සුරන්ජිත් – නූතන මිස්කින්

October 29, 2026
Publication:
Ivan first came to know the lawyer Suranjith Hewamanna at a moment when he was in difficulty before the High Court. Under the criminal defamation law — and before it the parliamentary privileges law — the favourite weapon against journalists who displeased governments, the case they won together did not only make the criminal defamation law unworkable; it showed the country that where the Supreme Court will not do justice, other institutions can.

නීතිඥ සුරංජිත් හේවාමාන්න මහතා මා පළමුවෙන්ම හඳුනා ගත්තේ මහාධිකරණය ඉදිරියේ ඇසෙන නඩුවකදී මා දුෂ්කර තත්ත්වයකට පත්ව සිටි අවස්ථාවකදීය.

සාපරාධී අපහාස නීතිය ක්‍රියාත්මක වන යුගයේදී ආණ්ඩුවල සතුටට හේතු නොවන ජනමාධ්‍යවේදීන් පීඩාවට පත් කිරීම සඳහා යොදා ගැනුණු ජනප්‍රියම ආයුධය වූයේ සාපරාධී අපහාස නීතියයි. ඊට පෙර ඒ වෙනුවට ජනමාධ්‍යවේදීන්ට එරෙහිව යොදාගනිමින් තිබූ ජනප්‍රියම ආයුධය වූයේ පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියයි. සාපරාධී අපහාස නීතියට පෙර මට එරෙහිව පළමුව යොදා ගත්තේ ද පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියයි. එහිදී එම නීතියේ භාවිතයට එරෙහිව මට බලවත් ලෙස නැගී සිටීමට සිදුවිය. එහිදී මා ගත් මග අවදානම් සහගත වුවද එම අරගලයෙන් ජය ලබාගැනීමට මට හැකිවිය. පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය ඒ නිසා ජනමාධ්‍යවේදීන්ට එරෙහිව යොදා ගැනීම අත්හිටුවීමට ආණ්ඩුවට සිදුවුවත්, ඒ සමඟ ඒ වෙනුවට සාපරාධී අපහාස නීතිය මහා පරිමාණයෙන් යොදාගන්නා තත්ත්වයකට ආණ්ඩුව යොමුවිය. එම නීතියෙන් වඩාත්ම බැට කෑ පුද්ගලයා වූයේ ද මා ය.

සාපරාධී අපහාස නීතිය යටතේ මට එරෙහිව පවරන ලද දුසිමකට ආසන්න (නඩු 11 ක්) නඩු ගණන අතරින් මේ කියන නඩුව දෙවැනි නඩුව විය. පළමු නඩුව පවරන ලද්දේ හිටපු කතානායකවරයෙකු වන ඊ.එල්. සේනානායක මහතා පිළිබඳව පළ කරන ලද පුවතක් පදනම් කොටගෙනය. එම නඩුව විභාග කළේ ද දෙවැනි නඩුව විභාග කළ විනිසුරුවරිය විසින්මය. ඇය එම නඩුව දුරදිග යන්නට ඉඩ නොදී දෙදෙනාගේම ගෞරවයට හේතුවන ලෙස බේරුමක් කර දුන්නේය. එහෙත් දෙවැනි නඩුවේදී ඇගේ හැසිරීම මුළුමණින් වෙනස් ස්වරූපයක් ගත්තේය.

නඩුව පවරා තිබුණේ ආණ්ඩුවේ හිටපු දිස්ත්‍රික් ඇමතිවරයෙකු වන ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා වෙනුවෙනි. ඔහු ඉඩම් නැති මිනිසුන්ට ආණ්ඩුවෙන් කිසියම් මිලකට ඉඩම් පවරා දෙන මහා ව්‍යාපෘතියකදී ඉඩම්ලාභීන්ගෙන් සිය දේශපාලන අරමුදලක් සඳහා මුදල් ලබාගෙන තිබුණි. එම නඩුව පවරා තිබුණේ ඒ ගැන පළකොට තිබූ පුවතක් පදනම් කොටගෙනය.

