අම්මලා, තාත්තලා සිටින දරුවන්ට සීමා නොවී අම්මලා තාත්තලා නැති පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන ළමා නිවාසවල හා තවත් ඒ සමාන තැන්වල ජීවත් වන පහළොස් දහසකට වැඩි අනාථ ළමුන් ගැන සේ ම රටේ පවතින ළමා අපයෝජන ගැන ලිවිය යුතුයි කියා කල්පනා වූයේ ලෝක ළමා දිනය යෙදී ඇත්තේ ඊළඟ සඳුදාට වන නිසාය.
දෙමාපියන්ගේ හෝ පවුලේ වෙනත් අයගේ ආදරය හා සෙනෙහස ලැබීමේ වාසනාව හිමි නැති රටේ සිටින අනාථ ළමුන් කෙරෙහි ඒ රට දක්වන සැලකිල්ලේ තරම ඒ රටේ දේශපාලන ශිෂ්ටසම්පන්නභාවයේතරම පෙන්නුම් කරන කැටපතක් ලෙස සැලකිය හැකිය. මේ මෑතක් වන තෙක්ම අනාථ නිවාසයක ජීවත් වන ළමයෙකු නඩත්තු කිරීම සඳහා (ආහාරපාන ඇතුළු සියලු වියදම් සඳහා) ආණ්ඩුව වෙන් කළ මුදල දිනකට රුපියල් 10කි. ඒ මිලට වර්තමානයේ කඩල ගොට්ටක්වත් මිලදී ගත නොහැකිය. මම ඒ ගැන කතුවැකි දෙකක්ම ලියා ඇත්තෙමි. වර්තමාන ආණ්ඩුව අනාථ ළමුන් සඳහා වෙන් කරන මුදල දෙගුණයකින් වැඩි කළේය. දැන් එවැනි එක් ළමයෙකු නඩත්තු කිරීම සඳහා රජය වැය කරන වියදම දිනකට රුපියල් 20කි. යන්තම් ඒ මුදලට කඩල ගොට්ටක් මිලදී ගත හැකිය. අනාථ ළමයෙකු දිනකට රුපියල් 20ක් වැනි සොච්චම් මුදලකට නඩත්තු කළහැක්කේ කෙසේද? සාමාන්ය බත් පැකැට්ටුවක මිල පවා රු. 80කට වැඩිය. හැම රජයක්ම කිසිම තේරුමක් නැති සරුව පිත්තල දේවල් සඳහා රුපියල් කෝටි ගණනින් වැය කරයි. මහා මාර්ගවල සිට ග්රාමීය අතුරු මාර්ග දක්වා හදන පාරවල්වල ගෞරවය දේශපාලනඥයන්ගේ නමට ලබාගැනීම සඳහා රට පුරා ප්රදර්ශනය කරන බිල් බෝඩ් සඳහා පමණක් රුපියල් කෝටි ගණනක් වැය කර ඇතැයි කිවහැකිය. එහෙත් දෙමාපියන් නැති දරුවන් කෙරෙහි රට දක්වා තිබෙන ආකල්පයේ තරම නින්දාසහගත බව කිව යුතුය.
බරපතළ වැරදිවලට දඬුවම් පමුණුවා සිරගෙවල්වලට යවන අය නඩත්තු කිරීම සඳහා පවා ආහාර සඳහා දිනකට රුපියල් 150කට වැඩි මුදලක් වැය කරයි. එහෙත් කාත් කවුරුවත් නැති අනාථ ළමුන් සඳහා වෙන් කෙරෙන්නේ දිනකට රුපියල් 20කි. ප්රතිපත්ති සම්පාදකයන් සේ ම අනාථ ළමුන් සඳහා ප්රතිපාදන වෙන් කරන භාණ්ඩාගාර නිලධාරීන් මෙම විෂයේදී ක්රියාකර තිබෙන්නේ හිතක් පපුවක් නැති රොබෝවරුන් මෙනි. ඉන් ළමා නිවාස පාලකයන්ට දෙන දර්ශනය අපූරුය. ඉන් කියවෙන්නේ ළමා නිවාසයට ලැබෙන හිඟමන් උපරිම කොට ඔවුන් නඩත්තු කරන ලෙසය. දෙමාපියන් හෝ ඔවුන් රැක බලාගැනීමට පවුලේ වෙනත් අය නැති අනාථ ළමුන් සම්බන්ධයෙන් මෙවැනි නින්දාසහගත ප්රතිපත්තියක් පවත්වාගෙන යන රටක් ශිෂ්ටසම්පන්න රටක් ලෙස සැලකිය හැක්කේ කෙසේද? දඩාවතේ යන බල්ලන්ට දක්වන කරුණාවවත් රටක් වශයෙන් අප මෙම අසරණ දරුවන් කෙරෙහි දක්වන්නට සමත් වී නැත. මෙම දරුවන්ට නිවෙස්වල ඇති දැඩිවන දරුවන්ට ලැබෙන තරමේ හොඳ ආහාරපාන, ඇඳුම් පැළඳුම්, සෙල්ලම් බඩු හා හොඳ අධ්යාපනයක් නොලැබිය යුත්තේ ඇයි? ඒ පිරිස නඩත්තු කිරීමට බැරි තරමට ලංකාව දුප්පත් රටක් ලෙස සැලකිය හැකිද?
