ජනාධිපතිවරණයේ ගති ලක්ෂණ

November 16, 2014
Publication:
Ivan examines how the President resolved the Eighteenth Amendment dispute by seeking the Supreme Court's opinion on 5 November 2014, which he says shows a judiciary tamed since the impeachment of Shirani Bandaranayake, recalling J.R. Jayewardene's treatment of the courts. He criticises the Commissioner of Elections' passivity over the election's timing and the Pope's visit, and warns that the opposition's disunity and factionalism could hand the government a third term and push the country towards anarchy.

2015 පැවැත්වෙන ජනාධිපතිවරණය ලංකාවේ පැවැත්වෙන අවසාන ජනාධිපතිවරණය විය හැකිවා සේ ම ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ මෙතෙක් පැවති නීතියේ පාලනයකින් තොරව පැවැත්වෙන අවලස්සන, ජුගුප්සාජනක හා අශීලාචාරම ජනාධිපතිවරණය බවටද පත්විය හැකිය.

උපදේශනය සහ දහඅට

ජනාධිපතිවරයා 18 ආරාවුල විසඳාගත් ආකාරය අපූරුය. 18 වැනි සංශෝධනයට අදාළව ඉදිරිපත් වී තිබූ ප්‍රධාන තර්කය වී තිබුණේ 18 වැනි සංශෝධනයේ තිබෙන බරපතළ දෝෂ හේතු කොටගෙන ජනාධිපතිවරයාට නීතියට අනුව තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරීමේ අයිතියක් නැති බවය. එම දෝෂ විධිමත් ලෙස ප්‍රසිද්ධියේ සාකච්ඡාවට ලක්වී තිබුණු නිසා ඒ දෝෂ මොනවාදැ”යි ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව නොදැන සිටියා විය නොහැකිය. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් එම සංශෝධනයට ප්‍රතිසංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මගින් ඒ තත්ත්වය නිවැරදි කරගැනීමේ හැකියාවක්ද තිබුණි. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණද ආණ්ඩුවේ තිබුණු අභ්‍යන්තර බෙදීම් නිසා තුනෙන් දෙකේ අනුමැතිය ලබාගැනීමේ ඇත්ත හැකියාවක් තිබේද යන ප්‍රශ්නය ජනාධිපතිවරයාට තිබුණි. ඒ නිසා ආණ්ඩුව මුලදී කළේ මෙම නීති තර්කය නොසලකා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. එහෙත් එම ප්‍රශ්නය ඉක්මන් මැතිවරණ කාලසටහන අවුල් කරන ප්‍රශ්නයක් බවට පත්විය හැකි බව පෙනෙන්නට වූ විට ජනාධිපතිවරයා ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළේය. එහිදී තෝරා ගත්තේද ශ්‍රේෂ්ඨාධිකරණයට යායුතු හරි මාවත නොව වැරදි මාවතය. ව්‍යවස්ථාවේ 125 (1) යටතේ 18 වැනි සංශෝධනය ගැන නීතිමය බැඳීමක් ඇති අර්ථ නිරූපණයක් ඉල්ලා සිටිනවා වෙනුවට 129 (1) යටතේ නීතිමය බැඳීමක් නැති උපදේශන මතයක් ඉල්ලා සිටියේය.

