ව්‍යවස්ථා සංශෝධනය (ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප්‍රශ්නය – 5)

May 4, 2014
Publication:
Part 5 compares how constitutions are amended in the United States and India, where fundamental provisions are hard to change and courts have restored constitutions after they were abused, with Sri Lanka, where all three constitutions were made by majority power rather than consensus. He surveys amendments to the 1978 constitution: the 1982 early presidential election and fraudulent referendum, the Sixth Amendment after Black July, the Thirteenth and Seventeenth, Kumaratunga's failed draft, and Mahinda Rajapaksa's Eighteenth.

මෙම ලිපි පෙළ ඉදිරියට ගෙනයායුතුද නැද්ද යන ප්‍රශ්නයට මට ලැබුණු ප්‍රතිචාරය මගේ ප්‍රබෝධයට හේතුවූ බව කිව යුතුය. දැන් මට ආත්ම විශ්වාසයකින් යුතුව ඒ කාර්යයේ යෙදිය හැකිය.

ව්‍යවස්ථාවක් ඇතිකර ගතයුත්තේ බහුතර බලයෙන් නොව උපරිම මට්ටමෙන් ඇතිකර ගන්නා පොදු එකඟතාවකිනි. විශේෂයෙන්ම විවිධ ජන කණ්ඩායම්වලට බලපාන අයිතිවාසිකම්වලදී පොදු එකඟතාවක් ඇති කරගැනීමට හැකිවන තෙක්ම බහුතර බලයකින් අනුමත කරගන්නා තැනකට නොයා යුතුය. ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමෙන් පසුද ව්‍යවස්ථාවේ එන පොදු ගිවිසුමට අදාළ කාරණාවලදී ඒවා සංශෝධනය කරන තැනකට යායුත්තේ උපරිම මට්ටමකින් ඇතිකර ගන්නා පොදු එකඟතාවකින් මිස බහුතර බලයෙන් නොවේ.

ව්‍යවස්ථා සංශෝධනය-ඇමරිකාව

ව්‍යවස්ථාව වෙනස් කළයුතු ආකාරය හැම ලිඛිත ව්‍යවස්ථාවකටම ඇතුළත්ය. සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධනය සාමාන්‍ය නීති සම්පාදනයට වඩා අනම්‍යය. ලෝකයේ තිබෙන සියලුම ව්‍යවස්ථා අතුරින් වඩාත්ම අනම්‍ය ව්‍යවස්ථාව ලෙස සැලකෙනුයේ ඇමරිකන් ව්‍යවස්ථාවය. ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඇතිකර තිබෙන විධිවිධාන ඉතාමත් සංකීර්ණය.

කොංග්‍රසයට තුනෙන් දෙකේ ඡන්දයකින් සංශෝධනයක් යෝජනා කළ හැකිය. එහෙත් ව්‍යවස්ථාවට ඇතුළත්වීමට නම් ජනපද රාජ්‍යයන්ගෙන් 3/4 අනුමැතිය අවශ්‍යය. ජනපද අනුමැතිය ලබාගත යුත්තේ විශේෂ ඡන්ද විමසීම් මගින්ද නැතිනම් ජනපද ව්‍යවස්ථාදායක මණ්ඩලවලින්ද යන්න තීරණය කිරීමේ බලය තිබෙන්නේ කොංග්‍රසයටය.

ජනපද රාජ්‍යයන්ටද රාජ්‍යයන් තුනෙන් දෙකක් එකතු වී ව්‍යවස්ථා සංශෝධනයක් කොංග්‍රසයට ඉදිරිපත් කළ හැකිය. ඉන්පසු එය ව්‍යවස්ථා සමුළුවකට යොමු කෙරේ. ඉන්පසු ඊට ජනපද 3/4ක අනුමැතිය ලැබී නම් එම සංශෝධනය ව්‍යවස්ථාවට ඇතුළත් වේ. පසුගිය අවුරුදු 225ක කාලය තුළ ඉදිරිපත් වී තිබෙන ව්‍යවස්ථා සංශෝධන යෝජනා සංඛ්‍යාව 10980කි. ඉන් අනුමත වී ඇත්තේ 27ක් පමණය. 27 වන සංශෝධනයට අනුමැතිය ලැබීමට ගතවී තිබෙන කාලය අවුරුදු 202කි.

එහෙත් අවුරුද්දකට අඩු කාලයක් තුළද සංශෝධන 9ක් අනුමත වී තිබේ. 27 වන සංශෝධනය අනුමතවීමෙන් පසුව සංශෝධන අනුමැතිය සඳහා උපරිම කාල නියමයක් ඇති කරගෙන තිබෙන අතර එය වසර 07කි.

