සම්ප්රදායික වාමාංශික ව්යාපාරය පරිහානිය කරා යමින් තිබෙන්නේය යන සත්ය කිසිවෙකුටත් බොරු කළ නොහැකිය. ප්රශ්නය වී ඇත්තේ එය එසේ වී ඇත්තේ ඇයි ද යන්නයි. එක් අතකින් සම්ප්රදායික වම පරිහානිය කරා යමින් තිබියදී අනෙක් අතට ඊළඟ පරම්පරාවේ වම ලෙස සැලකිය හැකි ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට එමින් සිටී. සම්ප්රදායික වාමාංශය කෙරෙන් ගිලිහෙමින් පවතින රතු පතාකය ඔවුන්ගේ ම අකීකරු මෝඩ පුත්රයෙකු ලෙස සැලකිය හැකි ජනතා විමුක්ති පෙරමුණ අතට පත්වීම එහි තේරුම විය හැකි ද?
සම්ප්රදායික වාමාංශික ව්යාපාරයේ ඉතිහාසය එහි කීර්තියේ උස්පහත්වීම් අනුව බෙදතොත් 1935 – 1953 දක්වා වන කාල පරිච්ඡේදය ඔවුන් මේ රටේ ජනතාව අතර බැබලුන කාලය සේ සැලකිය හැකිය. එයට එක් අතකින් ඔවුන් ඉදිරියට ගෙන ගිය දර්ශනයද ඒ සඳහා ඔවුන් පෙන්නුම් කළ කැපවීම, ධෛර්යය හා නිර්භීත භාවයද අනෙක් අතට යටත් විජිත ආධිපත්යයට ගම්බද දළ ආධිපත්යයට හා නගරබද ප්රාග්ධන ආධිපත්යයට එරෙහිව ඔවුන් ගෙන ගිය කීර්තිමත් කටුක අරගලයන් ද හේතු විය. එකල ඔවුන් ව්යවස්ථාදායක සභාවට හා පාර්ලිමේන්තුවට පමණක් සීමා නොවීය. පාර්ලිමේන්තුවෙන් බැහැර ජනතා අරගලයන් සාර්ථක ලෙස මෙහෙයවීමේ හැකියාවක් ද ඒ සඳහා වන උනන්දුවක් ද ඔවුන්ට තිබුණේය.
1953 දී ඔවුන් කැඳවන ලද සාර්ථක හර්තාලය ඔවුන්ට එද ජනතාව අතර තිබූ ශක්තිය හා එවැනි අරගල මෙහෙයවීමට ඔවුන් තුළ තිබූ හැකියාව පෙන්නුම් කළ කීර්තිමත් සිද්ධිය විය.
එහෙත් මේ ආකාරයෙන් වර්ධනය වෙමින් ඉදිරියට ගිය වාමාංශික ව්යාපාරයේ වැඩිදුර වර්ධනය පිණිස අවශ්යයෙන්ම සපුරා ගත යුතු වැදගත් කොන්දේසියක් තිබුණේය. ඒ තනිකර විදේශීය අංකුරයක් ලෙස පැවති වම ව්යාපාරය එම තත්ත්වයෙන් මුදා ගැනීමේ කාර්යයයි. එහෙත් අපේ වාමාංශික ව්යාපාරයේ කීර්තිමත් නිර්මාතෘවරුන්ට එහිදී නිර්මාණාත්මක විය යුතු තරමට නිර්මාණාත්මක වීමට පුළුවන් වූයේ නැත. ඔවුන් තම සමානාත්මතාවාදී ලෝකය පිළිබඳ පණිවිඩය ඉදිරියට ගෙනයාමට සුදුසුකම් ඇතිව සිටි හොඳ ධනේශ්වර බුද්ධිමතුන් පිරිසක් වූ මුත් ඔවුන් ඉපදී හැදී වැඩී තිබුණේ ඉංග්රීසියට පමණක් සීමා වූ, ඉංග්රීසි වන සියළු දේ කෙරෙහි වහල් ආකල්පයක් ක්රියාකරන බමුණු කුලයක වීම නිසාම මාක්ස්වාදයේ දේශීය සහවාදයක් තනා ගැනීම පිළිබඳ ප්රශ්නයේදී නිර්මාණාත්මක වීමට අවශ්ය තරම් නිර්මාණාත්මක හැකියාවක් ඔවුන් සතු නොවීය. එක්තරා දුරකට ස්වභාෂාවන්ගෙන් කථා කිරීමේ හැකියාවක් තිබුණත් දේශීය සංස්කෘතිය හා සම්ප්රදාය ගැන ගැඹුරු අවබෝධයක් ඔවුන් සතු නොවීය. මේ ගැන එක්තරා ආකාරයක සහජ ඉවක් පිලිප් ගුණවර්ධනට තිබුණත් ඒ සඳහා පලදායී සේවයක් ඔහු අතින් ඉටු නොවීය.
