ව්‍යවස්ථා සම්පාදනය හා අධිකරණය (ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප්‍රශ්නය – 6)

May 11, 2014
Publication:
People:
Part 6 examines judicial review. Under Articles 120 to 124 of the 1978 constitution the Supreme Court can review bills only before they pass, so unconstitutional amendments can go through with a two-thirds majority. Parliament has ignored conventions, as in extending its own life by referendum. Contrasting Chief Justice Marshall's establishment of judicial review in the United States and the Indian Supreme Court's defence of the basic structure, Ivan argues that Sri Lanka's courts have lacked the independence and creativity to protect a constitution, however good.

ව්‍යවස්ථානුකූල නොවන ව්‍යවස්ථා සංශෝධන යන්න ව්‍යවස්ථාවාදයේ එන වැදගත් සංකල්පයක්. ව්‍යවස්ථා සංශෝධනයක් ඒ සඳහා පනවා තිබෙන පටිපාටියට අනුව සම්මත කරගනු ලබන අවස්ථාවලදී පවා සංශෝධනයේ අන්තර්ගතය ව්‍යවස්ථානුකූල නොවන අවස්ථා තිබිය හැකිය යන්න එහි තේරුමයි. 1978 අපේ ව්‍යවස්ථාවට එකතු වී තිබෙන සංශෝධන වැඩි හරියක් සැලකිය හැක්කේ ව්‍යවස්ථානුකූල නොවන ව්‍යවස්ථා සංශෝධන ලෙසය. පාර්ලිමේන්තුවේ නිල කාලය ජනමතවිචාරණයක් මගින් දීර්ඝ කරගැනීමට ඉදිරිපත් කරන ලද හතරවැනි සංශෝධනය ඒ සඳහා දැක්විය හැකි හොඳම හා ලොකුම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. එය විකෘති තත්ත්වයක තිබූ ආණ්ඩුක්‍රමයේ විකෘතිය උපරිම කිරීමෙන් නොනැවතී රට ත්‍රස්තවාදී මාවතට තල්ලු කිරීමටද හේතුවිය.

ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට ඕනෑම ව්‍යවස්ථා විරෝධී සංශෝධනයක් සම්මත කරගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තු බලය තිබුණේය. එහෙත් එවැනි තත්ත්වයක් ඇතිවන අවස්ථාවකදී එය වැළැක්වීමට අවශ්‍ය තරම් අධිකරණ බලයක් සහිත අධිකරණයක් අපට නොතිබුණේය. හිතෙන හිතෙන කාලය ආකාරයට ව්‍යවස්ථා විරෝධී ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගැනීමට අවශ්‍ය හිතුවක්කාරී බලයක් එදා පැවති එජාපයට පමණක් නොව වර්තමාන ආණ්ඩුවටද ලැබී ඇත්තේ එවැනි වැරදි සිදුවන අවස්ථාවකදී ඒවා වැළකිය හැකි තරම් අධිකරණ බලයක් ඇති අධිකරණයක් අපට නැති නිසාය.

අධිකරණ සමාලෝචනය

අධිකරණ සමාලෝචන බලය ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් සඳහා නැතුවම බැරි කොන්දේසියක් ලෙස සැලකිය හැකිය. අධිකරණ සමාලෝචනය යන්නෙන් අදහස් කෙරෙනුයේ ව්‍යවස්ථාදායකයේ නීති සම්පාදනයක් හෝ ව්‍යවස්ථා සම්පාදනයක් ව්‍යවස්ථානුකූලවේද යන්න සලකා බැලීමට අධිකරණයට තිබෙන බලයයි. නීති සම්පාදනයක් හෝ ව්‍යවස්ථා සම්පාදනයක් ව්‍යවස්ථානුකූල නොවේ නම් එය බලරහිත කිරීමේ බලය අධිකරණයට තිබිය යුතුය. මෙය ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය හා වැදගත් කොන්දේසියකි. නිදර්ශනයක් වශයෙන් ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාවට අනුකූල නොවන ඕනෑම නීතියක් හෝ නීතිගත කෙරෙමින් තිබෙන ඕනෑම නීතියක් අවලංගු කළ හැකිය. මේ බලය මීට සමාන ආකාරයකට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයද භුක්ති විඳින්නේය.