ව්‍යවස්ථා සංශෝධනය – ඉන්දියාව

ඉන්දියානු ව්‍යවස්ථාව සැලකෙනුයේ අනම්‍ය හා නම්‍ය යන ලක්ෂණ දෙකම ඇතුළත් ව්‍යවස්ථාවක් වශයෙනි. ඉන්දියානු ව්‍යවස්ථා සංශෝධනය කිරීම ඉතා පහසු නැතත් ඇමරිකාවේ තරම් දුෂ්කරද නැත.

ව්‍යවස්ථාවේ එන සමහර දේවල් වෙනස් කිරීම ඉතාමත් දුෂ්කරය. ව්‍යවස්ථාවේ එන තවත් සමහර දේවල් වෙනස් කිරීම පහසු නැතත් දුෂ්කරද නැත. ව්‍යවස්ථාවේ එන තවත් සමහර දේවල් වෙනස් කිරීම ඉතා පහසුය.

දුෂ්කරම ගණයට අයත් වනුයේ රාජ්‍යයේ හා ආණ්ඩුක්‍රමයේ ස්වභාවයට අදාළ දේවල්ය. ජනාධිපතිවරයා තෝරා ගැනීම, ඒ සඳහා තිබෙන මැතිවරණයේ ස්වභාවය, ව්‍යවස්ථාදායකයේ, විධායකයේ හෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්ගේ නිල කාලය දීර්ඝ කිරීම, ප්‍රාන්ත මහාධිකරණ සතු බලතල, ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල, මධ්‍යම රජය හා ප්‍රාන්ත රාජ්‍යයන් අතර තිබෙන ව්‍යවස්ථාදායක සම්බන්ධතා, මධ්‍යම ව්‍යවස්ථාදායකයේ හා ප්‍රාන්ත ව්‍යවස්ථාදායකවල නියෝජනය හා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන විධිවිධාන ඒ ගණයට අයත්ය. ඒ ගණයට වැටෙන දෙයක් සංශෝධනය කිරීමට නම් ද්වි මණ්ඩල පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියද, නැවත එක් එක් මණ්ඩලය වෙන වෙනම රැස්වී ඡන්දය දෙන සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක අනුමැතියද, ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්ගෙන් අඩක අනුමැතියද ලැබිය යුතුය.

ඊළඟ ගණයට අයත්වන්නේ මූලික අයිතිවාසිකම් හා මාර්ගෝපදේශ මූලධර්මයන්ය. ඒ ගණයට වැටෙන දේවල් සංශෝධනය කිරීම සඳහා ද්වි මණ්ඩල පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියක්ද, එක් එක් මණ්ඩලය වෙන් වෙන්ව රැස්වී ඡන්දය පාවිච්චි කරන්නන්ගේ තුනෙන් දෙකක අනුමැතියද අවශ්‍යය.

මෙම ගණ දෙකට අයත් නොවන සියලු කාරණා (ඒවා බොහෝවිට එදිනෙදා පාලනයට සම්බන්ධ දේවල්ය.) ද්වි මණ්ඩල පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකිය. පසුගිය වසර 63 තුළ ඉන්දියානු ව්‍යවස්ථාවට එකතුවී තිබෙන සංශෝධන සංඛ්‍යාව 98කි. ඒ සියලු සංශෝධන අතුරින් වර්ණවත්ම සංශෝධනය ලෙස සැලකිය හැක්කේ 1978 සම්මත කරගනු ලැබූ 43 වැනි හා 44 වැනි සංශෝධනයන්ය. ඉන්දිරා ගාන්ධි සිය පාලනයේ අවසාන කාලයේදී හදිසි නීතිය යටතේ රට පාලනය කරන අතර ව්‍යවස්ථාවේ දර්ශනය හා ආකෘතිය විකෘති කිරීමට හේතුවන ආකාරයට හා අධිකාරිවාදී පාලනයකට බර තබන බලතල ලබාගැනීම අරමුණු කොටගෙන ඇයට තිබුණු බහුතර බලය පාවිච්චි කරමින් 1976දී හතළිස් දෙවැනි සංශෝධනය අනුමත කරගැනීමට සමත් විය. ඒ සංශෝධනය මගින් රාජ්‍යයේ ස්වභාවය විකෘති කිරීමෙන් නොනැවතී ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට අධිකරණයට තිබූ බලයද සීමා කළේය.