එම නඩුවේදී මා වෙනුවෙන් පෙනී සිටියේ විශ්‍රාම ලැබීමෙන් පසුව නීතිඥ සේවයේ යෙදුණු හිටපු මහා ධිකරණ විනිසුරුවරයෙකි. ඇමතිවරයා සාක්ෂි දුන් පසු ඔහු බලවත් ලෙස ප්‍රශ්න කිරීමකට ලක්කිරීමට ඔහු අසමත් විය. අවශ්‍ය තරම් කරුණු තිබුණ ද ඔහු ඇමතිවරයා බලවත් ලෙස ප්‍රශ්න කිරීමකට ලක් නොකළේය. ඒ සමඟ නඩුව විභාග කළ විනිශ්චයකාරවරිය ද ඇමතිවරයා කෙරෙහි පක්ෂපාතී ආකාරයකින් ක්‍රියාකරන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

ඒ සියලු දේ සිදූවූ සවස මා මගේ නීතිඥයා හමුවන්නට ඔහුගේ නිවසට ගොස් තවදුරටත් මා වෙනුවෙන් පෙනී නොසිටින ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. මාගේ වරදකින් තොරව, නීතිඥයාගේ වරදකින් වැරදිකරුවීමේ වුවමනාවක් මට නොතිබුණි. නඩුවකට පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු ඉවත් කළ විට පහසුවෙන් ඒ වෙනුවෙන් නීතිඥයෙකු සේවයට ලබාගත නොහැකි බව ද මම දැන සිටියෙමි. නීතිඥයෙකුගේ සේවය ලබාගන්නා තෙක් මා වෙනුවෙන් මා ම පෙනී සිටීමට හිත හදාගත්තෙමි.

තවදුරටත් මේ නඩුවේදී මා වෙනුවෙන් පෙනී නොසිටින බව මාගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා අධිකරණයට සැලකළ විට මාගේ ක්‍රියාකලාපය විනිශ්චයකාරවරියගේ කෝපයට හේතුවිය. ඉන්පසු මා සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න අසන විට ද ඇය දිගින් දිගටම මට අවහිර කළාය. අවහිර කිරීම්වලින් නොනැවතී සමහර අවස්ථාවලදී ඇය මගෙන් ද ප්‍රශ්න කොට පිළිතුරු ලබාගන්නා තැනකට ද ගියාය. මා නඩුවේ විත්තිකරුවා වූ බැවින් එසේ ප්‍රශ්න කිරීම නීතියට පටහැනි විය. මා සුරන්ජිත් මගේ නීිතිඥයා බවට පත් කරගත්තේ ඉන්පසුවය. ඒ වන විට පැමිණිල්ලේ සාක්ෂි අවසන් කොට තිබුණි. සුරන්ජිත්ගේ පැමිණීම විනිසුරුවරියගේ සතුටට හේතු නොවූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කොට තිබුණේ පැමිණිල්ල දැනුම් දී තිබූ සාක්ෂි ලැයිස්තුවට ඇතුළත් එක් පුද්ගලයෙකු නොකැඳවාය. සාක්ෂියට නොකැඳවා සිටි පුද්ගලයා වූයේ ඇමතිවරයාගේ දේශපාලන අරමුදලේ බැංකු ගිණුම තිබූ බැංකුවේ කළමනාකරුය. බැංකු කළමනාකරු සාක්ෂියට නොකැඳවා සාක්ෂි අවසන් කිරීම ගැන සුරන්ජිත් සිය විරෝධය පළ කළේය. එය සුරන්ජිත් හා විනිසුරුවරිය අතර කෙරෙන විවාදයක් දක්වා දුරදිග ගියේය. කෝපයට පත්ව සිටි විනිසුරුවරිය නඩුව එක දිගට විභාග කිරීම සඳහා දින නියම කළේය. ඉන්පසු සුරන්ජිත් විරෝධතාවක් ඉදිරිපත් කළේය. විනිසුරුවරිය එදිනම එම විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් සිය තීන්දුව ප්‍රකාශ කළාය.