අපේ ශ්‍රේෂ්ඨාධිකරණයට එවැනි සමාලෝචන බලයක් ලබාදී නැත. සමාලෝචන බලය තමන් වෙත හිමිකර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයද විශේෂ උනන්දුවක් දක්වාද නැත. සමාලෝචන බලය ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාවෙන් හිමිකර දුන් බලයක් නොවීය. එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම මගින් අත්පත් කරගන්නා ලද බලයක් විය. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයටද අධිකරණ සමාලෝචන බලය ව්‍යවස්ථාවෙන් පූර්ණ වශයෙන් ලබාදී තිබුණු දෙයක් නොවීය. එය ඇමරිකාවේ සේ ම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම මගින් අත්පත් කරගන්නා ලද බලයක් විය. මෙය දියුණු හැම රටකටම ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය නොහැකිය. අධිකරණ සමාලෝචන බලය උපරිම මට්ටමකින් ව්‍යවස්ථාවෙන්ම අධිකරණයට ලබාදී ඇති රටවල් තිබේ. ජර්මනිය, දකුණු අප්‍රිකාව, කැනඩාව හා ජපානය ඊට දැක්විය හැකි නිදර්ශනයන්ය.

1978 ජනරජ ව්‍යවස්ථාවේ 120 වගන්තියට අනුව ජනරජ ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය කිරීම සඳහා හා නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට ඒ වෙනුවට වෙනත් ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස දීර්ඝ නාමයෙන් විස්තර කර ඇති පනත් කෙටුම්පතකදී ශ්‍රේෂ්ඨාධිකරණයට සලකා බැලිය හැක්කේ එහි අනුමැතිය සඳහා ජනමතවිචාරණයක් අවශ්‍යද යන්න පමණය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය කිරීම සඳහා වූ නැතහොත් පරණ ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් පැනවීම සඳහා පනත් කෙටුම්පතක් ලෙස දීර්ඝනාමයෙන් විස්තර කර ඇති පනත් කෙටුම්පතක් විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට හා ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරන බවට ඇමති මණ්ඩලය සහතික කරනු ලැබූ අවස්ථාවක එවැනි පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කළ හැකි කිසිවක්ම නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය කිරීම හෝ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස දීර්ඝතාවයෙන් විස්තර කර නොමැති පනත් කෙටුම්පතක් නියමිත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අදහස් කරන බවට ඇමති මණ්ඩලය සහතික කරනු ලැබූ අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයට සලකා බැලිය හැක්කේ ජනමතවිචාරණයකින් අනුමැතිය ලැබිය යුතුද නැද්ද යන්න පමණය.

ව්‍යවස්ථාවේ 124 වැනි වගන්තිය අනුව 120, 121 සහ 122 විධිවිධානවලින් පනවා තිබෙන සීමාවන් තුළ හැර යම්කිසි පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය සලකා බැලීමේ බලය කවර අධිකරණයකටත් නැත.

ඉන් පෙනෙන්නේ 1978 ජනරජ ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සංශෝධනවල ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කිරීමේ බලය අධිකරණයට අහිමි කෙරෙන ආකාරයට හා ව්‍යවස්ථා සංශෝධනයන් සම්මත කරගැනීමට අවශ්‍ය බහුතර බලයක් තිබෙන පාලකයන්ට හිතුවක්කාරී බලයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය බලය ලබාදෙන අශීලාචාර ව්‍යවස්ථාවක් ලෙස එම ව්‍යවස්ථාව නිර්මාණය කර තිබෙන බවය.

