දැන් අප සිටින්නේ එක් අශීලාචාර යුගයක් අවසන් කොට වඩා ශීලාචාර තත්ත්වයකට පරිවර්තනය වෙමින් තිබෙන ඓතිහාසික ක්රියාදාමයක මුවවිටය. එය දැන් තිබෙන්නේ කවර මට්ටමකින්වත් ආපසු හැරවිය නොහැකි ජයග්රාහී තත්ත්වයකය.
ශ්රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා එහි ජයගැනීම වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්යාපාරවල දර්ශනය අතර මහා පරතරයක් තිබෙන්නේයැ”යි කිව හැකිය. රට මුහුණ දී තිබෙන අර්බුදයේ ප්රමාණය අතිවිශාල වන අතර ඒ කෙරෙහි බලපා තිබෙන හේතූන්ද ඉතාමත් සංකීර්ණය. එහෙත් අර්බුදය ජයගැනීම වෙනුවෙන් පෙනී සීටින ව්යාපාරවල දර්ශනය ඉතා සීමත වනවා සේ ම අතිසරලවේයැ”යි ද කිව හැකිය. අර්බුදය ජයගැනීමේ ක්රියාදාමය ප්රධාන අධියර දෙකක් ඔස්සේ සිදුකළ යුතු දෙයක් බවට පත්වී තිබේ. පළමු අදියරයේදී සිදුවන්නේ රටේ ප්රගතියට සම්බාධකයක් බවට පත්ව තිබෙන මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමය. ශීලාචාර පාලනයක් සඳහා වන ප්රතිසංස්කරණවලට යායුතුව තිබෙන්නේ ඊළඟ අදියරයේදීය. පළමු අරමුණ ජයගැනීම සඳහා අවශ්ය ශක්තිමත් වටාපිටාවක් දැනටමත් ගොඩනැගී ඇතත් දෙවැනි අදියරය සඳහා අවශ්ය ප්රමාණවත් තරමේ දියුණු බුද්ධිමය වටාපිටාවක් ගොඩනැගී නැතැ”යි කිව හැකිය. එහෙත් ඇතිවන්නට නියමිත මුල් පරිවර්තනය තුළ දෙවැනි අදියරය සම්පූර්ණ කරගැනීමට අවශ්ය කරන බුද්ධිමය දැනුමේ වර්ධනයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇතැ”යි අපේක්ෂා කළ හැකිය. සාමාන්යයෙන් අර්බුදයන්ගෙන් තොර කාලවලදී ඉගෙන ගන්නා ප්රමාණයට වැඩි ප්රමාණයකින් අර්බුද කාලවලදී මිනිසුන් ඉගෙන ගනී. ඒ නිසා පළමු අදියරය සම්පූර්ණ කෙරෙන අවස්ථාව වනවිට දැන් පවත්නා තත්ත්වයට වඩා සම්බුද්ධිකතාවකින් යුතු දියුණු සමාජයක් ගොඩනැගෙනු ඇතැ”යි සිතිය හැකිය.
ඊශ්රායලය හා ඉන්දියාව
තවමත් සමාජයේ සමහර අය තුළ නොපැහැදිලි ව්යාකූලතාවක් පවත්නා ප්රශ්න තිබෙන්නේය. ජනාධිපති ආණ්ඩුක්රමයෙන් ඉවත්වී පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකට මාරුවීම රට අස්ථාවර කිරීමට හේතුවේද යන්න ඉන් එක් ප්රශ්නයකි.