ඉන්පසු වෙනත් විනිසුරුවරයෙකු ඉදිරියේ නඩුව විභාගයට ගැනීමේ අවශ්‍යතාව සඳහා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිදුවිය. ඒ වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මහතාය. විනිසුරුවරිය අගතිගාමී කියන තර්කය මත අභියාචනාධිකරණය ඉදිරියට යෑමට රංජිත් අබේසූරිය මහතා කැමති නොවීය. එවැනි තර්කයක් මත විනිසුරුවරයෙක් තවත් විනිසුරුවරයෙකුට එරෙහිව තීන්දුවක් දීමට කැමති නොවනු ඇති බව ඔහුගේ මතය විය. ඒ නිසා තාක්ෂණික හේතුවක් ඉදිරියට ගැනීමට අවශ්‍ය විය. තමා වෙනුවෙන් පෙනී සිටි විත්තිකරුගෙන් ප්‍රශ්න කොට උත්තර ලබාගැනීමෙන් විනිසුරුවරිය නීතියට පටහැනිව ක්‍රියාකර ඇති නිසා ඒ කරුණ මත අභියාචනාධිකරණය ඉදිරියට යා යුතු බව සුරන්ජිත්ගේ මතය විය. එය රංජිත් අබේසූරිය මහතා ද පිළිගත්තේය. එහෙත් අභියාචනාධිකරණය අපේ ඉල්ලීම පිළිගත්තේ නැත. එම තත්ත්වය යටතේ අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන්නට අපට සිදුවිය. විත්තිකරුට එරෙහිව මහාධිකරණයේ පටිපාටිකරණය අනීතික බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ මගින් යුක්තියේ බිඳ වැටීමක් සිදුවී තිබෙන බවත්, තමන් වගකිවයුතු නැති අයුක්තියට මුහුණ දී ඇති විත්තිකරු තවදුරටත් නඩු විභාගවලට මුහුණ දෙන්නට සලස්වා පීඩාවට පත් කළ යුතු නැති බව තීන්දු කරමින් මහාධිකරණය ඉදිරියේ විභාගවෙමින් පැවති සාපරාධී අපහාස නඩුවෙන් මා නිදහස් කොට එම නඩුවට අදාළ මහාධිකරණ, අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු වෙනුවෙන් ගාස්තු ගෙවන ලෙස රජයට නියම කළේය.

ඉන්පසු ආණ්ඩු දෙකක එක්සත් ජාතික පක්ෂය හා පොදු පෙරමුණු පාලන කාලය තුළ මට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ පවරන ලද හැම නඩුවක් වෙනුවෙන් ම පෙනී සිටි නීතිඥයා වූයේ සුරන්ජිත්ය. ඒ නිසා එකිනෙකා අතර ඇතිවූ අවබෝධය අප දෙදෙනා සමීප මිතුරන් දෙදෙනෙකු බවට පත් කළේය.