සම්ප්‍රදායන්ට ගරු නොකිරීම

මොනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකවත් ව්‍යවස්ථාදායකයන් නොකළ යුතු දේවල් මොනවාද කියා විස්තර කරන්නේ නැත. නිදර්ශනයක් වශයෙන් අයවැයක් ඉදිරිපත් කළයුත්තේ එක් මුදල් වර්ෂයක් සඳහා පමණක් බව ව්‍යවස්ථාවේ සඳහන්වන්නේ නැත. එහෙත් කිසිදු ව්‍යවස්ථාදායකයක් එක් මුදල් වර්ෂයක් සඳහා මිස මුදල් වර්ෂ දෙකක් හෝ ඊට වැඩි ගණනක් සඳහා අයවැයක් ඉදිරිපත් කරන්නේ නැත. එය පිළිගත් උල්ලංඝනය නොකළ යුතු සාමාන්‍යයෙන් උල්ලංඝනය නොකෙරෙන සම්ප්‍රදායකි. ව්‍යවස්ථාදායකයේ නිල කාලය දීර්ඝ නොකළ යුතු යන්නද ඒ ආකාරයෙන්ම පිළිගත් සම්ප්‍රදායකි. එහෙත් හැකිය.මැතිවරණයක් නොපැවැත්විය හැකි විශේෂ හේතු මත මැතිවරණ නොපවත්නා මැතිවරණ පවත්වන දිනය කල් දමන අවස්ථා තිබිය හැකිය. එහෙත් ජනමතවිචාරණයකින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කළ නොහැකිය. ජනමතවිචාරණයක් පැවැත්විය හැකි නම් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය

පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු හයකින් ජනමතවිචාරණයකින් දීර්ඝ කරගැනීම සඳහා ඉදිරිපත් වූ පනත් කෙටුම්පත විභාගයකට ගත් විනිශ්චය මණ්ඩලයේ විනිසුරුවරුන් හත්දෙනාගෙන් තුන්දෙනෙකු ඊට විරුද්ධ වුවත් ඒ සියලුදෙනා අවසාන විග්‍රහයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පනවා තිබූ සීමාවන් තුළ කැරකෙන්නට උත්සාහ කළා මිස එම සම්ප්‍රදාය විරෝධී ව්‍යවස්ථා විරෝධී විනාශකාරී කෙටුම්පත අභියෝගයට ලක්කිරීමට උත්සාහ කළේ නැත. මේ නීතිය අදටත් වලංගුය. පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීමට තවත් ජනාධිපතිවරයකුට අවශ්‍ය නම් ඒ සඳහා අලුත් නීති සම්පාදනයක් අවශ්‍ය නැත. ඒ ගමන යෑමට එදා ඇති කරගත් නීතිය ප්‍රමාණවත්ය.

1972 ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන දෙවැනි සංශෝධනයක් මගින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමකින් තොරව රාජ්‍ය සකලවිධ බලය හිමි ජනාධිපති ධුරයක් නිර්මාණය කරගත් ආකාරය මීට පෙර විස්තර කරන ලදි. ඉතාමත් වැදගත් දේ ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමෙන් තොරව රාජ්‍ය ක්‍රමයේ මූලික වෙනසක් ඇති කරන එම සංශෝධනය ඉදිරිපත් කරන ලද්දේ වහාම සම්මත කරගත යුතු හදිසි කටයුත්තක් ලෙස සලකාය. ව්‍යවස්ථා සංශෝධනයක් හදිසි කටයුත්තක් ලෙස සලකා නීතිගත කරන ක්‍රමයක් ශීලාචාර ලෝකයෙන් කවදාවත් අසන්නට ලැබෙන්නේ නැත. එහෙත් පුදුමයකට මෙන් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඇගේ නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේද ඉන්පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ 18 වැනි සංශෝධනය සම්මත කරගන්නා ලද්දේද හදිසි කටයුත්තක් ලෙස සලකාය. ව්‍යවස්ථා සම්පාදනයේදී දේශපාලන අශීලාචාරත්වය ජේ.ආර්. ජයවර්ධනගේ පාලන යුගයට පමණක් සීමා නොවූ වර්තමානය දක්වා වන හැම පාලක යුගයකටම ආවේණික පොදු ලක්ෂණයක් බව ඉන් පෙනීයයි.