මෙම විමසීම කර තිබුණේ නොවැම්බර් 5 වැනිදාය. ඒ ගැන අදහස් පළකිරීමට කැමති නීතිඥයන්ට ඒ ගැන තමන් දරන අදහස් 7 වැනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නීතිඥ සංගමයට දැනුම් දී තිබුණේද 5 වැනිදා දහවල්ය. 6 වැනිදා නිවාඩු දිනයකි. 8 හා 9 යන දින දෙක සෙනසුරාදා හා ඉරිදා දින විය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය 7 වැනිදා සිය ලිඛිත සැලකිරීම් රෙජිස්ට්‍රාර්වරයා වෙත බාරදී ඇතත් මොන හේතුවක් නිසා හෝ රෙජිස්ට්‍රාර්වරයා එම සැලකිරීම් ලියාපදිංචි කොට නැත. ලිඛිත සැලකිරීම් මත පමණක් පදනම් වී ශ්‍රේෂ්ඨාධිකරණය අපූරු උපදේශනයක් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම් මෙවැනි උපදේශනයක් සඳහා රැස්විය යුතුව තිබුණේ අගවිනිසුරු ඇතුළු පස් පුද්ගල විනිශ්චය මණ්ඩලයක් පමණය. එහෙත් පුදුමයට මෙන් මෙහිදී ලංකාවේ නොසිටි විනිසුරුවරයකු හැර මුළු ශ්‍රේෂ්ඨාධිකරණයම රැස්විය. ඒකමතික තීන්දුව වී ඇත්තේ 18 වැනි සංශෝධනය යටතේ තුන්වැනි ධුර කාලය සඳහා මේ ජනාධිපතිවරයාට තරග කරන්නට කිසිම නීතිමය බාධාවක් නැති බවය. එහි කිසිම නීතිමය බැඳීමක් නැතත් දැන් කවර පුද්ගලයකුටවත් මේ ප්‍රශ්නය මත ශ්‍රේෂ්ඨාධිකරණයට යා නොහැකිය. අප දැනටමත් මතයක් පළකර ඇති නිසා මෙම ප්‍රශ්නය සලකා බැලීමේ හැකියාවක් අපට නැතැ”යි කීමේ හැකියාව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන්නේය. එවිට ඒ ගැන කරුණු කියන්නට යන්නට වෙනත් අධිකරණයක් රටේ නැත.

අධිකරණය විසින් අධිකරණය කෙරෙහි තිබිය යුතු මහජන විශ්වාසය හා ගෞරවය මුළුමනින් අහිමි කරගත් තත්ත්වයට පත්ව තිබෙන්නේයැ”යි කිව හැකිය. අධිකරණය දැනුවත් මහජනතාවට පෙනෙන්නේ සාධාරණ ලෙසත් හා නීතියට අනුකූලවත් ආරාවුල් බේරුම්කරන්නකු ලෙස නොව ජනාධිපතිගේ හා ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් අනුව ක්‍රියා කරන දේශපාලන අතකොලුවක් ලෙසය. අධිකරණය ඇද වැටී තිබෙන මෙම හාස්‍යජනක හා ඛේදජනක තත්ත්වයට පූර්වගාමී ජනාධිපතිවරුන් සේ ම ඒ සියලුදෙනාටමත් වඩා ජනාධිපති මහින්ද රාජපක්ෂ වගකිව යුතුය.