කෙලසීමක් ඇතිවූ විට නැවත පිරිසිදු කිරීම

ඒ කාලයේ ඉන්දිරා ගාන්ධි ආණ්ඩුව හා අධිකරණය අතර ලොකු ගැටුමක් තිබුණි. ආණ්ඩුවේ ප්‍රගතිශීලී ඉදිරි ගමනට අධිකරණය බාධා කරන බවට ඉන්දිරා චෝදනා කරන ලද අතර රාජ්‍යයේ මූලික ව්‍යුහය වෙනස් කිරීමට හේතුවන ව්‍යවස්ථා සංශෝධන ව්‍යවස්ථා විරෝධී බව අධිකරණයේ මතය විය. ඒ මගින් අධිකරණය ව්‍යවස්ථා සංශෝධන විෂයට අලුත් මූලධර්මයක් එකතු කළේය. ඒ අවස්ථාවේ අධිකරණය ඉදිරියට ගෙන ආ කාරණය නොසලකා සිය අරමුණු ජයගැනීමට ඉන්දිරා ගාන්ධි සමත් වුවද ඉන්දිරා ගාන්ධි අතින් ව්‍යවස්ථාව විකෘති කිරීමක් සිදුවිය යන්න පිළිගත් මතයක් බවට පත්ව තිබුණි. කොංග්‍රසය පරාජයවීමෙන් පසු 1978දී 43 වැනි සංශෝධනය 44 වැනි සංශෝධනය ඉදිරිපත් කෙරුණේ ව්‍යවස්ථාවේ ඇතිකර තිබූ එම විකෘතීන් අහෝසි කොට එය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහාය. කිසියම් ව්‍යවස්ථා සංශෝධනයක් නිසා ව්‍යවස්ථාව විකෘති කිරීමට හේතුවී නම් එය නිවැරදි කිරීම අත්‍යවශ්‍යය. එසේ නොවෙතොත් එම විකෘතිය ව්‍යවස්ථාවේ නිත්‍ය අංගයක් බවට පත්වන්නේය.

මීට සමාන දෙයක් ඇමරිකාවේද සිදුවිය. ඇමරිකන් ව්‍යවස්ථාවට අනුව ඇමරිකන් ජනාධිපතිවරයා අවුරුදු හතරක කාලයක් එම ධුරය දරයි. මුලදී ජනාධිපතිවරයෙකු නැවත තෝරාගැනීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු සීමා පැනවීමක් නොතිබුණි. එහෙත් ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් ධුර කාල දෙකක් සම්පූර්ණවීමෙන් පසුව තුන්වැනි වතාවට ඡන්දය ඉල්ලන තැනකට නොගියේය. ඉන්පසු එය පිළිගත් සම්ප්‍රදායයක් ලෙස තහවුරු වී තිබුණි. මෙම සම්ප්‍රදාය දිගු කලක් තිස්සේ ආරක්ෂා වී තිබුණද රූස්වෙල්ට් ජනාධිපතිවරයා දෙවැනි ලෝක යුද්ධ කාලයේදී එම සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් 1940 සහ 1944 යන වර්ෂයන්හිදී තුන්වැනි හා සිව්වැනි වතාවටද තරග කොට ජනාධිපති ධුරයට පත්විය. 1952දී ව්‍යවස්ථාවට 22 වැනි සංශෝධනය ගෙනාවේ එවැනි සම්ප්‍රදාය විරෝධී ක්‍රියා නැවත ඇතිවන්නට ඉඩ නොතැබීම සඳහාය. ඒ අනුව ජනාධිපතිවරයකුට තනතුරේ සිටිය හැක්කේ ධුර කාල දෙකක් පමණය.

ව්‍යවස්ථාමය විෂයේදී ලිඛිතව සඳහන් වන දේවල් පමණක් නොව ව්‍යවස්ථාවේ ලිඛිතව සඳහන් වී නැති දේශීය මට්ටමෙන් සේ ම ලෝක මට්ටමෙන්ද ගොඩනැගී තිබෙන ව්‍යවස්ථා සම්ප්‍රදායන්ද ඉතා වැදගත් කොට සැලකේ. ලිඛිත ව්‍යවස්ථාවේ එන වැදගත් මූලධර්මය උල්ලංඝනය කිරීම බරපතළ වරදක් වන තරමටම පිළිගත් සම්ප්‍රදායයන් උල්ලංඝනය කිරීමද බරපතළ වරදක් ලෙස සැලකේ.

