ආණ්ඩුව ඉන්නේ අන්තෝ ජටා බහි ජටා තත්ත්වයකය

December 10, 2000
Publication:
Ivan says the People's Alliance is trying to hide its sins behind peace talks without preparing the ground. It rewarded poll offenders, its pledge to recall MPs' liquor licences is a lie when some ministers hold seven, and the President ties the four commissions to her constitution. He recounts the farce of cabinet-making, from Anuruddha Ratwatte's return as Deputy Defence Minister to the splitting of the deputy finance post between G.L. Peiris and S.B. Dissanayake. With a four-vote majority and a failing economy, he expects the Chief Justice's impeachment to be the first shot.

පොදු පෙරමුණු ආණ්ඩුව තම සියලු පව් සාම සාකච්ඡාවලින් වසා ගන්නා වෑයමකට යොමුවී සිටින බව පෙනේ.

එහෙත් සාම සාකච්ඡාවලට යන්නට යන්නේ ද, ඊට උචිත දේශපාලන පරිසරයක් ඇති කිරිමේ මූලික කොන්දේසිය පවා සම්පූර්ණ කිරිමෙන් තොරවය.

මැතිවරණ දුෂණවලට, ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ කිසිවකුට තනතුරු ප්‍රදානය නොකරන බව ජනාධිපතිනිය කීවත් තනතුරු ප්‍රදානය කළේ දූෂණය හා ප්‍රචණ්ඩත්වය යහ ගුණයක් ලෙස සලකාය.

මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත් නිකුත් කිරිමේ පිළිවෙතට එරෙහිව එල්ල වී තිබෙන විරෝධය සලකා මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර නිකුත් නොකිරීමටත්, නිකුත් කරන ලද බලපත්‍ර ආපසු ලබාගැනීමට තීන්දු කර ඇති බවත් පොදු පෙරමුණු විධායක කාරක සභාව ප්‍රකාශයට පත් කළේය. එහෙත් එය මහජනතාව රැවටීම පිණිස නිකුත් කරන ලද බොරු ප්‍රකාශයක් පමණය.

මන්ත්‍රීවරුන්ට දෙන ලද මත්පැන් බලපත්‍ර ආපසු ලබාගැනීමේ හැකියාවක් නොපවතී. එසේ කරනවා නම් රට පුරා අලුතෙන් විවෘත කරන ලද සියලු බීම හල් වසා දමන්නට සිදුවන්නේය. එහෙත් මේ දක්වා මන්ත්‍රීවරුන්ට දෙන ලද බලපත්‍රවලින් පවත්වා ගෙන යන කිසිම බීමහලක් වසා දමා නැත. වසා දමනු ඇතැයි ද සිතිය නොහැකිය. මත්පැන් බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් දෙන ලද්දේ ඇමතිවරුන්ටය. එක් ඇමතිවරයකුට දෙන ලද බලපත්‍ර සංඛ්‍යාව 05ක් පමණ වන අතර, මත්පැන් බලපත්‍ර 07ක් ලබාගත් ඇමතිවරු ද සිටිති. සියලු මන්ත්‍රීවරුන්ට සේ ම ආයතන සංවිධායකයන්ටද අඩුම වශයෙන් එක් මත්පැන් බලපත්‍රයක් හෝ ලැබුණේය. මන්ත්‍රීවරුන් නොවන ඉහළ උපදේශකවරුන්ට ද මත්පැන් බලපත්‍ර ලබා දෙන ලද අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන කිසියම් පිරිසකට ද මත්පැන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව ලැබුණ.

කිසිම ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් තම නමින්ම බීම ශාලා පවත්වාගෙන නොයයි. සමහර අය කළේ තම බිරීඳ හෝ පවුලේ වෙනත් අයගේ නම්වලින් මත්පැන් ජාවාරමට පිවිසීමය. තවත් සමහර අය සමහර ජාවාරම්කරුවන්ට මත්පැන් බලපත්‍ර විකුණන ලද අතර, තවත් සමහර අය මාසිකව නිශ්චිත ආදායමක් තමන්ට ලබාගැනීමේ පදනම මත ඒවා තමන්ගේ තෝරාගත් ආධාරකරුවන්ට ලබාදෙන පිළිවෙතක් අනුගමනය කළහ.

