ජිනීවා යෝජනාවේ ප්‍රතිවිපාක ගැන

March 30, 2014
Publication:
After the Human Rights Council's March 2014 resolution on accountability and reconciliation, Ivan argues that in the modern world no war, internal or external, ends without an accounting. Stirring patriotic feeling is easy, but the public, used to the open economy since 1977, will not bear the cost of sanctions. If the government keeps acting headstrong, sanctions will follow, and the ruin of the country will be written against Mahinda Rajapaksa's name.

ශ්‍රී ලංකාවේ වගවීම හා ප්‍රතිසන්ධානයට අදාළව මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී තිබෙන යෝජනාව ආශ්‍රයෙන් කරළියට එන වැඩසටහන සමග ශ්‍රී ලංකාව සහයෝගයෙන් ක්‍රියා නොකොට ඊට එරෙහිව ක්‍රියාකරන තැනකට ගියහොත් රටක් වශයෙන් අපට සිදුවිය හැකි විනාශය අතිවිශාලය.

නූතන ලෝකයේ අභ්‍යන්තර හෝ බාහිර යුද්ධයක් අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න කරන තත්ත්වයක් ඇතිවීම ඉතාමත් ස්වාභාවිකය. යුද්ධය අවසන් කිරීමෙන් පසු මතුවූ ප්‍රශ්න කිරීම් ඉදිරියේ ප්‍රඥාවන්ත ලෙස ක්‍රියාකරන්නට රට සමත් වී නම් ලොකු වන්දි ගෙවීමකින් තොරව එම ප්‍රශ්න නිරාකරණය කරගනිමින් වඩා ශක්තිමත් ලෙස ඉදිරියට යෑමේ හැකියාව රටට හිමිවන්නට ඉඩ තිබුණි. එහෙත් ආණ්ඩුව මුලසිටම එම ප්‍රශ්න කිරීම් ඉදිරියේ ක්‍රියා කළ ආකාරය ඉතාමත් අදූරදර්ශී විය. දැන් මෙම යෝජනාව සම්මතවීමත් සමග රට ඇද වැටී සිටින්නේ මහා විනාශයක මුවවිටය. එහිදී අප තෝරාගන්නට යන්නේ ඊට එරෙහිව සටන් කරන මාවතක් නම් ආණ්ඩුව පමණක් නොව රටද මහා ප්‍රපාතයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.

මහජනයා අතර දේශප්‍රේමී හැඟීම් උද්දීපනය කිරීම අමාරු නැත. එහෙත් ඒ සඳහා ක්‍රියාවට නගන වැඩසටහන් මහජනයා කෙරෙහි විශාල පීඩාවක් ඇතිකරන්නේ නම් එම දේශප්‍රේමී වැඩසටහන්වලට එරෙහිව නැගී සිටින්නන් බවට පත්වන්නේද මුලදී දේශප්‍රේමී ආවේගයන් මත ක්‍රියා කළ දේශප්‍රේමී ජනතාවමය.

1977ට පෙර ශ්‍රී ලංකාවේ ජනතාව විවෘත ආර්ථික ක්‍රමයක රස බලා නොතිබුණි. ඔවුන් ජීවත්වූයේ වර්තමානයට වඩා සරල හා අල්පේච්ඡ සමාජ වටාපිටාවකය. නිදහස ලැබීමෙන් පසු 1970-77 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව දක්වාම බලයට පත් හැම ආණ්ඩුවක්ම කතකා කළේ ආහාරවලින් ස්වයංපෝෂිත රටක් ගැනය. එය සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේද ප්‍රධාන සටන් පාඨය විය. එම ආණ්ඩු කාලයේදී ලෝක මට්ටමෙන් ඇතිවී ලංකාව කෙරෙහි විනාශකාරී ලෙස බලපාමින් තිබූ ආර්ථික අර්බුදයකට මුහුණදීම පිණිස රට මහා සංග්‍රාමයකට යොමුකරනවාට අතිරේකව රටේ ආර්ථික ආරක්ෂාව සඳහා මහජනයා කෙරෙහිද පීඩාකාරී ලෙස බලපාන ආකාරයේ සම්බාධක පනවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට එම ආණ්ඩුවට සිදුවිය. ආණ්ඩුව එසේ කළේ මහජනයා අතර දේශප්‍රේමී හැඟීම් පුබුදු කරමිනි. මුලදී දේශප්‍රේමී හැඟීමෙන් කුල්මත් වූ මහජනයාද ආණ්ඩුව ක්‍රියාවට නගන ලද පියවරයන්ට සහයෝගය පළකරමින් සීනි නැතිව තේ බොන්නම් හාල් නැතිව බත් කන්නම් කියමින් පෙළපාළි ගියේය. එහෙත් ආර්ථික වශයෙන් පැවති පීඩාකාරී තත්ත්වය ඉවසිය නොහැකි තත්ත්වයකට පත්වූ විට එම ආණ්ඩුව අතිවිශාල පරාජයකට ලක්කරනු ලැබුවේද මුලදී දේශප්‍රේමී හැඟීමෙන් ක්‍රියා කළ එම ජනතාවමය. වර්තමාන ජනතාව එදා සිටි ජනතාවටත් වඩා වෙනස්ය. ඔවුහු අල්පේච්ඡ ජීවිතයකට හුරු පුරුදු වූ ජනතාවක් නොව සුවපහසු විවෘත ආර්ථිකයකට හුරුපුරුදු ජනතාවකි. ඔවුන් මේ මොහොතේ දේශප්‍රේමී හැඟීමෙන් කුල්මත් වී ක්‍රියාකරන තත්ත්වයක සිටිය හැකි වුවත් සම්බාධක පනවන තත්ත්වයක් ඔවුන්ගේ හුරුපුරුදු ජීවිත වෙනස් කොට ඔවුන් කෙරෙහි පීඩාකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතුවේ නම් ආණ්ඩුවට එරෙහිව කෝපයෙන් හැඟීම්බරව ක්‍රියාකරන තත්ත්වයට යොමුවනු ඇත්තේද මුලදී දේශප්‍රේමී හැඟීමෙන් කුල්මත් වී ක්‍රියාකළ එම මහජනතාවමය.