මගේ මතය අනුව අනාථ ළමුන්, ඔවුන්ට ලැබිය යුතු පහසුකම් හා නිසි රැකවරණයෙන් තොරව දීර්ඝකාලීන වශයෙන් ළමා නිවාසවල ගාල් කරගෙන සිටින ප්රතිපත්තියකට වඩා ඔවුන් දරුවන් ලෙස හදාගැනීමට කැමති දරුවන් නැති දේශීය හා විදේශීය පවුල්වලට ලබාදීම යහපත්ය. බටහිර රටවල විදේශිකයන්ට දරුකමට හදාගැනීමට දී තිබෙන බොහෝ දරුවන් හොඳ ජීවිත ගත කරති. ඒ රටවල තිබෙන නීති අනුව එවැනි දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් කළ නොහැකිය.
විනිසුරුවරයකු අතින් කෙළෙසුණු දැරියක්
දැන් මම එම අනාථ දරුවන්ගේ ප්රශ්නයෙන් ඉවත් වී ළමා අපයෝජන හා ඒ වැරදි සම්බන්ධයෙන් රටේ නීතිය ක්රියාත්මක වන විකාරරූපී ස්වරූපය ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙමි. ළමා අපයෝජන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කරන නිලධාරීන් අතර පවත්නා ආකල්පවලින් මා මෙම සාකච්ඡාව ආරම්භ කරමි.
මෙහි ඉදිරිපත් කරන පළමු නිදර්ශනය අලුත් නිදර්ශනයක් නොව මීට පෙර අවස්ථා ගණනාවකදීද ඉදිරිපත් කර තිබෙන නිදර්ශනයකි.
මහාධිකරණයේ විනිසුරුවරයෙකු නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාල වයස්කාරියක් ඒ නිවසින් පැන යන අවස්ථාවකදී අහම්බෙන් මෙන් අලුත්ගම පොලීසියට කොටුවිය. ඈ ගැන කරුණු සොයා බැලීමේදී ඇය මහාධිකරණ විනිසුරුවරයකුගේ නිවසේ සේවය කළ ළමා මෙහෙකාරියක් බවත් ඇය එහිදී විනිසුරුවරයා අතින් අපයෝජනයට ලක්වී ඇති බවත් සොයා ගන්නා ලදි. ඇයගෙන් ලබාගන්නා ලද කටඋත්තරයේ එන තොරතුරු අනුව සමහර රාත්රීවලදී සියලුදෙනා නින්දට ගියපසු විනිසුරුවරයා තමන් නිදන කාමරයේ ඇඳෙන් ඉවත් වී ඇය සමග ඇය නිදන බිම එලාගත් පැදුරේ නිදා ගත්තේය. වෛද්ය පර්යේෂණ අනුවද එම කුඩා දැරිය අපයෝජනයට ලක්වී ඇති බව තහවුරු විය. පරීක්ෂණය භාරව ක්රියාකළ පොලිස් නිලධාරියාට මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමට අවශ්ය වී ඒ සඳහා නීතිපතිගේ උපදෙස් ඉල්ලා සිටියේය. එවකට නීතිපති ධුරයේ සිටියේ දැන් විශ්රාම සුවයෙන් කල්ගෙවිමන් ඉඳහිට සමාජ යුක්තිය ගැනද කතා කරන අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගන්නවාට ඔහු තරයේ විරුද්ධ විය. ඒ වෙනුවට අත්අඩංගුවට නොගෙන නඩු පැවරීමට ඉඩ දෙන ලදි. ඉන්පසු අධිකරණ සේවා කොමිසම මහාධිකරණ විනිසුරුවරයාගේ වැඩ තහනම් කළේය.