පුළුල් වශයෙන් ගත්විට කලාතුරකින් කිහිපදෙනකු හැර පොදු පෙරමුණ නියෝජනය කරන ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් රටේ තැබෑරුම් ව්‍යාපාරයට සම්බන්ධය. සාමාන්‍යයෙන් රට බීමහලක මත්පැන් බෝතල් වශයෙන් මිස කඩා විකිණීම තහනම් වුවත් දැන් කඩා නොවිකුණන බීම හල් ඇත්තේම නැති තරම්ය. බීම ශාලාවලින් වැඩි කොටසක් ලාබ උපරීම කිරීම පිණිස හොර මත්පැන් විකුණන තත්ත්වයකට යොමුවී සිටින අතර, ප්‍රදේශයේ බීම ශාලාවලට ප්‍රදේශයේ දේශපාලකයාට ඇති සම්බන්ධය නිසා එසේ සිදුවන නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව පොලිසිවලට ද ක්‍රියාත්මක විය හැකි තත්ත්වයක් නොපවතී.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සදාචාරයක් සඳහා විපක්ෂය ඉල්ලා සිටින කොමිෂන් සභා හතර සම්බන්ධයෙන් ද ආණ්ඩුව පවත්වාගෙන යමින් සිටින්නේ මගහැර යන ප්‍රතිපත්තියකි. එවැනි කොමිෂන් සභාවල අවශ්‍යතාව පොදු පෙරමුණ ද පිළිගන්නා බවත්, එම කොමිෂන් සභාවලින් සමහරක් යෝජිතනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද ඇතුළත් බවත් එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට සහාය දුන්නේ නම්, ඒවා බාධාවකින් තොරව ඇති කරගන්නට ඉඩ තිබුණු බවත් ජනාධිපතිනිය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දි කියා සිටියාය.

මේ විෂයයන් හතරට අදාළව මොකක් හෝ කොමිෂන් සභා හතරක් ඇති කරගැනීම තිබෙන ප්‍රශ්නයට විසඳුමක්වන්නේ නැත. ඉතා වැදගත් වන්නේ කොමිෂන් සභාවලට ලැබෙන බලතලවල ප්‍රමාණය, ඒවාට ලැබෙන ස්වාධීනතාවයේ ප්‍රමාණය හා එම කොමිෂන් සභාවලට පුද්ගලයන් පත් කරන ක්‍රියාවලිය කුමක් ද යනාදියයි.

යෝජිතනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිසිම කොමිෂන් සභාවක් එවැනි ශක්තිමත් පදනමක් මත ඇතුළත් කර නැත. ඉතාමත් වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත් කිරිමේ අසීමිත බලය ලබාදි ඇත්තේ ජනාධිපතිවරයාටය. ජනාධිපතිවරුන්ට එවැනි හිතුවක්කාරි අසීමිත බලයක් ලබාදුන් විට සාධාරණව ක්‍රියා කරන බවක් ඔප්පු කොට නැත. නවීන ලෝකය ඉතා වැදගත් තනතුරු සඳහා පුද්ගලයන් තෝරාපත් කරගැනීමේ ක්‍රියාවලිය රාජ්‍ය නායකයාගේ හිතුවක්කාරි ලෙස පාලනය කළ නොහැකි ආකාරයට සකස් කර ඇත්තේ ඒ නිසාය.

අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ශිෂ්ටාචාරයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ඇතැම් කාරණා සම්පූර්ණ කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගන්නා තෙක් ප්‍රමාද කළ යුතු නැත. දූෂණවලින් තොර සාධාරණ මැතිවරණයක් සඳහා ස්වාධීන මැතිවරණ කොමිසමක අවශ්‍යතාව මතුවී තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණයයට පෙරාතුවය. ජනාධිපතිවරණයේ දූෂිත අත්දෑකීම් සලකා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇති කරගැනීමේ අවශ්‍යතාව යුරෝපා සංගමය ආණ්ඩුවට අවධාරණය කර තිබුණත්, ආණ්ඩුව එය නොසලකා සිටියේ ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණය තවදුරටත් රැකගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණය හොඳින් හෝ නරකින් ජයගැනීම අත්‍යවශ්‍ය වූ නිසාය.

