ශ්රී ලංකාවේ සමස්ත දේශපාලන ක්රමයම ශීඝ්ර ගරාවැටීමකට ලක්වෙමින් පවතී. ඊට සමාන්තරව අධිකරණයද ගරා වැටෙමින් තිබේ. අධිකරණයේ ඇතිවී තිබෙන පිරිහීම පෙන්නුම් කරන නිදර්ශන කිහිපයක් මෙසේය.
මීට සති කිහිපයකට ඉහතදි ගාල්ලේ ප්රධාන මහේස්ත්රාත්වරීය වැඩතහනමකට ලක්විය හේතුව ඇප මුදල් හා දඩ මුදල් වංචා කරන සංවිධානාත්මක වැඩපිළිවෙළක් පවත්වාගෙන යාමය.
තම නිවසේ ජීවත් වූ නූගත් බාල වයස්කාර මෙහෙකාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාව මත මහාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව පැවරුණ නඩුවක් පසුගිය වසරේදි විභාග විය
තමන් ඉදිරියේ ඇසෙන නඩු දෙකකට සම්බන්ධ ස්ත්රීන් දෙදෙනකු දූෂණය කිරිමේ සිද්ධියකට අදාළව මහේස්ත්රාත්වරයෙකුට එල්ල වූ ප්රසිද්ධ චෝදනා පරීක්ෂා කිරීමට ත්රිපුද්ගල පරික්ෂණ කමිටුවක් පත් කිරීමට අධිකරණ සේවා කොමිසමට සිදුවිය. පරීක්ෂණ කමිටුව ඉදිරියේ මහේස්ත්රාත්වරයා අතින් දූෂණයට ලක්වූ කාන්තාවන් දෙදෙනා ද සාක්ෂි දුන්හ. මහේස්ත්රාත්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා අසන හරස් ප්රශ්නවලට ද ඔවුහු මුහුණ දුන්හ. අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත පරික්ෂණ කමිටුව මහේස්ත්රාත්වරයා වැරදිකරුවකු බව නිගමනය කළේය. එම පරික්ෂණයේදි තහවුරු වූ අපූරු කරුණක් වූයේ ස්ත්රී දූෂක මහේස්ත්රාත්වරයාට අපරාධකාරී ඉතිහාසයක් ඇති බවය. එම ඉතිහාසය වසන් කොට අධිකරණ සේවයට ඇතුළුවීම පිණිස ඉදිරිපත් කර ඇති අයදුම්පතේ අයදුම්කරු පිළිබඳ විස්තර දැනගත හැකි අය ලෙස නම් කොට තිබුණේ එකල රටේ සිටි නීතිපති හා රටේ ප්රමුඛ නීතිඥ මහතෙකි. අයදුම්පතට අමුණා තිබූ චරිත සහතික ලබාදි තිබුණේ ප්රමුඛ ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකි.
තමාගේ බිරිඳ සමග අනාචාර ජීවිතයක් ගතකළ අභියාචනාධිකරණයේ ප්රධානියෙකුට එරෙහිව රසායන ඉංජිනේරුවකු විසින් පවරන ලද නඩුවක් එය විභාග කළ දිසා විනිසුරුවරයා අභියාචනාධිකරණයේ ප්රධානියාගේ බලපෑම මත නීතියට පටහැනිව හා අගතිගාමී ආකාරයෙන් එම නඩුව තින්දු කර ඇති බවට රසායන ඉංජිනේරුවා විසින් කරන ලද පැමිණල්ලක් විභාග කිරීමට අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත්කිරීමට අධිකරණ සේවා කොමිසමට සිදුවිය පරික්ෂණ කමිටුව දිසා විනිසුරුවරයා වරදකරු කළේය.