සාපරාධී අපහාස නීතිය යටතේ නීතිපති ජනමාධ්‍යවේදීන්ට එරෙහිව නඩු පැවරීම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්තිය අනීතික වේය යන්න ඔහුගේ ද, මගේ ද පිළිගැනීම වී තිබුණි. ඒ නිසා මට එරෙහිව පවරන නඩු වෙනුවෙන් පෙනී සිටිනවාට අතිරේකව නඩු පවරනු ලබන ප්‍රතිපත්තිය අභියෝගයට ලක් කරන පිළිවෙළක් අනුගමනය කිරීමට ඔහුට සිදුවිය. ඔහු මට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පවරනු ලබන හැම අවස්ථාවකදීම ඊට එරෙහිව මූලික විරෝධයක් මතු කළේය. ඉන්පසු එම මූලික විරෝධය අභියාචනාධිකරණය ඉදිරියට ගෙන ගියේය. එය මහා ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කල් ලබා ගැනීම සඳහා අනුගමනය කළ උපාය මාර්ගික පිළිවෙතක් විය. සමස්ත වැඩපිළිවෙළ නෛතික අර්ථයෙන් පවත්වාගෙන ගිය ගරිල්ලා යුද්ධයකට සමාන කළ හැකිය. නීතිපතිවරයා වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරන ලද නඩුව ඒ අරගලයේ කූට ප්‍රාප්තිය වී යැයි කිව හැකිය. ඒ මගින් අපි නීතිපතිවරයාගේ නඩු පවරන ප්‍රතිපත්තිය අභියෝගයට ලක් කළෙමු. මේ නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර වුවත්, නඩුව පිටුපස සිටි මොළකාරයා වූයේ සුරන්ජිත්ය. මෙම නඩුව මගින් පහර දෙන තත්වයක සිටි නීතිපතිවරයා ආරක්ෂාව සඳහා සටන් කරන තත්ත්වයකට ගෙනාවේය. මෙම පෙත්සමට ඉඩ දුනහොත් නීතිපති විසින් කරනු ලබන නඩු පැවරීම්වලට එරෙහිව නීතිපතිට එරෙහිව නඩු පවරන තත්ත්වයක් ඇතිවී නීතිපති දෙපාර්තමේන්තුව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බවට නීතිපති වෙනුවෙන් පෙනී සිටි කමලසබේසන් මහතා තර්ක කළේය. එහෙත් සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පැවරීමේ අභිමත බලය ඇත්තේ නීතිපතිට නම් හා නීතිපති ඒ බලය අනීතික ලෙස යොදා ගන්නේ නම්, නීතිපතිට එරෙහිව නඩු පැවරීමේ බලය වගඋත්තරකරුවන්ට තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේය. එහෙත් මට එරෙහිව පවරන ලද නඩු චේතනාන්විතව මා පීඩා කිරීමේ අරමුණින් පවරන ලද නඩු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේ නැත. එතරමටම විප්ලවකාරී වීමේ හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොතිබුණි.

නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඉදිරියේ නඩු පවරන ලද්දේ ඒ අඩුව සපුරා ගැනීම සඳහාය. ඒ නඩු විභාගය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂාව සඳහා සටන් කරන තත්ත්වයකට තල්ලු කළේය. ශ්‍රී ලංකා ආණ්ඩුව තමන් අනුගමනය කළ පිළිවෙත යුක්තිසහගත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කමකට නැති තර්ක විතර්ක මානව හිමිකම් කමිටුව ප්‍රතික්ෂේප කළ විට සාපරාධි අපහාස නීතිය පවත්වාගෙන යෑමේ හැකියාවක් නැති බව තේරුම් ගනිමින් ආණ්ඩුවට එම නීතිය, නීති පොතෙන් ඉවත් කරගන්නා තැනකට යන්නට සිදුවූවා පමණක් නොව, මට එරෙහිව පවරා තිබුණු නඩු ද ඉවත් කරගැනීමට ද සිදුවිය. එම ජයග්‍රාහී නඩු විභාගය සාපරාධී අපහාස නීතිය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඇති කිරීමෙන් නොනැවතී, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු නොවන අවස්ථාවලදී යුක්තිය ඉටුකර ගැනීමට වෙනත් ආයතන ඇති බව රටට කියා දුන්නේය. එම අරගලයට ගෞරවයක් හිමි නම්, එම ගෞරවයෙන් වැඩි පංගුවක් හිමිවිය යුත්තේ සුරන්ජිත්ටය.