ආණ්ඩුව ප්‍රචණ්ඩත්වය හා සංවිධානාත්මක දූෂණ ඔස්සේ මැතිවරණය ජයගත්තත්, ලැබූ ජයග්‍රහණය ප්‍රමාණවත් වූයේ යාන්තම් ආණ්ඩුවක් ගැටගහ ගැනීමකට පමණය. එය කොයි මොහොතක හෝ කඩා වැටීමට ඉඩක් ඇති දුර්වල ආණ්ඩුවකි. වැඩි පිරිසක් තෘප්තිමත් කිරීම පිණිස අතිවිශාල කැබිනට් මණ්ඩලයක් පත් කොට ඇතත්, ලබාදි ඇති ඇමතිකම්වලින් වැඩි කොටසක් කෑලි ඇමතිකම් වීම හේතු කොටගෙන ඇමතිවරුන් වැඩි පිරිසක් අතර අතිවිශාල අතෘප්තියක් හා අසහනයක් පවතී.

ඇමති තනතුරු ප්‍රදානය කිරිමේ ක්‍රියාවලිය ද තවමත් අවසන් වී නැත. මහජනයා තෘප්තිමත් කිරීම පිණිස ටික කලක් නියෝජ්‍ය ආරක්ෂක ඇමති ධුරය කිසිවකුටවත් නොදි තබා ගත්තේය. නියෝජ්‍ය මුදල් ඇමති ධුරයෙන් කොටසක් එස්.බී. දිසානායක ඉල්ලා සිටින්නට වීම නිසා එම තනතුරට ද කිසිවකුත් පත් නොකොට කලක් හිස්ව තබාගත්තත්, අවසානයේදි ඒ තනතුරු දෙකම පුරවන්නට සිදුවූයේ මහජනයා තුළ හාස්‍යයක් ඇතිවන ආකාරයටය. ජනරාල් අනුරුද්ධ රත්වත්තගෙන් එල්ල වන පීඩනය ජයගත්තේ ජනාධිපතිනිය තමන් විදේශගතව සිටින අවස්ථාවක ඒ තනතුර නැවත ජනරාල් අනුරුද්ධ රත්වත්තටම පවරන ප්‍රතිපත්තියක් ඔස්සේය. නියෝජ්‍ය මුදල් ඇමති ධුරය දෙකට බෙදා ජී.එල්. පිරිස්ට හා එස්.බී. දිසානායකට පවරා දෙන්නට යන බවට පැවති කතා හේතු කොටගෙන ආරම්භයේ දි ඒ තනතුර ජී.එල්. පිරිස්ට පමණක් ලබාදුන්නත්, එස්.බී. දිසානායක කෙරෙන් එල්ලවෙමින් තිබෙන පීඩනය ජයගැනීම සඳහා අවසානයේදි එම තනතුරත් දෙකට බෙදා එස්.බී. දිසානායක වෙත ද, එහි අනෙක් පංගුව ලබා දුන්නාය.