මෙවැනි නඩුවක පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිනුයේ නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්ත රජයේ නීතිඥයෙකි. මහාධිකරණ විනිසුරුවරයා වෙනුවෙන් නාමධාරී නීතිඥ මඬුල්ලක් පෙනී සිටියේය. අගතියට පත් පාර්ශ්වය ලෙස සැලකිය හැකි දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ කල්යානන්ද තිරාණගම පෙනී සිටියේය.
මෙම විපතට පත් නූගත් දැරිය විනිසුරුවරයාගෙන් තමන්ට සිදුවූ ලිංගික අතවර ක්රියා උසාවියට ගැළපෙන ශිෂ්ටසම්පන්න භාෂාවෙන් විස්තර කිරීමට දැන නොසිටියේය. සිදුවූ ලිංගික අතවර විස්තර කරන්නට ඇය දැන සිටියේ සාමාන්ය උසාවියකට නොගැළපෙන ඇයටම ආවේණික ග්රාම්ය භාෂාවකිනි. මහාධිකරණ විනිසුරුවරයා ඔබව දූෂණය කළේදැ”යි විත්තියේ නීතිඥයා අසන හැමවිටකම ඇය දෙන ලද පිළිතුර වූයේ නැත. යන්නයි. අවසානයේ තාක්ෂණික හේතු මත අධිකරණය විත්තිකරු චෝදනාවලින් නිදහස් කළේය. දෙන ලද තීන්දුවට එරෙහිව අභියාචනයකට යායුතු බව නීතිඥ කල්යානන්ද තිරාණගමගේ ගේ මතය විය. විත්තිකරු මහාධිකරණ විනිසුරුවරයකු වීම නිසාදෝ නීතිපති දෙපාර්තමේන්තුව තීන්දුව අභියෝගයට ලක් කරන තැනකට නොගියේය.
මෙම තීන්දුව ප්රකාශ කරන අවස්ථාව වන විට අගවිනිසුරු පදවිය හෙබවූයේ මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගන්නවාට විරුද්ධ වූ නීතිපතිවරයාය. නඩුවෙන් මහාධිකරණ විනිසුරුවරයා නිදහස් වී තිබූ තත්ත්වය ඉදිරියේ චෝදනා එල්ල වූ මහාධිකරණ විනිසුරුවරයා නැවත අධිකරණ සේවයට ගන්නට අග්රවිනිශ්චයකාරවරයා තීන්දු කළේය. එම තීරණය සාධාරණව කල්පනා කරන සමහර මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්මයට හේතුවිය. එවකට මහාධිකරණ විනිසුරුවරුන්ගේ එකතුවේ සභාපති වශයෙන් ක්රියා කළේ ඝාතනයට ලක්වූ අඹේපිටිය විනිසුරුවරයාය. ඔහු එම එකතුවේ තවත් නියෝජිතයන් දෙදෙනකු සමග අගවිනිසුරුවරයා හමුවන්නට ගොස් නඩුවෙන් නිදහස් වී ඇතත් එවැනි චෝදනාවක් එල්ල වූ පුද්ගලයෙකු නැවත අධිකරණ සේවයට ගැනීමෙන් අධිකරණය කෙරෙහි මහජනයා අතර තිබෙන විශ්වාසය හා ගෞරවය පළුදු කිරීමට හේතුවනු ඇති බව කියා සිටියේය. අගවිනිසුරුවරයා එහිදී ඔවුන්ට දී තිබෙන පිළිතුර වී ඇත්තේ එවැනි දේවල් කොළඹ මධ්යම පන්තික නිවෙස්වල සාමාන්යයෙන් සිදුවන දෙයක් බවත් විනිසුරුවරයා චෝදනාවලින් නිදහස් වී ඇති නිසා ඔහු නැවත සේවයට ගැනීම අත්යවශ්ය බවත්ය.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා නැවත සේවයට ගත්තේය. ඔහුට පත්වීම ලබාදී තිබුණේ මොනරාගලටය. ඔහු මොනරාගල උසාවියේ වැඩ භාරගැනීමට ගිය පළමු දිනයේම වාහනයෙන් ගමන් ගනිමින් සිටියදී දරුණු රිය අනතුරකට ලක්වීම නිසා නැවත සේවය කළ නොහැකි සදාකාලික අබ්බගාතයකු බවට පත්විය.