අගවිනිසුරු කේන්ද්‍ර කොටගෙන මතුවූ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අර්බුදය සුරන්ජිත්ගේ ජීවිතය කෙරෙහි විනාශකාරී ලෙස බලපෑවේය. සුරන්ජිත්ට අගවිනිසුරු කෙරෙහි කිසිම පෞද්ගලික විරුද්ධතාවක් නොතිබුණි. එහෙත් දේවල් සිදුවෙමින් තිබුණු ආකාරය ඔහුගේ විශ්මයට හේතුවී තිබුණි.

මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක හා දිසා විනිසුරු උපාලි අබේරත්න පිළිබඳ පරීක්ෂණවලදී ඔහු මාස ගණනක් එක දිගට පරීක්ෂණවලට සහභාගි විය. ඔහු විසින් මූලික සාක්ෂි මෙහෙයවන ලද අතර, ඔහු වගඋත්තරකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීය. එහෙත් ඒ වෙනුවෙන් කාගෙන් හෝ එකම සතයක්වත් අය කළේ නැත.

ටෝනි එම්මානුවෙල් සිරගත කිරීමේ සිද්ධිය ඔහු බලවත් ලෙස කම්පනයට පත් කිරීමට හේතුවූ බව පෙනෙන්නට තිබුණි. ටෝනිට හිරබත් කන්නට සිදුවූ නඩුවට අප කිසිවකුගේ කිසිම සම්බන්ධයක් නොතිබුණි. එය ඔහුගේ තනි තීරණයක් අනුව ගෙන තිබූ ක්‍රියාමාර්ගයක් විය.

එහෙත් ඒ ගැන සුරන්ජිත් මට චෝදනා කළේය. මා කරමින් සිටින දේවල් තවත් සමහර අය ආදර්ශයට ගෙන ඒවා ක්‍රියාවට නැගීම මගින් විනාශකාරී ප්‍රතිඵල අත්විඳිමින් සිටින බවත්, එවැනි අය ආරක්ෂා කරගැනීම සඳහා වැඩපිළිවෙළක් නැතිනම් සමාජ යුක්තිය සඳහා වුවත් සටන් කිරීමෙන් වැළකී සිටීම සුදුසු බවත් ඔහු කියා සිටියේය. මට ඔහුගේ තර්කය සමඟ මුළුමණින් එකඟවීමේ හැකියාවක් නොතිබුණ ද එම තර්කය මුළුමණින් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ද නොතිබුණි. ඇත්ත වෙනසක් ඇති කිරීමට අවශ්‍ය නම්, තනි පංගලමේ සටන් කිරීමේ සම්ප්‍රදාය අතහැර සංවිධානාත්මක සමාජ ව්‍යාපාරයක් මතු කරගැනීම සඳහා ක්‍රියාකළ යුතු බව ඔහුගේ මතය විය. කහපටි ව්‍යාපාරය තර්කානුකූල අවසානයක් කරා ගෙන නොගොස් එය තවත් පිරිසකට පාවිච්චි කිරීමට ඉඩ හැර බලා සිටීම ගැන ද ඔහු මා විවේචනයට ලක් කළේය. සුරන්ජිත් ද කහපටි ව්‍යාපාරයේ ආරම්භකයෙක් හා උද්යෝගීමත් ආධාරකරුවකු විය. පූර්ණ කැප කිරීමකින් ක්‍රියා කිරීමට හැකිවී නම්, කහපටි ව්‍යාපාරය සමාජ ව්‍යාපාරයක මූලික පදනම කරගැනීමට හැකිවන්නට ඉඩ තිබුණු බව ඔහුගේ මතය විය. අවිහිංසාවාදය පිළිබඳව මා දරන අදහස් ඔහු ප්‍රතික්ෂේප කළේ නැතත්, ඒ ගැන ඔහු තුළ සැකයක් තිබෙන බව පෙනෙන්නට තිබුණි.