විෂමාචාර චෝදනා මත නීතිඥ නාමලේඛනයෙන් නම කපා හරින ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබියදි හා එම පෙත්සම් දෙක ශ්රේෂ්ඨාධිකරණය විමර්ශණයට ලක්කරමින් තිබියදි,ී පෙත්සම් දෙකේ වගඋත්තරකරු අග්රවිනිශ්චයකාර ධුරයට පත්කිරිමෙන් මූලික අයිතිවාසිකම් අහිමිවූ බවට අග්රවිනිශ්චයකාරවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී.
යම් රටක ඇති රාජ්යයත් යුක්තිය ඉටුකිරීම පිණිස පවත්වාගෙන යන ආයතන ක්රමයත්, ඒවා යුක්තිය ඉටු කරන ආකාරයත් ඒ රටේ ශීලාචාරකමේ තරම පෙන්නුම් කරන බව හැරල්ඩ් ලැස්කි ප්රකාශ කර තිබේ. ඉහත දක්වන ලද නිදර්ශන කිහිපයෙන් පෙන්නුම් කෙරන්නේ අපේ රටේ අධිකරණය ඇද වැටී තිබෙන පරිහානියේ ප්රමාණයයි. අපේ රටේ අධිකරණය මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටී තිබෙන්නේ ඇයි? ඒ ගැන කරුණු සොයා බලන්නෙකුට සිය සොයා බැලීම් මගින් ප්රජාතන්ත්රවාදී දේශපාලන සමාජයක අධිකරණය සතු කාර්යභාරය කුමක්ද? ඒ කාර්ය භාරය හොඳින් ඉටුකිරීමට අපේ රටේ අධිකරණය සමත් වී තිබේද? නැතිනම් ඊට හේතු මොනවාද? යන ප්රශ්නවලට පිළිතුරු සොයා ගත හැකි යැයි විශ්වාස කරමු.
අධිකරණයේ වගකීම මහජනයාට සම්බන්ධ කටයුතුවලදි යුක්තිය ඉටු කිරීම වේ යයි කියන වැරදි විශ්වාසයක් සාමාන්ය මහජනතාව අතර පමණක් නොව, අධිකරණ සෙවයේ නියුතු සමහර අය තුළ පවා පවතී. එහෙත් එය අධිකරණය වෙත පැවරෙන අතිරේක කාර්ය භාරයක් පමණි. අධිකරණයේ, විශේෂයෙන්ම ඉහළ අධිකරණයේ ප්රධාන වගකීම වනුයේ විධායකයේ අයුතු ඇගිලි ගැසීම්වලින් පුරවැසි නිදහස ආරක්ෂා කිරීමය.
දේශපාලන බලයේ තුන් ආකාරයක බෙදිමක් තිබිය යුතු බව ඇරිස්ටෝටල්ගේ කාලයේ පටන්ම පිළිගැනීමට ලක්වී තිබුණි. සමාජයට අවශ්ය පොදු ප්රතිපත්ති හා න්යාය සම්පාදනය කිරිමේ වගකීම භාරවිය යුත්තේ මහජනයා විසින් තෝරාපත් කරගන්නා ලද මහජන නියෝජිතයින්ගෙන් සමන්විත ව්යවස්ථාදායකයටය. ව්යවස්ථාදායකය සම්පාදනය කරන පොදු ප්රතිපත්ති හා න්යාය ක්රියාවට නැගිය යුත්තේ විධායකයය. විධායකය හා ව්යවස්ථාදායකය අතර ඇතිවන ආරාවුල්වලදි ද නැවත නැවත ඒ දෙක හා මහජනයා අතර ඇතිවන ආරාවුල්වලදි ද යුක්තිය ඉටුකිරිමේ වගකීම පැවරෙන්නේ අධිකරණයටය. අධිකරණය හැමවිටම දේශපාලනයෙන් පිටස්තරව ස්වාධීනව සිටිය යුතුය. විධායකය නිසි මග හැසිරවීමේ මූලික වගකීම පැවරෙන්නේ අධිකරණයටය. ඒකාධිපති නැමියාවකට ඉඩ නොතබන පරිදිත් එහි කටයුතු පුරවැසි සංහතිය කෙරෙහි පීඩාකාරි හෝ වෙනස්කම් ඇතිකිරීමට හේතු නොවන ආකාරයකට පවත්වාගෙන යාමට වගබලා ගත යුත්තේත් අධිකරණයයි. විධායකයේ හැම කාර්යයක්ම අධිකරණයේ විමසිල්ලට ලක්විය යුතුය. අධිකරණයේ පරික්ෂාවට ලක් නොවී ඉහළින් සිටීමේ බලය කිසිම විධායක ආයතනයකට නොතිබිය යුතුය. ඩයිස් දක්වා ඇති ආකාරයට රටක නීතියේ පාලනයක් ඇතිවන්නේ එවිටය.
