අභිමත බලය කොයිබටද?

April 9, 2000
Publication:
Ivan questions the appointment of businessman Harry Jayawardena, a close Bandaranaike family friend and 1994 campaign financier, to the Securities and Exchange Commission while facing customs fraud cases against Stassen Exports and inquiries over Hatton National Bank dealings. He also criticises the choice of Rienzie Arsecularatne as Director General of the Bribery Commission despite past controversies, and warns that such use of presidential discretion, with opposition silence, is ruining the country.

බණ්ඩාරනායක පවුලේ සමීපතම හිතවතකු හා 94 ජනාධිපතිවරණයේ දි මැතිවරණ ප්‍රචාරක කටයුතුවල බරපැන ඉසිලූ ප්‍රධානම පුද්ගලයා ලෙස සැලකිය හැකි ශ්‍රී ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස සැලකෙන හැරි ජයවර්ධන මහතා ජනාධිපතිනිය විසින් විනිමය සුරැකුම් කොමිසමේ සාමාජිකයකු ලෙස පත් කොට ඇති බව පුවත් පත් වාර්තා කොට තිබුණි.

හැරි ජයවර්ධන මහතා විදේශ විනිමය වංචා පරීක්ෂණ ගණනාවකටම මුහුණ දි සිටින චූදිතයෙකි. ඒ මහතාට අයත් සීමාසහිත ස්ටැසන් එක්ස්පෝර්ට්ස් සමාගම (Stassen Exports Limited) භාණ්ඩ ආනයනයේ දි කිසියම් දිර්ඝ කාලයක් තිස්සේ රේගුවට කර ඇතැයි කියන බදු වංචා සිද්ධීන් 13ක් සම්බන්ධයෙන් රේගුව පරීක්ෂණ පවත්වයි. මේ සිද්ධීන් 13 දි සමාගම රේගුවට ප්‍රකාශ කර ඇති වටිනාකම ඇමරිකන් ඩොලර් 206529.05කි. රේගු පරීක්ෂණ අනුව එම භාණ්ඩ තොග 13හි ඇත්ත වටිනාකම අමරිකන් ඩොලර් 444090.38කි. එම තොග 13 සඳහා රේගුවට ගෙවිය යුතු බදු මුදල රුපියල් 19,239,944.00කි. ඒ අනුව එම අවස්ථා 13 දි පමණක් සමාගම රේගුවට කර තිබෙන වංචාවේ ප්‍රමාණය රුපියල් 10,274,784.00ක් බවට රේගුවේ තක්සේරුව වී තිබේ.

රේගුව මෙම වංචා වැල අල්ලා ගනු ලැබුවේ 1997 සැප්තැම්බර්වල දි ය. හැරි ජයවර්ධන මහතා ඇතුළු සමාගමේ සියලු අධ්‍යක්ෂෂවරුන් අත් අඩංගුවට ගැනීමට රේගුවට අවශ්‍ය වුවත් ජනාධිපතිනියගේ මැදිහත්වීමෙන් එය වැළකීම නිසා රටේ ආන්දෝලනයක් ඇති කරන සිද්ධියක් බවට එය පත්විය. ආණ්ඩුවේ බලපෑම නිසා සමාගමේ අධ්‍යක්ෂෂ මණ්ඩලය අත් අඩංගුවට ගැනීමට නොහැකි වුවත් හිටපු රේගු ප්‍රධානියා සමාගමට එරෙහිව කරන පරීක්ෂණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට සමත් විය.

එම සිද්ධීන් 13 න් පරීක්ෂණ ආරම්භ කරන ලද එක් සිද්ධියකට අදාළව හැරි ජයවර්ධන ඇතුළු සමාගමේ අධ්‍යක්ෂෂ මණ්ඩලයෙන් කටඋත්තර ලබා ගැනීමට රේගුවට අවශ්‍ය වුවත් අධ්‍යක්ෂෂවරු කටඋත්තර ලබා දිම දිගින් දිගටම ප්‍රතික්ෂෙෂ්ප කිරීම හේතු කොට ගෙන රේගු ආඥා පනතට අවනත නොවීමේ චෝදනාව මත හැරි ජයවර්ධන ඇතුළු අධ්‍යක්ෂෂ මණ්ඩල සාමාජිකයින්ට එරෙහිව වරාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට රේගුවට සිදුවිය.