සුරන්ජිත් එක විෂයයකට සීමාවූ පුද්ගලයෙකු නොවීය. ඔහුට විෂයයන් විශාල ගණනක් පිළිබඳ පැතුරුණු දැනුමක් තිබුණේය. සංගීතය, සාහිත්‍යය, ඉතිහාසය, විද්‍යාව, දර්ශනවාදය, සුප ශාස්ත්‍රය වැනි විෂයයන් රාශියක් ගැන ඔහුට ගැඹුරු දැනුමක් තිබුණේය. ඔහු සමඟ ලෙනින්, ට්‍රොස්කි, මාඕසේතුන්, මැකියවේලි තරමටම සොක්‍රටීස්, නියට්ෂේ, ක්ලියෝපැට්රා, ඩාවින්චි, ක්‍රොම්වෙල්, ජෝර්ජ්, ඕවල් වැනි අය ගැන ද කතා කළ හැකිය. ඔහු කියෙව්වේය. ලෝකයේ සිදුවන දේවල් දෙස විමසිල්ලෙන් බලා සිටියේය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විප්ලවකාරී දෘෂ්ටියකින් යුතු බුද්ධිමතෙකු විය.

මා එක්තරා දිනකදී ඔහුගෙන් නොමනා ප්‍රශ්නයක් ඇසීමි. ඔහුගෙන් ඊට ලැබුණු පිළිතුර මා විශ්මයට පත් කිරීමට හේතුවිය. ඔබේ වීරයා (ඍදකැ ඵදාැක) කව්ද යන්න මා නගන ලද ප්‍රශ්නය විය. “මිස්කින්” යන්න ඔහු ඊට දෙන ලද පිළිතුර විය. ඩොස්ටොව්ස්කිගේ ඔයැ ෂාසදඑ නමැති නවකතාවේ එන මිස්කින් කුමාරයා දැයි විමසූ විට ඔහු සන්සුන්ව ඔලුව වනමින් එය අනුමත කළේය. මේ නවකතාවේ එන මිස්කින් කුමාරයා බැලූ බැල්මට මෝඩයකු හෝ නිවටයකු ලෙස පෙනුණ ද ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරාර්ථකාමියෙකි. මුදලට ගිජු නැති අවංක හා සත්‍යවාදී පුද්ගලයෙකි. මහා කරුණාවකින් යුතු පුද්ගලයෙකි. මිස්කින් ඩොස්ටොව්ස්කිගේ ක්‍රිස්තුන් වහන්සේය. පුද්ගලයකුගේ ජීවිතය හා ඔහු අදහන වීරයා අතර ඇති ගැඹුරු සම්බන්ධය මා අවබෝධ කරගත්තේ එදාය. මා දන්නා සුරන්ජිත්ගේ චරිතය හා මිස්කින් කුමාරයාගේ චරිතය අතර මනා ගැලපීමක් තිබුණි. පුද්ගලයකුගේ ජීවිතය හා ඔහු අදහන වීරයා අතර තිබෙන සම්බන්ධය තවදුරටත් තේරුම් ගැනීම පිණිස මා අවස්ථා ගණනාවකදී තෝරාගත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ඔවුන්ගේ වීරයා කවුදැයි විමසා සිටියෙමි. පුදුමයකට මෙන් ඔවුන් කිසිවෙකුට වීරයන් නොසිටියේය. අප ජීවත් වන ශ්‍රී ලංකා සමාජයේ ඇති හිස් බව මට තේරුම් ගියේ එදාය.