පලස්තීන භූමිය මත බලහත්කාරයෙන් ඉදි කරනු ලැබූ ඊශ්රායෙල් රාජ්යය ලෝකයේ රාජ්යයන් අතර තිබෙන වැඩියෙන් බාහිර තර්ජනයන්ට ලක්වූ රාජ්ය ලෙස සැලකිය හැකිය. එහෙත් ඒ රටේ තිබෙන්නේද ජනාධිපති ආණ්ඩුක්රමයක් නොව පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකි. පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයක ඉඳිමින් තමන්ට එරෙහිව මෙතෙක් බාහිර වශයෙන් එල්ල වී තිබෙන තර්ජන ගර්ජනවලට මුහුණදෙමින් සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමට එම රට සමත්වීමෙන්ම පෙනීයන්නේ ජනාධිපති ක්රමයක් නැතුවත් පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයටද බාහිර වශයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණදීමේ හැකියාව තිබෙන බවය.
ඒ සඳහා දැක්විය හැකි ඊළඟ නිදර්ශනය වනුයේ ඉන්දියාවය. භූමියේ විශාලත්වය අනුව ගත් කල ලෝකයේ හත්වැනි විශාල රටද ජනගහනය අනුව ගත් කල ලෝකයේ විශාලත්වයෙන් දෙවැනි රටද වන්නේ ඉන්දියාවය. ඉන්දියාව කලාපීය බලවතා වනවා සේ ම වර්තමානයේ ලෝක බලවතකුගේ තත්ත්වය සඳහා තරග කරන රටක් ලෙසද සැලකිය හැකිය. ඉන්දියාවට චීනය හා පාකිස්තානය සමග දේශ සීමා ගැටුම් තිබෙන අතර රටේ ජනගහනයේ සැකැස්මද ඉතාමත්ම සංකීර්ණය. පිළිගත් රාජ්ය භාෂා පමණක් 18ක් තිබෙන අතර තිබෙන ව්යවහාර භාෂා සංඛ්යාව 1652කි. රටේ ප්රාන්ත රාජ්ය 26ක් තිබෙන විට බෙදුම්වාදී ව්යාපාර ගණනාවක් ක්රියාත්මක වන රාජ්යයකි. මෙවැනි සංකීර්ණ තත්ත්වයක් තුළ පවා ඉන්දියාවේ පවතින්නේ ජනාධිපති ආණ්ඩුක්රමයක් නොව, පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකි. බාහිරින් එල්ල වන ආක්රමණික තරජන හා අභ්යන්තරයෙන් එල්ල වන බෙදුම්වාදී තර්ජන තිබියදී හා ප්රාන්ත රාජ්ය ක්රමයක් තිබියදීත් දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් එල්ල වන සියලු අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදෙමින් ඉදිරියට යාමට ඉන්දියාවේ පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය සමත් වී තිබේ.
ශ්රී ලංකාවද ජනාධිපති ආණ්ඩුක්රමයකට මාරුවීමට පෙර පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයක් තිබුණු කාලයේදී 1962 හමුදා කුමන්ත්රණයකටද 1971දී ප්රචණ්ඩ තරුණ කැරැල්ලකටද මුහුණදී ඒ අභියෝග දෙකම සාර්ථක ලෙස ජයගැනීමට හැකිවිය. ඉන් පෙනෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයක් රට අස්ථාවර කිරීමට හේතු නොවන බවය. ජනාධිපති ආණ්ඩුක්රමයක් යටතේ පමණක් නොව, පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයක් යටතේද බාහිර වශයෙන් හෝ අභ්යන්තර වශයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණදීමේ හැකියාව පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකටද තිබෙන බවය.
පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයක් යටතේද පළාත් සභා ආණ්ඩුක්රමයක්ද පවත්වාගෙන යා හැකිය. ඉන්දියාවේ පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය තුළ ක්රියාත්මක වන ප්රාන්ත රාජ්ය ක්රමය ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.