එහෙත් තමන් කරන හැම ක්රියාවක්ම අධිකරණයේ පරීක්ෂාවට ලක්වනවා දකින්නට ඒකාධිපති පන්නයේ පාලකයන් කැමති නැත. ඔවුන් සිතන්නේ තමන් මහජන ඡන්දයෙන් තේරී පත්වූ අය බැවින් එසේ නොවන අධිකරණය තමන්ට පහළින් සිටිය යුතු බවය. තමන්ගේ ක්රියාකාරකම්වලට අධිකරණය කරදරයක් නොවිය යුතු බව එවැනි අය පුන පුනා ප්රකාශ කරති. එස්.බී දිසානායක ඇමතිවරයා පුන පුනා ප්රකාශ කර ඇත්තේ ද එයයි. ඊට සමාන අදහස් ජනාධිපතිනිය කෙරෙන් ද ඊට පෙර ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කෙරෙන් ද ප්රකාශ විය.
තමන්ගේ කටයුතු අධිකරණයේ නිරන්තර පරීක්ෂාවට ලක්වනවා දකින්නට අකමැති දේශපාලනඥයෝ තමන්ට අවනතව ක්රියාකරන අධිකරණයක් ඇති කරගැනීම පිණිස ක්රියා කරති. පාලන අභිලාෂය සාමාන්යයෙන් එසේ විය හැකි වුවත්, එවැනි ප්රයත්නයන්ට යට නොවී තමන් සතුව තිබිය යුතු ගෞරවය හා ස්වාධීනතාව රැකගැනීම අධිකරණයේ වගකීමකි. ඉහළ අධිකරණය පාලනය කළහැකි තත්ත්වයක තබාගැනීම පිණිස සිරිතක් වශයෙන් අපේ රටේ පාලකයින් පාවිච්චි කරන ලොකුම ආයුධය වනුයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් පත්කිරීමට තමන්ට ලැබී තිබෙන අභිමතය මත තමන්ට අවනත පිරිස් ඉහළ අධිකරණයට පත්කිරීමය. එහෙත් එවැනි පත්කිරීම් තිබියදිත් ගෞරවය හා ස්වාධීනත්වය සඳහා කෙරෙන අරගලවලින් ශ්රේෂ්ඨාධිකරණ ඉතිහාසය පිරි ඇත්තේය.