මෙතෙක් අපි අපේ ව්‍යවස්ථා තුනම ඇති කරගෙන තිබෙන්නේ පිළිගත් සම්ප්‍රදායයන් නොසලකාය. එසේම තුන්වැනි ව්‍යවස්ථාවේ අවුරුදු 36ක කාලයක් තුළ එකතු කර තිබෙන සංශෝධන ගණන 18කි. වැඩි හරියක් පිළිගත් සම්ප්‍රදායයන්ට පටහැනි පටු දේශපාලන අභිලාෂ සපුරා ගැනීම සඳහා කෙරුණු අවස්ථාවාදී සංශෝධන ලෙස සැලකිය හැකිය. ඒවා ව්‍යවස්ථාවේ විකෘති ස්වභාවය තවදුරටත් තීව්‍ර කිරීටම හේතුවී තිබෙන්නේයැ”යි කිව හැකිය. ව්‍යවස්ථාවට ඇතුළත් සමහර දේවල් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියෙන් පමණක් වෙනස් කළ හැකිය. තවත් සමහර කාරණා වෙනස් කළහැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියට අතිරේකව ජනමතවිචාරණයකින්ද අනුමතවන්නේ නම් පමණය. නීති සමාලෝචනය සඳහා අධිකරණයට ලබාදී තිබෙන බලයද අවුල්සහගතය. ඒ ගැන පසුව සලකා බලනු ලැබේ.

ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන

ඇති කරගත් තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් ප්‍රථම ඉදිරිපත් කරන ලද පළමු සංශෝධනය විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ අරමුණ ඇතිව ඇගේ පාලන කාලයේ සිදුවූ වැරදි සොයා බැලීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිසම නීති විරෝධී බවට පත්කරමින් අභියාචනාධිකරණය දෙන ලද තීන්දුව නිෂ්ප්‍රභ කොට එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑමේ අරමුණ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සංශෝධනයක් විය.

ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරයකුට සිය මන්ත්‍රී ධුරය අහිමි කරගැනීමෙන් තොරව පක්ෂය මාරු කළ නොහැකිය. දෙවැනි සංශෝධනය විරුද්ධ පක්ෂ දෙකකින් ආණ්ඩුවට එකතුවීමට අදහස් කරගෙන සිටි මන්ත්‍රීවරුන් දෙදෙනකුට ඔවුන්ගේ මන්ත්‍රීකම් අහිමිකර ගැනීමෙන් තොරව ආණ්ඩු පක්ෂයට එකතුවීමට හැකියාව ලබාදීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද සංශෝධනයකි. එය අනාගතයට බලනොපාන පූර්ව කාලයට පමණක් බලපාන සංශෝධනයක් විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ධුරයේ සිටින ජනාධිපති දෙවැනි ධුර කාලය සඳහා තරග කළ යුතුව තිබුණේ පළමු ධුර කාලය සම්පූර්ණවීමට මසකට අඩු නොවන මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළය. තුන්වැනි සංශෝධනයේ අරමුණ වූයේ පළමු ධුර කාලය අවුරුදු හතරක් සම්පූර්ණවීමෙන් පසු ජනාධිපති කැමති කවර අවස්ථාවක හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ බලය ජනාධිපතිට ලබාදීමය.

1982 ජනාධිපතිවරණය පවත්වන ලද්දේ ධුර කාලය අවුරුදු හතරක් සම්පූර්ණවීමෙන් පසුව තමන් කැමති අවස්ථාවක ජනාධිපතිවරණය පැවැත්වීමේ බලය ලබාගැනීමෙන් පසු පමණක් නොව තමන්ට ප්‍රබල තරගයක් දියහැකි තත්ත්වයක සිටි විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතියද අහිමි කිරීමෙන් පසුවය. ශ්‍රීලනිපයෙන් තරග කළ අපේක්ෂකයා ඇය තරම් ප්‍රබල අපේක්ෂකයකු නොවී සිටියදී හා ශ්‍රීලනිප කැබලි කරන ලද තත්ත්වයක තිබියදීත් ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප 1977දී ලබාගෙන තිබූ 29.72% ඡන්ද අනුපාතිකය 39.07% දක්වා වැඩි කරගෙන තිබුණේය. ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 7කට ආසන්න තත්ත්වයකින් වැඩි කරගෙන තිබුණු අතර පාලක එජාප ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයකින් අඩුකරගෙන තිබුණි. පාර්ලිමේන්තු මැතිවරණයකට ගියහොත් හයෙන් පහේ බලය අහිමි වී සරල බහුතර බලයක් පමණක් තිබෙන තත්ත්වයකට ආණ්ඩුව පත්වන බව හා ඒ සමග විරුද්ධ පක්ෂවල පාර්ලිමේන්තු නියෝජනයේ විශාල ප්‍රසාරණයක් ඇතිවන බව ජනාධිපති දැන සිටියේය. ඒ තත්ත්වය වළකා හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය හොඳින් හෝ නරකින් කරන ජනමතවිචාරණයකින් දීර්ඝ කරගැනීමට ඔහුට අවශ්‍ය වූ අතර හතරවැනි සංශෝධනය එම දුෂ්ට අරමුණ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සංශෝධනයක් විය.