මෙම සිද්ධියේදී නීතිය පසිඳලන ආයතන ක්රමය මෙහෙයවන්නන්ගේ කරුණාව හිමිවූයේ විපතට පත් දැරියට නොව ඇය විපතට පත් කළ මහාධිකරණ විනිසුරුවරයාටය. අඩුම වශයෙන් මහාධිකරණ විනිසුරුවරයකු ළමා මෙහෙකරුවකු නිවසේ සේවයට යොදාගන්නේ කෙසේද යන ප්රශ්නය ගැනවත් සලකා බැලුණේ නැත. එහිදී ආරක්ෂා කරගත යුතු අපේ කෙනා බවට පත්වූයේ වරද කළ මහාධිකරණ විනිසුරුවරයාය. පිටස්තරයා බවට පත්වූයේ මෙහෙකාර දැරියයි.
බේරුවල ළමා නිවාසය
මගේ දෙවැනි නිදර්ශනය බේරුවල සංචාරක හෝටල්කරුවන්ගේ සංගමයක් විසින් පවත්වාගෙන ගිය ළමා නිවාසයක සිදුවූ ළමා අපයෝජන සිද්ධි දාමයක් පිළිබඳවය. එය බෞද්ධ සම්මේලනයට අයත් ළමා නිවාසයක් වූ අතර එම ළමා නිවාසය කළමනාකරණය කරන ලද්දේ බේරුවල සංචාරක හෝටල්කරුවන්ගේ සංගමයක් මගිනි. මේ ළමා නිවාසයේ ළමුන්ට වෙනත් ළමා නිවාසවලට වෙනස්ව හොඳින් ආහාර පාන ලැබෙන තත්ත්වයක් තිබුණද මනෝ වෛද්යවරයකු විසින් එම නිවාසයේ පවත්වන ලද වැඩමුළුවකදී එහි ළමුන් අඳින ලද චිත්ර ආශ්රයෙන් ඒ ළමුන් විදේශිකයන් ඇතුළු සමහර අය අතින් අපයෝජනයට ලක්වී ඇති බව ඔහු විසින් සොයාගන්නා ලදි. එවැනි අදහසක් දෙන චිත්ර ඇඳි ළමුන් සමග ඔහු කතාබහ කොට එහි සිදුවී තිබුණු සමහර අවලස්සන දේවල් ඔහු දැනගෙන තිබුණේය. ඒ සමග ඊට අදාළව එහි කෙරෙන නොමනා කටයුතු පිළිබඳව බෞද්ධ සංගමයේ නිලධාරියකු මගින්ද මට බොහෝ තොරතුරු දැනගැනීමට ලැබුණි.
මා ඒ පිළිබඳව වාර්තාවක් ලියා මුල් පුවතක් ලෙස පුවත්පතේ පළ කළෙමි. ඒ නිසා එම ළමා නිවාසය පොලිස් සෝදිසියට ලක්වී ළමා නිවාසයේ සිටි ළමුන් වෛද්ය පරීක්ෂණයකට යොමු කරන ලදි. කුඩා ළමුන් පස්දෙනකු දූෂණයට ලක්වී තිබෙන බව ළමුන් පරීක්ෂා කළ වෛද්යවරයාගේ මතය විය. මෙම සිද්ධිය පිළිබඳව කෙරෙන පොලිස් පරීක්ෂණය ආරම්භක අවස්ථාවේදී ඉතා හොඳින් සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබුණද ඉක්මනින් එම තත්ත්වය වෙනස් වී එය නොන්ඩි ගසන තත්ත්වයකට පත්වූ බව පෙනෙන්නට තිබුණි.
ළමා නිවාසයේ කළමනාකරණය පවත්වාගෙන ගොස් තිබුණේ ප්රදේශයේ සංචාරක හෝටල්කරුවන්ගේ සංගමයක් මගිනි. එම සංගමයට ප්රදේශයේ නාමධාරී සංචාරක හෝටල් කිහිපයක නම් ද ඈඳී තිබුණි. ළමා නිවාසයේ සිදුවී තිබුණු අවලස්සන සිද්ධීන් එම හෝටල්වල කීර්තිනාමය කෙරෙහිද නරක ලෙස බලපා තිබුණි. පරීක්ෂණ කටයුතු අඩපණවීම කෙරෙහි බලපා තිබුණු හේතු පිළිබඳව පරීක්ෂණය භාර ක්රියාකරන පොලිස් නිලධාරියාගෙන් විමසූ විට තමන් උපුටා නොදක්වන ලෙස ඉල්ලා සිටිමින් ඔහු කීවේ පොලිස්පතිවරයා පරීක්ෂණය ඉදිරියට ගෙනයනවා දකින්නට කැමති නැති බවය. පරීක්ෂණය අත්හරින්නට උපදෙස් දුන් නිලධාරියෙක් ඒ බව කියා සිටි බවද ඔහු කියා සිටියේය.