92 වසරේදි ඉස්කාගාර සංස්ථාව මිලදි ගැනීම සඳහා හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂෂවරයෙකු වශයෙන් ක්‍රියාකරමින් සිටියදි බැංකු ආඥා පනතේ එන විධි විධානයන්ට පටහැනිව බැදුම්කරයකින් තොරව එම බැංකුවෙන් රුපියල් මිලියන 800 ක් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව හැරි ජයවර්ධන මහතාට එරෙහිව මහ බැංකුව ඉදිරියේද අවසන් නොකළ පරීක්ෂෂණයක් පවතී.

ඊටත් අතිරේකව 95 වසරේදි හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂෂ ධූරයක් දරමින් බැංකුව ප්‍රසාද කොටස් (BONUS SHARES) නිකුත් කළ අවස්ථාවක ඊට දින කීපයකට පෙර තමාට වැඩි කොටස් හිමිකමක් ඇති ඩිස්ටිලරීස් සමාගමේ මුදල් කළමනාකරු යොදා බැංකුවේ විශාල කොටස් සංඛ්‍යාවක් මිලදි ගැනීමේ සිද්ධියක් පිළිබඳවද විනිමය සුරැකුම් කොමිසම ඉදිරියේ අවසන් නොකළ පරීක්ෂණයක් පවතී.

මෙතරම් විශාල ප්‍රමාණයක් චෝදනා ලබා ඇති පුද්ගලයෙකු විනිමය සුරැකුම් කොමිසමට පත් කිරීමෙන් ජනාධිපතිනිය රටට දෙන්න යන්නේ කෙබඳු ඇගවීමක්ද? හැරි ජයවර්ධන පිළිබඳව පරීක්ෂෂණ කරන නිලධාරීන්ට හා ඊට අදාළ නඩු අසන විනිශ්චයකාරවරුන්ට දෙන ඇගවීම කුමක්ද? නීතියක් ඇතත් එය ක්‍රියාත්මක විය යුත්තේ තමාගේ හිතවතුන්ට හැර අන් සියලු දෙනාට පමණක්ය කියන ඇගවීම නොවේද?

දිර්ඝ කාලයක් ක්‍රියාවිරහිත තත්ත්වයක තබාගෙන සිටි අල්ලස් හෝ දූෂණ කොමිසමට නව අධ්‍යක්ෂෂ ජෙනරාල්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කර ඇති පිළිවෙතද ඊට සමානය. එහි අධ්‍යක්ෂෂ ජෙනරාල් ධූරයට පත් කර ඇති රියෙන්සි අර්සකුලරත්න මහතා තමා සමග එකට නිවසේ ජීවත් වූ තම මස්සිනාට එරෙහිව මතු වී තිබුණු මුදල් වංචා චෝදනාවකදි නඩු පැවරිම සඳහා දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබුණු ලිපි ගොනුවේ අධීක්ෂෂණ කටයුතු තමා වෙත පවරා ගනිමින් ඔහුට එරෙහිව නඩු පැවරීමේ ක්‍රියාවලිය ප්‍රමාද කරන පිළිවෙතක් තුළ ඒ පුද්ගලයාට රටින් පළා යාමට අවස්ථාවක් ලබා දිමේ සිද්ධියක් රටේ ප්‍රසිද්ධ කතාබහට හේතු වී තිබුණි. ඒ සිද්ධියේදි ඒ වෙනුවෙන් කැඳවන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදි හිටපු නීතිපතිවරයා අර්සකුලරත්න මහතා ආරක්ෂෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියාකළෙන් ඒ සිද්ධිය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඇති කරන ලද කැළල අති විශාලය. අල්ලස් හෝ දූෂණ කොමිසම පිහිටුවීමෙන් පසු ඊට අර්සකුලරත්න මහතා උපදේශකයෙකු වශයෙන් සම්බන්ධ වූ ආකාරයද විවාදයට හේතු විය. මට්ටක්කුලිය ධීවර අභ්‍යාස විද්‍යාලය පුද්ගලික අංශයට පැවරීමේදි සිදුවී ඇති දූෂණ අක්‍රමිකතා සොයා බැලීම පිණිස පොදු පෙරමුණු ආණ්ඩුවේ ධීවර ඇමති මහින්ද රාජපක්ෂෂ මහතා නීතීඥ ඩෙන්සිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද පරීක්ෂෂණ කමිටුවක් ඉදිරියේද අර්සකුලරත්න මහතාට චෝදනා එල්ල විය. ධීවර අභ්‍යාස විද්‍යාලය මසකට රුපියල් 5000 ක් වැනි නොවටිනා මිලකට පුද්ගලික සමාගමක් වෙත පැවරීම සඳහා ක්‍රියාකිරීමේදි ඇමති මණ්ඩලය නොමග යැවීමට හේතු වන ආකාරයෙන් සකස් කරන ලද ලියවිල්ලක නිර්මාර්තෘවරයා ලෙස ක්‍රියාකර තිබුණේ අර්සකුලරත්න මහතා බව පරීක්ෂෂණ කමිටුව විසින් කරන ලද සාක්ෂෂි විභාගයේදි හෙළිවිය. පරීක්ෂෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස අර්සකුලරත්න මහතාට දැනුම් දිමක් කර ඇතත් ඒ මහතා පරීක්ෂණ කමිටුව ඉදිරියට පැමිණ නැත.