ජනාධිපතිනියගේ නායකත්වය කොතරම් විශාල ප්‍රමාණයකට බෙලහීන වී තිබේද යන්න ඇමති මණ්ඩලයක් ඇතිකරගැනීමේ ක්‍රියාවලියෙන් මනා ලෙස පෙන්නුම් කළේය. අමාරුවෙන් ආණ්ඩුවක් ගැට ගසා ගත යුතුව තිබුණ තත්ත්වයක් ඉදිරියේ විශාල ඇමති මණ්ඩලයක් පත්කිරිමෙන් ඇති කළ හැකි විරෝධය හා ඒ වෙනුවෙන් කරන්නට සිදුවන වියදමේ විශාලත්වය සලකා අන් සියල්ලට පෙර ආණ්ඩුව රැකගැනීමට අවශ්‍ය නම් කුඩා ඇමති මණ්ඩලයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කර දි, මේ අමාරු අවස්ථාවේදි කුඩා ඇමති මණ්ඩලයක් තීන්දු කිරිමේ තනි වගකීම තමන් වෙත පවරා ගනිමින් තනතුරු නොලැබෙන සියලු දෙනා මේ විශේෂ මොහොතේදි ආණ්ඩුවේ පැවැත්ම රැකගැනීම සඳහා ඉවසා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස දෑඩි ලෙස ඉල්ලා සිටියේ නම්, මෙවැනි විහිලූකාර තත්ත්වයක් ඇති නොවීමට වග බලාගත හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් ජනාධිපතිනිය එසේ කරනවා වෙනුවට කළේ සියලු දෙනා සතුටු කරනු පිණිස කෑලි ඇමතිකම් ප්‍රදානය කරන පිළිවෙතකට තල්ලුවීමය. එම පිළිවෙත කිසිවකුත් තෘප්තිමත් නොවන තත්ත්වයක් ඇති කළා පමණක් නොව, පරීපාලනය ද අවුල් ජාලාවක් බවට පත් කළේය. තනි එස්.බී. දිසානායක කෙනෙකු සතුටු කිරීම සඳහා පමණක් විටින් විට, හතර වතාවකදිම කෑලි ඇමතිකම් ලබාදිමට සිදුවිය. මුදල් නියෝජ්‍ය ඇමති ධුරය දෙකට බෙදනවාට ජී.ඇල්. පිරිස් ඇමතිතුමාගෙන් එල්ල වී තිබූ විරෝධය නිසා එම තනතුරට කිසිවකු පත් නොකර සිටින පිළිවෙතක් ටික කලක් පවත්වාගෙන ගියේය. එහෙත් අතුරු සම්මතය සඳහා මුදල් නියෝජ්‍ය ඇමතිවරයකු පත් කිරීම අවශ්‍ය වූ අතර, ඒ සඳහා ජී.එල්. පත්කිරිමෙන් පසුව තවදුරටත් අතෘප්තිමත් තත්ත්වයක සිටි එස්.බී. සතුටු කරනු පිණිස ඉන් දින කිහිපයකට පසුව තනතුර දෙකට කඩා ඉන් කොටසක් එස්.බී. වෙත ද, ලබාදිමට සිදුවිය. රටේ නායිකාව එස්.බී. දිසානායක කෙරෙහි දක්වන බියේ ප්‍රමාණය කොතරම් ද යන්න එයින් පෙන්නුම් කරයි. මංගල සමරවීරට පමණක් ඔහු ඉල්ලා සිටි ඇමති ධුරය ලබාදෙන විට තමන්ට තමන් ඉල්ලා සිටි ඇමති ධුරය ලබා නොදිමෙන් නොනැවතී තමාගේ තත්ත්වයට නොගැලපෙන තරම් අඩු බලයක් ඇති කෑලි ඇමතිකමක් පමණක් දිම එස්.බී.ගේ කෝපයට හේතුවී තිබුණි. ඔහු නොකඩවාම තව තව තව දේ ඉල්ලූම් කළේය. විටින් විට කෑලි ගණනක් දුන්නත්, ඒ සියල්ල කිසිම වැඩකට නැති තමා රවටන දේවල් පමණක් බව ඔහු දැන සිටියේය. ඒ නිසා ඔහු අවසානයේ මුදල් නියෝජ්‍ය ඇමතිකමේ බලවත්ම පංගුව ඉල්ලා සිටියේය. එය ලැබෙන තෙක් සිය ලිපි ශීර්ෂ පවා මුද්‍රණය කිරිමෙන් වැළකී සිටියේය. අවසානයේදි ජනාධිපතිනියට නොකමැත්තෙන් වුවත් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට සිදුවිය. එහෙත් එම තත්ත්වය ජී.එල්. පිරිස් අතෘප්තිමත් තත්ත්වයකට පත්කිරිමෙන් නොනැවතී නොවැදගත් කෑලි ලැබී තිබුණු සියලු දෙනා අතර ඇති අසහනය උග්‍ර කිරීමට හේතුවිය. ජනාධිපතිනිය එස්.බී. ට පමණක් මෙතරම් බය ඇයිද කියන ප්‍රශ්නය දැන් අන්‍යයන් අතර සාකච්ඡාවට ලක්වන වැදගත් මාතෘකාවක් බවට පත්වී තිබේ.