ඔහු එම තත්ත්වයෙන් වම ගොඩගැනීමට උත්සාහ කරනවා වෙනුවට කළේ තුන්වෙනි බලවේගයක් ලෙස ඉදිරියට ආ බණ්ඩාරනායකට එකතුවීම තුළින් එම බලවේගයට ව්යාජ සමාජවාදී පැහැයක් ලබාදෙමින්, දේශීය සම්ප්රදාය ගැන නොසලකා හැරීම ගැන වාමාංශික නායකයන් සමග උරණව සිටි ස්වභාෂාප්රේමී බුද්ධිමත් වාමාංශික ව්යාපාරය කෙරෙන් ඈත් කිරීම වේගවත් කිරීමත්ය.
නිශ්චිත වශයෙන්ම වාමාංශික ව්යාපාරය මේ ප්රශ්නය සම්බන්ධයෙන් නිර්මාණාත්මක වී නම් ලංකා ඉතිහාසයේ ගමන් මග මීට වඩා වෙනස් අතකට යොමුවන්නට ඉඩ තිබුණි. එය එසේ වී නම් 1956 ජයග්රහණය බණ්ඩාරනායක ජයග්රහණයක් නොවී වාමාංශික ජයග්රහණයක් වන්නට ඉඩ තිබුණි. අනෙක් අතට එය එසේ වී නම් ගැමි ජනයා සමග කිට්ටු බැඳීමක් ඇතිකර ගැනීමට පුළුවන්කම ලැබීම තුළින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ සන්ධානය සාක්ෂාත් කර ගැනීමට පමණක් නොව දරුණු වන්දි ගෙවීමකින් තොරව සිංහල දෙමළ සමගිය තහවුරු කරගන්නට හැකිවන්නටද ඉඩ තිබුණි.
අලුත උපන් බණ්ඩාරනායක බලවේගය විසින් තමන් යටපත් කොටගෙන ඉදිරියට එන්නට වූ කල තමන් අතින් මොනයම් හෝ වරදක් සිදුවී ඇති බව සම්ප්රදායික වාමාංශික ව්යාපාරයේ නිර්මාතෘවරුන් නොපැහැදිලි ලෙස තේරුම් ගන්නත් සිදුවී ඇති වරද පිළිබඳ ගැඹුරු තක්සේරුවක් කොට එය හරියාකාරව නිවැරදි කර ගැනීමට එනම් දේශීය සම්ප්රදායේ හරය කැටි කර ගැනීමට ඔවුහු අසමත් වූහ. ඔවුහු ඒ වෙනුවට කළේ දේශීය සම්ප්රදායට ආවේණික සියලු නොවැදගත් කුණුකන්දල් එකතු කරගත් පිරිසක් බවට පත්වීමයි. එය ඔවුන්ගේ පරිහානිය වැඩි දියුණු කරන හේතුවක් වූවා මිස වර්ධනයට හේතුවක් වූයේ නැත.
මීට අමතරව ඔවුන් අතර පවතින කුලල් කාගැනීම් ඔවුන්ගේ පිරිහීම කෙරෙහි බලපා ඇති තවත් වැදගත් සාධකයකි. සම්ප්රදායික වම කෙළවරක් නැති බෙදීම් සහිත ව්යාපාරයකි. පොදු අරමුණ ජයගැනීම සඳහා එක්තරා කාලසීමාවකට හෝ තමන් අතර ඇති මතභේද අමතක කිරීමට ඔවුන් කිසිවෙක් සූදානම් නැත. මෙතෙක් ඔවුන් පාවිච්චියට ගෙන ඇති උණ්ඩ ගණන සැලකිල්ලට ගතහොත් ඉන් වැඩි හරියක් යොදා ගෙන ඇත්තේ ඔවුනොවුන්ට එරෙහිව මිස සතුරාට එරෙහිව නොවේ. ඔවුන් හැම විටම තම විරුද්ධවාදී නිකායන් සුන් කිරීම සඳහා සතුරා සමග වුවද එක් වීමට සූදානම්ය.
එහෙත් සතුරා සුන් කිරීම සඳහා ඔවුන් අතර එකඟත්වයක් ඇතිකර ගැනීමට කිසි විටෙකත් සූදානම් නැත. මේ තත්ත්වය වෙනස්වනවා නම් වෙනස් වනවා ඇත්තේ ඔවුන්ට පොදු මරණීය තර්ජනයක් සතුරා කෙරෙන් එල්ල වේ නම් පමණි. එහෙත් එහිදීත් එම තත්ත්වය පහවූ විගස නැවත සහෝදරයන් සහෝදරයන් අතර ඇනකොටා ගැනීමේ පිළිකුල් රුදුරු යුද්ධය කරලියට එනවා ඇත.
මේ කාරණා දෙකට අමතරව සම්ප්රදායික වාමාංශික ව්යාපාරයේ පරිහානිය කෙරෙහි බලපා ඇති වැදගත්ම සාධකය දර්ශනයට අදාළ ප්රශ්නයකි. මීට කලකට ඉහතදී නම් සම්ප්රදායික වම ඉදිරියට ගෙන ගිය කොමියුනිස්ට්වාදය පිළිබඳ දර්ශණය බුද්ධිමතුන්ගේ සිත් ඇද බැඳගත් දර්ශණයක් විය. ව්යාපාරයේ නිර්මාතෘවරුන් එතෙර සිට මෙරටට මාක්ස්වාදය ගෙනා විට එය පළමු කොට ග්රහණය කොට ගත්තෝත්, එම පණිවිඩය ජනතාව අතරට ගෙන යාම සඳහා කැපවීමකින් යුතුව ක්රියාකළ අයත් බුද්ධිමතුන් වූහ. එකල මාක්ස්වාදීන් නොවන බුද්ධිමතුන් සොයාගත නොහැකි වන තරමට මාක්ස්වාදය බුද්ධිමතුන් අතර ජනප්රිය දර්ශණ විශේෂයක් විය. මාක්ස්වාදය පිළිබඳව බුද්ධිමතුන් අතර පැවති මේ පිළිගැනීම පොදු ජනයා කෙරෙහි ද බලපෑවේය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් අද තත්ත්වය කෙතරම් වෙනස් අතකට හැරී ඇද්ද? අද කිසි සේත්ම මාක්ස්වාදය බුද්ධිමතුන් අතර ජනප්රිය දර්ශණ විශේෂයක් නොවේ. බුද්ධිමතුන් අතර මාක්ස්වාදී ව්යාපාරයට ඇති අනුකූලත්වය විශාල වශයෙන් අඩුවෙමින් පවතී. බුද්ධිමතුන් වඩවඩාත් මාක්ස්වාදී දර්ශණය කෙරෙන් ඈත් වෙමින් සිටී. ඇයි?
මීට දශක කිහිපයකට ඉහතදී නම් ධනවාදී ලෝකයකට ආවේණික විෂමතාවයන්ගෙන් අත්මිදීමට තිබෙන හොඳම මග මාක්ස්වාදී දර්ශණයට අනුකූලව කොමියුනිස්ට්වාදී ලෝකයක් ගොඩ නැගීමය යන දැවැන්ත විශ්වාසයක් බුද්ධිමතුන් අතර රජ කළේය. එහෙත් එය ඊට තිබෙන ඇත්ත විසඳුමක් නොවන බව කාලයාගේ ඇවෑමෙන් ලැබූ ප්රායෝගික අත්දැකීම් තුළින් බුද්ධිමතුන් අද තේරුම් ගනිමින් සිටී.
පැරණි ලෝකය වෙනුවට නව ලෝකයක් බිහිවෙමින් පවතී. එහෙත් එම නව ලොව පැරණි ලොවට ආවේණික සියලු විශ්ව ලක්ෂණ එනම් පංති අසමානතාවය, ජාතික පීඩනය, යටත්විජිත වාදය, ආධිපත්යවාදය සඳහා තරඟ හා යුද්ධ යනාදී ලක්ෂණ අඩංගු කොටගත් නව ලෝකයකි. එනම් එය පැරණි ලෝකයේම නව ප්රතිබිම්බයක් පමණි.
එය ඈතින් තිබූ පමණට බුද්ධිමතුන්ගේ අනුකූලතාවය එයට හිමි විය. එහෙත් දැන් එය ළං වී තිබේ. වඩ වඩාත් ළං වෙමින් තිබේ. ඒ නිසාම එයට අඩංගු ගැඹුරු පරස්පරයන් දැක ගැනීමේ අවස්ථාව බුද්ධිමතුන්ට ලැබී තිබේ. ඒ නිසාම වඩ වඩාත් ඔවුන් එයින් ඈත් වෙමින් සිටී.
අපෝහ වාදයට අනුව කාලයාගේ ඇවෑමෙන් ජරා ජීර්ණ නොවන දෙයක් නැත්තේය. ඊට අනුකූලව අද මාක්ස්වාදය ද ජරාජීර්ණ වී යන දර්ශණයක් බවට පත් වෙමින් තිබේ. ජරාජීර්ණ වී යන දර්ශණයක් කරපින්නාගත් ව්යාපාරයක් ජරාජීර්ණ වී යාම ගැන පුදුම විය හැක්කේ කෙසේද?
Editor’s Note: Published in Divaina on 4 May 1982 under the byline “Victor Ivan (Podi Athula)”, the alias under which the state had charged him in the 1971 insurrection case. It is one of the earliest pieces in the archive and predates Ravaya. The “traditional left” means chiefly the Lanka Sama Samaja Party, founded in December 1935 (hence Ivan’s starting date), and the Communist Party. The 1953 hartal was the general strike of 12 August 1953 against the rise in the price of rice. Philip Gunawardena, often called the father of Sri Lankan Marxism, joined S.W.R.D. Bandaranaike’s Mahajana Eksath Peramuna, which won the 1956 election. Ivan is writing about the JVP as its former leader, and the image of the JVP as the traditional left’s “disobedient, foolish son” is his own. The argument concludes in part 2, published the next day.