ප්‍රමුඛ වැදගත්කමක් ඇති ආයතනවලට පුද්ගලයන් තෝරා පත් කිරීමේදි රාජ්‍ය නායිකාවට ලැබී තිබෙන අභිමත බලය පාවිච්චි කෙරෙන්නේ රටේ සුභ සිද්ධියට හා ගෞරවයට හේතු නොවන ආකාරයට නම් හා වැඩි දුරටත් එවැනි බරපතල වැරදි ඉදිරියේ විපක්ෂෂය නිහඬව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරයි නම් රට දිනෙන් දින විනාශ මුඛයට ඇද වැටීමද නොවැළැක්විය හැකිය.

2000 අප්‍රේල් 23 ඉරීදා

අන්තෝ ජටා බහිජටා තත්ත්වයක්

ජනාධිපතිවරණය ජයගත්තත්, සිය පැවැත්ම ශක්තිමත් හා ස්ථාවර කරගැනීමට ආණ්ඩුව සමත් වී නැත. පාර්ලිමේන්තු මැතිවරණයකට නොගොස් ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ කාලය දිර්ඝ කරගැනීමේ අරමුණක් ආණ්ඩුවට ඇතත්, ඒ සඳහා අවශ්‍ය තරමේ පොදු එකගතාවක් ඇතිකර ගැනීමට හැකිවනු ඇත් ද යන්න සැකසහිතය. පාර්ලිමේන්තු මැතිවරණයක් ජයගැනීම සඳහා මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති කිරිමේ උනන්දුවක් ඇතත්, ඒ සඳහා ද එකගතාවක් නොපවතී. ප්‍රභාකරන් යාපනයේ සිය තත්ත්වය තහවුරු කරගනිමින් සිටීමේ සාධකය සේ ම දකුණේ සිංහල බලවේගයන්ගේ පෙළගැසීම ද ආණ්ඩුවේ අස්ථාවරභාවය වර්ධනය කිරීමට හේතුවී තිබේ.

නිදහස් හා සාධාරණ පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා යුරෝපා සංගමයෙන් එල්ල වී තිබෙන බලපෑම මුළුමනින් නොසලකා සිටීමේ හැකියාවක් ආණ්ඩුවට නැතත්, සංගමය ඉදිරිපත් කර තිබෙන කොන්දේසි සම්පූර්ණ කිරීමේ හැකියාවක් ද ආණ්ඩුවට නැත.

ජනාධිපතිවරණය නිරීක්ෂණය කළ අන්තර් ජාතික නිරීක්ෂකයින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ 18ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සම්පූර්ණ කළයුතු යැයි යුරෝපා සංගමය එකහඬින් ප්‍රකාශ කරයි. ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් ලෙස බටහිර රටවල් නොසලකන බව එම කොන්දේසි පැනවීමෙන් ම මනා ලෙස පෙන්නුම් කරයි.