ජේ.ආර්.ජයවර්ධන තරම් අධිකරණය තමන්ට අවනත තැනක තබාගැනීමට උත්සාහ කළ වෙනත් පාලකයකු නැති තරම්ය. ඔහු තම ශ්රේෂ්ඨාධිකරණය ප්රතිෂ්ඨාපනය කළේ තමන් අකමැති ජේයෂ්ඨ විනිශ්චයකාරවරුන් 12 දෙනකු පිටමං කෙරෙන ආකාරයටය. වික්ටර් තෙන්නකෝන් මහතා විශ්රාම යෑමෙන් පුරප්පාඩු වන අග්රවිනිශ්චයකාර ධුරයට නෙවිල් සමරකෝන් මහතා පත් කරන ල්දදේ ද ඒ මහතා තමාට තිබූ සම්බන්ධය සලකාය. එහෙත් නෙවිල් සමරකෝන් මහතා ජේ.ආර්. ජයවර්ධන ගසන බෙර පදවලට නටන විකට නැට්ටුවකු නොවීය. ඔහු අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය වෙනුවෙන් යෝධයකු ලෙස නැගී සිටියේය. ජේයෂ්ඨ විනිශ්චයකාරවරුන් 12 දෙනකු පිටමං කෙරෙමින් නව ශ්රේෂ්ඨාධිකරණය ප්රතිෂ්ඨාපනය කළ අවස්ථාවේත්, ගෞරවනීය ආදාහනයකට ඉඩ නොතැබීම ගැන නොබියව සිය අප්රසාදය පළ කළේය. පාර්ලිමේන්තුවේ නිල කාලය දිර්ඝ කරගැනීම පිණිස ජනමතවිචාරණ කෙටුම්පතක් ඉදිරියට ගෙන ආ අවස්ථාවේදිත් එය පරාජය කිරීමට නොහැකි වුවත්, එසේ කිරීමට මුළු ශක්තිය යොදා ක්රියා කළේය. පාර්ලිමේන්තුවේ නිල කාලය දිර්ඝ කිරීමට අනුමැතිය දිම මගින් ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණය ඇති කරගත් කැලල පහසුවෙන් මැකිය නොහැකිය. එය ශ්රේෂ්ඨාධිකරණය තමන් වෙත පැවරෙන ඉතා බලවත් මූලික වගකීමක් පැහැර හරින ලද දෙවැනි අවස්ථාව විය. ව්යවස්ථාදායකයට බලයේ රැඳී සිටින කාලය දිර්ඝ කරගන්නා වැඩපිළිවෙළකට අධිකරණය අනුමැතිය නොදිය යුතුය යන්න පිළිගත් මූලධර්මයයි. පුරවැසියන් අතර අසමානතාවක් ඇති කිරීමට හේතුවන අණපනත් වලටද ඉඩ නොදිය යුතුය යන්න තවත් පිළිගත් මූලධර්මයකි. දෙවැනි මූලධර්මය පුරවැසි අණපනත් හා භාෂා අණපනත්වලට අදාළ නඩුවලදිද පළමු මූලධර්මය ජනමතවිචාරණ කෙටුම්පත ශ්රේෂ්ඨාධිකරණයට යවන ලද අවස්ථාවේදි ද උල්ලංඝණය කෙරුණේය. මේ අවස්ථා දෙකේදි ශ්රේෂ්ඨාධිකරණය ජනප්රිය මතය හෝ පාලන අවශ්යතාව නොසලකා නීතිය හා යුක්තිය මත පිහිටා ක්රියාකළේ නම්, වත්මනයේ යුද්ධයක් බවට පත්වී ඇති ජනවාර්ගික අර්බුදය මෙතරම් දුරදිග යන තත්ත්වයක් ඇති නොවන්නට ඉඩ තිබුණු අතර ජනමතවිචාරණ කෙටුම්පතට ඉඩ නොහැරියේ නම්, දේශපාලන ක්රමයේ දැන් ඇතිවී තිබෙන විකෘතිය ඇති නොවන්නට ද ඉඩ තිබුණි.