නාමික ජනාධිපති
ඉන්දියානු ආණ්ඩුක්රමයේ වැඩිම බලතල ඇති සමස්ත ඉන්දියාවේම නායකයා ලෙස සැලකෙන්නේ ලොක් සභාව විසින් තෝරාපත් කරගන්නා අගමැතිය. ඉන්දියාවේ අගමැති එංගලන්තයේ අගමැතිට සමානය. රාජ්යයේ සියලු විධායක බලය ඇත්තේ අගමැති ප්රධාන කැබිනට් මණ්ඩලයටය. ඉන්දියාවේ නාමික විධායකයා ජනාධිපතිය. ජනාධිපතිගේ තත්ත්වය ලංකාවේ පාර්ලිමේන්තු ආණ්ඩුකමයක් තිබූ කාලයේදී සිටි ආණ්ඩුකාරයාගේ තත්ත්වයට හෝ පසුව ඇති කළ අග්රාණ්ඩුකාරයාගේ තත්ත්වයට සමානය. එහෙත් ලංකාවේ ක්රියාත්මක වූ ක්රමය අනුව අග්රාණ්ඩුකාර ධුරයට සුදුසු පුද්ගලයකු තෝරාගැනීමේ බලය තිබුණේ අගමැතිටය. එහෙත් ඉන්දියාවේ ජනාධිපති පදවිය සඳහා සුදුසු පුද්ගලයකු තෝරාගනු ලබන්නේ ඡන්ද මණ්ඩලයක් මගිනි. එම ඡන්ද මණ්ඩලය සමන්විතවන්නේ ලොක් සභාවේ මන්ත්රීවරුන්, ප්රාන්ත රාජ්ය සභාවල මන්ත්රීවරුන් හා ප්රාන්ත ව්යවස්ථා සභාවලට මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්රීවරුන්ගෙනි. ලොක් සභාවේ මන්ත්රීවරයකුගේ ඡන්දයක වටිනාකම ප්රාන්ත ව්යවස්ථාදායක මන්ත්රීවරයකුගේ ඡන්දයක වටිනාකමට වඩා වැඩිය. අනුපාතිකය 7:10කි. ඡන්ද විමසීම කරනුයේ සමානුපාතික ක්රමයකටය.
රාජ්යයේ නායකයා ලෙස සැලකෙන්නේ ජනාධිපතිය. එහෙත් ඔහුගේ සියලු බලතල හා කාර්යයන් සිදුවන්නේ අගමැතිගේ උපදෙස් මතය. සියලුම විධායක කටයුතු ක්රියාත්මකවන්නේ ඔහුගේ නාමයෙනි. හරියටම ඔහු එංගලන්තයේ රජුගේ තත්ත්වයට සමානය. ලෝක සභාවේ වැඩිම බලයක් තබෙන නායකයා අගමැති වශයෙන් තෝරාපත් කරන්නේද අගමැතිගේ උපදෙස් මත ඇමතිවරු පත්කරන්නේද ජනාධිපතිය. ප්රාන්ත ආණ්ඩුකාරවරුන් පත් කරන්නේද ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා වෙනත් විනිසුරුවරුන් පත්කරන්නේද, නීතිපති කොමිෂන් සභා සභාපතිවරුන් පත් කරන්නේද යුද්ධ ප්රකාශ කිරීම, සාමය ප්රකාශයට පත්කිරීම සහ හමුදා ප්රධානීන් පත්කිරීමද ජනාධිපතිගේ කාර්යයන්ය. ඒ සියලු දේ සිදුකළ යුත්තේ අගමැතිගේ උපදෙස් අනුවය. මීට අතිරේකව ලොක් සභාව හා රාජ්ය සභාව කැඳවීම, ඒවා කල් දැමීම. වාර අවසන් කිරීම හා විසුරුවා හැරීම කරනු ලබනනේද ජනාධිපති විසිනි. එම මණ්ඩල දෙකේ ඒකාබද්ධ රැස්වීමක් කැඳවීමට එවැනි රැස්වීමක් ඇමතීමටත් ඔහුට හැකිය. රාජ්ය සභාවට නම් කළ මන්ත්රීන් පත්කරන්නේද ජනාධිපතිය.