සුරන්ජිත්ට සුප ශාස්ත්‍රය ගැන මනා දැනුමක් තිබුණා සේ ම, ඔහු එම විෂයය පිළිබඳව විවිධ අත්හදා බැලීම්වල ද යෙදුණේය. ඔහු මිනිසුන්ට සංග්‍රහ කරන ලද්දේ අවම මට්ටමකින් නොව, උපරිම මට්ටමකිනි. ඔහු තමන් යටතේ සිටින හැම කෙනෙකුම ආදරයෙන් රැක බලා ගත්තේය. විපතට පත්වූවන්ට උදව් උපකාර කළේය. තම නිවසේ සේවය කළ කාන්තාවක් විවාහර කර දීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය කාරණා සම්පූර්ණ කරදීමට ඔහු දක්වන ලද උනන්දුව දැකගැනීමේ හැකියාව මට ලැබුණි. ඔහු ඇයට දෙන්නට ඉඩමක් මිලදී ගන්නට සෙව්වේය. එය සාර්ථක වී ද යන්න මම නොදනිමි. එහෙත් ඇයට අවශ්‍ය සියලු ගෘහභාණ්ඩ මිලදී ගෙන ඈ අතට රුපියල් ලක්ෂ දෙකක මුදලක් දෙන ලද බව මට වෙනත් කෙනෙකුගෙන් අසන්නට ලැබුණි. ඔහුගේ රියදුරු මහතාට ද ෆිනෑන්ස් කොට වෑන් රථයක් මිලදී ගෙන දීමේ වුවමනාවක් ඔහුට තිබුණි. එය සිදුවීද නැද්ද යන්න මම නොදනිමි. ඔහු තමන්ගේ කනිෂ්ට නීතිවේදීන් ද ආදරයෙන් රැකබලා ගත්තේය. ඔහුට කිසිම මිලක් නොලැබෙන නොමිලේ පෙනී සිටින නඩුවලදී පවා ඔහු තමන් සමඟ වැඩ කරන කනිෂ්ට නීතිඥයන්ට ඔවුන්ට ලැබිය යුතු මිල සිය සාක්කුවෙන් ගෙවීය. ගාස්තු ගෙවීමේ හැකියාවක් තිබුණු අය පවා ගාස්තු ගෙවීමකින් තොරව ඔහුගෙන් වැඩ ගත්තේය. සුරන්ජිත් එවැනි නඩුවලදී තම සාක්කුවෙන් කනිෂ්ටයින්ට ගෙවන බව ඔවුන් නොදැන සිටියා විය හැකිය.

ඔහු මට පමණක් නොව, ඔහුගේ සහාය ඉල්ලා සිටි ඕනෑම ජනමාධ්‍යවේදියෙකුට තම සහාය ලබා දුන්නේය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඔහු විශේෂ උනන්දුවක් දක්වන ලද විෂයය ක්ෂේත්‍රයක් විය. යුද පුවත් පාලනය සඳහා සුදුසු ප්‍රතිපත්තියක් ඇති කරන ලෙසට ආණ්ඩුව පුවත්පත් බලධාරියාට නියම කරන ලද අවස්ථාවකදී ඊට එරෙහිව ශක්තිමත් නඩුවක් ඉදිරියට ගැනීමට ඔහු පෙරමුණ ගත්තේය. ප්‍රකාශකයන්ගේ සංගමය, කර්තෘ සංසදය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පැමිණිලිකරුවන් ලෙස පවරන ලද එම ජයග්‍රාහී නඩුව වෙනුවෙන් අධිකරණය ඉදිරියේ නාමධාර නීතිඥයින් පෙනී සිටිය ද, නඩුවේ උපාය මාර්ගික වැඩපිළිවෙළ පිටුපස සිටි ප්‍රධාන පුද්ගලයා වූයේ සුරන්ජිත්ය. ඔහු එම නඩුව පැවරීමට නියමිතව තිබුණු දිනට පෙර දින මුළු රාත්‍රී කාලයම ඒ වෙනුවෙන් ගත කළේය. පෙත්සමේ පිටපත් ඡායා පිටපත් කරවා ගැනීම අවසන් වූයේ රාත්‍රී තුනට පමණය.