බිඳ වැටී තිබෙන ජාත්‍යන්තර ආධාර නැවත ලබාගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් ආණ්ඩුව නැවත සාම සාකච්ඡාවලට යාමකට යොමුවී සිටියත්, බැරෑරුම් සූදානමකින් තොරව හා අවශ්‍ය පසුබිම සකස් කිරීමකින් තොරව කරන්නට යන සාම සාකච්ඡාව රටේ තිබෙන අවුල්සහගත බව උග්‍ර කිරීමට මිස තුනී කිරීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය. සාම සාකච්ඡා සඳහා වන නැඹුරුව ඊ.පී.ඩී.පී. ය තුළ අතෘප්තිමත් තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබෙන අතර, මුස්ලිම් කොංග්‍රසය හා ජාතික සමගි පෙරමුණ සමග තිබෙන අර්බුදයද තවමත් ආණ්ඩුවට මුළුමණින් ම විසඳ ගැනීමට ද හැකිවී නැත. ආණ්ඩුවට සිදුවී ඇත්තේ මේ සියලු අර්බුද මැද වැඩි ඡන්ද හතරකින් පමණක් ආණ්ඩුවේ පැවැත්ම ගැටගහ ගැනීමටය. එය සුළි සුළගකට තබා, සාමාන්‍ය දේශපාලන සැඩ සුළගකටවත් ඔරොත්තු දිය හැකි තත්ත්වයක් නොපවතී.

වසර අවසානයේ උත්සව සමය අවසන්වීමත් සමග ආණ්ඩුවට බාහිර වශයෙන් එල්ල වන තර්ජන සේ ම, අභ්‍යන්තර ආරාවුල් ද උග්‍ර වන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. රටේ මුදල් අහේනියක් තිබෙන අතර, ආණ්ඩුවට අවශ්‍ය එදිනෙදා වියදම් පියවා ගැනීමට සිදුවී තිබෙන්නේ දේශීය වශයෙන් ලබාගන්නා ණය තෙගුණ කිරිමෙනි. කොටස් වෙළෙඳ පොළ නොකඩවා කඩා හැලෙමින් තිබෙන අතර, සියලු ආකාරයේ පාරීභෝගික භාණ්ඩවල මිල ගණන් ද, ඔරොත්තු නොදෙන තරම් වේගයකින් ඉහළ යමින් පවතී. තවමත් විපක්ෂය ඉන්නේ සටන්කාමී තැනක නොව, නිද්‍රාශීලී තැනකය. එහෙත් රටේ ඇතිවන්නට නියමිත සිදුවීම් විපක්ෂය සටන් කරන තැනකට තල්ලු කරනු නොඅනුමානය.

විපක්ෂය නව වසර ආරම්භයේදි අග්‍රවිනිශ්චයකාරවරයාට එරෙහිව ඉදිරිපත් කරන්නට නියමිත දෝෂාභියෝගය ආණ්ඩුව සසල කිරීමට හේතුවන ප්‍රථම වෙඩි මුරය වන්නට නියමිතය. එහෙත් මෙතෙක් සිය රැකවල් දූතයා ලෙස ක්‍රියා කළ අගවිනිසුරුවරයාගේ පැවැත්ම බිලි දෙනවා හැරුණු විට ආණ්ඩුවට කළ හැකි දෙයක් ද නැත. එහෙත් ඒ සමග ආණ්ඩුවට එතෙක් අධිකරණයෙන් ලැබී තිබුණු පක්ෂපාත රැකවරණය ද අහෝසි වනු ඇත්තේය.