පාර්ලිමේන්තු සම්මත කරන පනතක් නීතිගතවන්නේ ජනාධිපතිගේ අත්සන යෙදීමෙන් පසුවය. මුදල් පනතක් හැර වෙනත් පනතක් සංශෝධන ඇතිව හෝ නැතිව යළි සලකා බලන ලෙස ඉල්ලා සිටීමේ බලයද ඔහු සතුය. පාර්ලිමේන්තුවේ සැසි වැර නොපැවැත්වෙන විට තාවකාලික නීති පැනවීමේ බලයද ඔහු සතුය. මුදල් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක්කේද ඔහුගේ අනුමැතිය ඇතිව පමණය. ඔහු ඒකාබද්ධ අරමුදල පාලනය කරන අතර ආදායම් බදුවලින් ලැබෙන අරමුදල් මධ්යම රජය හා ප්රාන්ත අතර බෙදාහරින්නේද ඔහුය.
ප්රාන්ත රාජ්යයක කටයුතු නිසි පරිදි ඉටු නොවන අවස්ථාවකදී හෝ මධ්යම රජයේ උපදෙස් හෝ නියෝග පිළිනොපදින අවස්ථාවකදී හෝ වෙනත් හදිසි තත්ත්වයක් ඇති අවස්ථාවකදී ඒ ඕනෑම ප්රාන්තයක් විසුරුවා හැර ඒ ප්රාන්තයේ පාලනය තමන් යටතට ගැනීමේ බලය ජනාධිපති සතුය. එහෙත් එවැනි අවස්ථාවකදී මාස දෙකක කාලයක් තුළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර තවදුරටත් එවැනි ප්රාන්තයක් ජනාධිපති පාලනයක් තිබෙන්නේ නම් මාස හයකට වරක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය. එහෙත් එවැනි ප්රාන්තයක ජනාධිපති පාලනයක් පවත්වාගෙන යාහැක්කේ උපරිම වශයෙන් එක් වසරක කාලයක් පමණය. ඊට වැඩි කාලයක් සඳහා වන ජනාධිපති පාලනයක් සඳහා ව්යවස්ථා සංශෝධනයක් මගින් අනුමැතිය ලබාගත යුතුය.
අපටද පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයක් තුළ ඉන්දියාවේ ක්රියාත්මක වන ආකාරයේ නාමික ජනාධිපති ධුරයක් ඇති කරගත හැකිය. එම ජනාධිපති ඡන්ද මණ්ඩලයක් මගින් තෝරාපත් කරගන්නා ක්රමයක්ද ඇති කරගත හැකිය.
එවැනි ක්රමයක් යටතේ ඉන්දියාවේ මධ්යම ආණ්ඩුව ප්රාන්ත ආණ්ඩු පාලනය කරන ආකාරයට සමාන ආකාරයට ලංකාවේ මධ්යම ආණ්ඩුවටද ජනාධිපතිවරයා මගින් පළාත් සභා පාලනය කළ හැකිය. ඒ ක්රමය තුළ කිසිම පළාත් සභාවකට හිතුවක්කාරී ලෙස ක්රියාකිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත.
පැරණි පාර්ලිමේන්තු ක්රමය
1997ට පෙර පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයක් පැවති කාලයේ අධිකරණයකට කෙරෙන ඇඟිලි ගැසීම් තිබුණද පිළිගත හැකි තරම් තත්ත්වයක රටේ නීතියේ පාලනයක් තිබුණි. අගමැති ඇතුළු ඔහු යටතේ සිටින සියලු ඇමතිවරුන් සිටින්නේ නීතියට ඉහළින් නොව නීතියට යටත් තත්ත්වයකය. එකල පාර්ලිමේන්තුව සැලකුණේ ජනතාවගේ පරමාධිපත්යය බලය නියෝජනය කරන උත්තරීතරම ආයතනය ලෙසය. පාර්ලිමේන්තුවට තේරී පත්වන නියෝජනයන් අතුරින් තෝරාගන්නා අගමැති ප්රමුඛ ඇමති මණ්ඩලය රාජ්ය බලයේ කේන්ද්රස්ථානය ලෙස ක්රියා කළේය.