ජනමතවිචාරණ කෙටුම්පතට ශ්රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබුණත් එය ඒකමතික අනුමැතියක් නොවීය. අගවිනිසුරු නෙවිල් සමරකෝන්, රත්වත්ත හා විමලරත්න යන විනිසුරුවරුන් ඊට එරෙහි වනවිට වීරරත්න, ශර්වානන්ද වනසුන්දර, වික්ටර් පෙරේරා යන විනිසුරුවරුන් හතරදෙනා එය අනුමත කළහ. නව ශ්රේෂ්ඨාධිකරණය ප්රතිෂ්ඨාපනය කරන්නට පෙර ජේයෂ්ඨත්වය අනුව වීරරත්න විනිසුරුතුමා සිටියේ 11 වැනි ස්ථානයේය. ශර්වානන්ද විනිසුරුතුමා සිටියේ 14 වැනි ස්ථානයේය. ප්රතිසංවිධානයෙන් පසු වීරරත්න විනිසුරුවරයා 5 වැනි තැනටත්, ශර්වානන්ද විනිසුරුවරයා 6 වැනි තැනටත් පත්විය. බණ්ඩාරනායක මැතිනියගේ ප්රජා අයිතිය අහෝසි කිරිමේ අරමුණ ඇතිව ඇති කරන ලද විශේෂ ජනාධිපති කොමිසන් සභාවට පත් කළ සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකු වූයේ ද ඒ විනිසුරුවරුන් දෙදෙනාය. ජේ.ආර් ජයවර්ධන විසින් දියත් කරන ලද අධිකරණය තමන්ට අවනත තැනක් බවට පත්කර ගැනීම පිණිස වන විශාල ප්රයත්නයක් තිබියදිත් ඊට එරෙහිව අධිකරණයේ ස්වාධීනත්වය පිණිසත්, පුරවැසි නිදහස ආරක්ෂා කරදිම පිණිසත් කෙරෙන කීර්තිමත් අරගලයක්ද එදා ශ්රේෂ්ඨාධිකරණය තුළ තිබුණේය.
කලවාන ඡන්ද පෙත්සමෙන් පසු කලවාන එජාප නියෝජිතයාට අහිමි වූවද තවදුරටත් අතුරු මැතිවරණයකින් තොරව ඒ නියෝජිතයා පාර්ලිමේන්තුවේ තබාගැනීමට හැකිවන පරිදි ආණ්ඩුක්රම ව්යවස්ථාවට සංශෝධනයක් ගෙන ආ අවස්ථාවේදි ශ්රේෂ්ඨාධිකරණය එය ව්යර්ථ කළේය. ජනමතවිචාරණයේදි ඊට එරෙහිව මහජනයා අතර බෙදාහැරිමට නියමිත පත්රිකා තොගයක් පොලිස් අධිකාරීවරයෙකු විසින් අත්අඩංගුවට ගෙන ඒවා මුද්රණය කළ මුද්රණාලය සීල් තැබූ අවස්ථාවේදි ඊට එරෙහිව පැවිදි හඬේ රතනසාර හිමියන් ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට ආ අවස්ථාවේදි එය නීති විරෝධී ලෙස භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට මැදිහත්වීමක් ලෙස තීන්දු කරමින් ශ්රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රුපියල් 10,000ක වන්දියක් ද නියම කළේය. නියම කරන ලද වන්දි මුදල් හා නඩු ගාස්තු රජයේ වියදමින් ගෙවන බව රජය ප්රකාශ කිරීමෙන් නොනැවතී පොලිස් අධිකාරිවරයාට උසස්වීමක් ද ලබා දුන්නේය. ඉන්පසු නීති විරෝධී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මත විවියන් ගුණවර්ධන මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකදි ද අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව ප්රකාශ කරමින් ඇයට වන්දියක් හා නඩු ගාස්තු ද නියම කළේය. ඒ අවස්ථාවේත් ආණ්ඩුව පොලිස් නිලධාරියා වෙනුවෙන් වන්දි මුදල් හා නඩු ගාස්තු ගෙවමින් එම පොලිස් නිලධාරියාට ද උසස්වීමක් ලබාදුන්නේය. සිද්ධිය එයින් කෙළවර වූයේ නැත. ආණ්ඩුවේ මැර පිරිසක් නඩුව විභාග කළ විනිසුරුවරුන් තිදෙනාගේ නිවෙස් වටලා ඔවුන්ට තර්ජනය කළේය. ඒ ගැන ජනාධිපතිවරයා කීවේ සාමකාමී විරෝධතාවන්ට හැමවිටමත් ශ්රී ලංකාවේ ඉඩ තිබෙන බවය.