පවත්වන ලද දූෂිත ජනමතවිචාරණයට ප්‍රජාතන්ත්‍රවාදී හා ගාම්භීර පෙනුමක් ලබාදීම සඳහා ජනමතවිචාරණයෙන් පරාජය වූ සමහර කොට්ඨාසවල අතුරු මැතිවරණ පැවැත්විය හැකි තත්ත්වයක් ඇතිකර ගැනීමටවත් තමත් සමහර කොට්ඨාසවල අතුරු මැතිවරණ නොපවත්වා තුණ්ඩු ක්‍රමයට මන්ත්‍රීවරුන් පත්කර ගැනීමට හැකිවන ලෙසත් පුරප්පාඩුවක් ඇතිවන අවස්ථාවකදී අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුද නැතිනම් තුණ්ඩු ක්‍රමයට මන්ත්‍රීවරයෙකු පත්කරගතයුතුද යන්න තීරණය කිරීමේ අභිමත බලය පක්ෂ ලේකම්වරුන්ට ලබාදීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වූ අතර 5 වන සංශෝධනය එම කූට අරමුණ වෙනුවෙන් ඇතිකර ගන්නා ලද ව්‍යවස්ථා සංශෝධනයක් විය.

6 වැනි සංශෝධනය 83 කළු ජූලියෙන් පසුව වෙවනම දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය අහිමි කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද සංශෝධනයකි. එම සංශෝධනය එම පාර්ලිමේන්තුවේ සංයුතිය මහා විකෘතියක් ඇති කිරීමට හේතුවූවා පමණක් නොව දෙමළ දේශපාලනය තුළ මධ්‍යස්ථ මතධාරීන්ට තිබුණු පිළිගැනිම අහිමි කරමින් ආයුධ අතට ගත් දෙමළ ත්‍රස්තවාදී සංවිධානවලට අලුත් පිළිගැනීමක් ලබාදීමට හේතුවිය.

එම සංශෝධනයෙන් පසු 13 වැනි සංශෝධනය දක්වාත් 13 වැනි සංශෝධනයෙන් පසු 17 වැනි සංශෝධනය දක්වාත් ඉදිරිපත් වූ ව්‍යවස්ථා සංශෝධන එදිනෙදා පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය විධිවිධාන ඇතිකර ගැනීම සඳහා ඇතිකර ගන්නා ලද සාමාන්‍ය සංශෝධන ලෙස සැලකිය හැකිය.

චන්ද්‍රිකාගේ ව්‍යවස්ථාව

විවිධ වෙනස්කම් තිබියදීත් 13 වැනි හා 17 වැනි සංශෝධනයන්ගේ ව්‍යවස්ථාමය දර්ශනය බොහෝ දුරට එක සමාන වන නිසා ඒ ගැන කතා කිරීම පසුවට තබා පොදු පෙරමුණ බලයට පත්වීමෙන් පසුව ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී (2000 අගෝස්තුවලදී) නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීමට උත්සාහ කළ අශීලාචාර ස්වභාවය ගැන සලකා බැලිය හැකිය. එම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ අනුමැතිය සඳහා අවශ්‍ය අඩු ඡන්ද සංඛ්‍යාව එකඟතාවකින් ලබාගත නොහැකි තත්ත්වයක් ඇතිවූ කල කුමන මිලක් ගෙවා හෝ ඒ අඩු ඡන්ද සංඛ්‍යාව ලබාගන්නා බවට ආණ්ඩුවේ ඇතැම් නායකයන් ප්‍රසිද්ධියේ වහසි බස් කියන තැනකට ගියේය. අධිකරණය ඒ ක්‍රියාදාමයට බාධා කරන තැනකට ගියහොත් තාවකාලිකව අධිකරණය වසා දමන බවද කීවේය.