ඒ නිසා මම පොලිස්පතිවරයා ගැන කරුණු සොයා බලන තැනකට ගියෙමි. ඔහු පොලිස්පති ධුරයට පත්වන්නට පෙර බේරුවල ළමා නිවාසයේ ඇතිවූ සිද්ධීන්ට නම ඈඳුණු සංචාරක හෝටල් සමාගමක ආරක්ෂක අධ්යක්ෂවරයකු වශයෙන් ක්රියාකර තිබුණි. එවැනි සම්බන්ධයක් තිබුණු පුද්ගලයකුට තමන් වැඩ කළ ආයතනයට පක්ෂපාතව ක්රියාකිරීමේ ස්වාභාවික ලැදියාවක් තිබිය හැකිය. ඒ තත්ත්වය වළකා පරීක්ෂණයට ඉදිරියට ගෙනයනවා දකින්නට තිබුණු උනන්දුව නිසා පොලිස්පතිවරයාට එය හෝටල්කරුවන් සමග තිබුණු සම්බන්ධය මතු කරමින් පොලිස්පතිවරයාගෙන් එල්ල වී තිබෙන බලපෑම් නිසා පරීක්ෂණය අඩපණ වී තිබෙන බව වාර්තා කරන්නට මට සිදුවිය.
එහෙත් ඒ ගැන පළවු වාර්තාව පොලිස්පතිවරයාගේ පමණක් නොව ජනාධිපතිනියගේද කෝපයට හේතුවිය. මට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා මට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ඇය පොලිස්පතිවරයාට උපදෙස් දුන්නාය. ඒ නිසා සාපරාධී අපහාස නඩුවකට මුහුණ දෙන්නට මට සිදුවිය. පොලිස්පතිවරයා නඩු කීවේ ආණ්ඩුවේ වියදමෙනි. මට නඩු කියන්නට සිදුවූයේ ආයතනයේ වියදමෙනි. මාගේ අභිලාෂය වූයේ කාත් කව්රුවත් නැති බලවත් අසාධාරණයකට ලක්ව සිටින නොදරුවන් කණ්ඩායමකට යුක්තිය ඉටුකරවාදීමය. එහෙත් රටේ ජනාධිපතිනියට පමණක් නොව මහජන අයිතිවාසිකම්වල භාරකාරයා ලෙස ක්රියාකරන නීතිපතිටද වැදගත් වූයේ විපතට පත් එම නොදරුවන් නොව හෝටල්කරුවන් හා පොලිස්පතිවරයාය.
මෙම නිදර්ශන දෙක වැදගත් වනුයේ ළමා අපයෝජනය පිළිබඳව ඉහළ නිලතල දරන ප්රභූන්ගේ ආකල්ප තේරුම් ගැනීමට ඒවා ප්රයෝජනවත් වන නිසාය. මෙවැනි වැරදි සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක වන සිත් පිත් නැති ස්වභාවය පෙන්නුම් කරන නිදර්ශන දෙකක් මෙසේය.