ඇමරිකානු අධිකරණය

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ අධිකරණයේ යුතුකම් හා වගකීම් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇති හැඟීම්බර අධිකරණයක් අපට තිබුණේ නම් ව්‍යවස්ථාව විසින් පනවා තිබෙන සීමාවන් තිබියදීත් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට තිබෙන බලය ප්‍රයෝජනයට ගනිමින් මෙම අවලස්සන තත්ත්වය පාලනය කරන්නට හැකිවන්නට ඉඩ තිබුණේයැ”යි කිව හැකිය. ඇමරිකන් අධිකරණයටද සමාලෝචන බලය ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ බලයක් නොවීය. එය අධිකරණයට ලැබී තිබුණු ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට තිබූ බලය ඔස්සේ හිමි කරගත් බලයකි. එසේ ඇති කරගත් බලය ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බලවත් අවියක් ලෙස යොදාගන්නා ප්‍රතිපත්තියක් මගින් ජනතාවගේ බලවත් පිළිගැනීමට හේතුවන බලයක් බවට පත්කර ගනිමින් අවසානයේ සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවන පිළිගත් ව්‍යවස්ථා සම්ප්‍රදායක් බවට වර්ධනය වීයැ”යි කිව හැකිය.

ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රථමවරට අධිකරණ සමාලෝචන ප්‍රශ්නයකට මුහුණ දුන්නේ 1803 වර්ෂයේදී තීන්දු කෙරුණු මාබරි – මැඩිසන් නඩු විභාගයේදීය. ජනාධිපති ඇඩම්ස් සිය ධුරයෙන් ඉවත්වීමට ස්වල්ප මොහොතකට කලින් මාබරි ඇතුළු තවත් 41 දෙනකු කොලොම්බියා දිස්ත්‍රික්කය සඳහා සාමදාන විනිශ්චයකාරවරුන් වශයෙන් පත් කළේය. එහෙත් එම පත්වීම් සඳහා වන අධිකාරී පත්‍රය භාරදීමට පෙර ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් විය. ඒ නිසා පත්කිරීමේ නිල ලිපි ඔවුන් වෙත යැවීමක් සිදු නොවීය. අලුතින් පත්වූ ජනාධිපති ජෙෆර්සන් හා ඔහුගේ රාජ්‍ය ලේකම් මැඩිසන් ජනාධිපති ඇඩම්ස් විසින් අවසාන මොහොතේ කරන ලද මෙම පත්වීම් නොසලකා හරින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔවුන්ගේ පත්වීම් සඳහා වන අධිකාරී පත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටියේය. මාබරි ඇතුළු තිදෙනකු පත්වීම් සඳහා වන මැන්ඩාමුස් ආඥාවක් ලබාගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු මාර්ෂල් මෙම පත්කිරීම් සඳහා නියෝගයක් නිකුත් නොකිරීමට හේතු ඇතොත් දැනුම් දෙන ලෙස රාජ්‍ය ලේකම් ඇඩම්ස්ට නියෝග කළේය. ඇඩම්ස් එම නියෝගය නොසලකා සිටියේය.

අගවිනිසුරු මාෂල් අලුතෙන් තේරි පත්ව සිටි ජනාධිපති ජෙෆර්සන් හා රාජ්‍ය ලේකම් ඇඩම්ස් සමග ගැටුමක් ඇතිකර ගන්නා තැනකට යනවා වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මුල් අධිකරණ බලය විස්ථාපනය කිරීමට හේතුවන ලෙස කොංග්‍රසය 1789 නීතිගත කර තිබෙන අධිකරණ පනත ව්‍යවස්ථානුකූල නොවන බව ප්‍රකාශ කරමින් මාල්බරිට පත්වීම සඳහා වන අධිකාරි බලපත්‍රය නීත්‍යනුකූලව ලැබිය යුතු දෙයක් වුවත් ඒ නියෝගය ලබාගත යුතුව තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොව දිස්ත්‍රික් උසාවියෙන් වන නිසා ඒ සඳහා දිස්ත්‍රික් උසාවියට යන ලෙස උපදෙස් දුන්නේය.