මා වරක් නීතිඥ වෘත්තිය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය ගැන කතා කරමින් සිටින අවස්ථාවක මා නියෝජනය කරන ජනමාධ්‍ය ක්ෂේත්‍රය ගැන ඔහු පෙරළා මගෙන් ප්‍රශ්න කරන්නට වුයේය. ““නීතිඥයෝ ආත්මාර්ථකාමීයි. දූෂිතයි. ජනමාධ්‍යවේදීනුත් ආත්මාර්ථකාමියි. දූෂිතයි. නීතිඥයෝ කරන වැරදි බලපාන්නේ සුළු පරාසයකට විතරයි. එහෙත් ජනමාධ්‍යවේදීන් කරන වැරදි මුළු රටටම බලපානවා.”” සුරන්ජිත් එහිදී මුළුමණින් නිවැරදිය. කර්තෘ සංසදය විසින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන උළෙලකදී චෝදනා එල්ල වූ ජනමාධ්‍යවේදියෙකුට ඉහළම පෙළේ සම්මානයක් හිමිවිය. ඉන් කෝපයට පත් ඔහු සම්මාන උළෙලින් ඉවත්ව ගියා පමණක් නොව, එම වැරදි ප්‍රතිපත්තිය නිවැරදි කරන තෙක් කිසිම සම්මාන උළෙලකට සහභාගි නොවන බව ද කියා සිටියේය. ජනමාධ්‍යවේදියෙකුට සම්මාන ප්‍රදානය කිරීමේදී ඔහුගේ දක්ෂතාවට අතිරේකව පැවැත්ම ද සැලකිල්ලට ගතයුතුය යන්න ඔහුගේ මතය විය.

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ආරාවුලේදී මා සටන් කළේ පිටත සිටය. එහෙත් සුරන්ජිත් සටන් කළේ ඇතුළත සිටය. ඒ නිසා ඔහුට ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවූ වන්දිය අතිවිශාලය. ඔහුගේ ඇසුර මා කෙරෙහිත්, මාගේ ඇසුර ඔහු කෙරෙහිත් බලපෑවේය. එහෙත් ඔහු සමඟ පැවති මගේ ඇසුර ඔහු වටා ගොඩනැගී තිබුණු සම්ප්‍රදායික ලෝකය විශාල ප්‍රමාණයකට බිඳ දැමීමට හේතුවිය. මට ඔහු කොමියුනිස්ට්වාදියෙකු නොවූවත්, ඔහු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු විය. කොමියුනිස්ට් පක්ෂය පොදු පෙරමුණු ආණ්ඩුවේ කොටස්කරුවකු වී සිටින තත්ත්වයක් යටතේ ජනාධිපතිනියගේ කෝපයට හසුවී සිටි මා වැනි පුද්ගලයෙකු සමඟ සුරන්ජිත් පවත්වන සමීප ඇසුර කොමියුනිස්ට් පක්ෂයට ප්‍රශ්නයක් විය. ඒ නිසා කොමියුනිස්ට් පක්ෂයේ සමහර නාමධාරි පුද්ගලයින් ඔහුගෙන් ඈත් විය. ඔහුට පොදු පෙරමුණු ආණ්ඩුවෙන් ලැබී තිබුණු ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති තනතුර අත්හැරීම කෙරෙහි ද මගේ ඇසුර බලපෑවේය. අගවිනිසුරුවරයා සමඟ රණ්ඩු කරන මා වැනි මිනිසකුගේ සමීප ඇසුර ඔහු ඇසුරු කළ සමහර නාමධාරි නීතිඥයින්ට ප්‍රශ්නයක් වී ඔවුන් ද ඔහුගෙන් ඈත්විය. එහෙත් ඒ කිසිවක් නිසා ඔහු සසල වුයේ නැත.

සුරන්ජිත් මගේ ලෝකයේ වීරයෙකි. එහෙත් ඔහු බොහෝ දෙනෙකුට පෙනෙන්නට ඇත්තේ නෝන්ජලයෙකු හෝ මෝඩයකු ලෙසය. ඔවුන්ට ඔහු වීරයෙකු ලෙස පෙනෙනු ඇත්තේ අනාගතයේදීය.