අපි හිතුවක්කාරීව ක්‍රියාකරන තැනකට ගියහොත් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීම ආරම්භ වනු ඇත්තේද පුංචියටය. ඒවා ලොකු මහත් වූ දේවල් බවට පත්වනු ඇත්තේ ක්‍රම ක්‍රමයෙනි. දකුණු අප්‍රිකාවට මෙන් සමහරවිට අපේ ක්‍රිකට්වලට පවා තහංචි පනවන තත්ත්වයක් ඇතිවිය හැකිය. සම්බාධක පැනවීම්වලට ලක්වූ වඩා බලවත් රටවල් පවා විනාශ මුඛයට පත්වූවා මිස එවැනි තත්ත්වයකට මුහුණ දී විශාල හානියක් ඇතිකර ගැනීමකින් තොරව නැගී සිටි කිසිම රටක් ගැන අසන්නට ලැබෙන්නේ නැත. ආරාවුල දුරදිග යන තත්ත්වයක් ඇති වුවහොත් කොළඹ වරායද නැව් නොඑන වරායක් බවට පත්විය හැකිය. කටුනායක ගුවන්තොටුපොළද ගුවන්යානා නොඑන ගුවන්තොටුපළක් බවට පත්විය හැකිය. අපේ අපනයන වෙළෙඳාම නැත්තටම නැතිවිය හැකිය. ඒ සමග අපේ ආනයන වෙළෙඳාමද මහා අර්බුදයකට ලක්වනු ඇත. තේ වතුවලින් තේ ඉවත් කොට ඒවාහි අල, බතල සිටුවන්නට සිදුවන තත්ත්වයක් ඇතිවිය හැකිය. අවසානයේ කාපට් කරන ලද මහා මාර්ගවල මෝටර් රථ වෙනුවට ගමන් කරනු ඇත්තේ ගොන් කරත්තය.

ආණ්ඩුවට නූතන ලෝක රටාව ගැන හෝ සම්බාධක හා ඒ නිසා ඇතිවිය හැකි ප්‍රතිඵල ගැන හෝ නිසි අවබෝධයක් හෝ තක්සේරුවක් ඇති බව පෙනෙන්නට නැත. තාවකාලික තහනමකින් පසුව නැවත ලබාගත හැකි තත්ත්වයක තිබූ යුරෝපා සංගමයේ ජීඇස්පී ප්ලස් සහනය ගැනද කීවේ එය නැතිව ඉදිරියට යෑමේ හැකියාව ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට තිබෙන බවය. අවසානයේ එය අහිමිකර ගැනීමෙන් අපනයන කර්මාන්ත අංශයට සිදුවූ හානිය අතිවිශාලය. කර්මාන්ත විශාල සංඛ්‍යාවක් වැසී ගියේය. කම්කරුවන් විශාල සංඛ්‍යාවකට රක්ෂා අහිමි විය. ආර්ථිකයේ 33%ක තත්ත්වයක තිබූ අපනයන කර්මාන්තය 17% දක්වා පහත වැටුණේය. එවැනි පුංචි සම්බාධකයකින් විය හැකි හානිය එතරම් විශාල නම් හිතුවක්කාරී ලෙස ක්‍රියාකරන තැනකට ගියහොත් පනවන සම්බාධකවලින් රටට විය හැකි හානියේ තරම තේරුම් ගැනීමට අපහසු නැත.

අවසානයේ දේවල් සිදුවන්නට යන්නේ රටේ විනාශයට හේතුවන ආකාරයට නම් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නාමය ඉතිහාසයට එකතුවනු ඇත්තේද ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් රට ගලවා ගත් ඉන්පසු බෙදී සිටි ජාතිය එක්සත් කිරීමට හා එම ජාතියේ නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන නව රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට අසමත්වීම නිසා හා ආත්මාර්ථකාමී වීම ශ්‍රේෂ්ඨ ජන නායකයකුවීමට තිබුණු හැකියාව අහිමි කරගනිමින් රට මහා කාලකණ්ණි තත්ත්වයකට ඇද දැමූ අදූරදර්ශී නායකයකු වශයෙනි.