එය කොංග්‍රසයේ නීති සම්පාදනයක් අධිකරණය විසින් නීති විරෝධී කළ පළමු අවස්ථාව වූ අතර අගවිනිසුරුවරයාගේ මේ තීන්දුව අලුතෙන් තේරී පත්වූ ජනාධිපතිවරයා හෝ ඔහුගේ රාජ්‍ය ලේකම්වරයා අභියෝගයට ලක් නොකරන්නන් වීම හේතු කොටගෙන විධායකය හා අධිකරණය අතර ගැටුමක් ඇති කිරීමට හේතු නොවීය. එහෙත් සමහර විචාරකයන්ගේ මතය වී ඇත්තේ ව්‍යවස්ථාමය නීතිය පිළිබඳව විශාදරයකු ලෙස සැලකිය හැකි මාෂල් අගවිනිසුරුවරයා අධිකරණ සමාලෝචන බලය අධිකරණය වෙත හිමිකර ගැනීම සඳහා මෙම නඩුව ඉතා දක්ෂ ලෙස අවස්ථාවක් කරගත් බවය. ඉන්පසු එසේ අත්පත් කරගත් බලය ඉතාමත් පටු ආකාරයකින් ක්‍රියාත්මක කළ අවස්ථා කිහිපයක් ඇතත් ක්‍රමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එම තත්ත්වයෙන් අත්මිදී රාජ්‍යයේ අයිතිවාසිකම් සේ ම මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා පුළුල් කිරීම වෙනුවෙන් යොදාගන්නා තත්ත්වයක් තුළ අධිකරණ සමාලෝචන බලය ඇමරිකන් ආණ්ඩුක්‍රමයේ ස්ථිර අංගයක් බවට පත්වූයේය.

ඉන්දියානු අධිකරණය

මෙම විෂයේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තෝරාගත්තේද ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගමන් මාර්ගයට සමාන ගමන් මාර්ගයකි. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වා තිබෙන්නේ රටවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නා වශයෙනි. සමහර අපැහැදිලි තැන් තිබුණා වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට උපරිම බලතල ලබාදී තිබුණේය. මුල් යුගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබූ සමහර තීන්දු හේතු කොටගෙන ශ්‍රේෂ්ඨාධිකරණය අත්‍යවශ්‍ය සමාජ ප්‍රතිසංස්කරණවලට බාධා කරන්නේයැ”යි කියන හැගීමක් පාලක කොංග්‍රස් පක්ෂය තුළ ගොඩනැගී තිබුණි. අගමැති නේරුගේ නිර්මාණයක් ලෙස සැලකිය හැකි ව්‍යවස්ථාවට එකතු කරන ලද පළමු සංශෝධනය සම්මත කරගන්නා ලද්දේ ඊට ඇතුළත් 9 වැනි ලැයිස්තුව අධිකරණ සමාලෝචනයට ලක්නොවිය යුතුය යන කොන්දේසියද ඇතුළත් වන ආකාරයටය.

පළමු සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය නැගී සිටියේ නැතත් අධිකරණයට සමාලෝචන අයිතියට සීමා පනවන ප්‍රතිපත්තිය ශ්‍රේෂ්ඨාධිකරණයේ සතුටට හේතුවූයේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර පැවති කඹ ඇදිල්ල උග්‍ර අතට හැරීම ආරම්භ වූයේ ඉන්දිරා ගාන්ධි පාලන කාලයේදීය. 1967 පෙබරවාරිවලදී දෙන ලද නඩු තීන්දුවකින් (Golaicnath v. State of Rajasthan) මූලික අයිතිවාසිකම් ඇතුළත් ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදය සංශෝධනය කිරීමේ බලයක් ව්‍යවස්ථාදායකයට නැති බව අධිකරණය තීන්දු කළේය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද එම තීන්දු නොසලකා ව්‍යවස්ථාදායකය එම පරිච්ඡේදය කෙරෙහි බලපාන ආකාරයට සංශෝධන හතරක් (24, 25, 26 සහ 19) සම්මත කරගත්තේය. එම සංශෝධනවලට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සමක් විභාග කළ 13 දෙනකුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලකගේ තීරණය වූයේ ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය සංශෝධනය කිරීමේ බලයක් ව්‍යවස්ථාදායකයට නැති බවය.