අධිකරණය හීලෑකර ගැනීම

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අධිකරණය සිය දේශපාලන අතකොලුවක් කරගැනීම සඳහා අනුගමනය කරන ලද සාහසික ප්‍රතිපත්තිය ඔහු විසින් කර තිබෙන සියලු බරපතළ වැරදි අතරින් සමාව දිය නොහැකි බරපතළම වරද ලෙස සැලකිය හැකිය. රිට් ආඥා ප්‍රතිපත්තිය සැලකෙන්නේ නූතන දේශපාලන ශීලාචාරිත්වයේ වැදගත්ම කඩඉමක් ලෙසය. කිසියම් පුද්ගලයකු නීතියට පටහැනි පීඩාවකට ලක්ව සිටින අවස්ථාවකදී පීඩා කරන පුද්ගලයාගේ හෝ ආයතනයේ බලමහිමය කොතරම් විශාල වුවත් පීඩාවට පත්ව සිටින පුද්ගලයාට ආරක්ෂාව ලබාගැනීමට තිබෙන හොඳම ක්‍රමය රිට් ආඥාවක් ලබාගැනීමය. රිට් ආඥා ක්‍රමය එංගලන්තයේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය හොඳින් තහවුරු වන්නට පෙර ඇතිවූ ක්‍රමයකි. එංගලන්තයේ ඉතා බලවත් රජවරුන් පවා කලාතුරකින් හෝ ඔවුන්ට එරෙහිව රිට් ආඥා පනවන අවස්ථාවලදී එම ආඥාවන්ට ගරු කළේය. රිට් ආඥාවකට පටහැනිව යෑම සැලකුණේ ශීලාචාරත්වය අත්හැරදැමීමක් ලෙසය. පසුකලක මෙය ලෝක ව්‍යාප්ත ක්‍රමයක් බවට පත්වූ අතර රටක දේශපාලන ශීලාචාරත්වයේ තරම පෙන්නුම් කරන වැදගත්ම මාපකයක් ලෙසද සැලකුණේය.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පාර්ලිමේන්තුව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුව එම දෝෂාභියෝග පරීක්ෂණය පවත්වාගෙන ගියේ නීතියට පටහැනි හා ඉතාමත් අශීලාචාර ආකාරයකටය. ඇය රටේ අගවිනිසුරුවරිය වුවද ඇයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පැවති නීතියට පටහැනි සාහසික ප්‍රතිපත්තිය ඉදිරියේ වෙනත් ඕනෑම පුරවැසියකුට මෙන් ඇයටද සිය ආරක්ෂාව සඳහා ගත හැකිව තිබූ අවසාන පියවර වූයේ පාර්ලිමේන්තු පරීක්ෂණයට හා එහි තීරණයන්ට එරෙහිව අභියාචනාධිකරණයට ගොස් රිට් ආඥාවක් ලබාගැනීමය. ඇය ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු පරීක්ෂණයට එරෙහිව හා එම පරීක්ෂණයේ තීරණයන්ට එරෙහිව අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය. පාර්ලිමේන්තුව හෝ ආණ්ඩුව එම රිට් ආඥාවට ගරු කළේ නැත.

මේ හා සමාන සිදුවීමක් ජේ.ආර්. ජයවර්ධන පාලන මුල් යුගයේ සිදුවිය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ආණ්ඩුක්‍රමයක් ඇතිකර ගැනීමත් සමග විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ අරමුණ ඇතිව ඇගේ පාලන කාලයේ සිදුවූ වැරදි සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් ඇති කළේය. ඇගේ කාලයේ වැරදි සොයා බලන්නට පාවිච්චි කළේ තිබුණු නීතිය අනුව තනන ලද පරීක්ෂණ කොමිසමක් නොව නව නීතියක් අනුව තනන ලද පරීක්ෂණ කොමිසමකි. බණ්ඩාරනායක මැතිනිය එම ක්‍රියාමාර්ගයට එරෙහිව රිට් ආඥාවක් ලබාගැනීම සඳහා අභියාචනාධිකරණය ඉදිරියට ගිය අතර අභියාචනාධිකරණය ඇයට පක්ෂව විශේෂ ජනාධිපති කොමිසමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කළේය. ජනාධිපති ජයවර්ධනද අභියාචනාධිකරණය දෙන ලද තීන්දුවට ගරු නොකළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සංශෝධනයක් මගින් (පළමුවන සංශෝධනය) කොමිෂන් සභාවල වැරදි තීරණ නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණයට බලතල පවරා තිබූ 140 වැනි වගන්තිය සංශෝධනය කරමින් අභියාචනාධිකරණය දෙන ලද තීන්දුව නිෂ්ප්‍රභ කළේය.

එහිදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අභියාචනාධිකරණයේ ආඥාවට ගරු කළේ නැතත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන් තීන්දුව දෙන ලද විනිසුරුවරුන්ගෙන් පළිගන්නා තැනකට ගියේ නැත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අභියාචනාධිකරණයේ ආඥාව පිළිගැනීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව එම ආඥාව දෙන ලද විනිසුරුවරුන් දෙදෙනාගෙන් ද පළිගත්තේය. ඒ දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීම වළකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතිවන පුරප්පාඩු කනිෂ්ඨ විනිසුරුවරුන්ගෙන් පුරවන ලදි. පළිගැනීම්වලට ලක්වූ මෙම විනිසුරුවරුන් දෙදෙනාගෙන් එක් අයකු රෝගාතුර වී අකාලයේ මරණයට පත්වූ අතර එම විනිසුරුවරයාගේ අවමංගල්‍ය උත්සවයේදී අවමංගල්‍ය සභාව අමතා කතා කිරීමට නියමිතව සිටි නීතිඥ සංගමයේ නියෝජිතයාගේ කතාවද පැවැත්වීම වළකන ලදි.

