එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹනගර සභාවේ නගරාධිපති අපේක්ෂකත්වයට තෝරාගැනීමට සිටි හොඳම අපේක්ෂකයා වූයේ සිරිසේන කුරේ මහතාය. පක්ෂයක් වශයෙන් එම පක්ෂය සුදුසු තීරණයක්වත් ගත නොහැකි ජරාජීර්ණ තත්ත්වයකට ඇද වැටී තිබෙන තරම ඉන් හොඳින් පෙන්නුම් කරයි. අවසානයේ තමන්ට ජයගත හැකි තත්ත්වයක තිබුණු එකම නගර සභාව ලෙස සැලකිය හැකි කොළඹ නගර සභාවට භාර දෙන ලද නාමයෝජනා පවා ප්‍රතික්ෂේප විය. ඊට පෙර පළාත් පාලන මැතිවරණ කල්දමා ගැනීම පිණිස ඉදිරිපත් කළ නඩුවේදි ද නඩු අයදුම්පත විධිමත් ලෙස සකස් නොකර තිබීම නිසා එය නිෂ්ප්‍රභ වූයේය. එම පක්ෂය ද රට මෙන් ම ගොඩනැගීමට බැරි, ප්‍රතිසංස්කරණය කිරීමට බැරි කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටී ඇත්තේ ය.
ඇතිවී තිබෙන මෙම ගරා හැලීම එක පක්ෂයකට හෝ ආයතනයකට ආවේණික ලක්ෂණයක් නොව, රටේ සමස්ත ආයතන ක්‍රමයටම ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එජාපය සේ ම අන් හැම පක්ෂයක්මත්, ආයතනයක්මත් ගරා හැලෙමින් පවතී.
විභාග දෙපාර්තමේන්තුව සියලු ආයතන අතරින් මහජන විශ්වාසයට හේතුවී තිබුණු එකම ආයතනය ලෙස සැලකිය හැකිය. උසස් පෙළ විභාග ප්‍රතිඵල පිළිබඳ ආරවුල නිසා දැන් එම ආයතනය කෙරෙහි පැවති මහජන විශ්වාසය ද මුළුමනින් බිඳ වැටීමට හේතුවී තිබේ. එම සිද්ධිය විභාග දෙපාර්තමේන්තුවට දැවැන්ත අපකීර්තියක් ඇති කිරීමට හේතුවී තිබියදිත්, එම ආයතන සම්ප්රදාය හොඳටම කුණුවී තිබියදිත්, විභාග කොමසාරීස්වරයා අන් සියලු නායකයන් සේ තනතුර අත් නොහැර එහි එල්ලීගෙන සිටින්නේය. ඔහුට ගෙදර යන්නැයි කියන්නට කිසිවෙක් ඉදිරිපත් වන බවක් ද පෙනෙන්නට නැත. විභාග කොමසාරිස්වරයාගේ තකතීරු ක්‍රියාකලාපය නිසා අඳුරු වූ ශිෂ්‍ය ජීවිත සංඛ්‍යාව දහස් ගණනක් විය හැකිය. ඔවුන්ට සිදුවී තිබෙන ලැජ්ජාව හා අවමානය නිවැරදි කළ හැකි ක්‍රමයක් නැත.
රටේ කටයුතු සිදුවෙමින් තිබෙන විකාරරූපී ස්වරූපය පෙන්නුම් කෙරෙන තවත් අපූරු සිද්ධියක් පසුගිය සතියේ වාර්තා වී තිබුණි. දෙකට කැඩූ වාහන ශ්‍රී ලංකාවට ගෙන්වා එකට පූට්ටු කොට විකුණන ව්‍යාපාරිකයෙක් තමන් එසේ ගෙන්වන ලද වාහන 188ක් ලියාපදිංචි කරවන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගත්තේය. මෙම ව්‍යාපාරිකයාගේ ව්‍යාපෘතිය ඊධෂ ව්‍යාපෘතියකි. ඔහු ඒ මගින් කරන්නේ දෙකට කැඩූ වාහන රටට ගෙන්වා එකට පූට්ටු කොට පිටරට යැවීම නම් ඒවා ලංකාවේ ලියාපදිංචි කරවීමට අවශ්‍ය වන්නේ නැත. ලංකාවේ ලියාපදිංචි කරවීමක් අවශ්‍ය වන්නේ ඔහුට ඒවා ලංකාවේ විකිණීමට අවශ්‍ය වී තිබෙන නිසාය.