ඉන්පසුව දෙන ලද නඩු තීන්දු ගණනාවකින්ද ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය පිළිබඳ සිද්ධාන්තය විස්තරාත්මක ලෙස ප්‍රකාශ කරමින් එම සිද්ධාන්තය තහවුරු කර තිබෙන අතර ඒ මගින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය හිමිකරගෙන තිබෙන බලය මනමෝහන් සිං දක්වා වන සියලු පාලකයන්ගේ දැඩි විවේචනයට හේතුවී ඇතත්, කිසිම පාලකයකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ ගමන් මග වෙනස් කිරීමට හැකිවී නැත. ඒ මගින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයද ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය තරම් බලවත් ශ්‍රේෂ්ඨාධිකරණයක් බවට පත්ව තිබෙන අතර ව්‍යවස්ථාදායකයේ හෝ විධායකයේ ඕනෑම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බලරහිත කිරීමේ හැකියාව හිමිකරගෙන ඇතැ”යි කිව හැකිය. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණමය ඒකාධිපතිත්වයක් හිමි කරගෙන ඇතැ”යි කියන විවේචනයක් ඇතත් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මහජන අයිතිවාසිකම් විෂයේදී ඉතා වැදගත් හා ප්‍රබල භූමිකාවක් රඟපාමින් තිබෙන්නේය යන්න පිළිගත් මතය වී තිබේ.

අපේ අධිකරණය

එහෙත් අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තත්ත්වය ඇමරිකාවේ හෝ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයන්ට වඩා මුළුමනින් වෙනස්ය. එය අවසාන විග්‍රහයේදී පාලකයාට පක්ෂපාතව ක්‍රියාකරයි. මහජන අයිතිවාසිකම් ආරක්ෂවේදීද කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකිරීමට සමත් වී නැත. ස්වාධීනත්වය දිනාගැනීම සඳහා වන බලවත් අභිලාෂයක් ඇති බවද පෙන්නුම් කර නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා තිබෙන නොමනා සීමාවන් අතික්‍රමණය කිරීමට උනන්දුවක් දක්වාද නැත.

ගෞරවය, ස්වාධීනත්වය, යුතුකම් හා වගකීම් පිළිබඳ බලවත් උනන්දුවක් ඇති විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණයක් අපට තිබුණේ නම් ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමට ලැබී තිබෙන ගෞරවය, ස්වාධීනත්වය හා වගකීම් පිළිබඳ බලවත් හැඟීමකින් යුතු විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණයක් අපට තිබුණේ නම් අර්ථ නිරූපණයට ලැබී තිබෙන බලය ප්‍රයෝජනයට ගනිමින් අධිකරණය තබා තිබෙන යටහත් පහත් තත්ත්වය කිසියම් විශාල ප්‍රමාණයකට ජයගන්නටද හැකිවන්නට ඉඩ තිබුණි. බලතල සියුම් ලෙස ප්‍රයෝජනයට ගනිමින් පනවා තිබෙන යටහත් පහත් තත්ත්වය කිසියම් විශාල ප්‍රමාණයකටද ජයගන්නටද හැකිවන්නට ඉඩ තිබුණි.

එවැනි කාර්යයක් නිර්මාණශීලී ලෙස ඉටුකිරීමේ ශක්තිය තිබූ විනිසුරුවරයා ලෙස සැලකිය හැක්කේ ආචාර්ය මාර්ක් ප්‍රනාන්දුය. එහෙත් ඔහුගේ සේම රටේද අවාසනාවට ඔහු 1978 අවලස්සන ව්‍යවස්ථා සම්පාදනයේ උපදේශකයකු ලෙස ක්‍රියාකිරීම නිසා ව්‍යවස්ථාව විනිවිදව දැකීමේ හැකියාව ඔහු අහිමි කරගෙන සිටියා විය යුතුය. ඔහුගේ නඩු තීන්දු මූලික අයිතිවාසිකම් විෂය පථයේ සංවර්ධනයක් ඇති කිරීමට හේතුවී ඇතත් අධිකරණ සමාලෝචනයේදී අධිකරණයට පනවා තිබෙන බරපතළ සීමා අතික්‍රමණය කිරීමට කිසිදු බලවත් උත්සාහයක් දැරූ බවක් පෙනෙන්නට නැත.