අන් සියලුදෙනාට වඩා රටේ පාලකයා නීතියට ගරු කළ යුතුය. පාලකයා නීතියට ගරු නොකරන විට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සේ ම නීතිය පසිඳලන ආයතනවලද බිඳ වැටීමක් ඇතිවන්නේය. පොලිස් හා අධිකරණය වැනි ආයතන මහජන විශ්වාසය අහිමි කරගත් ආණ්ඩු පක්ෂයේ ශාඛා බවට පත්වන්නේය. පොලිසිය කෙරෙහි හැමදාමත් අයුතු දේශපාලන බලපෑම් තිබුණේය. ජනාධිපති ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමෙන් පසු පොලිසිය කෙරෙහි වන දේශපාලන ග්‍රහණය උග්‍රවී නීතිය ක්‍රියාත්මක කිරීම මහා පරිමාණයෙන් බිඳවැටෙන තත්ත්වයක් ඇතිවිය. පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී සේ ම නඩු පවරන ලද අවස්ථාවලදීද දේශපාලකයන් පොලිසිය කෙරෙහි බලපෑවේය. මේ තත්ත්වය ඉදිරියේ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම හොඳටම අඩපණ වී අපරාධකරුවන්ට එරෙහිව කරන නඩු පැවරීම්වලදී වැරදිකරුවන් වන්නන්ගේ අනුපාතිකය 4%ක් තරම් ප්‍රමාණයකට පහළ වැටී රට සාහසික අපරාධවලින් පිරුණු අපරාධකරුවන් රජ කරන රටක් බවට පත්විය.

දැන් අධිකරණයට සිදුවී තිබෙන්නේද ඒ නස්පැත්තියමය. රටේ අගවිනිසුරුවරිය සාහසික ලෙස තනතුරෙන් පහ කොට ගෞරවය අහිමි කරගත් පුද්ගලයකු ඒ තනතුරට ගෙනාවේය. ස්වාධීන හා ගරු කටයුතු විනිසුරුවරුන්ගෙන් වෙනුවට හෙංචයියලාගෙන් ඉහළ අධිකරණය පුරවන ලදි. දැන් අධිකරණය තිබෙන්නේ ආණ්ඩුවට ඕනෑම දෙයක් කරගත හැකි තත්ත්වයකය. අසාධාරණයක් වූ අවස්ථාවකදී දේශපාලකයකුගේ ලියුමකින් තොරව අධිකරණයට ගොස් යුක්තිය ඉටුකරවා ගැනීමට තිබුණු හැකියාව දැන් බොහෝ දුරකට නැතිවී තිබේ. සාමාන්‍ය නඩු කටයුතුවලදී පවා දේශපාලන ඇඟිලි ගැසීම් කෙරෙන තත්ත්වයක් ගොඩනැඟී තිබේ. පාක්ෂිකයන්ට හෝ හිතවතුන්ට අදාළ ආරාවුල්වලදී පොලිසිය කෙරෙහි දක්නට ලැබෙන දේශපාලන ඇඟිලිගැසීම් අධිකරණයටද අදාළ පොදු තත්ත්වයක් බවට පත්වන කාලය වැඩි ඈතක නොවේයැ”යි කිව හැකිය.

අධිකරණයේ පවතින අවලස්සන තත්ත්වය ලොකු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ දේශීය වශයෙන් පමණක් නොවේ. එය අන්තර්ජාතික වශයෙන්ද ශ්‍රී ලංකාවට කොන් කිරීමට හේතුවී තිබෙන බලවත් ප්‍රශ්නයක් වී තිබෙන්නේයැ”යි කිව හැකිය. මෙම අවලස්සන තත්ත්වය පවතින්නට ඉඩ හැරීම රටේ යහපතට පමණක් නොව රටේ ගෞරවයටද හේතුවන්නේ නැත.