ජේ.ආර්.ජයවර්ධනගෙන් පසුව බලයට පැමිණි ප්රේමදාස මහතා දැඩි පාලකයකු වුවත්. ඔහුගේ පූර්වගාමියා මෙන් අධිකරණය සමග රණ්ඩු නොකළේය. අධිකරණය ප්රසිද්ධියේ විවේචනයට ලක් නොකළේය. ප්රේමදාස පාලන කාලය තුළත්, ප්රේමදාස ජනාධිපතිවරයාගේ සතුටට හේතුවිය නොහැකි මිනිස් නිදහස පුළුල් කිරීමට හේතුවන අද්විතීය ගණයේ නඩු තීන්දු ගණනාවක් ප්රකාශයට පත් කෙරුණු බවද අපි දන්නෙමු.
ඇමරිකා එක්සත් ජනපදයේ සමාජ ප්රතිසංස්කරණයන්ගේ ස්වාමියා ලෙස සැලකෙන්නේ ශ්රේෂ්ඨාධිකරණයයි. සමාජ ප්රතිසංස්කරණ වෙනුවෙන් ආරම්භ කරන ව්යාපාර සිය පරමාර්ථ වෙනුවෙන් ඇප කැපවෙන බවට දිවුරුම් දෙන්නේ ශ්රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලක් අභිමුවය. ඉන්දියානු පුරවැසි නිදහසේ ආරක්ෂක පවුර බවට පත්ව සිටින්නේ ද ශ්රේෂ්ඨාධිකරණයයි. ඒ රටවල ශ්රේෂ්ඨාධිකරණය කෙරෙහි මහජනයා තුළ විශ්වාසය හා ගෞරවය ඉමහත්ය. අපේ රටේ ශ්රේෂ්ඨාධිකරණය සියලු බාධක මැද මීට පෙර ගමන් ගනිමින් තිබුණේ එවැනි දිශාවකටය. එහෙත් දැන් ඒ ගමන වෙනස් මගකට හැරී ඇති බවක් පෙනී යයි.
මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මූලික මිනිස් අයිතීන් පුළුල් කෙරෙන ආකාරයට එහි දැල්වෙමින් පැවති පහන නිවීයන තත්ත්වයකට පත්ව ඇති බවක් පෙනී යන්නේය. අධිකරණයේ පරිපාලනය ද අවුල් ජාලාවක් බවට පත්ව ඇත්තේය. තවමත් අධිකරණ සේවයේ ගරු කටයුතු තත්ත්වයේ පුද්ගලයන් විශාල සංඛ්යාවක් සිටියත්, ඔවුන්ට ආඩම්බරයෙන් ජීවත්විය හැකි පරිසරයක් අධිකරණයේ තිබෙන බවක් පෙනෙන්නට නැත. අධිකරණය විධායකයෙන් බැහැරව ස්වාධීනව තිබීම නිදහස ආරක්ෂා වීමට අත්යවශ්ය කොන්දේසියක් වුවත්, විධායක බලය විසින් අධිකරණ බලය ගිලගනිමින් තිබෙන බවක් පෙනී යයි.
මේ තත්ත්වය ගැඹුරින් සලකා බලා අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය ස්ථාපිත කෙරෙන ආකාරයට අධිකරණය ඉක්මන් ප්රතිසංස්කරණයකට ලක් නොකළහොත් අධිකරණ බලය පාලනය කළහැකි තත්ත්වයක් විධායකයට ලැබී මුළු රටම ඒකාධිපති තත්ත්වයකට පත්වන දිනය බොහෝ ඈත නොවනු ඇතැයි සිතිය හැකිය.