ප්රසිද්ධ විදුහලක සිදුවූ ළමා අපයෝජන ජාවාරමක්
ප්රසිද්ධ විද්යාලයකට ගිය මා හොඳින් දන්නා හඳුනන පවුලක දරුවෙක් සම වයසේ දරුවන් තවත් කිහිපදෙනකු සමග ළමා අපයෝජන අවුලක පැටලුණේය. පොලිස් පරීක්ෂණවල තොරතුරු අනුව ඒ කුඩා ළමුන් කිහිපදෙනා බිලිගත් හා බිලිදුන් ජාවාරමක අතරමැදියා ලෙස ක්රියාකර තිබුණේ එම විදුහලේ නාමධාරි ජනප්රිය ගුරුවරයෙකි. පොලීසිය විසින් එම ගුරුවරයා හා ඔහුගේ සමීප ආධාරකරුවකු අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන්ට එරෙහිව පවරන ලද නඩුවේදී ප්රධාන සාක්ෂිකරුවන් බවට පත්කර ගන්නා ලද්දේ එම සිද්ධියට සම්බන්ධ ළමා ශිෂ්යයන් කිහිපදෙනාය. ගුරුවරයාට තිබූ ජනප්රියභාවය නිසාත් පාසලේ කීර්තිනාමය ආරක්ෂා කරගැනීම සඳහාත් විද්යාලයේ ආදි ශිෂ්ය සංගම් පෙනී සිටියේ විපතට පත් ළමුන් වෙනුවෙන් නොව ගුරුවරයා වෙනුවෙනි. ජනමාධ්ය ආයතනවල වැඩ කරන එම විද්යාලයේ ආදි ශිෂ්යයන්ද ගුරුවරයාට වාසිදායක මතයක් ඇති කිරීම සඳහා ප්රවෘත්ති ආවරණයන් ලබා දුන්නේය. එහෙත් මේ සිද්ධියෙන් චූදිතයන් දෙදෙනා පමණක් නොව ඔවුන්ගේ කූට ජාවාරමේ ගොදුරු බවට පත්ව සිටි කුඩා ළමුන් කිහිපදෙනාද අවමානයට ලක්ව තිබුණි. මා දන්නා හඳුනන පවුලේ කුඩා දරුවා මෙම සිද්ධයෙන් විශාල මානසික කම්පනයකට ලක්ව සිටින බව දැනගත් විට මා මගේ බිරිඳ හා දරුවන් සමගද විපතට පත් දරුවාගේ පියා සමගද කතා කොට ටික කලක් එම දරුවා මාගේ නිවසේ තබාගැනීමට කටයුතු සම්පාදනය කළෙමි. ඒ දරුවා මුහුණ දී තිබෙන අතිවිශාල මානසික කම්පනය ඒ මගින් කිසියම් විශාල ප්රමාණයකට නැති කළ හැකිවනු ඇති බව මගේ මතය විය. ඒ සමග මාගේ නිවසේ සාමාජිකයන් (බිරිඳ හා දරුවන්) එවැනි මානුෂික ප්රශ්නයක් ඉදිරියේ කවර තරමේ ප්රමාණයකට සාධාරණව ක්රියාකරන්නේදැයි දැක බලාගැනීමේ කුහුලක්ද මට තිබුණි. එම දරුවා නිවසට ගෙන්වා ගන්නට පෙර ඒ ගැන මම මාගේ බිරිඳ හා දරු තිදෙනා සමග කතා කළෙමි. ඔවුන්ටද එම දරුවා හා එම පවුලේ අය දැන සිටි අතර දරුවාගේ වයස බොහෝ දුරට මාගේ පුතාගේ වයසට සමාන විය. මාගේ මතය වූයේ ඔහු කිසියම් කලක් අපගේ නිවසේ නවතා ගන්නේ නම් ඔහු සිටින්නේ විශේෂ වශයෙන් ආදරය ලැබිය යුතු අවස්ථාවක නිසා තමන්ගේම පවුලේ දරුවකු හා සහෝදරයකු ලෙස ඔහුට සැලකීම අත්යවශ්ය වන බවය. මාගේ කොන්දේසි මාගේ බිරිඳ දරුවන් පිළිගත්තා පමණක් නොව ඔහු නිවසේ නැවතී සිටි කාලය තුළ එම කොන්දේසි අකුරටම පිළිපැද්දේයැ”යි කිව හැකිය. ඔහුට දෙන්න වෙනම කාමරයක් තිබුණි. පවුලේ සියලුදෙනා ඔහු තෘප්තිමත් මානසික තත්ත්වයක තැබීම පිණිස ඔවුන්ට කළ හැකි හැම දෙයක්ම ඔහු වෙනුවෙන් කළහ. ඔවුහු ඔහුට දුර්වල පාඩම් කියා දුන්හ. සෙල්ලම් කරන විට සියලුදෙනා එකට එකතු වී සෙල්ලම් කළහ. හැම දෙයක්ම අපේක්ෂා කළ ආකාරයටම හොඳින් සිදුවෙමින් පවතින බව සති අන්තවල ගෙදර යන එන මට පෙනෙන්නට තිබුණි. ඔහුගේ මානසික තත්ත්වයද ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණු බවද පෙනෙන්නට තිබුණි.