මැකොගේ බක තපස් පිළිවෙත

මැතිවරණ කොමසාරිස්වරයාගේ හැසිරීම අනුව බැලූ බැල්මට පෙනීයන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවද අරලියගහ මන්දිරයේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ක්‍රියාත්මක වන ආණ්ඩු පක්ෂයේ දේශපාලන ශාඛාවක් ලෙස ක්‍රියා කරන බවය. මැතිවරණයක් පවතින හා පවත්වන්නට යන වටාපිටාවක මැතිවරණ කොමසාරිස්වරයා ස්වාධීනව හා අපක්ෂපාතීව ක්‍රියා කළ යුතුවා සේ ම ඔහුගේ එම ස්වාධීන බව හා අපක්ෂපාතී බව මහජනයාට පෙනෙන්නටද සැලැස්විය යුතුය. එහෙත් බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන්නේ එවැනි තත්ත්වයක් නොව එහි ප්‍රතිවිරුද්ධත්වයය.

නීතියට අනුව ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසු නාමයෝජනා දිනය හා මැතිවරණය පැවැත්වෙන දිනය තීන්දු කළයුත්තේ මැතිවරණ කොමසාරිස්වරයාය. එහෙත් ජනාධිපතිගේ ප්‍රකාශකයන්, සමහර ඇමතිවරුන් සේ ම ජනමාධ්‍යද මැතිවරණ පැවැත්වෙන දිනය දැනටමත් දන්නේය. ඔවුහු කිසිදු චකිතයක් නැතිව මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරති. මෙතෙක් මැතිවරණය පැවැත්වෙන දිනය වශයෙන් ප්‍රකාශ වී තිබුණේ ජනවාරි 8 වැනිදාය. පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රධාන ප්‍රවෘත්තියට අනුව දැන් මැතිවරණ දිනය ජනවාරි 2 වැනිදාය. දිනය ඉදිරියට ගෙන ඇත්තේ පාප්වහන්සේගේ සංචාරය අවුලක් වීමට ඉඩ නොතැබීම සඳහාය.

පාප්වහන්සේගේ ලංකා සංචාරය ප්‍රශ්න ඇතිවීමකින් තොරව සිදුකිරීම අත්‍යවශ්‍ය නම් ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ පාප්වහන්සේගේ සංචාරයෙන් පසුව ජනාධිපතිවරණයකට යෑමය. ජනාධිපතිවරණ දිනය වෙනස් කළ නොහැකි නියත දිනයක් නොවේ. වෙනස් කළ හැකි දිනයකි. පාප්වහන්සේගේ සංචාරයට ඉඩදී ජනාධිපතිවරණය ඊට පසුව පැවැත්වීමේ හැකියාවක් ජනාධිපතිට තිබුණි. එහෙත් ජනාධිපතිවරයාට පාප්වහන්සේගේ සංචාරයට පෙර ජනාධිපතිවරණය කරළියට ගැනීමට අවශ්‍ය විය. ඒ නිසා හතර අවුරුද්ද සම්පූර්ණ වන නොවැම්බර් 19 වැනිදාත් පාප්වහන්සේගේ සංචාරය සඳහා නියම කර තිබෙන දිනත් අතර දිනකදී ජනාධිපතිවරණ දිනය යොදාගන්නට සිදුවී එය ජනාධිපතිවරණය පටු කාලසීමාවක හිරකරන හා පාප්වහන්සේගේ සංචාරයද අවිනිශ්චිත දෙයක් බවට පත් කරන සංසිද්ධියක් බවට පත්කර ගත්තේය. ජනාධිපතිවරණය ජනවාරි 2 වැනිදාට ගැනීමට දරන උත්සාහයේ සැඟවුණු අරමුණ වී තිබෙන බව පෙනෙන්නේද පාප්වහන්සේගේ සංචාරය පහසු තත්ත්වයකට ගැනීම නොව විරුද්ධ පක්ෂ අපේක්ෂකයාට මැතිවරණ කටයුතුවල යෙදෙන්නට ප්‍රමාණවත් කාලයක් නොලැබෙන ලෙස ජනාධිපතිවරණය ඉක්මන් කරගැනීමේ අරමුණය. දැනටමත් ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහනේ වැඩි කොටසක් අවසන්ව තිබෙන බව පෙනේ. මැතිවරණ තුරුම්පුද සියල්ල පාවිච්චි කර අවසන්ව තිබෙන බවක්ද පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරණය වෙනුවෙන් අයවැයෙන් දෙන ලද දේවල්ද දැන් ජනතාවට අමතක වෙමින් තිබේ. ඒ නිසා ජනාධිපතිවරයාට වාසිදායක වන සේ විරුද්ධ අපේක්ෂකයාට ප්‍රමාණවත් කාලයක් නොලැබෙන ලෙස හැකි ඉක්මනින් ජනාධිපතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබෙන්නේයැ”යි කිව හැකිය.