ජනාධිපති, විපක්ෂ නායකයා, අගවිනිසුරු යන අය ඇතුළත් මණ්ඩලයක් විසින් මූල්‍යමය ස්වාධීනතාවක් සහිත මැතිවරණ කොමිසමක් ඇති කිරීම හා මැතිවරණ කොමසාරිස් සමග සහයෝගයෙන් ක්‍රියාකිරීම සඳහා ජාතික උපදේශක කමිටුවක් ඇති කිරීම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ අතර තිබෙන ප්‍රධානම නිර්දේශයයි. එහෙත් ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇති කළහොත් තක්කඩිකම්වලින් පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමට තිබෙන හැකියාව ද සීමාවේ. ආණ්ඩුවට එවැනි වැඩපිළිවෙළකට යාම අවශ්‍ය නැතත්, බටහිරින් එල්ලවෙමින් තිබෙන බලපෑම්වල ප්‍රමාණය අනුව කිසිවක් නොකර සිටීමේ හැකියාවක් ද නොපවතී.

මැයි මස අගදි පැවැත්වෙන ආධාර කණ්ඩායම් රැස්වීම දක්වා එජාප සමග පවත්වාගෙන යන ද්විපාර්ශවික සාකච්ඡා ඉදිරියට ගෙනයාමට ආණ්ඩුවට අවශ්‍ය වී ඇතත්, එම ක්‍රියාවලිය දෙමළ දේශපාලන පක්ෂ කෙරෙහි හෝ දෙමළ ජනතාව අතර විස්මයක් ඇති කිරීමට හේතුවී නැත. ජූනිවලදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇති බවට ප්‍රකාශ වී ඇතත්, මැතිවරණ ක්‍රමයේ හදිසි වෙනසක් ඇති කිරිමේ ක්‍රියාමාර්ගයකට එජාපය කැමති වනු ඇතැයි සිතිය නොහැකිය. ඒ ගැන පොදු පෙරමුණේ පක්ෂ අතර පවා පොදු එකගතාවක් නොපවතී. ඇති කරන්නට යන නව ක්‍රමයට මුස්ලිම් කොංග්‍රසය සේ ම වතු කම්කරු කොංග්‍රසය ද විරුද්ධය.

යාපනයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය යහපත් නැත. කොටි සංවිධානය සිය ශක්තිය තරකර ගනිමින් සිටින අතර, යාපනයේ පාලනය නැවත ප්‍රභාකරන් අතට පත්වන තත්ත්වයකට යමින් තිබෙන්නේය කියන විශ්වාසයක් ආණ්ඩුවේ හමුදා ප්‍රධානීන් අතර පවා වර්ධනය වෙමින් පවතී. යාපනයට අහසින් කෙරෙන මගී ප්‍රවාහනය ද, බොහෝදුරට අත්හිටුවා තිබෙන අතර, මුහුදෙන් කරන ගමනාගමනය ද, බොහෝදුරට සීමාවී තිබේ. අලිමංකඩ හමුදා කඳවුර කොටු කරන තත්ත්වයකට පත්කිරීම ප්‍රභාකරන්ගේ අරමුණ වී තිබෙන බව පෙනේ. ඒ ඉලක්කය සපුරා ගැනීමට සමත් වෙතොත්, ඊළග ඉලක්කය වනු ඇත්තේ යාපනයයි.

සිංහල සංවිධාන පොදු දේශපාලන ව්‍යාපාරයක් ලෙස සංවිධානය වීමේ ප්‍රවණතාවක් ද පවතී. එජාපයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න මහතා එජාපයෙන් ද, සිය මන්ත්‍රී ධූරයෙන් ද ඉවත් වී සිංහල උරුමය නමින් ගොඩනැගෙමින් තිබෙන පක්ෂයේ නායකත්වය ගැනීමට නියමිතය. සිංහල උරුමය පක්ෂයේ ජාතික සංවිධායක බවට පත්වීමට නියමිතව සිටින්නේ චම්පික රණවකය. එජාපය තුළ පොදු බවක් නැතිවා සේ ම, පොදු පෙරමුණ තුළත් පොදු බවක් නොපවතී. ඉදිරියේ මේ ව්‍යාපාර දෙක තුළම පිපිරිම් ඇතිවීමේ ඉඩකඩක් පවතී. ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ද මේ දේශපාලන වික්ෂිප්තභාවය යම් පමණකට බලපා ඇති බවක් ද පෙනේ.

දේශපාලනයේ මතුපිට තලයේ නිසසල බවක් පෙනෙන්නට ඇතත්, අභ්‍යන්තරයේ පවතින්නේ පැසවන තත්ත්වයකි. පිපිරිමක් ඇතිවිය හැකි ලකුණු පෙනෙන්නට ඇතත්, එය කෙබඳු මුහුණුවරක් ගනු ඇත් ද යන්න නොපැහැදිලි ය.