නඩුවෙන් ගුරුවරයාට අවුරුදු 30ක සිරදඬුවමක් ලැබුණි. සිරදඬුවම සම්පූර්ණ කරන්නට පෙර ඔහු සිරගෙදරදී මිය ගියේය. ඔහු දක්ෂ ගුරුවරයකු බවද විවිද අයගෙන් අසන්නට ලැබුණි. වසර ගණනාවක් ගෙවී ගියේය. දැන් විපතට පත් දරුවා වැඩිහිටියෙකු බවට පත්ව සිටියේය. ගුරුවරයා දඬුවම් ලබමින් සිටියදී හිරගෙදරදී මියගොස් තිබුණද ඔහුට එරෙහිව පනවන ලද වෙනත් නඩු එකක් හෝ දෙකක් අවසන් නොවී ඉදිරියට ඇදෙමින් තිබුණේය. විපතට පත් කුඩා ළමයා තරුණයකු බවට පත්ව සිටියද ඔහු තවදුරටත් එම නඩුවල සාක්ෂි දියයුතු සාක්ෂිකරුවකු වීම නිසා ඔහු නැවත විශාල මානසික කම්පනයකට ලක්ව සිටියේය. ළමා කාලයේ සිදුවූ අවලස්සන එක සිද්ධියක් කරේ තියාගෙන සිටීමට ඔහුට සිදුවී තිබුණි. නීතිය ක්රියාත්මක කරන හා පසිඳලන ආයතනවලට වැදගත් වූයේ වැරදි කරන ලද පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදෙන ප්රතිපත්තියක් පමණය. විපතට පත් දරුවන් දිග්ගැසෙමින් ඉදිරියට යන අධිකරණ ක්රියාවලියක කොටස්කරුවන් ලෙස තබාගැනීමෙන් ඔවුන්ට සිදුවන අතිවිශාල හානිය ඔවුන්ට වැදගත් නොවීය.
එය එක නඩුවකට නොව පොදුවේ හැම නඩුවකම දක්නට ලැබෙන තත්ත්වයකි. මෙවැනි නඩු විපතට පත් ළමුන්ට විපතේදී සිදුවූ අවමන්සහගත තත්ත්වයට අතිරේකව දිගින් දිගට වඩා නරක ලෙස අවමන්සහගත තත්ත්වයකට පත්කරන හිත්පිත් නැති දුෂ්ට ක්රියාවලියක් බව පෙන්නුම් කිරීමට ඉදිරිපත් කළ හැකි තවත් නිදර්ශනයක් මෙසේය.
වැඩිහිටි කන්දේ ළමා අපයෝජනය
මෙම කතාව මා ලියන්නේ ඒ ගැන මීට පෙර ලියන ලද වාර්තා නැවත කියවීමෙන් තොරව මතකයේ තිබෙන ආකාරයටය. පියෙක් පවුල් අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවකදී තමන්ගේ පුංචි ගැහැනු දරුවන් දෙදෙනා නවතාගෙන රැක බලාගැනීමේ වගකීම ඔහු හොඳින් හඳුනන එකල කතරගම වැඩිහිටි කන්ද භාර හිමිනමට භාර දුන්නේය. මහලු පුද්ගලයකු වූ ඒ හිමිනම භික්ෂුවක් වූයේ මතුපිටින් පොරවාගෙන සිටි සිවුර නිසා පමණය. ඔහු නරක ජීවිතයක් ගත කළ පුද්ගලයෙකු වූ අතර කොඩිවින යන්ත්ර මන්ත්ර ගුරුකම්වලට විශාල ප්රසිද්ධියක් හිමි කරගෙන සිටි අයෙකු විය. ඒ අංශයෙන් සේවය ලබාගත් ප්රසිද්ධ පුද්ගලයන් අතර රාජ්ය නායකයන්ද වූහ. ඔහු විවිධ අයට ප්රකාශ කර තිබෙන ආකාරයට ප්රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වූයේ ඔහු විසින් කරන ලද කොඩිවිනයක ප්රතිඵලයක් වශයෙනි. මෙම පුද්ගලයා අතින් ඔහු භාරයේ සිටි මෙම පුංචි දැරියන් දෙදෙනාම කෙළසී තිබුණි. මෙම කතාව මට කියන ලද්දේ මෙම දරු දෙදෙනාගේ පියාය. ඒ ගැන ඔහුට හිමිනම කෙරෙහි කෝපයක් තිබුණද ඔහු කෙරෙහි වන විශාල බියක්ද ඔහු තුළ තිබුණි. පියාගෙන් ලබාගත් තොරතුරු මත සාමාන්ය කරුණු සොයා බැලීමකින් පසු ඒ ගැන ප්රවෘත්තියක් පළ කරන ලද අතර එහි ප්රතිඵලයක් වශයෙන් පොලීසිය එම ස්ථානයට කඩා වැදී ළමුන් දෙදෙනා පරිවාස භාරයට ගෙන ඔවුන් වෛද්ය පරීක්ෂණයක් සඳහා මහාචාර්ය චන්ද්රසිරි නිරිඇල්ල වෙත ඉදිරිපත් කළේය. වෛද්ය පරීක්ෂණ වාර්තාව පුවත්පතේ පළවූ වාර්තාව සනාථ කර තිබුණි.