එහෙත් ජනාධිපතිවරණයක් ජනාධිපතිගේ වුවමනාවන්ට බර තබන ලද කාලසටහනකට අනුව පැවැත්විය නොහැකිය. විරුද්ධ පක්ෂ අපේක්ෂකයාට සිය ප්‍රචාරක කටයුතු කරගෙන යෑම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුය. පාප්වහන්සේගේ සංචාරය පහසු කිරීම සඳහා ජනාධිපතිවරණය හැකි තරම් ඉදිරියට ගත යුතුයි කියන තර්කය ජනාධිපතිගේ පටු දේශපාලන වුවමනාවන් සපුරාගැනීම සඳහා ඉදිරිපත් කෙරෙන සටකපට තර්කයක් පමණය. පාප්වහන්සේගේ සංචාරයෙන් පසු ජනාධිපතිවරණයක් පවත්වනවාට කිසිදු දේශපාලන පක්ෂයක් විරුද්ධවන්නේ නැත. සියලුදෙනා වඩා කැමති එසේ කරනවාටය. ඊට අකමැති එකම කෙනා ජනාධිපතිය. ඒ බව මැතිවරණ කොමසාරිස්වරයා නොදන්නවා විය නොහැකිය. පාප්වහන්සේගේ සංචාරය සහතික කිරීම සඳහා එවැනි පිළිවෙතක් අනුගමනය කරන්නට පුළුවන්කම තිබියදී ජනාධිපතිවරයාට ඒ වෙනුවට ඒ අතරතුර කාලයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් විරුද්ධ පක්ෂය වන්දි ගෙවිය යුත්තේ ඇයි?

සන්ඩේ ටයිම්ස් පුවත්පත කියන්නේ සත්‍යයක් නම් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ දිනයේ සිට ජනාධිපතිවරණය දිනය දක්වා වන කාලය දින 43කි. මීට පෙර පැවති ජනාධිපතිවරණ හයේදීම ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීම් දිනයේ සිට ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය දක්වා ගතවී තිබෙන කාලය ඊට හුඟාක් වැඩිය. 1982දී එය දින 52කි. 1988දී දින 59කි. 1994 දී දින 53කි. 1999දී දින 54කි. 2005 දින 58කි. 2010දී දින 64කි.

ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසුව දින 16කට නොඅඩු දින 21කට නොවැඩි කාලසීමාවක් තුළ නාමයෝජනා ලබාගත යුතුය. මෙතෙක් පැවති කිසිම ජනාධිපතිවරණයක් නාමයෝජනා කාලසීමාව දින 16යේ අවමයකට සීමාකර නැත. තෝරාගෙන ඇත්තේ අවමය හා උපරිමය අතර කාලයකි. ඉතාමත් බිහිසුණු ප්‍රචණ්ඩ වාතාවරණයක් පැවති 1988 ජනාධිපතිවරණයේදී පවා නාමයෝජනා සඳහා ලබාදී ඇති කාලය දින 19කි. ඒ මැතිවරණයේදී ඉන්පසු ජනාධිපතිවරණය දක්වා ලබාදී තිබෙන දින ගණන දින 40කි. ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ සිට ජනාධිපතිවරණ දිනය දක්වා කාලය දින 59කි. ජනාධිපතිවරණය පවත්වන්න යන්නේ ජනවාරි 2 වැනිදා නම් ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ සිට ජනාධිපතිවරණය දක්වා දෙන්නට යන මුළු කාලය දින 43කි. ජනාධිපතිවරණය පවත්වන්නට යන්නේ ජනවාරි 8 වැනිදා නම් දෙන්නට යන මුළු කාලය දින 49කි. අඩු කරන්නට යන දින ගණන දින 10ක් හෝ ඊටත් වැඩිය. එය සාධාරණ විය හැක්කේ කෙසේද?

ජනාධිපතිවරණය

මෙම ජනාධිපතිවරණයන් තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කළ යුතුව තිබෙන්නේ අශීලාචාර ආණ්ඩුවක අඛණ්ඩතාව බිඳදැමීම අත්‍යවශ්‍ය නිසා පමණක් නොව, රට පූර්ණ අරාජිකත්වයකට යෑම වළකා ආණ්ඩුක්‍රමයේ ප්‍රතිසංස්කරණ ඇති කිරීම රටේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන නිසාය. මෙම ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමස්ත ආණ්ඩුක්‍රමයේ පමණක් නොව ඒ යටතේ තිබෙන ආයතන ක්‍රමයේද සමාජ ක්‍රමයේද උපරිම මට්ටමේ ගරාහැලීමක් සමග කුණුවීමක් ඇතිවී තිබෙන ඓතිහාසික කාලවකවානුවකදීය. මෙම පරිහානිය හා ගරාහැලීම ආණ්ඩුව කෙරෙහි පමණක් නොව සමස්ත විරුද්ධ පක්ෂ ව්‍යාපාරය කෙරෙහිද බලපා ඇති බව දැනුවත් ජනතාව අමතක නොකළ යුතුය. ඒ නිසා ඉතාමත් අපිරිසිදු හා අවලස්සන ආණ්ඩුවක් පරාජය කරන ව්‍යාපාරයකට නායකත්වය දෙන්නට සිදුවී තිබෙන්නේ අලුත් පිරිසිදු විරුද්ධ පක්ෂ ව්‍යාපාරයකට නොව අපිරිසිදු හා අවලස්සන විරුද්ධ පක්ෂ ව්‍යාපාරයකටය.

පක්ෂ අභ්‍යන්තර සමගියක් නැතිකම, කට්ටිවාදය, පක්ෂවල තරමට ගැළපෙන ක්‍රියාකාරීත්වයක් නැතිකම. පොදු මතයක් ඇතිකර ගැනීමට තිබෙන අපහසුතාව, තියුණු උපාය උපක්‍රම නැතිකම, ආත්ම විශ්වාසයක් හා කැපවීමක් නැතිකම එම විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට පොදුවේ ආවේණික ලක්ෂණ ලෙස සැලකිය හැකිය. මෙ විශේෂ වටාපිටාව තුළ සිදුවන ජනාධිපතිවරණ තරගය මහජනයාගේ ප්‍රබෝධයට හේතුවන කාරණයක් බවට පත්වනු ඇතැ”යි සිතිය නොහැකිය.

විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට ආවේණික එම සීමාසහිතකම් තිබියදීත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අශීලාචාර පාලනයේ අඛණ්ඩතාව කැඩීම සඳහා ඔහු එම ජනාධිපතිවරණයෙන් පරාජය කිරීම රටට යහපත් ඉදිරි ගමනක් සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය හැකිය. එහිදී විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල එකතුව මහින්ද රාජපක්ෂ සමග තරග කිරීමට ඉදිරියට දමන අශ්වයා මොකෙකු වුවත් උගේ දත් පරීක්ෂා කරන හා උගේ ඇඟ වසාගෙන සිටින කිනිතුල්ලන් හෝ මැක්කන් පරීක්ෂා කරන තැනකට නොගොස් එම අශ්වයා ජයග්‍රහණය කරවීම සඳහා ආධාර කිරීමද අත්‍යවශ්‍යය.