එකල පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තමන් කුමන පක්ෂයකට අයත් වුවද ජාතික වැදගත්කමක් ඇති ප්රශ්නවලදී තමන්ගේ හෘදය සාක්ෂියට අනුව ක්රියාකිරීමේ අයිතිය තිබුණි. පාර්ලිමේන්තු මන්ත්රීකම අහිමි කරගැනීමෙන් තොරව ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරයකුට විරුද්ධ පක්ෂයට එකතුවීමේ හැකියාව සේ ම විරුද්ධ පක්ෂයේ මන්ත්රීවරයකුට ආණ්ඩු පක්ෂයටත් එකතුවීමේ හැකියාව තිබුණි. විටින් විට පැවැත්වෙන අතුරු මැතිවරණ ආණ්ඩුවට තිබෙන පිළිගැනීම උරගා බැලෙන වැදගත් මාපකයක් ලෙස ක්රියා කළේය. මන්ත්රීවරුන් තෝරාපත් කරගත්තේද කේවළ ඡන්ද කොට්ඨාස ක්රමයකටය. මැතිවරණයක් සඳහා යන වියදම සාමාන්ය පුද්ගලයකුට පවා දැරිය හැකි තත්ත්වයක තිබුණි. මැතිවරණ වියදම් සඳහා සීමා නීති තිබුණු අතර මැතිවරණවලට තරග කරන සියලු අපේක්ෂකයන් සිය වියදම් වාර්තා මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීමට නීතියෙන් බැඳී සිටියේය. මන්ත්රීවරුන්ට රජය හෝ රජයේ ආයතන සමග ව්යාපාර කිරීම තහනම් කර තිබුණි. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් තේරීපත්වන්නන්ට එරෙහිව සාර්ථක ලෙස ක්රියාත්මක වන ඡන්ද පෙත්සම් ක්රමයක් තිබුණි.
පාර්ලිමේන්තුව විසින් තෝරා ගන්නා විධායකය රට පාලනය කරන විට පාර්ලිමේන්තුව විධායකය පාලනය කළේය. පාර්ලිමේන්තුවට උත්තරදීමට හා වගකීමට විධායකය බැඳී සිටියේය. විධායකයට බලයේ සිටිය හැකිවූයේ පාර්ලිමේන්තුව කැමති තාක් පමණය. ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශනයක් පරාජය වන අවස්ථාවකදී, විසර්ජන පනතකදී හෝ විශ්වාසභංග යෝජනාවක් පරාජය වන අවස්ථාවකදී ආණ්ඩුව විසුරුවා හැර මැතිවරණයකට යායුතු විය.
සාමාන්යයෙන් හැම වසරකට පහකට වරක් බලයේ සිටින ආණ්ඩු පරාජය වීම නිසා උසස් රාජ්ය නිලධාරීන් බලයට පත්වන ආණ්ඩු සමග කල්ලි ගැසී ක්රියාකිරීමට බිය විය. ඒ නිසා නීතියට පටහැනිව ක්රියාකිරීමටද රාජ්ය නිලධාරීන් බියවූහ. දේශපාලනය ධනය උපයාගත හැකි මාර්ගයක් නොවීම නිසා පුද්ගලයන් දේශපාලනය තෝරාගත්තේද පරමාදර්ශී අරමුණ වෙනුවෙන් හෝ ගෞරවය සඳහාය. දේශපාලනයට අවතීර්ණ වන අයගෙන් වැඩි පිරිසක් උගත් අයවීම හේතු කොටගෙන පාර්ලිමේන්තු වාද විවාද සේ ම පාර්ලිමේන්තු ක්රියාකාරීත්වයද උසස් තත්ත්වයක තිබුණි.