තුනෙන් දෙකේ සම්මතය සඳහා අවශ්‍ය අඩු ඡන්ද සංඛ්‍යාව මුදලට මිලදී ගැනීම සඳහා වන වැඩපිළිවෙලක් ආණ්ඩුව දියත් කර තිබූ අතර එජාපයේ එක් මන්ත්‍රීවරයකුට ඒ සඳහා මුදල් අත්තිකාරමක්ද ගෙවා තිබුණි. එම තත්ත්වය පාලනය කරගැනීම සඳහා එජාප නායකයා අනුගමනය කරන ලද උපාය මාර්ගය වූයේ කෙටුම්පත විවාදයට ලක් කොට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත දින කිහිපයේදී එජාපය තෝරාගත් මන්ත්‍රීවරුන් පිරිසක් සිංගප්පූරුවට යවන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. ඒ නිසා ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා සැලසුම් කරගෙන තිබූ සමස්ත වැඩපිළිවෙළ බිඳ වැටී කෙටුම්පත ඡන්ද විමසීමකට ලක් කිරීමකින් තොරවම එය ඉවත් කරගැනීමට ආණ්ඩුවට සිදුවිය.

ව්‍යවස්ථා සම්පාදන විෂයේදී 94 දක්වා බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ඊට පසුව බලයට පැමිණි ශ්‍රීලනිප ප්‍රමුඛ පොදු පෙරමුණද පත්ව සිටි අශීලාචාරබවේ තරම එම අත්දැකීම් මනා ලෙස පෙන්නුම් කරන්නේයැ”යි කිව හැකිය. එජාපය බලයේ සිටියදී පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබීම හේතුකොට ඔවුන් බාධාවකින් තොරව ව්‍යවස්ථාව සමග බඩපිනුම් ගැසුවේය. ඉන්පසු බලයට පත්වන පොදු පෙරමුණට ආරම්භයේදී එවැනි බලයක් නොතිබීම හේතු කොටගෙන ඔවුන් ව්‍යවස්ථාව සමග බඩපිනුම් ගසන්නට උත්සාහ කළේ තුනෙන් දෙකේ බලයක් සඳහා අවශ්‍ය අඩු ඡන්ද සංඛ්‍යාව මිලදී ගැනීමට උත්සාහ කරන ප්‍රතිපත්තියක් ඔස්සේය. ඉන්පසු පොදු පෙරමුණේ මහින්ද රාජපක්ෂ යුගයේදී ක්‍රියාත්මක ක්‍රියාදාමය එම අශීලාචාර ඓතිහාසික ක්‍රියාදාමයේම තවත් වර්ධනීය අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

13 හා 17

දැන් අපට 13 වැන්නා හා 17 වැනි සංශෝධනය ගැන කරුණු සලකා බැලිය හැකිය. මෙම ව්‍යවස්ථා සංශෝධන දෙකේ අරමුණුවල වෙනස්කම් තිබුණද එම ව්‍යවස්ථා සංශෝධන දෙකම ව්‍යවස්ථාවේ මූලික දර්ශනයට හා ආකෘතියට පටහැනි සංශෝධන ලෙස සැලකිය හැකිය. 13 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කළේ විධායකය සතු බලයෙන් කිසියම් ප්‍රමාණයක සුළු බලයක් පළාත් සභාවලට බෙදාහැරීමය. 17 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කළේ වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබුණු බලය පාලනය කිරීමය. ඒ අර්ථයෙන් මෙම සංශෝධන දෙකම ජනාධිපතිට ලැබී තිබුණු පරම බලය සමග ගැටෙන සංශෝධන දෙකක් ලෙස සැලකිය හැකිය. ඒවා ව්‍යවස්ථාවේ දර්ශනයට හා ආකෘතියට පටහැනිවන්නේ රාජ්‍යයේ සකලවිධ බලය ජනාධිපති අත සංකේන්ද්‍රණය කිරීම ව්‍යවස්ථාවේ මූලික දර්ශනය හා ආකෘතිය වන නිසාය.

ඉන්දියාව සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට සිදුවී තිබූ තත්ත්වය තුළ 13 වැනි සංශෝධනය ඒ මොහොතේ ආණ්ඩුවේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක්ව තිබුණේය. චන්ද්‍රිකාගේ පාලන කාලය තුළ 17 වැනි සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය වූයේද ආණ්ඩුවට තිබූ බහුතර බලය අහිමි වී තිබූ තත්ත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබාගැනීම සඳහා එම සංශෝධනය සම්මත කරගැනීම ඒ මොහොතේ ආණ්ඩුවේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්ව තිබුණු නිසාය.