තරග බිමට ගතයුතු අශ්වයා තීන්දු කිරීමේ බලයක් මහජනයාට නැත. ඒ බලය තිබෙන්නේ දේශපාලන පක්ෂවලටය. ඒ නිසා ඒ මොහොතේ මහජනයාට කළහැක්කේ විරුද්ධ පක්ෂ එකතුව ඉදිරිපත් කරන අශ්වයාගේ හොඳ නරක සොයන තැනකට නොගොස් අශීලාචාර පාලනයේ අඛණ්ඩතාව කැඩීම සඳහා විරුද්ධ පක්ෂ අශ්වයා ජයග්‍රහණය කරවීම සඳහා ආධාර කිරීමය. එය සමහරකුට අප්‍රසන්න දෙයක් විය හැකි වුවත් එම අප්‍රසන්නතාව ඉවසාගෙන එසේ කරනවා හැර කළ හැකි අන් දෙයක් නැත.

ඓතිහාසික වශයෙන් රටේ දේශපාලන ඉරණම තීන්දු වී තිබෙන්නේ රට පූර්ණ අරාජිකත්වයකට තල්ලු වී නැවත බිංදුවෙන් ආරම්භ කළ යුතු ඉදිරි ගමනක් නම් මෙම ජනාධිපතිවරණයෙන් ළඟ ළඟ තරගයකින් මහින්ද රාජපක්ෂ ජයගනු ඇත. ඒ සමග රට පූර්ණ අරාජිකත්වයකට තල්ලු වී යනු ඇත. ඒ සමග ආණ්ඩු පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂ ව්‍යාපාරයද අතුගෑවී යනු ඇත.

රටේ ඓතිහාසික ඉරණම පූර්ණ අරාජිකත්වයකට ආසන්න තත්ත්වයක් මිස පූර්ණ අරාජිකත්වයක් නොවේ නම් මෙම ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වනු ඇත. රට බිංදුවටම නොවැටී නැවත ක්‍රමයෙන් නැගී සිටින තත්ත්වයකට යොමුවනු ඇත. පළමු විකල්පය වෙනුවට අප ඇති කර ගැනීමට උත්සාහ කළයුත්තේ දෙවැනි විකල්පයය.

මන්ද රාජපක්ෂ ආණ්ඩුව සිත් පිත් නැති මොළේ ද නැති තිරිංගද නැති බුල්ඩෝසරයකට සමාන කළ හැකිය. එය තමන්ට බාධාවක් කොට සලකන හැම දෙයක්ම ඩෝසර් කරයි. එය ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය බුල්ඩෝසර් කළේය. ඉන් හිමි කරගත් අතිවිශාල බලය පාවිච්චි කරමින් මහජන අයිතිවාසිකම් පමණක් නොව ගුණධර්මද බුල්ඩෝසර් කළේය. සමාජ සාරධර්ම බුල්ඩෝසර් කොට කාපට් දැමූ නවීන මහමාර්ග ඉදි කළේය. අධිකරණය ඇතුළු සංවරණය හා තුලනය සඳහාත් කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක් හා සාධාරණත්වය සඳහාත් තිබෙන සියලු ආයතන ක්‍රමද බුල්ඩෝසර් කළේය. එම බුල්ඩෝසරය බුල්ඩෝසර් කළයුතු තැන්ද කිසිසේත්ම අත නොතැබිය යුතු ශුද්ධ වූ තැන්ද භේදයකින් තොරව බුල්ඩෝසර් කළේය. දැන් එම හිත්පිත් නැති, මොළේ හා තිරිංගද නැති බුල්ඩෝසරය වේගයෙන් ගමන් කරමින් තිබෙන්නේ මහා අගාධයකට වැටෙන මාවතකය. එළැඹෙන ජනාධිපතිවරණය බොහෝවිට එම අගාධයේ මාවත විය හැකිය.