ලංකාවේ ජනාධිපතික්රමය
ජනාධිපති ආණ්ඩුක්රමයකට මාරුවීමේදී අප තෝරාගත්තේද ඒ සඳහා තිබෙන ආණ්ඩුක්රම ආකෘති අතුරින් ශීලාචාර ආකෘතියක් නොව ඉතාමත් අශීලාචාර ආකෘතියකි. ශීලාචාර ජනාධිපති ආණ්ඩු ක්රමවක දක්නට ලැබෙන සංවරණ හා තුලන ක්රම මෙම ක්රමයට ඇතුළත් නැත. මේ ක්රමය තුළ රාජ්යයේ සකලවිධ බලය උසුලන්නේ ජනාධිපතිවරයාය. ඔහු පාර්ලිමේන්තුවට වග නොකියයි. නීතියටද යටත් නැත. මේ ආණ්ඩුක්රමය සකස් කර තිබෙන්නේම රට පාලනය කරනවාට අතිරේකව ජනාධිපතිවරයාට ඔහුගේ සහචරයන්ට රටේ පොදු වස්තුව කොල්ලකෑමටද ඉඩ ලැබෙන ආකාරයටය. ඒ මගින් ජනාධිපතිවරයා රටේ රාජ්ය නායකයා වනවාට අතිරේකව පොදු වස්තුව කොලල්කන කොල්ල කල්ලියක නායකයකුගේ තත්ත්වයට පත්කිරීමට හේතුවී තිබෙන්නේයැ”යි කිව හැකිය. ජනාධිපතිට ලබාදී තිබෙන මුක්තිය ජනාධිපති කෙරෙහි පමණක් නොව ඔහු කැමති ඔහුගේ සහචරයන් කෙරෙහිද බලපායි. කොතරම් බරපතළ වරදක් කළද ජනාධිපති කෙරෙහි නීතිය ක්රියාත්මක කළ නොහැකි ආකාරයට ඔවුන්ගේ සහචරයන් කෙරෙහිද නීතිය ක්රියාත්මකවන්නේ නැත. මේ තත්ත්වය සංවරණය හා තුළනය සඳහා තිබුණු සියලු ආයතනක්රම බෙලහීන හා දූෂිත කොට රටේ නීතියේ පාලනයද ඔළුවෙන් සිටවූ දෙයක් බවට පත් කළේය. පාර්ලිමේන්තුවද ඒ තත්ත්වයට ගැළපෙන ලෙස වෙනස්වෙමින් ජනාධිපතිවරයා කරන හොඳ නරක හැම දේකටම අනුමැතිය ලබාදෙන රබර් මුද්රාවක තත්ත්වයට පත්විය.
ඇති කරන ලද නව ක්රමය තුළ පාර්ලිමේන්තුව මන්ත්රීවරුන් තෝරා ගැනුණේ කේවල ආසන ක්රමයකට නොව දිස්ත්රික්කය පදනම් කොටගත් ඡන්ද කොට්ඨාස ක්රමයක් පදනම් කරතත් අනුපාතික ක්රමයකටය. ඒ සමග පාර්ලිමේන්තුවට තරග කරන පුද්ගලයෙකුම ඒ සඳහා මැතිවරණයකදී කළයුතු වියදම් සාමාන්ය පුද්ගලයකුට ඔරොත්තු නොදෙන තරමට ඉහළ ගියේය. ඒ තත්ත්වය පරමාදර්ශී අරමුණු නිසා හෝ ගෞරවය සඳහා දේශපාලනයේ යෙදෙන අපට දේශපාලනයට එකතුවීමට තිබෙන හැකියාව සීමා කොට පාර්ලිමේන්තු මැතිවරණ විශාල ලෙස ධනය වැය කළ හැකි අයට පමණක් තරග කළ හැකි දෙයක් බවට පත්වූයේය. එම තරගයේදීද මැතිවරණ වියදම් සඳහා පනවන ලද සීමාවන් නොවීම නිසා ධනවත් අය අතුරින්ද වැඩිම ධනයක් වැය කළ හැකි අයට පමණක් තේරී පත්විය හැකි ක්රමයක් බවට පත්වූයේය. එම තරගයේදී තේරී පත්වීමට වැඩි ඉඩක් ලැබුණේ ව්යාපාරික ධනවතුන්ට වඩා කළු සල්ලිකාරයන්ටය. ඔවුන්ට මේ මැතිවරණ තමන්ගේ කළු සල්ලි සුදුකර ගැනීමට ලැබුණු කදිම