මෙම ජනාධිපතිවරුන් දෙදෙනාම තමන්ට තිබුණු පරම බලයට ඇඟිලි ගසන මෙම සංශෝධන දෙකට සහායදීමේදී ව්‍යවස්ථාවෙන් තමන්ට ලැබී තිබෙන පරම බලය එම සරල සංශෝධන නිසා හීන නොවන බවද දැන සිටියේය. ඒවා ජනාධිපතිගේ කැමැත්ත ඇති තාක් පමණක් ක්‍රියාත්මක වන කැමැත්ත නැතිවිට බලරහිත තත්ත්වයකට පත්වන ව්‍යවස්ථා සංශෝධන ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ඉන්නේ නීතියට ඉහළිනි. එම තත්ත්වය යටතේ ජනාධිපති ව්‍යවස්ථාව නොසලකා ක්‍රියාකරන අවස්ථාවකදී හඬා වැටෙනවා හැර ගතහැකි කිසිදු ප්‍රායෝගික ප්‍රතිකර්මයක් නැත. 13 වැන සංශෝධනය පිටුපස සිටි ඉන්දියාව සේ ම 17 වැනි සංශෝධනය සැලසුම් කළ විද්වත් වෘත්තිකයන්ද මෙම ව්‍යවස්ථා සංශෝධන දෙක සැලසුම් කර තිබුණේ ව්‍යවස්ථාවට ආවේණික එම විශේෂ ධර්මතාව එනම් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන පරම බලය මුළුමනින් තබා මොනයම් ප්‍රමාණයකට හෝ ව්‍යවස්ථා සංශෝධනයකින් හීන කළ නොහැකි බව තේරුම් නොගෙනය. ඒ අර්ථයෙන් එම ව්‍යවස්ථා සංශෝධන දෙක සැලකියයුත්තේ ව්‍යවස්ථාවේ හරය හා දර්ශනය තේරුම් නොගෙන ඉදිරිපත් කළ ව්‍යවස්ථාව සමග ඒකාග්‍ර නොවන සංශෝධන දෙකක් ලෙසය.

මෙම ව්‍යවස්ථා සංශෝධන දෙකින්ම අපේක්ෂා කළ අරමුණු සුපරාගත නොහැකි විය. ඉන් උගත හැකි පාඩම වනුයේ නීතියට ඉහළින් සිටින අධිකරණයට වග නොකියන තත්ත්වයක සිටින ජනාධිපති නීතියට යටත් හා අධිකරණයට වගකියන තත්ත්වයකට ගෙනඒමෙන් තොරව ජනාධිපතිට ලැබී තිබෙන පරම බලය පාලනය කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම තේරුමක් නැති ක්‍රියා බවය.

මහින්දගේ 18 වැනි සංශෝධනය

13 වැනි සංශෝධනය තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර නැතත්, චන්ද්‍රිකාගේ පාලන කාලයේදී හාස්‍ය දනවන විහිළුවක් බවට පත්කර තිබූ 17 වැනි සංශෝධනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 18 වැනි සංශෝධනය මගින් මුළුමනින් බලරහිත කළා පමණක් නොව ව්‍යවස්ථාවෙන් ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයකුට ධුරයේ සිටිය හැකි වාර ගණන සඳහා පනවා තිබූ සීමාවන් ඉවත් කොට ඡන්දයෙන් බලයට පත්විය හැකිතාක් ඒ ධුරයේ සිටිය හැකි තත්ත්වයක්ද ඇතිකර ගත්තේය. පිළිගත් ව්‍යවස්ථා සම්ප්‍රදායන් අනුව එවැනි ක්‍රමයක් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට මිස විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයකට වලංගු විය නොහැකිය.