මෙම පුවත පළවීමෙන් පසු මෙම හිමිනම ඔහු දන්නා හඳුනන රාවයේ වැඩ කරන පුද්ගලයෙකුට දුරකතනයෙන් කතා කොට මා ජීවත් වන දින ගණන දින 14ක් බව ප්රකාශ කර තිබුණි. එම අනතුරු ඇඟවීම මගේ භීතියට නොව විනෝදයට හේතුවී යැයි කිව හැකිය.
ඔහුට එරෙහිව පවරන ලද නඩුව ඔහුගේ බලපුළුවන්කාරකම නිසා ඔහු මරණයට පත්වන තෙක්ම බකල ගසමින් ඇදි ඇදීතිබුණේය. ඒ වනවිට එම පුංචි දරුවන් විවාහ විය යුතු වයසේ වැඩිහිටියන් බවට පත්ව සිටි අතර අවසානයක් නොපෙනෙන නඩු විභාගය ඔවුන්ගේ ජීවිත කාලකණ්ණි කිරීමට හේතුවී තිබුණි.
මෙම සිද්ධියේ අත්දැකීම් හා මීට පෙර ඉදිරිපත් කළ මෙවැනි වැරදිවලදී නීතිය ක්රියාත්මක වන ඒකපාක්ෂික හා සිත්පිත් නැති ආකාරය මා තුළ කම්පනයක් ඇති කිරීමට හේතුවූ අතර ළමා ආරක්ෂක අධිකාරියේ එකල ප්රධානියා ලෙස ක්රියා කළ මහාචාර්ය හරේන්ද්ර සිල්වා මහතාට දුරකතනයෙන් කතා කොට ඒ ගැන දෝෂාරෝපණයක් කරන්නටද මට සිදුවිය. ළමා අපයෝජන වැරදි කරන අයට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමේදී වගඋත්තරකරුවන්ට අතිරේකව ඔවුන්ගේ ගොදුරු බවට පත්වූ ළමුන්ගේ ජීවිතද තවදුරටත් පීඩාවට පත්කිරීමට හා කාලකණ්ණි කිරීමට හේතුවේ නම් එවැනි වැඩපිළිවෙළක් තිබෙනවා වඩා නැතිව තිබීම රටට හොඳ බව මම ඔහුට කී අතර මාගේ එම ප්රකාශය ඔහුගේ සිත් වේදනාවට හේතුවූ බවද පෙනෙන්නට තිබුණි. වැදගත්වන්නේ එවැනි අපරාධවල යෙදුණු පුද්ගලයන් කී දෙනකුට දැඩි දඬුවම් දී තිබෙනවාද යන්න පමණක් නොවේ. අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වූ පුංචි දරුවන්ට හිමිවූ ඉරණම කුමක්ද යන්නද රටට වැදගත්ය. දැන් ක්රියාත්මක වන ක්රමය තුළ වැදගත් කොට සලකන්නේ එවැනි වැරදි කළ අයට උපරිම දඬුවම් දීම ගැන පමණය. ඒ ක්රියාවලිය තුළ ඔවුන්ගේ ගොදුරු බවට පත්වන පුංචි දරුවන්ගේ ජීවිත චප්ප කොට විනාශ කර දැමීමක් ද සිදුවේ. විපතට වන එම දරුවන්ගේ ජීවිත කෙරෙහි අනුකම්පාවෙන් බලන ප්රතිපත්තියක් ඒ වැඩසටහන තුළ නැත. එහෙත් රටට අවශ්යවන්නේ එවැනි පිළිවෙතක් නොව වරද කරන පුද්ගලයන්ට දඬුවම් දෙන අතර ඔවුන්ගේ ගොදුරු බවට පත්වන දරුවන් අවමානයට ලක්වන්නට ඉඩ නොදී ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්කරන පිළිවෙතකි.