කොතරම් හොඳ ව්‍යවස්ථාවක් ඇතිකර ගත්තද එම ව්‍යවස්ථාවේ ආරක්ෂකයා ලෙස ක්‍රියාකරන්නට හොඳ අධිකරණයක් ඇතිකර ගන්නට සමත් නොවේ නම් හොඳ ව්‍යවස්ථාවකින් අපේක්ෂා කරන අභිප්‍රායන් සිහිනයක් බවට පත්විය හැකිය. අපේ අධිකරණය තිබෙන්නේ මහා ප්‍රතිසංස්කරණයකින් තොරව ප්‍රයෝජනයට ගත නොහැකි ගරා හැලුණු තත්ත්වයකය. ගොඩනගන ඕනෑම ව්‍යවස්ථාවක ඉරබටු තරුව ලෙස ක්‍රියාකළ යුත්තේ අධිකරණයයි. එම අධිකරණය, ස්වාධීනව ක්‍රියාකරන අධිකරණයක් පමණක් නොව සාධාරණව හා නීතියට අනුකූලව ක්‍රියාකරන කාර්යක්ෂම අධිකරණයක් විය යුතුය. එයට අධිකරණ සමාලෝචන බලය සේ ම ව්‍යවස්ථාදායකය හෝ විධායකය ව්‍යවස්ථාවට පටහැනිව කරන ඕනෑම ක්‍රියාවක් බලරහිත කිරීමේ බලය තිබිය යුතුය.

රාජ්‍යය අධිකරණයේ විමර්ශනයට ලක්විය යුතුවා සේ ම නව රාජ්‍යයක් නිර්මාණය කරගැනීම සඳහා කෙරෙන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවන්ද අධිකරණ විමර්ශනයට ලක්විය යුතුය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ පටිපාටිය පමණක් නොව සම්පාදනය කෙරෙන ව්‍යවස්ථාවේ ව්‍යවස්ථානුකූලභාවයද අධිකරණ විමර්ශනයට ලක්විය යුතුය. එය නූතන ව්‍යවස්ථා සම්පාදනයේ අත්‍යවශ්‍ය අංගයකි. අධිකරණ විමර්ශනයකින් තොරව හොඳ ව්‍යවස්ථාවක් ඇති කරගත නොහැකිය. හොඳ ව්‍යවස්ථාවක් ඇතිකර ගත්තද හොඳ අධිකරණයකින් තොරව හොඳ ව්‍යවස්ථාවකට පැවතිය නොහැකිය. මේ දෙක වෙන් කළ නොහැකි ලෙස එකට බැඳී තිබෙන්නකි. බිඳ වැටී තිබෙන වෙනත් ආයතන ක්‍රම දෙවැනි, තුන්වැනි හෝ හතරවැනි අදියරයේදී ඇති කරගත හැකි වුවත් අධිකරණය තිබෙන්නේ පිළිගත නොහැකි තත්ත්වයක නම් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සමානුපාතිකව නව අධිකරණයක්ද ඇති කරගත යුතුය. එය එසේ කරන්නේ කෙසේද නව ව්‍යවස්ථා සම්පාදනයකදී අප රටට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ලොකු අභියෝගයක් ලෙස සැලකිය හැකිය. පිළිගත හැකි අධිකරණයක විමර්ශනයකින් තොරව කෙරෙන ව්‍යවස්ථා සම්පාදනයක් සැලකිය යුත්තේ ව්‍යවස්ථානුකූල නොවන ව්‍යවස්ථා සම්පාදනයක් ලෙසය. ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ පටිපාටියේ කවර තරම් විධිමත්භාවයක් තිබුණද සාදනු ලබන ව්‍යවස්ථාවේ අන්තර්ගතයේ ව්‍යවස්ථානුකූලභාවය තීරණය කළයුත්තේ නිසි අධිකරණයක් විසිනි.

මතු සම්බන්ධයි