වත් නැත. මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාගේ සුබ නැකතට ගැළපෙන ලෙස කාලසටහන හදන්නට ගියහොත් එම කාලසටහන ඉමහත් මතභේදයට හේතුවන හාස්‍යජනක කාලසටහනක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. එයද අධිකරණය ඉදිරියට යන ප්‍රශ්නයක් බවටද පත්විය හැකිය. ඒ සමග අවධාරණයෙන් කිවහැකි තවත් කරුණක්වන්නේ හැදෙන්නට යන කාලසටහන අනුව පාප්වහන්සේගේ සංචාරයට නම් කවර ඉඩක්වත් තිබිය නොහැකි බවය.

පාප්වහන්සේගේ සංචාරය සහතික කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කළහැකි එකම දේ වනුයේ ජනාධිපතිවරණය ජනවාරි 15 වැනිදායින් පසු පැවැත්වීමය.