ප්‍රධාන විධායකයා ඍජු ලෙස මහජන ඡන්දයෙන් තෝරාපත්කර ගන්නා ආණ්ඩුක්‍රමයක් හා ප්‍රධාන විධායකයා පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරගන්නා ආණ්ඩුක්‍රමයක් එක සමාන නැත. විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ තේරී පත්වන ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් යටතේ තේරී පත්වන අගමැතිවරයකුට වඩා ඉතා බලවත්ය. අපේ රටේ විධායක ජනාධිපති වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල විධායක ජනාධිපතිවරුන්ට වෙනස්ව නීතියටද ඉහළින් සිටින ජනාධිපතිවරයකු වන නිසාම අපේ රටේ විධායක ජනාධිපති ඒ රටවල විධායක ජනාධිපතිවරුන්ටත් වඩා බලවත්ය. අගමැතිවරයෙකු වශයෙන් තේරී පත්වන්නෙකු තේරීපත්වන්නේ පුංචි ඡන්ද කොට්ඨාසයකිනි. ඔහු අගමැති ධුරයට පත්වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති පක්ෂයේ නායකයා වශයෙනි. ඔහු නීතියට යටත් වනවා සේ ම පාර්ලිමේන්තුවටද වගකිව යුතුය. නිල කාලය සම්පූර්ණ කිරීමට පෙර පාර්ලිමේන්තුවේ විශ්වාස අහිමිවන අවස්ථාවක් ඇතිවේ නම් ඒ සමග ඔහුගේ තනතුරුද අහිමිවන්නේය.

මහජන ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපති තේරීපත්වන්නේ පුංචි ඡන්ද කොට්ඨාසයකින් නොවේ. රටේ සියලු ඡන්ද කොට්ඨාස එකට එකතු කළ ඡන්ද කොට්ඨාසයකිනි. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකදී මෙන් විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට වගඋත්තර කීමට බැඳී නැත. පාර්ලිමේන්තුව ඔහු තනතුරෙන් පහකිරීමේ හැකියාවක්ද නැත. රාජ්‍යයේ සකලවිධ බලය කේන්ද්‍රගතවී තිබෙන්නේ ජනාධිපති අතේය.

විධායක ජනාධිපතිවරයාට ඒ ක්‍රමය යටතේ ලැබෙන අතිවිශාල බලය නිසාම ඒ බලය යොදාගනිමින් පළමු ධුර කාලය සම්පූර්ණවීමෙන් පසුව දෙවැනි ධුර කාලය සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයද ජයගත හැකිය. වෙනත් බොහෝ රටවල විධායක ජනාධිපතිවරුන්ට නීතියට ඉහළින් සිටීමේ බලයක් නොතිබියදීත් ජනාධිපතිවරයෙකුට ධුරයේ සිටිය හැකි කාලය වාර දෙකකට සීමා කොට ඇත්තේ විශාල බලයක් ඇතිව එකම පුද්ගලයෙකු දීර්ඝ කාලයක් බලයේ සිටින තත්ත්වයක් තුළ අත්තනෝමතික පාලනයක් ඇතිවීමෙන් ඒ රටට විය හැකි හානිය වැළකීම සඳහාය. වෙනත් රටවල විධායක ජනාධිපතිවරුන්ට වෙනස්ව ශ්‍රී ලංකාවේ පවතින ක්‍රමය තුළ විධායක ජනාධිපති රාජ්‍යයේ සකලවිධ බලය ඇතිව නීතියට ඉහළින් සිටින පුද්ගලයකු වන නිසාම ධුර කාල වාරයන්ට අදාළව පනවා තිබෙන සීමාව වෙනත් රටවලටත් වඩා ශ්‍රී ලංකාවට අදාළය. අනෙක් අතට ඇමරිකන් ජනාධිපතිවරයකු එක් ධුර කාලයක් අවුරුදු හතරකට සීමාවන විට ලංකාවේ ජනාධිපතිවරයකුගේ එක් ධුර කාලයක් අවුරුදු හයකි. එවිට ලංකාවේ ජනාධිපතිවරයකුගේ ධුර කාල දෙකක් ඇමරිකන් ජනාධිපතිවරයකුගේ ධුර කාල තුනකට සමානය. එතරම් දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටීමට පුළුවන්කම ලැබී තිබියදීත් එයින් තෘප්තිමත් නොවී ඒ සීමාවද ඉක්මවා බලයේ ඉඳීමට ක්‍රියාකරන නායකයකු සැලකිය හැක්කේ ලැබී තිබෙන පරම බලයේ රසය අත්හැරීමට කැමති නැති බලලෝභී නායකයකු වශයෙනි. 18 වන සංශෝධනය මගින් මෙම දූෂිත දුර්දාන්ත දේශපාලන ක්‍රමයේ අවසාන පාලකයා වශයෙන් සැලකිය හැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද ව්‍යවස්ථාව සමග බඩපිනුම් ගැසීමේ සෙල්ලම උපරිම තත්ත්වයකට ගෙනාවේයැ”යි කිව හැකිය.

(තවත් කොටසක් ලබන සතියේ)