ඔහු ගෙන්වා තිබෙන වාහනවල වර්ගය ටොයොටා වුවත්, ඔහු ඒවා ලියාපදිංචි කරන්න යන්නේ “එම්පයර්” නමිනි. ටොයොටා ලාංඡනයට උඩින් ඔහු එම්පයර් ස්ටිකරයක් අලවයි. වාහනය ටොයොටාය. එහෙත් ලියාපදිංචි කෙරෙන්නේ එම්පයර් නමිනි. ඒවා අපරාධකරුවන්ට හා මංකොල්ලකරුවන්ට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතිය හැකිය. අපරාධය සඳහා යොදා ගන්නේ එම්පයර් වාහනයකි. අපරාධයෙන් පසු එය ටොයොටා බවට පත් කළ හැකිය. නැතිනම් ටොයොටා නමින් අපරාධය කොට එම්පයර් ස්ටිකරය අලවා ගත හැකිය.
මෝටර් රථ සඳහා බලපාන සාමාන්‍ය රෙගුලාසි මෙම විශේෂ වාහනවලට බල නොපායි. අවුරුදු 3 1/2කට වැඩි පරණ මෝටර් රථ හෝ අවුරුදු 5කට වැඩියෙන් පරණ වෙළෙඳ වාහන ආනයනය තහනම් වුවත්, එම්පයර් වාහන ජාවාරමට එම තහනම් නීතිය බල නොපායි. වෙනත් වාහනවලට ගෙවිය යුතු රේගු බදු ක්‍රමය ද මෙම වාහනවලට බල නොපායි.
මේ ක්‍රමය රටට හානිදායී බව සේ ම, නීති විරෝධී බව ද මෝටර් රථ කොමසාරිස්වරයා ද පිළිගනී. එහෙත් ඔහු කියන්නේ තමන් මෙම වැඩපිළිවෙළට විරුද්ධ වුවත්, තමන්ගේ මතය නොසලකා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබෙන බැවින් හා එම තීන්දුව පිළිනොගෙන සිටියහොත්, ශ්‍රේෂ්ඨාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද අපහාසයක් ලෙස සලකා තමන්ට දඬුවම් කළ හැකි බැවින් එම වාහන ලියාපදිංචි කරනවා හැර අන් විකල්පයක් තමන්ට නැති බවය. රේගු අධ්යක්ෂවරයා කියන්නේ ද මෙම වාහන සඳහා නිෂ්පාදන බදු ගෙවා ඇත්දැයි පරික්ෂා කරන තෙක් මෙම වාහන ලියාපදිංචි කිරීමට ඉඩ නොදිය යුතු බව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලද මුත්, එය නොසලකා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව දී තිබෙන බවය.
මෝටර් රථ කොමසාරිස්වරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා තමන්ට කරන්නට දෙයක් නැති බව කියමින් තමන්ගේ ඇග බේරාගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියත්, මෙම ව්‍යාපාරිකයා දේශපාලන අනුග්‍රහය ඇතිව ක්‍රියාවට නගා තිබෙන මෙම සටකපට වැඩපිළිවෙළට මෝටර් රථ කොමසාරිස්වරයාගේ ද සම්බන්ධයක් ඇති බව පෙනෙන්නට තිබේ. මෙම ආරවුලේදි ශ්‍රේෂ්ඨාධිකරණයට හරි තීන්දුවක් ගැනීමට ඉඩ ලැබෙන පරිදි මෝටර් රථ කොමසාරිස්වරයා ශක්තිමත්ව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරන පිළිවෙතක් අනුගමනය කර ඇති බවක් පෙනෙන්නට නැත. ව්‍යාපාරිකයාගේ වාසියට හේතුවන තීන්දුවක් ලැබෙනවා දැකීම ඔහුගේ ද අභිලාෂය වී තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර, ඒ මගින් තමන්ගේ අත වරදක් නැති බව පෙනෙන ලෙස මෙම ජාවාරම්කරුවාට සිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට අනියම් ලෙස ආධාර කිරීම මෝටර් රථ කොමසාරිස්වරයාගේ අභිලාෂය වී තිබෙන බව ද පෙනෙන්නට තිබේ.