අවස්ථාවක් වූවා සේ ම නම්බුකාර පෙනුමක් ලබාගැනීමටද කදිම අවස්ථාවක්ද විය. උගත්කමක් ඇති පරමාදර්ශී අරමුණු වෙනුවෙන් හෝ නම්බුව පිණිස දේශපාලනය කරන අයට වඩා මේ වර්ගයේ මිනිසුන්ට ජනාධිපතිවරුන් ද කැමති වූවේය. මක්නිසාදයත් ඔවුන්ට ධන බලයට අතිරේකව මැර බලයද තිබුණේය. එවැනි අයට හොඳින් හෝ නරකින් මැතිවරණ ජයගැනීමට හැකියාව තිබුණේය. ඔවුන් වැඩි උනන්දුවක් දැක්වූයේ වැඩි වැඩියෙන් ධනය හරිහම්බ කරගැනීම වන නිසා ඔවුන් පාලනය කිරීමද දුෂ්කර නොවීය. මෙසේ ජනාධිපතික්රමය වස්තුව කොල්ලකෑම අරමුණු කරගත් කොල්ලකාරී මැරතන්ත්රයක් බවට පත්වෙමින් පාර්ලිමේන්තුවද හොර ජාවාරම්කරුවන් රජ කරන ආයතනයක් බවට පත්විය. එම තත්ත්වය රජ කරන ආයතනයක් බවට පත්විය. එම තත්ත්වය පාර්ලිමේන්තුවේ නියම ස්වභායද වෙනස් කළේය.
ප්රචණ්ඩත්වය හා ජනාධිපතික්රමය
ජනාධිපති ආණ්ඩුක්රමය ආරම්භයේ සිටම සංස්ථාපනය වූයේ විරුද්ධ පක්ෂවල ක්රියාකාරීත්වය දුර්වල කරන ප්රචණ්ඩත්වයට බර තබා ක්රියාකරන ක්රමයක් වශයෙනි. එම තත්ත්වය හැම අංශයකමත් ප්රජාතන්ත්රවාදී ක්රියාකාරීත්වය අඩපණ කොට ප්රචණ්ඩ ව්යාපාරවල පැවැත්මට ශක්තිමත් කළේය. එහි ප්රතිඵලයක් වශයෙන් සාමකාමයට බර තබා ක්රියාකරන විරුද්ධ පක්ෂ ව්යාපාර හැකිළී ප්රචණ්ඩත්වයට බර තබා ක්රියා කරන ආණ්ඩු විරෝධී ව්යාපාර ඇති කොට ඒවායේ ක්රියාකාරීත්වයද ශක්තිමත් කළේය. ඒ අර්ථයෙන් විජේවීරගේ දෙවැනි කැරැල්ල සේ ම ප්රභාකරන්ගේ කැරැල්ලද සැලකිය හැක්කේ ජනාධිපති ආණ්ඩුක්රමය විසින්ම ඇති කොට පෝෂණය කරන ලද ප්රචණ්ඩ ව්යාපාර ලෙසය. 1982දි පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගන්නා පිළිවෙතකට නොගොස් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තැනකට ගයේ නම් 83 කළු ජූලියක් ඇති නොවන්නට ඉඩ තිබුණා සේ ම ආණ්ඩු පක්ෂයට ලැබී තිබුණු කෘත්රිම ශක්තිය දුර්වල වී විරුද්ධ පක්ෂ ව්යාපාරවල ප්රජාතන්ත්රවාදී ක්රියාකාරීත්වය වර්ධනය වී සිංහල දකුණේ සේ ම දෙමළ උතුරේද ප්රචණ්ඩ කැරලි ඇති නොවන්නටද ඉඩ තිබුණේය. ඒ අර්ථයෙන් රටේ ස්ථාවරභාවයට අභියෝගයක් වන ප්රචණ්ඩ ව්යාපාර ඇති කොට පෝෂණය කිරීමේ වගකීමෙන් කිසියම් කොටසක් යායුත්තේද ජනාධිපති ආණ්ඩුක්රමයටය. එම ආණ්ඩුක්රමය සමස්ත ප්රජාතන්ත්රවාදී ආයතනක්රමය බෙලහීන කොට ආණ්ඩු වෙනස් කිරීම ඉතා දුෂ්කර හා ඉතාමත් කලාතුරකින් පමණක් සිදුවන දෙයක් බවට පත් කළේය. මේ රටේ පවතින ඒකාධිපති ක්රමයකට බර තබන ලද ජනාධිපති ආණ්ඩුක්රමයෙන් ඉවත් වී නැවත පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයකට මාරුවීමට සිහින දැකීම තේරුම් ගත යුතුව තිබෙන්නේද ජනාධිපතික්රමය විසින් ඇති කර තිබෙන එම අශීලාචාර තත්ත්වය නැති කොට නැවත ශීලාචාර තත්ත්වයකට මාරුවීම දකින සිහිනයක් ලෙසය.
එහෙත් විධායක ජනාධිපතික්රමය නාමමාත්රික දෙයක් බවට පත් කොට විධායක ජනාධිපති ආණ්ඩුක්රමය තුළ කුණුවූ හා විකෘති වූ ආයතන ක්රමයක් බවට පත්ව තිබෙන, තිබෙන පාර්ලිමේන්තුවට බලය පවරන සරල ක්රමයක් ආණ්ඩුක්රමය ආශ්රයෙන් මතුවී තිබෙන අර්බුදයට දෙන හොඳ විසඳුමක් විය නොහැකිය. ඒ සඳහා තිබෙන පාර්ලිමේන්තුව සංශෝධනය කොට එය ගුණාත්මක වටිනාකමක් ඇති පාර්ලිමේන්තුවක් බවට පත් කළ යුතුය. එය තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඉදිරිපත් කරන සරල සංශෝධනයකින් පමණක් ඇති කළ හැකි දෙයක් වන්නේ නැත. ඒ සඳහා නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් විධිමත් ලෙස තනාගන්නා තැනකට යායුතු අතර පාර්ලිමේන්තුවට එකතු වී සිටින තැන කුණු තවරා ගත් පුද්ගලයන් ඉවත් කෙරෙන තැනකටද යායුතුය.
මැතිවරණක්රමය වෙනස් කළ යුතුවා සේ ම පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ ක්රියාවලියද විධිමත් කළ යුතුය. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට බලපාන ලෙස වියදම් සීමා පැනවිය යුතු අතර නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්රකාශ භාරදීම හා මැතිවරණය අවසානයත් සමග මැතිවරණ වියදම් ලේඛන භාරදීම අනිවාර්ය කළ යුතුය. පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන නියෝජිතයන්ට ආණ්ඩුවේ ආයතන සමග ව්යාපාරික ගනුදෙනුවල යෙදීමද තරයේ තහනම් කළ යුතුය. පාර්ලිමේන්තුවට තේරී පත්වන හැම නියෝජිතයකුම නිසි පුහුණුවක් ලබාදීමද අනිවාර්ය කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියක් ඇති කොට එම ආචාර ධර්ම උල්ලංඝනය කරන්නන්ට දඬුවම් කළහැකි ක්රමයක් ඇති කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලබාදෙන ආර්ථික වරප්රසාද නැවත සලකා බලන තැනකට යායුතු අතර ඒ සඳහාද විධිමත් ක්රමයක් ඇති කළ යුතුය. විමධ්යගත අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට මුදල් වෙන් කරන පිළිවෙත අහෝසි කළ යුතුය.