මෙම කොමසාරිස්වරයා යටතේ තිබෙන ආයතනය රටේ තිබෙන දූෂිතම ආයතනය ලෙස සැලකිය හැකිය. ඔහු මෙම තනතුරට ආවේ චන්ද්‍රිකාගේ ගම්පහ මාෆියාවේ සාමාජිකයකු වශයෙනි. ඔහු මෙම ආයතනය තුළ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයේ සිටියදි ක්‍රියාකර ඇත්තේ ද චන්ද්‍රිකා බලයේ සිටින තෙක් තමන්ට අතගැසිය හැකි කිසිම ජගතෙක් නැතැයි කියන මහන්තත්ව ආකල්පයක පිහිටාය.
බලයට පත්වන හැම ජනාධිපතිවරයෙක්ම රාජ්‍ය පාලනයේ මර්මස්ථාන ලෙස සැලකෙන තැන්වලට තමන්ගේ විශ්වාසවන්ත සගයන් පත් කරන ක්‍රමයක් රටේ ක්‍රියාත්මක වේ. චන්ද්‍රිකා පාලන කාලය තුළ එම මර්මස්ථානවල අරක් ගෙන සිටි පුද්ගලයින් වැඩි පිරිසක් ගම්පහ අය වූ අතර, මෙම විශේෂ කල්ලිය හැඳින්වූයේ ගම්පහ මාෆියාව වශයෙනි.
හැඳුනුම්පත් කොමසාරිස්, මෝටර් රථ වාහන කොමසාරිස්, මහා භාරකරු, අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්, අගවිනිසුරු යනාදි වශයෙන් චන්ද්‍රිකාගේ ගම්පහ මාෆියාව රටේ තීරණාත්මක වැදගත්කමක් ඇති හැම මර්මස්ථානයක්ම පාලනය කරන අතර, මේ පිරිස අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකාට ආධාර කරන හා එකිනෙකා ආරක්ෂා කරන පිළිවෙතක් ද අනුගමනය කළේය.
ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට ගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරික්ෂණ වලදි හැඳුනුම්පත් කොමසාරිස්වරයාගේ (හිටපු) පෞද්ගලික විමර්ශනය යටතේ තිබූ පටියෙන් එල්ටීටීඊයට ව්‍යාජ හැඳුනුම්පත් ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී ඇති බව සොයා ගැනිණි. ඉන්පසු හැඳුනුම්පත් කොමසාරිස්වරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වුවත්, අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීම වැළකීය. කර තිබුණු වරද කොතරම් විශාල වුව ද ඔහුගේ ආරක්ෂාවට තිබුණු ලොකුම බලය වූයේ ඔහු චන්ද්‍රිකාගේ ගම්පහ මාෆියාවේ සාමාජිකයකු වීමය.
හිටපු මහා භාරකාරයා ද තනතුරේ සිටියදි උපරිම ලෙස පිස්සු නැටුවේය. නියෝජ්‍ය මහා භාරකාරයාව සිටියදි ගල්කිස්ස ප්‍රදේශයේ හිමි නමක් සමග එකතු වී වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෙකුට සාංඝීක ඉඩමක් විකුණුවේය. ඒ පිළිබඳ කෙරෙන සියලූ පරික්ෂණ අත්හිටුවා ගැනීමට හිටපු මහා භාරකාර සෙනෙවිරත්න සමත්වීම නිසා එම ව්‍යාපාරිකයාට මහා භාරකරුට එරෙහිව පෞද්ගලිකව නඩු පවරන්නට සිදුවූයේය. ඔහු මහා භාරකාර දෙපාර්තමේන්තුව උලා කෑවේය. එහෙත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නුවූයේ ඔහු චන්ද්‍රිකාගේ ගම්පහ මාෆියාවේ සාමාජිකයකු වීම නිසාය.
රටේ ආයතන ක්රමයේ ඇතිවී තිබෙන ගරා හැලීම වේගවත් කිරීමට මෙම සාධක ද (රාජ්‍ය පාලකයා රාජ්‍යයේ මර්මස්ථානවලට විශ්වාසදායක දේශපාලන හිතවතුන් පත් කරන ක්‍රමය ප්‍රධාන හේතුවක් ලෙස බලපා තිබෙන අතර එම තත්ත්වය පෙරළා රාජ්‍යයේ වැදගත් මර්මස්ථාන කුණු කිරීමට ද හේතුවී තිබේ.